විශේෂාංගඋපුටාගැනීම්

දිය බොර කරන මාළුවාට එදිරිව හැට දෙලක්ෂයක්

හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය සංවිධානය කළ සත්‍යග්‍රහය අගෝස්තු 15 දා විහාරමහා දේවි උද්‍යානයේ දී පැවැත් වුණි. පුරවැසි බලය සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ප්‍රමුඛව සිවිල් සංවිධාන නියෝජිතයෝ ආණ්ඩුව පොරොන්දු වූ ජනතා න්‍යාය පත්‍රය නොපිරිහෙළා සම්පූර්ණ කරන ලෙස එහිදී ආණ්ඩුවට බල කළහ. ආණ්ඩු වැඩ කරන්නේ බලයට පත් වීමට උදව් කළ සංවිධාන කියන පරිදි නොවේ. සිවිල් සංවිධාන කියන දේවලින් යම් තරමකට දේවල් ආණ්ඩු ඉටු කරනු ඇත. ආණ්ඩු සියලු පොරොන්දු ඉටු කරනවා නම් නැවත නැවතත් ආණ්ඩුවට බල කර සත්‍යග්‍රහ කරන්නට, උද්ඝෝෂණ කරන්නට හෝ පොරොන්දු කැඩීම ගැන ලිපි ලියන්නට වුවමනා නැත.

 

ධනවාදයේ අභියෝගය

ආණ්ඩුව සාපේක්ෂ වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදීය. පොළොන්නරුවේ පදිංචි මෛත්‍රීවාදියකු නොවන ආණ්ඩුවත් තදින් විවේචනය කරන නිදහස් මතධාරියකු ළඟ දී කීවේ ඉතිහාසයේ හොඳම ආණ්ඩුව වත්මන් යහපාලන ආණ්ඩුව බවය. එම අදහසට මම මුළුමනින් එකඟ නොවුණත් වත්මන් රජය ද්වි පාර්ශ්වික එකඟතාවක් සමඟ ආණ්ඩුවක් කරන්නට සිතීමම නිර්භීත පියවරක් ලෙස දැක්විය හැකිය. මෙම පියවරෙහි සාධනීය පැත්ත සේම තීරණාත්මක පැත්ත නායක දෙපළ නොදකිනවා විය නොහැකිය. වැඩපිළිවෙළ සාර්ථක වුවහොත් මිශ්‍ර ධනවාදයේම අලුත් කාර්තුවක් එළඹෙයි. ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල පැවැත්මට එම ද්විපාර්ශ්වික එකඟතාව පවත්වා ගත යුතුමය. නැතහොත් ලංකාවේ පක්ෂ ක්‍රමය පවා අර්බුදයකට යා හැකිය. එසේ වන්නේ මන්ද? පක්ෂ දෙක තනි තනිව ආණ්ඩු කිරීම අවසන් අදියරකට පැමිණ දෙකම එකතු වී ආණ්ඩු කරන ස්ථාවරයට පැමිණීම ලාංකීය ධනවාදයේ අවසානය යැයි වාමාංශිකයකුට තර්ක කළ හැකිය. වමේ දේශපාලනයේ න්‍යායික පාර්ශ්වය තුළ එම කාරණය ඇත්තකි. එහෙත් ලංකාවට අනුව එය එසේ වේද යන්න ප්‍රශ්නයකි. ධනවාදය අභාවයට යැවීමට නම්, වමේ විග්‍රහයට අනුව ධනවාදයේ මිනී පෙට්ටියට ඇනේ ගැසීමට ශක්තිමත් වාමාංශික බලවේගයක් එජාපය ශ්‍රීලනිපය වැනි පක්ෂවලට විකල්පව තිබිය යුතුය. එහෙත් එවැන්නක් ලංකාවේ නැත. තවදුරටත් මෙරට ජනයා සාධාරණ සමාජයක් ස්ථාපිත කිරීම ධනවාදයේ වැඩක් ලෙස සලකයි. ඔවුහු කොන්දේසි විරහිතව ප්‍රතිසංස්කරණවාදී ස්ථාවරයක පසුවෙති. හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරය අගෝස්තු 15 වන දා පෙළ ගැසුනේ ජනතාව බලාපොරොත්තු වන එම අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ දිනා ගැනීම වෙනුවෙන් ආණ්ඩුවට බල කිරීමටය.

පැහැදිලි ආකෘතියක්

හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය සමාජ ප්‍රතිසංස්කරණ ගැන පැහැදිලි අදහසක් දරනු පෙනේ. 15 වන දා ඔවුන්ගේ වේදිකා ආකෘතියෙන් එය මනාව පැහැදිලි වෙයි. ආණ්ඩුව කළ දේවල් අතර පළමු වැන්න ලෙස ඔවුන් එහි දක්වා තිබුණේ බියෙන් තොර නිදහස් සමාජයක් බිහි කිරීමය. ඊට සමාන්තරව ඉදිරියට කළ යුතු දේ ලෙස විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම, දක්වා තිබුණි. දූෂිතයන් හා අපරාධකාරයන් නීතිය ඉදිරියට පැමිණවීම, ජාතිවාදය හා ආගමික අන්තවාදය මැඩලීම, ඉල්ලා අස්නොවන දූෂිත ඇමැතිවරුන් ඉවත් කිරීම, පළාත් පාලන හා පළාත් සභා ඡන්ද පැවැත්වීම. යුද වින්දිතයන්ට සහන සැලසීම ඒවා අතර විය.

දූෂිතයන්ට දඬුවම් කිරීම ආණ්ඩුව අතින් මඟ හැරෙමින් පවතින්නේ ඇයි? බැසිල්, නාමල්, රෝහිත ඇතුළු රාජපක්ෂ පවුලේ නාස්තිකාරයෝ මෙන්ම ඔවුන්ගේ දූෂිත අතවැසියන්ට ආණ්ඩුව පළමු පැයේදීම සිතා ගත නොහැකි ලිහිල් බවක් පෙන්නුවේය. බැසිල්ගේ බෙල්ලට වැටෙන්නට තිබුණු තොණ්ඩුව බුරුල් කරන විටම සිවිල් සංවිධාන හඬ නොනැගුණේ මන්දැයි දැන් කෙනෙකු අසන්නට පුළුවන. සිවිල් සංවිධාන මෙතැන් පටන් හා ඉදිරි කාලයේ ආණ්ඩු පිහිටුවීමට දායක වීමෙන් පසුව ආචාරශීලීත්වය පසෙක ලා එසේ කළ යුතු ඇත. සෑම කලෙකම සිවිල් සංවිධාන යනු ආණ්ඩු පිහිටුවීමට ආධාර වීමෙන් පසු ඉවතට විසිවී ගිය බල සෙනඟකි. අනතුරුව ඔවුහු මුළුමනින් ආණ්ඩු විරෝධී වූහ. මෙවර දක්නට ලැබෙන තත්ත්වය තරමක් වෙනස්ය. සිවිල් සංවිධාන ආණ්ඩුව නම් මාළුවාට පණ දුන් ජලය තුළම හිඳ මාළුවාගේ දිය බොර කිරීමට එරෙහිව මාළුවාට තරවටු කරන තත්ත්වයකට පිවිස සිටියි. මාළුවා ජලයේ දී හිතුවක්කාරී බවත් කැමැති දිසාවකට පිහිනා යාමට ඉඩ ඇති බවත් දැනගෙන සිවිල් සංවිධාන මේ ක්‍රියාවලියට අත ගැසිය යුතුය. මාළුවා ගොඩබිමේ දී එනම් ආණ්ඩු බලය නැති විට තමාට ඕනෑ පරිදි හසුරුවා ගැනීමට සිවිල් සංවිධානවලට හැකි විය.

මාළුවා කොටු කිරීම

හැට දෙලක්ෂයකගේ කැමැත්තෙන් මාළුවා ජලයට මුදා හැරියත් ඉන්පසුව මාළුවා පිහිනා යන ඉසව් තීරණය කිරීමට එම හැට දෙලක්ෂයට නොහැකිය. සිවිල් සංවිධානවලට ඉතිහාසයේ පටන් නොහැකි වූයේ මාළුවා ජනතා සම්මුතියට තබා ගැට ගැසීමටය. එය හෙමිංවේගේ මහල්ලා විශාල මාළුවකු ගමේ වෙරළට ඇදගෙන ආවාටත් වඩා අමාරු වැඩකි.

මෙවර සිවිල් සංවිධාන උත්සාහ කරමින් සිටින්නේ ඒ සඳහාය. ධනවාදයේ ආවේණික ගැටලු මෙහි දී ලොකු අභියෝග බවට පත් වන්නට පුළුවන. නිදසුනක් ලෙස මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව නවත්වන්නට හැකි තත්ත්වයක් තිබුණි නම් සිවිල් සංවිධාන දෙවරක් නොසිතා එම බලපෑම කරනු ඇත. එහෙත් අන් අය සේම සිවිල් සංවිධාන ඒ ගැන දැනගන්නේ සිද්ධිය වූවාට පසුවය. දැන් කළ හැක්කේ වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන ලෙස හඬනැඟීමටය. වෙන මොනවා කිව්වත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආර්ථික සැලසුම් සිවිල් සංවිධානවලට දන්වන ආණ්ඩු මෙරට නම් තිබුණේ නැත. අඩුම තරමින් ආර්ථික උපායමාර්ග තම පාක්ෂික නොවන නිදහස් මතධාරීන් සමඟ හෝ සාකච්ඡා කරන පසුබිමක් රටෙහි තිබෙනවා නම් මේ ප්‍රශ්න ඒසා උග්‍ර නොවන බව අගමැතිත් ජනාධිපතිත් වටහාගත යුතුය. ඊළඟට පසුගිය ආණ්ඩුවේ නීල හොරුන් පරීක්ෂණවලින් බේරීම සඳහා වත්මන් රජයේ සාක්ෂ්‍යකරුවන් විය හැකිය. එවැනි දෙයක් දැන ගත්තත් නැවැත්වීමට තරම් බලපෑමක් සිවිල් සංවිධානවලට කළ නොහැකිය. අඩුම තරමින් මහින්ද රාජපක්ෂගේ අතවැසි ලියන්නකු ජනපති මෛත්‍රීපාලගේ උපදේශකයකු වීම වේලාසන දැන ගත්තත් එය නතර කරන්නට සිවිල් සංවිධානවලට නොහැකි විය. පසුව ජනපතිගෙන් ඒ ගැන කරන ලද විමසීමක දී ඔහු කියා තිබුණේ මිනිහත් මං වෙනුවෙන් මාස හයක් තිස්සේ ලියනවා කියන එකය. මාළුවා පිහිනා යන්නේ සිවිල් සංවිධානවලට ඕනෑ දෙසට නොවේ. මාළුවා කැමැති දෙසකටය. ඉහත කියූ පුද්ගලයා මාස හයක් ජනපති වෙනුවෙන් ලියන විට වසර හයක් ආණ්ඩු වෙනසක් වෙනුවෙන් ලියූ ඇත්තෝ යහපාලනය අර්ථවත් විය යුතු යැයි රැස්වීම්වල හඬ නගති. හය මාසයේ බ්‍රොයිලර් ලියන්නෝ ඒ කාලයේත් මේ කාලයේත් ගොඩට වී විනෝදයෙන් කල් ගෙවති. ජනපති මේ බව නොදන්නවා නොවේ. එහෙත් පසුගාමී ධනේශ්වරයේ මූලික අර්බුදයෙන් ගැලවීමට ජනපතිටත් සිවිල් සමාජයටත් නොහැකිය. ප්‍රතිසංස්කරණවාදයේ නියත අර්බුදයෙන් ගැලවීමට මේ කිසිවකුටත් නොහැකිය.

රාජිත හා මංගල

හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරයේ රැස්වීමට රාජිත හා මංගල පැමිණියහ. රාජිත ජනයා අමතමින් කීවේ හැට දෙලක්ෂයේ අදහසමය. පුරවැසි ව්‍යාපාර දරන මතයමය. හෙතෙම එහි දී ලූණු බිකේ කතාව ගැන පැහැදිලි කිරීමක් සිදු කිරීමට ද අමතක නොකළේය. ඔහු කීවේ රාජපක්ෂලා කළ සොරකම් අනුව රවීගේ එක ලූණු බිකක් වගේ යනුවෙන් තම කතාවේ පූර්වාපර සන්ධි ගැලපිය යුතු බවකි. විනිවිද නොපෙනෙන සුළු සැකකටයුතු හා වරදානමය කිසිදු ගනුදෙනුවක් ලූණු බිකක් නොවන බව අප, රාජිතට කිව යුතුය. අප දන්නා පරිදි රාජිත ප්‍රගතිශීලී මතයක සිටියේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් දරන ස්ථාවරයේ දී පමණි. රාජපක්ෂලාගේ කාලයේ ඔවුන්ගේ හොර මැරකම් හමුවේ කට පියාගෙන සිටි රාජිත, 18 වන සංශෝධනයටත් අත ඉස්සූ පසු ප්‍රගතිශීලියෙක් වන්නට විදියක් නැත. ඔහු දූෂණ පිටු දකින්නකු නම් එදා ආණ්ඩුවෙන් එළියට බැසිය යුතුය. එදා කට පුක වසාගෙන සිට අද රාජපක්ෂලා දඬු කඳේ ගසන බව කියන කාටත් මේ විවේචනය අදාළය. රාජපක්ෂගේ කාලයේ සිදු වූ දූෂණ, වංචා හා මිනිස් ඝාතනවලට වග කිව යුත්තන්ට දඬුවම් කළ යුතු බව රාජිත නොව ජනපතිත් කියයි. එහෙත් සිදු නොවෙයි. අද වන විට මේ තත්ත්වය රටේ සමස්ත චිත්‍රයම අවුල්සහගත තැනකට පත්කර තිබේ. එසේ නම් කළ යුත්තේ කුමක්ද? අලුත් ආණ්ඩුවක් පත් කිරීමද? මේ ප්‍රවර්ගයේම අලුත් ආණ්ඩුවක් කවර නායකත්වයක් යටතේ පත් කළත් තත් ප්‍රශ්නාවලියටම යළි රටත් ජනතාවත් මුහුණ පෑම නොවැළැක්විය හැකි වනු ඇත. එබැවින් තවදුරටත් උත්සුක විය යුත්තේ සාපේක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් දුන් ආණ්ඩුවක් බව කිව හැකි යහපාලන ආණ්ඩුවෙන් ජනයා හා සිවිල් සංවිධාන බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරණ දිනා ගැනීමට යත්න දැරීමය. මෙය ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් ලෙස පෙනී ගියත් ප්‍රතිසංස්කරණවාදීන්ට මෙම ප්‍රශ්නයේ දී වත්මන් ක්‍රමය විශ්වාස කරන්නට සිදුවෙයි.

අනෙක් අතට රාජිත හෝ මංගල මෙම රැස්වීමට එන එකට වැට බැන්දාට මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත. පොදු ජන රැස්වීමක් ඕනෑම කෙනෙකුට විවෘතය. යම් මතයක් පළ කිරීමට යම් කෙනෙක් නිදසුනක් ලෙස රාජිත ඉල්ලා සිටියහොත් සංවිධායක මණ්ඩලය කැමැති නම් එවැනි අවස්ථාවක් ලබා දීමත් වැරැදි නොවේ. එහෙත් රාජිත කියන කියන දේවල්වලට, විශේෂයෙන්ම හොරු අල්ලනවා කියන විට ඔල්වරසන් නැගීමෙන් පෙනී යන්නේ හැට දෙලක්ෂයේ සම්මුතිය රැක දීමට පැමිණි ජනයාගේ අඳබාල බවය. වියන්ගොඩ මේ ජන අරගලයේ සිටි ප්‍රමුඛම චරිතයකි. ජනතා අයිතීන් රැක දෙන බව ඔහු කියන විට කිසිවෙක් ඔල්වරසන් තැබුවේ නැත. අප කියන්නේ මේ කිසිවකට හා කිසිවෙකුට ඔල්වරසන් නැගීම පළ රහිත බවය. අද වන විට පුද්ගලයන්ගේ අරමුණු හා ප්‍රකාශ පළ දරන්නේ වෙනත් සංකීර්ණ දේශපාලන තලයකය. එබැවින් හුදෙක් වචනවලට අර්ථයක් තිබිය නොහැකිය. රාජිතත් මංගලත් ආණ්ඩුව තුළ ජනතා අරමුණු ජය ගැනීමට යම් උත්සාහයක නිරත වනවා නම් එය ප්‍රතිසංස්කරණ සඳහා දරන ප්‍රයත්නයක් ලෙස පිළිගත හැකිය.

සංකීර්ණ රටක්

රට තිබෙන්නේ ප්‍රශ්න එකක් දෙකකින් නොව ගණනාවකින් පීඩා විඳිමිනි. හැට දෙලක්ෂයේ ජනතා ව්‍යාපාරය පැවැතිදාම නුගේගොඩ සයිටම් විරෝධී රැලියක් තිබුණි. ආබාධිත සොල්දාදුවෝ ජනපති ලේකම් කාර්යාලයට යාමට තැත් කරන ආකාරය හා පොලීසිය ඔවුන්ගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කරන දර්ශන එදිනම දක්නට ලැබුණි. රැකියා විරහිත පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ. සමෘද්ධිය ජනපති බේරා දුන් බව කිව්වත් සමෘද්ධි සහන ලැබුවෝ එය තවදුරටත් ඉල්ලා උද්ඝෝෂණය කරති. හෙරොයින් ව්‍යාප්තිය ආදී තවත් නහුතයක් ප්‍රශ්න මේ රටෙහි ඔඩු දුවා තිබේ. යුද වින්දිතයන්ගේ ප්‍රශ්න, උතුරේ ඉඩම් අහිමි ජනයාගේ ප්‍රශ්නය, දුප්පත්කමේ ප්‍රශ්නය ආදී වශයෙන් ලංකාවේ දැන් තිබෙන්නේ අටානුවක් රෝග සහිත සමාජයකි. මේ සමාජය හුරේ දැමීමෙන් ගොඩගත නොහැකිය. සාමාන්‍ය ප්‍රකෘති මාවතකට අවතීර්ණ කළ හැක්කේ ඉවසීමෙන් සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ දිනාගැනීමෙන් පමණි. හැට දෙලක්ෂයේ අයිතීන් සුරැකීමේ සංවිධානයත්, හැට දෙලක්ෂයත් අවධානය යොමු කළ යුත්තේ ඒ පිළිබඳවය.

විමලනාත් වීරරත්න

උපුටාගත්තේ සත්හඬෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *