විශේෂාංගඋපුටාගැනීම්

දැන් විහිළු නවත්වමු

අගමැති රනිල් වික‍්‍රමසිංහ මේ වන විට සිටින්නේ විදේශගතවය. ඔහු එම සංචාරයට පෙර මහින්ද රාජපක්ෂට පැවසූවේ තමන් ලංකාවේ නැති අතර හෝ පුළුවන්නම් ආණ්ඩුව පෙරළන ලෙසය. මේ වසර එළඹෙන විට මහින්ද රාජපක්ෂ කියා තිබුණේ මෙම වසර තුළ ආණ්ඩුව පෙරළන බවය. කොහොම නමුත් මහින්ද ඊට උත්තර දුන්නේ කුමන්ත‍්‍රණ මඟින් නොව මුහුණට මුහුණ සටනකින් ආණ්ඩුව පෙරළන බවය. 2020 වසර තෙක් මේ ආණ්ඩුව ව්‍යස්ථානුකූලව වෙනස් කළ නොහැකිය. එය කළ හැක්කේ කුමන්ත‍්‍රණයක් මඟින්ය.

මහින්ද කියන ලෙස මුහුණට මුහුණ සටනක් කළ හැකි වන්නේ 2020 න් පසුවය. ඒ නිසා මහින්දට ආණ්ඩුව පෙරළීම හෝ ඒ ගැන කල්පනා කිරීම හෝ කළ හැකි වන්නේ එදාටය. මේ අවස්ථාවේ ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුව ද ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් තීරණය කිරීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැත. එජාපයට තිබෙන බහුතරය මත ආණ්ඩු බලය හිමි වන අතර ඒ බලය හිමි පාර්ශ්වය සමඟ එක්ව විසීමට කැමැති ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු ද සිටිය හැකිය. ශ‍්‍රීලනිපයට ද එජාපයේ කොටසක සහාය අරගෙන ඔය දේම කළ හැකි යැයි කල්පනා කළ ද රාජපක්ෂලා සමඟ එක්ව කටයුතු කිරීමට ජනාධිපතිවරයා එකඟ විය හැකි යැයි කල්පනා කළ නොහැකිය. එසේම මේ වන විට රාජපක්ෂ පාර්ශ්වය ලෙස සිටින කණ්ඩායම් ද කොටස් කිහිපයකට බෙදී වෙන්ව සිටිති. කොටසක් මෛත‍්‍රී විරෝධීය, තව කොටසක් ශ‍්‍රීලනිපය දෙකට කඩා වෙනම පක්ෂයක් සැදීමෙහි යෙදී සිටී. තව කොටසක් මෛත‍්‍රීගේ නායකත්වය පිළිගෙන හුදු එජාප විරෝධය මත පමණක් පදනම්ව විපක්ෂයට වී සිටීමට කැමැතිය. මේ අතරින් මහින්දගේ නායකත්වය ප‍්‍රතික්ෂේප කරන පිරිසක් ද වෙති. මේ මොහොතේ දේශපාලන අර්බුදයක සිටින්නේ ආණ්ඩුව පමණක් නොවේ රාජපක්ෂ පාර්ශ්වය ද අර්බුදයේය. තව මාස දෙකකකින් තමන්ගේ අනුප‍්‍රාප්තිකයා නම් කිරීමට මහින්ද සැරසෙන්නේ තමන් දේශපාලනය තුළ අවලංගු වෙමින් යෑම වටහාගෙනය. තවදුරටත් තමන්ගේ නායකත්වය පිළිගන්නා තැනක රට නොමැති බව වටහාගෙනය. මේ මොහොතේ වඩා නුවණක්කාර කටයුත්ත තමන් දේශපාලන විගඩමක් නොවී තමාගේ නියම දේශපාලන අනුප‍්‍රාප්තිකයා වන නාමල් රාජපක්ෂ වෙනුවෙන් අනාගතය සකසා පැත්තකට වී සිටීම බව මහින්ද ගේ වර්තමාන හැසිරීම මඟින් පැහැදිලිව පෙන්නුම් කරයි.

ජීඑස්පී කුහකත්වය

තමන්ගේ පැවැත්ම අර්බුදයට යන විට දේශපාලන කුහකකම් මතුවීම ද ඒ අනුව සිදුවේ. පසුගිය දා ජී.එස්.පී. ප්ලස් බදු සහනය මෙරටට ලබා දීම සඳහා යුරෝපා කොමිසම යෝජනා සම්මත කරන විට මහින්ද කීවේ එයින් වැඩක් නැති බවය. බන්දුල ගුණවර්ධනලාට අනුව ඒ සයනයිඞ් කරලකි. මේ අනුව හෙට අනිද්දාට අපට ජීඑස්පී එපා කියමින් මේ අය උද්ඝෝෂණය කළ ද ඒ ගැන පුදුම විය යුතු නැත. මන්ද නාමල්ට හෙටක් හදන්න නම් මේ රට ජරාජීර්ණ වීම විය යුතුය.

ජී.එස්.පී. ප්ලස් (GSP+  හෙවත් වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක‍්‍රමය) යනුවෙන් හඳුන්වන්නේ යුරෝපයේ කාර්මික රටවල් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල නිෂ්පාදන එම රටවල වෙළෙඳපොළට ඇතුළත් කිරීමේ දී ලබා දෙන විශාල තීරු බදු සහනයකි. මෙරට නිෂ්පාදනවලින් විශාල ප‍්‍රමාණයක් අපනයනය කෙරෙන්නේ යුරෝපයටය.  එහි දී මෙරට නිෂ්පාදන මිල ගණන් සහ එම රටවල අධික බදු අගයන් ද එකතු කර එම වෙළෙඳපොළ තරගය ජය ගැනීම අසීරු කරුණකි. එවිට ගෙවීමට සිදුවන බදු මුදල් සඳහා සහනයක් ලැබේ නම් අඩු මිලට මෙරට භාණ්ඩ යුරෝපයේ වැසියන්ට අලෙවිකර ගත හැකිය. එමඟින් වැඩි නිෂ්පාදන ප‍්‍රමාණයක් හා වැඩි ලාභයක් මෙරට ව්‍යාපාරිකයාට ලබා ගැනීමේ හැකියාව පවතී. 2010 රාජපක්ෂ පාලන සමයේ දී මෙම ජී.එස්.පී. සහනය අහිමි වීමට පෙර මෙරට අපනයනකරුවෝ විශාල ලෙස විදේශ විනිමය රටට රැගෙන ආ බව රාජපක්ෂලාට ද දැන් අමතකව තිබේ.

කොන්දේසි 27 යි

ජී.එස්.පී. සහනය අහිමි වීමෙන් විශේෂයෙන්ම මෙරට ඇඟලූම් නිෂ්පාදකයන් ගණනාවක් ව්‍යාපාරිකව බංකොලොත් තත්ත්වයට ඇද වැටුණු බවත් දැන් මතක නැත. විශාල සේවක පිරිසකට රැකියා අහිමි වීම හා වැටුප් කප්පාදුවකට ද ලක් විය.

2010 වසරේ දී ජී.එස්.පී. ප්ලස් අහිමි වීමට හේතු වූ කරුණු කාරණා රාජපක්ෂ රජය හොඳින්ම දැන සිටි අතර ඒ යළි ලබා ගැනීම වෙනුවෙන් ඇත්ත උත්සාහයක් ගත්තේ ද නැත. මන්ද රාජපක්ෂවරු ගෙන ගිය පාලනය මත ජී.එස්.පී. ප්ලස් නැවත ඉල්ලූම් කිරීම ද විහිළුවක් විය. මෙම බදු සහනය සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් වෙත යුරෝපා සංගමය ප‍්‍රදානය කරන්නේ එක් විශේෂ හේතුවක් මතය. ඒ මූලික මිනිස් අයිතිවාසිකම්  සුරක්ෂිත කිරීම වෙනුවෙන් සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් පොලඹවා ගැනීම සඳහා වන උපක‍්‍රමයක් ලෙසිනි. මෙහි දී එම බදු සහන ලබා දීම වෙනුවෙන් සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සැපිරිය යුතු මූලික කොන්දේසි 3 කි. ඒ, එම රාජ්‍යය සංවර්ධනය වෙමින් පවතින රටක් වීම, සීමාසහිත අපනයන ප‍්‍රමාණයක් පමණක් අපනයනය කිරීමට එකඟ වීම සහ එම රජය මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් යුරෝපා සංගමය නම් කරන ජාත්‍යන්තර ප‍්‍රඥප්ති 27 ට එකඟව ඊට අත්සන් තබා තිබීමය. ශ‍්‍රී ලංකාව මෙම කොන්දේසි 3 ම සපුරා ඇත. ඒ මීට බොහෝ කලකට පෙර සිටය. එහෙත් මෙහි දී වැදගත්ම කාරණය ශ‍්‍රී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර ප‍්‍රඥාප්තිවලට අනුව මෙරට නීති රීති ක‍්‍රියාත්මක වීමය. ජී.එස්.පී. ප්ලස් ලබා ගත් 2005 වසරේ දී මේ ප‍්‍රඥප්ති අනුව ක‍්‍රියාත්මක වන බවට සහතිකයක් මෙරට රජය ලබා දුන්න ද එය සිදු වූයේ නැත. විශේෂයෙන්ම යුද සමයේ දී බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය විය. යුරෝපා සංගමයේ නිරීක්ෂණ අනුව ඔවුන්ගේ කොන්දේසි කඩ කිරීම නිසා එම සහනය අහිමි විය. එහි තේරුම එවකට පැවැති රාජපක්ෂ රජය මෙරට මහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් නොතකා කටයුතු කර ඇති බවය.

ප‍්‍රමාදය අපේය

වත්මන් පාලනය විසින් නැවත වතාවක් මෙම සහනය ඉල්ලූම් කරන්නේ මානව හිමිකම් රැකීමට තමන් එකඟ වන බවට සහතිකය යුරෝපයට ලබා දෙමිනි. වත්මන් පාලකයෝ මානව හිමිකම් රැකීම වෙනුවෙන් දක්වන ළැඳියාවම මෙරට ජනතාවගේ ජයග‍්‍රහණයක් ලෙස සැලකිය හැකිය. ජනවාරි 08 වෙනස රටට අලාභදායක වී නැති බවට මෙය ද එක් නිදසුනකි. මේ වන විට මෙම බදු සහනය ශ‍්‍රී ලංකාවට ලබා දීම සුදුසු බවට යුරෝපා කොමිසම යෝජනා කර ඇත. ඒ පසුගිය වසර දෙක තුළ දී මෙරට පාලකයන් මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් දක්වන කැමැත්ත අනුවය. එහෙත් මෙම ජාත්‍යන්තර ප‍්‍රඥාප්ති ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙරට ගන්නා ක‍්‍රියාමාර්ග මොනවද යන්න ශී‍්‍ර ලංකාව දැනුම් දිය යුතු අතර ඒ අනුව මෙම සහනය ලබා දීම සිදු වීමට නියමිතය. නමුත් මේ ක‍්‍රියාකාරී සැලැස්ම සම්බන්ධයෙන් පසුගිය සතියේ දී විවාදාත්මක තත්ත්වයක් මතුව තිබිණි.

පාර්ශ්වයක් වෙනුවෙන් ස්වාධීන වීම

මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා මෙරට ඇති අණ පනත් නීතිරීති ආදිය බාධාවක්ව පැවැති අතර ඒ තත්ත්වයන් දුරලීමට මෙම ක‍්‍රියාකාරී වාර්තාවෙන් පිළිගෙන තිබිණි. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දණ්ඩ නීති සංග‍්‍රහයේ ඇති සමලිංගිකත්වය දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස අර්ථකථනය කළ හැකි වගන්ති ඉවත් කිරීම, සෞඛ්‍යය, අධ්‍යාපනය හා නිවාස සඳහා හිමිකම් ලැබීම මූලික අයිතියක් බවට පිළිගැනීම සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලය තුළ විවාදයට ගැනී තිබිණි. නමුත් ලිංගික

තහංචි කොටස් හැර අන් සියල්ල අවසානයේ දී පිළිගැනීම සිදුව තිබෙන බව වාර්තා වී ඇත. අවාසනාවකට වෙනස් ලිංගික අවශ්‍යතාවන් සහිත වූවන් සම්බන්ධයෙන් පවතින පුහු සදාචාරවාදී මනස්ගාත පරාජය කිරීමට තවත් පරම්පරා කිහිපයක් යනු ඇති බව ද පෙනෙන්නට තිබේ.

කෙසේ නමුත් වත්මන් එළඹීම ද රටක් ලෙස ලත් ඉහළ ජයග‍්‍රහණයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඒ ජයග‍්‍රහණය හෝ ජනතාවට සන්නිවේදනය කිරීමට ආණ්ඩුව සමත්ව නැත. ජී.එස්.පී. ප්ලස් රුදුරු රකුසෙක් බවට ඊනියා ජාතිකවාදීන් මවන බොරුව සමාජගතව පවතී. ඒ කෙතරම්දයත් ආණ්ඩුව තුළින්ම මෙම ක‍්‍රියාකාරී සැලැස්මට එරෙහිව මත ගොඩ

නැගෙන්නේ ද ඉහත කී පටු ජාතිකවාදී චින්තනය අනුවමය. ජී.එස්.පී. ප්ලස් කොන්දේසි  කිසිවක් රටට අහිතකර ඒවා නොවන අතර ඒ ඉටු කළ හැකි ඒවාද වේ. බදු සහන ලැබීම හෝ නොලැබීම කවරක් වුවත් මෙම මානව හිමිකම් මෙරට ජනතාවට අත්‍යවශ්‍යයෙන්ම ලැබිය යුතු ඒවාය. වත්මන් පාලනය තුළින් ජනතාව බලාපොරොත්තු වන්නේ ද එයමය. යහපාලනය යනුවෙන් අර්ථ දැක්වෙන්නේ මේ ඉටුකිරීමය.

අද ආණ්ඩුවේම සිටින අතුරලියේ රතන හිමි මේ වන විට සිදු කරමින් සිටින්නේ මේ යහපාලන ක‍්‍රියාවලියට බාධා කිරීමය. ඒ හුදුවේ ඔහුගේ ව්‍යායාමයක් නොවන අතර ඔහුට මුවා වූ වෙනත් දුෂ්ට දේශපාලන බලවේගයක් ක‍්‍රියාත්මකව ඇති බවත් පැහැදිලිය. මන්ද ඔහුගේ ප‍්‍රකාශිත අරමුණ මේ පවතින ව්‍යවස්ථාව රැකගැනීම වීම නිසාය. ව්‍යවස්ථාව රැකගැනීම සහ එමඟින් විධායක ජනාධිපති ධුරය ආරක්ෂා කර ගැනීමේ වුවමනාව මේ මොහොතේ පවතින්නේ කාටද යන්න ගැන ඉඟියක් ශ‍්‍රීලනිපය වෙතින් ලැබී තිබිණි. ඒ අනුව රතන හිමිගේ ස්වාධීන වීම පාර්ශ්වික අන්තයකට යාමක් බවත් පැහැදිලිය. මේ දේශපාලන තක්කඩිකම්වලින් තවදුරටත් සමාජය රැවටීමට සිදුවනු හැකි බව මේ පිරිස් විශ්වාස කරනවාද විය හැකිය. නමුත් ඒ යුගයන් දැන් අවසන් වෙමින් තිබෙන බව මේ ස්වාධීන වීම සම්බන්ධයෙන් සමාජ ජාලවලින් ලැබුණු ප‍්‍රතිචාර සනාථ කර තිබේ. දැන් මේ විහිළු නැවැත්විය යුතුය. ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්ෂා ඉටු කිරීම හැර වෙන සෙල්ලම් කිරීමට කිසිවකුත් මේ යුගයේ බලාපොරොත්තු නොවිය යුතුය. ඒ බව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් හිටපු ජනාධිපතිවරයාත් හා සියලූ දේශපාලකයනුත් තේරුම්ගත යුතුය.

සුජය

උපුටාගත්තේ සත්හඬෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *