විශේෂාංගඋපුටාගැනීම්

මම ප්‍රශ්න කරන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්වය පිළිබද – සුමති සිවමෝහාන්

සුමති සිවමෝහන්ගේ නිර්මාණයක් වන පුත්තු සහ පියවරු(Sons and Fathers) ඉන්දියාවේ පැවති ජගත් සිනමා උළෙලේදී  (2nd Indian World Film Festival)  දී ජූරියේ හොදම සම්මානයෙන් (Jury Award for Best Film- Feature) පිදුම් ලැබුවාය. මේ වනවිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්යවරියක ලෙස සේවය කරන ඇය මෙරට දෙමළ භාෂිත චිත්‍රපට අධ්‍යක්‍ෂවරියන් අතර පළමු වැන්නා ද වේ.

ලංකා ගාර්ඩියන් සමග සම්මුඛ සාකච්ඡාවට එක්වූ ඇය සිය සිනමා භාවිතය හා සිනමා නිර්මාණකාරිනියක බවට පත්වීමේ පසුබිම ගැන මෙන්ම LTTE සංවිධානය විසින් ඝාතනය කළ  සිය සොහොයුරිය වූ  ආචාර්ය රාජිණී තිරාණගම ගැනද  හඬ අවදිකළේ මෙලෙසිනි.

ඔබගේ “ පුත්තු සහ පියවරු” චිත්‍රපටිය ඉන්දියාවේ පැවැත්වූ ජගත් සිනමා උළෙලේදී  (2nd Indian World Film Festival)  දී ජූරියේ හොදම සම්මානයෙන් පිදුම් ලැබුවා  (Jury Award for Best Film- Feature). මුලින්ම මේ ගැන සඳහනක් කළොත් ?

මම අධ්‍යක්‍ෂණය කළ “ඉන්ගිරිඳු” සිනමා නිර්මාණයත් කැලිෆෝනියා වල දී ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව මීට පෙර   සම්මානයට පාත්‍රවුණා. සිනමා උළෙලකදී මගේ නිර්මාණයක් පළමු වරට ඇගයීමට ලක් වුණේ පළමු වතාව මෙයයි.

“පුත්තු සහ පියවරු” චිත්‍රපටිය තුළ ඔබ කතාබහ කරන්න උත්සහ කරන තේමාව ගැන කෙටියෙන් කිව්වොත් ?

ලංකාවේ මෑත කාලින ඉතිහාසයේ පරම්පරා දෙකක් තමයි චිත්‍රපටය තුළ කතාබහට ගොනු කරන්නේ. “පුත්තු සහ පියවරු”  සිනමා නිර්මාණය තුළ දිවෙන කතා පෙළ අඩංගු වෙන්නේ සිංහල චිත්‍රපට සදහා දායක වන දෙමළ සංගීතඥයකුගේ පවුල් ඒකකයේ ආසන්න පරම්පරා දෙකක් මුහුණ දෙන දේශපාලන, සමාජ සංස්කෘතික අර්බුදයන් නිරූපණය කිරීමට. පළමු පරම්පරාව ලංකාවේ සිදු වූ විශාල දේශපාලන සමාජ අර්බුදයන්ට මුහුණ දෙනවා. විශේෂයෙන්ම, 77, 83 කාලයන් තුළ සිදුවූ සමාජ අර්බුදයන්ට පළමු පරම්පරාව මුහුණ දෙනවා.

ලංකාවේ දෙමළ භාෂිත චිත්‍රපට අධ්‍යක්ෂවරියන් අතර පළමුවැන්නා ඔබයි ?

ඔව්, ඇත්තටම සිංහල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ ලංකාවේ  දෙමළ භාෂිත අධ්‍යක්ෂවරියන් අතරින් පළමු වැනියා වන්නේ මම. ඒත්, මම දෙමළ භාෂිත පළමු අධ්‍යක්‍ෂවරිය නෙවේ.

නිර්මාණ කාර්යයේදී සිංහල – දමිළ භාෂාව බාධාවක් වෙලා තියෙනවද ? මොකද ඔබ සමග සම්බන්ධ වෙන  අනෙක් පිරිස ගත්තම වැඩි දෙනෙක් සිංහල අය. මේ අත්දැකීම ගැන කිව්වොත් ?

ඔව් භාෂාවේදී නම් ගොඩක් ලොකු ප්‍රශ්නයක් තියනවා. එත් අපේ අවබෝධය මත වැඩ කරගෙන යාමට පහසුවක් තියනවා. 2006 ඉඳන්ම  මේ කණ්ඩායම මාත් සමග වැඩ කරනවා. ඒ නිසා අපි අතර ගොඩක් ලොකු අවබෝධයක් තියෙනවා.

සුනිල් පෙරේරා තමයි මම මේ වන විට අධ්‍යක්‍ෂණය කරලා තියන  සෑම කෙටි චිත්‍රපටයකම ඉඳන් මගේ පළමු සිනමා නිර්මාණය වූ “ ඉන්ගිරිඳු” දී ත් කැමරාකරණ කටයුතු සිදුකළේ.

මෑතකාලීනව ඔස්කාර් සම්මාන උළෙලේදී පවා අපි දකිනවා සිනමා නිර්මාණකරණයට සම්බන්ධ කාන්තාවන් ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව හැමදෙනාටම එකම සැලකුම් ලැබිය යුතුයි කියලා හඬ අවදි කරනවා. මහාචාර්යවරියක් ඒ වගේම නිර්මාණකාරිනියක් විදියට ලංකාවේ කාන්තාවන් සිනමාව තුළ කාන්තාවන් දක්වන දායකත්වය ගැන සඳහනක් කළොත් ?  

මම හිතන්නේ රංගනයට පමණක් නෙවේ කාන්තාව චිත්‍රපටි නිෂ්පාදනයේ සිට සෑම කාර්යකටම පැමිණිය යුතුයි. ලංකාවේ බොහෝ දුරට කාන්තාව රංගනයෙන් පමණක් නතර වෙනවා. මම හිතන්නේ එසේ විය යුතු නැහැ.

ඔබගේ ළමා කාලය සහ පාසල් අධ්‍යාපනය ගැන මතකය අවදි කළොත් ?

මම ඉපදුනේ යාපනයේ නල්ලුර් ප්‍රදේශයේ. යාපනයේ මාධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි මම පාසල් අධ්‍යාපනය ලැබුවේ. ඉන් පසු මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්උසස් අධ්‍යාපනය ලැබුවා. මගේ පාසල් කාලය තුළත් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේත් නාට්‍යවලට සම්බන්ධව කටයුතු කළා. ඒ වගේම මම In the Shadow of  Gun, Wanted Tamil Women වගේ නාට්‍ය කිහිපයක් රචනා කරලා තියනවා.

ඔබගේ නිර්මාණ තුළ දකින්නට ලැබෙන්නේ අපිට නිතරම හමුවන මුහුණු නෙවෙයි. හැබැයි, ඔවුන් දක්ෂයින්. බිම්සරා ප්‍රේමරත්න වැනි වේදිකාව තුළ වැඩි දායකත්වයක් තියෙන ශිල්පිනියක් වගේම උපුල් ශාන්ත සන්නස්ගලත් “ පුත්තු සහ පියවරු” සිනමා පටයේ රංගනයෙන් දායක වෙනවා. මොකක්ද මේ තෝරාගැනීම ?

මම ගොඩක් කැමති නවකයන් සමග වැඩ කරන්න. මට අවශ්‍ය රංගනය ලබා ගැනීමට හැකි බව මම  විශ්වාස කරන්නේ නවක නළු නිළියන්ගෙන්. මට අවශ්‍ය සංගීතය දන්නේ පවා නවකයින් බව මගේ විශ්වාසයයි. .ඒ නිසා හැමවිටම නවකයින් තෝරාගන්න උත්සහ දරනවා.

ඔබ රචනා කළ Like Myth and Mother කෘතියේ ගැන සිහිපත් කළොත් ප්‍රචණ්ඩත්වය, පාවාදීම, මිත්‍යාව  ඉතිහාසයට නැගු ජාතියක් බව එහිදී සිහිපත් කරදෙනවා. මේ ගැන සඳහනක් කළොත් ?

මම හිතන්නේ සමාජයේ තියන හැම දෙයක්ම අපි ප්‍රශ්න කරන්න ඕන. අපි ඇතුලේ තියන හැගීම්  අපි ප්‍රශ්න කරන්න ඕන. Like Myth and Mother කෘතියේ තුළ මම ප්‍රශ්න කරන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්වය පිළිබඳ ප්‍රශ්න කිරීමයි.

ඔබේ සොයුරිය රාජිනී තිරාණගම ගැන මතකය අවදි කළොත් ?  

රාජිනීගේ නැගණිය මම, ඇය ඉතාම ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ අදහස් ගොනු වී තිබුණේ  ප්‍රචණ්ඩත්වයට සහ ජාතිභේදයට විරුද්ධවයි. ඇත්තටම ඇයගේ බලපෑම මගේ ජිවිතයට ආලෝකයක් වුණා.

රාජිනී තිරාණගම ගැන ජාත්‍යන්තරය තුළ සිනමා නිර්මාණ බිහිවී තිබෙනවා. අදහසක් තියෙනවද  කවදහරි දිනෙක ඇය ගැන සිනමා නිර්මාණයක් කරන්න ?

ඔව්, ඇය හා ඇයට අත්වූ ඉරණම ගැන  කැනේඩියානු චිත්‍රපට මණ්ඩලය විසින් නිර්මාණයක් කරලා තියෙනවා. මම හිතන්නේ ධර්මසේන පතිරාජටත් එහෙම අදහසක් තිබුණා. අද ඔහුත් ජීවතුන් අතර නැහැ. ඇත්තටම, ඉදිරියේදී රාජිනී ගැන සිනමා නිර්මාණයක් කරන්න අදහසක් තියෙනවා.

පුත්තු සහ පියවරු කතා සාරාංශය

රෙක්ස් පෙරියසාමි සිංහල සිනමාවේ සිටින ප්‍රමුඛ පෙළේ දමිළ සංගීතඥයෙකුය. සිය වෘත්තීය දිවියේ අති සාර්ථකත්වයට පත්වන සමයේදී ඔහු කාන්ති නම් සිංහල තරුණිය සමග විවාහ වේ. සංස්කෘතීන් දෙකක එක්වීම හා එමගින් බිහිවූ අපූරු සුසංයෝගය මෙරට සිනමාවට ද නව ආලෝකයක් ගෙන දේ. ලකී පුතු හා මාලා දියණිය සමගින් නව බලාපොරොත්තු හා සෞභාග්‍යයෙන් අනූන දිවියකට මේ දෙපළ පියමං කරයි. ඒ සමග ඔවුන්ගේ ජීවිත වලට එල්ල වන විවිධ අභියෝග ගැන සිනමාපටයේදී කතාබහ කරන අතර සුන්දර මෙන්ම අසුන්දර සංධිස්ථානයන්ගෙන් පිරුණු ලාංකේය සිනමා වංශය ගැන ද පුත්තු සහ පියවරු සිහිපත් කරවයි. පරම්පරා දෙකක් නියෝජනය කරන මේ සංගීතඥයින් දෙපළ රට තුළ ඇතිවන දේශපාලන කැළඹීම් මධ්‍යයේ රට දෙකඩ කරන යුද්ධය මෙන්ම ඊට එරෙහිව නැගෙන දමිළ විරෝධී බලවේගයන් වලට මුහුණදෙන අයුරුත් තිරය මත දිගහැරේ.

 

සටහන :  සමන් සඳරුවන්/ වින්ද්‍යා ගම්ලත්

 

උපුටාගත්තේ: SLG

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *