විශේෂාංගඋපුටාගැනීම්

සිවිල් සමාජය සමඟ වසර දෙකක්

මේ ගෙවෙන්නේ 2016 වසරේ අවසන් සතිය යි. මෙම සතියේ දී අප බලාපොරොත්තු වූයේ මෙම වසර තුළ ආණ්ඩුව අත්පත් කරගත් ජය පරාජ ගැන සාකච්ඡාවකට මුලපුරන්නටය.

එක පාලන තන්ත්‍රයක් පෙරළා දමා නව පාලන තන්ත්‍රයක් බිහි වී වසර දෙකක් ගත වීමෙන් පසුව රටට හා පුරවැසියාට හිමිව තිබෙන ප්‍රතිලාභය කුමක්ද යන්න ගැන විවිධ අදහස් උදහස් රැසක් සමාජය හමුවේ තිබේ. වසර දෙකක කාලයක් යනු ආණ්ඩුවකට තමන්ගේ හැකියාව පෙන්වාලීමට තරම් ප්‍රමාණවත් කාලයකි.

වත්මන් පාලනයට වසරක් පිරෙන තැනදීත් ඇතැමුන් ආර්ථික අර්බුද, දේශපාලන අර්බුද මත සම්මුතිකආණ්ඩුවට තවදුරටත් පැවැතිය නොහැකි බවත්, එය බිඳ වැටී රාජපක්ෂලාගේ ආණ්ඩුවක් යළි බිහි වනු ඇති බවත් පැවැසීය. නමුත් දැන් තවත් වසරක් ගෙවී ගොස් ඇත. ඒ අතරේ දී 2017 වසරේ දී සම්මුතික ආණ්ඩුව අවසන් බවත් ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහි වනු ඇති බවත් ශ්‍රීලනිපයේම ඇතැම් නායකයන් පවසන්නට පටන් ගෙන ඇත. ඒඅතරේ දී එජාපයෙන් නැඟෙන චෝදනාවක් වන්නේ ශ්‍රීලනිප නායකයන් ආණ්ඩුවේ වරප්‍රසාද භුක්ති විඳිමින් ආණ්ඩුවම විවේචනය කරමින් සිටීම තවදුරටත් නොවිය යුතු බවත්, ඒ අනුව සම්මුතික ආණ්ඩුව පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සිදු වනු ඇති බවත් ය.

කෙසේ නමුත් තමන් බලයට පැමිණීමට පෙර දුන් පොරොන්දු ඉටු කළාද නැද්ද යන ගැන වගක් මේ ප්‍රකාශවල නැත. තමන්ගේ පක්ෂයට, තමන්ට තනි බලයක් අත්පත් කර ගැනීම සඳහා වන පටු දේශපාලන උවමනාව පමණක් පෙන්නුම් කරමින් තිබේ.

මේ මොහොතේ කළ යුතු දේ

දුන් පොරොන්දු ඉටු නොකර ආණ්ඩු වෙනස් කර ජනතාව හමුවේ යළි බබාලා වන්නට ශ්‍රීලනිපය හෝ වේවා එජාපය හෝ වේවා කටයුතු කරන්නේ නම් ඒ නොම්මර එකේ තක්කඩිකමක් විනා වෙනෙකක් නොවේ. මේ අනුව සම්මුතික ආණ්ඩුව කඩා විසුරුවන්නට දත කන දේශපාලකයෙ යනු රටේ ජනතාව වෙතින් ප්‍රතික්ෂේප විය යුතු බඩගෝස්තරවාදී තක්කඩියන් බව ද දැඩි අවධාරණයෙන් යුතුව පවසන්නට සිදුව ඇත.  ඒකාධිපති වියරුවෙන් වෙළී එක පවුලක් පෝෂණය කරමින් සිටි රාජපක්ෂවරුන්ගේ කාලකණ්ණි පාලනය වෙනස් කිරීමට මෙරටේ බහුතර ජනතාවක් තීරණය කළේ යහපාලනය අපේක්ෂාවෙනි. ඒ වෙනුවෙන් නව ආණ්ඩුව සපුරාලිය යුතු කරුණු කාරණා ගණනාවක් විය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ නීතියේ ආධිපත්‍යය පිහිටුවීම,මානව නිදහස තහවුරු කිරීම, සැමට සමාන ලෙස සැලකීම, ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ තුළ විය. එසේම ජනප්‍රිය සටන් පාඨය වූ වංචාවට, දූෂණයට එරෙහි වීම සහ වරදකරුවන්ට දඬුවම් ලබා දීම ද විය. එහෙත් මේ කරුණුකාරණා සියල්ල ඉටු වීම ඉතා මන්දගාමීය. අල්ලපු හොරෙක් නැත. දූෂණ, වංචාව නැවැත්වීම සම්බන්ධයෙන් නිසි පියවර ගෙන ඇති බව නොපෙනේ. ආණ්ඩුවේ ඇමැතිවරු දහදොළොස් දෙනෙකුට වංචා, දූෂණ චෝදනා එල්ල වෙමින් පවතී. නව ව්‍යවස්ථාව ගෙන ඒම නව මැතිවරණ ක්‍රමයක් ගෙන ඒම ආදිය තවදුරටත්කතන්දරවලට සීමා වී පවතී. ආර්ථික වශයෙන් තවමත් අර්බුදයක් මිස ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ගැන සිහිනයක්දකින්නට තරම් හේතු කාරණා ද නැත.

මේ ආකාර තත්ත්ව මත ආණ්ඩුවට ලබා දුන් වසර පහ, හයක කාලය අතර ආණ්ඩු මාරුවකට කිසිවකු හෝ සැරසෙන්නේ නම් ඒ වැළැක්වීම විය යුතුය. ඔළුගෙඩි එහාට මෙහාට කර ආණ්ඩු මාරු කිරීම කිසිදු ගැටලුවකට විසඳුම නොවේ. තව තවත් අර්බුද පටලවා ගැනීමකි. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පසුගිය සතිය වන විට ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ ඉදිරි වසර දිළිඳුකම පිටු දකිමින් රට සංවර්ධනයේ මාවතට ගෙනෙන බව ය. පසුගිය වසර දෙක තුළ තමන්ට තිබූ අභියෝග කුමක්ද යන්න ගැන අගමැතිවරයා ප්‍රකාශ කළේ යහපාලන රජයේ පළමු වසර රට තුළ දේශපාලන ස්ථාවරයක් ඇති කිරීමටත්, දෙවන වසර රටේ ණය බර පාලනය කිරීමටත් ගත වූ අතර ඉදිරි වසර කිහිපය රට සංවර්ධනය කරා ගෙන යෑමට පියවර ගන්නා බව ය. එසේ නම් ඊට ඉඩ දිය යුතුවාක් මෙන්ම ඊට සහාය දිය යුතුය. විවේචන සාධනීය විය යුතුව තිබේ. අප නැවත වරක් අවධාරණය කරන්නේ කිසිලෙසකින්වත් රටේ ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකර කිසිවකුට ගැලවී යාමට ඉඩ නොදිය යුතු බවය. අප පෙනී සිටින්නේ ඒ වෙනුවෙනි.

සත්හඬ මජරද

එහෙත් පසුගිය දා සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන අප හිතවත් ගාමිණී වියන්ගොඩ මාධ්‍ය හමුවක් කැඳවමින්පුවත්පතේ නම සඳහන් නොකරමින් වුව අප ඉලක්ක කර ගනිමින් ප්‍රකාශ කර තිබුණේ මේ ‘සත්හඬ’ට වුවමනා වීතිබෙන්නේ මේ තියෙන මජර සංස්කෘතිය එක දිගටම පවත්වා ගෙන යාම බවය.

නමුත් සත්හඬ පසුගිය වසර එකහමාර තුළ මේ පවතින මජර සංස්කෘතිය සම්බන්ධයෙන් කළ හෙළිදරව් කිරීමවලට සහ ඊට එරෙහිව නැඟන හඬට අලගු තියන්නටවත් මේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ට හැකි වුණේනැති බව අවධාරණයෙන් පැවසිය යුතුය.

මේ තත්ත්වය නිසා ‘මේ ඊනියා සිවිල් සමාජයේ දැන ගැනීම පිණිසයි’ යන අවධාරණය සහිතව වත්මන් ආණ්ඩුවේඇතැම් දූෂිතයන් ගැන හෙළිදරව් කිරීමට ද අපට සිදුව තිබිණ. මේ නිසා ඇතැම් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් සත්හඬ හා බද්ධ වෛරයෙන් පසුවෙමින් සිටී. මේ තත්ත්වය තව තවත් තීව්‍ර කරනු ලැබුවේ පසුගිය සතියේ සත්හඬ පුවත්පතේ මුල් පිටුවේ පුවතක් ලෙස සඳහන් වුණ ධර්මසිරි බණ්ඩාරනායකට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සහ සංස්කෘතික ඇමැති ධුරය පිරිනැමීම සඳහා යම් ක්‍රියාමාර්ගයක් දියත්ව ඇති බවට වන පුවතය. එමෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් වන ගාමිණී වියන්ගොඩ සහ සමන් රත්නප්‍රිය සම්බන්ධයෙන් ද එවැනි නාමයෝජනා ලැබී තිබෙන බවත් එහි සඳහන් කර තිබිණි.

කෙසේ නමුත් මෙම පුවත බලාපොරොත්තු වූවාට වඩා අනේක ප්‍රතිචාරවලට හේතු වී තිබේ. විශේෂයෙන්ම සිවිල්සමාජ ක්‍රියාකාරිකයන් ලෙස පෙනී සිටින ගාමිණී වියන්ගොඩ ප්‍රමුඛ පුරවැසි බලය ලෙස පෙනී සිටින කණ්ඩායම මේ සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශ සහ මාධ්‍ය හමු ද පවත්වමින් සත්හඬ පුවත සම්බන්ධයෙන් බරපතළ විවේචන එල්ල කර තිබුණි.

ඔවුන්ට අනුව මෙම පුවත පළ කිරීම සිවිල් සමාජ ව්‍යාපාරයට එරෙහිව හිතා මතා සැලසුම් කළ කුමන්ත්‍රණයකි.සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ගේ කන්‍යා භාවයට හානි කිරීමේ කුමන්ත්‍රණයකි. ඔවුන් කෙරේ ජනතාවගේ ඇති ප්‍රසාදය දිය කර හැරීමකි.

 

තනතුරු නොගැනීමද අනතුරුදායකය

එම චෝදනා කවරක් වුවත් මෙම සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ලෙස පෙනී සිටින කණ්ඩායම මන්ත්‍රී ධුර හෝ රජයේ කිසිදු තනතුරක් බලාපොරොත්තු නොවනවා විය හැකිය තනතුරු ලබා ගැනීම ඔවුන්ගේ විනාශයට හේතුවනවාය යනුවෙන් කල්පනා කිරීම ඔවුන්ට අනුව නිවැරැදි ද විය හැකිය. එහෙත් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ස්වාධීන මත දක්වන්නන් ලෙස පෙනී සිටිමින් වර්තමාන සමාජ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ගේ වන ඇතැම් මැදිහත් වීම් විවාදාපන්නය. ඒ ඇතැම් විටෙක තනතුරක් ලබාගෙන පැත්තකට වී සිටීමට වඩා වටින්නේ මැදිහත්වීම් රටට අනතුරුදායක වූ බව ද ඇතැම් අවස්ථාවක පෙන්වා දී ඇත.

පසුගිය රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා මෙම සිවිල් සමාජ ව්‍යාපාර එක් කණ්ඩායමක්ව කටයුතු කිරීමප්‍රදර්ශනය වූව ද අද දකින්නට ලැබෙන්නේ තම තමන්ගේ වෙනත් වුවමනා එපාකම් මත බෙදී විසිර සිටින ස්වභාවය යි. එක කණ්ඩායමක් ජනාධිපති මන්දිරයේ පහස ලබන විට තව කණ්ඩායමක් අරලියගහ මන්දිරයේ පහස ලබමින් සිටිති. තවත් පිරිසක් තමන් ස්වාධීන යැයි පෙන්වමින් තම තමන්ගේ මන්දිර තනා ගනිමින් සිටිති. වත්මන් පාලනයේ ගෙවුණු දෙවසර තුළ දී මෙම කණ්ඩායම් ඉතා පටු දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් පෙනීසිටිය බව ද ඇතැම් කරුණක් සම්බන්ධයෙන් සැඟවී සිටිය බව ද අප්‍රකට කරුණක් නොවේ මේ ඩබල් ගේම් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් මේ වන විටත් සමාජය හමුවේ නිරුවත් වෙමින් තිබෙන බව සමාජ ජාලා පරිශීලනය කරන්නන්ට අමුතු කාරණාවක් නොවේ. බරපතළ ගණයේ දූෂණ විරෝධීන් ලෙස පෙනී සිටින මෙම කණ්ඩායමේ ඇතැමුන් වත්මන් ආණ්ඩුවේම දූෂිත මැති ඇමැතිවරුන් දූෂිත නිලධාරීන් සමඟ එකම වේදිකාවේ සිටිනු ද දකින්නට ලැබේ. ගනුදෙනු පවත්වා ගනිමින් සිටින බව රටට රහසක් වුව ද එය අපිට එය රහසක්නොවේ. එහෙත් තවදුරටත් එය නොදැක්කා සේ, නොදන්නා සේ සිටීමට හැකි කාලය දැන් ඉක්මවා යමින් පවතී. මෙම සිවිල් සමාජ ව්‍යාපාර සම්බන්ධයෙන් වන විවේචනය අපට අලුත් දෙයක් නොවේ. මේ ව්‍යාපාර හරහා කෙරෙන තක්කඩිකම් ගැන අපි මීට පෙර ඕනෑ තරම් ලියා ඇත. දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රතිපත්තියට අප එකඟ නැත. සත්හඬ පුවත්පතේ කන්‍යා භාවය ගැන ඇතැමකු දැන් ප්‍රශ්න කළ හැකි නමුත් ඒ ගැන අප මීට පෙර අවස්ථාගණනාවක දී පෙන්වා දී ඇත. අපි ඉන්නේ මහපාරේය. ඒ නිසා කාගෙ කාගෙත් කෙරුවාව ගැන අපට වඩා හොඳින් දන්නා තවත් අය සිටියා නොහැකිය. වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීමෙන් සිදු වන හානියේ බරපතළකම ගැන මේ සිවිල් සමාජ ව්‍යාපාරිකයෝ නැවත වරක් කල්පනා කරන්නේ නම් අනාගතයට හොඳය.

මධ්‍යම පාන්තිකයෝ

මෙම සිවිල් සමාජ ව්‍යපාර ක්‍රියාකාරිත්වය යනු මෙරට දේශපාලනයේ තීරක සාධකයක් බව ඔවුන් සිතා සිටියත් ඒ මධ්‍යම පාන්තික විකාරයකට වඩා දෙයක් නොවේ. සිවිල් සමාජ ව්‍යාපාරය යනු දේශපාලනික බලවේගයක් හෝ කණ්ඩායමක් නොවේ. යම් නිශ්චිත කාරණයක් වෙනුවෙන් ඒකරාශී වී ඒ මුදුන් පමුණුවා ගැනීමෙන් පසුව විසිර යෑම සිවිල් සමාජ ව්‍යාපාරවල ස්වභාවය වුවත් මෙරටේ දී සිදු වී ඇත්තේ, සිවිල් සමාජ ව්‍යාපාරයට අයිතිකාරයන් බිහි වීමය. එවා සදාකාලික බූදලයක් බවට පත් කර ගැනීමය. දිගින් දිගටම ඒවා නඩත්තු කරගෙන යාමය. මෙමනඩත්තු කිරීම පිටුපස තවත් දේශපාලන කණ්ඩායම් සිටින බව ද දන්නෝ දනිති. සිවිල් සමාජ ව්‍යාපාරය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇතැයි මැසිවිලි නැගෙන්නේ මේ බූදලේ උරුමකරුවන්ගෙන් බව පැහැදිලිය.

කෙසේ නමුත් කාලෙන් කාලෙට විසිරුණු විවිධ මත දරන්නන්ගේ රංචු ගැසීම් දක්නට ලැබීම සාමාන්‍යය. ඒ අනුව මීළඟ මැතිවරණයක දී යළි රාජපක්ෂවරු බලයට පත් කිරීම සඳහා වුව… මෙම කණ්ඩායම්වල කොටස් ඒකරාශී වීමේ නොහැකියාවක් නොමැත. තමන්ට ගැළපෙන සටන් පාඨයක් නිර්මාණය කරගෙන කවර හෝ දේශපාලන කඳවුරකට ගැතිකම් කිරීම ඉතා පහසු කාරණාවකි. ඊට මෙරට ඡන්දදායකයාගෙන් අවසර ගත යුතු නැත. එමෙන්ම කිසිදු පුරවැසියකුගෙන් හෝ විරෝධයක් එල්ල වන්නේ ද නැත. දැවැන්ත දේශපාලන බලවේග නොවන කුඩා කණ්ඩායම් අද දේශපාලනමය කරුණු කාරණා සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මාධ්‍ය විසින් හදාදෙනු ලබන වේදිකාව මත වීම තුළ එම පාර්ශ්වවලට විශාල ජනතා බලවේග ලෙස පුරවැසියා හමුවේ පෙනී සිටීමේ අවස්ථාව හිමිව පවතී. පුරවැසියා කෙරෙහි ඔවුන් හෝ ඔවුන්ගේ ප්‍රකාශවල දේශපාලන බලපෑමක් නොමැති නමුත් මේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය නිසා තමන් විසින් තමන්ව රවටා ගැනීම දක්වා මේ පාර්ශ්ව පත්ව ඇති බව ඔවුන්ගේ ප්‍රකාශ අනුව පෙනී යයි. තමන් තීරක බලවේගයක් බව පැවසෙන්නේ ඒ අනුවය.

අපි තවම අවදියෙනි

ධර්මසිරි බණ්ඩාරනායක ට මන්ත්‍රී ධුරයක් පිරිනැමීම සම්බන්ධයෙන් වන පුවත නිසා ඇතැමුන්ගේ කලබල වීම ප්‍රකාශයට පත් වූයේ ‘තමන් සියදිවි නසා ගැනීමට සූදානම් නැත’ යනුවෙන් ප්‍රකාශ කරමිනි. එනම් දේශපාලනික තනතුරක් බාර ගැනීම තමන්ගේ විනාශයට හේතු වන බව පිළිගැනීම ය. එසේ විය හැක්කේ කෙසේද? දූෂණ විරෝධීන්’ මහා ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස පෙනී සිටිමින් යහපාලනය ගැන උපදෙස් දෙන මේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයාට දේශපාලන තනතුරක් ලැබීම විනාශ වීමට හේතුවක් නම් ඔවුන් විසින් වත්මන් ආණ්ඩුකරණය ගැන සිදු කරමින් සිටින විවේචනයම පදනම් විරහිත බවට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. ධර්මසිරි බණ්ඩාරනායකට මන්ත්‍රී ධුරයක් ලැබීම සිවිල් සමාජය දිය කර හැරීමේ කුමන්ත්‍රණයක් බව පැවසීම මේ බොරුව මත්තේ ඔවුන්ට පැවැත්මක් නැති බව හෙළිදරව් වීම හැර වෙන කුමක්ද?

තමන්ට තමන්වත් විශ්වාස නැති මේ සිවිල් සමාජ ක්‍රියාකාකාරිකයන්ගේ උපදෙස් ලබමින් ආණ්ඩු කරන්නට යෑමේ විපාකය මේ වන විට වත්මන් පාලකයන් ද අත්විඳිමින් සිටිනවාට සැකයක් නැත. පසුගිය දෙවසර තුළආණ්ඩුව ඇතැම් ක්‍රියාමාර්ග ගත්තේ මේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ගේ කෑකෝ ගැසීම් අනුවය. ඒ අනුවආණ්ඩුවට නිවැරදි ක්‍රියාමර්ගය තෝරා ගැනීමට හැකි වූයේ නම් එහි වරදක් නොමැත. එහෙත් ජනාධිපතිවරයා දඅගමැතිවරයා ද විටෙක වැරැදි තීන්දු තීරණවලට ගියේ මේ කෑකෝ ගැසීම නතර කිරීම වෙනුවෙන් විනා විය යුතුනිවැරැදි ක්‍රියාමාර්ගය ලෙස නොවේ. සිවිල් සමාජ ව්‍යාපාර ආරක්ෂා කිරීම හෝ විනාශ කිරීමේ කාරිය අපට අදාළ නැත. ඒවා ස්වයංජාතව ස්වයංව විනාශ වෙමින් පවතින දෑය. නමුත් එය දේශපාලනයට ඈඳා ගැනීම සම්බන්ධයෙන් පරිස්සම් වීමට දේශපාලකයන් සමත් විය යුතුය.

 – සුජය

උපුටාගත්තේ සත්හඬෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *