විශේෂාංගඋපුටාගැනීම්

හොරු වටේ ජනමතය කැළේ

ආර්ථිකමය කරුණු සම්බන්ධයෙන් ලොව ප්‍රකට බ්ලුම්බර්ග් වෙබ් අඩවිය පසුගිය දා ශ්‍රී ලංකාවට අදාළව ප්‍රකාශයට පත් කර තිබුණේ ශ්‍රී ලංකාව ආයෝජනය සම්බන්ධයෙන් දැඩි අවදානම් සහගත රටක් බවටය. ආයෝජනයෙන් ආයෝජකයාට ලාභයක් නොමැති නම් එවැනි රටක ආයෝජනය කිරීමෙන් පළක් නැත. එසේම ආයෝජකයාට අවශ්‍ය පහසුකම් හා පෙලඹවීම නොවේ නම් ආයෝජකයන් එන්නේ ද නැත. එසේම ව්‍යාපාරික සාම්‍යය රට තුළ නොවේ නම් ආයෝජකයා පීඩනයන් දරාගෙන ඉන්නේ ද නැත.

පසුගිය රාජපක්ෂ සමයේ දී මෙරටට චීනය හැර වෙනත් කිසිදු ආයෝජකයකු ආවේ නැති තරම්ය. චීනයට ඔවුන් හිතූ පරිදි මෙරට ආයෝජනය කිරීම සම්බන්ධයෙන් දේශපාලනික හා වෙනත් තක්කඩි හේතූන් බලපා තිබිණි. අදත් චීනය මෙරට ආයෝජනයට බලහත්කාරී ලෙස කඩා පනින ස්වභාවයක් පවතින්නේ ආයෝජන ලාභය නොව අනෙක් ජාත්‍යන්තර දේශපාලනික ආර්ථික උවමනාවන් ජය ගැනීම වෙනුවෙනි.අද ආයෝජකයන් පැමිණීම කෙසේ වෙතත් ආයෝජකයන්ගේ පැමිණීම ගැන නම් වැඩිමනත් කතා බහට ලක්වීම හෝ සිදු වෙමින් පැවැතීම අනාගතය ගැන සුබවාදී හැඟීම් දනවන සුලුය.   එහෙත් ඒ අතර වාරයේ දී බ්ලූම්බර්ග් වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන කාරණය ඒ හැඟීම් දනවන සුලුය.

මේ රට තවදුරටත් අවදානම් සහගත වන්නේ කෙසේද? ආර්ථිකය දැවැන්ත අර්බුදයකට මුහුණ පා තිබෙන බව රහසක් නොවේ. එය හදිසියේ ඇති වූවක් හෝ වත්මන් පාලනයෙන් පසුව ඇති වූවක් හෝ නොවේ. දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවැතුණ අක්‍රමවත් ආර්ථික උපාය මාර්ගයන් අනුගමනය කිරීමේ ප්‍රතිඵලයකි. දේශපාලන වාසිය උදෙසා රටේ ආර්ථික ප්‍රතිපත්ති තීන්දු කිරීම මේ තත්ත්වයට එක් ප්‍රධානතම හේතුවකි. සත්‍ය ලෙසම ඒවා ද ආර්ථික ප්‍රතිපත්ති ලෙස හැඳින්වීම ද වැරැදිය. ඒ ඒ වෙලාවට වාසි තකා කරන තක්කඩි තීන්දු තීරණය. දූෂිත රාජ්‍යයන් අතරේ ශ්‍රී ලංකාවට තිබූ තැන ද මේ වසරේ දී ඉහළ ගොස් තිබෙන බව ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ අලුත් වාර්තාවක් මඟින් පෙන්වා දීම ද සිදුව තිබේ. ඒ ඉලක්කම් අනුව මහින්ද රාජපක්ෂ යුගයේ තිබූ වාර්තා අබිබවා යෑමකි. දූෂිත ක්‍රමවේදයන් එලෙසම ඉදිරියට පවත්වා ගෙන යද්දී දූෂණය වැඩි වනවා මිසක් අඩු නොවේ. දූෂිත රාජ්‍යයක අවදානම් දරාගෙන ආයෝජනය කරන්න දූෂිතයන්ම හැර වෙනත් ආයෝජකයන් එන්නේ නැත.

කෙසේ නමුත් පසුගියජනාධිපතිවරණය හා මහ මැතිවරණය රාජපක්ෂලා විසින්  නියමිත පරිදි පැවැත් වූයේ නම් මේ වසරේ ජනවාරිය යනු අලුත් පාලන තන්ත්‍රයක් ඇති විය යුතු කාලයය. එහෙත් මීට දෑ අවුරුද්දකට පෙර රට තිබුණු තැන අනුව අද රට පැවැතිය යුතුව තිබුණේ මීට වඩා අසරණ තැනකය. ඒ කලින් දුටු නිසා එම අර්බුද ජය ගැනීම අභියෝගාත්මක වීම හේතුවෙන් වසර දෙකකට පෙර ජනාධිපතිවරණය කැඳවා ඒ ජය ගැනීමට රාජපක්ෂලාට අවශ්‍ය විය. ඒ මොහොතේ රටේ බහුතරය විසින් පාලනය වෙනස් නොකරන්නට යුද අපරාධ චෝදනා ආදිය නිසා අද වෙද්දී ජාත්‍යන්තර සම්බාධක පවා මෙරටට වැටීමට ඉඩ තිබිණි. එමෙන්ම රට අද චීනයටම සින්න වීමට ද ඉඩ තිබිණි. එසේ නම් අද බැඳුම්කර ගනුදෙනුවක් නිසා රටට අච්චර මෙච්චර පාඩුයි කියා කෑගසන උදවිය නිහඬවම සිටීම ද විය හැකිව තිබිණි. රටේ ඇත්ත ප්‍රශ්න සැඟවීමට කළ නාස්තිකාර සංදර්ශන වියදම් එසේම තිබෙන්නට ඉඩ තිබිණි. අද දූෂණ විරෝධී වීරයන් වගේ කෑ ගසන සමහරුන් එදා ගල් බිල්ලෝ වී සිටිය පරිදි තවමත් සිටිනු ඇත. පාලනයට එරෙහිව කිසිවකුත් වීදි බැසීමට එඩිතර නොවනු ඇත. මන්ද මිලිටරිමය මර්දනය මේ වෙන කොට උත්සන්නව තිබෙනු ඇති නිසා ය. වියරු මර්දනීය පාලනයක් අපට අත් දකින්නට ලැබෙනු ඇත. තවත් දේශපාලන ඝාතන රැසක් දකින්නට ලැබෙනු ඇත. එදා උතුර පාලනය කළ ම්ලේච්ඡ ආකාරයන් දකුණ ද අත්විඳිනු ඇත.

එහෙත් එම තත්ත්වයන් යම් ලෙසකින් පරාජය කර තිබේ. එහෙත් ඒ ජයග්‍රහණය, කීමට කියනවා සේ යකාගේ ඉන්ටවල් එකකින් මෙහාට වැඩි යමක් නොවනු ඇති බවට ඒ ජයග්‍රහණයටම උර දුන් අයම විසින් පෙර කී අනාවැකි දැන් සඵල වෙමින් තිබෙන බව ද පෙනෙන්නට තිබේ. මන්ද ඒ ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීම කෙරෙහි මූලිකම සටන් පාඨය වූ රාජපක්ෂවරුන්ගේ ඒකාධිපති පවුල් පාලනය අවසන් කිරීම සිදු වුවත් යළි ඒ තත්ත්වයන් ඇති වීම වැළැක්වීම වෙනුවෙන් සාධනීය පියවරයන් ගැනීමට වත්මන් පාලකයන් ද අසමත් වීමය. දූෂණ වංචා ආදිය සම්බන්ධ චෝදනා ප්‍රශ්නය විසඳීමට පාලකයන් අසමත් වීම ආදිය බරපතළ කරුණු නොවේ. ඒ පවා විසඳිය හැකි වන්නේ මූලිකවම රාජ්‍ය පාලනය ප්‍රජතාන්ත්‍රිකව

හැඩගැස්වීමට පාලකයන් සමත් වීම තුළය. මන්ද බොහෝවිටම දූෂණ වංචාවන් සිදුවීමට හේතූන් ලෙස පවතින්නේ නීති රීතිවල අඩුලුහුඬුකම්, නිසි රාජ්‍ය ප්‍රතිපත්ති නොපැවැතීම, ක්‍රමවේදයන් දූෂිත වීම,දේශපාලකයන්ගේ තක්කඩිකම් හා දේශපාලන අධිකාරිමය බලය ප්‍රජාතාන්ත්‍රික ලෙස බෙදා නොහැරීම ආදී ගැටලුය. පසුගිය ජනාධිපතිවරණයේ දී දේශපාලන ප්‍රතිසංස්කරණයන් හා ආර්ථික ප්‍රතිසංස්කරණයන් බරපතළ වුවමනාවක් ලෙස සාකච්ඡාවට ගැනුණේ අත්‍යාවශයෙන්ම විය යුතු මූලිකම දේ ඒ තුළ අඩංගු වීම නිසාය.

ඒකාධිපති ලෙස බලය ඒකාරාශී කළ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හා ජනතාව ආණ්ඩුකරණයට සම්බන්ධ කෙරෙන දේශපාලන අධිකාරීමය බලය බෙදාහැරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් ගැන කතා කෙළේ මේ නිසාය. දේශපාලකයන්ට අවශ්‍ය පරිදි ආර්ථිකය හැසිරවීම වෙනුවට නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්ති, උපායමාර්ග අනුව නව ආයතන ව්‍යුහයක් හරහා ඒ සිදු කිරීමට අවශ්‍ය වූයේ ඒ නිසාය.

දැන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු වෙමින් තිබේ. සුපුරුදු පරිදි ඉතා පටු වුවමනාවන් පදනම් කරගෙන මේ කර්තව්‍යය අඩපණ කිරීමේ සැලසුම්සහගත බලපෑම් ද සිදු වෙමින් තිබේ. පාර්ශ්වයක් ආණ්ඩු බලය හොබවන විට විපක්ෂ කොටස් ඊට එරෙහිව කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් අසාමාන්‍ය තත්ත්වයන්ද ඕනෑ තරමින් තිබේ. විරුද්ධ වෙන්නම් වාලේ විරුද්ධ වීම් මෙරටේ බහුලවම දකින්නට ඇති තත්ත්වයකි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට හා එහි දී විය යුතු වර්ධනීය වෙනස්කම් ගැන සාකච්ඡාව ආරම්භ කරන විටම විපක්ෂයෙන් කියන්නේ “ව්‍යවස්ථා මර උගුලෙන් රට බේරාගමු” යන්නය. එහෙත් නවසිය හැත්ත අටේ සිට හිරවී සිටින මරඋගුල ගැන වගක් නැත. එමෙන්ම මේ ‘රනිල්ගේ ව්‍යවස්ථා මරඋගුල’ ලෙස ලඝු කිරීමේ දේශපාලනය ද වටහාගත යුතුය. මෙතෙක් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා කිසිදු ලියැවිල්ක් හෝ සකස් කර නොමැති තත්ත්වයන් තුළ මේ විරෝධයන් මතුවීම පෙර කී ලෙස අසාමාන්‍ය තත්ත්වයකි. විපක්ෂයකට ආණ්ඩුව කෙරේ සාධනීය විවේචන ගෙන ඒම අතිශයින්ම විය යුතු නමුදු දේශපාලන කුහකකම් මත පදනම්ව කරන විවේචනයන් විසින් සිදු කරනු ලබන්නේ යළි රට ආගාධයට තල්ලු කිරීමට සහය වීමකි. එම විවේචන මත පදනම්ව ජනාධිපතිවරයා ප්‍රමුඛව ආණ්ඩුව සිය කටයුතු අකුල ගන්නේ නම් ඒ ඊට වඩා ඛේදනීය තත්ත්වයකි. පසුගිය දෙවසර තුළ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගත් ඇතැම් ක්‍රියාමාර්ග තුළ පෙනෙන්නට තිබුණේ ඔවුනොවුන්ගේ බෙලහීනත්වයය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර දේශපාලන බලය සඳහා වන සටකපට කුමන්ත්‍රණවල ප්‍රතිඵලයන් රටට ජනතාවට හෝ එම පක්ෂ දෙකට හෝ අත් වූ වාසියක් නොමැත. එහෙත් ඒ කුමන්ත්‍රණ කෙසේ වෙතත් දූෂිත ක්‍රියාමාර්ගවල දී සම්මුතිය ආරක්ෂා කර ගැනීමේ අවස්ථා ද පසුගිය කාලයේ දී ඇතැම් මැති ඇමැතිවරුන් විසින් පෙන්වනු ලැබීය.

සම්මුතික ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා දෙපාර්ශ්වය අවබෝධතාවකට එළඹුණේ අවබෝධයෙන් යුතුව දූෂණ වංචාවල නියැළෙන්නට නොවේ.

සඵල කළ යුතු ජනතා අපේක්ෂා රැසක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉදිරියේ තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් යනු ඒ ප්‍රධාන අපේක්ෂාවකි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, බලය බෙදාහැරීම එහි මූලිකම වුවමනාව විය. ජනවාරි 08 වන දින ජයග්‍රහණය කළ ජනමතය යනු ඒ වුවමනාව ඉටුකිරීමට දුන් ජනතා අනුමැතියය. ඒ පසෙකලා, ඒ මඟහැර වට වංගු ගසා යෑමේ හැකියාවක් ජනාධිපතිට හෝ අගමැතිට හෝ තිබිය නොහැකිය. අවශ්‍ය නම් එසේ යා හැකිය, එහෙත් ඒ ඉතිහාසයේ කුණු බක්කියටය.

ඉතිහාසයේ වීරයන් වීමට නියමිතව සිටි දේශපාලකයන් බල තණ්හාව නිසා කුණු ගොඩට වැටුණු අතීතය දෙවසරකට පසුව මෙතරම් ඉක්මනින් අමතක වන්නට හේතුවක් නැත. රටේ ජනතාව දේශපාලන ප්‍රතිසංස්කරණය සඳහා අනුමැතිය දී තිබේ. එදා තමන් ගත්තු තීරණය වැරැදි බව කල්පනා කරමින් වත්මන් පාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය අගය කරමින් ඊට කැමැත්ත පළ කරන පිරිසක් ද වර්ධනය වෙමින් තිබෙන බව සැඟවිය යුතු නොවේ. විශේෂයෙන්ම ශ්‍රීලනිපයේ මහින්ද පාර්ශ්වයට සම්බන්ධව සිටි විශාල පිරිසක් ඒ අත්හැර දමමින් තිබේ. ඒ අනුව ශ්‍රීලනිපය හා එජාපයට ඇති ජනතා කැමත්ත වඩා ප්‍රජාතන්ත්‍රවාදී යුගයක් සඳහා වන කැමත්ත බවට පත් කර ගැනීම පහසු කරුණකි. ජනමතය විමසීමෙන් ඒ පරාජයට පත් විය හැකි බවට ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්වකරුවන් වෙතින්ම ගෙනෙන තර්කයන් විසුළුකාරී ලෙස හෝ බලය සඳහා වන අනාගත තක්කඩි අපේක්ෂාවන් අනුව වන ඒවා ලෙස ගැනීමෙහි වරදක් නැත. මන්ද ඒ කෙරෙහි කිසිදු දේශපාලනික පදනමක් නොමැති නිසාය. ආණ්ඩුව කෙරෙහි අහිතකර නරක ලෙස බලපෑම්සහගත වන්නේ වත්මන් ආණ්ඩුවේ පාර්ශ්ව දෙකෙහිම මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකුට එල්ල වන දූෂණ වංචා චෝදනා හා සංවර්ධනය සම්බන්ධ කාරණයේ දී ඒ නොපෙනී තිබීමය.

දූෂණය සම්බන්ධයේ දී, හොරු අල්ලන්න ආ තමා වටේ ද දැන් ඉන්නේ හොරු බව කියා ජනාධිපතිවරයාට මේ ප්‍රශ්නයෙන් ගැලවී යාමේ හැකියාවක් නැත. තමන් දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා යම් බාධාවක් ඇත්නම් ඒ බාධාව ඉවත් කර ගැනීම ඔහුගේ වගකීමය. අගමැතිවරයා ඊට නම්‍යශීලී විය යුතුය. සම්මුතික ආණ්ඩුව පවත්වාගෙන යාම හා ඒ යහපාලනයේ ඓතිහාසික සාක්ෂිය බවට පත් කර ගැනීම සම්බන්ධයෙන් වැඩිම වගකීම ඇත්තේ ජනාධිපතිවරයාටය. ඒ අත්හැරිය නොහැකිය. තමන් වටේ සිටින්නේ හොරුය කියා ඒ හොරු ඉවත් කර පරණ හොරු සමඟ අලුත් ආණ්ඩුවක් සැකසීමේ උත්සාහයක් ගැන ද දේශපාලන ලෝකයේ මේ දිනවල කසුකුසුවක් ඇති නිසා අවසන් වශයෙන් කියන්නට තිබෙන්නෙ, ජනාධිපතිතුමනි, පිස්සු නම් කෙළින්න එපා… යන්නය. අගමැතිතුමනි පරිස්සමින්, අනතුර ඔබේ දෙපා මුලය… යන්නය.

– සුජය

උපුටාගත්තේ සත්හඬෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *