විශේෂාංගඋපුටාගැනීම්

මාධ්‍යවේදීන් දඩයම් කළ ගිය ආණ්ඩුවේ හමුදා ඒකකය!

යුද සමයේ දී මෙන්ම යුද්ධයෙන් අනතුරුවත් ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය සක්‍රියව පවත්වාගෙන ගිය අතර මෙම බුද්ධි අංශය බාරව සිටියේ එවකට කර්නල් අමල් කරුණාසේකර ය. ඔහු වර්තමානයේ කිලිනොච්චි ආඥාපති ලෙස සේවය කරමින් සිටී. බුද්ධි අංශ ප්‍රධානියා ලෙස අමල් කරුණාසේකර මහතා එවකට වගකියනු ලැබුවේ හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතාටය. එහෙත් ඔහු හා එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සමීප සම්බන්ධතාවක් තිබුණු බව මෙම විමර්ශනවල දී පරීක්ෂා කිරීමට ලක් කරන ලද දුරකථන ඇමතුම්වලින් හෙළිව තිබෙන බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි. එමෙන්ම එවකට ජාතික බුද්ධි සේවය ලෙස පවත්වාගෙන ගිය බුද්ධි අංශයේ මෙහෙයුම් මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ යටතේ සිදු විය. එම බුද්ධි අංශය වගකියනු ලැබුවේ ආරක්ෂක ලේකම්වරයාට පමණකි. හෙන්දාවිතාරණ මහතා මේ වන විට ගාලු මුවදොර ෂැංග්‍රිලා හෝටල් ව්‍යාපෘතියේ ආරක්ෂාව භාර නිලධාරියා ලෙස සේවය කරන බව ද වාර්තා වේ.


පසුගිය රාජපක්ෂ සමයේ දී මාධ්‍යවේදීන් දඩයම් කිරීම සඳහා විශේෂ හමුදා බුද්ධි ඒකකයක් ක්‍රියාත්මක වී ඇති බව අනාවරණය වේ. මෙම තොරතුරු අනාවරණය වන්නේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් රහස් පොලීසිය සිදු කරමින් පවතින විමර්ශන අතරතුරේදීය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය යටතේ සිටි නිලධාරීන් පිරිසකගෙන් මෙම විශේෂ ඒකක ගොඩනඟා ඇති අතර ඔවුන්ගේ රාජකාරිය වී ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව උතුරු නැඟෙනහිර පළාත් සහ දකුණේ සිදු කරනු ලබන මෙහෙයුම් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ කරන මාධ්‍යවේදීන් හඹා යාමය. එහි දී ආණ්ඩුව විවේචනයට ලක් කරමින් සිටි මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම, පහර දීම, පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම හා ඝාතනය කිරීම මෙම ඒකකය විසින් සිදු කොට ඇති බව හෙළිව තිබේ. ඒ අතර උතුරු නැගෙනහිර පළාත්වල මාධ්‍යවේදීන් 30 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම දකුණේ දී සිදු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා කීත් නොයාර් හා උපාලි තෙන්නකෝන් යන මාධ්‍යවේදීන්ට පහර දීම මෙම ඒකකය මඟින් සිදු කර තිබේ. එසේම ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ද මෙම ඒකකයේ සම්බන්ධතාවක් තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

කිත් නොයාර් මහතාට පහර දීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 5 දෙනා සිය මෙහෙයුම් සම්බන්ධයෙන් තවත් හෙළිදරව් කිරීම් කිහිපයක් සිදු කොට ඇති බවත් වාර්තා වේ. මෙම පිරිසේ ප්‍රධානියකු වන මේජර් ජෙනරාල්වරයකු සිය මෙහෙයුම් සම්බන්ධයෙන් වගකියනු ලැබ ඇත්තේ එවකට බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරටය.

කෙසේ නමුත් යුද සමයේ දී මෙන්ම යුද්ධයෙන් අනතුරුවත් ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය සක්‍රියව පවත්වාගෙන ගිය අතර මෙම බුද්ධි අංශය බාරව සිටියේ එවකට කර්නල් අමල් කරුණාසේකර ය. ඔහු වර්තමානයේ කිලිනොච්චි ආඥාපති ලෙස සේවය කරමින් සිටී. බුද්ධි අංශ ප්‍රධානියා ලෙස අමල් කරුණාසේකර මහතා එවකට වගකියනු ලැබුවේ හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතාටය. එහෙත් ඔහු හා එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සමීප සම්බන්ධතාවක් තිබුණු බව මෙම විමර්ශනවල දී පරීක්ෂා කිරීමට ලක් කරන ලද දුරකථන ඇමතුම්වලින් හෙළිව තිබෙන බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි. එමෙන්ම එවකට ජාතික බුද්ධි සේවය ලෙස පවත්වාගෙන ගිය බුද්ධි අංශයේ මෙහෙයුම් මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ යටතේ සිදු විය. එම බුද්ධි අංශය වගකියනු ලැබුවේ ආරක්ෂක ලේකම්වරයාට පමණකි. හෙන්දාවිතාරණ මහතා මේ වන විට ගාලු මුවදොර ෂැංග්‍රිලා හෝටල් ව්‍යාපෘතියේ ආරක්ෂාව භාර නිලධාරියා ලෙස සේවය කරන බව ද වාර්තා වේ. මෙම හෝටල් ව්‍යාපෘතිය සඳහා ෂැංග්‍රිලා සමාගමට මෙම ඉඩම සින්නක්කරව ලබා දුන්නේ රාජපක්ෂ සමයේදීය. මෙම ඉඩමේ මීට පෙර තිබුණේ යුද හමුදා මූලස්ථානය ය.

කෙසේ නමුත් මාධ්‍යවේදීන් දඩයම් කිරීමේ බුද්ධි ඒකකයේ ආරක්ෂක නිවස්නය කොළඹ එල්ෆින්ස්ටන් රඟහල අසල ඇති ට්‍රිපොලි හමුදා බැරැක්කය තුළ පවත්වාගෙන ගොස් තිබේ.

2009 වසරේ අගභාගයේ දී අමල් කරුණාසේකර තුර්කියේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයට අනුයුක්ත කරනු ලැබූ අතර එහි දී ඔහුගේ රාජකාරිය වී තිබුණේ අප්‍රිකාව තුළ එල්ටීටීඊ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමසිලිමත් වීමය.

රාජපක්ෂවරු හා විරසක වී එවකට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමත් සමඟ ලසන්ත ඝාතනය හා නොයාර්ට හා තෙන්නකෝන්ට පහර දීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට ආරක්ෂක ලේකම්වරයා කටයුතු කළ අතර ඒ වෙනුවෙන් සාක්ෂි ලබා ගැනීමට අමල් කරුණාසේකර මහතා මෙරටට කැඳවනු ලැබීය. එහෙත් එම විමර්ශනවල දී අමල් කරුණාසේකර මහතා එම සිදුවීම් සම්බන්ධයෙන් කිසිදු කරුණක් හෙළි කිරීම සිදු නොකිරීම හේතුවෙන් ඔවුන් අතර විරසකයක් ඇතිව තිබෙන අතර පසුව බුද්ධි අංශ ප්‍රධානී ඔහුව ඉවත් කරනු ලැබීය.

කෙසේ නමුත් යුද හමුදා බුද්ධි අංශ සඳහා පැවරුණ නිශ්චිත රාජකාරී අතර ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කිරීම, දේශීයව හා ජාත්‍යන්තරව මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කරුණු ගැන සෙවීම හා මෙරට සංවිධානාත්මක අපරාධ (පාතාල ක්‍රියාකාරකම්) සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම ආදිය වෙයි.

එහෙත් මාධ්‍යවේදී දඩයම ඊට පරිබාහිරව කෙරුණු කටයුත්තක් වේ. එසේම මේ බුද්ධි අංශවල කටයුතු කළ දක්ෂයන් පෞද්ගලික පලිගැනීම සඳහා යොදාගෙන තිබෙන බව ද මේ වන විට හෙළිව ඇත. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කිත් නොයාර්ට හා උපාලි තෙන්නකෝන් යන අයට පහර දීම පෞද්ගලික පළිගැනීම් ලෙස සිදුව තිබේ.

මේ අතර බළඇණි හතකින් යුතුව 7000කට වැඩි සෙබළ පිරිසකගෙන් සමන්විත හමුදා බුද්ධි අංශය පුළුල් කරනු ලැබුවේ යුද ජයග්‍රණයෙන් පසුව වීම ද විශේෂත්වයකි. යුද සමයේ වව්නියාව, යාපනය හා මින්නේරිය බළඇණි තුනක් සහිතව සෙබළුන් 4000කට ආසන්න සංඛ්‍යාවකින් යුතුව ක්‍රියාත්මක වූ හමුදා බුද්ධි අංශය මේ වන විට ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, මුලතිව් හා කොළඹ වැනි නගරවල ද සිය බළඇණි ස්ථාපිත කර තිබේ.

සුභාෂ් ජයවර්ධන ( සත්හඬ පුවත්පත)

උපුටාගත්තේ SLG

Leave a Reply

Your email address will not be published. Required fields are marked *