විශේෂාංගඋපුටාගැනීම්වීඩියෝ

නාවික හමුදාපතිගේ සේවා දිගුව: රැවුලත් බේරාගෙන කැඳ බීම

ආණ්ඩුවක් යනු පත්වන නායකත්වය වටා ආවතේවකරුවන් බිහි වීම නොවේ. එවැනි තත්වයක සිදුවන්නේ සෑම විටම පුරසාරම් සහ පුහු වර්ණනා ආදියෙන් නායකත්වය වර්ණවත් කොට තම පෞද්ගලික අරමුණු දිනාගන්නා පිරිසක් බිහිවීම පමණි. වචන වලින් සිදුකරණ රඟපෑම තමන්ට ප්‍රායෝගිකව කළ නොහැකිනම් සිදුවන්නේ නායකත්වයට නොදැනීම නායකත්වය සතු බලය මෙන්ම ඊට හිමි ගරුත්වය දිය වී යෑම පමණි. එසේම, ආණ්ඩුවක් බිහි කිරීමේ පුරෝගාමීන් අමතක කොට හෝ ඔවුහුගේ මතය ප්‍රතික්ෂේප කිරීමෙන් ආණ්ඩුවේ මූලික අපේක්ෂාවන් දිනා ගැනීම විහිළුවකි.


මෙම ලිපිය  සත්හඬ පුවත්පතේ 2017 පෙබරවාරි 26 කලාපයේ පළමුවෙන් මුද්‍රණය විය


නිලන්ත ඉලංගමුව

අපේක්‍ෂාවන් මුදුන්පත් වීමේදී ඒවායෙහි ඇති දේශපාලන හැඩහුරුව හඳුනා ගැනීමට ගතවන කාලය අනුව එම අපේක්ෂාවන් වල ඇති වැදගත්කම තීරණය වේ. වත්මන් ආණ්ඩුව විශේෂයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමි ප්‍රමුඛ කණ්ඩායම විසින් මූලික අඩිතාලම දැමු දේශපාලන ව්‍යාපාරය විසින් ඇතිකළ දේශපාලනය රටට බලපා ඇති ආකාරය සහ එහි අරමුණු මුදුන්පත් කරගෙන ඇති ආකාරය දෙස බැලීමේදී මෙම කාරණයේ යම්කිසි මට්ටමක් හඳුනා ගත හැකිය. යහපාලනය හුදු වාග්මාලාවක් බවට පමණක් නොව හිතලුවක් බවට පත්වෙමින් තිබේ. එනම්, යහපාලනය නමැති මූලික පරිපාලන සංකල්පීය රටාව කෛරාටක භාවිතයක මැතිවරණ ගුන්ඩුවක් පමණක් වීමේ අවදානමක් මතු වී තිබේ.

දුෂණ සහ වංචාව පිටුදැකීමට පාරම්බාන ඕනෑම ආණ්ඩුවක් සහ එහි නායකත්වය කිසිඳු ලෙසකින් රටට අවාසි සහගත ලෙස සම්මුතිවලට නොයායුතු ප්‍රධාන ක්ෂේත්‍ර ලෙස ආරක්ෂාව, ආහාර, සෞඛ්‍ය, ප්‍රවාහන සහ අධ්‍යාපන යන ක්ෂේත්‍ර හැඳින්විය හැකිය. මෙම ක්ෂේත්‍ර සියල්ලටම දීර්ඝ කාලීන රාජ්‍යය ප්‍රතිපත්ති අත්‍යවශ්‍යය වේ. දේශපාලන පක්ෂ සංධානගත වීම වූ කලී එවැනි දිගු කාලීන රාජ්‍යය ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට සහ ඒවා වෙනස් නොකළ හැකි පරිදි නීති සකස් කිරීම සඳහා ඉතාම වැදගත් සහ වටිනා අවකාශයක් නිර්මාණය වීමකි. එනයින් බලන කළ වත්මන් යහපාලන ආණ්ඩුව මඟහරිමින් සහ ආණ්ඩුවට මඟ හැරෙමින් තිබෙන්නේ මෙම මූලික කාරණයයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර බරපතළ දේශපාලන විසංවාදයක් මෙන්ම විරෝධයක් ඇතිබවට ජනතාවට දැනෙන අවස්ථා රාශියක් මතු වී ඇත. එසේම, පරිපාලනයට මැදිහත් වී සිටින බොහෝ දෙනෙකු එලොවටත් නැති මෙලොවටටත් නැති මට්ටමට තල්ලු වී සිටිති. මෙවැනි තත්වයක් තුළ රාජ්‍යය ආයතන තවදුරටත් බංකොලොත් වීම සහ දූශිතයින්ගේ පාරාදීස බවට පත්වීම වැළක්විය නොහැකිය.

ආණ්ඩුවක් යනු පත්වන නායකත්වය වටා ආවතේවකරුවන් බිහි වීම නොවේ. එවැනි තත්වයක සිදුවන්නේ සෑම විටම පුරසාරම් සහ පුහු වර්ණනා ආදියෙන් නායකත්වය වර්ණවත් කොට තම පෞද්ගලික අරමුණු දිනාගන්නා පිරිසක් බිහිවීම පමණි. වචන වලින් සිදුකරණ රඟපෑම තමන්ට ප්‍රායෝගිකව කළ නොහැකිනම් සිදුවන්නේ නායකත්වයට නොදැනීම නායකත්වය සතු බලය මෙන්ම ඊට හිමි ගරුත්වය දිය වී යෑම පමණි. එසේම, ආණ්ඩුවක් බිහි කිරීමේ පුරෝගාමීන් අමතක කොට හෝ ඔවුහුගේ මතය ප්‍රතික්ෂේප කිරීමෙන් ආණ්ඩුවේ මූලික අපේක්ෂාවන් දිනා ගැනීම විහිළුවකි.

මෙම තත්වය තුළ වත්මන් ආණ්ඩුව සිර වී සිටින්නේ හුදු ජාතිකත්වය, දේශීය-වීරත්වය ( තමන්ගේම පුරවැසියන් මරාදමා වීරයින් වීමේ උමතුව) සහ නව-ලිබරල් ආර්ථික මොඩලය තුළ මතුපිටට පැමිණි හොරුන්ගේ දෑත් මත පමණක් නොව, ඊට වඩා ඉතා ගැඹුරු සමාජ සහ දේශපාලන වටපිටාවක් තුළය. දේශපාලනික වශයෙන් රටක ජනතාවක් සහ පරිපාලනයට හවුල්වන ප්‍රධාන පිරිස “තුෂ්නීම්භූත” සහ “අනාරක්ෂිත” වටපිටාවක් තුළ තබා ගැනීම එතරම් යෝග්‍යය තත්වයක් නොවේ. හිටපු කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ, විප්ලවයෙන් පසු තම රාජ්‍යය ප්‍රතිපත්ති වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා පළමුව රජයට පවරා ගනු ලැබුවේ තමන්ගේ පවුලට අයත් උක්ගස් වතුය. කියුබානු මොඩලය නිවැරදි එකක් හෝ මෙම ලේඛකයා විසින් පිළිගන්නා එකක් යැයි අර්ථගැන්වීම මින් කියවෙන්නේ නැත. නමුත් දේශපාලන ව්‍යාපාරයක ප්‍රතිපත්තිය, ප්‍රතිපත්තියක් නොමැතිවීම වූ කලී එය විසින් ඉතාම අවාසනාවන්ත තත්වයකට රට ඇද දැමීමකි. එසේම, රටක ගැඹුරට විහිදී ගිය ගැටලු විසඳිය හැක්කේ එම ගැටලු වල ඇති සත්‍යය තත්වය පැහැදිලි කරගැනීමෙන් සහ අවංකව පිළිගැනීමෙන් මිස, ඇත්ත සඟවා තැබීමෙන් නොවේ.

චන්ද්‍රිකාගේ “චෝදනාව” බොරුවක්ද?

මෙම කාරණයේ මූලික සිදුවීමක් පසුගියදා වාර්තාවිය. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කොළඹ ලැගුම්ලා සිටින විදෙස් මාධ්‍යවේදීන් හමුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි. එනම්, මෙරට ආරක්ෂක හමුදාවේ ඇතැම් නිලධාරීන් කාන්තාවන් ලිංගිකව අපහරණය කොට ඇති බවය. ඇගේ අදහස අලුත් කාරණයක් නොව, නමුත් ඇත්ත සඟවා තම පැවැත්ම තහවුරු කර ගැනීමට උත්සහ දරණ අයවලුන්ට එවැනි දෑ තළුමරමින් අනුභව කොට හිටපු ජනාධිපතිවරියට එරෙහිව අවළාද නැගිය හැකිය. එසේම ඇගේ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා යුදහමුදාවද නිවේදනයක් නිකුත් කරනු ලැබීය. එය සාමන්‍යයෙන් සිදුවන “රාජකාරිමය” කටයුත්තකි. නමුත් සතිය අවසානය වනවිට ඇගේ මෙම කාරණය දේශපාලනික වශයෙන් ඩැහැ ගැනීමට දේශපාලනික කණඩායම් උපරිම උත්සාහය ගනිමින් තම කුඹුල් කඳුළු වැගිරීම මාධ්‍යය ඔස්සේ සිදු කළහ.

සෑම විටම වර්ගවාදී නැඹුරුවකින් රටේ මූලික ගැටලු දෙස බැලීම සඳහා නිර්මාණය කොට ඇති සංස්කෘතික මානසිකත්වය හමුවේ උතුරේ සිටින ශ්‍රී ලාංකික දෙමළ පුරවැසියන් මුහුණ දුන් තත්වය මදකට පැත්තකින් තබබමු. සත්‍යය සමාජ තත්වය හඳුනා ගැනීම සඳහා 1988 -89 යන කාල වලදී දකුණ යැයි ව්‍යවහාරිකව භාවිතා කරන කොටස තුළ සිදු වූ සමාජ ව්‍යහසනය ගෙන බලමු. මීට වසර හයකට පෙර කොළඹ පිහිටි සිවිල් අයිතිවාසිකම් උදෙසාවන සංවිධානයකින් එක්තරා සම්මුඛ සාකච්ඡාවක් පටිගත කොට පල කරනු ලැබීය. ප්‍රේමසිලි නමැති මහත්මියක මුහුණ දුන් ඛේදජනක අත්දැකීමක් අදාළ වීඩියෝ පටය සඳහා පදනම වූ අතර, ඇය තමන්ගේ ස්වාමිපුරුෂයා සොයා යාමේදී සිදු වූ අත්දකීම එහිදී විස්තර කරනු ලැබුවාය. එහිදී ඇය රටේ ආරක්ෂක අංශවල සාමාජිකයින් කටයුතු කළ ආකාරය ගැන ඉතාම සංවේදී හෙළිදරව්වක් කරනු ලබන්නීය. තමන්ට මුහුණ දීමට සිදු වූ ඛේදවාචකයෙන් වසර ගණනාවකට පසු මාධ්‍යය ඉදිරියේ කතා කිරීමට තීරණය කළ ඇය, එක්තරා යුදහමුදා නිලධාරියෙකු විසින් කාන්තාවන්ට සිදුකළ ලිංගික අපහරණය සහ ඔහු තමන්ගේ සගයින්ට කාන්තාවන්ට එරෙහිව හිංසා කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් එහිදී කතා කරනු ලැබුවාය.

( අදාළ වීඩියෝ පටය නරඹන්න )

සිංහල පවුල්වල සාමාජිකයින්ට මෙසේ ඛේදවාචක වලට මුහුණදීමට සිදුවන විට ශ්‍රී ලාංකික දෙමළ ජනතාව ඉන්දු-ලංකා ගිවිසුම ඔස්සේ ලබාදුන් බූදලය වූ ඉන්දියන් හමුදාවේ බරපතල අතවර වලට මුහුණ දීමට සිදුවිය. මෙම වේදනාවන් දෙකම පොදු නොවන්නේද? එවැනි දෙයක් පසු කාලයක සිදු වූ ගැටුම් වලදී සිදු නොවුණේ යැයි කීමට හැකි පිළිගත් නීතිමය ලියවිල්ලක් හෝ තීන්දුවක් ජනතාවගේ පරිහරණය සඳහා තිබේද? එසේම, ප්‍රේමසිලී වැනි කාන්තාවන්ට යුක්තිය ඉටුකිරීමට නොහැකි වූ පරිපාලනයක් අනෙකුත් ජනතාව ගැන තැකීමක් කරනු ඇතැයි විශ්වාස කළ හැකිද?

ප්‍රේමසිලී වූ කලී මෙම ඛේදවාචකය ගැන කතා කිරීමට ඉදිරිපත් වූ එක් කාන්තාවක් පමණි. නමුත් එවැනි දුක් කන්දරාවක් ඔළුවේ රඳවාගෙන මහපොලවට යට වූ සහ තවමත් කෙසේ හෝ පණනල ගැටගහ ගැනීමට පමණක් සමත් වූ ජනතාවක් නොමැතිද? සිංහල ජනතාව මුහුණ දුන් තත්වය ඉතාම ක්‍රමානුකූලව යටපත් කිරීමට හැකි විය. මන්ද සිංහල ජනතාව අතර ඇති මූලික සංස්කෘතික අඥානය දේශපාලනික වශයෙන් ඉතාම අවලස්සන ලෙස භාවිතා කළහැකි බැවිනි. නමුත් ජාත්‍යන්තරීකරණය වී තිබූ දෙමළ ජනතාවගේ ගැටලුව එසේ යටපත් කිරීමට නොහැකි විය. මෙම ඇත්ත තේරුම් ගැනීමකින් තොරව සමාජ ගැටලු විසඳීමට හැකි යැයි සිතීම මුලාවක් මෙන්ම රැවටීමක් නොවන්නේද?

රාජ්‍යයට අතවශ්‍යය මූලික කාරණය වන්නේ නැති වී ගිය විශ්වාසය ගොඩ නැගීමය. එවැනි විශ්වාසයක් ගොඩ නැගීමට අවශ්‍යය වන්නේ නම් පළමුව ආමන්ත්‍රණය කළ යුත්තේ සත්‍යයට මිස, හොරකෑම සඳහා නිර්මාණය කරගෙන ඇති අමුලික බොරු ආටෝප වලින් නිර්මාණය කරගත් සුරංගනා ලෝකයට නොවේ. පිළිගත යුත්තේ සත්‍යයයි.

රවීට ලැබුණු එහාටත් නැති මෙහාටත් නැති සේවා දිගුව

මෙම තත්වය හමුවේ පසුගිය සතිය තුළ ආරක්ෂක ක්ෂේත්‍රය තුළ සිදු වූ මූලික සිදුවීම වූයේ බොහෝ දෙනෙකු අපේක්ෂා නොකළ මට්ටමේ සේවා දිගුවක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට ලබා දීමට සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කිරීමයි. මාස හයක සේවා දිගුවක් වූ එය ඔහුට ලැබුණු උපන්දින ත්‍යාගයක් ලෙස බොහෝ දෙනෙකු හඳුන්වති. මෙම කාරණය සම්බන්ධයෙන් ඉතාම තුලනාත්මක කතුවැකියක් ලිවීමට “ද අයිලන්ඩ්” පුවත්පත කටයුතු කළේය. රාජ්‍යය ආයතන වල සිදුකරණ පත්කිරීම සහ සේවා දීර්ඝ කිරීමවලදී අනුගමනය කළ යුතු මූලධර්ම නොසලකා හැරීම ඔස්සේ සිදුවන හානිය සම්බන්ධයෙන් කතුවරයා ඉදිරිපත් කිරීමට වෙරදරා ඇති මතය ඉතාම වැදගත් වේ. මූලධර්ම වලට යටත්ව ගත් කළ අදාළ කතුවරයා සමඟ එකඟවිය හැකිය. නමුත් මෙම කාරණය හමුවේ වත්මන් නායකත්වය දේශපාලනික වශයෙන් කටයුතු කළ අකාරය ගැන විමසා බැලීමද වැදගත් වේ.

පකිස්තානයේ කළ නිල සංචාරයෙන් පසු, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මූලික වශයෙන් අනුමාන කළ කාරණය විය හැක්කේ විශ්‍රාම යෑමෙන් පසු මීළඟට තමන් සිදුකිරීමට නියමිත කටයුත්ත විය හැකිය. නමුත් තම උපන්දිනය යෙදී තිබූ පසුගිය 22 වන දින ඔහුගේ සේවය මාස හයකට දීර්ඝ කිරීමෙන් පසු එළඹෙන අගෝස්තු මාසය දක්වා ඔහුට සේවය කිරීමට අවශ්‍යය පසුබිම සකස් වී තිබේ. ඔහුට සුභ උපන්දිනයක් මෙන්ම මාස හයක සේවා දිගුව ඉතාම සාර්ථක එකක් බවට පත්කර ගැනීමට හැකිවේවා යැයි සුභ ප්‍රාර්ථනය කරන්නෙමු.

ජනාධිපතිවරයා මෙහිදී ඉතාම සූක්ෂමව තම දේශපාලන ඉත්තන් සමඟ සෙල්ලම් කිරීමට උත්සහ දරා ඇති අතර එය නාවික හමුදාවට හෝ ශ්‍රී ලංකා රාජ්‍යයට යහපතක් නොවන කාරණයක් බව සැබෑය. මන්ද මාස හයක සේවා දිගුවක් ලබා දීමෙන් ආයතනයේ සිටින අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියල්ලම යළිත් තුෂ්නීම්භූත තත්වයකට තල්ලුකොට තිබේ. නාවික හමුදාපතිවරයාගේ මාස හයේ සේවා දිගුව අවසන් වීම සිදුවන්නේ ජ්‍යෙෂ්ඨත්වය අතින් දෙවැනියාවන රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා විශ්‍රාම යෑමට මාසයකට පෙරය. නමුත්, ජනාධිපතිවරයා වසරක සේවා දිගුවක් වත්මන් නාවික හමුදාපතිවරයාට ලබා දුන්නේ නම්, මේවන විට සේවයේ නිරත ප්‍රධාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු වන රියර් අද්මිරාල් ට්‍රැවිස්, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මෙන්ම රියර් අද්මිරාල් නීල් රොසයිරෝ විශ්‍රාම ගොස් මීළඟට දෙවනියා ලෙස පත්වීමට සුදුසුකම් සම්පූර්ණ කරනු ලබන්නේ උතුරු නාවික විධානයේ ප්‍රධානි රියර් අද්මිරාල් පියාල් ද සිල්වා මහතාය. මෙම වටපිටාව තුළ, ජනාධිපතිවරයා එළඹෙන අගෝස්තු මාසයේ ගැනීමට නියමිත තීරණය සඳහා මේවන විටත් විවිධ පාර්ශවයන් තම හැකිපමණින් දේශපාලන මෙහෙයුම් ආරම්භ කොට ඇතිබව සැලයි.

ජනාධිපතිවරයා කිසිවකුගේ බලපෑමකට හෝ කාරුණික ඉල්ලීමකට වත්මන් නාවික හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබා දුන් බවක් විශ්වාස කිරීමට හැකි සාධක නොමැති නමුත් මෙහිදී මතුවූ දේශපාලනික හැඩතලය කදිමය. විශ්වාසදායක ආරංචිමාර්ග වලට අනුව මෙම කාරණය මූලික කරගනිමින් මතුවූ මූලික දේශපාලනික වටපිටාවක් තිබේ. එනම්, නාවික හමුදාවේ කාර්යය මණ්ඩල ප්‍රධානි ලෙස කටයුතු කරන රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ඇතුළු කණඩායම විසින් විශාල සහයෝගයක් ලබාදෙන්නේලු. අනෙක් පසින්, නැගෙනහිර නාවික විධානයේ ප්‍රධානි රියර් අදමිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාට එක්සත් ජාතික පක්ෂයේ විශාල සහයෝගයක් ලැබෙන්නේලු. පසුගිය සතිය මුල් වන විට මෙම කාරණය මූලික කරගනිමින් දේශපාලනික කුණාටුවක් මතු වූ බවත්, එම කුණාටුව හමුවේ තම රුවල ආරක්ෂාකාරීව පැදවීමට වත්මන් නාවික හමුදාපතිවරයාට හැකි වූ බවත් කියවේ. එහි ප්‍රතිඵලය ලෙස, තම විශ්‍රාම යෑමට දිනකට පෙර සේනාධිනායකයාගෙන් , “ඔයා ඔහොම කරගෙන යන්නකෝ”, නමැති සුමිහිරි වදන් ඇසුණු බව සඳහන් වේ.

රවී ඉතාම දක්‍ෂ නිලධාරියෙකි. ඒ ගැන කිසිවකුට සැකයක් නොමැත. නමුත්, රාජ්‍යය ආයතනයකට අවශ්‍යය වන්නේ නිශ්චිත පරිපාලනමය වැඩපිළිවෙලක් ඇති කිරීම මිස අනපේක්ෂිත දෑ ඔස්සේ කෙටිකාලීන මානසික ප්‍රමෝදයක් ලබා දීම නොවේ. රටක සේනාධිනායකයාට එහිදී පැවරෙන වගකීම ඉතාම බරපතළ එකකි. එය දේශපාලනික වශයෙන් පමණක් ලඝු කිරීමට නොහැකිය. විශේෂයෙන් හමුදාපතිවරයෙකු විශ්‍රාම යෑමට මාස හකටවත් පමණ පෙර සිට මීළඟට එම ධූරය සඳහා වූ සුදුස්සා යෝජනා කිරීම මෙන්ම එම යෝජිත පුද්ගලයා සහ සේවයේ නිරත ප්‍රධානියා අතර හොඳ හිත ඇතිකිරීම ඉතාම වැදගත් වේ. එම භාරදූර කටයුත්ත “ඔයා ඔහොම කරගෙන යන්නකෝ” වැනි වචන වලට පමණක් සීමා කිරීම ඔස්සේ අදාළ ආයතන වල පරිපාලන ව්‍යුහය කඩාබිඳ දැමීමෙන් ආයතන ප්‍රධානියා හමුවේ මෙන්ම ඔහු යටතේ සේවය කරන අයවලුන් හමුවේ ඉතාම අස්ථාවර තත්වයක් ඇතිවේ. එවැනි තත්වයක් තුළ මතුවන්නේ සංගීත පුටු තරගයක මෙන් තම ආශාවන් සඳහා කුලල් කා ගන්නා පිරිසකි. හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් දයා සඳගිරි මහතාගේ සිට විරූප වූ පරිපාලන රටාව ක්‍රමවත් වැඩපිළිවෙලකට ගැනීම ඉතාම අතවශ්‍යය කාරණයකි. ඒ සඳහා වැදගත්වන්නේ විෂය දන්නා සහ එම විෂය රාජ්‍යය පැවැත්ම මෙන්ම දියුණුව උදෙසා භාවිතා කරන නිලධාරීන් පත් කිරීමය. එසේම එම නිලධාරින් අතර හොඳ හිත ඇතිකිරීමේ වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමය. නායකත්වය සාර්ථක එකක් බවට පත්වන්නේ එවිටය.

කෙසේ වෙතත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් විජේගුණරත්න මහතාට ලැබී ඇති මාස හයක කාලය තුළ මුහුණ දීමට සිදුවන අභියෝග රාශියකි. පළමුවැන්න ඇවන්ට් ගාඩ් සමාගම වටා නිර්මාණය වී ඇති නීතිමය කාරණය වේ. අදාළ නඩුව එළඹෙන මාර්තුවේ යළි විභාග වීම සඳහා නියමිතය. දෙවැන්න තමන්ගේ පූර්වගාමිකයින් විසින් සිදුකරනු ලැබූ මූල්‍යමය වංචා සහ අනෙකුත් අසමජ්ජාති කටයුතු වලට එරෙහිව කටයුතු කිරීමය. විශේෂයෙන් මාලිමා ව්‍යාපෘතිය මෙන්ම ඇවන්ට් ගාඩ් සමාගමෙන් ලැබීමට තිබූ විශාල මුදල් ප්‍රමාණය අදාළ ආයතනය විසින්ම ක්‍රමයෙන් අඩු කිරීම ආදී කාරණා රාශියකි. තුන්වැන්න, යෝෂිත රාජපක්ෂ නාවික නිලධාරියා සම්බන්ධයෙන් ආයතනයේ රෙගුලාසිවලට අනුකූලව ගත හැකි පියවර ගැනීමය. යෝෂිත නාවික හමුදාවට බැඳීමටත් පෙර, බ්‍රිතාන්‍යය රාජකීය නාවික ඇකඩමියෙන් ඔහුගේ “රාජකීය” පුහුණුවීමට අවශ්‍යය ලේඛණ සකස්කොට තිබුණි. එවකට පැවති ගැටුම් හමුවේ රටවෙනුවෙන් සටන් කිරීම සඳහා තමන්ගේම දරුවෙකු රටට ලබා දුන්නේ යැයි මීට පෙර සිටි නායකත්වය ව්‍යාජ කතා දෙඩුවද සත්‍යය ඊට වඩා හාත්පසින්ම වෙනස් එකකි. නාවික හමුදාවේ සිටි සැබෑ දක්ෂ නිලධාරීන්ට වලකපා තම දේශපාලන බලය ඉතාම අප්‍රසන්න ලෙස භාවිතා කරමින් අදක්ෂ පුද්ගලයෙකු රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු කිරීම කිසිවක් නොව මෙලොවදීම පටිසන් දියයුතු පාපයකි. එබැවින් ඉදිරි මාස හය තුළ මෙම කරණය සම්බන්ධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යය වේ. ඊට අමතවර, මේ වන විට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති නාවික හමුදාවේ ඇතැම් නිලධාරීන් විසින් සිදුකළ මානව හිම්කම් කඩකිරීම් ඇතුළු අනෙකුත් නීතී විරෝධී කටයුතු වලට එරෙහිව පියවර ගැනීමය. මෙම කාරණය ඉදිරි සති කිහිපය තුළදී රැස්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ බොහෝ දුරට ඉදිරිපත් වීමට ඉඩ තිබේ. රටේ නායකත්වයට දේශපාලනික වශයෙන් භාවිතා කිරීමට හැකි ඉතාම වැදගත් අවස්ථාවක් තිබියදී එය මඟ හැරීම ඔස්සේ තත්වය තවත් සංකීරණ වී තිබේ.

මෙම තත්වය හමුවේ, නාවික හමුදාපතිවරයාගේ මාස හයක සේවා දිගුව ජනාධිපතිවරයා රැවුලත් බේරාගෙන කැඳ බීමට උත්සහ ගැනීමක් ලෙස හැඳින්වීමේ වරදක් නැත. නමුත් හෙතමට සැබෑ ජීවිතයේ රැවුලක් නොමැති බව තේරුම් ගැනීමට තවත් කාලයක් ගත වනු ඇත. එසේම මෙහිදී සැබෑ ලෙස රැවුලත් බේරාගෙන කැඳ බී ඇත්තේ කවුරුන්ද යන්න කිව යුතු නොවේ. මේ සියල්ල හමුවේ රටේ ජාතික ආරක්ෂාව වටා ගෙතුණු දේශපාලනය ඇදෙමින් පවතින්නේ ඉතාම වැදගත් දිශානතියකටය.

උපුටාගැනීම: SLG

Leave a Reply

Your email address will not be published. Required fields are marked *