විශේෂාංගඋපුටාගැනීම්

ගෙයි ගින්දර ගිල නොගනු…!

ගෙයි ගිනි පිට නොදෙන්නැ‘යි කියා ස්ත්‍රියට බල කර සිටින සංස්කෘතියක් තුළ, අපේ රටේ ‘ගෘහස්ථ හිංසනය‘ පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය වී නැති නමුත්, අප ජීවත් වන්නේ, ගෘහස්ථ හිංසනයෙහි දරුණුතම අපරාධය වන ‘මරණය‘ පවා යම් හෙයකින් ‘සාමාන්‍යකරණය‘ වූ සමාජයක ය යන්න බොරුවක් නොවේ…

වරින් වර පත්තර වල මුල් පිටුවල ට පැමිණෙන, ‘සැමියාගේ පහරදීමෙන් බිරිඳ මිය යයි‘ වැනි පුවත් වාර්තා ඒ තරම් දුර්ලභ නැත… ගිය සතියේ ත්, දික්වැල්ලේ ස්ත්‍රියක් සැමියාගෙන් පහර කෑම හේතුකොටගෙන මරණයට පත් වු බව සහ තවත් පොලිස් නිලධාරි ස්ත්‍රියක් සැමියාගේ පහරදීම නිසා රෝහල් ගත වූ බව වාර්තා විය…

මාස කිහිපයකට කළින්, අපට සිටින එකම ඔලිම්පික් වර්ණ ලාභී ක්‍රීඩිකාව ‘සුසන්තිකා ජයසිංහ‘ සැමියාගෙන් පහර කා රෝහල් ගත වූ බව වාර්තා විය… එපමණක් ද නොවේ… පහුගිය පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් තේරී පත් ව ආ මන්ත්‍රීවරියක වූ ‘උපේක්ෂා ස්වර්ණමාලිනී‘ට ද, මන්ත්‍රී ධුරය දරණ කාලයේ දී ම සැමියාගෙන් පහර කෑම නිසා රෝහල් ගත වන්නට සිදු විය… ඉන් පැහැදිලි වන්නේ, බිරිඳ කෙතරම් බලවත් පුද්ගල පෞරුෂයක් හිමි අයෙක් වූයේ නමුත්, ඇයට අත එසවීම ‘පිරිමි – සැමියෙකුට ඒතරම් දෙයක් නොවන‘ බව ය…

එහෙයින්, ‘අපේ රටේ ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වය වතුකරයේ හෝ ගැමි ගෙවල් වල බිමත් පුරුෂයින් අතින් පහර කන දුගී දුප්පත් අසරණ ස්ත්‍රීන්ට පමණක් සීමා වූ ප්‍රශ්නයක් ‘යන්න දැවැන්ත මිථ්‍යාවකි…

ඇත්තෙන් ම අපට සිටින්නේ, කටින් පහර දීමේ සිට, අතින් පහර දීම දක්වා වූ විවිධාකාරයේ ‘ගෘහස්ථ පිරිමි ප්‍ර‍හාර‘ කඳුලින් සහ මුනිවතින් ඉවසා දරා ගන්නා ස්ත්‍රී පරපුර කි… ආදරයෙන් ආලිංගනයෙන් තොරව නිදි ඇඳේ දී ‘ලිංගික වශයෙන් සූරාකෑම‘ ලැජ්ජාවෙන් සහ බයෙන් ඉවසා දරා ගන්නා ස්ත්‍රී පරපුර කි… තමන්ගේ ශ්‍ර‍මය ද, ශරීරය ද, තමන් මහන්සියෙන් රස්සා කර හරි හම්බ කරගන්නා ධනය ද, ඇතැම් විට නිදහසේ සිතීම – තීරණ ගැනීම වැනි මානව අයිතීන් ද, යන සියල්ලම උදුරාගන්නා පිරිමියාට ‘තව දුරටත් – ඇතැම් විට ඔහු අතින් මිය යන තුරු ම‘ මුලු හදින් ම ‘ප්‍රේම කරන‘ ස්ත්‍රී පරපුර කි…

ඒ අර්ථයෙන්, ප්‍රේම සම්බන්ධතා දුරදිග යාමේ ප්‍ර‍ථිඵලයක් ලෙස කුටුම්බගතවීමෙන් අනතුරුව, ප්‍රේමය වෙනුවට නොයෙකුත් ආකාරයේ ගැහැට සහ ගැරහුම් ලබන ස්ත්‍රිය ගැන කිව හැකි වන්නේ, ‘ඇය ඔහුගේ ප්‍රේම දඩයමේ – අනායාස ගොදුර බවට පත් වීය‘ වැනි කියුමකි…

********

ඇත්තෙන් ම ‘ගෘහස්ථ හිංසනය‘ පිටුදැකීම විෂයෙහි, ‘ගෘහස්ථ හිංසනය වැළැක්විමේ පනත‘ යටතේ පීඩක පුරුෂයින් ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හෝ ‘දික්කසාදය‘ තෝරාගැනීමට ස්ත්‍රියට දී තිබෙන නෛතික විකල්ප පමණක් කිසිසේත් ම ප්‍ර‍මාණවත් වන්නේ නැත…

නමුත් අවාසනාවට, අපේ රටේ බොහෝ ස්ත්‍රීන් කුටුම්භගත ජීවිතය තුළ තමන් අත්විඳින හිංසනය, ස්ත්‍රීත්වයේ උරුමයක් හැටියට භාරගෙන කරබාගෙන සිටී… ඊට එරෙහිව සමාජ කතිකාවක් / අරගලයක් කිරීම උදෙසා කෙසේවත්, අවස්ථානුකූලව සහ තමන්ගේ ප්‍ර‍ශ්නයට අදාළව පෞද්ගලිකවත් සටන් කරන්නේ නැත… ඇතැම්විට මෙය, ලාංකීය ස්ත්‍රියගේ සංස්කෘතිය හැටියට අප පාරම්පරිකව කර ගසාගෙන එන කුරුසය විය හැකි ය…

කෙසේ වෙතත්, මින් පෙර දිනක මා මේ චතුරස්‍රයට ම ලියූ ආකාරයට අපට හොඳ ‘සහෝදරීත්ව ව්‍යාපාරයක්‘ අවශ්‍ය වන්නේ, බොහෝ විට සංස්කෘතිය හෝ ඉතිහාසය විසින් යට ගසා තිබෙන මෙවන් ආකාරයේ ‘සමාජ-සාකච්ඡාවන්‘ ද කරළියට ගැනීමට ය…

සාහිත්‍යය – සිනමාව හෝ වෙනත් කලා මාධ්‍යයන් භාවිතා කරමින්, එකී සාකච්ඡා සමාජගත කරන්නට ය…

********
ඇත්තෙන් ම මේ විෂයෙහි දී, ඉන්දියාව අපට වඩා දියුණු ය… 2014 සත්‍ය කතාවක් මත පදනම්ව ‘ගුලාබ් ගැන්ග්‘ නමැති සිනමා කෘතිය නිපදවමින්, ගෘහස්ථ හිංසනයට එරෙහි වීම සහ පිටු දැකීම ‘අදහසක්‘ වශයෙන් හොඳින් ප්‍ර‍වර්ධනය කළේ ය…

මෙම සටහනෙහි ඉහතින් දැක්වෙන්නේ, මේ දිනවලත් ඉන්දියාවේ නගර වල තැන තැන ප්‍ර‍දර්ශනය කරන, ගෘහස්ථ හිංසන විරෝධී සිතුවම් පෙළකින් එකකි… මෙම සිතුවම් පෙළ, ඉන්දියාවේ ඇදහෙන දේවතාවියන්ගේ රූප වලින් සමන්විත වන අතර, ඒ රූප වල මුහුණු තුවාල කර නිල් ගන්වා ඇත…

සුරේඛා සමරසේන

උපුටාගැනීම බුකියෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *