විශේෂාංගඋපුටාගැනීම්

තැනිතලාවේ යුද්ධය

මේ ස ට හ න ලියැවෙන විට ජ න ා ධි ප ත ි මෛත්‍රීපාල සිරිසේන රුසියාවේ සංචාරයකය. හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක 1974 දී රුසියාවේ සංචාරයක් සඳහා යෑමෙන් පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු රුසියාවේ රාජ්‍ය නායකයකුගේ ආරාධනා ලැබ ගිය එකම අවස්ථාව මෙයයි. රුසියාව කොහොමත් බලවත් රාජ්‍යයකි.

සීතල යුද සමයේ දී එහි එක් අර්ධයකට නායකත්වය සැපයූවේ රුසියාවය. අද ඇමරිකානු නායකයාට වඩා බලවත් දේශපාලන සහ නායකත්වයේ පෞරුෂයක් පෙන්වමින් රුසියානු ජනාධිපති පුටින් ලොව බලවත්ව බැබළේ. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේනට එම ආරාධනාව ලැබීම ශ්‍රී ලංකාවේ අභිමානය තවත් බැබළවීමකි. රුසියාව ශ්‍රී ලංකාවේ මිතුරු රාජ්‍යයක් ලෙස ගරු බුහුමනට ලක් වීම බණ්ඩාරනායක අගමැතිවරයා රුසියානු තානාපති සම්බන්ධතා ආරම්භ කිරීමත් සමඟ තහවුරු වූවකි. එදවස සිට රුසියාව සහ මෙරට රාජ්‍ය නායකයෝ මිතුරු බැඳීමෙන් කටයුතු කළහ. පසුගිය රාජපක්ෂ සමයේ දී ශ්‍රී ලංකාවට බටහිරින් එල්ල වූ පීඩනය හමුවේ රුසියාව ශ්‍රී ලංකාවට රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සිටි බලවත්ම මිතුරකු විය.

දෙවුම් සහ දෙබිඩි

කොහොම නමුත් රුසියාව සමඟ වන මිතුරු සබඳතා වඩාත් දැඩිව පවත්වා ගෙන ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව බිහි වූ ආණ්ඩු වකවානුවලය. වත්මන් ජනාධිපතිවරයා ද ශ්‍රී ලංකාකාරයෙකි. එහෙත් මේ ශ්‍රී ලංකා යුගය නොවේ. එජාප යුගය ද නොවේ. දෙමුහුන් යුගයකි. ඒ දෙමුහුන් බව තිබෙන්නේ එජාප ශ්‍රී ලංකා හවුල් ආණ්ඩුව තුළ පමණක් ද නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අද දෙමුහුන්ය. එහි පාර්ශ්ව දෙකකි. නායකයන් දෙදෙනෙකි. නමුත් ඒ දෙපාර්ශ්වයේම අරමුණ ශ්‍රීලනිප ආණ්ඩුවකි. ඒ වෙනුවෙන් වන අපේක්ෂිත කාලය සහ උපක්‍රම දෙයාකාරය. එමෙන්ම දෙපාර්ශ්වය දෙබිඩිය. මේ නිසා අද ශ්‍රීලනිපය ගිරයට හසු වූ පුවක මෙන් දෙපැත්තකින් හිරව තිබේ. ඒ ගමනක අවසානය සලකුණු කරනවාද නව ගමනක් ආරම්භ කරනවාද යන්න ගැන සියලු පාක්ෂිකයෝ දෙගිඩියාවට පත් ව සිටිති.

පීඩනයට සහනයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව එජාපය ප්‍රමුඛ බලවේගවල ශක්තියෙන් ජයග්‍රහණය සලකුණු කිරීම, මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් වීම හෝ යහපාලනය ප්‍රායෝගික සත්‍යයක් බවට පත් වීමක් ගැන මෙරටේ බහුතරය විශ්වාසය පළ කිරීමකි. එහෙත් ඒ විශ්වාසය පළුදු වෙමින් තිබෙන බවට සාක්ෂාත් වන දේවල් වැඩි වැඩියෙන් සිදු වෙමින් පවතී. එහෙත් ඒ වෙනුවෙන් පිළියම් යෙදීම ද නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕනෑ මෙන් අනෙක් අවශ්‍යතා ගණනාවකින් පිරී පවතී. ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව කුමක් වුවත් ශ්‍රීලනිපයට එජාපය සමඟ තව දුරටත් මේ ආණ්ඩු කෙරුවාව කිරීමට අසීරු තැනකට පත් වෙමින් පවතී. ඒ ආණ්ඩුවේ ගැටලු රට කෙරෙහි වන අමුතු දයාවක් නිසා යැයි කිසිවකු හෝ විශ්වාස කිරීම ඒ ඒ අයගේ මුග්ධභාවය ප්‍රකට කරන්නකි. මන්ද මෙය බල තණ්හාව සමඟ ඈඳුණ කාරණාවක් වීම මතය. මේ නිසා ඇමැති මණ්ඩල සංශෝධනයක් මඟින් ගැටලු වල පීඩනය සමහන් කර ගැනීමට දරන උත්සාහය පවා දෙපාර්ශ්වයට පීඩාවක් ගෙන එමින් තිබෙන බව ද පෙනෙන්නට තිබේ.

සියතින්ම සිය වළ

ඒ කෙසේ නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය, යුද අපරාධ චෝදනා ආදිය නිසා වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ ශ්‍රීලනිපයමය. මෙම අර්බුදවල විසඳුම් ශ්‍රීලනිපය සතුව ඇති වගක් නොපෙනුනත් ශ්‍රීලනිපය සිටින්නේ ඔවුන් සතුව විසඳුම් ඇති වග පෙන්වමිනි. ශ්‍රීලනිපය අවසන් වරට තනියම ආණ්ඩුවක් පිහිටවූ රාජපක්ෂ සමයේ මේ ගැටලු වෙනුවෙන් ලබා දුන් අමනෝඥ විසඳුම් විසින් ඇති කරන ලද අවුල් වියවුල්භාවයට වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ වර්තමාන ආණ්ඩුවට බව අමතක නොකළ යුතුය. මේ නිසා ආණ්ඩුව කෙරේ එල්ල වන බොහෝ විවේචනයන් හි සාධාරණ බව සැක කටයුතුය. එනම් මෙහි දී වඩා පීඩාවට පත්ව තිබෙන්නේ ශ්‍රීලනිපයේ පාර්ශ්ව දෙකම බව ද පැහැදිලිය.

ආණ්ඩුව කෙරෙහි එල්ල වන, මහින්ද පාර්ශ්වයෙන් හෝ වේවා පොදු ජනතා විරෝධය හමුවේ මෛත්‍රී පාර්ශ්වය දේශපාලනිකව හුදකලාභාවයට පත් වීම ඉඩ කඩක් තිබුණ ද මෛත්‍රී පාර්ශ්වයට එජාපය හා යම් සාකච්ඡාවකින් තමන්ගේ අර්බුදය සමහන් කර ගැනීමේ වැඩි සම්භාවිතාවක් පවතී. එහෙත් තමන්ගේ ද පැවැත්ම පිළිබඳ අර්බුදයකට මුහුණ පා සිටින මහින්ද පාර්ශ්වයට ඒ අවස්ථාව නැත. මෙම පාර්ශ්ව දෙකෙහි ඝට්ටනය උත්සන්න කිරීම සඳහා එජාප නායකත්වය යම් උපක්‍රමශීලී පියවරයන් අනුගමනය කීරීම පසුගිය කාලයෙහි පැහැදිලිවම දක්නට ලැබුණ ද මේ වන විට එජාපය එය අත් හැර ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ මන්ද යත් ශ්‍රීලනිපය විසින්ම ශ්‍රීලනිපයේ අර්බුදය තීව්‍ර කර ගනිමින් සිටීම නිසාය.

ශ්‍රීලනිප දෙපාර්ශ්වය එක් කරන්නත් එජාපයෙන් වෙන්ව වෙනම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට දැරූ වෙහෙසත් ශ්‍රීලනිපය හෙම්බත් කර තිබේ. තව දුරටත් ඒ වෙනුවෙන් හඬක් නැඟීමට ඇති හැකියාව අහෝසි වී ඇත. දෙපාර්ශ්වයම තුවාල වී ඒ රිදුම් දෙන වේදනාවෙන් සිටිති. එහෙත් දැන් ආපසු ගමනක් නැත. ඉදිරියට ගමනක් තිබේදැයි ශ්‍රීලනිපය විසින්ම තෝරාගත යුතුව තිබෙන්නකි. ගස් ගල් අතරේ හැංගි හැංගි දුනු හී විද ගත්ත ශ්‍රීලනිප පාර්ශ්ව දෙක දැන් පැමිණ තිබෙන්නේ තැනිතලා බිමකටය. දෙපාර්ශ්වයට දෙපාර්ශ්වය හොඳින් පෙනෙන්නට පටන් ගෙන තිබේ. එකිනෙකාගේ හැකියා දුර්වලකම් දැන් රහසක් නොවේ. තව දුරටත් දෙපාර්ශ්වය එකිනෙකා සමඟ යුද වැදීමේ උවමනාව පෙන්වන්නේ නැත. මන්ද ඒ ස්වයං විනාශයකට වඩා දෙයක් නොවන බැවින් දෙපාර්ශ්වය ස්වයං අවබෝධයකින් සටන් නවතා දැමීම සිදුකර ඇති බැවිනි.

දරු දුක සහ ජන දුක

තවමත් බලවත් පිල යැයි සිතා සිටින ශ්‍රීලනිපයේ මහින්ද පාර්ශ්වය හෝ ඒකාබද්ධ විපක්ෂය යනු එක් නායකයකු විශ්වාස කරමින් ඔහු වටා රංචු ගැසුණ පිරිසකි. මහින්ද කෙරේ පමණක් ඔවුන් විශ්වාසය තබා ගෙන සිටින්නේ පැරණි රැස් වළලු යළි විහිදනු ඇතැයි කල්පනා කරමිනි. එහෙත් අනාගත ජයග්‍රහණයක් කරා යෑමට කල්පනා කිරීමේ දී මේ නායකත්වය වයෝවෘද්ධය. තව දුරටත් ජරාවට පත් වීම ද විය හැකිය. එමෙන්ම ඔහුගේ අනුප්‍රාප්තිකයා ජී. එල්. පීරිස්ය. ඒ විකාරයකි. ඒ අනුව ද මහින්දට ඇති ප්‍රධානම හෝ එකම ගැටලුව රාජ්‍ය බලය අත්පත් කර ගැනීම නොව තම පුතුන් දෙදෙනාට එරෙහිව ඇති චෝදනාවලින් ඔවුන් නිදහස් කර ගැනීම බවට කිසිදු සැකයක් නොමැත. ජනාධිපතිවරයාට අගමැතිවරයාට ඔවුන් බලයට පත් කළ බලවේගවලින් එල්ල වන පීඩනය හමුවේ රාජපක්ෂ යුගයේ වැරැදි කළ වුන්ට එරෙහිව නඩු පැවැරීම සිදු කිරීම තව දුරටත් පමා නොවනු ඇත. මේ වන විටත් ඒ කටයුතු වේගවත් කර ඇති බව පෙනෙන්නට තිබේ.

ඒ අතර නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ පුතුන් දෙදෙනා පමණක් නොව බැසිල් ගෝඨා සහෝදරයන් ද සිටිනු ඇත. දේශපාලකයකුට හිරේ විලංගුවේ වැටීම එක අතකින් ආශිර්වාදයක් වන නමුත් ගැටලුව තිබෙන්නේ යම් අපරාධ වරදකට දඬුවමක් ලබා හිරේ විලංගුවේ වැටීම තුළ ඔවුන්ගේ සිවිල් අයිතිවාසිකම් රැසක් අහිමි වන නිසාය. අධිකරණයකින් දඬුවම් ලැබූවකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවුරා තිබෙන තැනක් තිබේ. ඒ සීමාවෙන් එහාට දඬුවමක් නියම වීම දේශපාලන ජීවිතයේ අවසානයයි. මහින්ද රාජපක්ෂට ද තම දරුවන් සම්බන්ධයෙන් ඒ බිය පවතී. තම පරපුරේ දේශපාලන උරුමය ඛණ්ඩනය වීම ඔහු බලාපොරොත්තු වන්නේ නැත.

රාජපක්ෂ පරපුරේ මිළඟ අනුප්‍රාප්තිකයා ලෙස කරළියට පිවිසීමට කැමැත්තෙන් සිටින ගෝඨාභය රාජපක්ෂට එරෙහිව තිබෙන බරපතළ මූල්‍ය හා අපරාධ චෝදනා, ඔහු ඇමරිකානු පුරවැසියකු වීම ආදිය මත ඒකාබද්ධ විපක්ෂයට ඔහු සම්බන්ධයෙන් බලාපොරොත්තු තබාගෙන සිටීම නිශ්ඵල දෙයක් වනු ඇත.

මෛත්‍රී සහ පැවැත්ම

සතුරාට පහර දෙන්නේ නම් සතුරාව මුළුමනින්ම අඩපණ කළ යුතු වූවත් මෛත්‍රීගේ මෛත්‍රිය නිසා ඔහුට අඩපණව වන්නට සිදුව තිබුණත් තව දුරටත් මෛත්‍රීපාල සිරිසේන ද සිටින්නේ තම සතුරු පාර්ශ්වය වන මහින්ද පාර්ශ්වය දේශපාලනිකව විනාශ කිරීමේ වුවමනාවෙන් විය හැකිය. එහෙත් ඔහුට තනියම ශ්‍රීලනිපය හෝ ජයගත නොහැකි වනු ඇත. තම ධුර කාලයෙන් පසුව ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට කල්පනා කරන්නේ නම් මේ උභතෝකෝටික ප්‍රශ්නය ඔහුට අදාළ නොවනු ඇත. එහෙත් පක්ෂය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ඔහුට වගකීමක් තිබේ.

මෙම වසරේ දී පළාත් පාලන හා පළාත් සභා තුනක මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රීලනිපය හමුවේ ඇති බරපතළම අභියෝගය ඒ වනු ඇත. ශ්‍රීලනිපයෙන් වෙන් වී වෙනම පක්ෂයක් පිහිටුවා ගැනීමට කරන බොලඳ කතා තව දුරටත් වලංගු නොවනු ඇත. එමෙන්ම එජාපයෙන් වෙන් වී ශ්‍රීලනිපයෙන් තරග කරන මෛත්‍රීටත් මේ ලෙහෙසි නොවනු ඇත. එමෙන්ම ජනවාරි 08 වනදා ජනතාව හමුවේ තැබූ පොරොන්දු ඉටු නොකර ඒ මඟ හැර යාම ඔහුට කළ නොහැක. ඒ අනුව රටේ පුරවැසියා කෙරෙහි වඩාත්ම වාසිදායක වන තීන්දුව ගැනීමට ඔහුට බල කෙරෙනවා මිසක තමා හෝ පක්ෂය හෝ ගැන සිතා තීන්දු ගැනීමට තිබෙන ඉඩකඩෙහි වැඩි ප්‍රමාණයක් වැසී යනු ඇති බව පැහැදිලිය. දෙබිඩි පිළිවෙත් තවදුරටත් වලංගු නොවනු ඇත.

සුජය

උපුටාගත්තේ සත්හඬෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *