විශේෂාංගඋපුටාගැනීම්

මහනුවර ජරමරේ තිත්ත ඇත්ත

‘දැන් ආණ්ඩුව කළ යුත්තේ සිදුවීම ගැන කනගාටු වීමටත් වඩා නැවත මෙවැනි සිදුවීම් ඇති නොවන තැනට වැඩ කිරීමය. වළකට වැටීම මොළයට හොඳය. එහෙත් වාර්ගික ආතතින්වලට මුහුණ දීමට යාන්ත්‍රණ සැකැසීම සුනාමි පෙරපුහුණු පවත්වනවා මෙන් සංවිධානය කළ නොහැකිය. එනිසා මේ සිදුවීම් පසුපස ඇති දේශපාලන හස්තනයක් වහ වහා අනාවරණය කර වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීම කඩිනමින් විය යුතුය.‘

ලිපිය ආරම්භ කිරීමට තෝරා ගත්තේ මීට පෙර සත්‍ය ගවේෂණ ලිපියක අවසාන ඡේදයයි.  ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇතිවූ කළබලකාරී වාතාවරණයෙන් පසු 2017 නොවැම්බර් මස 22 වැනි බදාදා සත්‍ය ගවේෂණ විශේෂාංගයේ අවසන් ඡේදය වූයේ එයයි.

මෙවර සත්‍ය  ගවේෂණ ලිපියෙන් සාකච්ඡා කරනුයේ මහනුවර තෙල්දෙනියේ සිදුවීම්දාමය සිදුවූ ආකාරය ගැන නොවේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් හැසිරුණු ආකාරය ගැනයි.  අතීත සිදුවීම්වල පාඩම් ඉගෙන නොගැනීම නිසා සිදුවූ වර්තමාන සිදුවීම් ගැන කතා කරනුයේ මේවායින්ද පාඩම් ඉගෙන නොගතහොත් අනාගයේ ඇතිවන දරුණු තත්ත්වයන් ගැන සිතීමට යමක් ඉතුරු කිරීම සඳහාය.

මහනුවර තෙල්දෙනියේ දී පෙබරවාරි 22 වැනි දා ලොරි රථයක රියදුරකුට ත්‍රීරෝද රථයකින් පැමිණි සිව් දෙනෙකු පහර දීම, පහර කෑ පුද්ගලයා දින ගණනක් ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය යෑම, මරණයේ අවසන් කටයුතු කරන දිනට එළිවන්නට ඊට කිලෝමීටර ගණනක් ඈතින් තිබෙන කඩ දෙකක් ගිනි තැබීම, ඊට සැකපිට මළ ගෙදර සිට එමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීම යන සිදුවීම් සියල්ල දැන් රටම දනී.

මහනුවර ගිනි තිබ්බේ ඇත්තටම කුමාරසිරිගේ මරණය නිසාද? මේ ඒ ගැන නැවත වතාවක් සිතන්නට ඉදිරිපත් කරන කරුණු කිහිපයකි.  කුමාරසිරිට ප්‍රහාර එල්ල වී ඇත්තේ පෙබරවාරි 22 වැනි දා ය. ප්‍රතිකාර ලබමින් සිටි කුමාරසිරි මිය ගියේ මාර්තු දෙවැනිදාය.  මේ අතරතුර තුර කාලයේ කුමාරසිරිගේ සිදුවීම මුල්කරගෙන ප්‍රදේශයේ කිසිම කළහයක් සිදු වූයේ නැත.  කුමාරසිරි සිංහල වීමත්, පහර දුන් පිරිස මුස්ලිම් වීමත් නිසා මෙය ජාතිවාදී අරමුණෙන් ප්‍රදේශවාසීන් ගත්තා නම් මෙම සංහාරය සිදුවීමට තිබුණේ පෙබරවාරි 22 වැනිදාත් මාර්තු තුන් වැනිදාත් අතරය. නමුත් එවැන්නක් සිදුවූයේ නැත. ප්‍රදේශවාසීන් මෙන්ම ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද මෙය දැක්කේ මුස්ලිම් සිංහල ගැටළුවක් ලෙස නොව තෙල්දෙනියේ දී සිදුවූ එක් අහඹු අවාසනාවන්ත සිදුවීමක් ලෙසය.

අවධානමට පෙර සූදානම හොඳ නිසා  තරුණයා මිය යෑමට පෙරම ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ මුස්ලිම් ආගමික නායකයන් කිහිප දෙනකුද එකතු කරගෙන සාකච්ඡාවක් පැවැත්වීය.

ඊට පොලිස් නිලධාරීහු ද සහභාගී වූහ. මේ සාකච්ඡාවට නොසිතූ තරම් ප්‍රදේශවාසීන් එකතු වුණත් භික්ෂූන් වහන්සේලාගේ එකම ඉල්ලීම වී තිබුණේ කරුණාවෙන්, මෛත්‍රීයෙන් කුමාරසිංහගේ ප්‍රශ්නය විසඳා ගත යුතු බවයි. එය එසේම විය. ගැටළුවක් මතු වූයේ නැත.

කුමාරසිංහ මරණයට පත්වූ දිනයේ සිට ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට පෙර දින රාත්‍රී  එනම් හතර වැනි දා ඉරිදා රාත්‍රී 8 පමණ වනතුරු කිසිම ගැටළුවක් මතු වූයේ නැත.

කුමාරසිංහගේ මරණය සැලවීමත් සමඟ ස්වාමීන් වහන්සේලා එක්වූහ. මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් නියෝජිතයෝ ද ඊට සහභාගී වූහ. එදිනද නොසිතූ පරිදි .මේ විශාල පිරිසක් එක්වූහ. ඒ සාකච්ඡාවේදී ද ප්‍රදේශයේ මහා සංඝරත්නය අවධාරණය කළේ කුමාරසිංහගේ අවසන් කටයුතු සාමකාමීව සිදු විය යුතු බවයි.  සියලු දෙනා මෛත්‍රීයෙන් කරුණාවෙන් කටයුතු කළ යුතු බව ප්‍රදේශයේ  මහා සංඝරත්නය අවධාරණය කළහ. ගම්වැසියෝ ද එය එක හෙළා පිළිගත්හ.  මේ අතර කුමාරසිංහගේ අවසන් කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් පිරිනැමීමටත්, ඉන් පසු වැඩි මුදලක් ලබා දීමටත් එම පන්සලේ පැවැති රැස්වීමේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රී ෆාසිල් කැමැත්ත පළ කළේය. එම අවස්ථාවේ දෙලක්ෂය භාර ගැනීමට කිසිවෙක් නොසිටියහ.

ප්‍රදේශයේ මහා සංඝරත්නය එක හෙළා කළ ඉල්ලීම ප්‍රදේශවාසීහු පිළිපැද්දහ. කුමාරසිංහගේ මරණය ජාතිවාදී ස්වරූපයෙන් ගන්නට ඕනෑ නම් මිනිසුන් ප්‍රකෝපකාරී විය යුත්තේ ඔහු මිය ගිය ආරංචිය ලද මොහොතේය. නමුත් එසේ වූයේ නැත. කුමාරසිංහගේ මරණයෙන් දෙවැනි දින රාත්‍රී වනතෙක් සියලු දෙනා සාමකාමී වූහ.

කුමාරසිංහගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබුණේ  පස් වැනි සඳුදාය. කුමාරසිංහගේ මරණයේ කටයුතු සාමකාමීව සිදු කිරීම ගැන ප්‍රදේශයේ සිංහල සහ මුස්ලිම් ප්‍රජාව අතර සාකච්ඡාව යද්දී ප්‍රදේශ කිහිපයක තවත් යමක් සිදු වෙමින් පැවැතියේය.

එනම් හතර වැනි දා ඉරිදා පිරිසක් කොඩි බෙදා දෙමින් තිබිණි. ඒ කුමාරසිංහට ශෝකය පළ කිරීමට කොඩි එල්ලන ලෙස දැනුම් දෙමිනි. මේ කටයුත්තට ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකයකු ද සම්බන්ධ වී සිටි බව සිද්ධිය දුටු පිරිස් කීහ.  එහි සත්‍යසතායමතාව සීසීටීවී දර්ශන පරීක්ෂා කර ආරක්ෂක අංශවලට පහසුවෙන් තහවුරු කර ගත හැකිය.

කුමාරසිංහගේ අවසන් කටයුතු සාමකාමීව සිදු කරන්නට පවුලේ උදවිය සහ ප්‍රදේශයේ මහා සංඝරත්නය වෙහෙසෙද්දී කුමාරසිංහගේ දේහය දිගන ආදී ප්‍රදේශවලට ගෙන යෑමට තවත් පිරිසක් පිඹුරුපත් සකසමින් සිටියහ. මරණ ගෙදර සිට දුර ප්‍රදේශවල පවා කොඩි බෙදා දී ඇත්තේ ඒ සැලසුමේ ප්‍රතිඵලයක් ලෙසය. දේහය වෙනත් ප්‍රදේශවලට ගෙන යෑමට අවස්ථාව නොලැබුණු අතර පවුලේ උදවිය සාමකාමීව එම කටයුතු සිදු කළහ.

එතෙක් සාමකාමීව පැවැති තෙල්දෙනිය යම් නොසන්සුන්කාරී ස්වරූපයක් ගන්නට පටන් ගත්තේ  හතර වැනි දා ඉරිදා රාත්‍රීය. ප්‍රශ්නය ඇවිලවීමට උත්සාහ කළ කිහිප දෙනෙකු තෙල්දෙනියේ මොරගහමුල හංදියේ පිහිටි එම්.කේ.එම් කඩයට සහ තවත් වෙළෙඳසලකට ගිනි තබා තිබිණි.

එම්.කේ.එම් වෙළෙඳසල කාලාන්තරයක් තිස්සේ එහි පැවැති වෙළෙඳසලකි.  ඔවුන් සමඟ ප්‍රදේශයේ සියලු දෙනා සුහදව සිටියහ.  මරණය සිදුවූ නිවසේ සිට කිලෝමීටර ගණනක් දුරින් පිහිටි මෙම කඩයට ගිනි තැබුවේ කුමාරසිංහගේ මරණය සම්බන්ධයෙන් ශෝක වූ පිරිසක් නොවන බව ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ නමක් අප සමඟ කීවේය.

‘මහත්තයෝ මේ පැත්තේ මිනිස්සු කුලප්පු වෙලා කඩ කඩන්න ඕනා නම් මැරිලා දවස් දෙක තුනක් යනකම් ඉන්නවද? මරණය ආරංචි වුණු ගමන් ඒක කරන්නේ. ඔය මිනිස්සුන්ට කඩ කඩන්න හයියක් නෑ. අහිංසක මිනිස්සු. ඒ කඩේ අයත් එක්ක  ගමම හොඳයි. මේක ගමේ අය කළා කිලා මම නම් විශ්වාස කරන්නේ නෑ. කවුරු හරි කඩාකප්පල්කාරී සංවිධානාත්මක පිරිසකගේ වැඩක්. එහෙම නැතිනම් එහෙම පිරිසකගේ මෙහෙයවීමෙන් කරපු වැඩක්.‘ ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේ නමක් අප සමඟ කීවේය.

ඒ වන තෙක් ප්‍රදේශය පැවැතියේ සාමකාමීවය. සවස් වන විට මේ ප්‍රදේශයේ පිටින් ආ කිහිප දෙනෙකු තැනින් තැන සිටි බව ගම්වාසීහු කියති. පොලිසියේ කිහිප දෙනකුද ඒ ප්‍රදේශයේ සිටියත් ගැටළුවකට මුහුණ දෙන්නට තරම් ප්‍රමාණවත් පොලිස් කණ්ඩායම් ප්‍රදේශයේ යොදවා තිබූ බව ප්‍රදේශවාසීහු කියති.  කෙසේ වෙතත් එම්.කේ.එම් කඩය ගිනි තැබීමෙන් පසු පොලිසියේ විශාල පිරිසක් සෝදිසි මෙහෙයුමක් පැවැත්වූ අතර මරණ ගෙදර සිට එමින් සිටි බස් රථයක සිටි පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

‘තරුණ කොල්ලොනේ. සමහරවිට කුණුහරප කිය කියා එන්න ඇති. එතන සමහරවිට වැරදි කරන අයත් ඉන්න ඇති. හැබැයි ඔක්කොම එහෙමයි කියලා අපි විශ්වාස කරන්නේ නෑ. පොලිසියට යම් සැකයක් ආව නිසා වෙන්න තියන අපරාධයක් වලක්වා ගන්න පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගත්තා වෙන්න ඇති. හැබැයි මේකට සම්බන්ධ අය ඉන්නවා නම් ඔවුන් තියාගෙන අනිත් අයගේ කටඋත්තර අරගෙන ඔවුන්ව උදේ එළියට දාන්න තිබ්බා. තෙල්දෙනිය පොලිසිය ළඟ මුලින් එකතු වුණේ මේ අයගේ පවුල්වල උදවිය. පොලිසියෙන් මේ අයව ඉල්ලුවත් දිගින් දිගටම දෙන්නේ නැතිව ප්‍රමාද කළා. මෙතනට ආපු සංවිධානාත්මක පිරිසක් මේකෙන් ප්‍රයෝජන අරගෙන පිරිස ඇවිස්සුවා. කෑකෝගැහුවා.‘ යැයි එතැන සිටි වගකිවයුතු ප්‍රසදේශවාසියෙක් කීවේය.

තෙල්දෙනිය පොලිසිය අසල එලෙස සිදුවෙද්දී ඉන් එහා දි.නල පල්ලේකැලේල කෙන්ගල්ලල බලගොල්ල ආදී ප්‍රදේශවලට පිටස්තරයෝ රැසක් ගොස් සිටියහ. එම පිටස්තරයන්ට ගම්මානවල කිහිප දෙනකුගේ උදව්ද ලැබිණි. මහනුවර ගිනියම් කිරීම ආරම්භ විය. ලේන්සු සහ රෙදිපටිවලින්  මුහුණු බැඳගත් පිරිසකගේ මෙහෙයවීමට සියල්ල සිදු විය. ප්‍රදේශවල කඩ සාප්පුල නිවාස ගිනිබත් කරන්නට පෙර ප්‍රදේශයේ ජල සැපයුමද නතර විය.  ඉන් පසු සංවිධානාත්මක පිරිස වැඩ ආරම්භ කළහ.

විශේෂත්වය මේ සියලු අපරාධ දෙස පොලිසිය බලා සිටීමය. පොලිසියට වඩා වැඩි පිරිස් බලයක් අපරාධකරුවන්ට සිටි නිසා පොලිසිය අසරණ තත්ත්වයකට පත් වන්නට ඇතැයි සමහරු කියති. ආයුධ නැතිව නිරායුධව සිටින පොලිස් නිලධාරීන් විෂයෙහි එය සත්‍ය වන්නටද පිළිවෙන. නමුත් ඊටත් වඩා ඇතැම් ස්ථානවල පොලිසිය පමණක් නොව විශේෂ කාර්ය බළකායේ ඇතැමුන් බලා සිටිය දී ද අපරාධකරුවෝ කඩ ගිනිබත් කළහ. පහර දුන්හ. එම ප්‍රදේශවල සංචාරය කරද්දී සිංහල මුස්ලිම් දෙපිරිසම ඔවුන් ළග ඇති වීඩියෝ පට පෙන්වමින් අපෙන් ඒ ගැන ප්‍රශ්න කළහ.

එම වීඩියෝවල පැහැදිලි එක් දෙයක් විය. එනම් මුහුණු බැඳගත්  පිරිසක් මෙම අපරාධවලට මූලිකත්වය දීමය. ඔවුන් කවුරහුද? කාගේ ගෝලයන්ද?  පොලිසියට මෙය සොයා ගැනීම අපහසු නොවන බව අපි දනිමු. ඒ ප්‍රදේශයේ බොහෝ දෙනකු ළඟ මේ සිදුවීම්වලට සම්බන්ධ වීඩියෝපට තිබෙන නිසාය.

කුමාරසිංහගේ මරණය නිසා ප්‍රකෝපකාරී වූ ප්‍රඟදේශවාසීන් මේ අපරාධ සිදු නොකළ බවයි. ගම්වාසීන් කියන කාරණය තවත් තහවුරු කරන උදාහරණ රැසක් තිබුණ ද එක් උදාහරණයක් පමණක් සඳහන් කරමු. ඒ කුමාරසිංහගේ,ගමේ කිසිම මුස්ලිම් පවුලකට සහ ඔවුන්ට අයත් දේපල වලට අබමල් රේණුවකවත් හානියක් නොවීමය. ප්‍රදේශයේ ජනතාව කිපුණේ නම් මුලින්ම ප්‍රහාර එල්ල වන්නේ කුමාරසිංහගේ ගමේ මුස්ලිම් පවුල් වෙතය. නමුත් ඔවුනට කිසිම ප්‍රහාරයක් එල්ල නොවීය. ප්‍රදේශවාසීන් විසින් ඔවුහු ආරක්ෂා කරනු ලැබූහ. කුමාරසිංහගේ ගමේ පංසලේ විහාරාධිපති හිමියන් ප්‍රදේශයේ සාමය පවත්වාගෙන යෑමට විශාල උත්සාහයක් ගත්තේය.

එසේ නම් නරුම ක්‍රියා සිදු කළ අපරාධ සැලසුම්කරුවෝ කවරහුද?මෙම ලිපිය ආරම්භ කළේ ගිංතොට ලිපිය අප අවසන් කළ ඡේදයෙනි. ගිංතොට සිදුවීම ගැන සොයා බලන්නට අප එහි ගියේ ප්‍රයදේශවාසීන් ලෙසය. තොරතුරු ලබා ගැනීමට ගමේ විහාරස්ථානයට ගොඩ වුවත් ස්වාමීන් වහන්සේලා නොසිටියේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට සහභාගී විමට ගොස් සිටි හෙයිනි.  යතුරු පැදියකින් කාන්තාවක සමඟ පුද්ගලයෙක් එහි පැමිණියේය. ගමේ තරුණයන් කිහිප දෙනකු සමඟ අප සිටි ස්ථානයට පැමිණි ඔහු තරුණයන්ට උපදෙස් දීම ආරම්භ කළේය. මුස්ලිම් ප්‍රජාවට පහර දෙන ආකාරය ගැනත්, පොලිසිය පැමිණි විට සිදු කළ යුතු දේවල් ගැනත් ඔහු කීවේය. තමන් ළඟ මේ වන විටත් ආයුධ ඇති බව කී ඔහු අවශ්‍ය නම් ඒවා ලබා දිය හැකි බව කියා නැවත පැමිණෙන බව දැනුම් දී යන්නට ගියේය.

මේ සිටින තරුණයන් කුලප්පු කරන්නට හැදූ මේ පුද්ගලයා ගැන විස්තර අවශ්‍ය තරම් පොලිසියට ලබා දුන්නත් නීතිය ක්‍රියාත්මක වූයේ නැත. මේ වන විට ඔහු නුවර සිටිය දී ත්‍රස්ත විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මේ අපරාධය සැලසුම් කිරීමේ චෝදනා මතය. ඇතැම් විට එදා පොලිසිය නීතිය ක්‍රියාත්මක කළේ නම් අද මේ අපරාධය වළක්වා ගත හැකිව තිබිණි. ගිංතොට සිදුවීමේ සුළමුල සොයා ඊට මුල් වූවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේ නැත. සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු පැතිරවූවන් අත්අඩංගුවට ගත්තේ නැත. අපරාධයට උඩ ගෙඩි දුන් දේශපාලකයන් අත්අඩංගුවට ගත්තේ නැත. ඇතැම් විට එදා නීතිය හරියට ක්‍රියාත්මක වූවා නම් මෙදා මෙතරම් ව්‍යවසනයක් ඇති නොවීමට ඉඩ තිබිණි.

මේ සිදුවීම් අස්සේ රජය ෆේස්බුක් ඇතුළු සමාජය මාධ්‍ය අවහිර කළේය.ගිංතොට සිදුවීම ඇවිලවීමට ෆේස්බුක් ඇතුළු සමාජය මාධ්‍ය උපකාරී වූ බව අපි එදා සඳහන් කළෙමු. ගිනි ඇවිලවූ ෆේස්බුක්‘ ලෙස එදා ලිපියේ ශීර්ෂය යොදා තිබුණේ ද ඒ නිසාය. සමාජ මාධ්‍ය විශ්ලේෂකයන් උපුටා දක්වමින් එදා ලිපියේ අප සඳහන් කළේ ආණ්ඩුව කළ යුතුව තිබුණේ සමාජ මාධ්‍ය වලින් යන බොරු ප්‍රචාර වෙනුවට සමාජ මාධ්‍ය හරහා සහ ප්‍රධාන මාධ්‍ය හරහා ඇත්ත තොරතුරු සමාජ ගත කිරීමය.

ආණ්ඩුව ගින්තොටින් පාටමක් උගෙන තිබුණේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ඊට වඩා ව්‍යනසනයක් මහනුවරට අත්වීමය. වැඩේ වැරදීගෙන යන විට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කළේය. මේ නිසා ඒ ඔස්සේ ව්‍යාපාර පවත්වාගෙන යන ස්ථාන රැසක් දැඩි අර්බුදයකට ලක් විය.  කළ යුතුව තිබුණේ ඇත්ත තොරතුරු සමාජ ගත කිරීම මිස සමාජ මාධ්‍ය තහනම් කිරීම නොවේ.

නුවර සිදුවීමද දැන් අවසන්ය. ඉන් ලැබුණු අනිටු ප්‍රතිවිපාක තවත් වසර ගණනාවක් ඈතට පවතිනු ඇත. විනාශ වූ දේපල යළි ගොඩ නැගීමට යන්නේ ද අපේම මුදල් බව ඇතැම් විට අපරාධකරුවන්ට අමතක වන්නට ඇත.  ගිංතොටින් උගත්තේ නැති පාඩම් මහනුවරින් උගත යුතුය.  නීතිය කඩද්දී පොලිසිය බලා සිටීම ගැන මුලින්ම විමර්ශන සිදු කළ යුතුය. එසේ වූයේ පොලිසිය අභ්‍යන්තරයේ ඇති බල අරගලයක ප්‍රතිඵලයක් ලෙසද එසේ නැතිනම් නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස කවුරුන් හෝ කළ දැනුම්දීමක් මතද යන්න සොයා බැලිය යුතුය.  ඊළඟට සාමකාමී ප්‍රදේශය ගිනියම් කිරීමට මූලික වූ පිරිස් සහ ඔවුන් පිටුපස ඇති දේශපාලන හස්තයද හෙළිදරව් කළ යුතුය.  ඔවුන් නීතිය හමුවට ගෙන යා යුතුය. එසේ නොවුණහොත් තත්ත්වය මීට වඩා දරුණු අයුරින් තවත් තැනෙකින් මතුවනු ඇත.

 ‘අපි ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව ආරක්ෂා කළා‘

තෙල්දෙණිය ශ්‍රි ඉන්දසාර විහාරාධිපති  තෙල්දෙණිය මහා විද්‍යාලයේ ආචාර්ය ගැරඬිගල චන්දවිමල හිමි

‘කුමාරසිංහ මරණයට පත්වූ බව ආරංචි වූ දිනයේම හවස ජනතාව පන්සලට එකතු වෙලා තිබ්බා. පළාතේ භික්ෂූන් වහන්සේලා විදියට තීරණය කළේ අනුකම්පාවෙන්, දයාවෙන්, කරුණාවෙන් මෛත්‍රීයෙන් කිසිම කෙනකුට හානියක් නොකර ගැටළුව සාකච්ඡා මට්ටමින් විසඳගන්නයි. පල්ලි සමඟත් සාකච්ඡා කරලා නැතිවුණ එක්කෙනාගේ පවුලටත් යම් සාධාරණයක් කරන්නයි සාකච්ඡා කළේ.

මරණයෙන් දෙවැනි දවසේ මේ සිදුවීමට හේතු හැදුණා. මරණ ගෙදර ගිහින් එමින් සිටි තරුණයන් 26 දෙනෙක් පොලිසියෙන් රෑ අත්අඩංගුවට ගෙන තිබුණා.  අත්අඩංගුවට ගත්තු  ළමයි 26 දෙනා සටහනක්වත් දාගෙන නිදහස් කරලා තිබ්බා නම් එයාලගේ දෙමාපියො පොලිසිය ගාවට එන්නේ නෑ. මුලින්ම අත්අඩංගුවට ගත්තු දරුවන්ගේ දෙමාපියන් තමයි එතනට ආවේ. 12 විතර වෙනකම් දෙමාපියො දරුවො ඉල්ලුවා. පොලිසිය කල්මරමින් සිටියා. ඉන් පසු වෙනත් සංවිධානාත්මක කල්ලියක් පැමිණිලා තමයි දිගන ඇතුළු ප්‍රදේශවලට පහර දෙන්න පටන් ගත්තේ.

දීර්ඝ කාලයක් තිස්සේ පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ  කටයුතු නිසා මුස්ලිම් ප්‍රජාව කෙරෙහි යම් අප්‍රවසාදයක් ඇතිවෙන විදියේ සිතිවිලි ඇවිත් තිබුණා. උදාහරණයක් විදියට සමහර පැතිවලිනෝ පාර්කිං‘ කියලා ගහලා තියෙන තැන්වල සිංහල අය නැවැත්තුවාම දඩ කොළ දෙනවා. මුස්ලිම් අය නැවැත්තුවාම කීයක් හරි සාක්කුවට දාගෙන යවනවා.  ඒ සියලු කාරණා එක්ක සිංහල ජනතාවගේ අප්‍රසාදයක් ඇති වුණා මුස්ලිම් ජනතාවත් එක්ක. එයත් මේ ගැටුමට හේතුවක් වුණා.

කුඹුක්කඳුර, හිච්චාපුර, අඹගහලන්ද වගේ පැතිවල ඉන්න මුස්ලිම් ජනතාවට කිසිම හානියක් වෙන්න අපි ඉඩ දුන්නේ නෑ. සිංහල තරුණයන් එක්ක එකතු වෙලා අපි ඔවුන්ට ආරක්ෂාව දුන්නා.  මරණයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ඉන්නේ අපේ ගම්වල ඔවුන්ගේ ගෙවල්වලට ඥාතීන්ටවත් හානියක් වෙන්න අපි ඉඩ දුන්නේ නෑ. අපේ ධර්මයට අනුව සිව්පාවකුටවත් හිරිහැර කරන කරන්න බෑ. මුස්ලිම් ජනතාව වෙනුවෙන් අපි මෛත්‍රීයෙන් අනුකම්පාවෙන් කටයුතු කළා. මේ දින කිහිපයේම විහාරස්ථානය මුල් කරගෙන ගමේ තරුණ පිරිසේ ප්‍රධානත්වයෙන් මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රිතයාත්මක කළා.  ප්‍රදේශයේ සංඝ සභාව සහ ශාසනාරක්ෂක බල මණ්ඩලය රැස්වෙලා මේ අය වෙනුවෙන් දයාවෙන් අනුකම්පාවෙන් කටයුතු කරන්න ඕනා කියන කාරනාවේ මුල ඉඳන්ම හිටියා. යම් යම් කණ්ඩායම් වෛරය ඊරිසියාව පතුරන ආකාරයට කටයුතු කරලා තියෙනවා. අපිට මුස්ලිම් ප්‍රජාව සමඟ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ප්‍රශ්න තිබෙනවා. නමුත් ජීවිත දේපොළ විනාශ කරලා ප්‍රශ්න විසඳාගන්න එක වැරදියි.  සාකච්ඡාවකින් තමයි ප්‍රශ්න විසඳාගන්න ඕනෑ.  රටේ දේශපාලන නායකයෝ වුණත් මේ වෙලාවේ කරන සමහර ප්‍රකාශ පදනමක් නෑ. මුස්ලිම් ප්‍රජාව අවි ආයුධ අතට ගනියි කියලා තිබ්බා. එතකොට සිංහල ප්‍රජාව ආයුධ අතට නොගෙන ඉඳියිද? මේ ප්‍රකාශ වෛරය ඇතිවෙන දේවල් පමණයි. සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රජාවට සමාජයේ ප්‍රශ්න තිබෙනවා. ඒවා ගැන පාර්ලිමේන්තුවේ නායකයන් කතා කරන්නේ නෑ.

නැවත වරක් කියන්න ඕනෑ ප්‍රදේශයේ සිංහල ජනතාව හෝ දෙමළ ජනතාව මුස්ලිම්වරුන්ට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කළේ නෑ. මේක සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සිද්ධ කළා. හැබැයි මේ කාරණාව බෞද්ධ දේශපාලන නායකයන්වත් මුස්ලිම් දේශපාලන නායකයන්වත් කතා කළේ නෑ.  මේ ප්‍රශ්න නිසා මුස්ලිම් අයට වගේම සිංහල අයටත් ආර්ථික අලාභ හානි වුණා. මේ ප්‍රශ්නය ගැන හරියට තේරුම් අරගෙන කිසිම දේශපාලන නායකයෙක් කතා කළේ නෑ. මේක ජාතියක් වශයෙන් නෙමෙයි රටක් වශයෙන් අපිට වුණු අවාසනවාක්. අද ජාත්‍යන්තරයෙන් අපිට අවාසියි.  මේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ නිවාස, ආගමික ස්ථාන ආරක්ෂා කරන්න අපි බෞද්ධ ප්‍රජාව පෙරමුණ අරගෙන කටයුතු කරගෙන යනවා.

හතර වටේ බොරුවට කෑගහපු ළමයි අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේකේ ඇත්ත රටට හෙළි කරන්න ඕනෑ. කවුරු කරලා තිබ්බත් හෙළි කරන්න ඕනෑ.  සිංහල දෙමළ මුස්ලිම් නෙමෙයි අන්තවාදීන් මේවා කළා කියලයි අපි විශ්වාස කරන්නේ. එතන සිංහල, දෙමළ, මුස්ලිම් තුන් ගොල්ලෙම අන්තවාදීන් ඉන්න පුළුවන්. ඒ අන්තවාදීන් රටට පෙන්වාදීම නීතිය හා සාමය ඇමැතිගේ සහ පොලිසියේ වගකීමක්. සිංහල දෙමළ මුස්ලිම් අන්තවාදීන් තුන්ගොල්ලොම එකතු වෙලා මේක අවුලනවා වෙන්න පුළුවන්. ඒකෙන් සිංහල, මුස්ලිම්, දෙමළ ව්‍යාපාරිකයන් වාසි ගන්න බලනවත් ඇති.  මේ කණ්ඩායම තුළ සිටින අය ගැන සොයා බැලිය යුතුයි. සංවිධානාත්මක මේක පාරවමින් අනිසි ප්‍රයෝජන ගන්නවා කියලයි මේ ප්‍රදේශයේ ජනතාව කියන්නේ.‘

 

‘හදවතින්ම මනුස්සයන් වෙමු‘

ජාතික බුද්ධි ඵලදායිතා විශේෂඥ සහ ගම්පොළ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥවරයකු ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය නවාස් ජිෆ්රි

 

‘තමන් අදහන ආගම  ඒ විදියට අදහගෙන යන්න.  කිසිම ප්‍රතශ්නයක් නෑ. හැබැයි එයින් අනෙක් කෙනාගේ නිදහසට බාධා කරන්න යන්න එපා. මට අත පය විසි කරන්න නිදහස තියෙනවා. ඒ ඔක්කොම අනිත් කෙනාගේ නහය පටන් ගන්න තැනින් අවසන් කරන්න ඕනා.

අපි කවුරුත් මිනිස්සු. මම කරන ඔපරේෂන් එක මම කරනවා. සිංහල මිනිස්සුන්ට කොහොමද ඔපරේෂන් එක කරන්නේ මුස්ලිම් මිනිස්සුන්ට කොහොමද ඔපරේෂන් එක කරන්නේ කියලා මම ඉගෙන ගෙන නෑ.  ඔක්කොටම එකම විදියටයි කරන්නේ.  අහලා බලන්න වෛද්‍යවරුන්ගෙන් බොහෝ වෙලාවට අපි ලෙඩාගේ නම දැනගන්නෙත් ඔපරේෂන් එක කරලා ඉවර වෙලා.  සමහරු දැන් වෛද්‍යවරුන්වත් හඳුන්වනවා සිංහල ඩොක්ටර් කෙනෙක්, දෙමළ ඩොක්ටර් කෙනෙක්, මුස්ලිම් ඩොක්ටර් කෙනෙක් කියලා.  වෛද්‍යරවරුන්  බෞද්ධ,  ඉස්ලාම්, හින්දු කියලා වර්ග කරන්න බෑ. වෛද්‍යවරයා කියන්නේ හැමෝටම වෛද්‍යවරයෙක්.  ඕනෑම වෘත්තිකයකු  ජාතිය පදනම් කරගෙන නම් කරන්න එපා. ඇයි නම් කරන්නේ සිංහල ඉන්ජිනේරුවෙක්, දෙමළ ඉන්ජිනේරුවක් කියලා. ඔහු ලෝකයේ ඕනෑම කෙනකුට ඉන්ජිනේරුවරයෙක්.

මොන ලේබලය අලවා ගත්තත් වැඩක් නෑ. හතවතින් මනුස්සයෙක්ද කියන එකකයි වැදගත්. බෞද්ධ, මුස්ලිම්, හින්දු, කතෝලික කියලා ලේබල් ගහගත්තට වැඩක් නෑ. ඒ ආගමේ මූලිකාංග මොනවද කියලයි ඉගෙන ගන්න ඕනෑ. අනිත් ආගම්වලට ගරු කරමු. මම ගෞරවයෙන් ඉල්ලනවා සියලු දෙනා භාෂා තුනම ඉගෙන ගන්න. නැතිනම් අපි දෙමෙළන් කතා කරද්දි දෙමළ නොදන්න කෙනෙක් හිතන්න පුළුවන් කුමන්ත්‍රණය කරනවා කියලා. අපි සිංහලෙන් කතා කරද්දි සිංහල නොදන්න කෙනෙක් හිතන්න පුළුවන් කුමන්ත්‍රණය කරනවා කියලා. මේක තමයි හෙන ගෙඩියක් වගේ වැදිලා තියෙන්නේ.  අපි භාෂා තුනම ඉගෙන ගමු.

අනිත් එක ඉස්ලාම් ආගමේ පූජ්‍ය පක්ෂයක් නෑ. ඉස්ලාම් ආගමේ ඉන්නේ නායකයෝ. එහෙම කියලා අනිත් පූජ්‍ය පක්ෂයට ගරු නොකර ඉඳලා හරි යන්නේ නෑ. අපි අනිත් පූජ්‍ය පක්ෂවලට ගරු කරන්න ඕනෑ. සියලුම මිනිස්සුන්ට නිසි ගෞරවය දෙන්න ඕනෑ. අපි හොඳින් වැඩ කරන්න ඕනා. මොකද අපිට මරණයකුත් තියෙනවා. මරණෙන් පස්සේ ජීවිතයකුත් තියෙනවා. බුද්ධාගමේ අයයි ඉස්ලාම් ආගමේ අයයි එකම ස්ථානයකට එන තැනක් ඕක. මරණනේ පස්සේ ජීවිතයක් ගැන ආගම් දෙකේම කතා කරනවා. කරුණා කරලා අපි මනුෂ්‍යත්වයේ නාමයෙන් එකතු වෙමු.  දේශපාලන වශයෙන් බේද බින්න වෙන්න යන්න එපා. ඡන්දය දීලා පැත්තකට වෙලා ඉන්න.  කෙනෙක් අද කාට හරි ඡන්දය දෙයි. හෙට තව කාට හරි ඡන්දය දෙයි. ඒක මනුෂ්‍යත්වය නැති කරන්න පාවිච්චි කරන්න එපා.‘

(දිගන ප්‍රදේශයේ පැවැති වෛද්‍ය සායනයක් ආරම්භ වීමට පෙර විශේෂඥ වෛද්‍යවරයා දැක්වූ අදහස්)  

 

තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

 

උපුටාගැනීම ලංකාදීපයෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *