විශේෂාංගඋපුටාගැනීම්

#COVID19 ‘සාක්ෂරතාවයෙන් ඉහළ’ යැයි පම්පෝරි ගසන අපිට හැරිලා බලන්න අවස්ථාවක්!

‘සංඛ්‍යා ලේඛනවල සාක්ෂරතාවය කොපමණ තිබුණත් වැඩක් නැහැ’ තවමත් අපි වැසිකිලියට ගිහිල්ලා වතුර ටිකක් ගහන්නේ නැතිනම්….

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම අපට විතරක් නෙමෙයි මුලු ලෝකයටමත් මේවන විට අභියෝගයක්. ලෝකයට අලුත් භිහිසුණු අත්දැකීමක්. නමුත් චීනයෙන් ඇරඹි මේ වසංගතය සෑහෙන දුරකට පාලනය කරගන්න මේ වන විට චීනය සමත්වෙලා තියනවා. ඒකට ප්‍රධානම හේතුන් කිහිපයක් චීන මාධ්‍ය වාර්තා විසින් සපයනවා. ඉන් එකක් තමයි මිනිසුන්ගේ චර්යාමය රටාවන්. ඒ කියන්නේ සෞඛ්‍ය බළධාරින් පවසන පරිදි නිසි ලෙස වෛරසය පැතිරීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සහ රෝගයෙන් ආරක්ෂාවීමට ගතයුතු නිසි වෛද්‍ය විද්‍යාත්මක ක්‍රියාමාර්ග ගැනීම. අනික් හේතුව තමයි අදාළ පුද්ගලයාගේ ප්‍රතිශක්තිය. නමුත්, ප්‍රතිශක්තිය වැනි දෙයක් එක විටම ඉහළ තත්ත්වයට ගැනීමට මිනිසුන්ට අමාරු උනත්, පළමු ක්‍රියාමාර්ගය අපට ඉතා පහසුවෙන් ගත හැකියි. එය නැවත වරක් සටහන් කරන්නේ නම්, සෞඛ්‍ය බළධාරින්ගේ උපදෙස් අනුව, නිරන්තරයෙන් අනුමත කරනමින්, පවසන සබන් හෝ අනුමත මධ්‍යසාර ප්‍රමාණය අඩංගු දියරයකින් අත් සේදීම, සෙනග ගැවසෙන තැන්වලට නොයෑම, එළියට යෑමේදී සෑම විටම මුඛ ආවරණ පැළදීම වැනි අපට කළ හැකි සියලු දේ උපරිම මට්ටමින් සිදුකිරීමය. මේ තුළින් මේ වෛරසය විසින් සිදුකරන ලබන වසංගත රෝගී තත්ත්වය(#COVID-19) අපට පාලනය කර ගත හැකිය. නමුත් අප කල්පනා කල යුතු අනෙක් කරුණ වන්නේ මෙය ගෝලීයව පැතිරෙමින් ඇති වසංගතයක් බවය. ඒ නිසාම මෙයට හුදකලා විසදුම් සොයාගැනීමත් දුෂ්කරය. එබැවින් සාමූහිකත්ව විසදුමකින් මෙයට විසදුම් සොයාගත යුතුය. නමුත්, ඒ අතර තුර පුරවැසියන්ට මේ සම්බන්ධයෙන් තිබෙන වගකීම ඉතා විශාලය. ඒ වගකීම පැහැර හරින්නේ නැතිව, ක්‍රියාත්මක වීම මේ මොහෝතේ පුරවැසි වගකීමයි.

‘අපි එළියට යන හැම විටම මාස්ක් එකක් දැම්මා. ඇත්තටම අත්‍යවශ්‍ය දේකට ඇරෙන්න අපි එළියට ගියේ නෑ. එළියට ගිහින් ආවත්, අපේ සපත්තු පවා අපි ගේ ඇතුළට ගත්තේ නෑ. දොර අල්ලන අගුල පවා අපි විෂබීජ නාශයකින් පිරිසිදු කරා, හැම විටම අත් සේදීම පුරුද්දක් කර ගත්තා. වැඩේ මුලදි අමාරු උනා. ඒ උනාට ගොඩ ගියේ ඒකෙන්’ චීනයේ සිටින මගේ මිත්‍රයෙක් ඊයේ රාත්‍රී මාත් සමග කීවේ, ලංකාව ගැන දුක්මුසු හැගීමකින්.

සාක්ෂරතාවයෙන් ඉහළ යැයි පම්පෝරි ගසන අපිට හැරිලා බලන්න අවස්ථාවක්!

සාක්ෂරතාවය අතින්, කලාපයේ ඉදිරියෙන්ම සිටිනවා යැයි අපි හැමදාම පම්පෝරි ගහනවා. නමුත්, වෙනත් රටවලට වඩා වේගයෙන් කොරෝනා අසාධිතයින් ගේ වර්ධන වේගය වැඩිවන බව දැක දැක, සෞඛ්‍ය බලධාරීන්ගේ විසින් පවසා ඇති කිසිදු ආරක්ෂක ක්‍රියාමාර්ගයකින් තොරව, ජනාධිපතිවරයා විසින් මිළ අඩු කල පරිප්පුයි, සැමනුයි ගන්න මිරිකි මිරිකි පෝලිම්වල මිනිසුන් ඉන්නවා. නමුත්, මම කිසි විටක මේ මිනිසුන්ට කිසිදු ආකරයක දොසක් පවසන්නේ නෑ. ඇයි? මේ තමයි අපි අවුරුදු 70ක් වපුරපු දේවල් වල අස්වැන්න. ජනාධිපති විසින් මිළ අඩුකල සැමන් ගන්න කිසිදු ආකාරයක සල්ලි තියන කිසිදු කෙනෙක් ඔය පෝලිම්වල හිටියේ නෑ. ලංකාවේ බහුතරයක් සැමන් කන්නේ දුප්පතුන්. එදා වේල හම්බකරං කන දුප්පතුන්. වතු කම්කරුවන්, කම්කරුවන් වැනි අන්ත අසරණ මිනිසුන්. ඉතින් ඒ මිනිසුන්ට මරණයට වඩා බඩගින්න ලොකුයි. ඉතා සීග්‍රයෙන් බෝවෙන කොරෝනා වෛරසයට බියකරු බාවයට වඩා, රුපියල් 100ට දෙන සැමන් ටින් එක ලොකුයි. ඒ මහපොලවේ මිනිසුන්ගේ යථාර්තය. ඒ මිනිසුන්ගේ චර්යාමය තත්ත්වය දන්නා අපේ රටේ දේශපාලකයින් මේ ව්‍යසන අවස්ථාවේත් ඒ මිනිසුන් සමග සෙල්ලම් කරමින් සිටින මොහොතක්. තම බලදේශපාලනයට වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න මේ දූපතේ බොහෝ දේශපාලක කයිවාරුකරුවන්ට හැකියාවක් තියනවා. ඒක කදිමටම පෙන්නපු අවස්ථාවක් තමයි පසුගිය වසරේ පාස්කු දින ප්‍රහාරයේ දී සමහර දේශපාලන ශරිර ක්‍රියාකල ආකාරය. ඒ නිසා, තමයි, මෙතරම් ව්‍යසනයක් රට තුළට පැමිණ සිටින විටත්, කෝටි ගානක් වියදම් කරන මැතිවරණයක් ගැන කතා කරන්නේ. සෑම පැත්තකින්ම මැතිවරණය කල්දාන්න කියලා කියද්දි, ‘නෑ අපිට, ප්‍රශ්ණයක් ඇති නොකර මේ මැතිවරණය කරන්න පුලුවන්’ ‘අපි දිනනවා නේ…’ වැනි මුග්ධ කතා කියමින් සිනාසෙන පාලකයන් ඉදිරියේ පරිප්පුයි, සැමනුයි අඩුවට දෙනවා කිව්වාම කොරෝනා නෙමෙයි, දැනි වෙඩි තියනවා කිව්වත්, කඩේට දුවන්න මිනිසුන් හුරු වෙලා ඉන්නේ ඒ නිසයි. එම නිසා වගකිවයුත්තේ සැමන් පෝලිම්වල ඉන්නා අය නොවේ, සැමන් පෝලිම් නිර්මාණය කල අය ය.

සමාජ මාධ්‍ය තූල පළ වී තිබූ මේ පෝස්ට් එක ඒතරම්ම මේ දූපත ගැන ගොඩක් දේවල් කියවෙනවා.

අනෙක් කරුණ නම්, සාක්ෂරතාවයෙන් ඉහළ යැයි උදම් අනන අපි ඉන්න මේ දූපතේ, වසර 2500කට උරුමකම් කියනවා යැයි කියන මේ ‘ධර්මද්වීපයේ’ ‘ටොයිලට් එක පාවිච්චි කිරීමෙන් පසු වතුර ගසන්න’ යැයි බෝඩ් එකක් අලවා නැති ප්‍රසිද්ධ වැසිකිළියක් නැති තරම් නේද? පුද්ගලික බස් රථ මාර්ගයේ නිතර නතර කර තබනවා යැයි කියන්නට පුලුවන් එක් සාධකයක් වන්නේ, එම බස්රථ නතර කර තබන ස්ථානයේ, මාර්ගය මත ඇති බුලත් කෙළ පහරවල් නොවේද? ඉතින් අපි, මේ වෛරසයෙන් බේරීමේ ප්‍රධනම කරුණ වන චර්යාමය රටාවන් වෙනස්කර ගැනීම ඉතාමත් අමාරු තත්ත්වයකට පත් වෙන්න පුලුවන්. ඒ වගේම, දේශපාලකයන් කියන ඕනෑම දෙයක් ඒ ලෙසින්ම බාර ගන්න පුරුදු උන ජාතියක්. ඒ ගැන කිසි ප්‍රශ්ණ කිරීමක් අපට නැහැ. ඒ තරමටම අපි දේශපාලකයාගේ ‘වසගයන්’ වලට වහල් වී අවසන්. විද්‍යාවට වඩා අවිද්‍යාව, දෙවියන්, බූතයන්, යන්ත්‍ර-මන්ත්‍ර, සුර, කොඩිවින වැනි අන්ධ භාවිතයන් විශ්වාස කරන්න පටන් අරන් අවසන්. නමුත්, අපට කිරීමට ඉතිරිව ඇති ප්‍රදානම දෙය වන්නේ අපි අපේ චර්යාව වෙනස් කර ගැනීමයි. එසේ නොකර මේ කොරෝනා වෛරසයෙන් ගැලවීමට අපට පුලුවන් කමක් ඇත්තේ නැත. එබැවින් සියලු විශ්වාසයන් පසෙකලා, වෛද්‍ය විද්‍යාත්මක උපදෙස් අනුව අප, අපගේ චර්යාවන් වෙනස් කර ගත යුතුමය.

ආගම, දෙවියන් සහ කොරෝනා

කිසියම් ව්‍යවසන අවස්ථාවක තමන්ගේ ආගමේ පිහිට පැතීම සමබන්ධයෙන් කිසිදු ගැටලුවක් කිසිවෙකුටවත් තිබිය යුතු නැහැ. මිනිසුන් එැවැනි දේ කිරීමෙන් යහපතක් සිදුවනවා යැයි ඔවුන් සිතනවා නම් එය ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණය හා සම්බන්ධ දෙයක්. කාට හරි එයින් කිසියම් මානසික සුවයක් ලැබෙනවා නම් එයට කිසිවෙක්ට විරුද්ධ වන්නට බැහැ. නමුත් ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේ. භක්තිකයන් අන්ධයන් මෙන් හැසිරීමයි මෙතැන ඇති ප්‍රධාන ගැටලුව. එසේම භක්තිකයන් මේන්ටේන් කරන, නැතිනම් හසුරුවන පුජ්‍ය, පූජක පක්ෂයත් නරුමයින් මෙන් ක්‍රියා කිරීමයි අනිත් ගැටලුව.

සියලු වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු, දත්ත මත වෛරසය සහ වෛරසය පැතිරීම පිළිබද දැනුවත් කරද්දී, සිය ගණන් කතරගම දේවාලයට ගොස් වැදගන සිටීම තරම් මෝඩකමක්, සිය ගනන් පිරිස් සීතලේ ශ්‍රී පාදය බලා යන විට, ශ්‍රී පාදය වතාවත් කිසි කෙනෙක්ට නතර කරන්න බැහැ යැයි එහි නායක භික්ෂුවක් කියන විට, පළමුව මේ වැනි ලෙස හැසිරෙන භික්ෂුන්ගේ මොළය නිරෝධානයට ලක් කල යුතු යැයි කිසිවෙක් යෝජනා කලහොත් එය වැරදි නැත.

දැන් කලබල වී ෆුඩ් මාර්කට් හිස් කරමින්, පංසල් සහ දේවාල ගානේ රොද බදිමින් යෑම නතර කරමින්, අප කල යුත්තේ අවබෝධයෙන් යුතුව ජීවිත්වීමට සුදුසු උපායමාර්ගික ක්‍රියාමාර්ග ගැනීමයි. නමුත් එය අගම්වාදී නොවී විද්‍යාත්මක විය යුතුයි. ලෝකය මේ මොහොතේත් අපට උගන්වමින් ඇති පාඩම එයයි. විද්‍යාවට පයින් ගසා වන්දනාවේ යන අය කල්පනා කල යුතු වන්නේ දෙවියන්ට කිසිවක් කල නොහැකි බව අද ලෝකය විසින්ම ඔප්පු කරමින් සිටින බවය. එබැවින් දෙවියන් ඔබේ ගෙදර තබා ගන්න. එළියට එනවිට විද්‍යාව සමග එන්න. වෛද්‍ය විද්‍යාත්මක උපදෙස් සමග එන්න. මේ ව්‍යසන මොහොතේදීවත් ජිවත්වන විට, විද්‍යාව, සොබාදහම ගැන හිතන්න. එවිට ඔබත්, මමත් අපවත් මේ ව්‍යසනයෙන් පීඩාවට පත් නොවනු ඇති.

දෙවියන් ගෙදර තුළ තබන්න. වැදගත් වන්නේ අවබෝධයයි

මිලියන 20ක් මිනිසුන් ඇති රටක, එක් නූගත්, මිනිසෙක්ට ඒ මිලියන 20ම අනතුරේ හෙළීමට හැකියාව ඇති බව කොරෝනා වෛරසය විසින් ලොව පුරා කරමින් ඇති ඛේදවාචකයෙන් පෙන්නුම් කරන ප්‍රධානම ලක්ෂණයයි. ලංකාව සම්බන්ධයෙන් ආපසු හැරී බැලු වීට, ලංකාව ඇතුලේ මේ වෛරසය ව්‍යාප්ත වෙන්න හේතු උනේ කලබලකාරී බව, නොසැලකිලිමත්කම, අත්තනෝමතිකත්වය සහ ‘යුද්ධය දිනු අපට ඕනෑම දෙයක් කරන්න පුලුවන්’ යැයි පුන පුනා කියන පුරාජේරු කතාය. ඒ වගේම විදේශ රට වලින් ලංකාවට පැමිණි අය දක්වපු තක්කඩි බව සහ නූගත්කම ය.

අනෙක් පසින් අප තේරුම් ගත යුතු වන්නේ එක දිගට කඩාගෙන දිව්ව ලෝකයට දැන් මදකට නවතින්න කියා කියූ එක් සංඥාවක් ලෙස කොරෝනා වංසගතය තේරුම් ගත යුතු බවයි. ‘ඔක්සිජන් කන්නද’ කියා අහන නරුම දේශපාලකයන් ඉන්න දූපතක, අපට තව තවත් හිතන්න දුන්න අවස්ථාවක් විදිහට මේක තේරුම් ගමු. බලයට කෑදරකමින් මිනිස් ජීවිත නොතකන පාදඩ දේශපාලන අදහස්වලට තව දුරටත් ජිවය නොදීම ස්වසන පද්ධතියක් ඇති මිනිසුන්ගේ මේ මොහොතේ අනෙක් ප්‍රධාන පුරවැසි වගකීමයි. එබැවින් දේශපාලනය, දේශපාලන බලය, විද්‍යාව, සොබාදහම, ආගම වැනි දේ ගැන මේ නිවාඩු කාලයේවත් මදකට නැවතිලා හිතමු!

හබැයි හිතලා විතරක් මදි. හිතලා තීරණයක් ගමු. ක්‍රියාත්මක වෙමු. මේ ව්‍යසනයෙන් මිදීමටත්, ව්‍යසනය අවසන් වූ පසු අපව පීඩාවට පත් කරන මෙන්ම, අපව වසගයට පත්කරන අනිකුත් සියලු දේවල් වලින් සමාජය මුදවා ගන්නා ක්‍රමයක් ගැන. එවිට මේ මහපොළව, මහපොළවේ මිනිසුන් ඇතුලු සියලු සත්වයින් සුවපත් වේවි.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon

උපුටාගත්තේ : විකල්පයෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *