විශේෂාංගඋපුටාගැනීම්

අතීතය අමතක කිරීම: අනතුරු ඇඟවීමක්

Image: Vikalpa
ලෝකය පුරා වෙසෙන මානව හිමිකම් ක්‍රියාධරයන් සහ වින්දිත කණ්ඩායම්, මහ පරිමාණ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිහිපත් කොට, ‘වින්දිතයන්ගේ අභිමානය සඳහා වන ජාත්‍යන්තර දිනය’ සමරති. ශ්‍රී ලංකාවේ ද මේ දිනය රට පුරා සැමරෙයි.

වින්දිතයන් ස්වකීය මළගියවුන් සමරණ, අතුරුදහන් වූවන් සමරණ සහ තමන්ගේ වැළලී ගිය ශෝකය සමරණ අනුස්මණ දිනවලින් මේ රටට අඩුවක් නැත. එක එක ජන කණ්ඩායම් තම තමන්ගේ දුක වෙනම සැමරීමත්, එක එක දේශපාලනික කණ්ඩායම් තමන්ට අදාළ දුක වෙනම සැමරීමත් තුළ, මළගියවුන් සිහිපත් කිරීම් තුළ ඇති භේදකාරී ස්වභාවය පෙන්නුම් කෙරේ. එපමණක් නොව, ශ්‍රී ලංකාවේ දේශපාලනික තලයේ මහ පරිමාණ ප්‍රචණ්ඩත්වයන්ට ලක් නොවූ පිරිස් සිටියොත් ඒ ඉතා අල්පයක් පමණක් බවත්, මෙතරම් සැමරුම් දින තිබීමෙන් පෙනී යයි. මේ තත්වය තුළ, සමාව දිය නොහැකි කාරණය වන්නේ, වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණය ඉටු කෙරෙන, සත්‍යය දැන ගැනීමට ඔවුන්ට ඇති අයිතියත්, යුක්ති ධර්මයට, හානිපූරණයට සහ නැවත එවැනි දේවල් සිදුනොවන බවට වගබලා ගැනීමට ඔවුන්ට ඇති අයිතියත් පිළිබඳ ප්‍රශ්නය එක් ජන ප්‍රජාවක් සහ ඔවුන්ගේ දේශපාලනික අරගලයක් සමග පමණක් අනන්‍යව තිබීමයි.

එහෙත් දකුණේ සිංහල ගම්මානවල වේවා, නැගෙනහිර මුස්ලිම් ගම්මානවල හෝ උතුරේ දෙමළ ගම්මානවල වේවා, සකල වින්දිතයන්ගේ කටුක අත්දැකීම්, දුක් අඳෝනා සහ ඉල්ලීම් අතර ඇත්තේ සාම්‍යත්වයක් බව අප අමතක නොකළ යුතුය.

අවුරුද්දක පමණ කාලයක් තිස්සේ රට පුරා වෙසෙන වින්දිතයන්ගේ අදහස් උදහස්වලට කන්දුන්, මනෝරී මුත්තෙට්ටුවගම මහත්මියගේ සභාපතිත්වයෙන් යුත්, ආණ්ඩුවෙන් පත්කරන ලද, ‘සංහිඳියාව සඳහා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ’ අවසාන වාර්තාව කියාපාන්නේ හරියටම එම කාරණයයි. ‘නීතිය සහ සමාජය පිළිබඳ භාරය‘ මගින් ප්‍රකාශයට පත්කරන ලද, ගෙහාන් ගුණතිලක ලියූ, ”අහිමි වීමේ සංකීර්ණතාවට අභිමුඛ වීම” නැමැති කෘතියෙන් ඉදිරිපත් කෙරෙන්නේ ද එම මතයමයි: සත්‍යය සහ යුක්තිය පිළිබඳ කාරණා අරභයා, මාධ්‍යයට සහ දේශපාලන කතිකාවට සාපේක්ෂව, දේශපාලනික විසංවාදයේ ඌනතාවක් ඇති බව එම කෘතියෙන් පෙන්වා දෙයි.

සෑම ජන ප්‍රජාවකටම අයත් වින්දිතයන් පොදුවේ අපේක්ෂා කරන්නේ එකම ප්‍රතිඵලයකි, සහනයකි. වින්දිතයන්ගේ පර්යාදර්ශයේ වෙනස්කම් ජාතියට සම්බන්ධයක් නැතැයි යන්න, සත්‍යය සහ යුක්තිය සඳහා වන දේශීය කතිකාව තුළ අඩුවෙන් අවධාරණය කෙරෙන බව, ඉහත කී ‘සංහිඳියාව සඳහා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ’ මෙන්ම, ”අහිමි වීමේ සංකීර්ණතාවට අභිමුඛ වීම” යන කෘතියේත් ඉදිරිපත් කෙරෙන මුඛ්‍ය අදහසකි.

එසේ වීම නිසා ඇති වන ප්‍රතිවිපාක බරපතල ය. උදාහරණයක් වශයෙන් ගතහොත්, සංක්‍රාන්ති යුක්තිය වනාහී දෙමළ ජනතාවට පමණක් අදාළ වන කාරණයක් බවට ඇති දුර්මතය හේතුවෙන්, සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ පොදු ප්‍රතිපත්තියට එරෙහිව සිදුවන වෙනත් වාර්ගික යොමුවීම්වලට පාර කැපෙයි. දෙවැනුව, වින්දිතයන්ගේ අයිතීන් පිළිබඳ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ බර දේශපාලනික වශයෙන් එක ජාතියක කර මතට පැටවෙන අතර වෙනත් ජාතීන් විසින් එය මගහරිනු ලැබේ.

මෙසේ වෙනත් පිරිස් විසින් මගහරිනු ලැබීම හේතුවෙන් වින්දිතයන්ගේ ඉල්ලීම් විශේෂිත දේශපාලන පංතියක් විසින් භාරගනු ලැබීම හේතුවෙන් ඊට ආරෝපණය වන්නේ, විශේෂිත ප්‍රදේශයකට පමණක් ආරෝපිත සහ විශේෂිත ජාතියකට පමණක් අයත් කාර්යයක් ය යන හැඟීමයි. දෙමළ සිවිල් සමාජයේ ආන්තික කොටස් එකී බරට කර ගැසීමෙන් පෙන්නුම් කෙරෙන්නේ එම තත්වයයි.

වින්දිතයන්ගේ ප්‍රශ්නය සීමාව ඉක්මවා දේශපාලනීකරණය වීම එහි අවසාන ප්‍රතිඵලයයි. හැම පාර්ශ්වයකම වින්දිතයන්, ඔවුන්ව ඉත්තන් සේ පාවිච්චි කිරීමට අපේක්ෂා කරන අයවළුන් විසින් අනතුරුව නිහඩ කරවනු ලැබේ. වින්දිතයන් පිළිබඳව ආණ්ඩුව දක්වන නොසැළකිල්ල නිසා ඔවුන්ගේ ප්‍රශ්නය වින්දිතයන්ගේ ප්‍රදර්ශනකාමී නායකයන් අතට පත්වීම අවසානයේ අභාග්‍ය සම්පන්න ප්‍රතිඵලවලට තුඩුදෙයි.

නිදහස ලබා අවුරුදු හැත්තෑවකට ආසන්නව තිබියදී, විවිධ ක්ෂේත්‍රවල අත්කරගෙන ඇති සාර්ථකත්වයන් අතරේ පැහැදිළිව දක්නට ඇති එක් අසාර්ථකත්වයක් වන්නේ, අප මේ බිමේ අත්දැක ඇති දේශපාලනික ප්‍රචණ්ඩත්වයේ තරමයි. අප අත්දැක ඇති උල්ලංඝණයන්ගේ තරම, අපට වඩා ශාපලත් දේශයන්හි දක්නට ලැබිය යුත්තකි. දුර්භික්ෂය, රාජ්‍යයේ කඩා වැටීම, යුද කල්ලි රජැයීම සහ ආර්ථීක කඩා වැටීම සහිත රටවල්වල තත්වයට අපත් පත්ව තිබේ. යුද්ධ කාලයේ ඇති වූ ආපදා ගැන කුමක් සිතුවත්, උතුරේ සිවිල් යුද්ධයක් සහ දකුණේ කැරලි දෙකක් ඇතිව තිබුණත්, අපේ ප්‍රචණ්ඩත්වයේ තරම ඕනෑම කෙනෙකුගේ හෘද සාක්ෂිය පාරවනු ඇත.

එහෙත් වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් සහ ඇති වූ වැරදි නැවත ඇති නොවීමට වගබලා ගැනීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර ඉතා අල්ප ය. ඒ කෙතෙක් ද යත්, අපේ ජනතාවට ඉතා පහසුවෙන් දේවල් අමතක වන බව මෝස්තරයට කියනු ලැබේ. අපේ ජනතාව සිදු වූ දේවල්වලට සමාව දෙන ජාතියක් යැයි කියනු ලැබේ. විශේෂයෙන් දේශපාලඥයන්ගේ දෝෂයන්ට සමාව දීමට අපේ ජනතාව සූදානම් බව මෝස්තරයට කියනු ලැබේ. මේ තත්වය තුළ, ‘වුණ දේ වුණා‘ යන මනෝභාවය රාජ්‍ය ප්‍රතිපත්තියක මට්ටමට ගෙනැවිත් තිබේ. සමහර විට ඒ හේතුව නිසාත්, සමහර විට ඊටත් වඩා, තමන්ගේ ආරක්ෂාව ගැන වැඩියෙන් හිතන දේශපාලන පංතිය සහ හමුදා කොටස්වල අවශ්‍යතා හේතුවෙන් වින්දිතයන්ව නැවත නැවතත් පාවා දෙනු ලැබේ.

දේවල් අමතක කිරීමට සාමාන්‍ය ජනතාවට ඇති ශක්තිය පිළිබඳ මොන මතිමතාන්තර තිබුණත්, වින්දිතයෝ තමන්ගේ දුක අමතක නොකරති. මන්ද යත් එසේ කිරීමට ඔවුන්ට හැකියාවක් නැති බැවිනි. ආර්ථීක අගාධයේ සිටින බොහෝ වින්දිතයන්ගේ තත්වය, පවුලේ බත්පත ඉපැයූ තැනැත්තා හෝ පවුලේ ආරක්ෂකයා හෝ සහකරුවා අහිමි වීම නිසා වඩාත් අර්බුදයට පත්ව ඇත. එම ජනතාව සම්බන්ධයෙන් යම් පියවර ගැනීමට එම කාරණය ප්‍රමාණවත් නොවන්නේ නම්, සාමූහික ක්‍රෑරත්වය වරක් භාවිත කළ පසු එය නිකංම වියැකී නොයන බව මතක තබා ගැනීම යෙහෙකි.

රට පුරා සිටින සාමාන්‍ය අපරාධකරුවන් සම්බන්ධයෙන් අද පාවිච්චියට ගැනෙන්නේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව පාවිච්චි කළ ක්‍රෑරත්වයම බව ජාතික මානව හිමිකම් කොමිසම පෙන්වා දෙයි. අතුරුදහන් කැරැවීම මුලින් පාවිච්චි කෙළේ දකුණේ කැරලිකරුවන් සම්බන්ධයෙනි. පසුව එය මුළු රටම වෙලා ගන්නා ක්‍රමවේදයක් බවට පත්විය. මෑතක සිට හෙළිදරව් වෙමින් පවතින කරුණු අනුව බලන විට, දේශපාලනික ඝාතනවල නිමාවක් ඇති විය හැකි බවක් පෙනෙන්ටත් නැත. අතීතය අමතක කරන තැනැත්තා, එම අතීතයම නැවත වරක් අත්දැකීමට ඉරණම් කෙටී සිටින්නෙකු වන බව, ජෝර්ජ් සන්තායන කියා තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට එය ඥානාන්විත උපහැරණයක් පමණක්ම නොවේ. අනාගතය ගැන කෙරෙන බිහිසුණු අනතුරු ඇඟවීමක් ද වන්නේය.

නිරාන් ඇන්කටෙල්

*2017 මාර්තු 22 වැනි දා zඩේලි මිරර්Z පුවත්පතේ පළවූ Forgetting the Past: A Warning නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා අනුග්‍රහයෙනි

උපුටාගත්තේ විකල්පයෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *