විශේෂාංගකවි

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි…..

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස
ඉද්ද පනා මල් කැන් පිපිලා
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ල ද //
නැද්ද කනෙයියෙනි රොන් හැදිලා

බැද්දට මල් වරුසාවක් වැහැලද
නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද …//

පාර වටේ ඇති සේරම ගස්
සරු සාර හැඩයි ගෙඩි හට ගැනිලා
ගෙඩි හට ගැනිලා
පේර දිවුල් පලු වීර ඉදී එන
වාරෙ වගෙයි මේ පැනි පිරිලා

බැද්දට පැනි වරුසාවක් වැහැලද
ගස් වල ගෙඩි පැනි වැස්සට තෙමිලද …//

රෑන ගිරා සැළලිහිණි කුරුල්ලන්
සීනු හඬින් රස ගී ගයලා
රස ගී ගයලා

තාන තනා තම් දාන කියා
එළිමාන වටේ කැරකේ නටලා

බැද්දට ගී වරුසාවක් වැහැලද
ගී පොද මේ හොට අස්සට පෙරිලද …//

හඩ……අමිතා වැදිසිංහ
පියසිරි විජේරත්න
පද……..හෙන්රි තෙන්නකෝන්
ස්වර….පියසිරි විජේරත්න

මුල් හඩ….පියසිරි විජේරත්න සහ රංජනී පොල්ගම්පොල

ගමට යන්න පාර කියා දුන් ගී හඬ

මල් නංගියේ මල් විකුණන කතරගම
මේ සුදු නෙළුම මත පැන් පොද ඉහිණු කිම
දුක් කඳුළින් නඟේ දෙනෙතෙහි එකතු වුණු
දෝවාපන් එමල බුදු හිමි පුදමි මම

මා ඉහත දැක්වූයේ ආචාර්ය ඩබ්. ඒ. අබේසිංහ ගේ ගී සංකල්පනා රැගත් ‘තිසර ලතා’ ගී එකතුවේ එන ගීයක අර්ධයක්. එය ගායනා කරන්නේ සිංහල ගීතාවලියේ අතිශය පෞරුෂ සම්පන්න හඬක් හිමිව සිටි පියසිරි විජේරත්න. (ගී තැටියේ ඔහුගේ නම පියසිරි විජේනායක ලෙස වැරදියට මුද්‍රණය කර තිබීම කනගාටුදායකයි.)

අපට සාමාන්‍යයෙන් පියසිරි මතක, සිංහල අවුරුදු කාලෙට විතරක් ගුවන් විදුලියෙන් ඇසෙන ‘බැද්ද පුරා සුදු රෙද්ද’ ගීතයේ ගායකයා වශයෙන්.

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද
ඉද්ද පනා මල් කැන් පිපිලා
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ල ද
නැද්ද කනෙයියෙනි රොන් ඇදිලා

මේ ගීතයට සහාය ගායනයෙන් එක්වුනේ රංජනි පොල්ගම්පළ. මේ ගීතය පියසිරි ගුරු වෘත්තියෙහි යෙදී සිටියදී (ඉංගිරිය ගාමිණි විදුහලේ) විවිධ ප්‍රසංගයකට නිර්මාණය වූවක් බව මා අසා තිබෙනවා. පසු කලෙක ඔහු මේ ගීතය අමිතා වැදිසිංහත් එක්කත් ගායනා කළා.

මා නිවැරදි නම් මේ ගීය ලිව්වේ විකට කතාංග රචකයකු ලෙස ප්‍රකටව හිටපු හෙන්රි තෙන්නකෝන්. (ඉස්සර ‘ලංකාදීප’ පත්තරේට ‘පොඩි එකාගේ ලියුම’ ලිව්වේ ඔහු)

මේ ගීතය එක්තරා ගුවන්විදුලි වැඩසටහනකට වාදනය කිරීම සඳහා සොයා ගත්තේ අමාරුවෙන් බවත් ඒ වනවිට ද එය හොඳ තත්ත්වයේ නොතිබුණු බවත්, එම වැඩසටහන ඉදිරිපත් කළ කරුණාරත්න අමරසිංහයන් කියා තිබෙනවා. ඉහත ගීතය විතරක් නෙමෙයි පියසිරි තවත් ගී කීපයක්ම ගායනා කර තිබෙනවා. ‘හෙමින් සැරේ’, ‘ඔබෙ මුහුණ පුරා දිලි සීදෙවිකම’, ‘සදළු තලේ’, ‘රටක් වටින කොමල සිනාවෙන්’ වැනි ගීත ඊට නිදසුන්.

‘මහියංගණේ රන් කොත වාසනාවන්’

මා පෞද්ගලිකව විශ්වාස කරන විදියට පියසිරි ගේ විශිෂ්ටතම ගීතය ඒක. එය ඇතුළත් වුනේ ආචාර්ය තිස්ස අබේසේකරගේ ‘මහවැලි සිහිනය’ ටෙලිනාට්‍යයේ.

පියසිරි විජේරත්න වචනයේ පරිසමාප්ත අරුතින්ම ගැමියෙක්. ඔහුගේ ගම හොරණ මිල්ලෑව. ගැමි ජන කවියා සතු පෞරුෂ සම්පන්න හඬ ඔහුට ද නොමදව පිහිටා තිබුණා.

පියසිරි තවත් ප්‍රකට සංගීතඥයකු හා චිත්‍ර ශිල්පියකු වූ බී. එස්. විජේරත්න ගේ සොහොයුරෙක්. සොහොයුරා උත්තර භාරතීය රාගධාරී සංගීත සම්ප්‍රදායට යොමු වෙද්දි පියසිරි දේශීය සංගීතයට – දේශීය නාද රටාවන්ට හැරුණා. උගතුන් අතර නැති රුචිකත්වයක්, චාම් බවක් ගැමි ජීවිතයේ ඇති බව වරක් මාර්ටින් වික්‍රමසිංහයන් කියා තිබුණා. ඒ රුචිකත්වයත් චාම් බවත් අපට පියසිරි තුළ දකින්න පුළුවන්.

සමහරු ජන ගී ගායනා කරන්නේ ඉන්දීය ආභාෂයෙන් යුතු ස්වරයකින් බව සංගීත විචාරකයන් චෝදනාත්මකව පෙන්වා දෙනවා. ජන සංගීත පර්යේෂණවේදියකු වූ සී. ද එස්. කුලතිලක වරක් කියූ දෙයක් මෙපරිදියි.

“භාරතීය ශාස්ත්‍රීය ගායනය පුහුණු වන්නේ තාම්පුරා භාණ්ඩයට. වසර කීපයක්ම මෙයට පුහුණු වුනාම තාම්පුරාව නැතුව වුවද ගයන විට තාම්පුරාවේ හඬ අනුකරණය කරන්ට යෑමෙන් සමහරුන්ට ……. ස්වරූපයක් එනවා.”

මේ ලක්ෂණය පියසිරිගේ හ‍ඬේ තිබුණෙ නැහැ. එහි දක්නට ලැබුණෙ ගැමියන්ගේ අඩහැරය.

පියසිරි පණ්ඩිත් අමරදේවයන් ගේ ගෝලයෙක්. ඔහු කලක් අමරදේවයන් යටතේ ශිල්ප හැදෑරුවා. රෝහිත විජේසූරිය, රවිලාල් විමලධර්ම, රෝහණ බැද්දගේ මොහුගේ සමකාලීන සිසුන්. අමරදේවයන්ගෙන් විතරක් නෙමෙයි පියසිරි ආනන්ද සමරකෝන් හා සුනිල් සාන්තයන් ගෙන්ද නොමඳ නිර්මාණ අභ්‍යාසයක් ලබා ඇති බව පැහැදිලිව පේනවා.

පියසිරි ඉතාම නිර්ව්‍යාජ කලාකරුවෙක්. ඔහු හරියට මහගමසේකර වගෙයි. කොළඹ ඉඳන් ගෙදර ඇවිත් කලිසම ගලවල අමුඩය ඇදගෙන ළිඳකින් හරි පීල්ලකින් හරි නාගන්න පුළුවන්කම සේකරට තිබුණා. පියසිරි කිසිදාක ජනප්‍රියත්වය, කීර්තිය පසුපස්සේ ගියේ නැහැ.

පියසිරි 1980 ගණන්වල ළමා ගී පොතක් ලියා පළ කළා. ඒ ‘මකුළු දැලට පිනි වැටිලා’ යන නමින්. එහි ආ සියලු ගීතවල පදමාලා මෙන්ම ස්වර රචනා ද ඔහුගෙයි. පොතට අර්ථාන්විත පෙරවදනක් ලිව්වේ මහාචාර්ය හේමපාල ජයවර්ධන. මේ පොතේ එන හැම ගීතයක් සඳහාම ළමා මනසට ගෝචර වන තේමාවක් තෝරාගෙන තිබීම මෙම ගී සංග්‍රහයේ කැපී පෙනෙන ලක්ෂණයක් බව මහාචාර්ය විජයවර්ධන සටහන් කර තිබෙනවා.

මට පියසිරි පෞද්ගලිකව හඳුනාගන්නට ලැබුණේ ඉහත සඳහන් ගී හත හේතුවෙන්. පොතේ ප්‍රකාශකයා වන පියසේන වික්‍රමගේ වරක් මට පියසිරි හඳුන්වා දුන්නා. මම ළමා ගීත කලාව මාතෘකා කරගෙන පියසිරි සමඟ සම්මුඛ සාකච්ඡාවක් කළා. ඒ ඇසුරෙන් සැකසුණු ලිපිය ‘පෙරමඟ’ සඟරාවේ 1988 ජුලි කලාපයේ පළවුණු බවත් මෙහිලා කිව යුතුයි.

ළමා ගීතයකින් විය යුත්තේ ළමා සිත් හි සෞන්දර්යාත්මක හැඟීම් පුබුදුවා ලීම බව පියසිරි පූර්වෝක්ත ලිපියෙහිලා කියා සිටියා. පහත එන්නේ ඔහුගේ ප්‍රකාශයක්.

“එසේ හැරුණුකොට ඔවුන් තුළ කිසියම් ආධ්‍යාත්මික ගුණ වගාවක් ඇතිකරලන්නේ නම් වඩාත් මැනවි. ළමා ගීතයෙන් කුඩා දරුවන් සුරංගනා ලෝකවල අතරමං කළ යුතු නෑ. එහෙත් ඇතැම් සුරංගනා කතා තුළින් අපට පුළුවන් ළමා සිත් තුළ සෞන්දර්යාත්මක හැඟීම් පුබුදුකොට ආධ්‍යාත්මික ගුණ වගාව පවා ඇතිකරලන්ට.”

පියසිරි විජේරත්න 2004 වසරේ අපෙන් සමුගත්තා. ඔහුගේ ළබැඳී මිතුරකු වන ආචාර්ය තිස්ස අබේසේකර පියසිරි ගැන ‘සිළුමිණ’ ට අනුස්මරණ ලිපියක් ලිව්වා මට මතකයි. පරම්පරා තුනකට උඩදි ගමෙන් සිදාදියට අවුත් ඒ ගමට යන පාර අමතක වූ බොහෝ දෙනකුට ඒ අමතක වුණු පාර කියා දුන්නේ පියසිරි ගේ කටහඬ බව ඔහු එහිදි කියා තිබුණා.

සිංහල ගීතය FB පිටුවෙන්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *