විශේෂාංගඋපුටාගැනීම්

තුවාල වූ සමාජ අධ්‍යාත්මය සුවපත් නොකර ඉදිරියට යන්න බැහැ – ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමි

ලංකාවේ ඉතිහාසය දෙස ආපසු හැරි බැලීමේ දී ආගම පදනම් කරගත් ගැටුම් ඇති වූ බවක් පෙනෙන්නට නැත. තිබෙන්නේ කුමක් හෝ දේශපාලන කාරණා පදනම් කරගත් ගැටුම් බව පැහැදිලිය. ඉස්ලාම් දහම සහ හින්දු දහම ආගමක් හැටියට ලංකාවට පැමිණිමේ දී එය ගැටුමක් බවට පත්නොවුවා සේම ඒවා පලවා හරින්නටද බෞද්ධයෝ උත්සාහ නොකළහ. ඇත්ත වශයෙන්ම ඔවුහු ඒ ආගම්වලට අනුග්‍රහ දැක්වූ බව ප්‍රසිද්ධ කාරණයකි. ඇතැම් ආගම්වලට අයත් ආයතන බිහිකරන්නට ඉඩකඩම් ලබාදීමද බෞද්ධාගමික ආයතන මගින් සිදුකෙරී තිබේ. වෙනත් ආගමක් සතුරෙක් ලෙස නොසැලකු බවට මෙය ප්‍රභල සාධකයකි. එහෙත් ආගම පදනම් කර ගත් ගැටුම් ගොඩනැගෙන්නෙ ආගම නිසා නොව වෙනත් කාරණා නිසා ඇතිවන සැකය හා බිය හේතුකොටගෙනය. එය ගැටුමක් බවට පත්වෙන්නේ ආගම තුළිනි. නොඑසේ නම් ආගමික ස්වරූපයෙන් එන ගැටුම ඊට වඩා වෙනස් කාරණා නිසා ඇතිවේ. ඒ නිසා ප්‍රථමයෙන්ම කිවයුතුව තිබෙන්නේ ආගම ම පදනම් කරගනිමින් ලංකාවේ ගැටුම් ඇති නොවු බවයි.

අනෙක් කරුණ වන්නේ, ආගම මත මිනිසුන් බෙදීම යන්න ලංකාවට පැමිණියේ යටත් විජිත සමයේය. මා සිතන ආකාරයට කිතුණුවන්ද මෙය පිළිගනු ඇත. අපි දන්නා ආකාරයට කතෝලික දහම පැමිණයේ පෘතුග්‍රීසින්ගේ පැමිණීමත් සමඟය. මූලිකවම ගැටුම් ඇතිවන්නෙ කතෝලික හා ප්‍රොතෙස්තන්ත්‍ර ආගම් අතරය. ගැටුම් ඇතිවන්නේ ඔවුනොවුන් අතර මිස බෞද්ධයන් හා අන්‍ය ආගමිකයින් අතර නොවන බව මෙයින් පැහැදිලි වේ. මෙහිදි කතෝලිකයින්ට තම ආරක්ෂාව පතා බෞද්ධයින් වෙසෙන රට අභ්‍යන්තරයට ද ඇතුල් වෙන්නට සිදුවේ. බෞද්ධයින් ඔවුන් සමඟ ගැටුම් ඇතිකරගෙන තිබුනේ නම් ඔවුන් එසේ නොයනු ඇත. එසේම, ප්‍රසිද්ධ සුසාන භූමිවල පවා ආගම් පදනම් කරගෙන භූමිය බෙදා තිබීම අපේ රටට ආවේනික වූවක් නොවේ. එහෙත් අද කනත්තක් පරික්ෂා කළහොත් ඇංග්ලිකන් අයගේ වෙනම හෝ කතෝලික අයගේ වෙනම සුසාන භූමි දකින්නට පුළුවන. ඒ ආකාරයට මරණයෙන් පසු පවා සිදුකරන මේ බෙදා වෙන් කර ගැනීම ලංකාවට ආවේනික වූවක් නොව එය පිටින් පැමිණියකි. එදා බෞද්ධයින් කල්පනා කළේ ආගමක් යන්න ගරු කළයුතු දෙයක් ලෙසය.

ලෝකයේ මුස්ලිම්වරුන් සහ මුස්ලිම්වරුන්ට එරෙහි ව්‍යාපාර තිබෙන බව අපි දනිමු. ගෝලීයකරණය තුළ එවැනි තත්ත්වයන් වර්ධනය වී තිබෙන බව කෙනෙකුට තර්ක කරන්නට පුළුවන. නමුත් අප රටේ මේ ගැටුම්වලට බලපෑ ස්වදේශික තත්ත්වයන් බොහෝ තිබේ. පළමු වැන්න, වසර 400ක් පමණ වූ යටත් විජිත පාලන කාලය තුළ විවිධ මට්ටම්වල තාඩන පීඩනවලට ලක් වී එයින් සුවපත් නොවූ විශාල පිරිසක් සිටීම. එම තුවාල ඇති වූයේ පෘතුග්‍රීසි කාලයේ හෝ 1818 කැරැල්ල තුළ සහ එම කැරැල්ල මර්ධනය කළ ආකාරය නිසා විය හැකිය. පසුගිය යුද සමයේ යුද්ධයට මුහුණ දුන් ජනතාව විශාල වශයෙන් අභ්‍යන්තරිකව තුවාල ලබා සිටින්නන්ය. එම ජනතාව සුවපත් කරන්නට මැදිහත් නොවන්නෙ නම් ඒ ඇති වූ තුවාල, කම්පනය සහ බිය ඒ අය තම දරුවන්ට ද ලබාදෙති. ඒ අනුව පෘතුග්‍රීසි කාලයේ සිට, 1818 කැරැල්ල දක්වා ඇති වූ ගැඹුරු හා දරුණු තුවාල තවම සුවපත් වී නොමැත. ඒ සුවපත් නොවූ තුවාල ඊළග පරම්පරාවලට ද පැමිණ තිබේ. මේකි සත්‍ය අප සියල්ලන් නොසලකා හැර ඇත. මේ බිය හා කම්පනය සිංහල සමාජයට පමණක් නොව දෙමළ හා මුස්ලිම් සමාජයට ද පොදුය.

අනෙක් අතින් බෞද්ධ භික්ෂුන් අතර නිරන්තරයෙන් තමන් සහ තමන්ගේ ආගම නැතිවෙන්නට යන්නේය වැනි බියක් පැහැදිලිව දැක ගැනීමට පුළුවන. මේ බිය කෙරෙහි බලපා ඇත්තේද පසුගිය වසර 400ක පමණ කාලය තුළ ඇති වූ තුවාල සුව නොවීම හේතුකොටගෙනය. 1948 නිදහස ලබා 2009 වසරේ යුද්ධයකින් කෙළවර වූ කාලය දක්වා හැම වසර 7කට වතාවක්ම එනම්, 1956, 1958, 1971, 1983, 1989 යන වකවානුවල මේ රටේ ලේ වැගිරීමක් සිදු වී ඇතැයි ඇසීම පුදුමය දනවන කාරණයක් නොවනු ඇත. එසේම 1989 යේ සිට 2009 දක්වා වන කාලය තුළ අඛණ්ඩව අපි ලේ වැගිරීමකින් තොරව ජීවත් වී නැත්තෙමු. අනෙකුත් රටවලද මෙවැනි ගැටුම් ඇති වී තිබෙන්නට පුළුවන් විය හැකි නමුත් මෙවැනි අඩු කාල පරාසයක් තුළ අඛණ්ඩව ලේ වැගිරීම් සිදුව ඇති බවක් මා දන්නේ නැත.

අප සමාජ අධ්‍යාත්මය ඉතා ගැඹුරුට තුවාල වී තිබේ. එවන් ගැඔුරු තුවාල පවතින විට කුමක් හෝ සැකයක් ඇතිව ක්ෂණයෙන් එය විශාල ගැටුමක් බවට පත්වීම නොවැළැක් විය හැකිය. මෑත කාලීනව ඉස්ලාම් භක්තිකයින් සමඟ ඇති වූ ගැටුම එවැනි සැක සාංකාවන් තුළින්ම හටගත්තක් බව මගේ අදහසයි. උතුරේ යුද්ධය අවසන්ව වසර ගණනාවක් ගතව ඇතත් මේ ගැටුම අවසන් නොවන්නේ සුව නොවූ තුවාල විසින් ඇති කර තිබෙන සමාජමය සැකය හා බිය නිසාය. මින් ඉදිරියට අඩියක් තබන්නට නම් මේ සමාජය තවමත් සුවපත් නොවූ සමාජයක් බව අප ප්‍රථමෙයෙන්ම පිළිගත යුතුව තිබේ.

ඊළඟට අපි සුවපත් වන්නේ කෙසේද යන්න කල්පනා කළ යුතුව ඇත. එහිදී සමාජ අධ්‍යාත්මයේ බරපතළ ලෙස නිදන්ගත තුවාල තිබෙන බව පිළිගතහොත්, පසුගිය තිස් වසර තුළ ඇති වූ තුවාල කෙරෙහිද අවධානය යොමුකළ හැක. ඈත අතීතයේ සිදු වූ ගැඹුරු තුවාල මෙන්ම මෑත සිදුවූ බොහෝ දෙයින් එම තුවාල ගැඹුරුට පාරා තිබෙන බවද අප අමතක නොකළ යුතුය. 1971 කැරැල්ල මර්දනය කිරීමේ දී තම දරුවන් අහිමි වූ දෙමාපියන්ගේ සිත් තුළ ඇති වූ තුවාල මෙන්ම 1989 දී මියගිය අයගේ තරුණ තරුණියන්ගේ පවුල්වල පමණක් නොව ඔවුන් විසින් ඝාතනය කළ පවුල්වල අයගේ තුවාල ද සුව නොවී තිබෙන බවද සිහිතබා ගත යුතුය. මේ සියලුම ආකාරයේ තුවාල පොදුවේ සුවපත්වීමක් වූයේ නැත. තිස් අවුරුදු යුද්ධයකට පසුවත් ඇතිවන ගැටුම් දේශපාලනික මෙන්ම ආගමික හේතු ලෙස මතු වුවද ඒවා මෙතෙක් සුවයක් නොලද තුවාල හේතුකොටගෙන ඇති වන බව මගේ අදහසයි. එහෙයින් සියල්ලට ප්‍රථම තුවාල සුවපත් කර ගත යුතුව තිබේ.

පසුගිය කාලයේ ජාතිවාදී අදහස් සමාජගත කිරීමට විවිධ ආගමික අන්තවාදී කණ්ඩායම් උත්සාහ දරනු දක්නට ලැබිණි. එවන් ජනප්‍රිය බොරුවක් වුයේ මුස්ලිම්වරුන් විසින් විකුණන ඇඳුම් සිංහලයන් වඳ බවට පත්කරන්නෙය යන්නයි. කිසිදු පදනමක් නැති වුවද මෙවන් අසත්‍යය ප්‍රකාශයන් සත්‍යයක් ලෙස මිනිසුන් පිළිගන්නේ ඇයි ද යන්න අප සිතිය යුතුය. මෙයින් පෙනී යන්නේ සැකෙන් හා බියෙන් සිටින සමාජයකට එසේ වඳ නොවන බව ඔප්පු කිරීමෙන් ඵලයක් ලැබෙන්නේ නැති බවය. 1987 ඉන්දු ලංකා ගිවිසුමත් සමඟ ඇති වූ භීෂණය ගැන අපට බියජනක අත්දැකීමක් ඇත. එකල දෙපාර්ශ්වයම සමාජ බිය ඇති කිරීම උපායක් හැටියට යොදාගත්හ. අපගේ එම අත්දැකීම, උතුරේ වසර 30ක් හමුදාව සහ එල්ටීටීඊය සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාවන්ට මැදිව ජීවත් වූ ජනතාවගේ අත්දැකීම අවබෝධකර ගැනීමට ප්‍රමාණවත් වනු ඇත. බෞද්ධයින් එයට මුහුණ දුන්නේ තමන්ගේ සුරක්ෂිතතාවයට යම් යම් දේ ගොඩනගා ගනිමිනි. බෝධි පූජා මෙතරම් ජනප්‍රිය වූයේත් බුදුපිළිම තැනක් නොතැනක් නැතිව ගොඩනැඟුණේත් උදේ හවස අතොරක් නැතිව මාධ්‍ය ඔස්සේ බණ ඇසෙන්නට වන්නේත් යුද්ධය තුළය. ඊට පෙර බෝධි පූජාවක් යනු අපට සාමාන්‍ය දෙයකි. විද්්‍යුත් මාධ්‍ය නාලිකා මේ තරම් අපට බණ කීවේද නැත. ආගම මේ සා සමාජ ගතවෙන්නේ යුද්ධය සමඟය. මිනිස්සු තමන් වෙළාගත් බිය හා සැකයට ප්‍රතිචාර දැක්වූයේ එලෙසය.
රටේ පවත්නා මේ තත්ත්වය අප අවබෝධ කර ගත යුතුය. රෝග නිධානයට ප්‍රතිකාර කිරීම ඇරඹිය යුතුය. එනම් මිනිසුන් අධ්‍යාත්මිකව සුවපත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකළ යුතුය. සෑම ආගමිකයෙක්ම ඓතිහාසික වැරදීම් තුළ රෝගාතුරව ඇත. එනිසාම සාමූහිකව සුවපත් කරන්නෙ කෙසේද යන කාරණය සම්බන්ධයෙන් සෑම ආගමකටම විශාල වගකීමක් පැවරී ඇත. සංහිඳියාව දකින්නට අපි හැමෝම සුවපත් වීම අවශ්‍යය.

 

සටහන – මහින්ද රත්නායක

උපුටාගැනීම සමබිමෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *