පුවතකට වැඩි යමක්උපුටාගැනීම්

චෞර රැජින ගැන ලියූ වික්ටර් අයිවන් චෞර රජෙක්..

රාවයෙන් මට ලැබෙන්න තිබුණු මුදල් නොදී ඉන්නැයි රාවයේ ‘අයිතිකාරයා’ වෙච්ච වික්ටර් අයිවන් රාවයේ ගිණුම් අංශයට නියෝග කරලා. පහුගිය සතියේ දවසක මුදල් ලබාගන්නට රාවය කාර්යාලයට ගිය මට මුදල් නොදුන්නා විතරක් නෙවෙයි, මාව පොලීසියට කතාකරලා එළියට දාන බවට රාවයේ හිමිකරුවන් වගේ දැන් හැසිරෙන සේවකයෙක් තර්ජනයකුත් කළා. ස්තූතියි රාවය. වික්ටර් අයිවන් මහතාටත් ස්තූතියි.

රාවයෙන් මට ලැබෙන්න තිබුණු මුදල ගැන ඇහුවොත් කෙනෙකුට හිනායන්නට ඉඩ තියෙනවා. වික්ටර් අයිවන් මහතාත් හිතනවා ඇත්තේ ඒ කුඩා මුදලක් කියා වෙන්න ඕනෙ. මොකද ඔහු තමන්ගේ කොලමේ කිහිපවතාවක් ලියලා තිබුණා ඔහුට රාවයෙන් ඉවත් වෙන මොහොතේ ලැබුණේ රුපියල් 65 000ක වගේ සොච්චම් වැටුපක් කියලා. ඒ වගේම දැන් රාවයට සතිපතා පිටුවක් පුරා ලියන ඔහුගේ කොලමට රුපියල් 5000 බැගින් ලැබෙනවා. මාසෙට ලිපි හතරක් ලිව්වොත් රුපියල් 20 000යි. ( මේ ඔහුට ලැබෙන වෙනත් විවිධ මුදල්වලට අමතරව. ඔහු රාවයේ ලියන මේ ලිපිම පොත් විදියට පළ කරනවා. ඉන්පස්සේ ඒ පොත් විකිණීමෙන් ඔහුට දැවැන්ත ආදායමක් ලැබෙනවා. රාවය ප්‍රකාශකයන්ගේ පොත් අතරින් රාවයේ උපරිම අනුග්‍රහය ලැබෙන්නෙ ඔහු ලියන පොත්වලට. )

ඉතින් මට රාවයෙන් ලැබෙන්නට තිබුණේ රුපියල් 15 000ක් පමණයි. ඒක පොඩි මුදලක්. එහෙත් රාවයේ නිදහස් ලේඛිකාවක් ලෙස ලියපු මට මාසිකව ලබන්නට පුළුවන් වුණ වැටුප තිබුණේ මේ රුපියල් 15 000ක සීමාවේ. වික්ටර් අයිවන් මහතා ලිපි හතරෙන් උපයන මුදල රාවයේ ලිපි ගණනාවක් ලියලා මට උපයන්නට නොහැකි වීම ගැන මම මැසිවිලි නඟන්නෙ නැහැ. ඔහුගේ ලිපියට තියෙන වටිනාකම ඒක වෙන්න ඇති. මගේ ලිපි වටින්නේ නැතිව ඇති. එහෙත් මට ලැබිය යුතු සුළු මුදලවත් දෙන්නේ නැත්නම් ඒක මහා නින්දිත වැඩක්.

වික්ටර් අයිවන් මහතා පුනරුද ව්‍යාපාරය ගැන ලියූ ලිපි මාලාවේ ලියලා තියෙන විදියට ඔහුට නුවර ගිහින් එන්නට වාහන කුලිය විතරක් රුපියල් 30 000ක් වැය වුණත් ඒ මුදලින් අඩක් වුණ රුපියල් 15 000ක මුදල අපි මාසයක් කන්න බොන්නට වියදම් කරනවා.

රාවයේ ප්‍රතිපත්තියක් තිබුණා, පත්තරේට පූර්ණකාලීන ලේඛකයෙක් වගේ දායකත්වයක් දෙන නිදහස් ලේඛකයන් ඉන්නවානම් ඔවුන්ගේ ලිපි ගණන අනුව ඔවුන්ට ලැබිය යුතු මුදලෙන් 50%ක් මාසික වැටුපට එකතු කරන්න. ඒ කියන්න මෙම රුපියල් 15 000 ක ලිව්වොත් මට රුපියල් 22 500ක් ලැබෙනවා. එහෙත් රාවයේ අකවුන්ට් සෙක්ෂන් එකෙන් මට ඒ 50% මෙතෙක් කාලයක් එකතු කළේ නැහැ. ඒ ගැන මම නිවැරදිවම දැනගෙන හිටියෙත් නැහැ. ( සරලවම ඒ මගේ මෝඩකම. ඒ ගැන කිසිවෙක්ට දෝෂාරෝපණය කරලා වැඩක් නැහැ. මම මෝඩයෙක් වගේ ඔවුන් දෙන මුදල විශ්වාස කරගෙන හිටියා. ප්‍රශ්ණ කළේ නැහැ. මම හිතන විදියට ලසන්ත, ජනරංජන, ටිරන් ඇතුළු රාවය කර්තෘ මණ්ඩලයේ ප්‍රධානීනුත් මට නිවැරදිව මුදල් ලැබෙනවා ඇති කියලා විශ්වාස කළා. ඒ ගැන මම ප්‍රශ්ණ නොකළ නිසා. )

මේ අසාධාරණය රාවයේ ඉඳුනිල් උස්ගොඩආරච්චිටත් වුණා. මේ වෙද්දී ඉඳුනිල්ට ඒ 50% එකතුකරන්න පටන් අරගෙන. ( රාවයේ කට්ටිය නාය යද්දී ඉන්න අයව පරෙස්සම් කරගැනීමේ වැදගත්කමවත් තේරුම් ගැනීම අඩුම තරමේ මේ වෙලාවේ රාවයට හොඳයි. )

නිදහස් ලේකඛයෙක් විදියට මම අන්තිමට වැඩ කරපු ජනවාරි මාසයට මට ලැබිය යුතු මුදල රුපියල් 13 500යි. ( 50% ලැබුණානම් 20 250යි ) උත්සව අත්තිකාරම් වගේ මගෙන් අයවෙන්න ඕනෙ දේවල් කැපීගියාම මට එතැනින් ලැබෙන්නේ රුපියල් 600ක් විතර. දැන් වික්ටර් අයිවන් මහතා මට නොදී ඉන්න තීරණය කරලා තියෙන්නේ අවසාන සති 6ක් තිස්සේ මම රාවය වෙබ් අඩවියට ලිපි උඩුගත කිරීමෙන් ලැබිය යුතුව තිබුණු මුදල්.

රාවයේ වෙබ් අඩවිය කලින් පවත්වාගෙන ගිය කෙනාට සතියකට රුපියල් 2500 බැගින් ලැබුණා. අපි රාවයේ වෙබ් අඩවිය අපේ පාලනයට ගන්න තීරණය කළේ වෙබ් අඩවියේ වෙනස්කම් රැසක් ගැන ජනරංජන මහතාට තිබුණු සැලසුම් නිසා. ඒ අනුව වෙබ් අඩවිය මම ස්වෙච්ඡාවෙන් බාරගත්තා. ඒ අමතර මුදලක් ලැබෙන නිසා. ඒ අනුව සතියකට වෙබ් අඩවිය වෙනුවෙන් රුපියල් 2500ක් ලැබෙන්න ඕන. මම වැඩේ බාරගත්තේ ඒ මුදල ගැන එකඟතාවයෙන්. මම සති හයක් වැඩ කරගෙන ගියා. රාවයේ ප්‍රශ්ණය ඇතිවුණේ ඒ අතරේ. මම ඉවත්වුණා. මම වැඩකරපු සති හය වෙනුවෙන් රුපියල් 15 000ක් ලැබෙන්න ඕනේ.

එහෙත් ගිය සතියේ රාවයට ගිය මට අකවුන්ට් සෙක්ෂන් එක කියනවා වෙබ් අඩවිය මම උඩුගත කළ බවට සාක්ෂි නැහැ. ඒ නිසා මුදල් දෙන්න බැහැ කියලා. මේක මාර කතාවක්. වෙබ් අඩවිය මෙතෙක් උඩුගත කරපු ලේඛකයාට පහුගිය සතිහයේ මුදල් යවලා නැහැ. ඒ කියන්නේ කලින් කෙනා වැඩේ නවත්වපු බව එයාලා දන්නවා. වෙබ් අඩවිය උඩුගත වුණ බවත් දන්නවා. හැබැයි පහුගිය සති හයේ වැඩේ කළේ කවුද කියලා දන්නෙ නැහැ.

මේ ගැන කතාකිරීමෙන් පස්සේ අන්තිමේදී වික්ටර් අයිවන් මහතාගෙන් මේ ගැන අහලා. වික්ටර් අයිවන් මහත්තයා කියලා සතියකට රුපියල් 1000 ගාණේ රුපියල් 6000ක් මට දෙන්න කියලා. ඒ කියන්නේ එක් මුදලක් පොරොන්දු වෙලා මගෙන් වැඩ අරගෙන, ඒ මුදලින් භාගයකටත් අඩු මුදලක් මට දෙන්න තීරණය කරලා.

ඇත්තටම පත්තරයකින් නිදහස් ලේඛකයන්ට පොලු තිබ්බොත් නීතිමය වශයෙන් පියවරක් ගන්න වුණත් පසුබිමක් නැහැ. අපි කිසිම ගිවිසුමකින් ආයතන එක්ක බැඳිලා නැහැ. මේ ලංකාවේ අපි වගේ ගොඩක් මාධ්‍යවේදින්ව සූරාකෑමට ලක්වෙන කාරණයක්. ( රාවයේ ඇතුළුව ලංකාවේ විවිධ පත්තරවල වැඩ කරන නිදහස් ලේඛකයන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්. )

මම රාවයේ වැඩකරපු කාලසීමාව ඇතුලෙ අනෙක් ඕනෙම පූර්ණකාලීන ලේඛකයෙක් තරම් රාවයට ලියලා තියෙනවා. සංඛ්‍යාත්මකව ගත්තොත් අනෙක් අයටත් වඩා මම ලිව්වා. මගේ අත්දැකීම්වල ප්‍රමාණයට මම හැකි උපරිමය කරලා තියෙනවා. ඇත්තටම ඒ වෙනුවෙන් ලැබෙන්න ඕනෙ මුදලින් 3/1 ක් මට ලැබිලා නැහැ. ඉතින් අවසානයේදි පැහැදිළි කාරණේ තමයි මම රාවයට ණය නැහැ. රාවය මට ණයයි. අතේ සල්ලි නැතත් ඒ සැහැල්ලුව මට ඉතිරිවෙනවා.

ගෙදරක කුලී වැඩට එන මනුස්සයෙක්ට වැඩේට කලින් එක මුදලක් දෙන බව පොරොන්දු වෙලා, හවසට ඒ මුදල නොදී ඉන්නවා වගේ නින්දිත වැඩක් රාවය මට අන්තිම මොහොතේත් කළා. විහිළු සහගත කාරණය තමයි මට රුපියල් 15 000ක් නොදී කුප්ප කතා කියන රාවය සහ වික්ටර් අයිවන් මහත්තයා රාවය සහයෝගීතාවය වෙනුවෙන් මුදල් යටකරපු අයගේ මිලියන ගණන් මුදල් ආපහු දෙන්න පොරොන්දු වීම.

මේ වෙද්දී රාවය ගරන්ටි ලිමිටඩ් ආයතනය කොටස් හිමියන්ටත් හොරෙන්ම රාවය ප්‍රයිවෙට් ලිමිටඩ් කරලා හෝ කරමින් සිටිනවා. ( ලෙටර්හෙඩ් මම දැක්කා. ) සහයෝගීතාවයට දුන්න මිලියණ ගණණක් තබා මගේ රුපියල් 15 000වත් නොදී පොලු තිබ්බ වික්ටර් අයිවන් මහත්තයා රාවය ප්‍රයිවෙට් ලිමිටඩ් විකුණලා, මේ ආයතනය විනාශ කරන්න උදව් කරපු හෙංචයියො එක්ක දේපල බෙදාගන්න සැලසුම් කරන බවයි දැන් පෙනෙන්නේ. ඒ ගැන කණගාටුයි. රාවයේ පුංචි කාලයක් හිටියත් ඒ ගැන කේන්තියි. මේ තරම් දැවැන්ත ප්‍රතිරූප ඇතුලේ මේ තරම් පුංචි මිනිස්සු ඉන්න බවට තේරුම් ගැනීම ගැන සන්තෝසයි.

– රේඛා නිලුක්ෂි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *