විශේෂාංගඋපුටාගැනීම්

පව් කාරයන්ට ගල් ගහන පව් කාරයෝ

(රාජපක්ෂලා වෙලේ සුදාලා සහ මධූෂ්ලා | බන්ධනාගාර රැදවියෙකුගේ විශේෂ හෙලිදරව්ව.) 

බෞද්ධ දර්ශණයේ මූලික හරය ලෙස ගත් කළ විශේෂයෙන් හඳුනා ගත හැකි දියුණු ලක්ෂණය වන්නේ හේතු ඵල වාදයයි. එසේනම් ලංකා සමාජය බහුතරය බෞද්ධයින් නම් සෑම විටම යම් සිද්ධයක් පිළිබඳව එම සිද්ධිය සඳහා හේතු පාදය වූ කරුණු පිළිබඳ විචාරශීලීව අධ්‍යයනය කළ යුතුය. එහෙත් වෙමින් පවතින්නේ රෙඩිමේඩ් අඳින,  සැකසූ ආහාර (Processed food) බුදින තම විවාහ උත්සවය වෙඩින් හෝල් අයිතිකාරයින්ගේ අවශ්‍ය ආකාරයට (Wedding plan) සිදුකරණු ලබන බහුතරයකගෙන් යුක්ත සමාජය, ඊනියා මාධ්‍යවේදීන් විසින් අතේ රෝල්කර පෙර සැකසූ ප්‍රවෘත්ති නැතහොත් මීඩියා කාරයින්ගේ රෙඩිමේඩ් නිව්ස් ඇඳගැනීමට මග රැක සිටීමයි. ඒවා ගුණාගුණ සහ රසකාරකයන්ගේ අහිතකර බව ගැන නොසලකා බහුතර ජනතාව ගෙඩි පිටින් ගිල දමති. එසේ නොවන අතලොස්සක් සිටිති ඔව්න් එවාට විරුද්ධව විවිධ ආකරයෙන් සංවිධානාත්මකව මෙන්ම තනි තනිව හඬක් නැගුවද  සත්‍යට වඩා බේගල් උගුල් බලවත්ය. යම් හෙයකින් තම සේවා දායකයින්ට එරෙහිව සත්‍ය තොරතුරු සමාජ ගත කිරීම සඳහා යමෙක් උත්සාහ ගත් විට, ඒවාට කවුන්ටර් ඇටෑක් කිරීමට බේගල් ලියන අප්පුලාගේ හමුදාවකගෙන්ද අපේ රට සන්නද්ධය. සත්‍ය වශයෙන්ම අප සමාජය නැවත නැවතත් නිර්මිත බොරුවම තෝරාගනිමින් සිටිති.

මා කියන්නට යන්නේ අප සමාජය විසින් උත්තුංග ලෙස හුවා දක්වා ඇති මැනවින් සංවිධාන ගතව ජනතාවගේ දේපළ මහ දවාලේ මංකොල්ල කණ හොරමුළු සහ සමාජ දේශපාල හේතු මුල් කරගනිමින් සමාජය විසින් තම අවස්ථාවන් අහිමි කිරීම හේතුවෙන් සම්මතය විසින් සහ නීතිය විසින් වැරදි කරුවන් සහ අපරාධකරුවන් බවට පත්කල කොට්ඨාශයක් පිළිබඳවයි. මන්ද ඒ කණ්ඩායම මගහැර අපට යා නොහැකි නිසා සහ ලියුම් කරු වන මා විසින් ප්‍රත්‍යක්ෂයෙන් අත්දුටු සත්‍ය සමාජ ගත කිරීම මාගේ වගකීම බව විස්වාස කරමි.

පසුගිය දිනවල යහපාලන රජය විසින් පහුගිය රජයේ හොරු ඇල්ලීම පිළිබඳ විශාල සාකච්ඡාවක් කරගෙන යන ලද අතර ඒ සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමටද යෝජනා කෙරිණද එය හුදෙක් මවා පෑමක් පමණකි. ඒ අල්ලපු ගෙදරට පැන මිරිස් ගුළිය හොරකම් කරණ විට එය සොරකමක් යනුවෙන් අර්ථ දැක්වෙන මෙන්ම පොල් ගෙඩිදෙක තුනට අඹ ගෙඩි තුනට නඩු කටයුතු කෙරෙන සමාජයේම බිලියන් ගනණින් ජනතා දේපළ සොරකම් කළ වුන් ආරක්ෂිතය.

මේ දේශපාලන කරළියේ රැඟුවා වූ රාජපක්ෂලා රජය ගැනීමට පෙර තමන් වෙත තිබූ වත්කම් ප්‍රමාණයත් දැනට දේශපාලන බලය ලබාගැනීමෙන් පසු තමා සතුව ඇති ධනස්කන්ධයත් අතර ඇති වෙනස හොරකම සහ වංචාවේ මෙන්ම මංකොල්ලයේ අගයට සමාන වන බවට සූත්‍රය මේ ඊනියා බෞද්ධයින්ට මෙන්ම උන්ට දාර්ශණික අවි සපයන රෝ. චම්පික රණවකලාගේ ඉංජිනේරු බුද්ධියට හෝ පොල්අතුමෝදර අසංකලා වැනි කොලුගැටයන් මිනීමරුවන් කළ අතුරලියේ රතනලාට නොතේරෙනවා නොව, උන් උන්ගේ දේශපාලන වාසි පංති වුවමනාවන් සහ අවස්ථාවදයේ ගිලී සිටිති.

ජනමාධ්‍යද වාර්තා අනුව වෙලේ සුදාගේ ප්‍රකාශ හරහා බොහෝ දේශපාලඥයින්ගේ මෙන්ම පුද්ගලයින්ගේ නම් කියැවී ඇති බවයි. තව දුරටත් එවන් උන්ගේ නම් කියවීම වැළැක්වීමට හෝ ඔහුට වහා මරණීය දණ්ඩනය ලබාදීම පිළිබ සෑහීමකට පත්වූ බෞද්ධයින් සිත සැහැල්ලු කරගත් අතර මහත් අස්වැසිල්ලක් ලැබූහ. මන්ද ඒ මත්කුඩු උවදුරෙන් බෞද්ධයින් බේරා ගැනීමට රජයට සහ අධිකරණයට හැකිවූ බව සිතමිනි. එහෙත් සැබවින්ම මේවා නාට්‍ය පමණකි. අලුතින් වෙලේ සුදාගෙන් හෙළිකරගත් නම් ලයිස්තුව ගැන මාධ්‍ය පෙරළා ප්‍රශ්ණ නොකරණ ලදී. කාළයෙන් කාළයට එන මත්ද්‍රව්‍ය කාය්‍යාංශයේ නියෝමාල් රංගජීව වැනි නිලධාරීන් සිතා සිටන්නේ හේතුව ඉතිරි කරමින් ඵලය විනාශ කිරීමෙන් පමණක් අපරාධ අවසන් කළ හැකි බවය.

මෙසේ ලිපියක් ලිවීමෙන් මා කරන්නේ පොදු සම්මත මාධ්‍ය විනය කඩ කිරීමය. ඒ අවශ්‍ය වුන්ට සත්‍ය දැන ගැනීම සඳහා මිස නැවත තවත් වෙළේ සුදෙකු බිහි කිරීම සඳහා නොවේය. ඒ වෙළේ සුදාළා බිහි කිරීමට අවශ්‍ය සියළු පසුබිම පොළව සකස් කරමින් සිටින්නේ විනය ලෙස සිතා බොරුව සහ වංචාව ආරක්ෂා කරණ සුචරිත සමාජ මාධ්‍ය විසිනි. ඔව්න් කරන්නේ ඔවුන්ගේ ඇජෙන්ඩාවන්ය. මාධ්‍ය කරුවන්ට සැබෑව සෙවීමට අවශ්‍ය නැත. ඉතා සුළු පිරිසක් ඇරුණු කොට බහුතරය කරන්නේ තම රස ගැන්වූ සාහිත්‍ය වචන යොදාගනිමින් යමෙකුට ගහන විට වටවී පහරදීමත් යමෙක්ව හෝදන්නට ඕනෑවූ වූ විට වටවී හේදීමත්ය. සිදුව ඇත්තේ ඔවුන්ට දැක්මක් නැතිවීමය.  ප්‍රතිපත්ති ගරුක මාධ්‍යවේදීන් ලංකා පොළවේ සිටින්නේ කීයෙන් කී දෙනෙක්ද? මා මාධ්‍ය කාරයෙකු හෝ මාධ්‍ය වේදියෙකු නොවුනද මෙසේ ලියන්නට සිදුව ඇත. ඒ සත්‍ය ගවේශණය සඳහා එක් අයෙකුට හෝ මෙය රුකුළක් වනු ඇතැයි සිතන නිසා මෙන්ම සැබෑ අපරාධ කරුවන් පිළිබඳ නැවත සිතා බැලීමටය. ජනතාවට එදිනෙදාට සපමින් සිටින්නට වෙලේ සුදා හෝ මධූෂ් වැනි චුවින්ගම් පෙන්වා දෙන මාධ්‍ය සැබෑ අපරාධකරුවන් සහ ගේම් කාරයින් එදිනෙදා සුළු සිද්ධීන් යට සැඟවීමට ඉඩ ලබා දෙමින් සිටී.

ජනතාව වෙළේ සුදා ගැන නොදන්නවා වුවද ඔය පිස්සු කෙලින සිංහළ බෞද්ධයින්ට වඩා වෙළේ සුදා බෞද්ධයෙකු බව ප්‍රකාශ කරමි. මා දුටු වෙළේ සුදා මස් මාළු තියා බිත්තර යොදාගෙන සාදන බැවින් බනිස් ගෙඩියක් හෝ කේක් කෑල්ලක් වත් කන්නේ නැත. එමෙන්ම විශේෂයෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අවධියේ එළියෙන් ගෙන්වා ගත් බුදු පිලියමකට වන්දනා මාන කලේය. බන්ධනාගාරයේ සිරවී සිටින අතරම M-1, M-2 සිර මැදිරි දෙක ඉදිරියේ හැකි හැම දෙයක්ම ගොවිතැන් කළේය. ඒ ඔහු විසින් සිටුවන ලද නිවිති ආදිය ඔහුගේ අතින්ම උයා පිහා පිඟානටම බෙදා තම මැදිරියේ අනෙකුත් රුඳවියන්ට සංග්‍රහ කළේය. ඒ ඔහුගේ කුඩු බිස්නස් කාර සගයින් නොව ඒ මැදිරියේ සිට සැමටමය. ඔහුගේ වෙනස වූයේ විවිධ අපචාර මගින් මුදල් උපයාගත් අනෙකුත් පාතාලයින් තම මුදල් සහ කුඩු ලබාදෙමින් අතවැසියන් තබා ගැනීම වුවද, සිර මැදිරිය තුළදීද සුදා මුදල් අතින් ඇල්ලුවේ හෝ නොමැත. ඒ සඳහා පමණක් එම කුටියේ සිටි කිසිවෙකුගේ සේවය ලබා ගත්තේය. ඒ කුමක් සඳහාදැයි පැවසූ විට ඔබට පුදුම සිතෙනු ඇත. ඒ මුදල් ගෙව්වේ සිංහල අළුත් අවුරුද්දට හෝ නත්තලට බන්ධනාගාර නිළධාරීන් සඳහාය. (නිළධාරීන් පෝලිමේ පැමිණ වෙලේ සුදාගෙන් ලැබෙන මුදල රැගෙන යන්නේ ලජ්ජාවෙන් යුතුවය. ඒ නිළය අනුව 1500, 2000, 5000, වශයෙනි. එය වෙනම කතා කළ යුතු මාතෘකාවකි.) එසේත් නැතහොත් සාංඝික ධානයක් පිරිතක් පිංකමක් ඇතැයි කියා සමහර බන්ධනාගාර නිළධාරීන් මුදල් ඉල්ලාගෙන යනවා මම ඕනෑ තරම් සියැසින් දැක ඇත. මේ අපරාධ කාරයින් හා කුඩු කාරයින් සමාජ විරෝදීන්යැයි කියන සුදාලාගේ කුඩු මුදල් සම්මාදමෙන් අපේ බෞද්ධ භික්ෂූන් කොතෙක් නම් දානය වළඳා ඇත්ද? සුදාගේ බෞද්ධ යුතුකම සුදා ඉටුකර ඇතිමුත් අපේ බෞද්ධ සමාජයේ හෝ භික්ෂූන් විසින් ඔවුන් එල්ලා දමන තුරු බලා සිටිනවා මේන්ම එල්ලා මැරිය යුතුයි කියනවා හැර යහමගට ගන්නට දේශනා කරන්නට කිසිවෙක් නැත. සමාජයේ ඉහළින් වැජඹෙන මහාපරිමාන රාජ්‍ය දේපල සහ රට විනාශයට ඇද දමන උන්ට පිරිත් නූල් බඳිනවා මෙන්ම ඔව්න්ගේ උවමානවන් වෙනුවෙන් කඩේ යනවා පමණකි. අංගුලිමාල කතාව  මෙන්ම බයිබලයේ එන නැතිවුන බැටළුපැටවාගේ කතාවද මට සිහිවේ. වඩා වැදගත් වන්නේ රැළේ පිළිවෙලට යන බැටළු පැටවා ගැන සෙවීම නොව කණ්ඩායමෙන් පිටට ගිය මේ වෙළේ සුදා වර්ගයේ බැටළුවන්ට වැරදුන තැන් සාදාගැනීමට උපකාර කිරීමය. එක් කළෙක අපොස සා/පෙළ සදහා අනුමතව තිබූ පරිවර්ථන සාහිත්‍ය පොතවන මනුතාපය පොතෙහි එන සොරදෙටුවා අවසානයේ යහපත් මිනිසෙකු වන්නේ එක් යහපත් මිනිසකුගේ එක් ආදර්ශයකිනි. ඒ කරුණාව සහ ආදරය පිළිබඳ සංකල්පයත් යහපත පිළිබඳ අදහසත් අපේ ඊනියා සිංහල බෞද්ධයින් නොදන්නවාට සියළුම දියුණු සමාජයන් විසින් අනුමත කරණු ලැබ මෙන්ම අපේක්ෂා කරණු ලැබ තිබෙන්නකි.

වෙලේ සුදාගේ කර්මාන්තය වැරදිය. එහෙත් ඒ සඳහා පාදක වූ අනෙකුත් සාධක නැතහොත් මේ ඵලයට පාදක වූ හේතුව අප විසින් සොයා බැළිය යුතුය. ඒ අසූව දශකයයි ජේ ආර් ආණ්ඩුව විසින් විවෘත ආර්ථිකය හඳුන්වා දීමට සමගාමීව එම ආර්ථිකය විසින් සමාජ ආකල්ප ඉතා තදින් විපර්යාසයන්ට බඳුන් විණි. මේ අවධියේ ගල්කිස්ස හුළුඳාගොඩ මායිමේ එසේත් නැතිනම් බෙල්ලන්විල අභය භුමියට යාබදව වෙළක ජීවත් වීම නිසා වෙලේ සුදාට වෙලේ සුදා නම ලැබිණි. ඔහුගේ පියාද සමාජ ආර්ථිකය විසින් කොන්කරණු ලැබ ඒ වෙලේ ජීවත් වූ අන්ත අසරණ පවුල් අතර සිටි තවත් අයෙක් පමණි. ඔහු කසිප්පු වෙළඳාම කළ අතර, අසූව දශකයේ දේශපාලන අධිකාරීන්ගේ වක්‍ර සම්බන්ධතාවයන් ඇතුව ලංකාවට අලුතින් හඳුන්වා දුන් හෙරොයින් ජාවාරමට වැටුණේ එවක කසිප්පු වෙළඳාමට වඩා එය ලාභදායී වූ නිසා විය හැකිය.

කෙසේ හෝ නිසි මග පෙන්වීමක් හෝ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් අවුරා දමන ලද සමාජයකින් අප බලාපොරොත්තු විය යුත්තේ කුමක්ද? උඳු වපුරා තල ද ? එදා පරම්පරාවේ අපේ සමාජයේ බලවතුන් සහ සමාජ යන්ත්‍රයේ ක්‍රියාකාරී අංශ විසින් වැපූරූ දෙයෙහි ඵල අපි අද නෙළමින් සිටුමු. ඒ සුදාලාගේ මුහුණුවරින් අපි ඉදිරියේ දිස් වන්නේ ඒ ප්‍රතිපලයන්ය. අද අපි වපුරණ ජාතිවාදයේ මෙන්ම ආගම් වාදයේ ඵල අපේ ඊළඟ පරම්පරාව විසින් නෙළා ගනු ඇත. ඒවායේ අනිටු විපාක ඔවුන් විසින් භුක්ති විඳිණු ඇත.

කෙසේ හෝ මේ වකවානුවේ කුඩු මාෆියාව සහ පාතාලය දෙකක් නොව එකක්ව පැවති අතර පාතාල සේවය ලබා ගැනීමට දේශපාළඥයින් සැදී පැහැදී සිටියහ. ඒ සොත්ති උපාලිලා සහ ගෝණවල සුනිල්ලාගේ පරම්පරාව ජීවත් වූ කාළයයි. ඔවුන් පෝෂණය කරමින් උන් ඔවුන් ලවා ජනතාව මැරවූ දේශපාලඥයින් ගැන තවමත් අපේ සිංහල බෞද්ධ සමාජයට අවුලක් හෝ අපුලක් නැත. නැවත නැවතත් ඔවුන් මෙන්ම ඔවුන්ගේ සංස්කෘතියට හිමිකම් කියන දේශපාලඥයින් ඇගයීමට ලක්වන අතර, මේ පීඩාවට පත්වූ වරප්‍රසාද නොලත්, අවස්ථාවන් අහිමි කරණ ලද අපේම රටේ අපේම සමාජයේ කොටසක් සමාජයේ ඉහළින්ම වැජඹෙන දේශපාලඥයින් විසින් පාවිච්චි කර ඉවත දමමින් සිටිති. දෙමළා මැරීමට මුසල්මානුවා හමගැසීමට පෙර තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය නොදකින හේතුළඵලවාදී ධර්ශණයකට උරුමකම් කියන ආගමික නායකයින්ගෙන් හෝ ඔවුන් පසුපස රැළේ යන්නන්ගෙන්   රටට කිනම් යහපතක් ද?

සුදාට වුන දේද එසේමය සුදාගේ ළමාකාලයේ සිට ඔහුගේ අත්දැකීම් මෙන්ම පිය උරුමයෙන් එම රැකියාවම ඔහුට උරුම විය. යහපත් ආදර්ශයක් නැති උත්තමාර්ථයන් මවාපෑමක් මායාවක් පමණක් වූ සමාජයක කිසිවෙකුටත් පිළිසරණක් නැත. ඔහුගේ සහෝදරයින් සහෝදරියන් කුඩු වලට ඇබ්බැහි වී සිරගත වෙද්දී ඔහු කුඩු විකුණා සිර ගත විය. මෙය මාධ්‍ය කාරයින්ට මාධ්‍ය වාරථා සපයන්නක් වුවද ජීවිත වල ඛේදවාචකයකි. සුදාට මරණ දඬුවම දී යහපත් සමාජයකට අත පිස දාගත නොහැකිය. අඩු වැඩි වශයෙන් ජනතාව වන අපිත් අපේ සමාජයේ මෙහෙයුම් බලය ලෙස හුවා දැක්වීමට යත්න දරණ බෞද්ධ බලවේගයද මෙයට ඍජුවම වගකිව යුතුය. යුක්තිය හෝ සමාජ සාධාරණත්වය යනු පංසලේ හෝ බෝ මළුවේ තිබිය යුත්තක් නෙව. එය අපි විසින් සමාජ දේහය වෙත එන්නත් කළ යුත්තේ සමාජය අනෙකුත් ආසාධනයන්ගෙන් බේරා ගැනීමටය. ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීමට ඩෙංගු වලින් සමාජය ආරක්ෂා කිරීමට නීති රීති දමා ශ්‍රමදාන කරණ අපි සමාජ දේහය සුවපත් කිරීම සඳහා අපේ අසල්වැසියා සහෝදර ජනතාව බල්ලන් බළලුන් මෙන් මරා දමන්නට කටයුතු කල ජාතියකි. වෙලේ සුදාලාද මේ සමාජ දේහයෙන් පිටස්තරයින් නොවෙති. ඔවුන් පිළිබඳ අප සියළු දෙනා වගකිව යුතුය. ඔවුන් වෙත අහිමි කරණ ලද ළමාකාලය මෙන්ම යහපත් ජීවිතය සොරා ගත් වුන් ගැන විමසිළිමත් විය යුතුය.

රංගජීවලා වැනි මිනීමරු නිළධාරීන් මාද්‍යයට ජනතාවට බාබා පෙන්නුවාට බන්ධනාගාරයේ සිටි උන් හා නිළධාරීන් දන්නා සත්‍යයක් ඇත. සුදා කුඩු ව්‍යාපාරිකයෙකි. එහෙත් කුඩු පාර්සලයක් රැගෙන පාරේ යන මට්ටමේ මිනිසෙකු නොවේ. එය දන්නෝ දනිති. අතින් කුඩු ටිකක් දමා නඩුවක් දමා මිනිහෙකුට මරණ දඬුවම දීම මහා ලොකු වැඩක් ලෙසත් මාධ්‍ය කියන ලියන සියල්ල සත්‍ය යැයි සිතා සිටින ජනතාවටත් ඔවුන් වීරයින්ය .එහෙත් වරක් මේ රංගජීවම අර්තාපල් අතර සඟවා කුඩු ගෙනා කන්ටේනරයක් ඇල්ලුවේය. එහිදී කුඩු + අර්තාපල් පමණය. අයිතිකාරයෙක් නැතිය. ඒ දේශපාලඥයින්ගේ නම් ගෑවී යන විට මේ වීරයින්ට සිදුවන දේය. එවිට කුඩුපිරවූ අර්තාපල් වැන්දඹුය. නැතහොත් ඕපාපාතිකය. කුඩු මර්ධනය කිරීමට  හාල් මැස්සන් සමග අර්තාපල් ගෙනා තල්මසුන් ඇල්ලුවානම් එක්කෝ රංගජීවලාට දෙන්නට වෙන්නේ එක් මරණ දඬුවමක් හෝ දෙකකි. එක්කෝ ඉන් කුඩු උවදුර අහවර වේ නැතහොත් තමන්ගේ මරණය අත්විඳින්නට සිදුවන්නට ඉඩ තිබිණි. ඒ සඳහා කාගේ හෝ බලවතෙකුගේ සෙවණ පමණක් ප්‍රමාණවත් නැත තමන්ටම කියා කොන්දක්ද තිබිය යුතුය. එවිට මම හතලිස් පහකට (45) මරණ දඬුවම් දීමට කුඩු අල්ලා තියෙනවායි පාරම් බාන්නට හේතුවක් නැත.

2012 වසරේ බන්ධනාගාර තුළට පැණ  මිනීමැරැම් වලට සම්බන්ධ රංගජීව මම පෞද්ගලිකව නොදනිතත් වැලිකඩ ඝාතනයට හවුල් ඉන්දික ජේලර් වරයාගේ ක්‍රියාකළාපය මම දනිමි. ඔහු සත්‍ය වශයෙන්ම සිතා සිටින්නේ වරද කරුවන් මරා දැමීමෙන් වැරදි නැති කළ හැකි බවය. මේ පිළිබඳ උදාහරණ ඕනෑතරම් තිබේ. ඒ කඩුවෙළදී පැනයන සිරකරුවෙකු නිරුපද්‍රිතව අතටම අල්ලාගත් පසුත් වෙඩි තබා ඝාතනය කිරීම මෙන්ම අලුත්කඩේ සිරමැදිරියෙන් පැනගිය සිරකරුවන්ට වෙඩි තැබීමය. එක් සිරකරුවෙකු අල්ලාගෙන පැමිණි  පසු ඔහුගේ කකුළකට වෙඩි තැබුවේය. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ දෙපිරිසක් අතර ගැටුමේදී කට්ටිය ප්‍රධාන කාර්යාලය අසල, බෙහෙත් දෙන මෙඩිකල් සෙන්ටර් එක අසළට ගෙනැවිත් කාණුවට කකුල් තබා කිහිප දෙනෙකුගේ කකුල් කඩා බන්ධානාගාර රෝහළට යැව්වාදැයි දන්නේ එවකට එහි සිටිය වුන් පමණය. ඒවා නීති පොත් වල පේළි අතර හිස් තැන් වල සැඟවී ගිය තොරතුරු මෙන්ම මානව හිමිකම්ය. ඒ සියල්ල වැරදි කාරයින් යැයි අප සිතා සිටියද බහුතරය කොළඹ ප්‍රදේශයේ වතු යැයි හඳුන්වන මුඩුක්කු පරිසරවල උපදින දරුවන්ය. උන්ට අහිමි කරණ ලද අයිතීන් නම් කොතරම්ද? උන්ට අනෙක් උන්ට මෙන් අයිතිය ඇත්තේ ඡන්ද අයිතිය පමණකි. අනෙක් අතට ඒක පුද්ගල ආදායම වැනි නිර්නායක වලදී ඔවුන්ගේ ඔළු ගෙඩි ගණනින් බෙදන රටේ අනෙක් උන්ගේ ආදායමට සහ දේශපාලකයින්ට අවශ්‍ය මැරයින් සහ පාතාලයින් සපයා ගන්නා තෝතැන්නක් බවට එම ස්ථාන පත් කර ඇත්තේ කවුරුන්ද? මේ ඊනියා සිංහල බෞද්ධයින් මේ ගැන මොහොතක් හෝ සිතුවාද? මුසල්මානුවන් මරා දමා සිංහලුන්ගේ අයිතිය රකින්න හදන වුන් ඒ තැන් වලට ගොස් සිංහලයා නගා සිටුවා තිබේද? . උන්ගේ අහිමි කරණ ලද අයිතීන් වෙනුවෙන් සටන් කර තිබේද?.

බන්ධනාගාර අණපනත් නැතිනම් නීතියේ අණපනත් වලට පිටින් ගොස් වංගු ගසා මිණීමැරුම් කර සාධාරණීකරණය කිරීමට රංගජීවලාට බැරිවන්නේ  හෘදසාක්ෂියක් ඇති එකෙකු දෙන්නෙකු හෝ එම ඝාතනයට යුක්තිය සේවීම නිසාය. පසුගිය කාළයේ පාර්ලිමේන්තුව ආසන්නයේදී මරා දැමූ කුඩු ලාලිත නමින් ප්‍රසිද්ධව සිටි පුද්ගලයා මරා දැමීමට හේතුව කුමක්දැයි රංගජීව ලෝකයට නොකීවද අපි දනිමු. එහි නියම සත්‍ය දැනගැනීමට යම් ආරක්ෂක අංශයකට අවශ්‍යනම් එය දැන ගත හැකිය. ලාලිත නමැති පුද්ගලයා කුඩු ජාවාරම කළ බව සැබෑය එහෙත් ඔහු ගිනි අවි පාවිච්චි කරන්නෙකු නොවිණි. මිනිස් ජීවිත අගය කරණ යුක්තිය අගය කරණ යමෙක් වෙතොත් රහස් පොලීසියට හෝ මේ පිළිබඳ අවංක වුවමානවක් ඇතොත් දැන ගත හැකිය. (අවාසනාවකට අපේ රටේ නීතිය රැකීමට ඇති ආයතන වලින් සමහර අවස්ථාවලදී සිදුවන්නේද තවත් අපරාධයකි. ඒ වැරදි කරුවකු මහ පාරේ මරා දැමීම සාධාරණීකරණය කිරීම නීතිය රකින්නට සිටින වුන් අතරින්ම සිදු වීමය.)

ඒ සත්‍ය කතාව මෙසේය. රංගජීව ඇතුලු පිරිස ලාලිත අල්ලා ගත්හ. අංගොඩ ප්‍රදේශයේ හෝ අයි ඩී එච් ප්‍රදේශයේ යම් පාළු නිවසකට ලාලාත රැගෙන ගොස් පොලිතීන් බෑග් වලට පෙට්‍රල් දමා දෙවරක්ම හුස්ම හිර කළහ. බංකුවක නිදිකරවා දෙපතුල් වලට පහර දුන්හ. ඒ වේදනාව දරා ගන්නට නොහැකි වූ ලාලිත සත්‍ය ප්‍රකාශ කලේය. එහිදී ඔහුට එම කුඩු කිලෝ අට ලැබුණේ ලොකු සීයා (පොඩි සීයාද හරියට ලියුම් කරුට මතක නැත ඔහුද මේ පිළිබඳව අත් අඩංගුවට ගන්නා ලදී) යන මහර ප්‍රදේශයේ සාස්තර කාරයාගෙනි. ඒ දුමින්ද සිල්වගේ කුඩු කිලෝ අටකි. ලාලිතගේ තොරතුරු අනුව එය ලාලිත විසින් ලබාදුන් කාන්තාව රංගජීවලා යන විට මා දන්නා පරිදි කොන්ක්‍රීට් කණු වල ඒවා සඟවා තිබිණි. ඒ සත්‍ය දන්නේ ලාලිත ඒ සියල්ල රංගජීවට ප්‍රකාශ කළ නිසාය. කාලයකට පසුව ලාලිත ඇප මත නිදහස්ව එළියට ආවේය. එහෙත් රංගජීව ලොකු සීයා ලාලිත සහ අනෙක් කාන්තාව මෙන් දුමින්ද සිල්වා අත් අඩංගුවට ගත්තේ නැත. ලාලිතගේ කුඩු නඩුවට විභාග වීමට පෙර නාකොටික් නිලධාරින්ට වෙඩි තැබීමට උත්සාහ කළ බවට සාවද්‍ය නාට්‍යක් නිර්මානය කොට ලාලිතට වෙඩි තැබුවේ කාව රකින්නදැයි තෙවැනි ඇසක් ලෙස අප බලා සිටියෙමු. ඒ රංගජීවගේ වීර කම්ය. තව ඕනෑ තරම් තිබේ. නීතියේ යම් ප්‍රතිපාදනයක් තුළින් තමන්ට ලැබෙන බලය හෝ ආයුධය ගණිකා වෘත්තියේ යෙදවීය ඉතාම නිහීන ක්‍රියාවකි. රංගජීවගේ දැළට අසුවෙන්නේ සාලයින් හාල්මැස්සන් පමණකි. තෝරු මෝරුන් සදා නිදැල්ලේය. එමෙන්ම එදා බන්ධනාගාරයේදී රංගජීව කළ ඝාතනද ඊට නෙදෙවෙනි නැත.

එදා බන්ධනාගාරයේ මරා දැමුනේද රංගජීවට එරෙහිව මානව හිමිකම් නඩු පැවරූ උන් සහ රාජපක්ෂලාගේ කඩු හොරකමේ සැකකරුවාය. ඒ ගොඨාභය රාජපක්ෂගේ අණ පරිදිය. සත්‍ය වශයෙන්ම රාජපක්ෂලා ජනතා ධනය කොතරම් නම් වංචා කර සොරකම් කර තිබේද. එමෙන්ම ගෝඨාගේ සුදුවෑන් වලින් උස්සා මරා දැමූ පිරිස් මෙන්ම, ජනතා මුදල් වංචාවක් වන මිග් ගණුදෙණු සොරකම වසා දැමීම පමණක්ම මුල් කරගෙන ලසන්ත වික්‍රමතුංග මරා දැමීම මෙන්ම, ගලදාරී හෝටලයේ කරුණා අම්මාන්ගේ කල්ලියක් (රාජන් නමැති කරුනා පිලේ සාමාජිකයා ඇතුළු පිරිසක්) පවත්වාගෙන යමින් කොතරම්නම් කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගත්තේද?. ඒ නඩු වලට සිදුවූයේ කුමක්ද?. මහින්ද රාජපක්ෂ සහ පවුලේ උන්  මංකොල්ල කන ලද ජනතා මුදල් වලට දඩුවම් ලබානොදීම ගැන හෝ ජනතාවට අයිති දේ අයුතු ලෙස සොරා ගත් දේපළ නැවත රාජ්‍ය වෙත පවරා ගැනීම සඳහා සිංහල බෞද්ධයාට වගේ වගක් නැත. අධිකරණයට අවුලක්ද නැත. යුක්තිය පසිඳලීම සඳහා ඇති අධිකරණයේ ඉහළම තැන් දූෂිත පාලයන් විසින් හසුර වද්දී නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ න්‍යායට රියල් තක්කඩි සදා රැකුණෝය.

අධිකරණය ප්‍රශ්ණ කළ නොහැකි යැයි අපට පිළිගත හැක්කේ අධිකරණය විසින් යුක්තිය ඉෂ්ඨවන බව හැඟීයන තෙක් පමණි. ඕනෑම කෙනෙක්ගේ සාමාන්‍ය බුද්ධියට වැටහෙන පරිදි ඉතා සුළු වැරදි වලට විශාල දඬුවම් ලැබීමටත් ඉතා විශාල ප්‍රමාණයේ වැරදි වලට දඬුවම් නොලැබීමටත්, එවන් වැරදි වලට සම්බන්ධ අය අඩු වශයෙන් අත්අඩංගුවට ගැනීම රඳවා ගැනීම, දඬුවම් ලබා දීමක් පෙනෙන්නට නැත. දඬුවම් ලැබූ එකා දෙන්නාද නැවත නිදහස් කර යවා ඇත. එසේ ක්‍රියා කිරීමට යම් හෙයකින් අධිකරණයට නීතියේ ප්‍රතිපාදන තියෙන්නට හැකිය. එහෙත් එය බලපාන පුද්ගලයින් නම් විශේෂ වරප්‍රසාද සහිත කොට්ඨාශයකි. ඒ නයින් පෙනී යන්නේ අධිකරණය සමාජයේ යම් යම් කණ්ඩායම් සඳහා විවිධ වෙනස් අයුරින් සළකණ බවයි. ඒ අනුව අධිකරණ පද්ධතියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික වගන්ති පවා ප්‍රශ්ණගත තත්වයට පත්කරයි. නීතිය කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවට යුක්තියක් බලාපොරොත්තු විය නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.

අනෙක් කාරණය දේශපාලන කරළියේ රඟන රාජපක්ෂලාටම සම්බන්ධ දෙයකි. ඒ කුමක්ද යත් දැනට මාධ්‍ය විසින් පිටු පුරවනු ලබන පාතාලයේ මධූෂ්ය. මට ඒ ගැනත් ටිකක් ලිවීමට ඇත. මන්ද යත් දකුණේ පාතාලයේ චන්ඩි මල්ලිලා සමග අත්වැල් බැඳගත් මැර රාජපක්ෂලාගේ මධූෂ් බිහිකිරීමෙහි ලා ඇති සම්බන්ධතාවයයි. කාළයේ වැලි තලාවෙන් වැසීගිය මේ සුදනන්ගේ තොරතුරු ඉදිරිපත් කරන්නේ හෙතු යුක්ති සහිතව සමාජය විමසා බැලීමට පුංචි විවරයක් විවර කිරීමට මිස කිසිවෙකුට කඩේ යාමට හෝ කිසිවෙකු සාධාරණීකරණය කරන්නට නොවේය. මධූෂ් අපරාධකරුවෙකු ලෙස හංවඩු ගසන සහ ඔහුගේ විවිධ මිනී මැරුම් සහ කුඩු ව්‍යාපාර ගැන ලියූවද ඊට බෝහෝ පෙර  මාධ්‍යට අතපසු වූ දේ ලියන්නට ඇත. මධූෂ්ගේ ජීවිතයෙන් පෙන්නනේද සමාජයේ යම් පැතිකඩකි. එකී ඉතිහාසයට ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය මෙන්ම රාජපක්ෂ පවුලද අඩු වැඩි වශයෙන් වගකිව යුතු නිසාය.

ඒ මධූෂ් නමැති දරුවා වයස අවුරුදු 9ක පමණ වයසේ සිටි කාළයයි. එවකට 1988 -1989 කාළයේ දකුණු පළාතේ එවකට එක්සත් ජාතික පක්ෂ රජය විසින් දියත් කරණ ලද රාජ්‍ය භීෂණය සහ ජනතා විමුක්ති පෙරමු‍ණේ ක්‍රියාකාරීත්වය පැතිරී තිබුණු වකවාණුවයි. මධූෂ්ගේ මවද එවකට ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරණ ලද විරෝධතාවයකට එක් විය. එහිදී මධූෂ්ගේ මවට හරියටම නළළ මැදට හමුදා හෝ පොලිස් වෙඩි උණ්ඩයක් වැදී මියගොස් ඇතිබව පුංචි මධූෂ් දරුවාට දැන ගන්නට ලැබිණි. ඔහු එම ආරංචියට තම මව බලන්නට ගියේ බයිසිකළයේ පොල්ල යටින් කකුළ දමා පැදගෙනය. මෙයින් පසු මධූෂ් හැදී වැඩුනේ ආච්චි අම්මා ළඟය. එය පුංචි දරුවෙකුට කොතරම් රළු පරළු අත්දැකීමක්ද? තම ආදරණීය මව ලේ විලක් මැද වෙඩි වැදී වැටී සිටිනවා දැකීම. කෙසේ හෝ ඔහු තරුණ වියට පත්වන කාළය වන විට මධූෂ්ගේ කතාවේ අවාසනාවන්තම සිද්ධිය ඈඳෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉතා කිට්ටු හිතවතෙක්ගේ ජීවිතය සම්බන්ධවය. ඒ අන් කිසිවකුනොව ඩැනී හිත්තැටිය නම් මන්ත්‍රීවරයාය. ඒ කතාව මෙසේය. මා දන්නා පරිදි එවකට මධූෂ් මාළු වෙළඳාම කළේය. එවකට කුමක් හෝ පුංචි වචන හුවමාරුවක් හේතුවෙන් ඩැනී හිත්තැටියගේ මස්සිනා වන පුද්ගලයා කඩයක් අසලදී ක්ෂණිකව පිස්තෝලයක් ඇද මධූෂ්ට වහාම වෙඩි තැබුවේය. එම අවස්ථාවේම කෙසේ හෝ ඔහුගේ අතෙහි වූ මොටර් සයිකලයේ යතුර බිම වැටිණි. එය අහුලාගන්නට නැවෙනවාත් සමඟ පැමිණි වෙඩි උණ්ඩය කඩබිත්තියේ වැදිණි. මේ මධූෂ් නම් තරුණයා දේශපාලන මැරයින් විසින් අංගුළිමාලයෙකු කළ කතා වස්තුවේ ආරම්භයයි. ඔහුට එක පිට එක වෙඩි පහකින්ම බේරෙන්නට සිදුවිය. එදා එම කඩය අසල තාප්පයෙන් පැන බේරුණු මධූෂ් තමාට වෙඩි තැබූ බවට පොලිස් පැමිණිල්ලක් කළද ඇසින් දුටු කිසිවෙකු ඒ පිළිබඳ සාක්ෂි දීමට ඉදිරිපත් නොවූයෙන් වැටහෙන්නේ එදින ඔහු මුහුණ දුන් මැර බලයේ තරමය. හිරිමල් තරුණයෙකු වූ මධූෂ් එම ප්‍රදේශයෙන් පැන යන්නේ බියටම නොවන්නට ඇතියැයි සිතන්නට වෙන්නේ වසර ගණනකට පසු ඔහු කොහෙන් හෝ ආයුධයක් රුගෙන විත් අදාළ පුද්ලයා ඝාතනය කිරීමෙනි. ප්‍රසිද්ධියේ එම ඝාතනය කරණ ඔහු පවසන්නේ මට වෙඩිතියපු වෙලාවෙ එකෙක් වත් සාක්කි දුන්නේ නැහැ. කවුරු හරි මේ ගැන සාක්ෂි දෙන්න ඉදිරිපත් වුනොත් ඌත් මරණවා කියාය. මෙය කතන්දරයක් නොව අපේ වටපිටාවේ අප විසින් අත්දකින්නට වන අත්දැකීම්ය. ඔහු තෝරාගත් මාර්ගයය එයය. කිසිවෙකු හෝ ඔහුට වෙඩි තැබීම පිළිබඳ සාක්සීයට ඉදිරිපත් වූයේ නම් හෝ පොලීසිය මේ පිළිබඳ නිසි ක්‍රියා මාර්ගයක් ගත්තේ නම් අද මධූෂ්නම් පුද්ගලයෙකු අපරාධකරුවන්ගේ ලයිස්තුවේ නොවන්නට ඉඩ තිබිණි. සමාජ සිද්ධීන්ගේ ඵලයන් සමග පමණක් ගණුදෙණු කරණ වුන් ඒවාට කාරක වූ හේතූන් වසන් කිරීමෙන් වන්නේ එම හේතූන් සමාජය තුළ පවතින තාක් කල් එම ඵලයන් භුක්තිවිඳීමට ජනතාවට සිදුවීමය.

අප ඉල්ලා සිටිය යුත්තේ අපරාධකරුවන් එල්ලා මරා, එසේත් නැත්නම් රංගජීව පන්නයේ පාරේ මරා දමා අත පිස ගැනීම නොව. මේ අයුක්ති සහගත දේශපානය මැරකම් සොරකම් හා ජනතාවගේ දේ මංකොල්ලය නවත්වා රටේ සම්පත් ජනතාව වෙත සමසේ ගලායන ක්‍රමවේදයක් වෙත පියනැගීම සඳහා මේ සමාජ දේශපානය හේතූන් හඳුනාගෙන නැවත නැවතත් වෙලේ සුදාලා මධූෂ්ලා නිර්මාණයට විෂය වූ හෙතූන් විනාශ කර දැමීමය. නැතහොත් උන් එල්ලා මරා දමා සමාජයට ආදර්ශයක් දෙන්න යයි ඉල්ලා සිටීම නොව. ඔවුන් නිර්මාණය කිරීමට අවශ්‍ය පස නිර්මාණය කරණ උන් හඳුනාගෙන ඔවුන්ව ප්‍රතිෂේප කිරීම මෙන්ම ඔවුන් නිෂේධනය කිරීමයි. ඇත්ත වශයෙන්ම මා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී මධූෂ්ව හඳුනා ගන්නා කාළයේ ඔහුගේ නම කුඩුවලට ගෑවී නොතිබිණි. (මධූෂ් වෙලේසුදා මෙන්ම ලාලිතත් මට හඳුනාගෙන සිටීම පිළිබඳ යම් ගැටලුවක් වෙතොත් එයට වගකිව යුත්තේ අධිකරණය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවයි. ඒ මන්ද අප එකම කුටියක රැඳවූයේ බන්ධනාගාරයෙන් වන අතර මා රැඳවීම පිළිබඳ තීන්දුව ලබා දුන්නේ අධිකරණයෙන් බැවිනි. මෙසේ ලියන්නේ යමෙකුට මෙය ප්‍රශ්ණයක් විය හැකි බැවිනි)  එවකට සියලු දෙනාගේ අදහස වූයේ ඔහු මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අයෙකු නොවන බවයි. ඒ ගැන සත්‍ය මම නොදනිමි. කෙසේ හෝ ඔහු ඉතා ප්‍රසන්න සිත්ගන්නාසුළු තරුණයෙක් විය. මා දන්නා අනෙක් කරුණ නම් එකළ විශේෂ කණ්ඩායම් යොදා මධූෂ් බන්ධනාගාර බසය තුළදී ඝාතනය කිරීමට උත්සාහයක් වූ බවයි. එයට හේතු වූයේ රාජපක්ෂයේ හිතවතා වූ ඩැනී හිත්තැටිය මරා දැමීමේ පළිය ගන්නට විය හැකිය. එවක එක් දිනක් බන්ධනාගාර බසයට වෙඩි තැබීමට සැරසුන දෙදෙනෙකු බන්ධනාගාර නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට බාර දී තිබුනද ඔහුන් දෙදෙනා නිදහස් කර යැවීමෙන් වැටහී යන්නේ එම ප්‍රහාරය කවුරුන් විසින් සැළසුම් කළ එකක්ද යන්නය. තවද මේ සිද්ධීන්ට කිසිදු සම්බන්ධයක් නොදැක්වූ මධූෂ් හදා වඩාගත් ආච්චී අම්මාට රැකවරණය ලබා දුන් සහෝදරයාද කවුරුන් විසින් හෝ මරා දමා තිබිණි.

කෙසේ හෝ වේවා මා මේ ලියවිල්ල මගින් උත්සාහ දරන්නේ අපට හොරා අපේ ඇස් වසා අපේ රටේ දේපළ පරවේනියට බෙදාගෙන කන මේ නඩය විසින් මංකොල්ල කා ගත් ජනාතාව වෙත ලැබිය යුතු සම්පත් නැවත අයකර ගැනීම සඳහා සත්‍ය ජනතා නැගිටීමක් අවශ්‍ය බවය. එමෙන්ම අපට මේකී  නාටක වල  පොතේ ගුරාලා වන මාධ්‍ය විසින් පෙන්වන්නේ නළුවන් පමණකි. අපි වෛර බඳින්නේ මේ දුෂ්ඨ නලුවන්ටය. එහෙත් නිෂ්පාදකලා සහ අධ්‍යක්ෂකලා තිරෙන් පිටුපසය. අපට කිසි දිනෙක උන් දැක ගන්නට ලැබෙන්නේ නැත. සත්‍ය ලෙස අප කල යුත්තේ තිරෙන් පිටුපස සිටි මේ හොර දෙටුවන් අල්ලා උන් නමින් ඇති ජනතාවගේ දේපළ නැවත ජනතාව අතට පත්කරගෙන මේ අන්ත දුගීභාවයෙන් සහ හොරකමින් රට බේරාගැනීමය. හොරුන් විසින් පෙන්වන බොරු ඉල්ක්කයන් හඹා නොයා යුතුය. ඊනියා සිංහල බෞද්ධයින්,  රටේ දේපළ මංකොල්ල කන්නන් සහ රට විනාශ කරන්නන්ට නුඹලා මල්මාලා දමා සිංහාසනාරූඪ කිරීමට මාන බලනවා වෙනුවට යුක්තියට ගරු කරණ සැබෑ නායකත්වයන් වෙත යා යුතුය. බැටළු හම් පොරවා සුදු පිරුවට ඇඳ දේශපාලන බලය හා තම පංති බලය උපයෝගී කරගනිමින් ජනතා නියෝජිතයින් ලෙස වෙස්  වලාගත් මේ වෘකයින්යින්ට නිසි දඬුවම් ලබා නොදුනහොත් හෙට දවසේ නැවත නැවතත් වෙලේ සුදාලා මධූෂ්ලා බිහිවනු ඇත.

|විශේෂ ලියුම් කරුවකුගේ සටහන්|

උපුටාගැනීම: අකුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *