විශේෂාංගඋපුටාගැනීම්

ඇගේ සිරුර, ඇගේ අයිතිය – ස්ත්‍රිය ද මනුෂ්‍යයෙකි!

ස්ති‍්‍රයගේ විවාහ වන වයස් සීමාව අවුරුදු 12 දක්වා අඩු කරන ලෙස ඉල්ලා පසුගිය දිනවල එක්තරා සංවිධානයක් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි. එහි සටන් පාඨ පුවරු ඔසවාගෙන සිටියේ ද ලාබාල වයසේ කුඩා දැරියන්ය. එයට විරෝධය පළකරමින් විවිධ ජාති වාදී සංවිධාන හා පුද්ගලයන් කරළියට බැස තිබූ අතර මොවුන් ප‍්‍රශ්නය අල්ලාගෙන ඇත්තේ හා සටන් කරන්නේ ද එහි සැබෑ මූලය හඳුනාගෙන නම් නොවේ.

විවාහය යනු කුමක් ද ස්ති‍්‍රයකට විවාහ ජීවිතයේදී පවුල් සංස්ථාව තුලත් අත්පත්වන තත්වය කුමක්ද යන්න සාකච්ඡුාව තවමත් අප ඉදිරියේ සමාජය ඉදිරියේ විවෘත සාකච්ඡාවක් නොවේ. නමුත් එම සාකච්ඡාව පුළුල් කර ගැනීම හා විවෘත කරගත යුතු සාකච්ඡාවක් වේ. එහිදී වයස අවුරුදු 12 වුවත් 18 වුවත් ඉන් එහා වයසකදී වුවත් සියලූ පවුල් සංස්ථාවන් තුළ ස්ත‍්‍රියට අත්පත්වන ඉරණම කුමක්දැයි අප සලකා බැලිය යුතුය.

‘‘ සුමත්තා සාධු මුත්තා- මහී නීති බජෙජති

මුක්තියාපතීනං – බුජජකෙත ච

‘උදු කබලෙන මුසාලෙන
මිදුනෙමි වෙමි
මොනවට මිදුනෙමි
වංගෙඩියෙන් ද, මෝල්ගහෙන් ද, සැමියාගෙන් ද යන
තුන් කුදයෙන්  මිදුනෙමි වෙමි.’
( මුත්තා ථෙරි ගාථා 2 )

මේ පූර්ව ධනේශ්වර ඉන්දියාව තුළ ස්ති‍්‍රය විවාහය තුළ අත්විඳි පීඩාවේ පැහැදිලි චිත‍්‍රයයි. මුක්තා තෙරණිය විවාහය හැරදා ශාසනයට ඇතුල් වන විට මෙලෙස පවසන්නේ එහෙයිනි. ඉතිහාසය සිට මේ දක්වාමත් පුරුෂ මූලික සමාජයේ විවාහය යනු ස්ති‍්‍රය ලිංගික මෙවලමක් ලෙස පාවිච්චි කළ හැකි බලපත‍්‍රයකි. ගෘහමය වහල්භාවයේ බැම්මෙන් සදාතනිකව බැඳ තබන රැුහැනකි. ධනේශ්වර සමාජයේ ස්ති‍්‍රය ලිංගික මෙවලමකි, භාණ්ඩයකි.  ඕනෑම වයස් සීමාවකින් තොරව පාවිච්චි කළ හැකි උපකරණයකි. එයට නීතිමය රැුකවරණය සැලසෙන එක් ආකාරයක් බවට විවාහය පත්ව ඇත. එබැවින් කුමන වයසදී විවාහ වුවත් ස්ති‍්‍රය යනු පුරුෂයාගේ ලිංගික ගොදුරකි.

එයට ලඟම උදාහරණය වන්නේ පසුගිය දිනයක රඹුක්කන ප‍්‍රදේශයෙන් ඇසුණු පුවතකි.  එහිදී එක් ස්ත‍්‍රියක් පොලීසියට ගොස් පැමිණිලි කර තිබුණේ තම ස්වාමියාගේ ලිංගික වධ හිංසා තවදුරත් දරාගත නොහැකි බවටය. එසේ පවසා තිබුණේ ද දරුවන් තිදෙනෙකු ද ලැබී වසර 12 කට පසුවය. කුඩා කල සිටම ස්ත‍්‍රී මානසිකත්වය ගොඩ නගන ආකාරයත්  විවාහ දිවියට ඇතුල්වන විට ඇයට පවුලේ ඥාතීන්ගෙන් වැඩිහිටියන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ලැබෙන සියලූ අවවාද අනුශාසනා වලත් මූලික හරය වන්නේ විවාහයෙන් පසුව ගත කරන ජීවිතය සැප හෝ දුක එක ලෙස දරා ගනිමින් පවුලේ ගෞරවය ආරක්ෂා කරමින් ජීවත් වන ලෙසය. මෙම තත්වය ස්ත‍්‍රියට පමණක් අත්වන්නකි. ඇය පමණක් ඉටු කළ යුතු යුතුකමකි. එය ඇයට කෙතරම් පීඩාවත් වුවත් එය දරාගත යුතු බවටත් ඉවසිය යුතු බවටත් ඇයට අවවාද අනුශාසනා දෙන්නේ වැඩිහිටි ස්ත‍්‍රීන් විසින්ම වීමද මෙහිදී සැලකිල්ලට ගත යුතුය.

මෙයට ජාති ආගම් කුල භේද ආදල වන්නේ නැත. ඇයට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය, තමන් කැමති ලෙස ජීවත් වීමේ අයිතිය රැකියාවක් කිරීමේ අයිතිය, තමන්ගේ ශරීරය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය යන මේ සියලූ අයිතීන් පුරුෂ මූලික මනෝභාවයන් ඇති සමාජයක වයස අවුරුදු 12න් විවාහ කර දීමේ අවසරය ආගමික නීති මුවාවෙන් ඉල්ලා සිටීම අනුව වේලාසනම මාංශ වෙළෙඳාම සඳහා අවසරය ඉල්ලීමකි. නීතියේ පිළිසරණ පැතීම. ස්ති‍්‍රයගේ සමාජ  පැවැත්ම සහමුලින්ම ප‍්‍රතික්ෂේප කිරීම. ස්ත‍්‍රීන් යනු දරුවන් වදන යන්ත‍්‍ර ලෙස සලකා එයට ආගමික සංස්ථාවේ අනුමැතියද ලබා ගනිමින් සංස්කෘතික තත්වයන් තුළ එයට යටත් විය යුතුයි යන පදනමේ පිහිටා ගෙන එක් පැත්තකින් අරගලයක් සිදු වෙද්දී එය කෙතරම් සාධාරණ ද යන්න විමසා බැලිය යුතු සේම එයට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කරන්නන්ට එවැනි ම පුරුෂ මූලික මනෝභාවයන් සහිත විවාහය තුළදී මෙන්ම පොදුවේ දී ස්ත‍්‍රී පීඩාවේ පීඩකයන් වීම ද හාස්‍යජනකය. කෙසේ වෙතත් වයස අවුරුදු 12 යනු තවමත් ඉතා කුඩා දරුවන් ය. ඇයට වැඩිවියට පත් වූුවා වුවත් දරුවෙකු ලැබීමට හෝ ලිංගික ජීවිතය පිළිබඳ අවබෝධයක් හෝ ඒ ගැන සූදානමක් හෝ ඇයට නැත. විවාහය හෝ ලිංගිකත්වය ගැන ඉතා කුඩා කියවීමක් හෝ ඇයට නැත. ඇය ඇගේ ජීවිතයේ සියලූ අයිතිවාසිකම් එක් පිරිමියෙකුගේ උවමනාවන් වෙනුවෙන් පූජා කළ යුතුය. අප හ`ඩ නැගිය යුතු වන්නේ කිසිඳු ජාතියකට හෝ ආගමකට යටත්ව නොව මෙම තත්වය තුළ පීඩාවේ ගොදුර බවට පත්වන්නේ ස්ති‍්‍රයක් ය යන අවබෝධය සහිතවය.එහෙත් එයට අදාල සාකච්ඡුාවක් මෙවැනි සමාජයක මතු වන්නේ නැත.

එලෙසම ඇයට අධ්‍යාපනය ලැබීමේ අයිතිය, දැරුවෙකු ලෙස කාලය ගත කිරීමට ඇති අයිතිය ඇගෙන් උදුරා ගැනීම ගැනද සංකච්ඡුාවක් නැත. ආගම් භේදය හෝ ජාති භේදය පටලවා ගන්නවා වෙනුවට ස්ත‍්‍රී පීඩාව කොතෙක් දුරට මේ සමාජය තුළ ස්ථානගත වී ඇත් ද යන්න එයට ස්ති‍්‍රය ගොදුරු වීම වලක්වා ගන්නේ කෙසේද යන්නත් සමාජය තුළ විශේෂයෙන් සාකච්ඡුාවට ගත යුතුය. නමුත් අධ්‍යාපනයේ අයිතිය, තමන් කැමති ලෙස ජීවත් වීමේ අයිතිය, ශරීරය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතිය බරපතල ලෙස උල්ලංඝණය වන සමාජයක දී වයස් සීමාව පමණක් ප‍්‍රශ්නයක් ලෙස ගැනීමට පෙළඹෙන බොහෝ දෙනාගේ එකී පදනම ද පුරුෂ මූලික වීම ද විවෘතව සංවාදය ගත යුතුය.

සමාජයක ස්ති‍්‍රයට සියලූ තැන් ලැබෙන්නේ දෙවෙනි පුරවැසියෙකුගේ තත්වයයි. බොහෝ සාකච්ඡාවලදී මතුවන ආකාරයට ඇයට නිදහස ලැබී ඇති බවත් රැුකියා අවස්ථා හිමි වී ඇති බවත් කියන සමාජය තවමත් ඇය  බැඳ දමා ඇති ගෘහමය ශ‍්‍රම කටයුතු පිළිබඳව කතා කරන්නේ නැත. ඇයට පෞද්ගලික අංශය වේවා රජයේ වේවා රැකියාව අවසන්ව නැවත දිව යන්නට සිදුවන්නේ ගෘහමය කටයුතු ඇයගේ කටයුත්තක් වී ඇති බැවිනි.  සමාජයේ බොහෝ දෙනා සිතන්නේ ඒවා ගැහැනුන්ගේ වැඩ ලෙසය. ශ‍්‍රමය බෙදා ඇත්තේ ම ගැහැනු වැඩ සහ පිරිමි වැඩ ලෙස අර්ථ ගන්වමිනි. එවැනි වටපිටාවක ඇය දරුවන් වදන යන්ත‍්‍රයකි. පිරිමියාගේ ලිංගික අවශ්‍යතා සපුරන මෙවලමකි. නිවසේ දහසකුත් දේ ඉටු කරන වහලියකි. එය ගැහැණියගේ උරුමය සහ කරුමය ලෙස පිළිගත යුතුය.  ඒ ධනේශ්වර සමාජයේ මනෝභාවයයි.

ඉදින් මේ සඳහා අදාළ කරන සැබෑ සාකච්ඡාවක් වෙනුවට වෙනත් හේතු පදනම් කරගෙන ප‍්‍රශ්නයේ වලිගයෙන් අල්ලාගෙන බොහෝ දෙනා තම තමන්ගේ අවශ්‍යතාවයන් උවමානවන් සමාජ ගත කරන බව පෙනෙන්නට තිබේ. මේ වෙනස් කිරීමට අදාල වන භෞතික මැදිහත් වීමක් නොකරන  මේ පුරුෂ මුලික සමාජයේ සියලූ දෙනා ඒ පාදක කර ගනිමින් ඉතා සුළු සිදුවීමකදී වුව අවි අමෝරා ගනිති. සටනට බසිති. නමුත් තමන් ද ඒ අයුරින්ම හෝ එසේත් නැතිනම් ඊට වෙනස්ව හෝ ස්ත‍්‍රී පීඩකයින් බව ඔවුන්ට නොතේරෙයි. එබැවින් මෙම තත්වයන්හිදී අපට එවැනි පුද්ගලයන්ගෙන් මෙන්ම සංවිධාන වලින් ද ඇසීමට එක් ප‍්‍රශ්නයක් තිබේ. එය නම් ඔබ ස්ති‍්‍රයගේ ශරීරය පිළිබඳව ඇයට ඇති අයිතිය පිළිගන්නවාද?, ඇය ධනේශ්වර සමාජයේ සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ලිංගික මෙවලමක් බව ඔබ පිළිගන්නවා ද?, විවාහ ජිවිතය තුල ස්ති‍්‍රය හිංසනයට ලක් වන බව ඔබ පිළිගන්නවාද?, විවාහය යනු පුරුෂයාට තමන් කැමති ලෙස ස්ති‍්‍රය පරිහරණය කළ හැකි බලපත‍්‍රයක් බව ඔබ පිළිගන්නවාද? එසේ නම් ස්තී‍්‍ර පුරුෂ භේදයකින් තොරව සටන ඇත්තේ වෙනත් තැනකය. සමාජයේ සිදුවන කුඩා කුඩා සිදුවීම් වලට පමණක් ප‍්‍රතිචාර දැක්වීමෙන් එම ගැටලූව නිරාකරණය වන්නේ නැත. ඒ සඳහා ඉන් එහාට ගිය මිනිස් මනෝභාවයන් ආකල්ප හා සමාජ පසුගාමීත්වයන් පරාජය කළ හැකි දියුණු සංවාදයක් මෙන්ම මැදිහත් වීමක් අවශ්‍යය.

සැබෑවටම මෙය වෙනස් කළ හැක්කේ සමාජයක සාතිශය බහුතරයක් ස්ත‍්‍රීන් මෙන්ම පුරුෂයන් මෙම තත්වය නිවැරදිව අවබෝධ කරගත හොත් පමණි. ඒ සඳහා වෙන්ව නොව එක්ව කරන සටනක් අප ඉදිරියේ තිබේ. එයට ජාති ආගම් කුලභේද හෝ පාට පක්ෂ භේදයක් අවශ්‍ය නොවේ. තනිව කරන සටනක් නොව එක්ව කරන සටනකින් මිස මෙම තත්ත්වය වෙනස් කිරීමට නොහැකි වන අතර ස්ත‍්‍රියගේ ජීවිතයේ සැබෑ ගරුත්වය හා අර්ථය ඇයට හිමි වන්නේද එවන් මැදිහත් වීමකින්ම පමණි.

උපුටාගත්තේ LV

Leave a Reply

Your email address will not be published. Required fields are marked *