අපරාධවිශේෂාංගඋපුටාගැනීම්

ලසන්ත ඝාතනයෙන් මහින්ද බේරා ගැනීම හෙවත් “අරුම පුදුම”ටෙලිෆෝන් සංවාද!

සන්ඩේ ලීඩර් පුවත්පතේ ලසන්ත වික්‍රමතුංග මහතා සහ හිටපු ජනාධිපති මහින්ද  රාජපක්ෂ මහතා අතර  සිදු වූයේ යැයි සැලකෙන දුරකථන සංවාද හෙළිදරව් කිරීම තුළ ඇති දේශපාලනය ඉතා වෙනස්ය. තාවකාලිකව වසා දමා තිබු ගඳ ගසන වැසිකිළි වල විවර වී තිබේ. දුර්ගන්දය පමණක් නොව පණුවන්ද මතුපිටට පැමිණෙමින් සිටිති. පණුවන් දැක තම රස නහර පිනා ගොස් ඒ දෙසට පියඹා එන කපුටන් රාශියකි. පැරණි නාට්‍යයේ පිටපත අලුත් වේදිකාවක රඟ දක්වමින් තිබෙන සැටියෙකි.

බැලූ බැල්මට බොහෝ දෙනෙකුගේ රස නහර පිනා යන මෙවැනි දෑ වලින් මූලික වශයෙන් යමෙකු බලාපොරොත්තු වන්නේ කුමක්ද? ලසන්තගේ ඝාතනයෙන් වසර හතක් අවෑමෙන් සිදුවන මෙම හෙළිදරව් කිරීම් වල යම් කිසි හෝ වෙනත් අරමුණක් තිබේද? ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මහත් ආන්දෝලනයක් ඇතිකොට පැවති ආණ්ඩුව විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහතා මත මූලික වගකීම පැවරී ඇති මෙම දුෂ්ඨ ඝාතනය සිදු කළ අයවලුන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙමින් පවතින අවස්ථාවක මෙවැනි දුරකථන සංවාද මාධ්‍යය ඔස්සේ ප්‍රචාරණය වීම තුළ ඇත්තේ කූඨ දේශපාලනයක්ද? එසේත් නොමැතිනම් අදාළ ඝාතනයට වගකිව යුතු ඝාතකයින් හෙළිදරව් කිරීමට සහය වීමක්ද?

මේ වන විට අදාළ කාරණය සම්බන්ධයෙන් දුරකථන සංවාද දෙකක් මාධ්‍යය ඔස්සේ ප්‍රචාරණය වී තිබේ. එම දෙකම රාජපක්ෂ ලසන්ත අමතනු ලැබූ දුරකථන සංවාද මිස ලසන්ත විසින් රාජපක්ෂ ඇමතු දුරකථන සංවාද නොවේ. මින් ගම්‍ය වන්නේ අදාළ සංවාද පටිගත කිරීමට මූලික වූ මූලාශ්‍රය මහින්දට අයත් වූවක් මිස ලසන්තට අයත් වූවක් නොවන බවයි. එසේම අදාළ දුරකථන සංවාද දෙක තුළම ඔවුන් දෙදෙනා පවත්වාගෙන ගිය “මිත්‍රත්වය” කෙතරම් ගැඹුරද යන්න පෙන්වා දීමට උත්සහ දරා තිබේ. එය හරි හෝ වැරදි යැයි සඳහන් කිරීම මෙහිදී වැදගත් නොවන කටයුත්තක් වන නමුත් මෙම කාරණය ඉතාම මැනවින් සංවිධානය කරනු ලැබූ කටයුත්තක් බවට කිසිඳු සැකයක් නොමැත. ඇතැම් විටක පණිවිඩකරුවාට එනම් මෙම සංවාද ප්‍රසිද්ධියට දැමීමට කටයුතු කරන්නාට හෝ නොදැනෙන මට්ටමින් මෙවැනි කටයුත්තක සැබෑ න්‍යායපත්‍රය ඉතාම සුළු පිරිසක් විසින් මෙහෙයවනවා විය හැකිය.

නමුත්, අදාළ සංවාද වලට ඇහුම්කම් දීමේදී අවබෝධ වන මූලික කාරණය වන්නේ, ලසන්ත ඝාතනය නමැති මහා අපරාධය තුළ රාජපක්ෂගේ තැවරුණු ලේ සෝදා හැර ඔහු ශුද්ධ වන්තයෙකු කිරීමට ඝාතනයෙන් වසර හයකට පසු යම් කිසි “මිත්‍රයින් පිරිසක්” ලහි ලහියේ කටයුතු කරන ආකාරයයි. මෙය සැබවින්ම අප්‍රසන්නය.

එය එසේ නොවේනම්, ලසන්ත රාජපක්ෂට දුන් ඇමතුම්ද ප්‍රසිද්ධ කිරීමට මෙම පණිවිඩකරුවා හෝ මෙම “සැලසුමේ” තිරය පිටුපස සිටින්නා කටයුතු කළ යුතු වේ. එසේම,  ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් වරයා මෙන්ම හිටපු  යුධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර මෙන්ම ඔවුහු අනෙකුත් මාධ්‍යකරුවන්ට ලබා දුන් දුරකථන ඇමතුම් පවා ප්‍රසිද්ධියට පත්විය යුතු වේ. එවිට මෙම සම්පූර්ණ සිදුවීම පිටුපස සිටින සැබෑ අපරාධකරුවන් හෙළිදරව් වීම සඳහා මූලික වටපිටාවක් සකස් වනු ඇත. රටේ මහජනතාවට මෙම කාරණයේ පුළුල් වටපිටාව තේරුම් ගැනීමට වටපිටාවක් සකස් වනු ඇත.

ඒ වෙනුවට තම ආණ්ඩුව යටතේ සිදු වූ ඝාතනයක එම ආණ්ඩුව පාලනය කළ ප්‍රධානියා මූලික වගකීමෙන් නිදහස් කිරීම සඳහා සිදුවන මෙවැනි දෑ තුළින් සිදුවන්නේ රටේ ජනතාවගේ දෑස් වලට යළිත් වැලි ගසා තම කූඨ දේශපාලන අරමුණු දිනා ගැනීමය.

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වගකිව යුතුය. මන්ද එවකට මෙරට පාලනය කළ පුද්ගලයා ඔහු වන හෙයිනි. එම වගකීමෙන් ඔහුට නිදහස් විය හැකිව තිබුණේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකොට රට හමුවේ යුක්තිය ඉෂ්ඨ කිරීමෙනි. නමුත් ඔහු එය දිගින් දිගටම මඟ හැරියේය. ඒ වෙනුවට වසර කිහිපයකට පසු තම මෝරා ගිය පැරණි ආලයට අදාළ දුරකථන සංවාද මාධ්‍යය ඔස්සේ ප්‍රචාරණය කොට ඉන් දේශපාලන වාසි සෙවීම අප්‍රසන්න කටයුත්තකි. මෙය යුක්තිය සඳහා මාර්ගය නොවේ. නමුත් අනෙකාව මුලාවේ හෙළීම සඳහා කදිම උපායකි.

වත්මන් ශ්‍රී ලංකාවේ විපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස  මහින්ද රාජපක්ෂ මහතා කළ යුතුව ඇත්තේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් තමන්ට කළ නොහැකි වූ වගකීම වත්මන් ආණ්ඩුවට සහය වීමෙන් හෝ ඉටු කිරීමය. එය ඔහු ඔහුගේ මිත්‍රයාගේ මළ කඳට හෝ සිදුකරන ගෞරවයකි.

සගයෙකු මහමගදී මරා දමා වසර හයක් ගත වී ඇත. ඝාතනය සඳහා සතුන් මැරීමට භාවිතා කරන ආයුධ භාවිතා කොට ඇත. අදාළ ආයුධ යුධ හමුදාවේ පිරිසක් විසින් මෙරටට ගෙන්වා අදාළ ඝාතනය වෙනුවෙන් භාවිතා කොට ඇතැයි කියනු ලැබේ. ඝාතනය මෙන්ම ඝාතනයට අණදුන් අයවලුන් සහ ඝාතනයෙන් තම දේශපාලන වාසී ලබාගත් සියල්ලම මෙම අශිෂ්ඨ සිදුවීමේ වග උත්තරකරුවන් වේ. එය, මතුපිටින් රඟ දක්වනු ලැබූ නාඩගම් වලින් වසා දැමිය නොහැකිය.

නිලන්ත ඉලංගමුව

උපුටාගත්තේ SLG

Leave a Reply

Your email address will not be published. Required fields are marked *