විශේෂාංගඋපුටාගැනීම්

ෆිදෙල් කස්ත්‍රෝ හා කියුබානු විප්ලවය, මාක්ස්වාදී විශ්ලේෂණයක් – පළමු කොටස

ෆිදෙල් ක්‍රස්තෝගේ මරණයෙන් පසුව ලංකා සමාජය තුළද ඒ පිළිබදව හා කියුබානු සමාජවාදය, එහි අනාගතය පිළිබදව විශාල සාකච්ඡාවක් සිදුවෙමින් පවතී. විශේෂයෙන්ම පෝස්ටර් ඇලවීම්, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකළ ප්‍රචාර ආදියට අමතරව ජනතා විමුක්ති පෙරමුණ විසින් විශාල පිරිසගේ සහභාගීත්වයකින් යුතු ක්‍රස්තෝ සමරුවක් පසුගිය 04 දා පවත්වන ලදී. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ අංශයද කියුබානු තානාපතිනිය හමුවී සිදුකළ සාකච්ඡාවක ඡායාරූප හා ඒ පිළිබද තොරතුරු මාධ්‍යයට මුදා හැර තිබිණි. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගීත්වයෙන් ක්‍රස්තෝ සැමරීමේ රාජ්‍ය උත්සවයක් පවා පැවැත්විණි. මේ අතරම ජවිපෙ විසින් පැවැත්වූ ක්‍රස්තෝ සමරුවේ ඡායාරූප දැක උරණවූ මුග්ධ සිංහල ස්වෝත්තමවාදීන් විසින් අනගාරික ධර්මපාල වැන්නවුන් සමරන්නේ නැතිව ෆිදෙල් ක්‍රස්තෝ සැමරීමට එරෙහිව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල ඝෝෂාවක් සිදුකරනු දැකගත හැකිවිය.

 


 

මේ සියල්ල හා ලංකාවේ ඉතිහාසය, ලංකාවේ වමේ ව්‍යාපාරයේ විකාශනය සලකන කල්හි ෆිදෙල් ක්‍රස්තෝ සාධකය විශාල වශයෙන් අදාළ වන පරිධියේ රටවල් අතරින් මෙය ප්‍රමුඛස්ථානයක පවතින බව පැහැදිලිය. එබැවින් මෙම කරුණු පිළිබදව මාක්ස්වාදී කියවීමක් සිදුකර ගැනීමට ප්‍රවේශයක් සදහා පහත ලිපිය සිංහලට පරිවර්තනය කරනු ලැබේ. මෙම ලිපිය තරමක් දීර්ඝ වුවත් මතුපිටින් සිදුකරන අතපතගෑම් රාශියකට සීමාවී ඇති සාකච්ඡාව නව මානයකට ගෙන යාමට මෙය පිටුවහලක් වනු ඇතැයි විශ්වාස කළ හැකිය.

 

ලිපියේ කර්තෘ, ‘ටෝනි සනුවා’(Tony Saunois) සහෝදරයා ‘කම්කරු ජාත්‍යන්තරයක් සදහා වන කමිටුවේ’(CWI) ලේකම් ලෙස කටයුතු කරනු ලබයි. මෙම ලිපිය පළමුවෙන්ම socialistworld.net වෙබ් අඩවියේ පළවූයේ 2008 වර්ෂයේදීයි.


පරිවර්තනය – නජිත් ඉන්දික

 

හැදින්වීම

 

වසර 90 ක් ආයු වළදා ෆිදෙල් ක්‍රස්තෝ මිය ගිය පුවත පසුගිය නොවැම්බර් 25 වනදා රාත්‍රියේදී ඔහුගේ සොහොයුරු රාවුල් ක්‍රස්තෝ විසින් කියුබානු ජාතික රූපවාහිනිය හරහා නිවේදනය කරන ලදී. 1959 කියුබානු විප්ලවයේදී චේ ගෙවාරා සමග උරෙනුර ගැටෙමින් සටන් වැදුණු මෙම නායකයාගේ අභාවය පිළිබදව කියුබාවේ මෙන්ම ගෝලීය වශයෙන්ද මිලියන ගණනක් කම්කරුවන් ශෝක වන ලදී. ඒ අතරම ධනේශ්වර ප්‍රතිගාමීත්වයේ හා අධිරාජ්‍යවාදයේ බලඇණි ෆිදෙල් ක්‍රස්තෝගේ මරණය දකින්නේ මෙය කියුබානු දූපත තුළ ධනේශ්වර සබදතා ප්‍රතිස්ථාපනය සම්පූර්ණලෙස කර ගැනීමට ලැබුණු මහගු අවස්ථාවක් ලෙසයි. මෙම ප්‍රතිගාමී බලවේගවල අරමුණ වන්නේ ඓතිහාසික ලෙස ජයග්‍රහණ අත්පත් කරගෙන ඇති මහජන අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාව ඇතුළු විප්ලවයේ හා සැලසුම්ගත ආර්ථිකයේ ඉතිරිවී ඇති ජයග්‍රහණ සියල්ල විනාශ කිරීමයි

 

පහත ලිපිය තුළින් ටෝනි සනුවා සහෝදරයා අවධානය යොමු කරන්නේ ෆිදෙල් ක්‍රස්තෝගේ ජීවිතය, උරුමය හා කියුබානු විප්ලවය පිළිබදවයි. එමෙන්ම මෙම ලිපිය හරහා කියුබානු විප්ලවයේ ජයග්‍රහණ ආරක්ෂා කිරීමට ඇති මග, නිර්ධන පංති ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද තීරණාත්මක ගැටළුව හා කියුබාවේ මෙන්ම ජාත්‍යන්තරවද සමාජවාදය උදෙසා වන අරගලය පිළිබදව සාකච්ඡා කෙරයි.

 


 

‘ෆිදෙල් ක්‍රස්තෝ –  මගේ ජීවිතය’ කෘතිය(ඉංග්‍රීසි භාෂාවෙන් 2007 වසරේදී පළවිය) ප්‍රකාශයට පත්වූයේ ක්‍රස්තෝ සිය ජනාධිපතිධූරයෙන් සමුගැනීමට බොහෝ දුරට සමාන්තරව වන අතර එම සිදුවීම් දෙකෙහි කාලරාමූන් වෙනස් වූයේ මාස කිහිපයකිනි. ප්‍රංශ ජාතික කතුවරයෙකු, ‘ලෙ මොන්දේ ඩිප්ලොමැටීක්’(Le Monde Diplomatique) හි සංස්කාරක හා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඉග්නාසියෝ රැමොනෙට්(Ignacio Ramonet) විසින් පැය 100 ක් තිස්සේ සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් මත පදනම්ව රචිත මෙම කෘතිය හරහා 1959 සිට කියුබානු විප්ලවය හා ලෝක දේශපාලනයේ සිදුවීම් පිළිබදව විශාල හෙළිදරව් කිරීමක් හා පැහැදිලි කිරීමක් සිදුකර ඇත. එමෙන්ම එමගින් ෆිදෙල් ක්‍රස්තෝගේ දේශපාලන දෘෂ්ටිය හා ක්‍රමවේදයන් පිළිබදවද හෙළිදරව්වක් සිදුකරයි.

 

මෙහිදී ක්‍රස්තෝ විසින් 1959/60 විප්ලවයේ ප්‍රතිඵල ලෙස වෛද්‍ය විද්‍යාව, සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය තුළ සමාජයක් ලෙස අත්පත් කරගන්නා ලද සිත්ගන්නා සුළු විජයග්‍රහණ පිළිබදව යුක්තිගෝචර ලෙස තර්ක කරයි. “කියුබානු පුරවැසියෙකුගේ ආයු අපේක්ෂක කාලය මේ වන විට 1959 දී කියුබානු විප්ලවය ජයග්‍රහණය කිරීමට පෙර තිබූ අගයට වඩා වසර 18 කින් ඉහළ ගොස් ඇත. කියුබාව තුළ ළදරු මරණ අනුපාතිකය  පවතින්නේ 1000 කට 6 කටත් වඩා අඩු මට්ටමකිනි. මෙය කැනඩාවේ එම අගයට වඩා යාන්තමින් පසුපස අගයක් වේ. එමෙන්ම ආයු අපේක්ෂක කාලය 70 සිට 80 දක්වා වර්ධනයක් අත්පත් කරගැනීමට ජපානය හා ස්වීඩනය ගතකළ කාලය මෙන් හරි අඩක කාලයක් තුළ අපට එය සිදුකරළ හැකිවනු ඇත. අද කියුබාවේ එම අගය වසර 77.5 කි”

 

ක්‍රස්තෝ පෙන්වා දෙන ආකාරයට කියුබානු විප්ලවය සිදුවන විට එහි ‘උපරිම ආයු අපේක්ෂක කාලය’ වසර 60 කි! නමුත් විප්ලවය සිදුවන විට මොහොතේ කියුබානු වෛද්‍යවරුන්ගේ 50% ක් විදෙස් රටවලට පැනගොස් තිබිණි. අදවන විට එදා ඉතිරිවී සිටි වෛද්‍යවරු ප්‍රමාණය මෙන් 15 ගුණයක් වෛද්‍යවරුන් කියුබාව තුළ සිටිති.

 

රැකියාවක නිරත වී නොසිටින සියළු දෙනා උදෙසා නිදහස් අධ්‍යාපනය විවෘත අතර අද වනවිට වෛද්‍ය විද්‍යාව, හෙද සේවය හෝ සෞඛ්‍ය සේවාව සම්බන්ද වෙනත් වෘත්තීන් පිළිබදව අධ්‍යාපනය ලබමින් සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 90 000 කි. මේ සියල්ල සිදුකරන ලද්දේ 1960 වර්ෂයේ සිට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයෙන් පැනවූ ආර්ථික සම්බාධක වලට මුහුණ දෙමින්, 1992 දී සෝවියට් සංගමය බිද වැටීමෙන් පසු දීර්ඝ කාලීන දරුණු ආර්ථික අවපාතයකට ගොදුරුවීමෙන් හා ලැබුණු ආර්ථික සහායන් දිගින් දිගටම අහිමි වෙමින් යන තත්වයක් තුළය.

 

මෙම කරුණු හා ක්‍රස්තෝ විසින් සදහන් කරන අනෙකුත් සිත්ගන්නා සුළු ජයග්‍රහණ හරහා කම්කරු පන්තිය විසින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය කරන හා කළමණාකරණය කරන සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයක් තුළින් කළ හැක්කේ කුමන ආකාරයේ දෙයක්ද යන්න පිළිබදව යම් සරල නිදසුනක් සපයනු ලබයි. මෙමගින් කියුබාවේ විදෙස් ප්‍රතිපත්තියේ සමහර පැතිකඩ පිළිබදවද යම් සංඥාවක් ලබාදෙයි. රටවල් 40 ක සේවය කිරීම සදහා වෛද්‍යවරුන් 30 000 ක් පිටත්කර හැරීමට අමතරව, වැදගත්ම හා සිත්ගන්නා සුළු ජයග්‍රහණයක් වන්නේ 1975 සිට ඇන්ගෝලාවට හා නැමීබියාවට දසදහස් ගණනක ‘ජාත්‍යන්තරවාදී ස්වේච්ඡා භටයින්’(internationalist volunteers) පිටත් කර හැරීමයි. ඇංගෝලාව තුළ 36 000 ක පමණ කියුබානු භටයින්ගෙන් සැදුම්ලත් අනුකණ්ඩයක් දකුණු අප්‍රිකානු ඇපාතයිඩ් හමුදාවන් සමග සටන් වැදුණු අතර, පළමු වතාවට ඊට එරෙහිව ජයග්‍රහණයක්ද ලබාගන්නා ලදී. නැමීබියාව දකුණු අප්‍රිකානු පාලනයෙන් නිදහස් කර ගැනීමේදී කියුබානු භටයින්ගේ මැදිහත්වීම ඉතාමත් තීරණාත්මක විය. වසර 15 ක් තිස්සේ 300 000 කට අධික ජාත්‍යන්තරවාදී භටපිරිසක් ඇංගෝලාව තුළ සියකාර්යභාරය ඉෂ්ඨ කරන ලදී. ඇපාතයිඩ් රෙජීමය පරදවා අවසානයේ ජයග්‍රහණය ලැබීමේදී මෙම සටන් විසින් විශාල වැඩ කොටසක් සිදුකරන ලදී. ක්‍රස්තෝ ප්‍රකාශ කරන පරිදි “නින්දිත ඇපාතයිඩ් රෙජීමය පැරදවීම සදහා වූ සටනේදී අප්‍රිකාව වෙනුවෙන් අප්‍රිකාව තුළදී සටන් වැද ලේ හැලූ හා දිවි දුන් එකම අප්‍රිකානු නොවන රට වනුයේ කියුබාවයි.”

 

එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ එදිරිවාදීකම්

 

ආරම්භයේ පටන්ම කියුබානු විප්ලවය විසින් එක්සත් ජනපද අධිරාජ්‍යාවාදීන්ගේ ක්‍රෝධය අවුස්සාලන ලද අතර ඔවුන් විසින් වාරගණනක් කියුබානු විප්ලවීය රජය බලයෙන් පහකිරීමට උත්සාහ ගන්නා ලදී. ක්‍රස්තෝගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව අද වන විට එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් හා ඔවුන්ගේ නියෝජිතයන් විසින් කෑදර ලෙස බලාපොරොත්තු වන්නේ කියුබානු රෙජීමයේ මරණය හා සැලසුම්ගත ආර්ථිකයේ බිදවැටීමකි. ඒ හරහා ‘සමාජවාදය’ පිළිබදව වන අදහස තවත් වටයකින් ගෝලීය වශයෙන් අප්‍රසාදයට පත්කිරීමකි.

 

විප්ලවයට එරෙහිව එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ සුප්‍රසිද්ධම මැදිහත්වීම වන්නේ 1962 දී ‘ඌරු බොක්ක’(Bay of Pigs) නම් බොරුවයි. මෙය සිදුකරන ලද්දේ ‘විප්ලවයේ සමාජවාදී ස්වභාවය’ පිළිබදව ක්‍රස්තෝ විසින් නිළ නිවේදනය නිකුත් කිරීමෙන් පසුවයි.

 

එක්සත් ජනපදයේ අනුබලය ලබන පිටුවහලුන්, එක්සත් ජනපද ආරක්ෂක අංශ හා අනෙකුත් ප්‍රතිගාමී ප්‍රතිවිප්ලවවාදීන් විසින් එල්ල කර ප්‍රහාරයන්ගේ ලැයිස්තුවක් ක්‍රස්තෝ විසින් ඉදිරිපත් කරයි. “සී.අයි.ඒ. මූලාශ්‍ර වලට අනුව 1971 දී ‘නික්සන්’ ජනාධිපතිවරයාගේ කාලයේදී කන්ටේනරයක සගවමින් ‘සූකර උණ’ වෛරසය කියුබාවට එවන ලදී. 1981 දී ඩෙංගු වෛරසය(දෙවන වර්ගය) කියුබාව තුළට මුදාහැරීමේ ප්‍රතිඵලය වූයේ ළමයින් 101 ක් ඇතුළු 158 දෙනෙක් මියයාමයි. එමෙන්ම ෆ්ලොරීඩාවේ පැවති ත්‍රස්තවාදී සංවිධානයක් වන ‘ඔමේගා 07’ නම් සංවිධානයේ නායකයා 1984 දී පිළිගනු ලැබුවේ තමන් විසින් සචේතනිකව, විශාල පිරිසක් ගොදුරු කරගැනීමේ අරමුණෙන්, මාරාන්තික වෛරස් වර්ග කියුබාවට හදුන්වා දුන් බවයි.” මීට අමතරව ක්‍රස්තෝව ඝාතනය කිරීමේ සෘජු සැලසුම් 600 කට වඩා මේ වන විට ක්‍රියාත්මක වී තිබේ.

 

මෙම කෘතිය මගින් විප්ලවය හරහා අත්පත් කරගත් සමාජමය ජයග්‍රහණ හා එක්සත් ජනපද අධිරාජධ්‍යවාදීන්ගේ වෛරීසහගත මැදිහත්වීම පිළිබද මනා හෙළිදරව්වක් සිදුකරනු ලබයි. විශේෂයෙන්ම ලතින් ඇමරිකාවේ මෙන්ම ජාත්‍යන්තරවද කම්කරුවන්ගේ හා තරුණ පිරිස්වල අනුග්‍රහය කියුබාවට ලැබීමට හේතු මෙමගින් උදාහරණ සහිතව පැහැදිලි කරයි. වෙනිසියුලාව පිළිබදවද මෙම තත්වය එලෙසම වන අතර, විප්ලවයක් සිදුනොවීම හා ධනවාදය බලයෙන් පහකිරීමට නොහැකි වීම නිසා ඒ පිළිබදව සාකච්ඡාව ඇත්තේ මීට අඩු මට්ටමකිනි. නමුත් බොහෝ දෙනෙක් කියුබාව හා වෙනිසියුලාව යන රටවල් දෙක ප්‍රත්‍යක්ෂ කරගෙන සිටින්නේ 1990 හා 2000 කාල වකවානුවල නව ලිබරල්වාදී ධනවාදයේ වේගවත් ප්‍රහාරයට මුහුණ දීමට සූදානමින් සිටින එකම රාජ්‍යයන් දෙක ලෙසයි. ක්‍රස්තෝ(හා හියුගෝ චාවේස්) විසින් ‘අධිරාජ්‍යයා’ ලෙස හදුන්වන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය නැමති සුවිසල් ප්‍රතිමාවට එරෙහිව සිටගනිමින් ඊට එරෙහිව සටන් වැදීමට සූදානම්වන එකම වාම බලවේගයන් වීම නිසාම කියුබාව විශාල පරාසයක අනුග්‍රහයක් දිනාගෙන සිටී.

 

සමාජවාදී සෝවියට් සංගමයේ බිද වැටීම

 

මෙහිදී විශාල ප්‍රශ්නාවලියකට ක්‍රස්තෝ විසින් පිළිතුරු ලබා දෙයි. ඒ අතරින් 1990 දී සිදුවූ සංසිද්ධීන් හා පෙර පැවති සෝවියට් සංගමය බිදවැටීම පිළිබදව ඔහුගේ ප්‍රතිචාරය සැලකීමේදී ක්‍රස්තෝ විසින් ගෝලීය වශයෙන් සිදුවූ සිදුවීම් අධ්‍යයනය කර ඇති ආකාරය මෙන්ම ඔහු හොද කියවීමක් ඇති පුද්ගලයකු බවද හෙළිදරව් කරයි. අවාසනනාවන්ත ලෙස පෙර පැවති සෝවියට් සංගමය තුළ ධනවාදය ප්‍රතිස්ථාපනය කිරීමේ අත්දැකීමට ප්‍රතිවිරුද්ධව, කියුබාව තුළ එම මාර්ගය අනුගමනය කිරීම ක්‍රස්තෝ විසින් ප්‍රතික්ෂේප කරන බව මෙමගින් පෙනී යයි. එමෙන්ම මේ සිදුවීම් සියල්ලෙන් පසුවද කියුබාව සැලසුම්ගත ආර්ථිකයෙන් මුළුමනින්ම වෙන්වීමකින් තොරව හා ධනවාදය ප්‍රතිස්ථාපනය කිරීමකින් තොරව පවතිනවාය යන කාරණය සැලකූ විට එය කියුබානු විප්ලවය හරහා තහවුරු කරන ලච සමාජ මූලයන් පිළිබදව හොද මිනුම් දණ්ඩක් සපයනු ලබයි. ඉතාම මෑතකදී වෙනිසියුලානු තෙල් සම්පත හේතුවෙන් කියුබානු ආර්ථිකයට යම් ආධාරයක් ලබා ගැනීමට හැකිවිය. එමෙන්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් විසින්  කියුබාවට එරෙහිව ඉතාදැඩි ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගිය කාල පරිච්ඡේදයන්හිදී කියුබානු රෙජීමයට ලොව තුළ වඩා වැඩි සහයෝගයක් ලබාගත හැකිවිය.

 

හෙළිදරව්වක් ලෙස, ධනවාදය ප්‍රතිස්ථාපනය කිරීමේදී ඒ සදහා සෝවියට් නායක ගෝර්බචෙව්(Gorbachev) නම්මා ගැනීම සදහා ස්පාඤ්ඤ සමාජවාදී පක්ෂයේ(Spanish Socialist Party – PSOE) හිටපු නායක ෆෙලිප් ගොන්සාලේස්(Felipe González) විසින් සිදුකළ කාර්යභාරය පිළිබද අනාවරණය කරන ලදී. මෙය ක්‍රියාවට යොදවන ලද්දේ පාලක නිළධාරීපන්තිය විසින් මෙම රටවල් සමස්තයක් ලෙස ධනේශ්වර ක්‍රමය වෙත පැන්නවීම සදහා උත්සාහ කිරීමෙනි. උදාරහණයක් ලෙස මෙම ගොන්සාලේස්, මැනුවෙල් ෆ්රාගා(Manual Fraga) වැනි(මොහු ෆ්‍රැන්කෝගේ ෆැසිස්ට් රෙජීමයේ ඇමතිවරයෙකු මෙන්ම ගැලීසියාවේ ජනාධිපතිවරයාද විය.) වැනි වෙනත් අයවලුන්ද හා එක්ව 1990 දශකයේදී ක්‍රස්තෝව නම්මවා ගැනීම සදහාද එලෙසම උත්සාහ කළ ආකාරය ක්‍රස්තෝ විසින් හෙළිදරව් කරයි. “ෆ්රාගා ද ගොන්සාලේස් හා අනෙක් වුන් මෙන්ම ඒ අතරින් එක් පුද්ගලයෙකි… එනම් සෝවියට් සංගමය බිදවැටීමෙන් පසු වහා යුහුසුළුවෙමින් මා වෙත ආර්ථික උපදෙස් ලබා දීමට කටයුතු කළ කණ්ඩායමෙන් කෙනෙක්. එක් රාත්‍රියක ඔහු ඉතාමත් සුඛෝපබෝගී ආපන ශාලාවකට මාව කැදවාගෙන ගිය අතර, මා හට ආර්ථික ප්‍රතිසංස්කරණ වට්ටෝරු ලබා දීමට ඔහු උත්සාහ කළා. ‘කියුබාව සදහා ගැලපෙන වට්ටෝරුව වන්නේ නිකරගුවාවේ වට්ටෝරුවමයි’ යනුවෙන් ඔහු ප්‍රකාශ කළා. ඒ තමයි ඔහුගේ වචන.”

 

ක්‍රස්තෝ මෙම උපදේශය පිළිපැද්දේ නැහැ. ඔහු ප්‍රකාශ කළේ “එම යෝජනා වට්ටෝරුව හරහා නිකරගුවාව භයානක මට්ටමට දූෂණය, හොරකම, අනවධානය වර්ධනය වීම නිසාවෙන් පතුලක් නොමැති අගාධයක ගිලී ගියා. ඔවුන්ට අවශ්‍ය වුණේ ෆෙලිප් සහ ඔහුගේ ප්‍රභූ උපදේශකයන් ගෝර්බචෙව් හට අනුගමනය කිරීමට උසිගැන්වූ හා අවසානයේ සියල්ල විනාස කර දැමූ, රුසියානු වට්ටෝරුවම මං ලව්වා ක්‍රියාත්මක කිරීමටයි. එසේ උපදෙස් ලබා දීමට පැමිණි එම සියළුම මිනිසුන්ගේ උපදෙස වුණේ නවලිබරල්වාදයේ මූලධර්ම අවසාන මොහොත දක්වා ක්‍රියා කරන ලෙසයි. එනම් පෞද්ගලීකරණය ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට මුළුමනින්ම යටත්වීම ආදියයි. මෙම මාවතේ ගමන් කිරීම නිසාවෙන් බොහෝ රටවල් හා එවායේ ජීවත්වන පුරවැසියන් සමගම විශාල අගාධයකට ඇද දමනු ලැබුවා.”

 

නමුත්, එම ක්‍රස්තෝම ඊට සමාන උපදෙස් සැපයූ තෝමස් බෝර්ගේ(Tomás Borge) හා 1980 දශකයේ පරාජයට පෙර සිටි අනෙකුත් නිකරගුවානු සැන්ඩිනිස්ටා නායකයින් හට මෙසේ විරුද්ධ නොවූයේ ඇයි?

 

‘ගෝලීයකරණයේ’ බිදවැටීම හා කම්කරු පන්තියේ භූමිකාව

 

1990 න් පසු හුදෙකලා වෙමින් හා ජාත්‍යන්තර වශයෙන්ම නවලිබරල්වාදී ප්‍රතිපත්තීන්ගේ උච්ඡාවචනය වන රළ පහරට මුහුණ දෙමින්ම ක්‍රස්තෝ විසින් මෙම කාල පරිච්ඡේදය තුළ ඔහුගේ උපක්‍රමික ප්‍රවේශය අනාවරණය කරගන්නා ලදී. සාරංශ ගතකොට දැක්වූවොත්, ක්‍රස්තෝ සිය උපක්‍රමය ‘නිසිකල් එනතුරු කල්බැලීම’(policy of buying time) ලෙස වෙනස් කළේය. මෙය සම්බන්ද වූයේ ‘ගෝලීයකරණය බිදවැටීම’ දක්වා කල්බැලීම නම් ඉදිරි දැක්ම සමගයි. ක්‍රස්තෝගේ අපේක්ෂාව වූයේ, “මෙම තත්වය 1929 දී තිබූ තත්වයටත් වඩා දරුණු තත්වයක් කරා මෝරායන බවයි.” ඔහුගේ තර්කය වූයේ අද දවසේ ධනවාදය උපරිම ඒකාධිකාරීත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර, ‘තරගය’ක් නොමැති තරම්ය. තරගයක් නොමැති තැනක ධනවාදයක් නොමැතිය. අද දවසේ සියළු ක්ෂේත්‍රයන්හිදී අපිට හමුවන්නේ විශාලතම ඒකාධිකාරීත්වයන්ය.

 

ගෝලීය ආර්ථිකයෙන් 80% ක් පමණ පාලනය කරන්නේ හුදු සමාගම් 500 ක් මගිනි. මෑත වසරවල දිගහැරුණු අර්බුදකාරී තත්වය දෙස බලමින් ක්‍රස්තෝ මෙසේ නිගමනය කරයි. “1977 දී සිදුවුණා වගේ මෙය තවදුරටත් ගිණිකොණදිග ආසියාවේ අර්බුදයක් නෙමෙයි. මෙය ගෝලීය වශයෙන් පැතිරෙන අර්බුදයක්. එය ඉරාක යුද්ධයෙන්, විශාල ණය අර්බුදයන්ගේ ප්‍රතිඵල වලින්, දිනෙන් දින එක්රැස්වෙන අපද්‍රව්‍ය කැළිකසල වලින්, ක්‍රමානුකූලව වර්ධනය වන බලශක්තිය සදහා වන වියදමෙන් පෙළ ගැස්වුනු ලෝකයේ ආර්ථික හා මිලිටරි බලවතුන් සියල්ලන්ටම මුහුණ දීමට සිදුවන අර්බුදයක්.” මෙහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රස්තෝගේ නිගමනය නම් “ලෝකය ගමන් කරමින් සිටින්නේ ඉදිරියක් නැති මාවතකයි” යන්නයි.

 

නමුත් මෙවන් ක්‍රමයකට එරෙහිව සටන් කිරීමට හා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී විකල්පයක් ගොඩනැගීමට හැකියාව ඇති සමාජ පන්තිය කුමක්ද? මෙම පොත පුරාම ක්‍රස්තෝ තමන් පිළිබදව හෙළිදරව් කරන අනෙක් කාරණාව වන්නේ ධනවාදය පරාජය කළ හැකි හා “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී විකල්පයක්” ගොඩනැගිය හැකි පන්තිය කුමක්ද? එය සිදුකරන්නේ කෙසේද? යන කරුණු පිළිබදව ඔහුට ඇති අඩු අවබෝධයයි. මෙය විසින් ඔහුව තල්ලු කරන ලද්දේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් හා ක්‍රමවේදයන් යොදාගැනීමටයි. මෙම පොත පුරාවටම කම්කරු පන්තිය හා සමාජවාදී විප්ලවයේදී එහි තීරණාත්මක ප්‍රධාන භූමිකාව පිළිබදව කිසිදු අවධාරණයක් සදහන්ව නොමැත. උදාහරණයක් ලෙස මිලියන ගණනක කම්කරුවන්ගේ සහභාගීත්වයෙන් 1968 ප්‍රංශයේ සිදුකළ දැවැන්තම සමස්ත මහා වැඩවර්ජනය පිළිබදව සදහන් කිරීමේදී ක්‍රස්තෝගේ ඒ පිළිබදව වන අවධාරණය වනුයේ “මහජන කැරලිගැසීමක් පිළිබද ප්‍රයත්නයන් වැළැක්වීම සදහා” ජර්මනියේ සිටි හමුදා අනුඛණ්ඩවල සහය ලබාගැනීමට ප්‍රංශ ජනාධිපති ‘ඩි ගෝල්’(De Gaulle) ජර්මනියට යෑම පිළිබදවයි.

 

ක්‍රස්තෝ විසින් කම්කරු පන්තිය පිළිබදව කිසිදු සදහනක් සිදු නොකිරීමෙන් කියුබානු විප්ලවය හා පොදුවේ ‘සමාජවාදී විප්ලවයේ’ ස්වභාවය පිළිබදව සිය ආකල්පය හෙළිදරව් කරයි. ක්‍රස්තෝට අනුව මෙහිදී කම්කරු පන්තිය ප්‍රධාන භූමිකාව රගදක්වන්නේ නැත. කියුබානු විප්ලවය පිළිබදව ක්‍රස්තෝ වැඩිදුරටත් මෙසේ අදහස් දක්වයි. “අපි පිළිබදව සැලකීමේදී නම් ‘විප්ලවවාදීන් විසින් රාජ්‍ය බලය අත්පත් කරගැනීම’ නැමති මහා ක්‍රියාවලිය පුපුරුවා හරින ලද උපකරණය වූයේ ගරිල්ලා යුද්ධයයි. එහි මුදුන්පත් වීමක ප්‍රතිඵලය වනුයේ විප්ලවවාදී සමස්ත මහා වැඩවර්ජනයක් හා අවසානයේ මහජනතාවගේ සමස්ත නැගී සිටීමකි”.

 

වෙනත් ආකාරයකට සදහන් කළහොත් එහි අදහස වන්නේ කම්කරු පන්තිය ‘ගාමක බලවේගය’ ලෙස සිදුකරන භූමිකාව වෙනුවට කම්කරු පන්තියද ‘සහායක බලවේගයක්’ වන ජනතාවගෙන් බහුතරයක සහය ලබන ගරිල්ලා යුද්ධයක් විප්ලවයේ ක්‍රමවේදය ලෙස ඔහු ඉදිරිපත් කරයි. ‘කම්කරු ජාත්‍යන්තරයක් සදහා වන කමිටුව’ වෙනත් ලිපි සහ ලේඛණ තුළ මීට පෙරද පැහැදිලි කර ඇති පරිදි, ඓතිහාසික හා විෂයබද්ධ කරුණු මාලාවක් හේතුකොටගෙන කියුබාව තුළ ගරිල්ලා යුද්ධය සාර්ථකව දිගහැරුණි. එමෙන්ම එය ජයග්‍රහණය කළේ ගරිල්ලා සෙබළුන් නගරවලට ඇතුළ්වීමත් නාගරික ජනයා සමූහ වශයෙන් වීදියේ අරගලයට ප්‍රවේශවීමත් සමාන්තරව සිදුවීම තුළිනි.

 

ක්‍රස්තෝගේ ‘මගේ ජීවිතය’ කෘතිය තුළ ආරම්භක අවධියේදී ‘ජූලි 26 ව්‍යාපාරය’ හා ඔහුගේ ව්‍යාපාරය විසින් ‘විප්ලවය’ පිළිබදව තිබූ දෘෂ්ටිය ගැන සදහන් කර ඇති කරුණුවල යම් අසංගතභාවයක් තිබේ. ක්‍රස්තෝ කෘතිය තුළ ලබාදෙන අදහස වන්නේ ඔහු ආරම්භයේ සිටම ‘සමාජවාදය’ ගොඩනැගීම පිළිබදව තම ව්‍යාපාරයෙහි අරමුණ සූත්‍රගතකර තිබූ බවයි. නමුත් ඊට සමකාලීනව හා ඉන් අනතුරුව ‘මිලිටන්ට්’(Militant/මෙය 1990 දශකයේ ආරම්භය දක්වා බ්‍රිතාන්‍යයේ සී.ඩබ්.අයි. ශාඛාවේ නිළ පුවත්පත විය.) හා සී.ඩබ්.අයි. ජාත්‍යන්තරය මගින් පළකළ ලිපි හා ලේඛණ වලද පැහැදිලි කර තිබූ පරිදිම මෙය කරුණක් ලෙසද අපි පිළිගන්නේ නැත. යතාර්ථය තුළ සිදුවූ දේ නම්, ක්‍රස්තෝගේ ව්‍යාපාරයේ නායකත්වය විසින් ඉදිරිපත්කළ හා පෙළගැසුණු අරමුණ වූයේ ‘බැටිස්ටා’(එකළ කියුබාව පාලනය කළ ඒකාධිපති) පාලනය පෙරළා දමා ‘නව ප්‍රජාතන්ත්‍රවාදී කියුබාවක්’ ගොඩනැගීම වීමයි. නමුත් චේ ගෙවාරා මෙහිදී තරමක වෙනත් ආකල්පයක් සහිතව ව්‍යාපාරයේ අනෙකුත් නායකයින් ආමන්ත්‍රණය කිරීමට කටයුතු කරන ලදී. සැබෑ ලෙස සිදුවූ දේ නම් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් පනවන ලද ආර්ථික සම්බාධකයන්ගේ ප්‍රතිඵලයක් ලෙස හා බහුජනතාවගේ පීඩනය හමුවේ, වඩා රැඩිකල් මාර්ගයක් තෝරාගැනීමට නායකත්වය තල්ලු වීමයි. එහිම ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ධනවාදය ඉවත්කර දැමීම දක්වා කටයුතු සිදුකරන ලදී.

 

කියුබානු විප්ලවයේදී පැරණි බැටිස්ටා රෙජීමය මුළුමනින්ම තලාදැමීම සිදුවූ අතර, එමගින් පැරණි රෙජීමයට එරෙහිව ප්‍රතිස්ථාපය කළ හැකිවන ලෙස රාජ්‍යයේ ස්වභාවයද හැඩගස්වන ලදී. කම්කරු පන්තියද මෙම විප්ලවයට සහයෝගය ලබාදෙන ලදී. නමුත් 1917 දී රුසියාවේ සිදුවූ ලෙසින් කම්කරු පන්තිය සවිඥානිකව විප්ලවයට නායකත්වය ලබාදීමක් මෙහිදී සිදුනොවුණි.

 

(ඉතිරිය දෙවන කොටසින්…)

උපුටාගත්තේ අක්ෂය වෙබ් අඩවියෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *