විශේෂාංගඋපුටාගැනීම්

පේරාදෙණි සරසවි මහැදුරු – සිසුවි පෙම්කතාවට පිළිතුරක්

මහාචාර්ය සාලිය කුලරත්න මාර්තු 20 වන දින ලක්බිම වෙබ් අඩවියට ලියූ, මේ වන විට වෙනත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේද පුළුල්ව සංසරණය වෙමින් පවතින “පේරාදෙණි සරසවි මහැදුරෙකු සහ සිසුවියකගේ ප්‍රේමයේ කතාව”යන ලිපිය විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන්, ආචාර්යවරුන් සම්බන්ධයෙන්, සහ ස්ත්‍රිය සහ පුරුෂයා සම්බන්ධයෙන් ප්‍රශ්න රාශියක් මතු කරයි. ඔහු මෙම ලිපිය තුළින් ඉදිරිපත් කරන්නේ කුමන ආකාරයේ අදහසක්ද? ඔහු මෙහිදී ගෙන එන මූලික තර්කනයන් මොනවාද? මෙවැනි ලිපියක් ලිවීමෙන් විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු බලාපොරොත්තු වන්නේ කුමක්ද? මෙවැනි ප්‍රශ්න කීපයක් මෙම ලිපිය තුළින් සාකච්ඡාවට ගැනීමට අදහස් කරමි.

මෙහිදී මහාචාර්ය කුලරත්න ඔහුගේ ලිපිය ආරම්භ කර ඇති ආකාරයට අවධානය ‍යොමු කරමු. ඔහු ලිපිය ආරම්භ කරන්නේ ‘මෑතකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ ‘පියාපත් ලැබී ඉගිළ ගිය’ පුවතක්’ ගැන සදහන් කරමිනි. එකී සිදුවීම දෙස ‘අනම්‍ය හා ගතානුගතික ආධාරවාදී දැක්මකින් බැලූ’ අය සහ ‘මානුෂිකව බැලූ පිරිස්’ ලෙස වෙන් කිරීමක් ඔහු සිදු කරයි. මාගේ වැඩි අවධානය යොමු වන්නේ එම ඡේදයේ අවසාන වාක්‍යය දෙසටය. මෙහිදී ඔහු ස්ත්‍රිය කොටස් දෙකකට වර්ගීකරණය කරයි. ’සංවේදී ගැහැණුන්’ සහ අසංවේදීව ඊනියා උගත්කම් හිසේ තබාගෙන ජීවත්වන ඇතැම් ස්ත්‍රීන්’ එම කොට්ඨාස දෙකයි. “ඒ සිද්ධිය බොහෝ සංවේදී ගැහැණුන් හට තම සංවේදීකම් වඩා වර්ධනය කර ගැනීමටත් අසංවේදීව ඊනියා උගත්කම් හිසේ තබාගෙන ජීවත්වන ඇතැම් ස්ත්‍රීන්ට තම තමන් දෙස නැවත හැරී බලන්නටත් ගැඹුරු ආදර්ශයක් ලබාගැනීමටත් මුල්වේ”යනුවෙන් ඔහු ප්‍රකාශ කරයි. ඔහුට අනුව මෙය ගැඹුරු ආදර්ශයකි. ඔහුගේ මේ ද්විත්ව වෙන් කිරීම දෙස පරීක්ෂාකාරීව බැලීමට කැමැත්තෙමි. විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු වන මහාචාර්ය කුලරත්න බුද්ධිමය කටයුතුවල නියුතු ස්ත්‍රිය දකින්නේ කුමන ආකාරයකටද? සංවේදි සහ ඊනියා උගත් කම හිසේ තබාගෙන ජීවත් වන ගැහැණුන් ලෙස සරල ආකාරයට, බෙදා වෙන්කිරීම තුළින් ස්ත්‍රිය ගැන කරන මේ ප්‍රකාශය මහත් ප්‍රශ්නකාරී වේ. එක් අතකින් ඔහු ඊනියා උගත්කම එක ගොන්නකට ගොනු කරයි. තවත් පසෙක ‘සංවේදි ගැහැණුන්’ සිටී. එවිට සංවේදි වන්නේ කුමන ආකාරයේ ස්ත්‍රීන්ද? මේ කාරණා ඒ හැටි පැහැදිලි නැත.

නමුත් ඊළග පරිච්ඡේදයේදී මේ කතාවේ මහාචාර්යවරයා ගැන පවසන විට උගත්කමට විද්වත්කමට මහත් ස්ථානයක් හිමිවේ. ඔහු සැබෑ උගතෙකි. පෙර කී ඊනියා ස්ත්‍රි බුද්ධිමතුන් මෙන් නොව ඔහු තම විෂය ක්ෂේත්‍රය හොදින් ප්‍රගුණ කර ඇත. බුද්ධිය, උගත්කම ඔහුට ඉතා ධනාත්මක ප්‍රතිරූපයක් ඇති කරයි. මහාචාර්ය කුලරත්න ගේ මූලික අරමුණ වන්නේ ඔහු සදහන් කරන මහාචාර්යවරයාගේ ක්‍රියාකලාපය උත්කර්ෂයට නැගීමයි. ඔහු සෑම අතකින්ම සරසවි මහැදුරාගේ චරිතය උගත්, බුද්ධිමත්, උසස් චරිතයක් ලෙස ඉදිරිපත් කරයි. ඔහු කඩවසම්ය, ඔහුගේ විෂය ක්ෂේත්‍රය පිළිබදව පෘථුල දැනුමක් ඇත. ඔහුට සාපේක්ෂව ඔහුගේ අනෙකා ලෙස මහාචාර්යවරයාගේ බිරිද නිර්මාණය වෙයි. මේ බිරිඳ මහාචාර්යවරයා මෙන් පොත පත තුළින් බුද්ධිය නිරූපණය කරන්නියක නොව. ඇය ‘නවීන සමාජ කතිකාඔලුවට ගෙන ඒ අනුව ජීවත් වූ කාන්තාවකි.’ මේ නවීන සමාජකතිකා මොනවාදැයි හරිහැටි පැහැදිලි නැත. තවද ‍ඛේදයක මහත! ඇය ස්ත්‍රිය පිරිමියෙකුගේ සෙල්ලම් බඩුවක් නොවන බව ප්‍රසිද්ධියේ පවසන්නියකි.එම කාරණාව ඉදිරිපත් කර ඇත්තේ ඉතාම සෘණාත්මක ලෙසය. ඇය “ස්ත්‍රී විමුක්තිවාදය (Feminism) ගැන බලවත් ලෙස උනන්දු වූ කාන්තාවක” බවද එම පරිච්ඡේදයේ සදහන් වෙයි. එයද ඉදිරිපත් කර ඇත්තේ ධනාත්මක ලක්ෂණයක් ලෙස නොවේ.

“කාන්තාව යනු තවදුරටත් පිරිමියාගේ සුරතල් භාණ්ඩයක් නොවේ” යන්න අද ඊයේ ඉදිරිපත් වූ අදහසක් නම් නොවේ. ඒ පිළිබද ප්‍රසිද්ධියේ කතා කළ, ඒ පිළිබදව ලියූ පිරිස් ඉතිහාසය පුරා ඇත. නිවසේ සුරඟන යන සංකල්පය වික්ටෝරියානු යුරෝපයේ ප්‍රචලිතව තිබූ අදහසකි. මෙයින් අදහස් කලේ සියළු දුක් පීඩා දරාගෙන නිවසේ වැඩ කටයුතු කරමින් සෑම විටම සිනාවකින් මුව සරසා තම සැමියා පිළිගන්නා භාර්යාවකි. මෙවැනි අදහස් ප්‍රශ්නයට නැගූ වර්ජිනියා වුල්ෆ් වැනි ලේඛිකාවන් පැවසුවේ නිවසේ සුරඟන වැනි සංකල්ප තිබෙන තාක් කල් ස්ත්‍රියට සමාජමය, බුද්ධිමය සහ නිර්මාණාත්මක වශයෙන් ඉදිරියට යා නොහැකි බවයි. ස්ත්‍රිය ව භාණ්ඩයක් වශයෙන් දැකීම ප්‍රශ්නයට ලක් කරන ලියවිලි අපට පස් වෙනි ශතවර්ෂයේ ලියැවුණු ථෙරි ගාථා වැනි පඨිත හරහා ද මුණ ගැසේ. සුභා තෙරණිය තමා වනයේ බවුන් වැඩීමට යාමට තැත් කරන විට එයට අවහිර කර ඇයට සැප සම්පත්තියෙන් හෙබි පහසු ජීවතයක් ලබා දෙන බව පවසන සොර දෙටුවා සමග වාද කරයි. ඔහු පවසන්නේ ඔහු ඇයව අලංකාර ආභරණවලින් සරසා නිවස තුළ සැප සම්පත් දෙන බවයි. ඇය පවසන්නේ තම ශරීරය හැඩවැඩ කරගනිමින් නිවසක් තුළ රූකඩයක් වීම ඈට ඇවැසි නැති බවයි. එම චින්තනය තුළින් විමුක්තිය ළගා කර ගැනීමට ඇයට හැකියාව ලැබේ.
ක්‍රි.ව පස් වෙනි සියවසේ ස්ත්‍රියක් සහ දහනව වන ශතවර්ෂයේ ස්ත්‍රියක් තමන් පුරුෂයන්ගේ කෙළි භාණ්ඩ නොවීමට තීරණය කිරීමෙන් පසු ලබා ගන්නා නිදහස පිළිබද අදහස් මේ උදාහරණ දෙක තුළ ගැබ්ව ඇත. තවත් මෙවැනි උදාහරණ කොතෙකුත් ඇත. මහාචාර්යවරයාගේ බිරිඳට ප්‍රසිද්ධියේ කීමට මැලි විය යුතු අලුත් අදහස් නොවෙයි මේවා. සමහර විට ඇතැම් විෂය ක්ෂේත්‍ර තුළ නවමු අදහස් ලෙස පෙනෙන්නට පුළුවන. එමෙන්ම ස්ත්‍රිය යනු තව දුරටත් පිරිමියාගේ සුරතල් භාණ්ඩයක් බව ප්‍රසිද්ධයේ පැවසීම සෘණාත්මක කාරණයක් වන්නේ කුමන හේතුවක් නිසාදැයි යන්න කතුවරයා තවදුරටත් පැහැදිලි කළ යුතුය.

ඉන්පසු මහාචාර්ය කුලරත්න උදාහරණ ලෙස ගෙන එන්නේ ඉපැරණි සාහිත්‍ය කෘතිවල එන පතිව්‍රතය රැකි ස්ත්‍රීන් කිහිප දෙනෙකුගේ නම් කිහිපයකි. පාළඟ සල්ලාලයාගේ කතාව විවේචනය කිරීමට විරුද්ධව විවේචනයක් ඉදිරිපත් කරන්නේ ස්ත්‍රීන් පුරුෂයන් කුමන ආකාරයේ ක්‍රියාවක් කළත් ඒවා උපේක්ෂාවෙන් විද දරා ගත යුතු බව යන්න ප්‍රකාශ කිරීමටය. ඔහුම මුලදී සදහන් කරන ගතානුගතික චින්තනයක් කරා යෑම නොවෙද මේ ආකාරයේ සිතීම තුළින් සිද්ධවන්නේ?

පතිව්‍රතය ඉමහත් උත්කර්ෂයකට නැංවීමෙන් පසු ඔහු ඇතුළුවන්නේ මහාචාර්යවරයාගේ නිවස තුළටය. මහාචාර්යවරයාගේ බිරිඳ ඔහුට තේ කෝප්පයක් සාදා ගැනීමට පවසන මොහොතක් අපට මුණ ගස්වයි. මෙහිදී පාඨකයාට ප්‍රශ්න රැසක් මතු වේ. මහාචාර්යවරයාගේ බිරිඳ කුමන ආකාරයේ තැනැත්තියක්ද? ඇය රැකියාවක් කරයිද? එසේ නම් එය කුමන ආකාරයේ රැකියාවක්ද? ඇය නිවසින් පිට රැකියාවක නොයෙදෙන කෙනෙක්ද? ඇය ස්ත්‍රීවාදය පිළිබද දැනුමක් ඇත්තියක් නම් ඇයට එම දැනුම ලැබෙන්නේ කුමන ආකාරයක අත්දැකිම් තුළින්ද? අප මේ කිසිවක් නොදනී. අපි ඇය පිළිබද, ඇයගේ ජීවිතය පිළිබද කිසිවක් නොදනිමු. ඇය ආහාර පිළියෙල කිරීමේදි සැමියාද ඊට සහාය කරගත් බව නම් දනිමු. මේ ලිපියේ කතුවරයාට අනුව එය ඛේදයකි. බොහෝ විට ස්ත්‍රිය සහ පුරුෂයා යන දෙදෙනාම රැකියාවක නියුතු වන මේ කාලයේ නිවසේ වැඩ කටයුතුද බෙදා හදා ගෙන සිද්ධ කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙමින් පවතී. එවැනි සන්දර්භයක් තුළ මේ කතාවේ ප්‍රධාන චරිතය හොබවන මහාචාර්යවරයා සහ ලිපියේ කතුවරයා මෙය අමුතු දෙයක් ලෙස දකින්නේ ඇයිද යන්න මට නම් නොතේරේ. මේ සියලුම කරුණු වලින් ගම්‍ය වන්නේ ස්ත්‍රිය වනාහි සෑම දෙයක්ම දරාගෙන, සංවේදීව (එනම් ඊනියා උගත්කම් හිසේ තබාගෙන ජීවත් නොවී) සැමියාට තේ පිළියෙල කරමින්, ආහාර පිළියෙල කරමින් පතිව්‍රතය රැක ගෙන ජීවත් වන්නියක විය යුතුය යන්නයි.

පියාපත් ලැබ ඉගිල ගිය පුවත හටගන්නේ මේ සංදර්භය තුළය. ක්ෂේත්‍ර ගවේෂණයක යෙදී සිටියදී ඔහු නිවසින් කෑම නොගෙනෙන බව දකින සිසුවියක් ඔහුගෙන් ඒ පිළිබදව විමසයි. ‘”ඇයි සර්; කෑම ගෙනාවේ නැද්ද?”’ “නෑ දුව…. එහෙම කෑම අරන් එන්න තරම් පරිසරයක් අපේ ගෙදර නැහැ” යැයි ඔහු පවසන වදනින් සිසුවිය හැඟීම්බර වේ. මහාචාර්යවරයාගේ පුද්ගලික ජීවිතය පිළිබද ඔහුගෙන් ලැබෙන මෙම කරුණු අසා සිසුවිය සෑම දිනකම ඔහුට කෑම එකක් ගෙන දීමට ඉදිරිපත් වේ. ඇය ස්ත්‍රී විමුක්තිකාමී බිරිද නිර්මාණය කර ඇති හිඩැස පුරවයි. මහාචාර්ය කුලරත්න මෙම සිසුවිය නිර්මාණය කරන්නේ තම ගුරුවරයාට බත් මුලක් ගෙන එන, ඔහුගේ අවශ්‍යතා සොයා බලන, පසු කලෙක ඔහු හා ලිංගික වශයෙන්ද සම්බන්ධ වන පෙම්වතියක් වශයෙනි. ඇය විශ්වවිද්‍යාලය තුළ බුද්ධිමය කාර්යභාරයක යෙදෙන්නියක ලෙස ඔහු කිසි විටෙකත් ඉදිරිපත් නොකරයි. ඇය සංවේදි ගැහැණියකි. බුද්ධිය යනු ඇය සදහා නොයෙදෙන විශේෂණ පදයකි.

මේ ප්‍රේම වෘතාන්තය මහාචාර්යවරයාගේ බිරිඳටද ආරංචි වේ. ඇයව හැදින්වීමට කතුවරයා සෑම විටම ‘ස්ත්‍රී විමුක්තිකාමී’ වැනි විශේෂණ පද යොදා ගැනීම කුතුහලය උපදවයි. ඉන්පසු මෙම බිරිඳ අර ‘අසරණ තරුණියට’ පහර දුන් බවක් සදහන් වේ. මේ දෙස බලා සිටින මහාචාර්යවරයා ඇයට පිළීතුරු දෙන්නේ තමාට අයත් පොත් පත් ඇසුරුම් කරන අතරේය. මේ මහාචාර්යවරයා මහා බුද්ධිමතෙකි. මෙවැනි අවස්ථාවක පවා ඔහුගේ අවධානය යොමුව ඇත්තේ සිය පොතපත දෙසටය. එබැවින් ඔහුගේ බුද්ධිමය නියුතුව තම බිරිදට වඩා හාත්පසින් වෙනස්ය. ඔහු ඊනියා බුද්ධිමතෙකු නොවේ. සැබෑ බුද්ධිමතෙකි. මේ කතාවේ වීරයා ඔහුය. බිරිඳ ඊනියා උගත් කමකින් යුත් තැනැත්තියකි. සිසුවිය තේ සහ බත් සාදා දෙන අසරණ තරුණියකි. ‘මට හම්බ වුණු ගැණු ළමයාගෙන් මම නියම ස්ත්‍රිය දැක්කා. ඉතින් එයාට හිංසා කරන්න එපා!’ යැයි මෙම මහාචාර්යවරයා බිරිදගෙන් ඉල්ලා සිටී. මහාචාර්යවරයා නම් කරන ‘නියම ස්ත්‍රිය යනු කවරෙක්ද?’ මේ ලිපියට අනුව නම් නියම ස්ත්‍රිය යනු තේ සදා දෙන, බත් උයා දෙන, ලිංගික තෘප්තිය ලබා දෙන, සැමියා කුමක් කළත් ඔහුව ඇළකින් නාවා ගෙට ගන්නා, සංවේදී, ඊනියා උගත්කමින් හිස උදුම්මා නොගත් සත්වයෙකි.

මෙවන් ලියමනක් තුළින් ඉදිරිපත් වන්නේ කුමන ආකාරයේ අදහසක්ද? ස්ත්‍රියගේ බුද්ධිමය නියුතුව ගැන මෙයින් ගම්‍ය කර ගත හැක්කේ මොනවාද? දේශපාලනික, ආර්ථික, සමාජමය, සහ සංස්කෘතික කතිකා තුළ ස්ත්‍රිය සහ පුරුෂයා පිළිබදව, සමාජ ලිංගය පිළිබදව විවේචනාත්මක අදහස් ඉදිරිපත් කර ඇති සංදර්භයක් තුළ ගුරුවරුන් වශයෙන් අප ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පැවසිය යුත්තේ නියම ස්ත්‍රීන් සහ පුරුෂයන් ලෙස ඉතා පහසුවෙන් කොටුවක් තුළට දැමිය හැකි සත්ව කොට්ඨාස දෙකක් තිබෙන බවද? ඔවුන්ටම ආවේණික වූ එදිනෙදා ජීවිතයේ ක්‍රියාවන් තිබෙන බවද? එයද ඊනියා නොවන නියම බුද්ධිමය නියුක්තිය? තමන්ට ආවේණික තත්වය යනු කුමක්ද? විශ්ව විද්‍යාලයක් වැනි, විවේචනාත්මක චින්තනය දිරිගැන්විය යුතු යුතු අවකාශයකින් සිදු විය යුත්තේ සමාජ සම්මතයන් ඒ ආකාරයෙන්ම ස්ථාපිත කිරීමක්ද?

මෙම ලිපිය තුළ ස්ත්‍රිය සහ පුරුෂයා නිර්මාණය කරන ආකාරය ඉතා ප්‍රශ්නකාරීය. ස්ත්‍රි-පුරුෂ සම්බන්ධතා නිරූපණය කරන්නේ ඒවා සදාකාලිව පැවති එන ධර්මතා සේය. එවැනි අදහස් ප්‍රශ්නයට ලක් කරන බිරිඳගේ චරිතය දෙස හෙළන්නේ ද්වේශසහගත බැල්මකි.

භාවනානුයෝගීව සිටි සෝමා තෙරණිය අමතා මාරයා කළ ප්‍රකාශයත්, සෝමා තෙරණිය ඔහුට දුන් පිළිතුරත් මෙහි ලියා තබමින් මා මේ ලිපිය අවසන් කරමි. වනාන්තරයෙහි වෘක්ෂයක් පාමුල භාවනාවේ යෙදී සිටි සෝමා තෙරණිය ඇයගේ සමාධියෙන් ඉවත් කිරීමේ අටියෙන් මාරයා ඇයට අභියෝග කරයි, ඔහු අභියෝග කරන්නේ ඇයගේ බුද්ධියටය. “සෘෂිවරුන් විසින් පැමිණිය යුතු ලබා ගැනීමට අපහසු වූ යම් ස්ථානයක් වේද එය දෑඟුලක් පමණ නුවණැති ස්ත්‍රීන් විසින් ලබාගත නොහැකිය” ඔහු පවසයි. සෝමා ඔහුට මෙලෙස පිළිතුරු දෙයි “සිත එකඟ වූ කල්හි, ප්‍රඥාව පවත්නා කල්හි, ධර්මය මැනවින් දැනගත් කල්හි, ස්ත්‍රීභාවය කුමක් කරයි ද?”

(පරිවර්තනය: මොරගොල්ලාගම උපසමා මෙහෙණින් වහන්සේ)

ආචාර්ය කංචුකා ධර්මසිරි

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ඉංග්‍රීසි අධ්‍යයන අංශය පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *