විශේෂාංගඋපුටාගැනීම්

කෙක්කෙන් බැරිනම් කොක්කෙන්

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ජාතික ආණ්ඩුවකට ශ්‍රීලනිපය ගැට ගැසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිදු වීම ඔහුගේ මැතිවරණ පොරොන්දුවක් ක්‍රියාවට නැගීම වන නමුදු එය විසින් ඉටු කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ අනෙක් පොරොන්දුවක් ඉටු කිරීමට බාධකයක් දමා ගැනීමය.

පසුගිය වසර දෙකහමාරේ ආණ්ඩුව විසින් ආර්ථිකය සම්බන්ධයෙන් ගත් බොහෝ පියවර ආපස්සට ඇදීමට ජනාධිපතිවරයාට සිදු වූයේ ශ්‍රීලනිපය තරහා කර ගැනීමට ඇති නොහැකියාව නිසාය. දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද සිදු වූයේ එය ය. විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන, බලය බෙදා හැරෙන, මැතිවරණ ක්‍රමය වෙනස් කෙරෙන දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දු ඉටු කිරීම වෙනුවෙන් නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ආරම්භ කෙරුණ ද අද ඊට බාධාකාරී ලෙස හැසිරෙන්නේ ශ්‍රීලනිප කණ්ඩායමයි. එහි මෛත්‍රී පාර්ශ්වය සහ පෙර දී මහින්දවාදීන් ලෙස නම් කෙරුණු ඒකාබද්ධ විපක්ෂ පර්ශ්වය ලෙස ශ්‍රීලනිපය බෙදී සිටිය ද මේ දෙපාර්ශ්වය සෑම විටම එකම මතය නියෝජනය කරති. ඒකාබද්ධ විපක්ෂයේ  වඩාත් බලපෑම් සහගත නායකයා ලෙස සිටි මහින්ද රාජපක්ෂගේ අනුහස් මේ වන විට බිඳී ගොස් ඇති නිසා මෙම පාර්ශ්ව දෙකේ මතවාදී වෙනස්කම් ද පෙනෙන නොපෙනෙන තැනට පත්ව ඇත.

කෙසේ නමුත් දේශපාලන කරළියෙහි මතුපිට රංගන මෙසේ වූව ද අභ්‍යන්තරයේ තත්ත්වය මීටත් වඩා සාමකාමීය, සහජීවනයෙන් යුක්තය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ ඇති මතය එළියේ දී විෂමාකාරී ලෙස විවිධ මුහුණුවර ගත්ත ද ඇතුළේ දී ඒකමානීයව පවතී.

ශ්‍රීලනිපයේ නව ප්‍රතිපත්ති

එජාපය සමඟ ආණ්ඩු කෙරුවාව ශ්‍රීලනිපය දියකරන්නක් වන්නේ යැයි ද එජාපයේ ප්‍රතිපත්ති පමණක් ක්‍රියාවට නැඟෙන්නේ යැයි කියමින් එජාපය සමඟ තවදුරටත් ජාතික ආණ්ඩුව පවත්වා ගෙන යාමට නම් ශ්‍රීලනිපයටත් ප්‍රතිපත්ති තිබිය යුතු බවත් ඒ අනුව ශ්‍රීලනිපය හා බෙදා හදාගෙන මේ ආණ්ඩු කෙරුවාව දිගටම පවත්වා ගෙන යාම විය යුතු බවත් කියමින් ශ්‍රීලනිපය විසින් පසුගිය වසරේ ප්‍රතිපත්ති මාලාවක් සකසනු ලැබීය. මහින්ද රාජපක්ෂ යුගයේ දී ශ්‍රීලනිප ප්‍රතිපත්ති යනුවෙන් යමක් නොපැවැතුණු අතර ප්‍රතිපත්තිය තීරණය කරන ලද්දේ රාජපක්ෂ පවුලේ කැමැත්ත විසිනි. ශ්‍රීලනිපයට ප්‍රතිපත්තියක් අවශ්‍ය බවට මහින්දවාදීන්ට ද මතක් වූයේ රාජපක්ෂවරුන්ගේ බල බිඳීමෙන් පසුවය. කෙසේ නමුත් මේ දෙපාර්ශ්වය ශ්‍රීලනිපයේ ලෙස පසුගිය වසරේ රටට හොරෙන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද ‘ශ්‍රීලනිපය රට හමුවේ තබන ප්‍රතිපත්ති’ මැයෙන් වූ වාර්තාවක අංක 4 යටතේ විධායක ජනාධිපති ධුරය වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය අවංක අදහස සටහන් කර තිබිණි. එහි‘…විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය උත්සන්න කිරීමට හේතු වේ. එම නිසා විධායක ජනාධිපති ධුරය බලතල අඩුකොට තවදුරටත් පවත්වා ගෙන යන අතරතුර මැතිවරණ  ක්‍රමය පමණක් වෙනස් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ස්ථාවරය විය යුතුය.’ යනුවෙන් සඳහන්ව ඇත.

යාචකයාගේ තුවාලය

ශ්‍රීලනිපය විධායක ජනාධිපති ධුරය වෙනස් කිරීම සඳහා හෝ පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා ගන්නා උත්සාහය මැඩපැවැත්වීම වෙනුවෙන් අනෙක් තර්ක විතර්ක ගෙන හැර පෑවත් එම පක්ෂයේ ඇත්ත වුවමනාව මෙයය. පක්ෂය පවත්වා ගෙන යාම මේ රටේ දැවෙන ප්‍රශ්න හිඟන්නාගේ තුවාල මෙන් පාවිච්චි කිරීමට ඇති ඉඩ කඩ තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය වීම, වඩා වැදගත් බව ශ්‍රීලනිපය විශ්වාස කරයි. මේ මතය ජනාධිපතිවරයාගේ මතය බවට ප්‍රසිද්ධ තලයේ දී ප්‍රකාශයට පත් ව නොමැත. එහෙත් ශ්‍රීලනිපයේ මෛත්‍රීවාදීන්ගේ ද ප්‍රකාශයන් හරහා නිරන්තරයෙන් විධායක ජනාධිපති ධුරය වෙනස් කිරීම,බලය බෙදා හැරීම මූලික කර ගත් නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් වන වුවමනාව පරාජයට පත් කිරීම මතු කරමින් තිබේ.

මෙහි දී ප්‍රධාන තර්කයක්ව ගනු ලබන්නේ මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කරනු ලැබූ රට හදන ප්‍රතිපත්ති මාලාවේ එන එක් වාක්‍යයකි. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 14 වන පිටුවේ සිරස්තලය වන්නේ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම’ යන්නයි. නමුත් ඊට අදාළ ඡේදයෙහි ‘ජනමත විචාරණයක් පැවැත් වීම අවශ්‍ය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම වගන්තියක් සංශෝධනය නොකරන බවට මම සහතික වෙමි’යනුවෙන් සඳහන්ව ඇත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ද ජනමත විචාරණයක් අවශ්‍ය බව සාමාන්‍ය දැනුමට අදාළ කරුණකි. විධායක ජනාධිපති ධුරය පිහිටුවා ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) වගන්තියෙනි. නමුත් එම වගන්තිය සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ව්‍යවස්ථාවේ සඳහන්ව නැත.

කෝඳුරු තෙල් හත්පට්ටය

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයෙහි අර්ථ නිරූපණයට යොමු කළ අවස්ථාවේ දී ලබා දුන් නිගමනවලට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනමත විචාරණයකට තුඩු දෙන වගන්ති ලෙස නම් කර තිබූ වගන්ති අතර මේ 4 වන වගන්තියේ ඇත්තේ නැත. 1, 2, 3, 6, 7, 8, 9, 10, 11වගන්ති සහ 30 (2), 62 (2) යන අනු ව්‍යවස්ථා වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙහි ඡන්දය මෙන්ම ජනමත විචාරණයකට යා යුතු බව සඳහන් කර ඇත. ඒ අනුව විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවේ බහුතරයෙන් පමණක් වෙනස් කළ හැකිව තිබූ වගන්තියකි. 1978 මෙම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේ දී විධායක  ජනාධිපති ධුරය වෙනස් කිරීම සඳහා ජනමත විචාරණය අවශ්‍ය බවට වගන්තියක් තිබුණ ද ඒ පසුව ඉවත් කර තිබිණි.

එහෙත් 1987 දී 13 වන ආණ්ඩුක්‍රම සංශෝධනය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවේ දී 4 වන වගන්තිය සංශෝධනය කිරීමෙන් 3 වන වගන්තියේ සඳහන් ලෙස ජනතාවගේ පරමාධිපත්‍යයික බලයට යම් අගතිගාමී බලපෑමක් සිදු වන්නේ නම් ඒ ජනමත විචාරණයකට ලක් කළ යුතු බව සඳහන් කර ඇත. නමුත් ඒ අනුව වුව විධායක ජනාධිපති ධුරය වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයක් අනිවාර්ය බව අර්ථකථනය නොකෙරේ. 2002 වසරේ දී එවක අගවිනිසුරු සරත් සිල්වාගේ මතය වුණේ, 4 වන වගන්තිය 3 වන වගන්තිය සමඟ එකට කියවිය යුතු බවත් 4 වන වගන්තිය උල්ලංඝණය කෙරෙන ඕනෑම කාරණයක් සඳහා ජනමත විචාරණයක් පැවැත් විය යුතු බවත්ය. ඒ අනුව විධායකය සතු යම් බලයක් ව්‍යවස්ථාදායකයට පවරන්නේ නම් එය ජනමත විචාරණයකට බඳුන් කළ යුතු බවට අදහස ඇති විය. එහෙත් මෑතක දී සම්මත කර ගන්නා ලද 19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සහ ඒ වෙනුවෙන් ලබා දුන් අධිකරණ තීන්දුව අනුව විධායක ජනාධිපති ධුරය ජනමත විචාරණයකට නොගොස් අහෝසි කළ හැකි නෛතිකමය තර්කයක් පවතින බව ව්‍යවස්ථා විශාරදයෝ මේ වන විට පෙන්වා දෙමින් සිටිති.

කෙසේ නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නෛතික අර්ථ නිරූපණ නීති විශාරදයන් විසින් විසඳා ගනු ලැබුවේ නමුත් දේශපාලන තීන්දුව ගැනීම වඩා අසීරු කරුණ වී ඇත. ජනමත සමීක්ෂණය මේ වන විට ශ්‍රීලනිපය මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමෙන් එපිටට යෑමේ සූදානමක් නොපෙන්වයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති එකින් එක වෙනස් කිරීමකට වඩා පහසුවෙන් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිහිටු වීමට හැකියාව තිබේ. එමෙන්ම ඒ වෙනුවෙන් වන ජනමතය ජය ගැනීමේ හැකියාවක් ද පවතින බවට ජනමත සමීක්ෂණ ප්‍රතිඵලයක් ද පසුගිය සතියේ දී ලැබී තිබිණි.

ජනාධිපති මාධ්‍ය අංශයේ මැදිහත් වීමෙන් පැවැත් වූ ජනමත සමීක්ෂණය සඳහා වයස අවුරුදු 23 සහ 38 අතරේ පෞද්ගලික අංශයේ වෘත්තිකයන්ගෙන් සමන්විත නියැදි 900ක් ගෙන ඇති අතර සිංහල බෞද්ධ ජනප්‍රජාව ශක්තිමත්ව සිටින කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, අනුරාධපුරය යන දිස්ත්‍රික්ක දහයකින් මේ පිරිස තෝරාගෙන ඇත.

එම සමීක්ෂණ වාර්තාව අනුව වාර්ගික ප්‍රශ්නය විසැඳීම සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය ද යන්න ගැන කළ විමසීමේ දී සියයට 45.4ක් අවශ්‍ය බවටත් සියයට 50.8 අනවශ්‍ය බවටත් පිළිතුරු දී ඇත. නව මැතිවරණ ක්‍රමයක අවශ්‍යතාව සියයට 77.4 මතු කර ඇති අතර 19,8ක අවශ්‍ය නැති බව ප්‍රකාශ කර ඇත. එමෙන්ම රටේ යහපතට මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන එක්විය යුතු ද යන්න කළ විමසීමේ දී සියයට 90.2ක් පවසා ඇත්තේ අවශ්‍ය නැති බවය. අවශ්‍ය බව පවසා ඇත්තේ සියයට 6.4 කි. මේ අනුව මෙම සමීක්ෂණ ප්‍රතිඵලවලින් දේශපාලන ප්‍රතිසංස්කරණයක් සඳහා ඇති ජනතාවගේ කැමැත්ත යම් තරමකින් පෙන්වා දී ඇත.

දූෂණය පිටු දැකීම ඉදිරියෙන්

එමෙන්ම මෙහි දී වඩා ප්‍රමුඛත්වය හිමි විය යුත්තේ කවර ක්ෂේත්‍රයකට ද යන්න ගැන විමසීමේ දී සියයට40.3කගේ මතය වී ඇත්තේ දූෂණය පිටුදැකීම බවය. තවත් සියයට 25ක් පවසා ඇත්තේ අපරාධ මැඩලීම විය යුතු බවටය, ජීවන වියදම ගැටලුවක් ව තිබුණේ සියයට 17.7කට ය. එමෙන්ම මාර්ග ශික්ෂණය සියයට 16.8ගැටලුවක් වී තිබූ අතර සමලිංගික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සියයට 0.2ක් ප්‍රමුඛත්වය හිමි විය යුතු බව පෙන්වා දි තිබිණි. ඒ අනුව වත්මන් ආණ්ඩුවෙහි ගමන් මඟ සම්බන්ධයෙන් වඩා ගැටලුකාරීව පවතින්නේ දූෂණ,වංචා සහ අපරාධ මැඬලීම සම්බන්ධයෙන් වන මන්දගාමීත්වය ය. එනම් නීතිය සහ විධානය ක්‍රියාත්මක වීම අපේක්ෂාකරණ බව ය. ඒ අනුව දූෂණ, වංචා සහ අපරාධ සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩිව කටයුතු කිරීම, ආර්ථික ස්ථාවරභාවය සහ නව ව්‍යස්ථා ප්‍රතිසංස්කරණයක ප්‍රතිලාභය ගැන සමස්ත පුරවැසියාව දැනුවත් කරන ප්‍රමාණය අනුව මීට වඩා සුබදායක ප්‍රතිඵලයක් අපේක්ෂා කළ හැකිය.

එනමුත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ඇති ජනතා කැමැත්ත පදනම් කරගෙන එම ව්‍යවස්ථා සංශෝධනය පමණක් සිදු කර අත පිහ ගැනීමේ ශ්‍රීලනිප අපේක්ෂාව ඉදිරියේ දී මුදුන් පමුණුවා ගැනීමේ උත්සාහයන් ද ක්‍රියාත්මක වීමේ හැකියාවක් ඇත. එමෙන්ම ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන වෙන වෙනම ගෙන එකින් එක ජයග්‍රහණය කිරීම මඟින් ජනාධිපතිවරයා දුන් පොරොන්දු ඉටු කර ගත හැකි බවට ආකර්ෂණීය වදන් සමඟින් ජනාධිපතිවරයාව නොමඟ යැවීම ද සිදු විය හැකිය.

හොරගල් ඇහිදීම

කෙලින්ම නහය ඇල්ලීමේ හැකියාව තිබිය දී කන වටෙන් අත දමා නහය ඇල්ලීමට ද පුළුවන් බව ඇත්තය. එහෙත් වත්මන් ආණ්ඩුවට තව ඇත්තේ වසර 3කට ආසන්න කාලයක් පමණි. එයිනුත් එළඹෙන පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ ජයග්‍රහණය කිරීමට ප්‍රමුඛතාවය නිතැතින්ම දිය යුතු වීම මත කිසිදු විවාදාත්මක කරුණකට අත ගැසීමට එජාපය හෝ ශ්‍රීලනිපය කැමැති නොවනු ඇත. ඒ අනුව වසර තුනක කාලය තුළ පොරොන්දු ඉටු කිරීමේ අභියෝගය ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සතුව පවතී. කඩින් කඩ ජනමත විචාරණ ගණනාවක් පැවැත්වීමේ ප්‍රායෝගිකව සිදු කළ හැකි නොවේ. මේ අනුව නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනමත විචාරණයකට යෑම සුදුසුම විසඳුම වනු ඇත. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂාව ද එය විය යුතු අතර එය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එක වේදිකාවක් මතට පැමිණ මෙම අවශ්‍යතාව රටට පැහැදිලි කර දිය යුතුය. දේශපාලනයේ පාර්ශ්විකභාව වෙනුවෙන් හොර ගල් අහුලමින් තවදුරටත් මේ පක්ෂ දෙකට ගමන් කළ හැකි දුරක් නැත. අප යෝජනා කරන්නේ මීට වඩා සත්‍යවාදී ලෙස උපක්‍රමික ලෙස කටයුතු කළ යුතු බවය. කෙක්කෙන් කළ නොහැකි නම් කොක්කෙන් හරි ජනතාව හමුවේ දුන් පොරොන්දු ඉටු කිරීම විය යුතු බව ය. එසේ නොමැති වුව හොත් 2020 දී දෙපාර්ශ්වයටම සිදු වන්නේ මිදි තිත්ත යැයි පවසා පැත්තකට වන්නටය.

සුජය

උපුටාගත්තේ සත්හඬෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *