විශේෂාංගඋපුටාගැනීම්

කොළඹ හතෙන් පතල් වැඩට (සංහාරයකුගේ පාපොච්චාරණය – 11)

හවස් වරුවේ හතර හමාර පමණ වන විට වළ ඇතුළේ සිට, මොහොට්ටිත්, කඬේ මල්ලිත් එකවර කෑගෑවෝය. ”හෝ හෝ…. ව් හෝව්… ඉල්ලං ගල් ඉල්ලං ගල්…” ඉනික්බිති කරුණේගේ කටහඬ එළියට පැන්නේය… ”මැටි ඉල්ලම… අනේ වාසනාවයි… අලූත් නුවර දෙයි හාමුදුරුවන්ගෙ පිහිටයි…”

වළ කණ්ඩිය මත සිටි ජයසේකරගේ හිස අංශක අනූවට නැවිණි. ඉල්ලං ගැන කිසිත් නොදත් ලූතිනන් පතිරණ ද වළට එබුණි…. වාඩියේ උයමින් සිටි රාජා තම ඇඟිලි දෙකක් කටේ දමා ලෙවකමින් වළ කණ්ඩියට එන විට පතිරණගේ ඇෙඟ් රෝම කෙළින් විය.

ක්ෂණයෙන් මොහොට්ටි වළ උඩට පැමිණුනේය.

”ඒයි… කඩය.. උඹලත් උඩට නැගපල්ලා… විජේ අයිය දැන් එයි… දැන් ඉතින් ඉල්ලම පෑදුණ එකේ වෙලාවක් බලලම ඉල්ලං කඩමු… වරෙල්ල… වරෙල්ලා…” පොඩි කාලේ පතිරණ පූස් පැටවුන්ට බෙහෙවින් ආදරය කළේය. පාසලේ දී නොමිලේ ලැබුණ ඇදිහැස විස් කෝතු පහෙන් හතර හමාරක් කා ඉතිරි භාගය පූස් පැටියාට ගෙන ඒම පතිරණගේ පුරුද්දයි.

එය කෑමට එන පූස් පැටියා පතිරණගේ කකුලේ දැවටෙන අයුරු ඔහුට සිහිපත් වූයේ ඉල්ලම පෑදුණ බව දනගත් මොහොට්ටි හැසිරෙන ආකාරයෙනි. සැර පරුෂ මස් වැද්දා දැන් නම් චිත‍්‍රපටයක පෙම්වතකු වුව ද කළ හැක්කේය.

”හැබැයි රජෝ… වරුසාවට තව ටික දොහයි තියෙන්නෙ… උඹල දන්නවනෙ… වදවුල… ආයෙ ඉතින් මැසිං දාලා නවත්තන්න වෙන්නෙ නෑ.. හයි කරන්නම වෙනව… ඊට ඉස්සෙල්ල ඉල්ලං ටික කඩාගෙන ගොඩ ගත්තොත් වරුසාවෙ ගැරුවහැකි….” ජයසේකර කියයි…

”වරුසාව එනවා නම් ඉල්ලං වැඬේ ඉක්මන් නොකොට කොහොමෙයි?” විජේ අයියාගේ පියාගේ ගම වූ බෙලිඅත්ත ගැටමාන්නෙන් පැමිණ සිටි මහලූ පිච්චේ මාමා අසයි..

”කොල්ලනේ හෙට අතෑරල.. අනිද්ද… ඉරිද ඉල්ලම කඩමු… විජේ අයියට දියවින්නෙ හාමුදුරුවන්ගෙන් වෙලාවක් බලන්න කියමු.. තොපිට ඉරිද එන්න පුළුවන්නෙ…

ඒ මොහොට්ටිය.

කඬේ මලයගෙ වහලෙ වැඩක් මොකක්ද කීව නේද?..

ඒක හෙට කරපිය.. අපි එන්නං. වෙලාවක් බලල අනිද්දා ඉල්ලම කඩමු…”

”ඉරිදා.. හොඳද?..”

”උඹල මේ පළාතෙ හොඳ වැඩ පටන් ගන්නෙ ඉරිදය කියන්නෙ ඇත්තෙයි?” ගැටමාන්නයා අසයි.

අතුරුදන් වූ විජේ අයියා පතල්පළට සම්ප‍්‍රාප්ත විය.

මොහොට්ටිත් ජයසේකරත් එකටම කටහඬ අවදි කළ ද ඉන් ජයගත්තේ මොහොට්ටියි.

”හෙහ්.. ඔන්න විජේ අයියා.. වදවුල ඉල්ලම පෑදුණා කියන්නෙ ගල් කෑල්ලක් හම්බ වුණා වගේ තමා.. හෙහ්.. හුහ්….”

”හත්ඉලව්වෙ මොහොට්ටි මලය… ඉල්ලම පෑදුනාද.. හත්ඉලව්වේ මැටි ඉල්ලමද?…”

”අර බලපං… කොහොමද බෝල ගල් ටික.. ජයසේකර තාච්චියකට දමා පසෙකින් තැබූ තිරිවාන ගල් සමූහය පෙන්වයි. විජේ අයියා සමඟ පැමිණි මිටි මහත මිනිසාගේ එක් ඇසක් බොරු ඇසක් බව පතිරණට පසක් වූයේ ඔහු පතිරණ ආසන්නයට පැමිණ, පතිරණ දෙස එක එල්ලේම බැලූ බැවිනි….

”රාජා මල්ලි වාඩිවෙයන්…” මිටි මහත මිනිසාට ජයසේකර කුඩා ගල් කුට්ටිය පෙන්වයි… ”පොඩි කැල්සයිට් ගල් කෑල්ල ඉඳගෙනම පදං වෙලා… දැන් පස්ස පැත්තෙ කූරු ඇනෙන් නෑ.. වාඩි වෙයං.. රාජා මල්ලි…”

රාජාගේ හැසිරීමට සමාන හැසිරීමක් ඇති මිනිහෙක් රාජකීය විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටි බව පතිරණට මතකය. පසුව ඌට ‘ජෙප්පා’ ලෙස කාඞ් එකක් වැදුණි. ඒ ඌ ජේ.වී.පී. කාරයකු බඳුව ඔත්තු බලන්නට ගොස් කොල්ලන්ට නෝණ්ඩි වන නිසාය. ‘ජෙප්පා’ගෙන් කොල්ලන් ආතල් ගත්තා මිස ඌව මරාදමන්නට කිසිවකුට වුවමනා නොවීය.

”රාජා මල්ලි.. ඉතින් වාඩි වෙයං…”

”මල්ලි කීවට තරහ ගන්න එපා සහෝදරය….” මොහොට්ටි සහෝදරත්වයෙන් ප‍්‍රකාශ කරයි. ‘සහෝදර’ කතාවත් සමඟ තමාගේ ද ඉල්ලම පෑදී ඇතැයි පතිරණ සිතයි. තමා මෙහි පැමිණියේ ”සහෝදරයන්” සොයමිනි. නමුත් තමාට අවශ්‍ය ”සහෝදරයන්” නොව ඔවුන්ගේ නායකයාය. ‘ටාගට් වන්’ යන මිලිටරි බසින් හඳුන්වන ”රෝහණ විජේවීර” නම් පුද්ගලයාය. ඔත්තුකරු තමා හරි තැන සිටින බව අවබෝධ කරගත්තේය. ”සහෝදරයන් ”හෙවත් ජවිපෙ කේඩරයන් යනු පතිරණට තමා නැගී යන වාහනයක් බඳුය. ඔහුට වාහනය අවශ්‍ය තම ඉලක්කය කරා ගමන් කිරීමටයි. තමා ඉතා ඉක්මනින්, වැලිගෙපොළ සභාපති උදේනි වීරසේකර සොයා යා යුතුය. ‘හියුමන් රයිට්’ හෙවත් පර්සි මහේන්ද්‍රගේ ඔත්තුව අනුව විජේවීර සිටින ස්ථානය ඔහු දැනගත යුතුය. විජේදාස ලියනාරච්චි ගැන හියුමන් රයිට් ලබා දුන් ඔත්තු ද නිවැරැුදි විය. එහෙයින් තමා විගසින්ම උදේනි වීරසේකර සොයා යා යුතුය… පතිරණට සිතේ… ඊශ‍්‍රායලය ලොව මෙවැනි සිවිල් අරගල ගෙනහැර දක්වමින් ද අප රටේ යුද ඉතිහාසය හා විජේවීරගේ කි‍්‍රයාකාරිත්වය ද ගෙනහැර දක්වමින් ස්ථිරව ප‍්‍රකාශ කරන්නේ විජේවීර ඉවත් කිරීමෙන් දකුණේ ත‍්‍රස්තවාදය නිම කළ හැකි බවයි. ඊශ‍්‍රායලය කිසිවකු මරාදමන්නට කියන්නේ නැත. ඔවුන් කියන්නේ… යමෙකු ස්ථිරව ‘ඉවත් කළ යුතු’ බව පමණකි. පතිරණට තම පියා සිහි විය. ”මම ‘විජේවීර’ ගන්නවා” හේ ස්ථිර ලෙස සිතීය.

ස්ල්ලා..ං යන නාදයකින්

බි‍්‍රගේඩියර් පතිරණගේ සමස්ත කල්පනා ලොවම බිඳී ගියේය. පැන්ටි‍්‍ර එක පැත්තෙන් ආ එම නාදයට පසුව ඤාව් යන නාදයක් ඇසුණ බැවින් සිද්ධිය පිළිබඳ බි‍්‍රගේඩියර්වරයා තේරුම් ගත්තේය. ඒ හඬ අසන්නට යංතම් හෝ අවදිව සිටියේ තමා පමණක් බව බි‍්‍රගේඩියර්වරයා නොදත්තේය. නිලධාරී නිවස්නය තුළ සිටි අන් සියල්ලෝම නින්දේය. තමා වැනි උසස් නිලධාරියකු සිටින තැන ඔවුන් මෙයට වඩා ප‍්‍රවේශම් විය යුතුය. හිමාල් ද තද නින්දේ විය යුතුය. පතිරණට සියුම් තරහක් ද ආවේය. ඒත් දඩාවතේ යන බළලකුගෙන් තමාට ඇති තර්ජනය කුමක්දැයි වටහා ගත්

බි‍්‍රගේඩියර්වරයා සන්සුන් විය. උන් ඔහේ නිදාගත්තාවේ… පතිරණ දකුණට ඇල වුණේය..

නැවත එක වරම පතිරණ ගැස්සී ගියේය. මිය ගිය හමුදා මළමිනී තුනක් ඔහුගේ දෑස ළඟ විය. ඉන් ජ්‍යේෂ්ඨතම කෝප‍්‍රල්වරයා නැගී සිටියේය. පතිරණට ආචාර කළේය. ඉන්පසු ඔහුගේ මුහුණ තනි රක්ත වර්ණයෙන් දිලිසුණේය. ඔහුගේ දත් දෙකක් ඉදිරියට නෙරා ආවේය. කැප් එක ගලවා අතට ගත් කෝප‍්‍රල්වරයා පතිරණගේ ඉදිරියටම ‘තුහ්’ යන අනුකරණයෙන් කෙළපිඩක් ගැසීය. ඉන්පසු හේ පතිරණගෙන් ප‍්‍රශ්නයක් ඇසීය. ”සර්… තෝ.. ඔෆිසර් කෙනෙක් වෙන්න සුදුසුද….?”

පතිරණට මනෝජි ගැන තද වෛරයක් ආවේය. මේකි හින්ද මං අතින් අපරාදෙ කොල්ලො තුන්දෙනෙක් මැරුණා…

කමාන්ඩර් මේක දන්නවනං… අර කාලකණ්ණි හැලි වඳුරා.. ජයසේකරයත් මේක දන්නවා..  ඕක තව ජීවතුන් අතර ද දන් නෑ.. පරය ඉවරයක් කරන්න  ඕන… බි‍්‍රගේඩියර් සිතයි.

කෙසේ හෝ බි‍්‍රගේඩියර් පතිරණ නැවත ලූතිනන් පතිරණ විය. සිත රජවක, වදවුල දෙසින් පතල්පළට පිය මැන්නේය.

පතල්පළේ ගල මත වාඩි වූ රාජා තමා දෙස බලමින් විජේ අයියා සමඟ කුමක්දෝ සාකච්ඡුා කරයි. දණ්ඩෙකු වූ විජේ අයියා දෙකට නැවී රාජාට සවන් දේ…

”හෙක් හෙක්.. රාජා මල්ලී මේ කොල්ල කුරුණෑගල පැත්තෙ.. පොඩි මාත්තයගෙ පතලක ඉඳලයි අරං ආවේ.. අහිංසක එකෙක්…”

විජේ අයියා විසින් පතිරණගේ චරිත සහතිකය සම්පූර්ණ කරන ලදී.

”ඒයි මල්ලි උඹ කොහෙද…” රාජා අසයි…

”කුරුණෑගල..” ”හෙහ් කුරුණෑගල කොහෙද යකෝ…?” ”මාවතගම… අයියේ.. පහේ කණුවෙ…”

ඔහෙ උන්ට කිසිම විප්ලවීය ගුණයක් නෑ. ජවයක් නෑ.. කාලකණ්ණි… හොර පොල් ටිකක් හරි කඩාගෙන ඔහේ ජීවත් වෙනවා..” රාජා තම සමාජ විද්‍යාත්මක දැනුම ප‍්‍රදර්ශනය කරයි… ”රාජා මල්ලි මේ සරත් මලය හොඳ ගුණයහපත් එකා… බලපං.. ඌ මුළු දවසෙම මේ දඹරේ කරකැව්වා… අපේ කඩයට හරි කරුණෙට හරි කියපංකො… ඉතින්  ඕකට දාහක් දේ කියයි.” ජයසේකර සෙමින් කරුණු පැහැදිලි කරයි… ”ඌට මහන්සි ඇති…”

”යකෝ මම ඉලව් ගෙදරක ගියා.. කුරුණෑගල දිහා කොහෙද බොල… දඹදෙණියෙ… වෑත්තෑවද මොකක්ද කියලා… තම්බි ඉන්න ගමක් ගාව…” කරුණෙ අමුතු කතාවක් කියයි.

”ඒ කොහෙද මලේ? කාගෙ ඉලව් ගෙයක්ද?” විජේ අයියා අසයි. ”ඇයි යකෝ අර… රජවක පොලිස් ප්ලැටූන් එකේ බණ්ඩාර රාලහාමිගෙ අම්මගෙනෙ… මේක පොලීසියේ වුණාට එහෙ දෙයක් පොළක් තියන මිනිස්සු… ආරච්චිරාළගෙ ගෙදර කියල කියන්නෙ…” පතිරණගේ ඇඟ හීගඩු පිපී ගියේය. ඔහු ඇඹරුණේය… ආතක් පාතක් නොමැතිව වටපිට බැලූවේය….

මේ කියන්නේ බණ්ඩාර අයියා පිළිබඳව විය යුතුය. තම ගම වූ මාවතගමට අල්ලපු ගමේ වෙසෙන ආරච්චි අත්තාගේ පුතා බණ්ඩාර තමාට දුරින් නෑදෑයෙකි. දෙයියනේ බණ්ඩාර අයියා මේ ළඟම සිටී. තමා දුටුවහොත් අඳුනාගනු නියතය… පතිරණ තමා සිටින තැනින් වම් පස බැලූවේය. රාජා එක ඇසකින් තමා දෙස ව්‍යාඝ‍්‍රයකු මෙන් බලා සිටී. හිස ගැස්සූ පතිරණ දකුණ දෙස බැලූවේය. උදේ පටන් තමාගේ සමීපතම මිතුරියකු වූ ජයසේකරගේ බැල්ලී එනු දුටුයෙන් මඳක් උස් හඬින් සිවුරුහන් බෑවේය… ඉන්පසු දිව හා දෙතොලින් චක් චක්.. ගෑවේය… මෙහෙ වරෙන් කෙල්ල… පතිරණ බැල්ලිට කතා කළේය.

”ඒයි මලය.. උඹ හමුදාකාරයෙක් හෙම නෙවෙයි නේද?”… රාජා අසයි… ”ඔව් ඔව් ඌ හමුදාකාරයෙක් නම් උඹට කියයි… පිළිවදන් දෙන්නේ මොහොට්ටිය… ඔව් උං ඔබට කියලනෙ එන්නෙ.. හිග් හිග්…”

– මතු සම්බන්ධයි –

– කාශ්‍යප වීරක්කොඩි

උපුටාගත්තේ සත්හඬෙන්

සංහාරයකුගේ පාපොච්චාරණය -10

One thought on “කොළඹ හතෙන් පතල් වැඩට (සංහාරයකුගේ පාපොච්චාරණය – 11)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *