විශේෂාංගඋපුටාගැනීම්

ශ්‍රී දළදා වහන්සේ ආරක්‌ෂා කළ ද්‍රවිඩ සේනාංක

ඉසුරු හේරත්

ශ්‍රී දළදා වහන්සේ යනු අතීතයෙත් වර්තමානයෙත් ශ්‍රී ලාංකේය බෞද්ධ – අබෞද්ධ බැතිමතුන් සහ ලෝක බෞද්ධ – අබෞද්ධ බැතිමතුන්ගේ අපමණ ගෞරවාදරයට පාත්‍ර වූ පූජනීය වස්‌තුවක්‌ වශයෙන් සැලකිය හැක. මහාවංශය, දළදා සිරිත, පූජාවලිය යනාදී දේශීය සාහිත්‍ය මූලාශ්‍රවලට අනුව කාලිංගයේ සිට හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු (ක්‍රි. ව. 301 – ක්‍රි. ව. 321) දවස දළදා වහන්සේ ලක්‌දිවට වැඩම කරවන ලදී. පසුව ජීවමාන බුදුරජාණන් වහන්සේ සමානව ලක්‌දිව පාලකයන්ගේ රාජ්‍යත්වයේ නීත්‍යනුකූලභාවය මොනවට පසක්‌ කළ සංකේතය වූයේ ද දළදා වහන්සේය. (සෙනවිරත්න 2001(11) ඒ නිසාම අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණි, යාපහුව, කුරුණෑගල, මහනුවර යනාදී යුගයන්වලදී මෙරට රජකළ පාලකවරු විසින් ස්‌වකීය රජ මාළිගාව අසලම දළදා මාළිගාව ඉදිකොට දැඩි මුරකාවල් මධ්‍යයේ සුදුසු ගෞරව පූජෝපහාර දක්‌වන ලදී. මේ පරිද්දෙන් දළදා වහන්සේ කේන්ද්‍රකොටගත් අතිශය සංකීර්ණ දළදා සංස්‌කෘතියක්‌ ද බිහිවිය. පොළොන්නරු යුගයේ එවැනි අතිශය සංකීර්ණ බෞද්ධාගමික සංස්‌කෘතියක්‌ සහ අතිශය ව්‍යාකූල දේශපාලන පරිසරයක්‌ මධ්‍යයේ දළදා වහන්සේ මෙන්ම පාත්‍රා ධාතුව ද තැන්පත් කර තිබුණු දළදා මාළිගාව ආරක්‍ෂා කිරීම සඳහා වේළෙක්‌කාර සේනාව අනුගමනය කළ ආරක්‍ෂක විධිවිධාන අධ්‍යයනය කිරීමට අපේක්‍ෂිතය. (දසනායක 2001 ( 41)

පොළොන්නරුවේ වෙළෛක්‌කාර ශිලා ලේඛනය

ක්‍රි. ව. 1903 දී පමණ එච්. සී. පී. බෙල් (H.C.P. Bell) මහතා විසින් හඳුනාගෙන ප්‍රසිද්ධ කරන ලද මෙම ශිලාලේඛනය පුවරු ශිලාලේඛන (Slab -Inscription) ගණයට අයත්ය. පේළි 49 කින් යුත් මෙය දෙමළ භාෂාවෙන් ලියා තිබෙන අතර මුල් පේළි පහ දෙමළ සහ ග්‍රන්ථාක්‌ෂරවලින් ලියා ඇත. (wickremasinghe 1928 : 242) ශිලාලේඛනය ආරම්භ වන්නේ ශාර්දුලවික්‍රීඩිත වෘතයෙන් ලියන ලද සංස්‌කෘත ශ්ලෝකයකිනි. මෙය අඩි 8 ක්‌ දිග සහ අඩි 2 යි අ`ගල් 9 ක්‌ පළල පුවරු ශිලාලේඛනයකි. ක්‍රි. ව. 12 වැනි සියවසේදී, නැතහොත් ක්‍රි. ව. 1137 – 1153 රචිත මෙම ශිsලාලේඛනය පිළිබඳව එච්.සී.පී. බෙල්, සෙනරත් පරණවිතාන, ඉසෙඩ්. වික්‍රමසිංහ, ආර්. සී. කාලිදාස පිල්ලෙයි, සිරිමා කිරිබමුණේ, එස්‌ පද්මනාදන්, එස්‌. කේ. සිත්‍රපලම්, පියතිස්‌ස සේනානායක, නන්දසේන මුදියන්සේ, ආරිය ලගමුව, මාළිංග අමරසිංහ වැනි උගතුන් විවිධ පර්යේෂණ සිදුකොට තිබේ. මුල්වරට (Epigraphica Zelanica) හි දෙවැනි කාණ්‌ඩයේ සවිස්‌තරව පළකොට ඇති මෙම ශිලාලේඛනයෙහි සිංහල අනුවාදය මෙසේය.

පොළොන්නරුවේ වෙළෛක්‌කාර ශිලාලේඛනයේ සිංහල අනුවාදය

යහපත සෞභාග්‍යය වේවා, නායක දේව සේනාධිපති විසින් ශ්‍රී විජයබාහු රජුගේ අණ පරිදි ලංකාවේ පුලස්‌තිපුරයෙහි තනා ඇති බුදුරදුන්ගේ ශ්‍රී දන්ත ධාතු මාළිගාව වේළෛක්‌කාර බලවේගයන් විසින් ආරක්‍ෂා කරනු ලබනු සේක්‌වා· එසේම ඒ වටා වේළෛක්‌කාර විසින් තනනු ලැබූ අනෙකුත් සිද්ධස්‌ථානයක්‌ ද ලෝක විනාශය දක්‌වාම ඔවුන් විසින් ආරක්‍ෂා කරනු ලබත්වා· (1 – 5 පේළිය)

බුදුරජාණන් වහන්සේට භක්‌ති ප්‍රණාමය වේවා.. සශ්‍රීක සෞභාග්‍යයෙන් යුක්‌ත වූ ශ්‍රී ලංකාව තුළ ශ්‍රී විජයබාහු අධිරාජයා, නොහොත් ශ්‍රී සංඝබෝධි වර්මර් නැමති ඉක්‌ෂවාකු සූර්යවංශ පරම්පරාවෙන් පැවත එන මේ රජතුමා සිය සතුරන් අභිබවමින් අනුරාධපුරයට ඇතුළු විය. මහා සංඝයාගේ ආරාධනය පරිදි ශුද්ධ වූ ඔටුන්න තම සිරසෙහි පැළඳගත්තේ බුදුසමය ආරක්‍ෂා කිරීම පිණිසය. මෙසේ මෙම මහ රජතුමා අරමණ දේශයෙන් භික්‌ෂූන් සිරිලකට වැඩමවා උන්වහන්සේලාගේ ආරාධනාවෙන් බුදු සසුනෙහි නිකායත්‍ර පාරිශුද්ධත්වයට පත් කළේය. (5 – 11 පේළිය)

එතුමා තමන්ගේ බරට සමාන වූ ප්‍රමාණයෙන් මසුරන් තුන් නිකායටම පුදා මුළු ලංකාවම ඒකච්ඡත්‍ර කොට මුළු රටම අවුරුදු 55 ක්‌ම දසරාජ ධර්මයන් පිළිපදිමින් පාලනය කළේය. එතුමා ශුද්ධ වූ උපන් දින 73 ක්‌ පාසාම උපන්දින උත්සව පැවැත්වූවේය. (11 – 15 පේළිය)

මහ රජතුමා නුවරගල දේව සෙනෙවිරත්නට, මාර්ගෝපදේශකත්වය දෙමින් ඔහු ලවා ශුද්ධ වූ දළදා මන්දිරය විජයරාම්පුරම් නොහොත් පුලනරි පුරයෙහි තැනවීය. එය ශුද්ධ වූ දන්ත ධාතුන් වහන්සේගේත්a ශ්‍රී පාත්‍රා ධාතූන් වහන්සේගේත් ස්‌ථිර තැන්පත් ස්‌ථානය බවට පත්විය. ඒවා තුන් ලෝකයෙහිම ඔටුණු මාණික්‍යයන් හා සමානය. ඒවා අභයගිරි මහා විහාරයෙහි ප්‍රධාන විහාරයක්‌ වූ උත්තරමූල නම් ස්‌ථානයෙහි තැන්පත් කර තැබුණේය. (16 -21 පේළිය)

මෙය පළමු අභිෂේක මංගල්‍යය පවත්වනු ලබන ස්‌ථානය වශයෙනුත් ශ්‍රී බුදුන් වහන්සේගේ අති විශාල ශෛලමය ප්‍රතිමාව වැඩ සිටින සුගන්ධ කුටිය බවටත් පත්විය. එහි වාර්ෂිකව එම විශාල බුදු පිළිම වහන්සේගේ නේත්‍රා ප්‍රදර්ශනය කර එහි නේත්‍රාඥානය කිරීම ද සිදුවිය. (21-24 පේළිය)

රාජ පුරෝහිතයා වූත් ගුරුවරයා වූත් උත්තරමූල මුගලන් මහා ස්‌ථවිරයන් වහන්සේ සුපේෂල ශික්‍ෂාකාමි වූත් පාරිශුද්ධ ශිලා දී ගුණයන්ගෙන් යුක්‌ත වූත් සියලුම ශාස්‌ත්‍රයන්ගේත් ආගමේත් පරතෙරට පත්ව, රාජ අමාත්‍යවරුන්ගේත් ඇසුරට පත්ව සිටි එතුමා මේ ස්‌ථානයට පැමිණ අපහට පණිවිඩයක්‌ එවා මෙසේ වදාළ සේක. “මේ ශ්‍රී දන්ත ධාතු මන්දිරය ඔබේ භාරයේ පවතීවා” එබැවින් මාතන්ත්‍රයෙහි සාමාජිකයන් වන අපි මුණගැසී අපගේ ජ්‍යෙෂ්ඨයන් වන වළඤ්ශෙයර්වරුන්ගේ සහ නගරත්තර් යන අපගේ සාකච්ඡාවලට නිතරම පුරුද්දක්‌ වශයෙන් සහභාගි වන මොවුන් කැඳවා රැස්‌වීමක්‌ පැවැත්වූයෙමු. (25 – 30 පේළිය)

මේ රැස්‌වීමෙහි සිටින අප සියලුම දෙනා දන්ත ධාතු මන්දිරයට මුන්රූ කයිත්තිරු වේළෛයික්‌කාරන් දළදායිප්පේපෙරුම්පල්ලි යන ශුද්ධ නාමය දුන්නෙමු. පළාත් තුනෙහිම කීර්තිමත් වූ වේලෛක්‌කාර හමුදාව කැඳවා පහත සඳහන් ප්‍රකාශය කළෙමු. මේ ස්‌ථානය අපගේම භාරකාරත්වය යටතේ පවතීවා. මේ ස්‌ථානයෙහි ආරක්‌ෂාව එක්‌ එක්‌ හමුදා ඛණ්‌ඩයට පවරමු. එම හමුදා ඛණ්‌ඩයේ නඩත්තු පිණිස වෙලි එක බැගින් ඉඩම් වෙන්කර දෙමු. අපි මේ සිද්ධස්‌ථානයට අයිති ගම් ආරක්‌ෂා කරමු. මේ සිද්ධස්‌ථානයට අයිති සියලුම දේපල ආරක්‌ෂා කරමු. එසේම ආරක්‌ෂාව සඳහා එතැනට පැමිණෙන සියලුම දෙනාද ආරක්‌ෂා කරමු. අපගේ පරපුර පවත්නා තෙක්‌ විනාශ වී ඇත. තත්ත්වයන් තවත් ගැඹුරට විනාශ වුවත් අපි ඒ කරමු. (30 – 38 පේළිය)

අති කිර්තිමත් වේළෛක්‌කාරයන් වන අපි වළං කෛ, ඉඩම් කෛ, ශීරූතානම්, පිල්ලයිකල් තානම්, වඩුකර්, මළෛයාළර්, පරිවාරක්‌කෝන්තම්, පලකලනෛ යන මේ අපි සියලු දෙනා අපේ මේ පොරොන්දුව එකඟත්වය ප්‍රකාශ කර සිටිමු. මේ ගිවිසුම තඹ තහඩුවකත් ගලේහිත් කොටා තබන්නේ එය ඉර හඳ පවතින තුරු නොනැසි පවතීවා යන ප්‍රාර්ථනාවෙනි. (39 – 44 පේළිය)

ඒ අනුව මේ ගිවිසුම කඩකරන්නා වූ කවරෙක්‌ වේවා, මෙය කඩකරන ලෙස වෙන අයෙකුට කියන්නේක්‌ හෝ වේවා මේ ගිවිසුම කැඩීමට කැමැත්තක්‌ දෙන අයෙක්‌ වේවා, ඔහු වේළෛක්‌කාර හමුදාවන්ගේ සතුරෙක්‌ වන්නේය. ඔහු මාතන්ත්‍රයට විරුද්ධව වරදක්‌ කළ අයෙක්‌ වේ. පංච මහා පාපයක්‌ කළ අයෙක්‌ වේ. නො එසේ නම් ඔහු දෙවියන්ටත් ශුද්ධ වූ භික්‌ෂුන්ටත් අයිති වූ පූජා කරන ලද දේ වංචාවෙන් තමන් සතු කරගත් අයෙක්‌ වෙයි. ත්‍රිවිධ රත්නයට එරෙහිව පව් කරන ලද්දෙක්‌ වේ. ඔහු එවැනි අයට අත්වන ඉරණම වන අපායට ඇතුළු වන්නේය. එබැවින් පුණ්‍යය අමතක නොකරන්න. යහපත සෞභාග්‍යය වේවා ( 44 – 49 පේළිය) (සේනානායක 1998 ( 14 16)

වෙලෛක්‌කාරවරු, දළදා වහන්සේ ආරක්‌ෂා කිරීම සඳහා ඔවුන් අනුගමනය කළ ක්‍රියාමාර්ග

මූලිකවම පොළොන්නරු යුගයේ මුල් කාල පරිච්ඡේදය තුළ ශ්‍රී දළදා වහන්සේ වැඩහුන් දළදා මාළිගාව ආරක්‌ෂා කළ වෙලෛක්‌කාරවරුන් කවරේද යන්න සංක්‍ෂිප්තව විමසා බැලිය යුතුය. වේලෛක්‌කාරවරුන් පිළිබඳව ලංකාවේ පැරණිතම සාධක හමුවන්නේ ක්‍රි.ව. 9 සියවසේ හතරවැනි කාශ්‍යප රජු (ක්‍රි.ව. 898 – 915) දවසය. ඔහුගේ ශිලා ලේඛනයක වේළක්‌කා (Velakka) නමැත්තෙකු පිළිබඳව විස්‌තර හමුවෙයි. එහෙත් වෙළෛක්‌කාරවරුන් සේනාංකයක්‌ වශයෙන් ලංකාවේ සංවිධානව සිටියේ පොළොන්නරු යුගයේ පළමුවැනි විජයබාහු සිට පළමුවැනි පරාක්‍රමබාහු සමය දක්‌වා කාල පරිච්ඡේදය තුළය. තම ස්‌වාමියා දිවි හිමියෙන් ආරක්‌ෂා කිරීමට ප්‍රතිඥා දුන්නා සේම රණකාමී භටයන් ලෙස සේවයේ දී ප්‍රසිද්ධියට පත් වෙලෛක්‌කාරවරුන් ලංකාවේ පමණක්‌ නොව දකුණු ඉන්දියානු රාජ්‍යවලද සේවය කළ ප්‍රබල හමුදාවකි. මෙය වලංජියාර්, නගරත්තාර් ඇතුළු ශ්‍රේණි සහ පංති අටකින් පාලනය වූ බව පෙනෙයි. (කුලතුංග 1988 ( 71) චෝල අධිරාජ්‍යයේ ද ප්‍රබල සේනාංකයක්‌ වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි මොවුන් අතුරින් ලංකාවේ සේවය කළ පිරිස්‌ පළමුවැනි විජයබාහුට එකතු වූ බව පෙනේ. එහෙත් පළමුවැනි විජයබාහු රජු චෝල දේශය ආක්‍රමණය කිරීමට සූදානම් වූ අවස්‌ථාවේ, මන්නාරමේදී හමුදා කැරැල්ලක්‌ ඇති කොට, අනතුරුව පොළොන්නරුව යටත් කර ගැනීමට තරම් වෙලෛක්‌කාර කුලී සේනාව සාහසික විය. උක්‌ත හමුදා කැරැල්ල මර්දනය කළ ද වෙලෛක්‌කාරවරුන්ගේ වැදගත්ම විජයබාහුගේ තීක්‍ෂණ ඇසට යොමු විය.

හෙතෙම ඉතිරි වූවන්ට අභය දාන ලබා දුන්නේය. පසුව හෙතෙම නුවරගල දේව සෙනෙවියා ලවා පොළොන්නරුවේදී අටදාගෙය නම් දළදා මාළිගාව තනා ස්‌වකීය රාජ්‍යත්වයේ සංකේතය වන ශ්‍රී දළදා වහන්සේ මෙන්ම පාත්‍රා ධාතූන් වහන්සේද මහත් ගෞරව සම්ප්‍රයුක්‌තව තැන්පත් කරවීය (දසනායක 2001(41) මෙහි භාරකාරත්වය පැවරුවේ අභයගිරි විහාරයේ ප්‍රධාන ආයතනයක්‌ වූ උත්තරමූලයේ මුගලන් ස්‌ථවිරයන් හටය. තෙරුන් විසින් ශ්‍රී දළදා මාළිගාවේ ආරක්‌ෂාව පවරන ලද්දේ වෙලෛක්‌කාර සේනාංකයටය. විජයබාහු රජුගේ මරණයෙන් පසුව ලංකාවේ පැවතියේ ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි. එකල මුළු දිවයිනේ අධීෂ්චරීත්වය උදෙසා රාජවංශ දෙකක්‌ සටන් කළ අතර ඔවුහු ස්‌වකීය පෞද්ගලික සේනාවන්ගේ නඩත්තුව උදෙසා මහජනයා සතු දේපල මෙන්ම සංඝයා සතු දේපල ද කොල්ල කෑහ. වෙහෙර විහාර විනාශ කළහ. ඇතැම් විහාර ස්‌වකීය කුලී සෙබළුන්ගේ බැරැක්‌ක ලෙස යොදා ගත්හ. මෙම අභියෝගතා මධ්‍යයේ වෙලෛක්‌කාරවරු කෙසේ ශ්‍රී දළදා මාළිගාව ආරක්‌ෂා කළාද යන්න සාධක නැත. එහෙත් ඔවුන් සතුව ප්‍රබල ආරක්‌ෂක සංවිධානයක්‌ තිබූ බව පෙනේ.

ශ්‍රී දළදා වහන්සේ සහ පාත්‍රාධාතුව තැන්පත් කර තිබුණු අටදාගෙය ආරක්‌ෂා කළ වෙලෛක්‌කාර සේනාව පටයි යනුවෙන් හ`දුන්වන ඒකක කීපයකින් යුක්‌ත වූ අතර සුවිශාල හමුදා සේනාංකයක්‌ ලෙස සංවිධානය වී පැවතිණි. එසේම එහි වලංකයි, ඉඩංකයි, ශිරුනානම්, පිල්ලයිකල්තනම්, පරිවාරක්‌කොන්නම්, වඩුකර්, මලයාලර්, පලකලනේ යන හමුදා ඒකකද මෙහි පැවත ඇති බව පෙනේ (මුදියන්සේ 1997(163). මින් වලංකයි (දකුණු අත), ඉඩංකයි (වම් අත) යනු රැකියාව හෝ කුලය අනුව බෙදී ගිය ද්‍රවිඩ හමුදා ඒකක දෙකකි. ශිරුනානම් යනු මුදල් අයකැමියන්, පණිවිඩකරුවන්, විහාර ඉඩම් පිළිබ`දව පරීක්‌ෂා කළ සුළු නිලධාරීන් පිරිසකි. පිල්ලයිකල්තනම් යනු ගොවීන්ගෙන් සැදුම්ලත් හමුදා ඒකකයකි(පද්මනාදන් 2004(187). හෙල්ල දැරූ පාබල හමුදා ඒකකයක්‌ හැ`දින්වීමට පරිවාරක්‌කොන්තම් යන වචනය යෙදී ඇත. වඩුකර් යනු තෙළි`ගු හමුදා ඒකකයක්‌ වන අතර මලයාලර් යනු කේරළ ජනයාගෙන් සැදුම්ලත් හමුදා ඒකකයකි. පලකලනේ යනුද එක්‌තරා විශේෂ ද්‍රවිඩ සේනාවක්‌ විය යුතුය.

මෙයාකාරයට ඉතා සංකීර්ණ හමුදා ඒකකවලින් දළදා මැ`දුර ආරක්‌ෂා කළ වෙලෛක්‌කාර සේනාව සමන්විත වූ බව ස්‌ථීරය. මුන්රු කයිත්තිරු වෙලෛක්‌කාරන් දළදායිප්පේරුම්පල්ලි යනුවෙන් අටදාගෙය හ`දුන්වා ඇති වෙලෛක්‌කාරවරු, එහි ආරක්‌ෂාව වළංකයි, පරිවාරක්‌කෝන්තම් යනාදී හමුදා ඒකක අටට ලබාදී ඇත්තේ නිශ්චිත කාලසටහනකට අනුව බව පෙනේ (සේනානායක 1998(15). එසේම එක්‌ එක්‌ හමුදා ඒකක වල ආහාර පාන, ඉ`දුම් හිටුම් සැපයීම, අවි ආයුධ අලුත් කිරීම, අවි ආයුධ සැපයීම යනාදී නඩත්තු කටයුතු පිණිස වේලි එක බැගින් ඉඩම් වෙන්කර තිබිණි. දළදා මාළිගාව ආරක්‌ෂා කිරීම පමණක්‌ නොව දළදා මාළිගාවට අයත් ගබඩා ගම්ද, ගම්වැසියන්ද, සේවකයන්ද ඇතුළුව සියලු දේපළ ආරක්‌ෂා කිරීමට එම වෙලෛක්‌කාරවරු බැ`දී සිටියහ (පද්මනාදන් 2004(193) ගිවිසුම කඩ කරන කුමන හෝ වෙලෛක්‌කාරවරයෙකු වේවා හෙතෙම වෙලෛක්‌කාර සේනාංකයේ සතුරෙකු වන බවත්, ඔහු මාතන්ත්‍රයට (ශිවාගම? ආයතන ව්‍යවස්‌ථාව?) විරුද්ධව කටයුතු කරන අයෙක්‌ වන බවත් මෙම ශිලාලේඛනයේ ස`දහන් වෙයි. සාංඝික දේපළ වංචා කරන්නා ත්‍රිවිධරත්නයට එරෙහිව පව් සිද්ධ කර ගැනීමක්‌ බවත් හෙතෙම අපාගත වන බව මෙහි අවධාරිතය. උක්‌ත පාඨවලින් පෙනීයන්නේ වෙලෛක්‌කාරවරු ස්‌වකීය ආගමට, ආයතන ව්‍යවස්‌ථාවට මෙන්ම බුද්ධාගමද ගුරුකොට ගනිමින් ශ්‍රී දළදා මාළිගාවට හානි කරන අයවලුන් අවි බලයෙන් මෙන්ම බුද්ධි බලයෙන් ද වැළැක්‌වීමට උත්සාහ කළ බවයි. එකී උත්සාහය විශිෂ්ටය. විශේෂයෙන්ම දේශපාලනමය වශයෙන් මෙන්ම ආගමික වශයෙන්ද වැදගත් දළදා මාළිගාවේ ආරක්‌ෂාව සැලසූ වෙලෛක්‌කාරවරුන් සේවයේ ඇති විශිෂ්ටත්වය මැද උයන්ගොඩ විමලකීර්ති හිමියෝ මෙසේ පෙන්වා දෙයි (විමලකිර්ති 1954(118).

යුද්ධ කටයුතුත් ආරක්‌ෂක සේවයත් වෙලෛක්‌කාරයන්ගේ ප්‍රධාන කටයුතු හැටියට ගණන් ගන්නා ලදී. යුද්ධ කාලවලදී සොල්දාදුවන් සේ යුද්ධයෙහිත් අනෙක්‌ කාලවලදී සිද්ධස්‌ථාන, පූජනීය වස්‌තු, ඒවා සතු ඉඩ කඩම් සහ සේවක පිරිස්‌ යන මේවා ආරක්‌ෂා කිරීමෙහිත් යෙදෙනු ඔවුන්ගේ සිරිතකි. සංගමු ලිපිය, පණාකඩු තඹ සන්නස යන ලිපිවලින් ප්‍රකාශයට පැමිණෙන්නේ ගිවිසුම්ය. එයිනුත් වෙලෛක්‌කාරයන්ගේ ගිවිසුම් ඉතා දැඩිය ජීවිතයවත් නොතකා දළදා මාළිගාව ආරක්‌ෂා කරන බවට පොරොන්දු දී තිබෙන හෙයිනි.

නිගමනය

ක්‍රි.ව. 1903 පමණ එච්.සී.පී. බෙල් මහතා විසින් පොළොන්නරුවේදී සොයාගන්නා ලද සුප්‍රකට වේළෛක්‌කාර ලිපිය තත්කාලීන යුගයේදී ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාළිගාව ද්‍රවිඩ වේළෛක්‌කාර සේනාංකය විසින් සංවිධානාත්මකව ආරක්‍ෂා කළ ආකාරය යථාර්ථවාදීව පෙන්වන කැඩපතක්‌ වැනිය. මෙම ශිලාලේඛනයෙන් හෙළිවන තවත් වැදගත් කරුණු වන්නේ අබෞද්ධ ද්‍රවිඩ කුලී සේනාංකය වන වේළෛක්‌කාරවරු ස්‌වකීය ජාති, ආගම් වර්ග නොසලකා දිවි හිමියෙන් දළදා මාළිගාව සුරක්‍ෂිත කිරීමට ඇප කැපවීමය. මෙය වර්තමාන ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන්ට වෙනම දේශපාලන ඒකකයක්‌ ඉල්ලා කෑමොර දෙන උතුරේ දෙමළ දේශපාලනඥයන්ට දී ඇත්තේ කදිම ආදර්ශයකි.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

01. සෙනවිරත්න, අනුරාධ, 2001, සිරි දළදා වරුණ, කොළඹ 10, එස්‌. ගොඩගේ සහ සහෝදරයෝ
02. සෙනවිරත්න, අනුරාධ, 2006, ඥාන දර්ශන, කොළඹ 10, එස්‌. ගොඩගේ සහ සහෝදරයෝ
03. දසනායක, රෝහිත, 2001, පාත්‍ර ධාතුව සහ රාජ්‍යත්වය, වරකාපොළ ආරිය ප්‍රකාශකයෝ
04. විමලකීර්ති හිමි, මැදඋයන්ගොඩ, 1954, සිංහල ආණ්‌ඩුව, කොළඹ, අනුලා මුද්‍රණාලය
05. පද්මනාදන්, එස්‌, 2004, මධ්‍යතන ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ වේළෛක්‌කාර භට සේනාවේ කාර්ය භාරය. අනුමෝදනා, සංස්‌ ( මහින්ද සෝමතිලක, එච්.එම්.ඩී.ආර්. හේරත්, කොළඹ 10, එස්‌ ගොඩගේ සහ සහෝදරයෝ
06. මුදියන්සේ, නන්දසේන, 1997,ලංකාවේ ද්‍රවිඩ සිහිවටන, කොළඹ 10, එස්‌. ගොඩගේ සහ සහෝදරයෝ
07. කුලතුංග ටී. ජී. 1988, මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක සංවිධාන, කොළඹ 10, එස්‌. ගොඩගේ සහ සහෝදරයෝ
08. සේනානායක, පියතිස්‌ස, 1998, පොළොන්නරුවේ ශිලා ලිපි, කොළඹ 7, මධ්‍යම සංස්‌කෘතික අරමුදල
09. Epigraphia Zelanica, 1928, Z.wickramasinghe, Vol II, London

උපුටාගත්තේ ශ්‍රී ලංකා ගාර්ඩියන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *