අපරාධවිශේෂාංගඋපුටාගැනීම්

ලලිත් – කුහන් උදුරාගෙන පස්වසරකි!

2011 දෙසැම්බර් 09 වැනිදායින් පසුව අවුරුදු පහක් ගෙවී ගොසිනි. ලලිත් සහ කුහන්ගේ අතුරුදන් කිරීම පිළිබඳව පස්වැනි දෙසැම්බරයේද ලිපියක් ලිවීමට සිදුව තිබේ. ඒ ඔවුන්ට කුමක් සිදුවූයේදැයි හාංකවිසියක්වත් නොදැනය. මේ කාලය තුළ ජනාධිපතිවරයකු සහ ආණ්ඩුවක් වෙනස් වී තිබේ. අලූතින් ආ ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් පසුගිය පාලනය විසින් සිදු කරන ලද මානව විරෝධී ක‍්‍රියා සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන බවට දුන් පොරොන්දු අවුරුදු දෙකක් තිස්සේ පිළුණු වෙමින් තිබේ. අවුරුදු පහකට ඉහතදී තාප්ප මත ලියූ ‘ලලිත්-කුහන් කෝ?’ වැකි තවමත් පිළිතුරු අපේක්ෂාවෙන් මං මාවත්වල යන එන ජනකාය දෙස බලා සිටී.

මේ ලලිත් සහ කුහන් ගැන සමරු සටහනක් නොවේ. ඔවුන්ට සිදු වූයේ කුමක්දැයි අප තවමත් සොයමින් සිටින්නෙමු. ඔවුන් දෙදෙනා අපට මේ තරම් වටින්නේ ඇයි?
2009 යුද්ධය අවසන් වෙමින් තිබෙද්දී, ආණ්ඩුවේ මිලිටරිය විසින් උතුර මුළුමනින්ම වටලා තිබියදී, ඒ අතරට රිංගන මැස්සෙකුට වුවත් මරණය නියතව තිබියදී ලලිත් එහි ගියේය. ත‍්‍රිකුණාමලයෙන් පිටත් වූ ‘ජෙට් ලයිනර්’ මගී ප‍්‍රවාහන නෞකාවේ පළමු මගී කණ්ඩායම් අතර තවත් පැය කිහිපයකට පසුව කුමන අන්දමේ අත්දැකීමකට මුහුණ දීමට සිදුවේදැයි අවිනිශ්චිත මනසින් යුතුව ලලිත් සිටියේය. එහි යන තමන් පිළිගැනීමට ලක්වේද නැද්ද කියාවත් ඔහු නොදැන සිටියේය.

එහෙත් ඔහු එහි ගොස් එකින් එක අලූත් සබඳතා සොයා ගන්නට විය. තමන්ගේ ගමන් මල්ල කාර්යාලයක් බවට පත් කර ගත් ඔහු එහි උතුරේ ජනතාවගේ විවිධාකාර ප‍්‍රශ්නවලට ඉඩකඩ වෙන් කළේය.

තර්ජනය කිරීම්, පැහැර ගෙන ගොස් රඳවා තබා ගැනීම්, අත්අඩංගුවට ගැනීම්, පහරදීම්, පොලිස් සිර කුටියේ සිර කර තැබීම් රැුසක ගොදුරක් බවට පත් වෙමින් නමුත් ඔහු තමන්ගේ අරමුණ අත් නොහැර ගමන් කළේය. වැඩි ආරක්ෂාවක් මධ්‍යයේ රැුඳවුම් කඳවුරුවල රඳවා සිටි මිනිසුන් සහ ගැහැනුන් අතරින් අතුරුදන්වූවන්ගේ සහ මරණයට පත් වූවන්ගේ නාම ලේඛනවලට ඇතුළත් වී සිටි කිහිප දෙනකුම සොයා ගැනීමට ඔහු ඇතුළු පිරිසට හැකි විය. ඒ නොවන්නට ඔවුන් බොහෝ විට අදත් අතුරදන් වූවන්ගේ සහ මරණයට පත් වූවන්ගේ නාම ලේඛනවලම ජීවත්වීමට ඉඩ තිබිණි.

කුහන් ඔහුට හමුවූයේ මේ ගමන තුළදීය. බොහෝ දෙනකු අතර ඔහු ප‍්‍රචලිතව සිටියේ ‘ආටි කුහන්’ ලෙසිනි. ඒ කලක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳී සිටි ඔහු දක්ෂ කාලතුවක්කු වෙඩික්කරුවකු වූ නිසාය. එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාතිවාදී වැඩපිළිවෙළ නොරිස්සු කුහන් ඉන් ඉවත් වී එල්.ටී.ටී.ඊ.යේ සහ ආණ්ඩුවේ හමුදාවේ මරණ තර්ජන මැද ජීවත් විය.
ලලිත් සමග එක් වූ ඔහු ලලිත් හරහා ලැබුණු නව දේශපාලන දැනුම උද්යෝගයෙන් යුතුව බාර ගත්තේය. උතුරේ ගම් නියංගම් හරහා ලලිත් සමග සහ තනිවම තමන්ගේ යතුරුපැදියෙන්ද, බස් රථයෙන්ද පාගමනෙන්ද ගිය කුහන් ජාතිවාදයට එරෙහිව ජාතික සමගියත් පාලකයන් දෙසන ජාතික සමගිය වෙනුවට පීඩිත ජනතාව අතර සමගියත් පිළිබඳ පණිවිඩය බෙදා හැරියේය. උතුරේ දෙමළ බසින් නැගෙන විලාපය සිංහලට නගන්නත් දකුණේ සිංහල බසින් නැගෙන විලාපය දෙමළට නඟන්නත් ඔහු දිවා රෑ වෙහෙසුනේය.
පාලකයන් ජාතික සමගියේ සංදර්ශන පවත්වද්දී ලලිත් සහ කුහන් වේදනාවට පත්ව බැටකමින් සිටින දෙමළ සහ සිංහල ජනතාවගේ හදවත්වල නැෙඟන හැඟීම් එකිනෙකාට අවබෝධ කරවීමේ මෙහෙවරකට උර දුන්හ. පාලකයන් වඩාත් බියට පත් වූයේ ඊට වන්නට ඇත. පාලකයන්ට අවශ්‍ය වූයේ ජාතික සමගියේ නාමයෙන් සිදු වන සංදර්ශන මිස පීඩාවට පත් ජනතාවගේ සමගිය නොවේ. උතුරේ ජනතාව වෙනුවෙන් දකුණේ කළුකොඩි එසවෙන, දකුණේ ජනතාව වෙනුවෙන් උතුරේ කළුකොඩි එසවෙන එවැනි සමගියක් පාලකයන්ට වහකදුරුය.

2011 දෙසැම්බර් 10 වැනිදා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය උදා වෙමින් පැවැතියේ මෙවැනි සිදුවීම් මාලාවක් දිගහැරෙමින් තිබෙන අතරතුරයි. ඒ වෙනුවෙන් උතුරේ සහ දකුණේ සිවිල් ක‍්‍රියාකාරිකයන් එක්ව මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබිණි. එහි සංවිධාන කටයුතු සිදු කරන ලද්දේ ලලිත් සහ කුහන් විසිනි.

දෙසැම්බර් 9 වැනිදා ඔවුන් දෙදෙනා කුහන්ට අයත් යතුරුපැදියෙන් යමින් සිටියේ එහි සංවිධාන කටයුතු වෙනුවෙනි. එසේ යමින් සිටින අතුරතුර අච්චුවේලිහිදී ආණ්ඩුවේ හමුදාව විසින් ඔවුන් පැහැර ගෙන යනු ලැබීය. මෙතෙක් ඒ පිළිබඳව අපට තිබුණේ සැකයක් පමණි. සිද්ධිය දුටු බව පැවසූ අයගෙන් ඇසූ දේ අනුව පැමිණි නිගමනයක් පමණි. එහෙත් දැන් ඒ සැකය නිවැරදි බව ඔප්පු වී තිබේ.

ලලිත් සහ කුහන් පැහැර ගෙන යාමෙන් පසුව පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී එවකට කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල විශේෂ ප‍්‍රකාශයක් සිදු කළේය. ‘ලලිත් සහ කුහන් අතුරුදන් වී නැති බවත් ඔවුන් දෙදෙනා සිටිනා බවත්’ ඔහු පැවසුවේය.
මෙම ප‍්‍රකාශය පිළිබඳව සැබෑව හෙළි කරන ලෙස අධිකරණය අවස්ථා කිහිපයකදීම වරෙන්තු නිකුත් කළද කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණය හමුවට පැමිණියේ නැත. වරෙන්තුකරුවා නිදැල්ලේ සිටියදී පොලිසිය ඔහුට ආරක්ෂාව දුන්නා මිස අධිකරණ නියෝගයට අනුව ඔහු අත්අඩංගුවට ගත්තේ නැත. ඒ නීතිය ක‍්‍රියාත්මක වන ආකාරයයි. නීතිය එයයි. කෙසේ වුවත් අවසානයේ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා අධිකරණයට පැමිණියේය. එපමණක් නොව, ලලිත් සහ කුහන් අතුරුදන්ව නැති බවත් ඔවුන් දෙදෙනා සිටිනා බවත් තමන් මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේ ආරක්ෂක මණ්ඩලයේ තොරතුරුවලට අනුව යැයි ඔහු අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේය.

එම ප‍්‍රකාශයට අනුව, කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍ය හමුවට පැමිණෙන මොහොත දක්වා ලලිත් සහ කුහන් ආණ්ඩුවේ ආරක්ෂක ප‍්‍රධානීන්ගේ අනුදැනුම සහිතව කිසියම් ස්ථානයක රඳවා සිටි බව පැහැදිලිය. එවකට සිටි හමුදාපතිවරුන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බුද්ධි අංශ ප‍්‍රධානීන් ඇතුළු පිරිස ලලිත් සහ කුහන් පැහැර ගෙන යාම සහ රඳවා තබා ගැනීම පිළිබඳව දැන සිටි බව මින් තහවුරු වේ.

එසේ නම් ඉන් පසුව සිදු වූයේ කුමක්ද? ඒ ගැන දන්නේ ආණ්ඩුවේ ආරක්ෂක ප‍්‍රධානීන්ය. ඔවුන්ගේ අණ අනුව වැඩ කළ ගෝලයන්ය. දැන් ඔවුන් තමන් දන්නා දේ හෙළි කළ යුතුය. එය හෙළි කර ගැනීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවටයි. එහෙත් ආණ්ඩුවේ උත්සාහය මානව හිමිකම් රැුකීමවත් වැරදි නිවැරදි කිරීමවත් නොව ගහලයන් ආරක්ෂා කිරීමයි. ජනාධිපතිවරයා ඒ බව පසුගියදා විවෘතවම ප‍්‍රකාශ කළේය. අගමැතිවරයා තවමත් එය ප‍්‍රකාශ කර නැතත් ඔහු යමින් සිටින්නේද ඒ පාරේම බව පැහැදිලිය.

හමුදාවට බාර දුන් තම දරුවන්ට, සැමියන්ට සිදු වූයේ කුමක්දැයි උතුරේත් නැෙඟනහිරත් මව්වරු, බිරින්දෑවරු විමසති. ඔවුන්ට ඊනියා යහපාලන ආණ්ඩුව දෙන පිළිතුර කුමක්ද? හමුදාව විසින් පැහැර ගෙන යන ලද, අතුරුදන් වූවන්ගේ ලේඛනයේ නම තිබෙන තම දරුවා සිටින පුනරුත්ථාපන කඳවුරක ඡුායාරූපයක් පෙන්වමින් මවක් ඔහු සිටින්නේ කොතැනදැයි විමසයි. ඊනියා යහපාලන ආණ්ඩුව ඇයට දෙන පිළිතුර කුමක්ද? ලලිත්ගේ සහ කුහන්ගේ නෙත්වලට හසු නොවී පුනරුත්ථාපන කඳවුරු නමින් තිබූ කඳවුරුවල සඟවා සිටි, අතුරුදන් වූවන්ගේ නාමලේඛනයේ නම සඳහන්ව තිබූ සහ තවමත් එසේ තිබෙන තරුණ තරුණියන් පිළිබඳව ඊනියා යහපාලන ආණ්ඩුව කියන්නේ කුමක්ද?  ලලිත්ට සහ කුහන්ට සිදු වූයේ කුමක්ද යන ප‍්‍රශ්නයට සේම එම ප‍්‍රශ්නවලටද පිළිතුරු අවශ්‍යය. ඒවාට පිළිතුරු සොයා ගත යුතුය.

ලලිත් සහ කුහන් අප හමුවේ අභියෝගයක් ඉතිරි කර තිබේ. උතුරේ සහ දකුණේ පීඩිතයන්ගේ හැඟීම් එකිනෙක යා කිරීමේ කාර්ය වෙනුවෙන් ඔවුහු දිවි නොතකා වෙහෙස වූහ. තවමත් එය සපුරා ගත නොහැකි වූ වගකීමක් ලෙස අප හමුවේ තිබේ.

උපුටාගත්තේ  LV

Leave a Reply

Your email address will not be published. Required fields are marked *