පුවතකට වැඩි යමක්අපරාධ

කෙසෙල්වත්ත උණුසුම් කළ අළුත්ම ඝාතනය

කෙටිකළක් නිහඬව තිබූ පාතාල ක්‍රියාකාරකම් යළි හිස ඔසවන බවක් පෙනෙන්නට තිබේ. එයට ආසන්නතම සිදුවීම ලෙස දැක්විය හැක්කේ පසුගිය 16 වනදා අළුත්කඩේ උසාවිය ආසන්නයේදී සිදුකළ ව්‍යාපාරිකයකුගේ ඝාතනයයි.

මෙසේ ඝාතනයට ලක්ව තිබෙන්නේ මොහොමඩ් රිස්වාන් නමැති තිස් නව හැවිරිදි පුද්ගලයකි. තම ව්‍යාපාරික ස්ථානයේ සිට නිවස බලා යමින් සිටියදී කෙසෙල්වත්ත නූරිය වීදියේදී නාඳුනන තුවක්කු කරුවකු විසින් මෙම ඝාතනය සිදුකර තිබේ. මෙම ව්‍යාපාරිකයා කුලීරථසේවා සථානයක සහ ගුවන් ටිකට්පත් ආයතනයක හිමිකරුවකි.

යතුරුපැදියකින් පැමිණි දෙදනකුගෙන් එක් අයකු අත තිබූ ගිණි අවියෙන් වෙඩිතබා මේ ඝාතනය කර තිබේ. ඝාතනය කර පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ ඝාතකයින් දෙදෙනාගෙන් එක් අයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගනු ලැබ ඇත. අනෙක් පුද්ගලයා පලාගොස් තිබේ. ප්‍රදේශවාසීන් විසින් පහරදීමෙන් තුවාල ලැබූ සැකකරු පොලීසිය මැදිහත් වී රෝහලට රැඟෙන යාමෙන් පසු මියගොස් ඇතිබවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙම සිදුවීම ලංකාවේ ප්‍රභල පාතාල කල්ලියක ක්‍රියාවක් බවටයි පොලීසිය සැක කරන්නේ. එසේම ඝාතනයට ලක්වූ රිස්වාන් නමැති පුද්ගලයා ද මීටපෙර මාලිගාව්ත්ත ප්‍රදේශයේ පාතාල කල්ලියක් සමඟ සඹඳතා පවත්වා ඇතිබවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනෙ බවයි තතුදත් පොලිස් නිළධාරියකු අප සමඟ සඳහන් කර සිටියේ. එපමණක් නොව විදෙස් ගතව සිටිමින් අංගොඩ ලොක්කා නම් පාතාල නායකයා සමඟ ගණුදෙනුකරමින් සමයං නම් පසුගියකාලයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් පාතාල නායකයාගේ ඝාතනය සහ වෙනත් අපරාධ රැසක් සැලසුම් කළ කඹුරුගමුවේ මධූෂ් නමැති පාතාල නායකයා සමඟ මියයන මොහොත තෙක්ම දුරකථන සම්බඳතා පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි එම නිළධාරියා අප සමඟ වැඩිදුරටත් සඳහන් කළේය.

එපමණක් නොව අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටින දැනට විදෙස්ගතව ඇති කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල නායකයා සමඟද මොහු දුරකතන සඹඳතා පවත්වා ඇති බවට සොයාගෙන ඇත.

ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල්ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් තව දුරටත් පරීක්ෂන සිදුකෙරේ.

මෙම ඝාතනයෙන් පවා පැහැදිළිවන අමිහිරි සත්‍ය වන්නේ පාතාලයේ ක්‍රියාකාරකම් තාමත් සුපුරුදු පරිදි සිදුවන බවයි. මෙම අපරාධයේ සුලමුළ බොහෝවිට ඉතා ටික කළකදී පොලීසිය විසින් සොයාගනු ලැබුවද ඒ තුළින් මෙවැනි අපරාධ මඳ පමණින් හෝ අඩුවේ යැයි සිතීම පවා ගැටළු සහගතය. මන්ද යත් ලංකාවේ බොහෝ පාතාල නායකයින් හා ඔවුන්ගේ ගෝලබාලයින් මෙරට ඇතැම් ප්‍රභල දේශපාලඥයින්ගෙ නොමඳ රැකවරණයත් ආරක්ෂාවත් ලබමින්, ඔවුන් පිටුපස සැඟවී සිටීමට එදා මෙන්ම අදත් මේ ඝාතකයින්ට ඉඩ ලැබෙන හෙයිනි.

සටහන: වසන්ත බංඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *