විශේෂාංගඋපුටාගැනීම්

ගාමිණී නවරත්න: යුක්තිකාමී සිංහලයකුගේ අනභිනන්දිත චරිතාපදානය

ක්තෝබර් විප්ලවයේ ශත සංවත්සරය සමරමින් ලන්ඩනයේ ‘ගාඩියන්’ පත්‍රය විසින් පසුගිය අවුරුද්දේ පළකරන ලද ලිපියක, සියවසකට පෙර ඒ තීරණාත්මක ඉතිහාස කාල පරිච්ඡේදයේ ජීවත් වූ මිනිසුන් සහ අපේ සමකාලීනයන් අතර තීරක වෙනසක් පෙන්වා දෙන පෝල් මේසන් මෙසේ ලියයි: රුසියානු විප්ලවය පිළිබඳ “පර්යේෂකයන් විසින් මෑතදී අනාවරණය කරගන්නා ලද වාචික විස්තරයන් සහ මතක සටහන් කියැවීමේදී මාගේ සිතට කා වදින්නේ, සාමාන්‍ය මිනිසුන් කොයිතරම් ඉතිහාසය පිළිබඳ දැනුවත්ව සිටියාද යන්න ය.” ශත වර්ෂයකින් පසු අපේ පරිහානියට මුල් වන්නේ අපේ මුග්ධභාවය විය හැකි බව ඔහු කියයි.

ඉතිහාස සාක්ෂරතාවය සඳහා වන සටන අපේ යුගයේ අතිමහත් වැදගත්කමක් උසුළන්නේ එබැවිනි.

මාක් සකර්බර්ග්ගේ අනුග්‍රහයෙන් තමන්ගේ ආත්ම රාගී ඉතිහාස වීර කාව්‍ය තමන් විසින්ම ලියාගන්නා මිනිසුන් ගහණ අසාර යුගයක, විකිපීඩියා පිටුවලින් එළියේද මිනිසුන් ජීවත් වී සටන් කොට මියගිය බව කියාදිය හැක්කේ එමගිනි.

මේ සටහන ලියන්නේ එවැනි අභිනන්දනයට පාත්‍ර නොවූවන්ගේ ඉතිහාස පරිච්ඡේදයන්ට අයත් මිනිසකු ගැන ය; සිංහලයකු ගැන ය.

ඒ සිංහලයා ගාමිණී නවරත්න ය.

සැටර්ඩේ රිවීව්

යාපනයේ ප්‍රකට නීතිඥයෙකු වූ කන්දයියා කන්දසාමිගේ පුරෝගාමී දායකත්වයෙන් ‘සැටර්ඩේ රිවීව්’ පත්‍රය පටන් ගත්තේ 1982 ජනවාරි මාසයේ 30 වැනිදා ය. ඒ, දැන් කවුරුත් දන්නා යාපනයේ ‘උදයන්’ පත්‍රය පටන්ගන්නටත් තුන් අවුරුද්දකට කලිනි. බේරේ ගෙදරින් පළ කළ ‘ඩේලි නිවුස්’ පත්‍රයට 1953දී එක් වී, පසුව ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ හා ‘ඩේලි මිරර්’ පුවත්පත් කර්තෘ මණ්ඩලවල සේවය කළ කීර්තිමත් පත්‍රකලාවේදියකු වූ සුබ්‍රමනියම් සිවනායගම්, යාපනය පුස්තකාලය ගිනිබත් කොට හය මාසයක් ඇවෑමෙන් කොළඹ සැළැස්ම (Colombo Plan) කාර්යාලයේ කරමින් සිටි ස්ථිර රැකියාව අතහැර දමා යාපනයට ගියේ ‘සැටර්ඩේ රිවීව්’ පත්‍රයේ කර්තෘකම භාර ගන්නට ය. ‘ඉංග්‍රීසි පත්‍ර කලාවේ බී ඒ සිරිවර්ධන’ යැයි අජිත් සමරනායක වරක් ලියුවේ ඒ සිවනායගම් ගැන ය. ඒ වනාහි සිවනායගම් විසින් ‘සැටර්ඩේ රිවීව්’ පත්‍රය සඳහා ලියන ලද දීප්තිමත් කතුවැකිවල තියුණු උත්ප්‍රාසවත් ප්‍රහාරාත්මක ලේඛණ කෞෂල්‍යය පසසමිනි.

සුබ්‍රමනියම් සිවනායගම්

හමුදා වාඩිලා ගත් පරිවාරයේ නගරයක අතු ඉති ලා වැඩෙන රාජ්‍ය ත්‍රස්තවාදයට යටත් නොවී කොළඹ ආණ්ඩුවට සමාදාන රහිතව අභියෝග කරන මාධ්‍ය සම්ප්‍රදායකට මුලපිරූ පුරෝගාමී කාර්යභාරයක් ‘සැටර්ඩේ රිවීව්’ පත්‍රය විසින් ඉෂ්ට කළේය. සෑම සතියකම සිකුරාදා සවස 4 වනවිට සාන්ත ජෝසප් කතෝලික මුද්‍රණාලයේ සිට ගෙන එන පත්‍රය මිල දී ගන්නට යාපනයේ හතරවැනි හරස් වීදියේ ‘සැටර්ඩේ රිවීව්’ කාර්යාලය අසළ ජනයා රැක සිටියේ ඒ නිසා ය.

නමුත් අවුරුද්දකට වඩා ‘සැටර්ඩේ රිවීව්’  පත්‍රය දුවන්නට ජේ ආර් ජයවර්ධන ඉඩ නොදුන්නේ ය. ජයවර්ධන ආණ්ඩුව විසින් යාපනයේ බයිසිකල් භාවිතය තහනම් කිරීම සළකා බැලීම ගැන තියුණු පරිහාසාත්මක කතුවැකියක් සමග 1983 ජූනි 25 වැනි සෙනසුරාදා ‘සැටර්ඩේ රිවීව්’ පත්‍රය එළිදුටුවේය. දෙමළ විරෝධී කළු ජූලිය පුපුරා යන්නට ඉතිරිව තිබුණේ තවත් සුමාන තුනකි. ජූලි 01 වැනිදා, ජයවර්ධන ආණ්ඩුව ‘සැටර්ඩේ රිවීව්’ පත්‍රයට සීල් තැබුවේය. ප්‍රකාශයක් ගැනීම පිණිස වහාම රහස් පොලිසියේ කුප්‍රකට හතරවැනි තට්ටුවට වාර්තා කරන්නැයි ලැබුණු නියෝගයේ සැඟවුණු අරුත වටහාගත් සිවනායගම් බෝට්ටුවක නැගී මදුරාසියේ විප්‍රවාසයට පලා ගියේය. සැටර්ඩේ රිවීව් පත්‍රය තාවකාලික නිෂ්ශබ්දතාවයක ගිල්වා දැමිණ.

කොළඹ සිංහල හා ඉංග්‍රීසි පත්තර බහුතරය, චිත්ත ප්‍රීතියෙන් මුනිවත රැක්කාහ. ‘සැටර්ඩේ රිවීව්’ වසා දැමීමෙන් අමන්දානන්දයට පත්, ‘සන්’ පත්‍රය සිය වර්ගවාදී නීච සන්තුෂ්ටිය පළ කරනු වස්  කාටූනයක් පවා පළ කොට සතුට බෙදාගත්තේ ය.

එහෙත් ආණ්ඩුවේ මුද්‍රා තැබීමට විරුද්ධව ‘සැටර්ඩේ රිවීව්’ පත්‍රය වෙනුවෙන් නීතීඥ සෝමසුන්දරම් නඩේසන් ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවට ගියේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කළ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීම පදනම් කොටගත් පෙත්සම් දෙකක් ගොනු කරමිනි.

එයින් පළමුවැන්න ගොනු කර තිබූ අට දෙනාගෙන් අයෙක් වූයේ ගාමිණී නවරත්න ය.

දුට්ඨ ගාමිණීගේ සිට ‘සැටර්ඩේ රිවීව්’ ගාමිණී දක්වා

දෙමළ ජනයා වැඩියෙන් දන්නා මුත් සිංහලයන් අඩුවෙන් දන්නා ගාමිණී නවරත්න හා ‘සැටර්ඩේ රිවීව්’ සම්බන්ධයට අදාළ වැදගත්ම පරිච්ඡේදය පටන්ගන්නේ 1984 අවුරුද්දෙනි. නමුත් සුබ්‍රමනියම් සිවනායගම් සහ ගාමිණී නවරත්න අතර දැන හැඳුනුම්කමට ඊට වඩා දිගු ඉතිහාසයක් තිබුණි. ඒ මිතුරු සන්ථවයට අඩිතාලම වැටුණේ  1964දී, ටයිම්ස් ආයතනය විසින් පළ කළ ‘ඩේලි මිරර්’ පත්‍රයේ කතු මඩුල්ලේ ඔවුන් දෙදෙනාම එකට වැඩ කරන්නට පටන්ගත් කාලයේ ය. නමුත් ගාමිණීගේ පත්‍රකලා දිවිය ඊටත් පැරණි එකකි.

ලන්ඩන් සරසවියේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිය සමත්ව, කොළඹ ටයිම්ස් ආයතනයෙන් පළ කළ ‘මෝනින්ග් ටයිම්ස්’ පත්‍රයට 1954 දී උප කර්තෘවරයෙක් වශයෙන් බැඳෙන විට ගාමිණී නවරත්න විසි දෙවැනි වියේ තරුණයකුව සිටියේය. එම ආයතනය විසින්ම පළ කළ ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’, ‘සන්ඩේ ටයිම්ස්’ හා ‘ඩේලි මිරර්’ කර්තෘ මණ්ඩලවල ද වැඩ කළ ගාමිණී, පසුව ‘ඩේලි මිරර්’ පත්‍රයේ ප්‍රධාන උප කර්තෘ ධූරයෙහි කටයුතු කළේය. 1964දී ස්වාධීන පුවත්පත් ආයතනය විසින් ආරම්භ කළ ‘සන්’ පත්‍රයේ පළමුවැනි ප්‍රධාන උප කර්තෘවරයා වූයේ ද ගාමිණී ය. ‘සඳෙස’ නමින් තමන්ගේම ප්‍රවෘත්ති ඒජන්සියක් ආරම්භ කිරීමට 1965දී ‘සන්’ පත්‍රයෙන් ඉල්ලා අස් වූ හෙතෙම,  ලන්ඩනයේ ෆ්ලීට් වීදියේ සිට ක්‍රියාත්මක විකල්ප ප්‍රවෘත්ති ඒජන්සියක් වූ ජෙමිනි පුවත් සේවාවේ කොළඹ වාර්තාකරු ලෙස ද 70′ දශකයේ සිට අඩුම වශයෙන් දශක දෙක හමාරක් වැඩ කළේය. ‘බැන්කොක් පෝස්ට්’, ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ ඇතුළු ප්‍රකාශන ගණනාවක් කොළඹ සිට ඔහු විසින් යවන ලද වාර්තාවන්ගෙන් යැපුණි.

ජේ ආර් ජයවර්ධන

1981දී කොළඹ සුරක්‍ෂිත වෘත්තීය ජීවිතයට පිටු පා යාපනයට ගොස් පත්තරයක් කරන්නට තීරණය කළ සිය මිතුරු සිවනායගම්ට ගාමිණී මෙසේ ලියා යැව්වේය:

‘ඔබ ඔතැන ඉන්නා නිසාම, ඒ නිසා පමණක්ම, ‘සැටර්ඩේ රිවීව්’ පවත්වාගෙන යාමට අවශ්‍ය ඕනෑම දෙයක් මම කරමි. යාපනයට මගේ භෞතික සහභාගීත්වය ඕනෑ කරන ඕනෑම වෙලාවක මම එහි පැමිණ සහාය දෙමි.” 

නමුත් වෘත්තීය මිත්‍රත්වය හා සහෝදරත්වය විසින් කුළු ගැන්වූ ඒ වචන යථාර්ථයේදී කොයිතරම් දුරදිග යා හැකිදැයි ගාමිණී පවා නොදැන සිටියාට සැක නැත.

දවස් 232ක් ජේ ආර්ගේ වාරණ කුරුසියේ ගතකළ ‘සැටර්ඩේ රිවීව්’ යළිත් පටන්ගත්තේ 1984 පෙබරවාරියේදී ය.  ඒ, ලංකාවේ කිසිදු පත්තරයකට බල නොපෑ නමුත් ‘සැටර්ඩේ රිවීව්’ විෂයෙහි පමණක් බල පැවැත් වූ විශේෂ වාරණ නියෝගවලට අනුව සෑම කලාපයක්ම පළකිරීමට ප්‍රථමයෙන් යාපනයේ රජයේ ඒජන්තවරයාට පෙන්වා අනුමැතිය ගැනීමේ කොන්දේසියට යටත්ව ය.  1982 ජනවාරියේ පටන්ම ‘සැටර්ඩේ රිවීව්’ පත්‍රයට කොළඹ දේශපාලන හා ආර්ථික වාර්තාකරු වශයෙන් දායක වූ ගාමිණී නවරත්න, හත් මසක තහනමින් පසු ඒ පෙබරවාරියේ දී මරණයෙන් උත්ථානය වූ ‘සැටර්ඩේ රිවීව්’ පත්‍රයේ කර්තෘ ධූරය භාරගන්නට සිය කළණ මිතුරා වූ සිවනායගම් නැති යාපනයට ගියේය.

බාටා සෙරෙප්පු පය ලාගෙන, යාපනයේ හරස් මං ඔස්සේ සැඟව යමින් දිග්ගැසුණු ගරිල්ලා යුද්ධයකට මුල පිරූ අවිගත් දෙමළ තරුණයන් ද, සන්නාහ සන්නද්ධ රථ පෙරටුකොට උතුරේ ගම් නියම් ගම් අල්ලා වාඩි ලා ගත් රජයේ ත්‍රිවිධ හමුදා බලඇණි ද පූර්ණ යුද්ධයකට අවතීර්ණ වූ සමයක දෙමළ ජනයා මුහුණ දී ගත් දෛනික ජීවන ව්‍යසනයේ තතු සතිපතා බාහිර ලෝකයට හෙළි කිරීමේ වගකීම දකුණෙන් ගිය පනස් දෙහැවිරිදි සිංහලයෙක් සිය උර මතට ගත්තේ ඒ පෙබරවාරි මාසයේ 18 වැනිදා ය. සතියක් ඇතුළත පළමු කලාපය සහමුලින්ම විකිණී හමාර විය.

දුට්ඨ ගාමිණීගේ පටන් ගාමිණී දිසානායක දක්වා ගාමිණීවරුන්ගේ මහත් වූ වික්‍රමයන් දැන සිටි දෙමළ ජනයාට වෙනස් ගාමිණී කෙනෙක් දැන හඳුනාගන්නට ලැබුණේ ‘සැටර්ඩේ රිවීව්’ පත්‍රය නිසා ය.

තුන් මාසයකට වඩා දුර දිග නොයන වගකීමකැයි සිතා පත්‍රයේ කර්තෘ ධූරය භාරගත් ගාමිණී, පුරා සිව් සාළිස් මසක් ‘සැටර්ඩේ රිවීව්’ බර ඇද්දේ ය. ඒ, වරින් වර පැනවෙන ඇඳිරි නීතිය හා හමුදා සෝදිසි මුරපොළවල් නොතකා සතියක් පාසාම වාගේ කොළඹ සිට කිලෝ මීටර් 430ක දුර ගෙවා යාපනයට යමිනි. පත්‍රය මුද්‍රණයෙන් පළකරන්නට දෙදිනක් නිදි වරා වෙහෙසුණු ඔහු ඉක්බිති කොළඹ යන දුම්රියට නැඟ හය හත් හෝරාවක්  නිදාගත්තේය. දුම්රිය ගමනාගමනය ඇණ හිටියාට පසු ඔහු ඇතැම් විටක හමුදා සෝදිසිය පිණිස දහ පහළොස් පොළකින් බසිමින් උතුරට ගියේය. 1984 අවුරුද්දේ පමණක්, 33 වතාවක් යාපනයට ගිය හෙතෙම, පත්තර රස්සාව පැත්තෙන් බැලූ කල ලෝකයේ එකම ‘දුවන කර්තෘ’ තමන් විය හැකි යැයි උපහාසයෙන් ලීවේය.

පාපිෂ්ට බොරු

ආණ්ඩුව විසින් වරක් සීල් තබා තහනම් කළ, රජයේ හමුදාවන්ගේ වෛරයට පාත්‍ර වූ  ‘ඊළම්වාදීන්ගේ සහ කොටින්ගේ පත්‍රයක්’ යැයි හංවඩු වැදුණු ප්‍රකාශනයක කර්තෘ ධූරය අවදානම් සමයක භාරගන්නට සිංහල බෞද්ධයකු වූ ගාමිණී නවරත්නට ඇරයුම් කළේ මක් නිසාදැයි පැහැදිලි කරමින්, සිවනායගම් පසු කලෙක මෙසේ ලීවේ ය:

“ඒ වනාහී දිවයිනේ ඉතිහාසයේ සිංහල – දෙමළ සබඳතා සහමුලින් බිඳ වැටුණු පශ්චාත් 1983 වකවානුව විය. එම නිසා ගාමිණීට කර්තෘධූරය පැවරීම වූ කලී දෙපාර්ශ්වයේම අන්‍යෝන්‍ය ප්‍රගල්භතාවත්, ධෛර්යයත්, විශ්වාසයත් සුරක්‍ෂා කිරීම ඉල්ලා සිටි ක්‍රියාමාර්ගයක් විය. ගාමිණී ද අයත් වූ කොළඹ මාධ්‍ය ලෝකය විසින් කළවම් කර දුන් දෙමළ ජනයාට එරෙහි එදිරිවාදී හැඟීමෙන් කැකෑරෙමින් තිබුණු ඔහු වටා වූ භෞතික හා මානසික වටපිටාවෙන් පිටතට යාමටත්, මෙම තනතුර භාරගැනීමටත්, පිටස්තරභාවය පිළිබඳ අල්ප මාත්‍ර හැඟීමකින් තොරව, හමුදාකරණය වූ කලාපයක තනි සිංහලයෙකු වශයෙන් ජීවත්වීමටත් හැකි වීම ගාමිණීගේ විජයග්‍රහණයයි.”

රැළි ගසන සිංහල බෞද්ධ වර්ගවාදයේත්, දෙමළ ගම් බිම් යටත් කොට මර්දන බලය පතුරුවාලූ රාජ්‍ය මිලිටරිවාදයේත් සම්මුති විරහිත පිළිමලෙකු වශයෙන් ඒ නිහීන අධිපතිවාදයේ කැත ලෝකයාට කියන්නට සිංහලයෙක් වූ ගාමිණී කිසිවිටක නොපැකිලුණේ ය. වර්ගවාදී මුසා බසින් දකුණේ ජන මනස කෙළෙසූ කොළඹ මාධ්‍ය නිර්දය අභියෝගයට ලක්කරමින් ඔහු මෙසේ ලීවේය:

“දෙමළ ජනයා බහුතර වශයෙන් ජීවත්වන උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදුවීම් පිළිබඳ බොරු, තවත් බොරු සහ පාපිෂ්ට බොරුවලින් පිසින ලද භෝජනයෙන් දකුණේ ලාංකිකයන් තවදුරටත් පෝෂණය කෙරෙමින් තිබේ. මේ ව්‍යායාමය අතිශය හානිකර විය හැකි බවට ජයවර්ධන ආණ්ඩුවට අනතුරු හැඟවීමට අපි කැමැත්තෙමු. බොහෝ සිංහලයන් තමන්ට අයිති යැයි කියන මේ පළාත්වලට පැමිණ සිදුවන්නේ කුමක්දැයි සියැ’සින් දැක බලා ගන්නැයි දකුණේ මාධ්‍යකරුවන්ට කලින් කළ ආරාධනය නැවත අලුත් කිරීමට අපි කැමැත්තෙමු.”

ගාමිණී වීරකෝන්

නමුත් ගාමිණී නවරත්න, දකුණේ බහුතරයක් සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යකරුවන්ගේ නොරිස්සුමටත්, වෛරයටත් පාත්‍ර විය. 1984 අගෝස්තු 30 වැනිදා සන්ජෝයි හසාරිකා නිව්යෝක් ටයිම්ස් පත්‍රයට ගාමිණී ගැන ලියූ ලිපියක මෙසේ කියා තිබිණ:

“දෙමළ ජාතිකයෙකුට අයත් ‘සැටර්ඩේ රිවීව්’ පත්‍රය 1982දී ආරම්භ කොට කෙටි කලකින්  නවරත්න මහතා එහි කර්තෘ ධූරය භාරගත්තේ ය. තුඟු සිවිලිම් සහිත ඔහුගේ කාර්යාලයේ දී සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්, තම පවුලේ ඈයින් ජීවත්වන කොළඹ අග නගරයත් – යාපනයත් අතර මුල් කාලයේදී තමන් නිරන්තරයෙන් යාම් ඊම් කළ බව ඔහු කීවේය. නමුත් ප්‍රචණ්ඩත්වයේ කම්පනයෙන් සසළ  කළ යාපනයේ සති තුනක් තිස්සේ ඔහු රැඳී සිටියි.

“මගේම ජනයා මාව හඳුන්වන්නේ ද්‍රෝහියෙක් වශයෙනු”යි ඔහු කීවේය. “නමුත් මම මෙහි රැඳී ඉන්නේ පාලම් හැදීමටයි, අන්‍යෝන්‍ය අවබෝධය ගෙන ඒමටයි”.

“තමාගේ ආරක්‍ෂාව ගැන තමන් කිසිසේත් වද නොවන බව කී ඔහු ‘අනතුරක් එනු ඇත්තේ පොලිසියෙන් සහ හමුදාවෙන් මිස දෙමළ ජනයාගෙන් නොවේ’ යැයි කීවේය.”(Editor Angers Fellow Sinhalese in Sri Lanka / The New York Times – August 30, 1984)

ගාමිණී නවරත්න වනාහී 750,000ක් දෙමළ ජනයා වසන උතුරු පළාතේ දිවි ගෙවූ අතළොස්සක් වූ සිංහලයන්ගෙන් අයකු යැයි සඳහන් කළ මේ ලිපිය සිංහල අධිපතිවාදයේ ගිලීගත් දකුණේ මාධ්‍ය කුපිත කළ එක් නිමිත්තක් විය. 1987දී ඇමරිකාවේ සිට පෙරළා දිවයිනට විත් ‘දි අයිලන්ඩ්’ පත්‍රයේ කර්තෘ ධූරය අප්‍රේල් මාසයේදී විජිත යාපාගෙන් භාරගත් ගාමිණී වීරකෝන්, මැයි 11 වැනිදා ‘අයිලන්ඩ්’ කතුවැකියේම මෙසේ ලීවේය:

“මේ ආකාරයේ පක්ෂග්‍රාහී වාර්තාකරණයට කදිම නිදසුනක්, යාපනයේ බුහුමනට පාත්‍රව දෙමළ ජනයා අතර ජීවත්වෙමින් තමන්ගේම ප්‍රජාව දෝෂ දර්ශනයට ලක්කරන සිංහල ප්‍රවෘත්ති කලාවේදියකු ගැන ‘නිව්යෝක් ටයිම්ස්’ පත්‍රයේ පළ වූ විශේෂාංගය විසින් සපයයි. එහෙත් ත්‍රස්තවාදීන් විසින් සිංහල ජනයා සංහාරය කරද්දී මිලියන සංඛ්‍යාත දෙමළ ජනයා සිංහලයන් අතර එකමුතුව ජීවත්වන ආකාරය ගැන ලියන්නට මේ වාර්තාව අසමත් විය.”

සතියක් ඇවෑමෙන්, ‘අයිලන්ඩ්’ පත්‍රයේ ගාමිණීට පිළිතුරු වශයෙන් ‘සැටර්ඩේ රිවීව්’ ගාමිණී, තමන්ට ආවේණික උපහාසය කැටිකොට ‘තවත් ගාමිණී කෙනෙක්’ (Another Gamini) මැයෙන්  කෙටි සටහනක් ලියා එය මෙසේ අවසන් කළේය:

“මාධ්‍යවේදීහු සියලු ප්‍රමාණයන්ගෙන් සහ හැඩයන්ගෙන් පැමිණෙති. තමන් අයත් විය යුත්තේ කුමන ප්‍රභේදයටදැයි තීරණය කිරීම වනාහී ඒ ඒ මාධ්‍යවේදියාට ලැබෙන වරප්‍රසාදයකි. ඒ වනාහී දුලබ වරප්‍රසාදයක් බව ගාමිණී වීරකෝන් මහතාට මතක් කිරීමට අපි කැමැත්තෙමු.”

ශත පනහේ අරමුදල

‘සැටර්ඩේ රිවීව්’ පත්‍රයට පමණක් බල පෑ රාජ්‍ය වාරණ ප්‍රතිපත්තිය හා නිරන්තරයෙන් ගැටුණු ගාමිණී, උතුරු සහ නැගෙනහිර පළාත්වල නොනවතින රාජ්‍ය භීෂණය විධිමත්ව ලේඛනගත කොට පුවත්පත හරහා ප්‍රසිද්ධ කිරීමේ පිළිවෙත කුමන බලපෑමක් යටතේ හෝ ආපස්සට නොගත්තේය. ජයවර්ධන ආණ්ඩුවේ ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුළත්මුදලි විසින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පවරන ලද නඩුවකින් පැරදුණු ‘සැටර්ඩේ රිවීව්’ පත්‍රය, ‘ලලිත්ගේ මස් රාත්තල’ ගෙවා දමනු වස් ‘ශත පනහේ අරමුදලක්’ පිහිටුවා ශත පනහ බැගින් පරිත්‍යාග කරන්නැයි පාඨකයන්ට ආයාචනා කර සිටියේය.

“නඩු ගාස්තු වෙනුවෙන් තවත් රුපියල් 525ක් ගෙවන්නට අපට ඉතිරිව තිබේ. අපගේ ආදරණීය පාඨකයන්ගෙන් තවත් ශත 50 ආධාර ප්‍රමාණවත් තරමින් එකතු කරගත් සැණින් අපි එය ගෙවා දමන්නෙමු. එය ප්‍රතිඥාවකි”යි බලසම්පන්න ආරක්‍ෂක ඇමතිවරයාට ‘සැටර්ඩේ රිවීව්’ පත්‍රය සෝපාහාසාත්මකව දන්වා සිටියේය.

ලලිත් ඇතුළත්මුදලි

1984 පෙබරවාරියේ සිට 1987 ඔක්තෝබරය දක්වා ගාමිණීගේ කර්තෘත්වයෙන් එළිදුටු ‘සැටර්ඩේ රිවීව්’ පත්‍රයට, දෙමළ ලේඛකයන්, බුද්ධිමතුන් හා තරුණ සටන්කාමීන්ගේ සංවිධාන මෙන්ම, කොල්වින් ආර් ද සිල්වා හා එන් ෂන්මුගදාසන් වැනි වාමාංශික නායකයෝ ද, කුමාරි ජයවර්ධන හා නීල් කුරුප්පු වැනි විකල්ප බුද්ධිමතුන් ද, මණ්ඩාවල පඤ්ඤාවංශ හා දෙල්ගල්ලේ පදුමසිරි වැනි මාධ්‍යමික භික්‍ෂූන් ද, එච් එන් ප්‍රනාන්දු හා සුනිලා අබේසේකර වැනි දකුණේ වෘත්තීය සමිති හා සමාජ ක්‍රියාධරයෝ ද ඇතුළු විශාල පිරිසක් දායකත්වය දැක්වූහ. පලස්තීනයේත්, නිකරගුවාවේත්, දකුණු අප්‍රිකාවේත් විමුක්ති අරගලයන් ගැන මෙන්ම 80 වැඩ වර්ජකයන්ගේ හා වෙල්ලස්සේ ගොවීන්ගේ සටන් ව්‍යාපාර පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණ හා ප්‍රවෘත්ති වෙනුවෙන් ද ‘සැටර්ඩේ රිවීව්’ නොමසුරුව ඉඩ වෙන්කර දුන්නේය.

198‍4දී යාපනයේ මව්වරුන්ගේ පෙරමුණ ගොඩනැගීමේදී ඊට සක්‍රීයව කැප වී සහයෝගය දුන් ගාමිණී, ‘සැටර්ඩේ රිවීව්’ පුවත්පතින් එහි විරෝධතාවන්ට ඉමහත් ප්‍රචාරයක් ලබා දෙමින් නොමද අනුබල දුන්නේය. පුවත්පත මුලික කොටගෙන සරණාගත සහන අරමුදලක් ස්ථාපිත කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා ලද්දේ ඔහුගේ මූලිකත්වයෙනි.

‘ඔපරේෂන් ලිබරේෂන්’

1986 ජනවාරියෙන් පසු යාපනය කොටුවේ යුද හමුදා කඳවුරේ සිට නගරයට එල්ල කළ ෂෙල් වෙඩි හා නිරන්තර ගුවන් ප්‍රහාර විසින් පෙර නොවූ විරූ ප්‍රචණ්ඩ භීෂණයක් අලුත් වටයකින් අරඹන ලදී. ආරක්‍ෂිත බන්කරයක් තුළට රිංගා ‘සැටර්ඩේ රිවීව්’ පුවත්පත නිකුත් කිරීමට ක්‍රියාකළ ගාමිණී ඇතුළු කර්තෘ මණ්ඩලය, ගුවන් ප්‍රහාරක නියමුවන්ගේ රේඩියෝ පණිවුඩවලට සවන් දෙමින් ඒ සංවාද ‘බෝම්බ ප්‍රහාරක අතිරේකය’ නමින් වෙනම පළ කළේය.

“අප්‍රේල් 29 වැනිදා වේලාව රාත්‍රී 11 ට ආසන්නව තිබිණ. මම දෙවඟනන් හා මෙකී නොකී සියල්ලන් සමග මගේම සිහින ලෝකයට රිංගා ගැනීමට ලක ලෑස්තිව සිටියෙමි. කිසියම් ළඟපාත තැනකට වැටුණා විය යුතු යාපනය කොටුවෙන්  එල්ල කළ කන් අඩි පැලෙන ෂෙල් ප්‍රහාරයන්ගෙන් ඒ සිහිනය විසුණුව ගියේය. කී දෙනෙක් මියගොස් කී දෙනෙක් තුවාල වීද? මට එය නොවැදගත් ය. දෑස් පියාගෙන මම සිහින දේශයට ඇතුළු වීමි. කොහොම වුණත්, මට හානියක් සිදු නොවිණ. අඩුම වශයෙන් මෙවර හෝ ගැළවුණෙමි. සිහිනයෙන් අවදි වූ විට මගේ කණස්සල්ල වූයේ මෙය තවත් වරක් සිදුවීමට ඉඩ තීබීම ය.

“සිරුරේ සුන් බුන් සොයාගත හැකි වුවහොත්, එවිට මට චෙම්මනි ආදාහනාගාරයට යා හැකි” යැයි 1987 මැයි මාසයේ දී ගාමිණී ලීවේය. ඒ වඩමරාච්චි මෙහෙයුම පටන්ගන්නට දෙසතියකට කලිනි.

මැයි 26 වැනිදා ‘ඔපරේෂන් ලිබරේෂන්’ හෙවත් වඩමරාච්චි මෙහෙයුම දියත් කළ රජයේ ත්‍රිවිධ හමුදාවන්ගේ ෂෙල් හා ගුවන් ප්‍රහාරයන්ට මැදි වූ යාපනය ගිගුම් දුන්නේ ය. ‘සැටර්ඩේ රිවීව්’ කාර්යාලය පිහිටා තිබුණේ ෂෙල් වෙඩි උපදින කොටුවේ යුද හමුදා කඳවුරට කිලෝමීටර් දෙකකට අඩු දුරකිනි. නමුත් ඉදිරියෙහි ඇති දුෂ්කර සමයේ දී පුවත්පත මුහුණදෙන අභියෝග කවරාකාර විය හැකිදැයි ජූනි පළමු සතියේ කලාපයේ මුල පිටුවෙන්ම පැහැදිලි කළ සැටර්ඩේ රිවීව් පත්‍රය “කුමක් සිදුවුව ද සැටර්ඩේ රිවීව් නොසෙල්වින; ඉදිරියටත් නොසෙල්වෙන්නෙමු”යි පිළිණ දුන්නේ ය.

“ඇතැම්විට පිටු දෙකක් තරම් කෙසඟව හෝ සැටර්ඩේ රිවීව් එළිදක්වනු ඇත. නමුත් ඒ පිටු දෙකින් පවා අපි කිව යුතුව ඇති දේ අවශේෂ ලෝකයාට ඇසෙන්නට පැහැදිලිවත්, නොබියවත්, උස් හඬිනුත් කියන්නෙමු”යි පත්‍රය තිර හඬින් කීවේය.

නමුත් ජූලි මාසයේ දී ඉන්දු – ලංකා ගිවිසුම තාවකාලික සන්සුන්භාවය කැටුව ආවේය. ඉන්දියානු අභිලාෂයන් පිළිබඳ තම සංශයන් තිබියදීත්, ගාමිණී ශුභවාදය ලුහු බැන්දේය.

“ලෝකය, එනම් උතුර ඇත්තේ ගැටවරයන්ගේ පාමුල ය. එය රැගෙන සංවර්ධනය කොට පාරාදීසයක් කරන්න. අතීත අත්වැරදීම් අමතක කර දමන්න. වෙනත් අත් වැරදීම් අනාගතයේදී සිදු නොකරන්නට ප්‍රවේශම් වන්න. දෙමළ ජනයාගේ අනාගතය වනාහී ගැටවරයන් නිර්මාණය කරන්නා වූ දෙයයි. දෙවියන්ගේ උපකාරය ඔවුන් වෙත හිමි වේවා”යි මැදිවිය පියමං කරමින් සිටි ගාමිණී තමන්ට ආවේණික අව්‍යාජ බසින් හා උපේක්ෂා පූර්ණ හදින් ලීවේය.

මර්දනය දකුණට

ගිවිසුමෙන් පසු දුම්රිය මාර්ග පිළිසකර කෙරුණි. උතුරු – දකුණු සබඳතා අලුත් විණ. අගෝස්තු 4 වැනිදා කිලිනොච්චිය දක්වාත්, අගෝස්තු 9 වැනිදා පරන්තන් දක්වාත්, අගෝස්තු 15 වැනිදා පලෛ දක්වාත්, අගෝස්තු 21 වැනිදා කොඩිකාමම් දක්වාත් සිය ගමන දිගු කළ යාල්දේවිය,  සැප්තැම්බර් 1 වැනිදා පුරා වසරකට පසු යාපනය දුම්රිය ස්ථානයට ළඟා විය. දුම්රියෙන් වේදිකාවට බට දෙමළ ජාතික රියැදුරු එස්. කන්දසාමිගේ ගෙළට මල් මාලයක් පළන්දා පිළිගන්නා ලද්දේ සිංහලයකු වූ ගාමිණි නවරත්න විසිනි.

ඉන්දියානු හමුදා යාපනයේ මුර සංචාරයේ යෙදෙයි – 1987 ඔක්තෝබර් 01

ඉන්දියානු හමුදා ආගමනයෙන් ලද ඉසිඹුව සිය වාසියට හරවාගත් ජයවර්ධන ආණ්ඩුව රාජ්‍ය හමුදා දකුණු ලංකාවට කැඳවීය. ඈත දකුණේ ගම් දනවු කරා රාජ්‍ය මර්දනයේ ප්‍රචණ්ඩ වා සුළියක පණිවුඩය ගෙනඑමින් පැහැරගැනීම් ද, අතුරුදහන්වීම් උත්සන්න කෙරුණි. “මර්දනය දකුණට මාරුවෙයි” මැයෙන් ප්‍රධාන සිරස්තලයකින් දකුණේ කෙමෙන් තීව්‍ර වන රාජ්‍ය මර්දනය වාර්තා කළ ‘සැටර්ඩේ රිවීව්’ පත්‍රය මෙසේ ලීවේය:

“ත්‍යාගශීලීත්වය මෙන්ම මර්දනය ද ඇරඹෙන්නේ ගෙදරිනි. වාමාංශිකයන් යැයි කියාගන්නාවුන් ඇතුළත් සමගි පෙරමුණු ආණ්ඩුව, 1971 දී ගම්බද තරුණ ජනයාගේ සාරය යැයි සැළකිය හැකි සිංහල යෞවන – යෞවනියන්, අඩුම තරමින් 15,000ක් දෙනා ඝාතනය කරන්නට සිය මර්දන යන්ත්‍රය මුදාහරිමින් රාජ්‍ය මර්දනය අරඹන ලදී…..දස වස් වියැති ජනාධිපති ජයවර්ධනගේ ආණ්ඩුව, විශේෂයෙන්ම ප්‍රජාතාන්ත්‍රික විරෝධය නමැති ආරක්‍ෂක කපාටයන් වසා දමමින් සිංහල දකුණේ ගැඹුරු විරෝධය සහ දොම්නස වගා දිගා කර තිබේ. අද සිංහල කැරළිකරුවන් වනාහී ආණ්ඩුවේ විවෘත ආර්ථික පිළිවෙතෙහි නිපැයුම් ය.  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්මත කරන විට එය හෙළා දකිනු වස් හඬ නගන ලද්දේ දකුණේ සීමිත පිරිසකි. ඒ පනත උතුරු සහ නැගෙනහිර පළාත්වල සටන්කාමීන්ට එරෙහි එකක් වූ අතර සිංහල දකුණ කල්පනා කළේ ඒ වනාහී වෙනත් දුරු රටක් ලෙසිනි. එහෙත් අද රජයේ තුවක්කු දකුණු දෙසට හරවා ඇත….ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද සැවුළන් මෙන් හැඬලීම පිණිස දැන් ගෙදර ගොස් තිබේ. නමුත් අනෙකාගේ විපතේදී අපි උදම් නො අනන්නෙමු. සහෝදර වින්දිතයන් වශයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනු කුමක්දැයි අපි හොඳාකාරව දනිමු.”

තිලීපන් මියයයි

නමුත් ඉන්දු – ලංකා ගිවිසුම පූර්වයෙන් අපේක්ෂා කළ සුසංගත ශාන්තිමත් දවස් ගෙන නාවේය. ඉච්ඡා භංගත්වයෙන් අර්ධද්වීපය යමහලක් මෙන් කැකෑරිණ.

1987 සැප්තැම්බර් 15 වැනිදා විමුක්ති කොටි සංවිධානයේ යාපන දේශපාලන නායක රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් නල්ලූර්හි කන්දසාමි කෝවිල අභියස විශේෂ පීඨිකාවක් ඉදිරිපිට රැස් කෑ දස දහස් සංඛ්‍යාත ජනයා අභිමුව දී මාරාන්තික උපවාසයකට අවතීර්ණ විය. ‘දෙමළ ඊළාමයේ බොබී සෑන්ඩ්ස්’ සටනට එළඹ ඇතැයි ලියූ ‘සැටර්ඩේ රිවීව්’ පත්‍රය “Rajiv, think again!” (රජීව්, නැවත සිතන්න) යැයි සිය සිරස්තලයෙන් ඉල්ලා සිටියේය. පහන් සිලක් මෙන් දීප්තිය දෙමින් නීවී යන තිලීපන්ගේ යෞවන දිවියේ අවසාන සතිය වෙනුවෙන් දෙදිනකට වරක් විශේෂ කලාප පළ කළ ගාමිණිගේ කර්තෘත්වයෙන් යුතු ‘සැටර්ඩේ රිවීව්’, සැප්තැම්බර් 26 වැනිදා මියගිය තිලීපන් ගැන 28 වැනිදා මෙසේ ලීවේය:

“මනුෂ්‍යයෝ මිය යති. ඔව්, එය සොබා දහමේ නියාමයකි. නමුත් කවදා, කෙසේ මිය යන්නේදැයි තෝරා ගැනීමට හැමෝටම නොහැකි ය. විමුක්ති කොටින්ගේ දේශපාලන අංශ නායක තිලීපන්, තමන් මිය යා යුත්තේ කවදා කෙසේදැයි තෝරාගත්තේය…..මරණය තෝරාගන්නා විට තිලීපන් යාන්තම් 25 වියැත්තෙක් විය…..

රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන්

“1987 සැප්තැම්බර් 26 පෙරවරු 11ට පමණ ඔහු මිය ගියේය. සිංහල භාෂාව විසි හතර පැයෙන් රාජ්‍ය භාෂාව කළ අගමැති එස් ඩබ්ලියු ආර් ඩී බණ්ඩාරනායක 1959දී ඝාතනය කරන ලද්දේ ද සැප්තැම්බර් 26 වැනිදාක ය. එස් ඩබ්ලියු ආර් ඩී සහ තිලීපන් එකම කාසියේ දෙපැත්ත ය. ලංකාවේ සමාජ දේශපාලන ඉතිහාසය හැදෑරීමට රිසි ඕනෑම අයෙක් ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධාත්මක චරිත අධ්‍යයනය කළ යුතු ය. 

“තිලීපන් මියගොසිනි. ඔහු මිය යා යුතුව තිබුණේද?”

යාපනයේ පළ වූ මුරසෝළි සහ ඊළමුරසු පුවත්පත් කාර්යාල හා මුද්‍රණාලයන්ට ඔක්තෝබර් 8 වැනිදා කඩා වැදුණු ඉන්දියානු හමුදාවෝ සේවක පිරිස් අත් අඩංගුවට ගෙන දේපළ විනාශ කොට දැමූහ. ඊළනාඩු හා උදයන් පත්‍ර කාර්යාල හමුදා ප්‍රහාරයන්ගේ ඉලක්ක බවට පත්වූයේ දෙවනුව ය. ඔක්තෝබර් 17 වැනිදා ‘සැටර්ඩේ රිවීව්’ පත්‍රය, පිටු හතරකට සීමා කළ සිය අවසාන කලාපය හතරවැනි හරස් වීදියේ පුවත්පත් කාර්යාලයෙන් නිකුත් කළේය. දකුණු ආසියාවේ විශිෂ්ඨතම ප්‍රාදේශීය පුවත්පත් සංස්කෘතියකට හිමිකම් කී උතුරේ පළ වූ ප්‍රකාශන සියල්ල මර්දනකාරී රුදුරු වගුරක ගිල්වා දැමුණේය.

දෙවැනි ඊළම් යුද්ධයක අඳුරු මේකුළු යාපනය අර්ධද්වීපය වසා පැතිරෙමින් තිබිණ.

තැවුල් පත් ගාමිණී ඒ ඔක්තෝබරයේ දී පෙරළා හිස් අතින් කොළඹ ආවේය.

ඔක්තෝබර් 11 වැනිදා ඉන්දියානු හමුදාවේ 4 වැනි, 36 වැනි සහ 54 වැනි සේනාංකවලින් සපයාගත් සෙබළුන්ගෙන් සැදුම්ලත් 20,000ක භට සේනාවෝ, යාපන නගරය පස් දිසාවකින් වටලමින් 2500කට නොවැඩි කොටි ගරිල්ලන්ට එරෙහි ‘පවන් මෙහෙයුම’ දියත් කළහ. සරම් කැසපට ගසාගෙන, සයනයිඩ් පැළැඳගත් ගැටවර සේනා, යටත් වනු වෙනුවට ඒ වනවිටත් ලෝකයේ හතරවැනි විශාලතම හමුදාවට පෙරළා පහර දෙන්නට ශපථ කොට වන වැදුනෝය.

සෙස්ස ඉතිහාසය යි.

වික්‍රමාන්විත සිංහලයෙක්

ගාමිණි යළිත් යාපනයට නොගියේය. මධුවිතින් මධුවිත හිස් කරමින් සිය හුදකලා තනිකඩ දිවිය කොළඹ දී අප්‍රසිද්ධියේ ගෙවා දැමූ ඔහු 1998 මාර්තු 10 වැනිදා හැට පස් වියක ජීවන වෙහෙසින් පරිපීඩිතව සන්සුන් මුනිවතින් නික්ම ගියේය.

ඒ, හරියටම මෙයින් විසි වසරකට කලිනි.

මිනිස් මාංශ බුදීමෙහි ලොල්ව ක්‍ෂුධා ගින්නෙන් ඇවිළෙන කේසර සිංහයන් සහ මහසෝන් අවතාර ගහණ සමයක ගාමිණී නවරත්න සදානුස්මරණීය වූ පවර මිනිස් මූලාදර්ශයක් සපයයි.

අපේ නොලියූ ඉතිහාස පරිච්ඡේදයන් තුළ විපුලතර අරමුණු පිණිස කැප වී, නිහඬව මැකී ගිය මිනිස් ප්‍රදීපාවන් ඕනෑ තරම් ය. ගාමිණී නවරත්න එවැන්නෙකි. ඔහු වනාහී, ගාමිණී දිසානායකගේ සිට ගාමිණී ඊරියගොල්ල හරහා ගාමිණී ජයසූරිය දක්වා දුගී ගම්බද තුරුණු මාංශය දිනපතා භෝජනය කොට දිවි ගෙවූ කොළොම්තොට දුට්ඨ ගාමිණීවරුන්ට පිටු පා පීඩිතයා කෙරෙහි වන පක්ෂපාතීත්වය සිය ජීවන ධජය කොටගත් වික්‍රමාන්විත සිංහලයෙකි.

ඉතිහාසයට තමන් මඟ හැරෙතැයි කාංසාවෙන් නොපෙළුණු, යුක්තිය හා සමානත්වය පිළිබඳ ප්‍රශ්නයේ දී තනිවීම සංතාපයක් කර නොගත් නිර්භීත මිනිසෙකි.☐

රෝහිත භාෂණ අබේවර්ධන


උපුටාගත්තේ  JDS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *