විශේෂාංගඋපුටාගැනීම්

පතිරණට ඊශ‍්‍රායෙල් පුහුණුව (සංහාරයකුගේ පාපොච්චාරණය -5)

ඒ රාජකීය විදුහලේ හැටිය. අනෙක් කවුරු මොනවා කළත් රෝයල් ගිය එකෙක් තව එකෙකුට ලේසියෙන් කපන්නෙ නැහැ. තමාට මෙම තනතුරට උසස් වන්නට පාසලේ උගත් ආදි ශිෂ්‍යයන් කොතරම් පිටිවහලක් වීද?

පතිරණගේ දෑසම තෙත් කරමින් ජෙනරල් විජය විමලරත්නගේ මතකය සිහියට නැගෙයි. පතිරණගේ ලොවේ අදටත් වීරයා ඔහුය. තම ජීවිත කාලය තුළ මෙරට, පිටරට කෙතරම් හමුදා නිලධාරීන් දකින්නට ඇද්ද. විජය විමලරත්නගේ අසලින් හෝ ඔවුන් තැබිය හැකි නොවේ. කොබ්බෑකඩුව හෝ සරත් ෆොන්සේකා ළඟින් යයි. නමුත් සම කළ නොහැකිය.

ෂෙහාන් සිටී. (වාඩිවෙයන්), ෂෙහාන් වාඩි වෙයි.

”සර් උදෙන්ම ආවද.”

”ඔව් මචං අපි පාන්දරම ආවා… බං. බලන්ගොඩ පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා…”

”නෑ…”

”ඔව්. ලොකු අවුලක් නෑ. අපි වෙලාවට ආවා.”

”කොහොමද මචං ජීවිතේ…”

” ඕකේ. සර්…”

”මම තව ටික දවසක් මෙහෙ ඉන්නවා. කෝසස් ඉවර වෙන්නෙ තව මාස දෙකකින් විතර.” ෂෙහාන් කියයි.

” ඕකේ මචං…”

”ෆැමිලි එක”

” ඕකේ… සර්…”

අල්ලාප සල්ලාපය අතර හිමාල් ෂෙහාන්ට ද තේ එකක් හා වැලිතලප හා කෙසෙල් ගෙනෙයි. තව මුලක් දිග අරින අතර පතිරණ මැදට පනී..

”මේජර් නානායක්කාර කොහෙන්ද වැලිතලප….”

”සර්.. අර අධ්‍යාපන මැඩම් දුන්නා….”

”ඔයත් මැඩම්ට මොනව හරි දුන්නද?…”

”මචං ෂෙහාන් මූට මෙහෙ අධ්‍යාපන කෑල්ලක් සෙට්වෙලා…”

”ඒකි මගේ කාර් එකත් හප්පලා මගේ පී.ඒත් අරගෙන මාර කේස් එක..” (තිදෙනා සිනාසෙයි)

දැන් හිමාල් නැත. ඒ වෙනුවට මේජර් නානායක්කාර ඇත.

”නානා කොහොමද?” ෂෙහාන් අසයි.

” ඕකේ. සර්..”

හිමාල් පිළිතුරු දෙයි.

ටිකකින් වාහන තුනක් හෝ හතරක් පිඹගෙන එනු පෙනේ. පතිරණ නැගිටින අතර අනෙක් තිදෙනා ද නැගිටී.

කමාන්ඩර්, පතිරණ සෙමින් මුමුණයි. පතිරණ සිටින නිවස්නයට මඳක් එහායින් හමුදාපති සඳහා වන නිවස්නය පිහිටා තිබේ. වාහන පෙළ මදක් ඉදිරියට ගොස් හදිසියේ නැවතුණි. ඒ අතර තිබූ සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. රථය, ජීප් රථ මෑත් කරමින් මඳක් පසුපසට පැමිණේ.

”මචං, කමාන්ඩර් මෙහෙට එනවා..”

පතිරණ සෙමින් මිමිණුවේය.

පතිරණ තම නිල ඇඳුම සකසමින් ඉදිරියට යයි. ඊට මඳක් පසුපසින් ශෙහාන් තම සිරුර ආයාසයකින් මෙන් ඍජු කර ගනිමින් ගමන් කරයි. මෙම නිවස්නයේ දොරින් එබුණ කොල්ලෝ දෙදෙනකු නැවත ක්ෂණයෙන්ම ඇතුළට දිව යයි.

රථයෙන් බැසගත් යුද හමුදාපතිවරයාට ඇසෙන දුරින් පතිරණ ආශිංෂණය කරයි.

”ගුඩ් මෝනිං සර්,” පතිරණ ආචාර කරයි. එමෙන්ම පතිරණ තම ප‍්‍රධානියාට නිවස්නයේ ආලින්දයට ඇරයුම් කරයි. ඉදිරි පුටුවකට බර වෙන හමුදාපතිවරයා කතාව පටන් ගනී.

”හව් ආ යූ පතී?” (කොහොමද?)

” ඕකේ සර්, ෆයින්, තෑන්ක්ස්” (මම හොඳින් සර්)

”ඩිඩ් යූ මීට් ඇන් ඇක්සිඩන්ට් ඔෆ් යුවර් වේ පතී?” (එන ගමනේ දී අනතුරක් වුණාද?)

”ඉට්ස් නතිං සර්, මයිනර් වන්…” (ඒක සුළු දෙයක් සර්)

මඟ දී සිදු වූ අනතුර පිළිබඳ හිමාල් හමුදාපතිවරයාගේ සහකරුට කියන්නට ඇත. කෙසේ හෝ අනතුර පිළිබඳ තම ප‍්‍රධානියාට ද සැලවී ඇත.

”සර් වුඩ් යූ ලයික් ටු හැව් අ කප් ඔෆ් ටී?” (සර් තේ එකක් බොන්න කැමැතිද?)

පතිරණ තම නිල ඇඳුම අතගාන ගමන් මහත් ගෞරව පූර්වකව අසයි.

හමුදාපතිවරයා පතිරණගේ ඉල්ලීම පිළිගනී.

” ඕ.කේ. පතී, නයිස් ටු හෑව් අ ටී…” (තේ එකක් බීම හොඳයි)

හමුදාපතිවරයා ෂෙහාන් දෙසට හැරේ…

”හඃ ෂෙහාන්, වට්ස් බ්‍රෝට් යූ හියර් ? (ෂෙහාන් මෙහේ ඇයි?)

”අයිම් ඉන් මිඩ්ල් ඔෆ් ද ස්ටාෆ් ටේ‍්‍රනිං සර්” (මම මාණ්ඩලික පුහුණුවට ආවා සර්)

” ඕ.කේ. … ෂෙහාන්.”

උණු තේ කෝප්පයක රස බැලූ හමුදාපතිවරයා, ටිකක් වෙලා අල්ලාප සල්ලාපයේ සිට තම නිවස්නයට යාමට පිටත් වේ.

”පතී… ඉන්වයිට් ෂෙහාන් ඕල් සෝ ෆෝ ද ලන්ච්…”

(පතී… ෂෙහාන්ටත් දිවා ආහාරයට එන්න කියන්න)

ෂෙහාන් ආරාධනය ගෞරවයෙන් පිළිගනී.

”ෂෙහාන් මචං, අද ඔන්න ඩිනර් එක මගෙ ගානෙ” පැවසූ පතිරණ හිමාල් දෙස බලා, ”මේජර් නානායක්කාර, අද ඩිනර් එකට අපි පස්දෙනෙක් වගේ ඉඳී, මොනවද අපි ගාව තියෙන්නේ?”

”සර් බ්ලැක් එකයි, රෙඩ් එකයි, පෙරේදා බ‍්‍රැන්ඩි කොටයයි තියනවා…”

”ආ. ඕකේ නානා දැට්ස් ඉනෆ්.” (ඒ ඇති)

” ඕ.කේ. දෙන් ෂෙහාන්, විල් මීට් අප් ඇට් වන්, ෆෝ ලන්ච්…

(හරි ෂෙහාන් අපි දවල් එකට කෑමට හමුවෙමු.)

ෂෙහාන්ට සමුදුන් පතිරණ තම කාමරයට ගියේය. හොඳින් උණු වතුර ස්නානය කොට තම බඩියාගේ ආධාරයෙන් සෙරමෝනියල් හෙවත් උත්සව නිල ඇඳුම ඇඳ තුන් හතර වරක් හැඩ බැලූවේය.

පතිරණ 12.50 වන විට දිවා ආහාරය සැලසුම් කොට තිබූ ස්ථානයට ගියේය. එකෙනෙහිම යුද හමුදාපතිවරයාත්, ආරාධනා ලැබූ කීප දෙනකුත් එහි ඇතුළු විය.

කෑම මේසය පළමුවෙන්ම නිල කතා, සාකච්ඡා සඳහා වෙන් විය. කඳවුරෙහි පවතින ගැටලූ ද, විවිධ අවශ්‍යතා ද, පුහුණු පාඨමාලාවල ගුණාත්මක බව වර්ධනය කළ යුතු ආකාරය ද සාකච්ඡා විය. ඉන්පසු කතා යොමු වුණේ තම තමන් කැඩෙට් නිලධාරියකුව පුහුණුවීම් කරද්දී දියතලාව කඳවුරේ ගෙවූ අවධිය හා රසවත් සිද්ධීන් පිළිබඳවය.

මෙහිදී පතිරණට යම් අපහසුවක් දැනුණේය. ඔහුට නොදැනීම දේහය මදක් වම් පසට ඇඹරුණේය. තමන්ට යමෙක් ඇණුම් පද කියන්නේ ද යන්න බැලීමට මෙන් ඔහු මදක් කෑම මේසය දෙසට නැවුණේය. මන්ද යත්, පතිරණ කිසිදු දිනක කැඩෙට් නිලධාරියකු හෙවත් ශිෂ්‍යභට නිලධාරියකු ලෙස නොසිටියේය. තම පියාගේ ඝාතනයෙන් අනතුරුව යුද හමුදාවට බැඳෙන විට ඔහු දෙවන වසරේ සරසවි සිසුවෙක්ව සිටියේය. ඒ 1988, මුළු රටම ජවිපෙ භීෂණයෙන් වෙලාගත් කාල පරිච්ජේදයයි. ප‍්‍රකට රගර් ක‍්‍රීඩකයකු ද වූ පතිරණ යුද හමුදාවට එක් වූයේ ඍජු නිලධාරී බඳවා ගැනීම් යටතේ ලූතිනන්වරයකු වශයෙනි. ඔහු ඉතා ටික කලක් දියතලාවේ ද ඉන්පසු ඊශ‍්‍රායලයේ ද පුහුණුව ලැබීය.

නමුත් මෙතන සිටින අන් සියල්ලන්ම ශිෂ්‍ය භට නිලධාරීන් ලෙස වසර එකහමාරක් පමණ දියතලාවේ පුහුණු වී දෙවන ලූතිනන්වරුන් වශයෙන් හමුදාවට එක් වූ අය වෙති. ඔවුන් හට තම දියතලා ජීවිතය ගැන රස කතා එමට තිබේ.

මෙතෙක් වේලා නිල කතා බහට වෙන් වූ මේසය දැන් මද ගාලගෝට්ටියකි. නිහඬව සිටි ලූතිනන් කර්නල්වරුද දැන් කතා කරයි. හමුදාපතිවරයා මාතෘකාව වෙනස් කරයි.

”ආ… පතී… දැන් යුද්ධෙත් ඉවරයි…. තවම ඉතින් පතී යන්ග් නෙ… මැරි කරන්න එහෙම අයිඩියා එකක් නැද්ද?”

”තවම ඉපැදිලා නෑ සර්…” පතිරණ සිනහ මුසුව කියයි.

”පත්තරේට දාමු.” කවුදෝ මදක් උස් හඬින් කියයි.

”මොකක් කියල ද ආමි බි‍්‍රගේඩියර් කෙනෙක්ට.. කෙල්ලෙක් සොයා ගන්න බෑ කියලද?” හමුදාපතිතුමා අසයි…

”මේ හලෝ පතිරණ, ඔහොම බෑ සික්ස් තර්ටි (6.30) වෙන්න කලින් මැරි කරනවා. නැත්නම් හෙන ප‍්‍රශ්න වෙයි මනුස්සයො…” හමුදාපතිවරයා නැවත කියයි. සියල්ලම නිහඬ වී හමුදාපතිවරයා දෙස බලයි…

”මොකක්ද සර් ඒ සික්ස් තර්ටි කතාවේ තේරුම?…” කර්නල් දිසානායක අසයි.

”ඇයි මනුස්සයෝ, සික්ස් තර්ටි කියන්නෙ කටුදෙකම බිමනෙ.. තේරෙන්නෙ නැද්ද? සික්ස් ෆෝටි ෆයිව් වෙනකල් තමා මැරි කරන්න ඕන….”

සියල්ලම මහ හඬින් සිනාසේ… දෙවනුව තම ප‍්‍රධානියා ද මෙතැන සිටින බව මතක් වී අතින් කට වසා බිම බලාගෙන සිනා වේ.

මෙම මේසයේ සිටින්නන්ගේ නිලය කුමක් වුවද ඔවුන් ඊලාම් යුද්ධයෙන් එක ලෙස පීඩා වින්දෝය. එකල දැඩි පීඩනයකින් වෙලී මරණයේ සේයාව තුළ ජීවත් වූ මොවුහු අද නිදහසේ සිනහ වෙයි.

නමුත් ඒ සිනහ උරුම කර දෙන්නට ඉවහල් වූ අභීත සෙන්පති සරත් ෆොන්සේකා අද සිර මැදිරියේ ය. ඒ වෙනුවට රට කරවන දේශපාලකයා හා සහෝදරවරු යුද්ධයේ ලකුණු දමා ගෙන සිටිති. ඔවුන් එකිනෙකා නගන සෑම සිනහවක යටින්ම ඔවුන් තම අභීත ජෙනරාල්වරයා ගැන දුක් වූහ. එළිපිට නොකීවත් තම ජෙනරාල්වරයා සිරගත කළ, හමුදා ගෞරවය උදුරා ගත් ජනාධිපතිවරයාට සිත යටින් ශාප කළහ.

දිවා ආහාරය අවසන්ව නැවත සවස 3.00ට විසිර යාමේ පෙළපාළියට සම්බන්ධ වන තුරු පිරිස විසිර ගියේ ය.

හරියට සවස 3.00ට යුද හමුදාපතිවරයා වෙනුවෙන් නවක නිලධාරීන් තම උත්තමාචාර පුද කළේය. ඉදිරි අසුන්වල වාඩි වී සිටි හමුදාපතිවරයාත්,

බි‍්‍රගේඩියර්වරයාත්, ඇකඩමියේ ඉදිරි කටයුතු ගැන අදහස් හුවමාරු කරගනිමින් සිටී. යුද්ධය නිසා අතපසු වූ පුහුණුවීම් තත්ත්වය වර්ධනය කිරීම ද යුද්ධයේ දී කොමිෂන් ලත් නිලධාරීන් බවට පත් කළ කෝප‍්‍රල්වරුන්, සැරයන්වරුන් අන් නිලධාරීන් මට්ටමට ගෙන ඒමත් පිළිබඳ ඔවුහු කතා කරති.

විසිර යාමේ උළෙල ඉතා චමත්කාරව සංවිධානය වී පවතී. පතිරණට අද උදේ සිට සිදු වූ සියල්ලම අමතක වී ඇත.

”සම්මාන මුරය… පසක අවි…” ලූතිනන් කර්නල්වරයෙක් ඉතා නිවැරැුදිව අණ දෙයි.

උද්‍යෝගිමත් පුහුණුව නිම වූ නිලධාරීන් පෙරෙට්ටුවේ සිට, ඉහළ හිඳගෙන සිටින්නා වූ හමුදා ප‍්‍රධානියා දෙස හොරහින් බලා මදක් දෙපසට චලනය වේ.

දැන් එළඹෙන්නේ, සම්මාන ප‍්‍රදාන උළෙලයි. උත්සව ඇඳුමින් සැරසුන මේජර් හිමාල් නානායක්කාර සම්මාන පීඨිකාව අසල සිට මනා සහයක් ලබා දෙයි. ඔහු නම් සත්තකින්ම කදිම සහකරුවෙකි, පතිරණට සිතේ. මවුපියන් විසින් පුහුණුව නිම වූ නව දෙවන ලූතිනන්වරුන්ට එම නිලයේ සංකේතය හෙවත් ‘තරුව’ පලඳවනු ලබයි. අද උදෑසන තමාගේ රිය අනතුරට ලක්කළැයි සිතිය හැකි කාන්තාවද තම පුත‍්‍රයාට නිල ලාංඡනය පලඳවන ගමන් පතිරණ සිටින පීඨිකාව දෙසට හැරි හැරී බලයි.

උත්සව සභාව ඇරඹේ. සම්මාන ප‍්‍රදාන නිවේදක විසින් සම්මානලාභීන්ගේ නම් කියවයි.

”ශූරතම වෙඩික්කරු සම්මානය…. දෙවන ලූතිනන් පතිරණ, එම්.පී.සී.කේ…”

තම රථය හැප්ප වූ කාන්තාව විසින් තරුව පලඳ වන ලද ඇයගේ පුත‍්‍රයා… සම්මානය ගැනීමට ඉදිරියට ගමන් කරයි.

‘පුදුමයි…මේ කොල්ලගෙ නමත් පතිරණ… වාසගමත් එම්.පී…. පතිරණට සිතේ… දෙයියනේ… මේ රෝයල් එකේ රගර් ගහපු කොල්ලෙක්නේ…’ පතිරණ, ඉදිරියට පැමිණෙන නවක නිලධාරියා හඳුනා ගනී. මේ කොල්ල එතකොට අර අධ්‍යාපන ගෑනිගෙ පුතා ද?

– මතු සම්බන්ධයි

– කාශ්‍යප වීරක්කොඩි

උපුටාගත්තේ සත්හඬෙන්

සංහාරයකුගේ පාපොච්චාරණය -4

One thought on “පතිරණට ඊශ‍්‍රායෙල් පුහුණුව (සංහාරයකුගේ පාපොච්චාරණය -5)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *