විශේෂාංගඋපුටාගැනීම්

දෙමළාට ආදරය කිරීම වරදක්ද?

Image: Vikalpa/ Sampath Samarakoon

2016 දෙසැම්බරයේ මා යාල්දේවිය එනතුරු කොළඹ කොටුව දුම්රිය පොළෙහි හිඳ බලා සිටියෙමි. මා අසල සිටි මැදිවිය ඉක්මවූ පිරිමියෙක් මෙසේ විමසීය.

පිරිමියා: යාල්දේවි එනකන්ද?

මම: ඔව්

පිරිමියා: ආසනයක් වෙන්කර ගත්තද?

මම: නෑ! ඊයේ හවස ආසන වෙන්කිරීම ඉවර වෙලා..

පිරිමියා: යාපනේටද?

මම: නෑ! පරන්තන්,

පිරිමියා: පරන්තන්??? හමුදාවේ ද? නාවික හමුදාවේ ද?

මම: දෙකේම නෙවේයි. විශ්ව විද්‍යාලයේ!

පිරිමියා: විශ්ව විද්‍යාලයේ?

මම: ඔව්! මම අධ්‍යන වැඩකට කිලි(කිලිනොච්චි) යනවා.

පිරිමියා: තනියම?

මම: ඔව්! මට කිලි වල පවුලක් ඉන්නවා.

යාල්දේවිය වේදිකාවට පැමිණි හෙයින් දෙබස අවසන්කර අපි වෙන්ව ගියෙමු.

“මට පවුලක් ඉන්නවා කිලිනොච්චියේ”? මම මගෙන්ම ප්‍රශ්න කලෙමි. සැබවින්ම ඔව්.! ශාරීරිකව(ලංකාවේ ස්ටීරියෝ ටයිප් ගතිකයන්ට අනුව) ඥාති නොවූ නමුත් සමාජීයව ඥාතිවන පවුලක් මා හට කිලිනොච්චියේ සිටී.

ඔවුන් මා හට ආදරය කරන්නට ඉගැන්වීය.

මේ ඒ කතාවයි.

2016 සැප්තැම්බර් මස කොළඹ රොටරි සමාජය ආමන්ත්‍රණය කල අවස්ථාවේ දී, මගෙන් විමසු එක් කරුණක් වුයේ “ඇයි දෙමළ මිනිසුන් පිළිබද මෙතරම් සංවේදී”?. එවිට මගේ පිළිතුර වුයේ ‘ඇයි මා දෙමළ මිනිසුන් පිලිබද සංවේදී නොවිය යුත්තේ?‘

ඉතිහාසයේදී මා දෙමළා පිළිකුල් කර තිබේ. එළාර මරා දැමීම දුටුගැමුණුගේ ශ්‍රේෂ්ඨත්වය නිසා සිදු වූ බවත්, එළාර වැනි දෙමළුන් සමූල ඝාතනය කළ යුතු බවට කන්ද උඩරට බාලිකාවේ දී මම තර්ක කළෙමි. එනයින් නොනැවතී, සියලුම දෙමළුන් ගෝනිවල දමා මුහුදින් එතෙර ගෙන ගොස් දැමිය යුතු යැයි ප්‍රකාශ කලෙමි.

එසේම දෙමළුන් යනු සංවේදී ජනතාවක් නොවන බව පෙන්වා දීම සදහා සහෝදර දෙමළ බාලිකාවන් වෙත පරුෂ වචනයෙන් කතා කීවෙමි. දහම් පාසලේ දී බෞද්ධයාගේ සතුරා දෙමළා, හම්බයා, කතෝලිකයා බව පෙන්වා දෙමින් දහම් පාසල් සගරාවට ලිපියක් ලීවෙමි. එසේ කල මා අද, මගේ ශ්‍රමයෙන් උපයා ගත් මුදලින් කිලිනොච්චිය වෙත ගොස්, ඔවුන් සමග ජිවත් වී, ඔවුන්ගේ දුක් දෝමනස්සයන් මෙන්ම සතුට ද බෙදා ගනිමි.

මා එතරම් වෙනස් කළේ වන්නියාවරුන්ගේ ආදරයි.

“මගේ පුතා LTTE ය බලෙන් අරන් ගියා. ඉන් පසු කිසි දිනක පුතාව පණ පිටින් දැක්කේ නැ. දරුවාගේ මිනිය පුදුකුඩිඉරිප්පු ඉස්පිරිතාලෙ තිබුණා කියලා මට පණිවිඩේ ආවේ 2009දි. එතකොට පවුලේ හැමෝම මුලතිව් වලට යමින් හිටියේ. මම ඉස්පිරිතාලෙට ගියා. පුතාගේ මිනිය බංකුවක් උඩතිබුණා. මම දරුවාගේ ඔලුව අතගාල අවා. කවුරුහරි එයාව වල දන්න ඇති. අනේ මගේ දරුවා. මගේ දරුවා…” මේ කතාව මට කිවේ, කිලී වල මම නැවතී සිටි ගෙදර වයසක අම්මා. ඇය දැන් තනිවී සිටි. ඇගේ අනික් දරුවන් තිදෙනා විදේශ ගතවන්නේ 2009 අගදී ය. ඇයගේ දියණිය නිවුන් දරුවන් දෙදෙනකු සමග ෂෙල් ප්‍රහාරයෙන් ජීවිතය බේරාගැනීමට විදි දුක් ඒ අම්මා මට පවසන විට ඇගේ ඇස්වල කදුලු සගවා ලීමට ඇයට නොහැකි විය.

“එතකොට මගේ මුණුබුරු දරුවන්ට වයස මස හතරයි. මෙහෙන් ෂෙල් වැටෙනවා. එහෙන් කන්න නැ. බොන්න වතුර පොදක් නැ. ගංවතුරට පාරවල් යටවෙලා. යන්න තැනක් නෑ. දුව හොදටම දුර්වලයි. ඇවිද ගන්න බැ. දරුවෝ ලැබුන ගමන්නේ. මම හිතුවා අපි එක පාරටම මැරෙනවා නම් හොදයි කියලා. ලොකු අපි නම් කමක් නැ. අර අලුත උපන් පොඩි දරුවෝ මොනවා දන්නවද?. එදා යුදෙන් අපි අනාථ වුනේ නැ. අපි මැරුණ සදහටම. මගේ දරුවෝ රට හැරලා ගියේ මැරුණ ජිවිතේට පොඩි හරි පණක් දෙන්න. එයාලට එන්න කියන්න මට බැ. මම මෙහෙම ඉදල මේ ශරීරේ හැර යාවි. එත් ආත්මය සදහටම දුක් විදිවි.”

ඉන් පසු ඇය මාවෙත හැරී මෙසේ පැවසිය. “ඔයා අවාම ගෙදර දරුවෙක් ඉන්නවා කියලා දැනෙනවා. හැබැයි ඔයා අපහු යනකොට ගෙදර හරියට හිස් වෙනවා. මම ආයමත් තනි වෙනවා.”

“අම්මේ මම සිංහල. මගේ සිංහල හමුදාව අම්මාගේ පුතා මරුවා. අම්මට තරහා නැද්ද”.

මම අැසූ විට ඇය කිවේ, ‘‘මට සිංහල මිනිසුන් සමග තරහක් නැ. දරුවා මැරුණා. එයාගේ ආත්මෙට සැනසීම ලැබේවි, මම සිංහල මිනිසුන්ට ආදරෙන් සැලකුවිට”

ඇයගේ එම ප්‍රකාශය මගේ ආත්මය තුළ ප්‍රබල කම්පනයක් ඇති කරන ලදී. දළදා මාලිගාවේ, බෝම්බ ප්‍රහාරය සිහිකැදවමින් ඡායාරූප ප්‍රදර්ශනය කරන බෞද්ධයාගේ ආත්මයට ඇය පහර ගසා ඇත. ජනේලයේන් එල්ලී ජනතාව ඇමතු, පරාජිත දේශපාලකයින්ගේ නිරුවත ඇයගේ ප්‍රකාශය විසින් විවරකරණය කරන ලදී. සංහිඳියාව පවතින බව පවසමින් දෙමලුන්ගේ නැගිටීම හෙළා දැකී විකල්ප දේශපාලන ධාරාවට ඇයගේ වදන් යවුලෙන් ඇනීමකී.

ඇය සැබවින්ම මා කුසේ දරාගෙන වැඩූ, මගේ මවට දෙවැනි නොවීය. මා හට තනිව කිසි තැනක යාමට නොදුන් ඇය, මා නැවතී සිටි නිවසට පැමිණීමට සවස හය පසුවන්නේ නම්, මා හට දුරකථන ඇමතුමක් ගෙන, ‘කල් ගන්නැතුව ගෙදර එන්න ’ යයි සැරකරයි. මා, තනිව යාපනේ යන විට උදැසන නැගිට, මගේ කෑම පිළියල කර මා සමග බස් නැවතුමට පැමිණීම ඇයගේ දින චර්යාවේ පුරුද්දක් විය. ඉතින් මා දෙමලු වෙත පෙම් නොබැද ඉන්නේ කෙසේද?

“දවල් කැම කන්න අපේ ගෙදර එන්න. මම රොටි හදලා, කකුළුවෝ හදන්නම් ”. මට එසේ පැවසුවේ, ෂෙල් ගසනවිට පණ බේරා ගැනීමට දිව ගිය අවස්ථාවේ, වැටී අත කඩා ගත් කල්යාණි අක්කාය. “අපි 1979 කොලහාලේදී මෙහෙ අවා. අපේ ගෙවල් ගිනි තිබ්බා. ඊට පස්සේ මේහේ වැටිලා හිටියා. පුතා LTTE එකට බැදුනා. එයා වෙඩි වැදිලා මැරුණා. දුවට පිළිකාවක් හැදිලා මැරුණා. වෙන දරුවෝ නැ. සිංහල පුලුවන් නිසා, 2009 දී ප්‍රශ්නයක් නැතුව army පැත්තට ගියා. දුක් වින්දා. අපහු ගමට අවා. පදිංචි ඉඩමේ අයිතිකාරයා රට ඉදන් ඇවිත් ඉඩම ඉල්ලුවා. දිසාපති මහත්තයා මැදිහත් වෙලා මේ පොඩි කොටස අරගෙන දුන්නා. දැන් ඉතින් ගේ හදා ගන්න ඕනේ. හම්බ කරපු හැමදේම දාලානේ 2009 දී මෙහෙන් ගියේ. මුල ඉදන්ම දැන් පටන් ගන්න වෙලා. අපි වයසයි. ඉස්සර වගේ නෙවේ. හැමදේම අමාරුයි. එත් පිට ගමක ඉදලා පැමිණි යාම කෑම වේලක් නොදී අරින්න පුළුවන්ද”.

මා කිලී හි සිටි කාලයේ දී, ඔවුන් කිසිවෙකු මා පිටස්තරයකු ලෙස නොසැලකිය. මා ඔවුන්ගේම කෙනෙකු විය. අලිමංකඩ දී, ගාමිණී කුලරත්නගේ පිළිරුවට ගරු කිරීම සදහා චාරිකා බසයෙන් බැස යන, දේශීය සංචාරකයන්, මදක් නැවතී, මේ දෙමළ මිනිසුන් සමග කතා කල හැකි නම්, ඔවුන්ගේ, හදෙහි රැදී ඇති ආදරය විදිය හැකි නම්, සංහිඳියාව සඳහා වෙනම ප්‍රයන්තයක් දැරීමට නොවේ.

දෙමළු ධෛර්වන්තයෝ ය.

අත-පය අහිමි වීම අදායම් උපාය මාර්ග ලෙස සලකන ස්ත්‍රීන් සහ පුරුෂයන් 138 කොළඹ බසයේ දී හමු වුව ද, කිලී හි දී බස් රථ තුළ එවැන්නන් කිසි දිනක මුණ නොගැසේ. කිලී බහුතරයකගේ සොබාදහමේන් ලත් අත්-පා අපගේ බදු මුදලින් ගෙන ආ, දුර විදින ෂෙල් ප්‍රහාර වලින් අහිමි කර ඇත. එසේ අත් පා අහිමි වුව ද ඔවුන්ගේ ආත්ම ගෞරවය සහ ආත්ම විශ්වාසය ෂෙල් ප්‍රහාර මගින් අහිමි කිරීමට නොහැකි වී ඇත. එවැනි හදවත් ලත්වුවන්ට ආදරය නොකර සිටිය හැකිද?

මා යාපනයේ ගොස් කිලී බලා පැමිණි එක් දිනක රාත්‍රී 7 පසු විය. අවට කළුවර වු අතර, මා බැසිය යුතු ස්ථානය සොයා ගැනීම අපහසු විය. මා අසල සිටි දෙමළ කාන්තාවක් වෙත මට හැකි ආකාරයෙන්, මගේ ගැටළුව දන්වා සිටියෙමි. ඇය, එක්වර‍ෙ, බස් කොන්දොස්තරවෙත, ඉස්පිරිතාලෙ ළග නවත්වන ලෙස කෑගැසිය. ඉන් පසු මාගේ අතින් අල්ලා, බස් රථයේ ඉදිරියට කැදවාගෙනවිත්, මා බස්සවා, මා යා යුතු අතුරු මාර්ගය පෙන්විය. මේ සිදුවීම මගේ කිලී යෙහෙලියක් සමග බෙදා ගත් විට ඇය පැවසුවේ, එම කාන්තව, මා තනිව, රාත්‍රීයේ ගමන් කිරීම පිලිබද යම් තැතිගැනීමකින් කටයූතු කර ඇති බවය. කිසිදෙනෙක හමු නොවූ, ගැහැණියක තවත් ගැහැණිකගේ ආරක්ෂාව පිලිබද වදවීම පිලිබද මා හද කම්පා කරන ලදී. එවැනි දෙමළ ගැහැණුන්, නිරුවත් කර, අනේකවිද ප්‍රචණ්ඩත්වනට ලක්කර, දුෂණය කර මරා දැමීම පිලිබද කතා නොකර සිටීමට තරම් අනාදරයක් මා වෙත නොවේ.

මගේ ජවිතයේ එක් හැරවුම් ලක්ෂයක් කිලීය. කිලී අම්මාවරුන්, සහෝදර සහෝදරියන් ය. මා හට ජිවත් වීමට බලාපොරොත්තු සහ ආදරය දුන්නේ කිලී මිනිසුන්ය. ඔවුන් පිලිබද සදාකාලික ආදරයක් මාවෙත වේ. ඔවුන්ගේ එම ගැඹුරු ආදරය මාගේ අරගලය සහ මා ජිවත් කරවනු ඇත.

අරුණි සමරකෝන්

උපුටාගත්තේ විකල්පයෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *