විශේෂාංගඋපුටාගැනීම්

හැත්තෑ එකෙන් පස්සෙ පැරණි වමත් ඉවරයි අලුත් වමත් ඉවරයි

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න

 

හේ මෙරට වාම දේශපාලන දෘෂ්ටිවාදී අවකාශය වෙනත් මාවතකට රැගෙන ගිය නව වාම දේශපාලන ධාරාවේ පිතෘවරයාය. ඔහුගේ නායතක්වය මත ගෙන ගිය වාමාංශික දෘෂ්ටිවාදී අරගලය හේතුවෙන් 2003 වකවානුව පමණ වන විට මෙරට කිසිදු වාමාංශික ව්‍යාපාරයකට ඔහු ඇති කළ දෘෂ්ටිවාදී බලපෑමෙන් නිදහස් වීමට නොහැකි විය. එපමණක් නොව මේ දෘෂ්ටිවාදීමය බලපෑම නිසා මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම කලා සංස්කෘතික ‍ක්ෂේත්‍රය තුළ කිසියම් ප්‍රබෝධයක් ඇති විය. මේ වන විට ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන හෙතෙම නමින් දීප්ති කුමාර ගුණරත්නය. 71කැරැල්ල සහ වත්මන් දේශපාලන අවකාශය පිළිබඳව අපි ඔහු සමඟ කතා කළෙමු.

1971 තරුණ කැරැල්ල පැන නැඟීමේ හේතුව විදියට ඔබ දකින්නේ කුමක්ද?

අපිට නිදහස දීලා සුද්දො ලංකාවෙන් යනකොට බණ්ඩාගාරයේ විශාල වශයෙන් මුදල් ඉතිරිවෙලා තිබුණා. කොටින්ම කිව්වොත් මුදල් අතිරික්තයක් තිබුණා. ස්වදේශක පාලකයො ලංකාව බාරගත්ත ගමන් කළේ මේ මුදල් සුභසාධන ක්‍රියාමාර්ගයක් විදියට එක එක දේවල්වලට යොදවන්න පටන්ගත්තා. උදාහරණ විදියට කිව්වොත් මේ අරමුදල් විදියට පවුල්වලට සහල්,අධ්‍යාපනයට,සෞඛ්‍ය සහනාධාර විදියට දෙන්න පටන් ගත්තා.මේ නිසා ග්‍රාමීය පුවුල්වල ජනගහනය වැඩි වෙන්න පටන්ගත්තා.පනස් ගණන් හැටගණන් වෙද්දි ග්‍රාමීය ප්‍රජාව හෝගාල ළමයි හදන්න පටන් ගත්තා.මේ විදියට සංඛ්‍යාත්මකව වැඩිවෙන පවුල්වල ළමයි හොඳින් ඉගෙන ගත්තා.පසුකාලීනව මේ අය රටේ දිසාපතිලා උපදිසාපතිල,ගණකාධිවරු,ඉන්ජිනේරුවො,දොස්තරලා,නීතීයො හා රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් බවට පත් වුණා.නමුත් මේ අය රටේ ආර්ථික ක්‍රමවේදයකට අවශ්‍ය ආකාරයට නිර්මාණය වුණු පිරිසක් නෙවෙයි.මේ අය එංගලන්තෙ විශ්වවිද්‍යාල ක්‍රමයකට හැඳුන පිරිසක්. මේ විදියට හැටපහෙන් වගේ පස්සේ විශාල උගත්තු ටිකක් මේ රටේ බිහිවෙන්න පටන් ගන්නවා.නමුත් ඊට සාපේක්ෂව මේ අයට දෙන්න රස්සාවල් නැති වෙනවා. ඒ නිසා ඒ අය බොහෝම තාර්කිකව කියන්න පටන් ගත්තා අපි හොඳට ඉගෙන ගෙන තියෙනවා ඒත් අපිට රස්සාවක් නැහැ, මේ සමාජ ක්‍රමය හරිම අසාධාරණයි කියලා. හැත්ත එකේ කැරැල්ල බිහිවුනේ අන්න ඒ අයගෙ එකතු වීමෙන්.

ඒත් මේ ගැටලුව පාලකයන් විසින් අඳුන ගන්නේ නැතිව මර්දනයකට යනවා. කොහොමද ඒක සිද්ධවෙන්නේ?

මෙහි තිබෙන අවාසනා වන්ත තත්ත්වය වෙන්නේ වාමාශික පක්ෂයක් ලෙස පෙනී හිටපු සමසමාජ පක්ෂයේ උපදෙස් අනුව මේ කැරැල්ල මර්දනයට ලක්වීමයි. ඇත්තෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා මේ මර්දනය සඳහා බලවත් ලෙස මතවාදීව පෙනී සිටියේ සමසමාජ පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ ආචාර්ය එන්.එම් පෙරේරා. මේ හේතුව නිසා තමයි එන්.එම් පෙරේරා 77න් පස්සේ පැරදිලා සම්පුර්ණයෙන්ම විනාශවෙලා ගියේ.මේ වගේ තත්ත්වයක් ඇතිවෙයි කියල ඔහු තුළ කිසි ලෙසකින්වත් ඓතිහාසික විශ්ලේශනයක් තිබුණේ නැහැ.ලංකාවේ මිනිස්සුන්ට යහපතක් කරන්න බලාපොරොත්ත්තු වෙන් අවුරුදු තිස් පහක් තිස්සේ ප්‍රැක්ටිස් කරපු සංකල්ප ලංකාවේ පොලවේ වගා කරල ශක්තිමත් දේශීය ආර්ථිකයක් හදන්නයි ඔහු උත්සාහ කළේ.දෙගොල්ලොම යහපතක් කරන්නයි ගියේ.නමුත් අවසානයේ සිද්ද වුණේ මොකක්ද? වේගයෙන් එන කොච්චි දෙකක් එකට එක හැප්පෙනව වගේ දෙගොල්ලොම මුහුණට මුහුණ හැප්පිලා විනාශවෙලා ගියා.ඒකෙන් සමසමාජ පක්ෂයත් ඉවර වුණා. ග්‍රාමීය දිළිඳු ජනතාවගේ කැරැල්ලත් විනාශවෙලා ගියා.පැරණි වමත් ඉවරයි.අලුත් වමත් ඉවරයි.මම කියන්නේ මේ අය කරපු දේ හරියි කියන එක නෙමෙයි, ඉතිහාසයේ සිද්ද වුණේ මේකයි.සමරන්නෙ ඇයි කියල දන්නෙ නැතිව අපි අද ඒක සමරනවා.

ඇත්තටම මොක්ද මේ අය මේ අප්‍රේල් විරු සමරුව කියල සමරන්නේ?

චාරිත්‍රයකට වගේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව ලංකාවේ සිංහල සමාජය 71 සමරුව සමරනවා. ඒක හරියට අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය,… වගේ නැවත නැවත සමරනව. හැබැයි අපි එහි ඓතිහාසික අදාලත්වය සලකා බැලුවොත්, ඒක දැන් අහෝසිවෙලා. ඒකට හේතුව 71දී ක්‍රියාත්මක වුණු සන්නද්ධ අරගලය කියන අදහස ගෝලීය ධනවාදී ආර්ථිකය හමුවේ තවදුරටත් වලංගු නැහැ. මාක්ස්ගේ අදහස අනෙක් පැත්ත හරවලා සරලව කිව්වොත්, වර්තමාන ගෝලීය ධනවාදය තුළ වඩා වැදගත් වෙන්නේ ලෝකය වෙනස් කිරීම නෙමෙයි. මේ ලෝකය හරියට අර්ථකථනය කර ගැනීම. ඒ අර්ථයෙන් ගත්තොත් 71 කැරැල්ල කියල කියන්නෙ ලෝකය වැරදියට අර්ථකථනය කිරීම නිසා හටගත් වැරදි ක්‍රියාවක ප්‍රතිඵලයක්.

ඔබ හිතන ආකාරයට 1977න් පස්සේ වාමාංශිකයන් චින්තනයක් හැටියටත් ප්‍රායෝගික දේශපාලන වැඩපිළිවෙළක් හැටියටත් දිගින් දිගටම අමිහිරි පරාජයකට ලක්වෙනවා?

සරලව කිව්වොත් 1977න් පස්සේ ගෝලීය ධනවාදය ලංකාවට ආවා.ලංකාවේ හිතන පතන මිනිස්සුන්ට දැන් මේක මතක නැහැ. මොකද වාමාංශික ව්‍යාපරයක් දැන් ලංකාවේ නැහැනෙ.පත්තරවලත්නැහැ, පොත්වලත් නැහැ, මින්ස්සු කියවන්නෙත් නැහැ දන්නේත් නැහැ,සංස්කෘතික නිෂ්පාදනවලත් නැහැ, ටෙලි නාට්‍යවලත් නැහැ, සුපර්ස්ටාර් තරගවලත් නැහැ,මේ වෙද්දි කිසිම රූපවාහිනී නාලිකාවක වම කියල එකක් නැහැ. එහෙම එකක් තියෙනවද කියලවත් මින්ස්සු දන්නෙ නැහැ. ඒ නිසා අපි ඒකට කියනවා අමතක වෙලා කියලා. මිනිස්සු හිතන්නේ ඒක පරණ අදහස්ක් කියල.ඒ නිසා මින්ස්සුන්ට ඒකෙන් දැන් වැඩක් නැහැ.

නමුත් අපි තේරුම් ගන්න ඕන මේ පරණකමට වටිනා කමක් කවද හරි දවසක ලැබෙනව කියල.උදාහරණයකට පරණ ඕලන්ද බඩුවලට වටිනා කමක් ලැබුණේ, වසර දහස් ගණනක් පැරණි ඊජිප්තියන් මමීවලට වටිනා කමක් ලැබුණේ, අන්න ඒවගේ ‘වම’කවද හරි දවසක අපේ ජීවිතවලට මමියක් වගේ පැමිණෙන්න නියමිතයි. අද මියුසියම්වල නෙ මමී තියෙන්නෙ. ඒ වගේ අනාගතේ කවදහරි දවසක වාමාංශික චින්තනය හදාරන්න අපිට ඕන වෙනවා. ඒක අපිට අවශ්‍ය වෙනව මඟ හැර යන්න බැහැ කියන අදහසෙයි මම ඉන්නේ.

එහෙම නම් මේ වම නැතිවෙලා ගියේ ඇයි?

අපි කිව්වට පස්සේ වම නැතිවෙලා ගියා කියලා, හැමෝම ඒක කියාගෙන යනවා.හැබැයි ඒ කියන අයගෙන් වම නැතිවෙලා ගිය කොහොමද කියල ඇහුව්වොත් එක්කෙනෙක්වත් කියන්න දන්නෙ නැහැ. ඇත්තටම වම කියන්නෙ මොක්ද කියල අපි මුලින්ම තේරුම් ගන්න උත්සාහ කළොත්, ඒකට දෙන්න තියෙන සරලම උත්තරය ‘වම’ කියල කියන්නෙ වෙන මොහොකටවත් නෙවෙයි, අපි මේ ජීවත්වෙන ධනවාදී සමාජයට ගේන විවේචනයට.

මේ ගෝලීය ධනවාදී සමාජ ක්‍රමය තුළ මෙතෙක් අපි දැනගෙන සිටිය වාමාංශික චින්තනයෙන් පිළිතුරු හොයන්න බැහැ. උදාහරණයකට ලියොන් ට්‍රොට්ස්කි කියපු අදහස්වලින් මේ පවතින ගෝලීය ධනවාදය පැහැදිලි කරගන්න බැහැ. වම මිය ගියා කියල කිව්වේ ඒ නිසයි.

නරකයි, එපා කියල ඡන්දයෙන් ගෙදර යවපු මහින්ද රාජපක්ෂව මිනිස්සුන්ට නැවත අවශ්‍ය වස්තුවක් බවට වෙන්නේ ඇයි?

මේක තර්ක බුද්ධියට ගේන්න බැරි නිසා බොහෝදෙනකුට පැහැදිලි කර ගන්න බැහැ. තර්ක බුද්ධියට අනුව බැලුවොත් මහින්ද රාජපක්ෂට නැවත බලයට එන්න බැහැ. අපි ඒක උදාහරණයකින් පැහැදිලි කළොත් අපි නරකයි, සවුත්තුයි කියල අයින් කරපු ටයර් එකක් ආයි ආයි දාන්නෙ නැහැ. අපි ඒ වෙනුවට හොඳ බ්‍රෑන්ඩ් එකක ටයර් එකක් තෝරගන්නවා. නැත්තම් කාගෙන් හරි අහල, හරි තිබුණට වැඩිය හොඳ ටයර් එකක් දාගන්නවා. ඒකේ තේරුම වෙන්නේ එතනදි අපේ තර්ක බුද්ධිය වැඩ කරනවා කියන එකයි. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන මහින්ද රාජපක්ෂගෙ ප්‍රතිරූපය සම්බන්ධයෙන් ලංකාවෙ මිනිස්සුන්ට මේ තියෙන්නෙ තර්ක බුද්ධිමය අදහසක් නෙමෙයි. ඔවුන්ට ඒ ගැන තාර්කික අදහසක් නැහැ. ඒ වෙනුවට ඔවුන් තුළ තිබෙන්නෙ අවිඥානික ආශාවක්, බැඳීමක්.

මොකක්ද ඔය කියන අවිඥානික බැඳීම, අපි එයාට මේ තරම් අවිඥානිකව ආශා කරන්නේ ඇයි ?

අපි ජීවත්වෙන මේ ජනසමාජයේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් අරන් බැලුවොත්; තමන්ගෙ අනාගතය ගැන,රැකියාව ගැන, තමන්ගෙ පවුල ගැන, දරුවෝ ගැන, ඒ මනුෂ්‍යයා කොයිතරම් බයකින්ද ජීවත් වෙන්නේ. බොහොම අඩු ආදායමක් ලැබෙන්නේ, ණයක් ගන්න බැහැ, ගෙයක් හදාගන්න බැහැ ප්‍රශ්න රශියක් තියෙවා. මොනව වෙයිද කියල හරිම අවිනිශ්චිත භාවයකින් ඉන්නේ.මේ ඔක්කොම එකතු කරල මල්ලකට දැම්මොත්, තියෙන්නෙ අවිනිශ්චිතභාවය, අස්ථාවර භාවය හා මේ නිසා ඇති වන ‘බිය’ නේද? ඔය කියපු අංගවලින් තමයි ඔවුන්ගේ මනෝභාවයම ක්‍රියාත්මක වෙන්නෙ . ඉතිං අපි ආශ නැද්ද වචනෙකින් හරි මෙන්න මේ දේවල්වලින් අපිව මුදවන කෙනකුට. මේකට ඕන වෙන්නෙ අපේ මේ තියෙ අවිනිශ්චිත භාවය නැති කරල, අපේ සතුරො පලවා හරින කෙනෙක්.

අපි නිකමට හිතමු විමල් වීරවංශ ඇවිත් කියනවා මේ අවිනිශ්චිතභාවය හේතුව මුස්ලිම් මිනිස්සු කියල. එහෙම නැත්තම් මේ අවිනිශ්චිතභාවයට හේතුව දෙමළ මිනිස්සු කියල. අපි හිතනව ඔව් ඇත්ත තමයි කියල.

නමුත් අපි මේ දිහා හරියට බැලුවොත් තේරෙන්න ඕන අපි අපෙන් බාහිර ප්‍රතිරූපයක් බලාපොරොත්තු වෙනවා. ඒ අපේ මේ අභ්‍යන්තර ගැටලුව නිසා. ඒකට වෙන ජාතියකට ගහල හරි මරල හරි විසඳුම් දෙන්න බැහැ. සරලව කිව්වොත් මනසික වශයෙන් අපි තුළ තිබෙන අසමතුලිතතාවය නිසා තමයි අපිව මේ විදියට පොලඹවන්න පුළුවන්වෙලා තියෙන්නේ. ඒ කට හේතුව අපිට මේ ලෝකය තේරුම් ගන්න බැරිකම. ඒ නිසා අපිට අනාගතයක් නැති කම.

මේ ප්‍රශ්න මල්ල කවුරුහරි බාරගන්නම් කියල නිකමට හරි කිව්වොත් අන්න විසඳුම. මහින්ද රාජපක්ෂට මිනිස්සු ආකර්ෂණය වෙන තැන ඒක නේද? ඒ කියන්නෙ අපි තුළ තියෙන මේ දැඩි අවිනිශ්චිත භාවය, මේ සමාජ ක්‍රමය තෙරුම්ගන්න දැනුමක් නැති කම, දීර්ඝ කාරයක් තිස්සේ බුද්ධිමතුන් හරි කවුරු හරි මැදිහත්වෙලා මේව තේරුම් නොකිරීම. මේ නිසා අපි අනාතවෙලා ඉන්නේ. එතකොට මේ අනාතයට කොහේ හරි ගැලවීමක් නේ ඕන. බල්ලෙක්, පූසෙක් වුණත් කමක් නැහැ. ගැලවීමක් ඕන. අපි වුනත් මානසික ආතතියකින් ඉන්නකොට පූසෙක්ව හරි බල්ලෙක්ව හරි ළඟට අරන් ඔළුව අතගානවා. ඒවගේ මේ මිනිස්සු මහින්ද රාජපක්ෂ දිහා බලන් ඉන්නවා. වෙන උත්තරයක් නැහැ.

නමුත් මේ ගෝලීය ධනවාදය නිසා ඇතිවෙලා තියෙන එක ප්‍රශ්නයකටවත් එයා ළඟ විසඳුම් නැහැ. එයා එහෙම ගෝලීය ධනවාදයක් ගැන දන්නෙත් නැහැ.ඒ කොහොම වුනක් අවිඥානිකව අපි එයාව ඉල්ලනවා. ඒ අපේ අර ගැටලුවලින් බේරෙන්න උත්තරයක් විදියට. නමුත් වෙන්නෙ තවතවත් ඒ ගැටළුවේම හිරවෙන එක.

එහෙම නම් එක පාරක් වැටුණු වළේ අපි ආයිත් වැටෙන්න මේ තරම් උත්සාහ කරන්නේ ඇයි ?

අපි මතක් කරගත යතුයි, නිදහස ලබල අවුරුදු 70ක් අපි ගතකරග තියෙනවා. අලුත් තත්ත්වයක් දේශපානයට ඇවිත් තියෙනවා. දේශපාලනය කියන්නේ යම්කිසි අර්ථයක් දෙන දෙයක් කියල මිනිස්සු හිතුවා. නැත්තම් අපේ ජීවිතේ කොන්දේසි වෙනස් කරන දෙයක් කියල හිතුවා. අපි දුප්පත් නම් අපිව පොහොසත් කරනවා කියල අපි හිතුවා. අපිට ඉඩමක්, ගෙයක්,රැකියාවක්,පොහොර, එහෙමත් නැත්තම් හාල් දෙනව, විශ්වවිද්‍යාලයට ගන්න ළමයි ගාන වැඩි කරනව, උපාධිධාරී ගුරුවරුන් බඳවාගැනීම් වැඩි කරනව, රජයේ රැකියා ලබාදෙනව, පඩි වැඩිකරනව… ආදී වශයෙන් ද්‍රව්‍යාත්මක දේවල් හරි දෙනව කියල අපි හිතුවා. එහෙමත් නැත්න්ම ජීවිතයට කිසියම් අර්ථයක් හෝ ලබාදෙනවා කියල හිතුව. අපි දේශපාලනය කියල හිතුවේ මේ දේවල්වලට.

නමුත් අපි තේරුම්ගත යුතුයි 2010 යුද්ධය දිනුවට පස්සේ, ඒ යුගය අවසන් වුණා කියල. ඒ කියන්නෙ ද්‍රව්‍ය වෙනුවෙන් ඡන්දය දෙන එක ඉවර වුණා. දෘෂ්ටිවාදය කියන්නෙ තවදුරටත් මිනිස්සුන්ගෙ ද්‍රව්‍යාත්මක දේවල් වෙනුවෙන් සටන් කිරීමකට නෙමෙයි. තමන්ගේ පරමාදර්ශ වෙනු වෙන් සටන් කිරීමකට. ඒ නිසා දැන් මිනිස්සුන්ට ඕන වෙලා තියෙන්නෙ හාල් සේරුවක්, පොහෝ මල්ලක් එහෙම නෙමෙයි, අපේ මේ අසංගතභාවය සංගත කරන අදහස් ටිකක්. අපි අසම්පූර්ණ නම් අපිව පරිපූර්ණ කරන පොහොසත් අදහස් ටිකක්. ඒව කවුද දෙන්නෙ, අපි එයාට මල්ල දෙනවා.

ඔබ කියන්නේ 2015න් පස්සේ කලින් පැවති දේශපාලන දෘෂ්ටිවාදය වෙනස් වුණා කියනඑකද?

හරියටම හරි, 2015වෙන් පස්සෙ දේශපාලනයට අලුත් සාධකයක් එකතු වුණා. පදාර්ථය තේරුම් ගන්න කාලය අවකාශය තෙරුම් ගන්නව වගේ දැන් දේශපාලනය තේරුම් ගන්න වෙන්නේ වෙනදා තිබිච්ච සාධක මතම නෙමෙයි. අර්ථය, ඡන්දය, පාර්ලිමේන්තුව, මන්ත්‍රීවරයා, තනතුරු මේ සාධකවලට අමතරව දැන් එකතු වෙලා තියෙන්නෙ විනෝදය කියන සාධකය. ඒ නිසා අද දේශපාලනය කියල කියන්නෙ විඳවීමකින් ගැලවෙන්න උත්සාහ කිරීමක් නෙමෙයි, විඳවීමක් ඉල්ලා සිටින දෙයක්. මේක ටිකක් එකපාරටම තේරුම් ගන්න අමාරුයි.

සාමාන්‍යයෙන් බුද්ධාගමට අනුව වුණත් අපි විඳවීමෙන් අයින් වෙනවා. මිනිස්සු ශෝකයෙන් අයින් වෙලා ප්‍රීතියට යනවා. නමුත් යුද්දෙන් පස්සෙ මිනිස්සුන්ට වෙලා තියෙන දේ තමයි, අපි නැවත නැවත පසු බසිනවා ශෝකය වෙතට. විඳවීම දෙශට.වේදනාවෙන් සතුටු වීමට.

ඇයි එහෙම වෙන්නේ?

එකට හේතුව තමයි සමාජයෙන් එන පණිවිඩය. මෙකක්ද සමාජයෙන් එන පණිවිඩය. සතුටු වන්න.ජීවිතය සාර්ථක කර ගන්න. අපේ ජීවිතයේ නියම ගුණය තමයි අසාර්ථකත්වය. අසාර්ථක වුණාම තමයි අපේ ආශාව මිය නොයා පවතින්නේ. එතනදි තමයි අපි ජීවමාන වෙන්නේ. නමුත් මේ සමාජ ක්‍රමයේ වෙළෙඳ පණිවිඩය මොකක්ද? ඔබ වඩ වඩා සතුටු වෙන්න. ඔබ වඩ වඩා ප්‍රීතිවෙන්න, අද බැරි නම් හෙට හරි කාර් එකක් ගන්න, ගෙයක් නැත්තම් ගෙයක් ගන්න. කසාද බඳින්න සල්ලි නැත්තම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් සල්ලි අරගෙන කසාදයක් බඳින්න. අපට තර්ජනාත්මක ලෙස එළියෙන් ඉල්ලීම් එනවා. ජීවිතයේ අඩුපාඩු තියාගන්න එපා සතුටු වෙන්න. ඉක්මනට නුවර එළියට ගිහින් ඇවිදල එන්න.බලන්න ඔයා කාංසාවෙන් නේද ඉන්නේ ට්‍රිප් එකක් යන්න. මැක් ඩොනල්ඩ් එකට ගිහින් හරි, ඩොමිනෝස් එකට ගහින් හරි කේ.එෆ්.සි එකෙන් හරි කෑම ටිකක් කන්න. කාලෙකින් ගියේ නැහැ නේද ෆිල්ම් එකක් බලන්න. යන්න ගිහින් බලන්න…ආදී වශයෙන් වසංගතයක් වගේ අපේ ඔළුවට ෆැන්ටසි ගොඩක් ඇතුල් කරනවා. මේව කරන්න මේව කරන්න කියල. එහෙම එද්දි අපි සතුටින් නම් ඉන්නේ, ඒ සතුට බිඳ දාගන්න ඕන. ආශාව හදාගන්න.

එතකොට අපිට කරන්න වෙන දේ තමයි, වේදනාවක් හදාගන්න එක. රාජපක්ෂල කියන්නේ අන්න ඒ වේදනාව ජනණය කරන වස්තුවට. ඉතිං රාජපක්ෂල එක්ක මිනිස්සු යන්නෙ සතුටු වෙන්න නෙමෙයි. අපේ අපේක්ෂවන් නැති කරගන්න. අපේ අපේක්ෂාවන් බිඳගන්න. ඒක තමයි අපේ අවිඥානික ආශාව. ඒ නිසා අපි මේ යන්න හදන්නේ ස්වයංං විනාශයකට ස්ව්‍යං නිර්මාණයකට හෝ පැවැත්මකට නෙමෙයි.

මෙන්නමේ විනෝදයි සාධකය කිසිම දේශපාලන පක්ෂයක් ‍හෝ දේශපාලකයෙක් අධ්‍යයනය කරල නැහැ. එහෙම දෙයක් දන්නෙත් නැහැ. රාජපක්ෂ දන්නෙ නැහැ මේ ප්‍රපංචය මොකක්ද කියලා. නමුත් ඔහු හැසිරෙන්නේ මේ අශ්ලීල විනෝදය ලබාදෙන ආකාරයටයි.

අපි නුවරඑළියට ගියොත් අපිට ශීතල ඇඟට දැනෙනව. නමුත් ඒක අපිට මීටරේකින් පෙන්නන බැහැනෙ. අන්න ඒවගේ අපි මේ විනෝදය ඇතුළෙ ජීවත් වෙන්නේ. හැබැයි අපිට වචන නැහැ, න්‍යායක් නැහැ, අපිව පාලනය වෙන්නෙ මේකේන්නේද කියල පෙන්වන්න. මේ මොහොත වන විට අපිව පාලනය කරන යතුර බවට පත්ව ඇත්තේ මෙන්න මේ විනෝදය පිළිබඳ සාධකයයි.

රසික කොටුදුරගේ
ඡායාරූප රන්දික අහංගම

උපුටාගත්තේ දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *