විශේෂාංගඋපුටාගැනීම්

ප‍්‍රහාරක කල්ලි ගැන ෆොන්සේකාගේ ප‍්‍රකාශය

Image by:Asian Mirror

මාධ්‍යවේදීන් ඇතුලූ බොහෝ දෙනාට එරෙහිව සේවයේ යොදවා සිටි මිනීමරු කල්ලි පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදාපති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා අතර ඇති වී තිබෙන විවාදය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡාවට ගැනෙමින් තිබූ ලංකාව පිළිබඳ මාතෘකාව හුදෙක් එක විට සිද්ධ වීම අහම්බයක් විය හැකිය. එහෙත් එකී එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ සැසිවාරය පැවැත්වෙන අතරේ උතුරේ පුද්ගල අතුරුදහන්වීම්වලට එරෙහිව උද්ඝෝෂණ සංවිධානය වීම එවැනි අහම්බයක් නොවේ.

මෙරටේ මෙන්ම විදේශයන්හි ක‍්‍රියාත්මක වන දෙමළ සංවිධාන සහ බි‍්‍රතාන්‍යයේ ‘චැනල් 4’ වැනි මේ පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස් තමන්ගේ විරෝධතා දැක්වීම සහ ඊට අදාළ චිත‍්‍රපටි ප‍්‍රදර්ශනය කිරීම වැනි කටයුතු, එකී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සමගාමීව පවත්වති. ඔවුන්ගේ අභිප‍්‍රාය වන්නේ, ලෝකයේ මානව හිමිකම් සංවිධානවල නායකයන් සහ වෙනත් එවැනි රටවල්වල අවධානය මේ කෙරෙහි යොමු කර ගැනීමයි. විශේෂයෙන් එම කවුන්සිලයේ මාර්තු සැසිවාරයේ දී එය දැකගත හැකිය.

ඉහත කී අපේ නායකයන් දෙන්නාගේ විවාදයට අදාළව, කොළඹ කතිරේසන් වීදියේ පැවති උත්සවයක් අමතමින් අදහස් දැක්වූ ජාතික සංහිඳියාව, සංවාදය සහ රාජ්‍ය භාෂා පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන්, හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කාලයේදී පැහැරගෙන ගිය පුද්ගලයන් 551 ක ලැයිස්තුවක් තමන් ළඟ ඇතැයි කීය. ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටි කාලයේ ඇති වූ පැහැර ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් නිදහස් වීමට පුලූවන් කමක් ගෝඨාභය රාජපක්ෂට නැතැයි, දෙමළ ජාතික සන්ධානයේ යාපනේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් කී බව පුවත්පත් වාර්තා කෙළේය. මේ කාරණය සම්බන්ධයෙන්ම, නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහත් හිටපු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා කරන බව පුවත්පත් වාර්තා කෙළේය.

‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කෙරෙන අවස්ථාවේ, එදා හමුදා බුද්ධි අංශ ප‍්‍රධානී කපිල හෙන්දවිතාරණ යටතේ විශේෂ ඒකකයක් ක‍්‍රියාත්මක වූ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තරයක් දෙමින් හිටපු හමුදාපති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා කියා තිබේ. මේ විශේෂ ඒකකය නියෝග ලබාගත්තේ ආරක්ෂක ලේකම්වරයාගෙන් බවත් ඔහු කියයි. එසේම, මේ කියන කාලයේ කොළඹ දිසාවේ කටයුතු භාර කොට තිබුණේ මේජර් ජෙනරාල් අජිත් පෙරේරාට වන බැවින් එහි ආරක්ෂක තත්වය පිළිබඳව තමන් දැන සිටියේ නැතැයි ද ඔහු කියයි. ෆොන්සේකා කියන පරිදි, මාධ්‍යවේදීන්ට සහ වෙනත් විසම්මුතික අදහස් දරන්නන්ට පහර දුන් මේ විශේෂ ඒකකය, ඔහුගේ බලාධිකාරයෙන් පිටස්තරව පැවති, හෙන්දවිතාරණ හරහා ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයවන ලද ඒකකයකි.

හිටපු හමුදාපතිවරයා කියන ආකාරයේ විශේෂ ඒකකයක් පැවති බව ප‍්‍රතික්ෂේප කරන හිටපු ආරක්ෂක ලේකම්වරයා, හමුදා අංශ මගින් එවැනි ක‍්‍රියා සිදු කෙළේ නම් ඒ ගැන පිළිතුරු දිය යුත්තේ හමුදාපතිවරයා බව කියා සිටී. එවැනි ඝාතක කල්ලි ගැන දැන සිටියේ නම්, ඒවා වැළැක්වීමට හමුදාපතිවරයා වශයෙන් සරත් ෆොන්සේකා ගත් පියවර කවරේදැ යි හිටපු ආරක්ෂක ලේකම්වරයා ප‍්‍රශ්න කරයි.

හිටපු හමුදාපතිවරයා මෙවැනි ඝාතක ඒකකයක් පිළිබඳව කතා කරන්නේ, මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධි සම්බන්ධයෙන් බොහෝ හමුදාකාරයන් අත්අඩංගුවට ගනිමින් පවතින සහ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ වගකීම භාර ගනිමින් එක් හිටපු හමුදා භටයෙකු සියදිවි හානි කරගෙන ඇති තත්වයක් තුළ බව කිව යුතුය. වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ද, ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ද, මාධ්‍යවේදී කීත් නොයාර්ට සහ රිවිර කර්තෘ (ඊට කලින් දිවයින කර්තෘව සිටි) උපාලි තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධි සම්බන්ධයෙන් ද, හමුදා නිලධාරීන් ගණනාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සියල්ලන්ම පාහේ හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි නිලධාරීන් ය.

තමා ආරක්ෂක ලේකම් සිටි කාලයේ කිසි ඝාතක ඒකකයක් පැවති බව ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රතික්ෂේප කරයි. එහෙත් ඉහත කී සිදුවීම් ඇති වූ බව ප‍්‍රතික්ෂේප කිරීමට කිසිවෙකුට පුලූවන් කමක් නැත. එසේම, රාජපක්ෂ පාලන කාලයේදී, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්තටත් පහර දුන් බව අපි දනිමු. එසේම පන්නිපිටියේ පිහිටි සිරස ආයතනයට ගිනි තිබ්බේය. සියත ආයතනයටත් පහර දුන්නේය. යාපනේ උදයන් පුවත්පත කිහිප වරක්ම මෙවැනි ප‍්‍රහාරයන්ට ලක්විය. මේ කාලයේදී බොහෝ දෙමළ මාධ්‍යවේදීන්ව ඝාතනය කෙරුණි. ජීවිත තර්ජනය නිසා මේ කාලයේ රට හැර ගිය පුද්ගලයන්ද අපමණ ය. මේවා ප‍්‍රබන්ධ කතා නොව, සත්‍ය වශයෙන්ම සිදු වූ දේවල් ය.

මේ දේවල් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාලයේ සිදු වූ පමණින්, එදා ඔහුට පමණක් බලයෙන් දෙවැනි තැන ඉසිලූ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වශයෙන් සිටි කාලයේ සිදු වූ පමණින් ඒවාට ඔවුන්ගේ සම්බන්ධයක් තිබිණැයි කිව නොහැකි බවට කෙනෙකුට තර්ක කළ හැකිය. තර්කයක් වශයෙන් එහි යම් බරක් ඇතත්, අඩු වශයෙන් මේ සිදුවිම්වලට සම්බන්ධ එක් පුද්ගලයෙකු හෝ නීතිය ඉදිරියට පැමිණවීමට ඔවුන්ට එදා නොහැකි වුණේ මන්ද යන්න බරපතල ප‍්‍රශ්නයකි. එය වඩාත් කැපී පෙනෙන්නේ, ඒ සියලූ පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීමට, රාජ්‍ය පෙරලියත් සමග වර්තමාන පාලකයන්ට හැකි වී තිබීම නිසා ය.

කීත් නොයාර්ට පහර දෙන ලද්දේ 2008 තරම් ඈතකදී ය. ලසන්තව ඝාතනය කෙරුණේ 2009 දී ය. එහෙත් එදා පැවති රජය වෙනස් වන තෙක් කිසිවෙකු අත්අඩංගුවට ගැනුණේ නැත. ශ‍්‍රී ලංකාවේ පොලීසිය එතරම් දුර්වල නැත. ඔවුන්ගේ හැකියාව එතරම් බාල නැත. එය පෙන්නුම් කරන හොඳම උදාහරණය වන්නේ, 1991 ජුනි 21 වැනි දා, කොළඹ ඒකාබද්ධ මෙහෙයුම් අණ දෙන කාර්යාංශයට පහර එල්ල කළ පුද්ගලයාව පැය විසි හතරක් ඇතුළත තලවාකැලේ හැංගී සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වීමයි. එසේ කිරීමට ඔවුන්ට හැකි වුණේ, කිහිප දෙනෙකුගේ අයිතියට මාරු වී ගොස් අවසානයේ දී එල්.ටී.ටී.ඊ. සන්තකයට පත්ව තිබු ලොරියක චැසි අංකයක් ඔස්සේ කඩිනම් පරීක්ෂණ මෙහෙයැවීමෙනි. ඉහත කී අපරාධ පිළිබඳව සොයා බැලිය යුතුව තිබුණේ සහ අදාළ පුද්ගලයන්ව අත්අඩංගුවට ගත යුතුව තිබුණේ පොලීසිය බවත්, ඔවුන් එදා එය නොකිරීම ගැන ආණ්ඩුවක් වගකිව යුතු නැති බවත්, රාජපක්ෂ කඳවුරේ කෙනෙකු කියන්ට පුලූවන. එහෙත් එම පුද්ගලයන්ම අනිත් අතට කියන්නේ, මේ ආණ්ඩුව ‘රණවිරුවන්ව’ සහ ‘දේශපේ‍්‍රමී දේශපාලඥයන්ව’ දඩයම් කරන බවයි. එකම තර්කය දෙයාකාරයකට ආදේශ කළ නොහැක. අත්අඩංගුවට නොගැනීම පොලීසියේ වරදක් වීමටත්, අත්අඩංගුවට ගැනීම පළිගැනීමක් හෝ දඩයමක් වීමටත් නුපුලූවන.

එනිසා, අඩු වශයෙන් සදාචාර වගකීමක්වත් භාර නොගෙන මේ සිදුවීම්වලින් අත්හෝදා ගැනීමට හිටපු පාලකයන්ට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට නොහැක. එසේම හමුදාවේ අධිකාරී ව්‍යුහයෙන් පිටස්තරව කටයුතු කළ රහස් ඒකකයක් පැවති බවට සරත් ෆොන්සේකා කියන කතාවේ ඇත්තක් තිබිය හැක. එහෙත් සතුරෙකු සමග යුද වදිමින් සිටි හමුදාපතිවරයෙකු වශයෙන්, එම හතුරාගේ අඬුපඬු කොළඹ අගනගරයටත් විහිදී පැවති අවස්ථාවක, අගනගරයේ ආරක්ෂක තත්වය ගැන තමන් නොදැන සිටියේ යැයි කීම අපූරු ය. යුද්ධයේ අවසාන කාලයේදී ඔහු සහ මාධ්‍ය අතර පැවති සම්බන්ධයේ ස්වභාවය මාධ්‍යවේදීන්ට අමතකව ඇතැයි ඔහු සිතනවා ඇති. රාජපක්ෂ පාලන කාලයේ මාධ්‍යවේදීන් කොළඹ නගරයේ විරෝධතා ව්‍යාපාර ගණනාවක් පැවැත්වූ බව අපි දනිමු. තම සගයන්ට එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහිව හඬ නැගූ මාධ්‍යවේදියෝ එදා හමුදාපතිවරයාට එරෙහිවත් සටන් පාඨ කියූ බව අපට මතක ය. එම සටන්පාඨවලට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ එදා ‘ඔහුගේ හමුදාපතිවරයාට’ චෝදනා කිරීම ගැන මාධ්‍යවේදීන්ට අනතුරු ඇගෙව්වේය. එසේම සමහර මාධ්‍යවේදීන් ‘ද්‍රෝහීන්’ බව සරත් ෆොන්සේකා ද එදා කීවේය.

කෙසේ වෙතත්, මෙවැනි ප‍්‍රහාරක කල්ලි එදා තිබූ බවට සරත් ෆොන්සේකා කරන ප‍්‍රකාශය අප බරසාරව ගත යුතුව තිබේ. එය සැබෑවක් නම්, එය හෙලිදරව් කිරීම ගැන අප ඔහුට ප‍්‍රශංසා කළ යුතුය. කෙසේ වෙතත්, මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල වූ එදා තත්වය පිළිබඳ පැහැදිළි චිත‍්‍රයක් ඇඳ ගැනීම සඳහා, යුද්ධ කාලයේ ආරක්ෂක අංශයේ සිටි ඉහළම පුද්ගලයන් දෙන්නාම කියන මේ කතාවල සහසම්බන්ධතා අප විසින් පුරුද්දා ගත යුතුව තිබේ.

එම්. එස්. එම්. අයුබ්

*2017 මාර්තු 24 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Fonseka’s Claim on Hit Squads නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

උපුටාගත්තේ විකල්පයෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *