අපරාධවිශේෂාංගඋපුටාගැනීම්

දකුණේ ‘කුණු කන්ද’ සහ උතුරේ ‘දුක් කන්ද’

දකුණේ කුණු කන්ද මීතොටමුල්ලේ දී පුපුරා ගියේ ය. ඒ ජීවිත 32කක් මිහිදන් කරමින්, 50කට ආසන්න පිරිසකගේ කිසිදු තොරතුරක් තවමත් නැති කරමින්ය. නමුත් ඒ කුණු කන්දට යට වූ ජීවිත ගණනාවට මෙන්ම කුණු වලට ද වගකිව යුත්තේ මේ රටේ දේශපාලකයන් පමණක් නොවේ. මේ රටේ සමස්ථ ජනතාවද ඒ කුණු ‘කුණු කන්දක්‘ තරම් වැඩීමට වගකිව යුත්තේ ය. ඒසේ වූ පමණින් ආණ්ඩුවට ඒ වගකීමෙන් මිදිය හැකි වන්නේ ද නැත. රටක කුණු සම්බන්ධයෙන් සහ ඒවා ජනතාවට හානියක් නොවන සේ ප්‍රතිචක්‍රීයකරනය හෝ කළමනාකරණය කිරීමට ආණ්ඩුවකට වගකීමක් ඇත. නමුත් මීතොටමුල්ල කුණු ප්‍රතිචක්‍රීයකරණය කිරීමට වඩා කුණුවලින් ලක්ෂ ගනනින් ගසා කෑමට දේශපාලකයෝ පසුගිය වසර ගනනාවේම උත්සහ කර තිබීම අනෙක් ඛේදවාචකයයි.

නමුත් දැන් ඒ කන්ද පුපුරා ගොස් ඇත. ජීවිත අහිමිවූවන්ගේ සමීපතමයින් ඔවුන්ගේ වේදනාව පිට කරන්නේ ආණ්ඩු පිළිබද ව වූ වෛරී හැගීමකිනි. වසර ගණනාවක සිට එහි ඵලවිපාක පෙන්වා දුන් මීතොටමුල්ලේ මිනිසුන්ට එවන් හැගීමක් පිටවීම සාධාරණ නොවෙතැයි කිව හැක්කේ කාටද?

[Image by:Shehan Gunasekara]
‘මම බෝම්බ බැදන්, උන් ඉන්න තැනට යනවා‘ මීතොටමුල්ලේ කුණුවලට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු කියන්නේ එබැවිනි. පවුලේ බොහෝ දෙනෙක් කුණු කන්දකට යට වී මිය ගිය පසු මිනිසෙක්ට එවැනි හැගීමක් පහළ විය හැකිය.

නමුත් ඒ වේදනාව ලක්ෂයකට හෝ ලක්ෂ 2කකට ‘මිළ‘ කිරීමට ශිෂ්ඨ සමාජයකට නොහැකිය. එය එසේ වන්නේ භාණ්ඩයක් මෙන් ජීවිතයක් මිල කිරීමට කිසිදු ශිෂ්ඨ සමාජයකට නොහැකි නිසාවෙනි. නමුත් මීතොටමුල්ලේ ඛේදවාචකය දියුණු සමාජයක හැඩරුව පෙන්වමින් නැවත යළි සිදුවන්නට නොදී කළමනාකරණය කරන බවක් අද දක්වාම පෙනේනට නැත. සිදුවෙමින් ඇත්තේ මීතොටමුල්ල වෙනත් තැනකට මාරු කිරීම පමණි. නමුත් දැවැන්ත ඛේදවාචකයකින් පසුව වුව ද දකුණේ ආණ්ඩු ඒවායින් කිසිදු පාඩමක් ඉගෙන ගන්නේ නැති සේයකි. එය ඓතිහාසික ප්‍රශ්ණයක්ද?


[Image by:Vikalpa/Sampath Samarakoon]

දකුණට නොදැණෙන උතුරේ ‘දුක් කන්ද‘

උතුරේ මිනිසුන් වසර ගණනාවක් තම අයිතීන් ඉල්ලු පසු දකුණේ සියලු ආණ්ඩු එයට ප්‍රතිචාර දැක්වූයේ උණ්ඩයෙනි. අවසානයේ දී ඉල්ලීම් වල ‘කන්ද‘ එසේම තිබිය දී ‘දුක් කන්ද‘ විශාල විය. එය 2009 මැයි 18වනදා මුල්ලිවෛක්කාල්වලින් අවසන් කරමින් දකුණේ ආණ්ඩුව කීවේ ‘මානුෂික මෙහෙයුමෙන් යුද්ධය අවසන් කළා‘ යනුවෙනි.

නමුත් උණ්ඩයෙන් එය අවසන් කළාට, අවසන් අරගලකරුවා ද නන්දිකඩාල් හී ගිල්වමින් කිරිබත් කෑවාට ඔවුන් ගේ දුක් කන්ද නන්දිකඩාල්වල ගිල්වා තබන්නට තවමත් දකුණේ ආණ්ඩුවලට නොහැකි වී තිබේ.

ඊනියා මානුෂික මෙහෙයුමේ කසකරුවන් වන ගෝඨාබය, මහින්ද, ෆොන්සේකා ඇතුලු යුදවාදීන්ගේ ජනඝාතක යුද්දයෙන් දිවිබේරා ගත්තවුවන් මෙ වන විට සිය ‘දුක් කන්දේ’ ධෛර්ය සම්පන්න ප්‍රකාශණයක් මහපාරට ගෙනැවිත් තිබේ.

[Image by:Vikalpa/Sampath Samarakoon]

මුල්ලිකුලමේ මිනිසුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් භාවිතා කරමින් සිටින නාවික හමුදාවෙන් ඒ ඉඩම් නිදහස් කර ගැනීම සදහා මුල්ලි මිනිසුන් නාවික හමුදා කදවුර ඉදිරියේ වාඩිලාගෙන සිටින්නේ අවුරුදු 11ක් පුරා සිරකරගෙන සිටි දුක් කන්ද අවම කරගැනීමේ අරමුණින්ය.

[Image by:Vikalpa/Sampath Samarakoon]

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග සිය දරුවා සිටින ඡායාරූපයක් සිය පපුවට තුරුළු කරන් වව්නියාවේ අම්මාවරුන් බලා සිටින්නේ අතුරුදන් කළ සිය දරුවන් ගේ තොරතුරක් ලැබෙන තුරුය.

[Image by:Vikalpa/Sampath Samarakoon]


කිලිනොච්චියේ අම්මාවරුන් සහ පියවරුන්
 දින 62ක් මහපාරේ සිය දරුවන්ගේ, සමීපතමයන්ගේ ඡායාරූප සිය ගනනක් සමග හැඩූ කදුලින් ඉල්ලා සිටින්නේ 2009 මැයි හී දී හමුදාවට බාරදුන් සිය ආදරණියන් පිළිබද තොරතුරක් ලබා දෙන ලෙසය. ඔවුන්ගේ ඇස්වලින් ගලන කදුළු, දුක් කන්දේ තරම් කියා පෑවත් නාගදීපෙට යන දකුණේ උපාසක, උපාසිකාවන්ට ඔවුන්ව පෙනෙන්නේ නැත. නමුත් කඩා දැමූ කිලිනොච්චියේ වතුර ටැංකියට වන්දනා කිරීමට ඔවුන් පසුබට නොවන්නේ යුද්ධය විසින් විනාශ කල මිනිස්කම පිළිබදව නැවතත් ලාංකීය සමාජයට අලුත් පාඩමක් උගන්වමිනි.

[Image by:Vikalpa/Sampath Samarakoon]

මහා විසල් හමුදා පිවිසුමක් අසළ, ප්‍රදර්ශණයට තබා ඇති කාලතුවක්කු, බර අවි සමග වන යුද රථ අසල කේප්පාපිලව් මිනිසුන් සිය ඉඩම් ඉල්ලා තවමත් රැදී සිටින්නේ හමුදාව විසින් බලහත්කාරයෙන් භාවිතා කරන සිය ඉඩම් දෙස වේදනාවෙන් බලා සිටිමින්ය. ‘අපේ ඉඩම් දෙනං අපි යන්නේ නැහැ‘ කේප්පාපිලව් කාන්තාවන්ගේ ධෛර්ය සහ එහි ඇති වේදනාව උතුරේ දුක් කන්ද ගැන සංඛේතයක් වැනිය.

[Image by:Vikalpa/Sampath Samarakoon]

පුදුකුඩිඉරුප්පුවල සත්‍යග්‍රහයෙන් පසු හමුදාවට යම් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමට සිදු විය. ඒ නිදහස් කල ඉඩමට ගිය සෙල්ලාම්මාට සිදු වූයේ සිය දුක් කන්ද පුපුරා යන හැටි බලා සිටින්නටද? සෙල්ලම්මාගේ ගෙදර කණ්නාඩි පවා හමුදාව විසින් ගලවා ගෙන ගොසින්ය. විදුලි ප්ලග් විනාශ කර ඇත. නිවසේ බිත්ති සහ වහලය පමණක් ඉතිරි කර තිබේ. සෙල්ලම්මාගේ දුක් කන්ද ගැන සිය නිවෙස්වලට, සිය භූමියට, ආදරණිය මතකයන්ට, ආදරය කරන්නවුන්ට සිතා ගත හැකිය. නමුත් සෙල්ලම්මා ගැන දකුණ කතා කරන්නේ වත්, ඒ ගැන ලියවෙන්නේ වත් නැත. ඒ රණවිරුවන්ගේ තවත් මානුෂික(?) ක්‍රියාවකි.

[Image by:Vikalpa/Sampath Samarakoon]

පිලක්කුඩියිරුප්පු ගම්මානයේ ඊස්වරී මහලු වියෙහි පසුවන ධෛර්යමත් අම්මා ය. ඇය හා කාන්තාවන් මාසයකට අධික කාලයක් සිදු කල අරගලයකින් පසුව, ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් භාවිතා කරමින් තිබූ ඉඩම්වලින් අක්කර 20කට අසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට සිදුවිය. ඊස්වරී අම්මා ඇයගේ නිවස තිබුණු භුමියට යන විට ඇයට දක්නට ලැබුණේ ඩෝසර් කර විනාශ කල, ඇගේ නිවස සහ ඇගේ දියණියගේ නිවසයි. ඒ මානෙල් මල් වලින් පුද ලද විරුවන්ගේ තවත් ගෝත්‍රික ක්‍රියාවකි. ‘ඔක්කොම විනාස කරලා, ඒත් මගේ ඉඩම ලැබුනා. කන්න නැතත් කමක් නෑ‘ දුක් කන්ද පසාරු කරගෙන වන්නි කාන්තාවන්ගේ ධෛර්ය ඊස්වරී අම්මා ලෝකයටම කියන්නේ එළෙසය.

[Image by:Vikalpa/Sampath Samarakoon]

‘දැන් මට කියනවා, පපුවේ අමාරුව හැදිලා මැරුණා කියලා ලියලා තියන මරණ පරීක්ෂණ වාර්තාවට අත්සන් කරන්න කියලා, මගේ පුතා මරුණේ පපුවේ අමාරුව හැදිලා නෙමෙයි. පුතා මැරුවේ ගහලා, මම දැක්කා අත් පය ඔක්කොම කඩලා තමයි ඇදේ දාල තිබුණේ. පපුවේ අමාරුවට අත පය කැඩෙනවද? මම අත්සන් කරන්නේ නෑ. මනෝ ගණේෂන්ට කියන්න‘ ආණ්ඩුවේ බණ්ධනාගාරක් තුල දී පහරදී මරා දැමූ වව්නියාවේ නෙලුම්කුලම් කී නිමලරුබන්ගේ මව අපට කියයි. නිමලරූබන් ඇයට සිටි එකම පුතාය. ඔහු ආණඩුවේ සිරගෙයක් තුළ ඝාතනය කර ඇත. නිමළරුබන්ගේ පියා අසනීපව මිය ගියේ පසුගිය මාසයේය. දැන් අැය තනිවම නිමලරූබන් ගැන සිහි කරිමින් හැඩු කදුලින් දෙවියන් යදිමින් සිටින්නේ ය. ඇයගේ දුක් කන්ද? දකුණට පෙනේන්නේ ද?

මෙවැනි සත්‍ය සිදුවීම් වන්නියේ කොතෙකුත් තිබුණත් තවමත් මිනිස් ඇසින් ඒ දෙස බලන්නට දකුණට හැකියාව ලැබී නැත. නමුත් මීතොටමුල්ල කුණු කන්ද පුපුරා යාමෙන් කුපිත වූ දකුණේ දේශපාලන පක්ෂ විසින් තාප්ප වසා තිබුණේ මෙලෙසිනි.‘පාලකයිනි! මීතොටමුල්ල සමූහ මිනිස් ඝාතනයට වග කියනු‘

ඇත්තය.(නමුත් උතුරේ දුක් කන්දට වගකීම පිළිබද මෙවැනි පෝස්ටර් ඇලවුනේ නැත්තේ ඇයි.? ඒ පිලිබද මේ තාක් සාකච්ඡා කර ඇති බැවින් එහි දිගුවක් පිළිබද සාකච්ඡාවක් ඉදිරියට තබමු)

පාලකයන් සේම ලංකාවේ බොහෝ මිනිසුන් ද ඒ ඛේදවාචකයට වගකිව යුතුය. ඒ පිළිබද තේරෙන බසින් ‘විකල්ප‘ වෙබ් අඩිවයට ලිපියක් ලියන පබා දේශප්‍රිය මෙසේ ලියයි.

‘‘පුද්ගල දින චර්යාවේ වෙනසකින් තොරව කුණු කන්දට යට වූ මිනිසුන්ට නිවන් සුව පැතීම විහිළුවක් වන්නේ ඒ නිසාය. පොළිතීන් සහ ප්ලාස්ටික් භාවිත අවම කිරීම, ඒවා නැවත නැවත භාවිත කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමට රටේ සියළුම පුරවැසියන් ක්‍රියා නොකරන තාක් කල් මීතොට මුල්ල ගැන කිඹුල් කදුළු හෙලීමට අපට අයිතියක් නැත.‘‘

සත්‍ය එයයි…

දැන් මීතොටමුල්ල පුපුරා ගොස් ඇත. නමුත් තවමත් විද්‍යාත්මක සහ පාරිසරික විසදුමක් ලබා දීමට පාලකයන් ට නොහැකි වී තිබේ.

නමුත් උතුරේ දුක් කන්ද තවමත් එසේමය. එය නැවත වරක් පුපුරා යාමට පෙර විසදුමක් ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ වගකීමකි. ඒ ප්‍රමුඛ වගකීම අත්හරින්නේ නම් මීතොටමුල්ලට වඩා ව්‍යසනයක් ඇතිවීම වැලැක්විය නොහැක. එැබැවින් දකුණේ ආණ්ඩුවේ මෙන්ම සිවිල් සංවිධානවල සහ ජනතාවගේ වගකීම වන්නේ ද වසර ගණනාවක් විශාල වෙමින් ඇති ඒ ‘දුක් කන්දට‘ යුක්ති ඉටු කිරීමය.

උපුටාගත්තේ විකල්පයෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *