විශේෂාංගඋපුටාගැනීම්

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ආර්ථික සහ සමාජ අයිතිවාසිකම් ඇතුළත් කිරීම: සාධාරණීකරණයකි !

ආර්ථික හා සමාජ අයිතිවාසිකම් අධිකරණයෙන් ආරක්ෂා කරදීම පිළිබඳ විවාදය අවසාන වශයෙන් සම්පත් බෙදීයාමේ සමාජ සාධාරණත්වය පිළිබඳ ප‍්‍රශ්නය සමගින් බැඳී තිබේ. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී’ යැයි තමන් විසින්ම ප‍්‍රකාශයට පත් කරන්නා වූ සමාජයක් තුළ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් සඳහා ගරුකරන්නේ කුමන අන්දමකින්ද යන්න පිළිබඳව රජය වගවන බව සහතික කරගැනීමට අධිකරණය ක‍්‍රියාත්මකවීම උචිත වන්නා සේම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක් වේ.

 

දිනේශා සමරරත්න

(නීති කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය)

2016 නොවැම්බර් 19වන දින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව වෙත භාර දෙන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ අනු-කමිටු වාර්තාව තුළින් අනෙකුත් කරුණු අතරේම, අධිකරණය හරහා ආර්ථික සහ සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම සඳහා ද විධිවිධාන සලසා තිබේ. යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් අධිකරණය හරහා ආරක්ෂා කරදීම (මෙය, විනිශ්චය විෂයකවීම නමින් ද හැඳින්වේ) ඇතුළත් කිරීමට යෝජනා කර තිබීම යම් යම් විවාද හා විරුද්ධවීම් සඳහා හේතුවී තිබේ (මේ සඳහා උදාහරණ ලෙස, 2016 ඔක්තෝබර් 4වන දින ඬේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් හි, රසීන් සාලි විසින් රචිත ‘Economic and Social Rights in the New Constitution: Why it’s a Terrible Idea’, 2016 ඔක්තෝබරයේදී මානව හිමිකම් කොමිෂන් සභාවෙන් යවන ලද විවෘත ලිපිය සහ 2016 ඔක්තෝබර් 14වන දින විජේ නාග්රාජ් ගේ ‘Economic and social rights in the Constitution: An idea whose time has come’ බලන්න). මෙම ලිපිය හරහා ඉන් ඇතැම් තර්ක සලකා බලා, අපගේ සමාජය තුළ යුක්තියේ ඉදිරි ගමන සඳහා මෙකී අයිතිවාසිකම් අධිකරණය හරහා ආරක්ෂා කරදීම සම්බන්ධයෙන් යම් සාධාරණීකරණයක් ලබාදෙනු ලැබේ. මෙම ලිපියේ රචිකාව ද සම කතුවරියක ලෙස කටයුතු කළ

‘Constitutionalising Economic and Social Rights in Sri Lanka’ (ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාගත කිරීම) (විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය, 2016)  නැමැති මාරියෝ ගෝමස් සහ තවත් අය විසින් රචනා කරන ලදුව මෑතකදී ප‍්‍රකාශයට පත් කළ මූලික පත‍්‍රිකාවකින් මෙම ලිපිය සඳහා කරුණු උකහාගෙන ඇතත් ආර්ථික හා සමාජ අයිතිවාසිකම් අධිකරණය හරහා ආරක්ෂා කිරීම කෙරෙහි මේ හරහා විශේෂයෙන් අවධානය යොමුකර තිබේ. මෙම ලිපියේ මුල් කොටස තුළින් අධිකරණයෙන් අයිතිවාසිකම් ආරක්ෂා කරදීම පිළිබඳව සවිස්තරාත්මකව සලකා බැලෙන අතර එසේ අධිකරණය හරහා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පක්ෂව තර්ක කිරීමට ඇති හේතු පිළිබඳව දෙවන කොටසින් සලකා බලනු ලැබේ.

මූලික අයිතිවාසිකම් පිළිබඳ අනු-කමිටුවේ වාර්තාව

මෙම වාර්තාව සැබැවින්ම යෝජිත අයිතිවාසිකම් පනත් කෙටුම්පතක් වේ. මෙම වාර්තාවේ වැදගත්කම සහ එයින් නිර්දේශිත වැඩිදියුණු කිරීම් වඩාත් සවිස්තරව සලකා බැලීම උචිත ය. 2000 වසරේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අනුව යමින්, කම්කරු අයිතිවාසිකම්, අධ්‍යාපනයට ඇති අයිතිවාසිකම, සෞඛ්‍යසම්පන්නභාවයට ඇති අයිතිවාසිකම, සමාජ අයිතිවාසිකම් සහ පරිසරයට හා ස්වභාවික සම්පත් සඳහා ඇති අයිතිවාසිකම යනාදී බලාත්මක කළහැකි ආර්ථික හා සමාජ අයිතිවාසිකම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට මෙම අනු-කමිටුවෙන් යෝජනා කර තිබේ. ප‍්‍රමාණවත් ආහාර හා පෝෂණය, පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව, ප‍්‍රමාණවත් නිවාස හා රැුකවරණ ස්ථාන, සුදුසු සමාජ රැුකවරණ සහ උචිත සේවා නියුක්තිය කරා ප‍්‍රවේශවීමේ අයිතිය, ක‍්‍රමානුකූලව සාක්ෂාත් කරගැනීමේ පදනම මත සමාජ අයිතිවාසිකම් අතරට ඇතුළත් වේ. තවද, අත්තනෝමතිකව නෙරපාහැරීම තහනම් කිරීම ද මීට ඇතුළත් කිරීම සුදුසු බව අනු-කමිටුවෙන් නිර්දේශ කරනු ලැබේ.

සමකාලීන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවල ආර්ථික සහ සමාජ අයිතිවාසිකම් පිළිබඳ තත්වය

ලෝකයේ විවිධ රටවල පවතින වඩාත් අළුත් හා වඩාත් ප‍්‍රගතිශීලී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා තුළ අධිකරණය හරහා ආර්ථික සහ සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා විධිවිධාන සලසා තිබේ. මේ සඳහා වන උදාහරණ අතරට 2010 කෙන්යානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, 2013 කොලොම්බියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ 2015 නේපාල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඇතුළත් වේ. අධිකරණය හරහා ආර්ථික හා සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවල ඇතුළත් විධිවිධාන හරහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ අයිතිවාසිකම් පනත් කෙටුම්පත කෙසේ විකාශය වී ඇත්ද යන්න පිළිබිඹු වේ. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පමණක් අධිකරණයෙන් ආරක්ෂා කළහැකි වියයුතු බව ජාත්‍යන්තර නීතිය මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය ද අතීතයේ පිළිගත් අදහස විය. 1966 ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය (දෙවන වගන්තිය) යටතේ ‘එකෙණෙහිම සාක්ෂාත් කරගැනීමට’ විෂයවන අයිතිවාසිකම් ලෙස සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් විස්තර කර තිබේ. අනෙත් අතට, ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් සලකනු ලැබුවේ රජයේ සාමාන්‍ය වගකීම් වශයෙන් වූ අතර 1966 ජාත්‍යන්තර ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් සම්මුතියේ (2වන වගන්තිය) විස්තර කර ඇති පරිදි ඒවා ‘ක‍්‍රමානුකූලව සාක්ෂාත් කරගැනීමට’ විෂය විය. ශ්‍රී ලංකාව (1978) සහ ඉන්දියාව (1949) සිදුකර ඇති අන්දමින්ම එකල බොහෝ ලිඛිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා තුළ මානව හිමිකම් අතර වූ මෙම ‘බෙදීම’ පිළිබිඹු විය. අධිකරණය හරහා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් බලාත්මක කිරීම සඳහා විධිවිධාන සලසා තිබුණු ඉහත කී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා දෙකෙහිම ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් විස්තර කර ඇත්තේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්මය වශයෙන් වූ අතර, පසුකාලීනව ඒවා ‘ අභිලාෂ’ තත්වයට ඇදහෙළා තිබේ.

එකල චින්තනය වූයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් හරහා රජය මත ‘නිෂේධාත්මක/සෘණ’ බැඳීම් පමණක් ඇතිකරන බවක්, එනම්, ‘උල්ලංඝනය නොකර සිටීමේ’ වගකීමක් පැවරෙන බවක් වේ. උදාහරණ ලෙස, අත්තනෝමතික අන්දමින් ප‍්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමෙන් වැලකී සිටීමට රජයට සිදුවූ අතර, අත් අඩංගුවේ සිටින පුද්ගලයින් වධහිංසාවට ලක් කිරීම රජයට තහනම් ක‍්‍රියාවක් විය. මෙහිදී පැවති අදහස වූයේ සම්පත් වෙන්කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් රජයක් ගන්නා තීරණ සඳහා මෙවැනි ‘නිෂේධාත්මක/සෘණ’ වගකීම් හරහා බලපෑමක් එල්ල නොවන බවත්, එසේ හෙයින් එවන් අයිතිවාසිකම් අධිකරණය හරහා බලාත්මක කරගැනීමට විෂය කළ හැකි බවත් වේ. අනෙක් අතට, ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් රජය මත ‘ධනාත්මක’ වගකීම් පවරනු ලබන අයිතිවාසිකම් වශයෙන්, එනම්, යමක් ‘සක‍්‍රියව සපයාදීමේ’ වගකීම පවරනු ලබන අයිතිවාසිකම් වශයෙන් විස්තර කරන ලදී. සෞඛ්‍ය සේවාවන් හා අධ්‍යාපනය ලබාදීම මීට හොඳම උදාහරණ වේ. එමනිසා ඒවා සම්පත් වෙන්කිරීම සහ ප‍්‍රතිපත්ති සම්පාදනය වුවමනා කෙරෙන අයිතිවාසිකම් වශයෙන් සලකනු ලැබූ අතර, ඒ හේතුව මත අධිකරණය හරහා බලාත්මක කරවාගැනීමට අනුචිත අයිතිවාසිකම් ලෙස සලකනු ලැබිණි. මෙම මතයට සමගාමීව, තීරණ ගැනීම සම්බන්ධයෙන් පටු විෂයපථයක් සහිත ආයතනයක් වශයෙන් එකල අධිකරණය සලකා ඇත. ඒ වනවිටත් මහජන අර්ථසාධක නඩුකර නොතිබූ අතර, අධිකරණය විසින් නීතිය අර්ථ නිරූපණයේදී ‘සමාජ යුක්තිය’ සම්බන්ධ කාරණා එතරම් වැදගත් වන බවක් සලකනු නොලැබීය.

එවක සිට මේ වනවිට, ආර්ථික සහ සමාජ අයිතිවාසිකම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා හරහා අධිකරණයෙන් බලාත්මක කරවාගැනීම සම්බන්ධයෙන් සැලකියයුතු දියුණුවක් සාක්ෂාත් කරගෙන තිබේ. ආර්ථික සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් සඳහා වන ටොරොන්ටෝ මුලපිරීම මගින් මෑතකදී සිදුකළ සංඛ්‍යානමය අධ්‍යයනයකට අනුව, වර්තමානයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා 158ක් මගින් අවම වශයෙන් එක් ආර්ථික හෝ සමාජ අයිතිවාසිකමක් හෝ පිළිගෙන තිබේ. මෙකී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අතරින් හැට හතක්ම එම අයිතිවාසිකම් විනිශ්චය විෂයක වන බව ප‍්‍රකාශයට පත්කර ඇති අතර, තවත් තිහක් මගින් ඒවා අභිලාෂාත්මක වන බව ප‍්‍රකාශ කොට තිබේ. අනෙකුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙම අයිතිවාසිකම් විනිශ්චය විෂයක තත්වයට ගෙනඒමට විධිවිධාන සැලසීම සහ ඒවා සඳහා අභිලාෂමය ප‍්‍රකාශ ඇතුළත් කිරීම අතර විවිධ මට්ටම්වල පවතියි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගැබ්කොට විනිශ්චය විෂයක තත්වයට බහුලවම ගෙනවිත් ඇති ආර්ථික හා සමාජ අයිතිවාසිකම වන්නේ දේපළ සඳහා වන අයිතිවාසිකම වන අතර අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය සහ ළමා ආරක්ෂාව එසේ කර ඇති අනෙකුත් අයිතිවාසිකම් හතර වේ. කළාපීය වශයෙන් ගත්කල, විනිශ්චය විෂයක ආර්ථික හා සමාජ අයිතිවාසිකම් බහුලවම දක්නට ලැබෙන්නේ ලතින් ඇමරිකානු රටවල හා නැගෙනහිර යුරෝපීය රටවල ය. අධිකරණයෙන් බලාත්මක කරගත හැකි අයිතිවාසිකම් වශයෙන් ආර්ථික සමාජ අයිතිවාසිකම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම ලෝකය මුළුල්ලේ වර්ධනය වෙමින් පවතින බව මෙම සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවේද මෙම වෙනස දක්නට ලැබේ. ආර්ථික හා සමාජ අයිතිවාසිකම් විනිශ්චය විෂයක අයිතිවාසිකම් වශයෙන් විස්තර කර ඇති 2000 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සඳහා පොදු පෙරමුණේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ද සහය ලැබිණි. පසුව, 2009 වසරේදී රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ යෝජනා වූ අයිතිවාසිකම් පනත් කෙටුම්පතේ ද ආර්ථික හා සමාජ අයිතිවාසිකම් අධිකරණය හරහා බලාත්මක කිරීම ඇතුළත් කර තිබිණි.

ශ්‍රී ලංකාවට විශේෂිත වන තර්ක

එසේ වුවද, ශ්‍රී ලංකාව සඳහා යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අධිකරණයෙන් බලාත්මක කළහැකි ආර්ථික හා සමාජ අයිතිවාසිකම් ඇතුළත් කිරීම සඳහා වන තර්කය සනාථ කිරීම සඳහා ඉහත කී ගෝලීය නැඹුරුතා උපකාරී වුවත් ශ්‍රී ලංකාවේ තත්වය සහ එම ගෝලීය නැඹුරුතා අතර ඇත්තේ සුළු සම්බන්ධතාවයකි. පෙන්වා දී ඇති පරිදි, 1940 දශකයේ මුල් භාගය තරම් ඈත කාලයක අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා පොදු ප‍්‍රවේශ පහසුකම් ලබාදුන් කේරළ ප‍්‍රාන්තය සහ ශ්‍රී ලංකාව මෙම කළාපයේ සුවිශේෂී ස්ථානයක් ගනියි. එසේ හෙයින්, පොදු ප‍්‍රවේශ පහසුකම් ලබා දී නොමැති අනෙකුත් රටවල් හා සම මට්ටමක ශ්‍රී ලංකාව පවතින බවක් සැලකීම නොමගයවනසුළු වේ. විසිවන සියවසේ මුල්භාගයේ දී ශ්‍රී ලංකාවේ පැවති සුබසාධන ප‍්‍රතිපත්ති සමාජ ආරක්ෂණය සඳහා වූ ප‍්‍රතිපත්ති හා සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරදීම සඳහා වූ නීති ද සමගින් ක‍්‍රියාත්මක වූ ඒවා වේ. ශ්‍රී ලංකාවේ සැලකියයුතු මට්ටමකින් ජාතික ප‍්‍රතිපත්ති සහ/ හෝ නීති සම්පාදනය කර නොමැත්තේ ඉඩම් සඳහා වන අයිතිය සහ නිවාස සඳහා වන අයිතිය සම්බන්ධයෙන් වීමට ඉඩ තිබේ. ශ්‍රී ලංකාව දැනටමත් ආර්ථික හා සමාජ අයිතිවාසිකම් සහතික කරදීම සඳහා ප‍්‍රතිපත්තිමය වශයෙන් කැපව සිටින බවත් දශය හයකට අධික කාලයක් මුළුල්ලේ එම ප‍්‍රතිපත්තීන් ක‍්‍රියාත්මක කර ඇති බවත් සලකා බලන කල, මීළඟට ඇති තාර්කික පියවර වන්නේලබාදී ඇති එම සහතිකවීම් අධිකරණය හරහා බලාත්මක කළහැකි මට්ටමට ගෙන ඒමයි. මා එසේ පවසන්නේ හේතු දෙකක් පදනම් කරගෙන ය.

ඉන් එකක් නම්, දැනට පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පවා රිට් අධිකරණ බලය යොදාගැනීම තුළින් සහ ‘නිසි කාර්යපටිපාටි’ අනුගමනය උල්ලංඝනය කර ඇති අවස්ථාවන්හි මූලික අයිතිවාසිකම් අධිකරණ බලය යොදාගනිමින් මෙම සුබසාධන ප‍්‍රතිපත්ති බලාත්මක කරවා ගැනීම දැනටමත් සිදුවන අතර එසේ සිදුකිරීමේ හැකියාව ද පවතියි. මෙහිදී ‘නිසි කාර්යපටිපාටිය’ යන යෙදුම වඩාත් ලිහිල්ව භාවිතා කර ඇත්තේ ස්වභාවික යුක්ති මූලධර්මයන්ට ගරු කිරීමට අසමත්වීම සහ පරිපාලනමය අභිමතය අත්තනෝමතික අන්දමින් භාවිතය වැනි අවස්ථා සම්බන්ධයෙන් මතුවන පරිපාලනමය වැරදි හැඟවීමට වේ. දෙවැනුව, විශේෂයෙන්ම අධිකරණය හරහා අධ්‍යාපන සහ සෞඛ්‍ය සම්බන්ධ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී ශ්‍රී ලංකාවේ පසුබිම තුළ සිදුවන්නේ අධිකරණය හරහා සම්පත් වෙන්කිරීම පිළිබඳ තීරණ ගැනීමක් නොවේ. දැනටමත් රජය විසින් මෙම බැඳීම් සඳහා සැලකියයුතු සම්පත් ප‍්‍රමාණයක් වෙන් කරනු ලැබේ. එහෙත්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සේවය තුළ සිදුව ඇති පරිදි, රජය තම බැඳීම් ඉටුකිරීමට අසමත්වීම හෝ එකී සේවාවන් සැබැවින්ම ලබාදීමේදී නොසැලකිලිමත්වීම සිදුවන අවස්ථාවන්හි ඒවා අධිකරණය හරහා බලාත්මක කරවාගැනීම ඉතාමත් වැදගත් ආරක්ෂණ විධිවිධානයක් වනු ඇත.

මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව

ශ්‍රී ලංකාව තුළ අධිකරණය හරහා ආර්ථික හා සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සාධාරණීකරණය කිරීමට තවදුරටත් තර්ක ඉදිරිපත් කිරීමට හැකි අතර එසේ කළයුතු වේ. මානව හිමිකම් කොමිෂන් සභාවෙන් පෙන්වා දී ඇති පරිදි, යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ මහජනතාවගෙන් අදහස් විමසූ කළ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් අධිකරණයෙන් බලාත්මක කරවාගැනීමට මහජනතාව අපේක්ෂා කරන බව පැහැදිලි වී තිබේ. සැබැවින්ම, අධිකරණය හරහා බලාත්මක කරගත හැකි අන්දමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා දීර්ඝ අයිතිවාසිකම් ලයිස්තුවක් මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවෙහි සඳහන් කොට ඇති අතර, සමස්ත ආර්ථික හා සමාජ අයිතිවාසිකම් පරාසයම ඊට ඇතුළත් වියයුතු බව එහි ඒකමතිකවම නිර්දේශ කොට තිබේ. එසේම, අධ්‍යාපනය හා සෞඛ්‍ය යනු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම තමන්ට ආරක්ෂා කරදී ඇති අයිතිවාසිකම් යැයි ශ්‍රී ලංකාවේ බොහෝදෙනා සිතන බවක් පෙනෙන්නට තිබේ. සමාජ ආරක්ෂණය, නිවාස සහ උචිත සේවා නියුක්තිය වැනි ආර්ථික හා සමාජ අයිතිවාසිකම්වල ඇතැම් අංග සාක්ෂාත් කරගැනීමට පුද්ගලයින් හා ප‍්‍රජාවන් අසමත් වන බොහෝ අවස්ථා පවතින බව ශ්‍රී ලාංකික සමාජය තුළ සිදුකරන පර්යේෂණ තුළින් මනාව පැහැදිලි වේ. බොහෝ අවස්ථාවල මෙවන් ගැටළු උද්ගත වන්නේ සම්පත් හිඟකම හේතුවෙන් හෝ රජය ඒවාට සම්බන්ධවීම අඩුවීම හේතුවෙන් නොව බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, අකාර්යක්ෂමතාවය, නොසැලකිලිමත්කම, දූෂණය යනාදී හේතු මත වේ. උදාහරණ ලෙස, ශ්‍රී ලංකාවේ ගොවිතැනෙහි නියැළෙන බොහෝ ගොවීන්ට ස්වකිය භූමිය සඳහා ඔප්පු නොමැත. පොදු සේවාවන් පරිහරණය කිරීමට යාමේදී බොහෝ කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටිනු ලැබේ. මේවා, සමානාත්මතාවයට සහ වෙනස්කොට සැලකුම් නොලැබීමට ඇති අයිතිවාසිකම හරහා දැනට පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ක‍්‍රමය යටතේම පවා ආමන්ත‍්‍රණය කළ හැකි ගැටළු වේ. එහෙත්, උල්ලංඝනයට ලක් වූ එකී අයිතිවාසිකම් වඩාත් හොඳින් සනාථ කිරීම සඳහා මූලික නීතිය පිළිගැනීමට ලක් කිරීම වෙනුවෙන් කරුණු ගෙනහැර පෑම අත්‍යාවශ්‍ය වන අවස්ථා ඇත. උදාහරණයක් ලෙස දික්කසාද වූ මවකගේ දරුවකු පාසලකට ඇතුළත් කරගැනීම සඳහා එම පාසලේ විදුහල්පතිවරයා ඉහත කී මවගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටින්නේ නම්, එම වින්දිතයාගෙන් යැපෙන දරුවාට අධ්‍යාපනය සඳහා ඇති අයිතිය උල්ලංඝනය කිරීම තුළින් එකී ලිංගික හිංසනය වඩාත් බරපතළ කරවයි.

අධිකරණයේ අභිමතය

තවද, ආර්ථික හා සමාජ අයිතිවාසිකම් බලාත්කම කිරීම සඳහා අවශ්‍ය මෙවලම්වලින් අධිකරණය සන්නද්ධ නොවන බවක් සඳහන් කරමින් මෙම අයිතිවාසිකම් අධිකරණයෙන් බලාත්මක කිරීමට එරෙහිව තර්ක ගොඩනැගෙන්නේ නම්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් අධිකරණයෙන් බලාත්මක කරවාගැනීමට ද එකී තර්කයම වලංගු වනු ඇත. අධිකරණයයේ කටයුතු කරන පුද්ගලයින්, ඔවුන්ගේ අභිමතය යනාදිය මත අධිකරණය හරහා මූලික අයිතිවාසිකම් බලාත්මක කරවා ගැනීමට ලබාදී ඇති ආරක්ෂණය කොතරම් වේද යන්න බොහෝදුරකට රඳාපවත්නා බව 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමගින් ශ්‍රී ලංකාව ලබා ඇති අත්දැකීම් තුළින් මනාව පැහැදිලි වේ.

ආර්ථික හා සමාජ අයිතිවාසිකම් අධිකරණය හරහා බලාත්මක කරවාගත හැකි අන්දමේ නිශ්චිත විධිවිධාන සලසාලීම තුළින් අධිකරණයේ අභිමතය කෙසේ ක‍්‍රියාත්මක වේදැයි පුරෝකථනය කළ නොහැකිවීමේ ගැටළුව තහවුරු කිරීමට සහය ලැබෙන බවට ද තර්ක කිරීමට හැකිය. වර්තමානයේදී, අධ්‍යාපනය සඳහා වන අයිතිය (ඉන්දියාවේ පමණක්) සහ වෘත්තීය සමිතියක් ඇතිකරගැනීමට ඇති නිදහස (ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ) හැරුණුවිට ඉන්දියානු හා ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මගින් ආර්ථික හා සමාජ අයිතිවාසිකම් විශේෂයෙන් පිළිගැනීමට ලක් කර නොමැත. එසේ විශේෂිත විධිවිධාන සලසා නොමැති තත්ව යටතේ පවා ආර්ථික හා සමාජ අයිතිවාසිකම්වල යම් යම් අංග අධිකරණය හරහා ආරක්ෂා කර දී තිබේ. පාසල් හා රජයේ විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරගැනීම සම්බන්ධ කරගනිමින් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ආරක්ෂා කරදීම මීට උදාහරණයකි. උදාහරණ ලෙස, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සඳහා දිස්ත‍්‍රික් කෝටා වෙන්කරදීමේ ප‍්‍රතිපත්ති (සෙනෙවිරත්න එදිරිව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම) සහ විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණු ගණනය කිරීමේ ප‍්‍රතිපත්තිමය තීරණය (ඉසෙඞ් ලකුණු නඩුව) සමාලෝචනය කිරීමට අධිකරණය විසින් කටයුතු කර ඇත. විවිධ හේතු මත මෙම නැඹුරුව ඉන්දියාවේ ඇතැම් පාර්ශවයන් අතරේ සෑහෙන දුරකට විවේචනයට පවා පාත‍්‍ර වී තිබේ. මේ හා සසඳා බලන කල, ඇතැම් ආර්ථික හා සමාජ අයිතිවාසිකම් බලාත්මක කිරීමට බලවරම් ලබා ඇති දකුණු අප‍්‍රිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණය මේ සම්බන්ධයෙන් සෑහෙන දුරකට ගතානුගතික වූ ක‍්‍රමයක් අනුගමනය කරමින් මූලික වශයෙන් ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් පමණක් ක‍්‍රියාත්මක වනු ලැබේ. සීමිත සම්පත් සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණයන්ට ගරු කිරීමට මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණයෙන් කටයුතු කර තිබේ. ඉන් පෙන්නුම් කරන්නේ මෙම අයිතිවාසිකම් අධිකරණය හරහා බලාත්මක කිරීමට පැහැදිලි විධිවිධාන සැලසීම තුළින් අධිකරණයේ වගවීම තවදුරටත් වර්ධනය වන බවත් අධිකරණයෙන් බලාත්මක කෙරෙන විෂයපථය වඩාත් මැනවින් නිර්වචනය කෙරෙන බවත් වේ.

සංසන්දනය කළ හැකි අනෙකුත් අධිකරණයන්හි ලබාදී ඇති නඩු තීන්දු

අනෙකුත් රටවල අධිකරණයන්හි නඩු නීතිය සලකා බලන කල, සැලකිලිමත් වියයුතු යැයි මතුකර ඇති විවිධ ගැටළුවලට පටහැනිව යමින් අධිකරණ පොදුවේ ඉතා සැලකිලිමත් වූත් ගතානුගතිකවූත් ආකාරයෙන් අධිකරණයෙන් බලාත්මක කළහැකි ආර්ථික හා සමාජ අයිතිවාසිකම් නිර්වචනය කර ඇති බවක් පෙනේ. උදාහරණයක් ලෙස, සූබ‍්‍රමනි (1997) නඩුවේදී දකුණු අප‍්‍රිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණය තීරණය කළේ ඔවුන්ගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 23(3) වගන්තිය යටතේ සහතික කර ඇති හදිසි අවස්ථාවන්හි සෞඛ්‍ය සේවා ලබාගැනීමට ඇති අයිවාසිකම යටතට ආයුකාලය දීර්ඝ කිරීම සඳහා සිදුකරන රුධිර කාන්දු පෙරණ ප‍්‍රතිකර්මය ඇතුළත් නොවන බවක් වේ. රුධිර කාන්දු පෙරණ ප‍්‍රතිකර්ම ලබාදීම සඳහා රජයේ රෝහල්වල ඇති ඉතා සීමිත සම්පත් ප‍්‍රමාණය මූලික වශයෙන්ම සැලකිල්ලට ගනිමින් අධිකරණය මෙම තීන්දුවට එළඹ තිබේ. කෙසේනමුත් ගෲට්බූම් (2000) නැමැති තවත් නඩුවකදී, රජයට මුඩුක්කු නිවැසියන් එම ස්ථානවලින් පිටමං කළ හැක්කේ සුදුසු විකල්ප නිවාස සපයාදීමෙන් අනතුරුව වන බවක් අධිකරණය තීරණය කර ඇත. ටී‍්‍රට්මන්ට් ඇක්ෂන් නඩුවේදී, එච් අයි වී / ඒඞ්ස් වෛරසය මවගෙන් දරුවාට සම්පේ‍්‍රෂණය වීම වලක්වන ඖෂධයක් සඳහා පොදු ප‍්‍රවේශය ලබාදියයුතු බව දකුණු අප‍්‍රිකානු අධිකරණයෙන් එරට රජයට නියම කරන ලදී. එකල රජයෙන් මෙම ඖෂධය ලබාදුන්නේ තෝරාගත් නියමු ස්ථාන හරහා පමණක් විය. මෙම නඩු තීන්දුව ලබාදීමේදී මෙකී ඖෂධය සඳහා පොදු ප‍්‍රවේශය ලබාදීම අධිකරණය විසින් සහතික කර ඇත්තේ රජය සතු සම්පත් ප‍්‍රමාණය තුළ එය සිදුකළ හැකිය යන පදනම මත සිට වන බව සැලකිය යුතු ය.

අනෙක් අතට, ආර්ථික හා සමාජ අයිතිවාසිකම් අධිකරණයෙන් බලාත්මක කළහැකි බවක් පැහැදිලිවම පිළිගෙන නොමැති ඇතැම් අධිකරණයන්හි පහසුවෙන්ම එවන් ආර්ථික හා සමාජ අයිතිවාසිකම් බලාත්මක කිරීමට අධිකරණ කටයුතු කළ අවස්ථා ද ඇත. උදාහරණ ලෙස එක්සත් රාජධානියේ දැඩි ආබාධිත තත්වයක පසුවූ එක්තරා කාන්තාවකට ජීවිතය තිබෙන තාක් එක්තරා හෙද රැුකවරණ මධ්‍යස්ථානයක වාසය කිරීමට අයිතිවාසිකම ඇති බවක්, එසේ කිරීම සම්පත් කාර්යක්ෂමව වෙන්කිරීමක් නොවන බවට බලධාරීන් විසින් තර්ක කරද්දී පවා එරට අධිකරණය විසින් පිළිගන්නා ලදී (1999 කොෆ්ලන් නඩුව). රජයේ බෙදාහැරීම් වැඩසටහන සමාලෝචනය කිරීම හා අධීක්ෂණය හරහා ආහාර සඳහා වන අයිතිවාසිකම බලාත්මක කිරීමට වසර ගණනාවක සිට ඉන්දියානු අධිකරණය කටයුතු කර තිබේ.

ආර්ථික හා සමාජ අයිතිවාසිකම් අධිකරණය හරහා බලාත්මක කිරීම

ආර්ථික හා සමාජ අයිතිවාසිකම් බලාත්මක කිරීමට අධිකරණයට ඇති ශක්‍යතාවය සහ අධිකරණය ඒ සඳහා සුදුසුවේද යන ගැටළුව ඉස්මතුවන්නේ මෙම පසුබිම තුළ බලාත්මක කිරීම යන්නට සැබැවින්ම ඇතුළත් වන්නේ කුමක්දැයි නිසි ලෙස අවබෝධ කර නොගැනීම හේතුවෙන් විය හැකිය. යම් ක‍්‍රියාවක් කිරීම හෝ නොකර හැරීම සම්බන්ධයෙන් සාධාරණ පැහැදිලිකිරීමක් ලබාදීමට රජය සමත්වන්නේ නම්, එවන් කරුණක් අධිකරණයෙන් බලාත්මක කිරීමේ ප‍්‍රශ්නයක් පැන නොනගිනු ඇත. කෙසේනමුත් එවන් අවස්ථාවන්හි, ස්වකීය ක‍්‍රියාව හෝ නොකර හැරීම සම්බන්ධයෙන් රජය වගවන බව අධිකරණය මාර්ගයෙන් සහතික කරගැනීම පිණිස එම අයිතිවාසිකම එසේ අධිකරණය හරහා බලාත්මක කරගැනීම වුවමනා වීමට ඉඩ ඇත.

පොදුවේ ගත්කල, ආර්ථික හා සමාජ අයිතිවාසිකම් අධිකරණයෙන් බලාත්මක කිරීම පහත දැක්වෙන සූත‍්‍ර අතරින් එකක ස්වරූපය ගනු ඇත:

*             සම්පත් පැවතීමට යටත්ව, ආර්ථික හා සමාජ අයිතිවාසිකම් වෙත ප‍්‍රවේශය සහතික කරදීම තුළින් එකී අයිතිවාසිකම් ක‍්‍රමයෙන් සාක්ෂාත් කෙරෙන බව සහතික කිරීම

*             නොපමාව සාක්ෂාත් කරගත හැකි ආර්ථික හා සමාජ අයිතිවාසිකම් නොපමාව සාක්ෂාත් කෙරෙන බව සහතික කිරීම. අධ්‍යාපනය සඳහා වන අයිතිවාසිකම, සෞඛ්‍ය රැකවරණය සඳහා වන අයිතිවාසිකම (හදිසි අවස්ථා සෞඛ්‍ය සේවා අවධාරණය කරමින්), කුසගින්නෙන් මිදීමේ අයිතිවාසිකම, අත්තනෝමතික අන්දමින් නෙරපාදැමීමෙන් නිදහස්වීමේ අයිතිවාසිකම සහ වෙනස්කොට සැලකීමෙන් නිදහස් වීමේ අයිතිවාසිකම යන අයිතිවාසිකම් ශ්‍රී ලංකාව තුළ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් සඳහා විධිවිධාන සැලසීමට යටත්වනු ඇත.

*             ආර්ථික හා සමාජ අයිතිවාසිකම් සඳහා ගරුකරන බව සහතික කිරීම පිණිස රජය විසින් මේ වනවිටත් අයවැයෙන් ලබාදී ඇති පොරොන්දු බලාත්මක කිරීම

*             රජය අතීතයේදී ප‍්‍රතිපත්ති හා අයවැය සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු ආපසු ගැනීමෙන් වැලැක්වීමට

*             අයවැයෙන් මුදල් වෙන්කිරීම සහ ප‍්‍රමුඛතාවන් තීරණය කිරීම සම්බන්ධයෙන් රජය විසින් අධිකරණය හරහා සාධාරණීකරණයක් ඉල්ලා සිටීම

*             ආර්ථික හා සමාජ අයිතිවාසිකම් පද්ධතිගත අන්දමින් උල්ලංඝනය කිරීම ආමන්ත‍්‍රණය සඳහා සහ එවන් පද්ධතිගත උල්ලංඝනයන්හි ප‍්‍රතිඵලයක් වශයෙන් උද්ගතවිය හැකි අතිශයින් අවදානම්පාත‍්‍ර තත්වයන් ආමන්ත‍්‍රණය සඳහා

කෙන්යානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම දක්වා ඇති පරිදි (20(5) වගන්තිය), රජය එළඹ ඇති නිගමනයට වඩා වෙනස් නිගමනයකට අධිකරණය එළඹීම මතම ආර්ථික හා සමාජ අයිතිවාසිකම් බලාත්මක කිරීමට අධිකරණයට ඇති අභිමතය ක‍්‍රියාත්මක නොවනු ඇත. සම්පත් වෙන්කිරීමේදී තමන් සාධාරණව කටයුතු කර ඇති බව පෙන්නුම් කරදීමට රජය සමත්වන අවස්ථාවල අධිකරණයෙන් අයිතිවාසිකම බලාත්මක නොවිය යුතු ය. ටී‍්‍රට්මන්ට් ඇක්ෂන් නඩුවේදී, ‘අධිකරණ නියෝග මගින් ප‍්‍රජාව මත බහුවිධ සමාජ හා ආර්ථික ප‍්‍රතිවිපාක ඇතිවිය හැකි අවස්ථාවන්හි එවන් ගැටළු සම්බන්ධයෙන් තීන්දු ලබාදීමට අධිකරණ උචිත නොවේ’ යනුවෙන් දකුණු අප‍්‍රිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණය නිරීක්ෂණය කර ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණය සඳහා අරමුණු කර ඇත්තේ යම්තාක් දුරකට සීමා සහිතවූත් නාභිගතවූත් භූමිකාවක් වේ, එනම්, ස්වකීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය බැඳීම් සපුරාලන මෙන් රජයට නියම කිරීම සහ එම ක‍්‍රියාමාර්ග කොතරම් දුරකට යුක්තිසහගත ද යන්න ඇගැයුමට ලක් කිරීමයි. යුක්තිසහගතභාවය පිළිබඳව ලබාදෙන එවන් තීන්දු තුළ අයවැයට එල්ලවන යම් යම් බලපෑම් තිබෙන්නට ඉඩ ඇතත්, ඒවා අයවැය යළි සැකසුම ඉලක්ක කරගෙන ලබාදුන් තීන්දු නොවේ. මෙලෙස, අධිකරණ, ව්‍යවස්ථාදායක සහ විධායක කර්තව්‍යයන් නිසි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය සමබරතාවය සාක්ෂාත් කරගනු ඇත’ (38 පරිච්ඡේදය, ටී‍්‍රට්මන්ට් ඇක්ෂන් නඩුව). ගෲට්බූම් නඩුවේදී මෙසේ නිරීක්ෂණය කර ඇත: ‘යම් ක‍්‍රියාමාර්ගයක් හරහා සාක්ෂාත් කරගැනීමට වෑයම් දරන අයිතිවාසිකම කොතරම් දුරකට හා කොතරම් ප‍්‍රමාණයකට අහිමිවී ගොස් ඇත්ද යන්න ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගැනීමේදී සලකා බැලීමෙන් වැලකී සිටීය නොහැකි වේ. වඩාත්ම නොපමාව සාක්ෂාත් කර දිය යුත්තේ කාගේ අයිතිවාසිකම් ද යන්න සහ ඒ අනුව සියළුම අයිතිවාසිකම් භුක්ති විඳිමේ හැකියාව වැඩියෙන්ම උවදුරට ලක්ව ඇත්තේ කුමන පුද්ගලයින්ගේ ද යන්න එම අයිතිවාසිකම සාක්ෂාත් කරගැනීම ඉලක්ක කරගෙන ගනු ලබන ක‍්‍රියාමාර්ග තුළින් නොසලකා හැරීමෙන් වැලකිය යුතුය.’

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලිය

පෙනෙන අන්දමට, ආර්ථික හා සමාජ අයිතිවාසිකම් අධිකරණය හරහා බලාත්මක කිරීමට එරෙහිව පවතින ප‍්‍රබලතම තර්කයක් පදනම්ව ඇත්තේ මෙම අයිතිවාසිකම් සඳහා ගරුත්වය සහතික කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලිය හරහා සිදුවිය යුතුය යන්න මත වේ. අයිතිවාසිකම් අධිකරණයෙන් බලාත්මක කරවාගැනීම ඉහතකී ක‍්‍රියාවලිය යළි ගොඩනැංවීම නොහොත් එය ශක්තිමත් කිරීමේ ක‍්‍රියාවලිය අනතුරේ හෙලන කෙටි මං සෙවීමක් ලෙස අර්ථ නිරූපණය කර තිබේ. මෙම තර්කයේදී, අයිතිවාසිකම් අධිකරණයෙන් බලාත්මක කිරීම ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියෙන්’ වෙන්කොට හඳුනාගෙන තිබේ. නීතිය අර්ථ නිරූපණයේ නිරතවන්නා වූ රජයේ ස්වාධීන ශාඛාවක් වන අධිකරණය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් තුළ අත්‍යාවශ්‍ය අංගයක් වන හෙයින් මෙම මතය නිවැරදි නොවන බවක් හැෙඟ්. රජයේ විවිධ ශාඛා අතර මෙන්ම රජය හා ජනතාව අතර ද විනිශ්චයකරුවකු ලෙස කටයුතු කිරීම අධිකරණයට පැවරී තිබේ. දේශපාලන ක‍්‍රියාවලිය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වගවීම සාක්ෂාත් කරගත හැක්කේ යම් යම් අවස්ථාවන්හි අධිකරණය වෙත යාමට හැක්වන්නේ නම් පමණක් වේ. ආර්ථික හා සමාජ අයිතිවාසිකම් වඩාත් උචිත වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලිය සඳහාය යන තර්කය පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීම, සංවර්ධන ව්‍යාපෘති අධිකරණයේ සමාලෝචනයට ලක් කිරීම යනාදී දැනට අධිකරණය හරහා බලාත්මක කෙරෙන කරුණු සඳහා ද අදාළ කරගත හැකිය. අධිකරණය ව්‍යවස්ථාදායකයෙන් හා විධායකයෙන් වෙන්ව පවතින බවක් සලකා කටයුතු කිරීම වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් තුළ රජයේ මෙම ශාඛා තුන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රවර්ධනය සඳහා එකිනෙක හා ඒකාබද්ධව, එකිනෙක හා සම්බන්ධ වෙමින් සහ එකිනෙක මත රඳා පවතිමින් ක‍්‍රියාත්මක වන බවක් සැලකීම අත්‍යාවශ්‍ය වේ.

වෙන්කළ නොහැකිවූත් එකිනෙක මත රඳා පවතින්නාවූත් මානව හිමිකම්

පුද්ගලයින් ජීවිතයේ ලබන අත්දැකීම් සහ මානව අවශ්‍යතා හා නිදහස සම්බන්ධයෙන් වන අගය වැඩිවීම මූලික අයිතිවාසිකම් පිළිබඳව පෙර පැවති පටු ප‍්‍රවේශය වෙනස් කිරීමට හේතු වී තිබේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් පෙන්වා දී ඇති පරිදි, 1993 වියනා ප‍්‍රකාශයෙන් අනතුරුව මානව හිමිකම් යනු වෙන්කළ නොහැකි වූත් එකිනෙක මත රඳාපවතින්නාවූත් අයිතිවාසිකම් වන බව පිළිගනු ලැබේ. වෙනත් අන්දමකින් කියන්නේ නම්, වධහිංසාවෙන් මිදීම සඳහා වන අයිතිය බලාත්මක කිරීමට සහ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය බලාත්මක කිරීමට එකිනෙකට මුළුමනින්ම වෙනස් ක‍්‍රමවේද දෙකක් හරහා විධිවිධාන සැලසීම අරුත් සුන් කටයුත්තකි. මින් එක් අයිතිවාසිකමක් සඳහා ගරුත්වය හා එය උල්ලංඝනය වූ විට සොයා යා හැකි ප‍්‍රතිකර්මයක් නොමැත්තේ නම් අනෙක් අයිතිවාසිකම ආරක්ෂා කිරීමට නොහැකිවනු ඇත. කුසගින්නෙන් මිදීමට ඇති අයිතිවාසිකම අධිකරණයෙන් බලාත්මක නොවන තැන, ප‍්‍රකාශනයේ නිදහස එතරම් අරුත්බර නොවනු ඇත. වර්තමානයේ පිළිගැනීමට ලක් කර ඇති විවිධ මානව හිමිකම් එකිනෙක මත රඳා පවතින අතර, ඒවා එකිනෙකින් වෙන්කිරීමට නොහැකිය, එනම්, එම එක් එක් අයිතිවාසිකම අර්ථවත් වන්නේ අනෙකුත් අයිතිවාසිකම් තුළින් වේ. වඩාත් මෑතකාලීන මානව හිමිකම් සම්මුති වන ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සම්මුතිය වැන් ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම් තුළ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් මෙන්ම ආර්ථිකම්, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් ද ඇතුළත් කර තිබේ. මානව ගරුත්වය ආරක්ෂාවීමට නම් මෙම අයිතිවාසිකම් දෙවර්ගයටම ආරක්ෂාව සලසාදිය යුතුය යන යථාර්ථය මෙම මානව හිමිකම් ගිවිසුම් තුළින් මනාව පිළිබිඹු වී තිබේ. තවද, වත්මන් මානව හිමිකම් ගිවිසුම් සියල්ලේම මවු ලේඛනය වන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශයේ මෙම හිමිකම් කිසිදු ආකාරයකින් වර්ගීකරණය කර නොමැති බවත් මානව ගරුත්වයේ විවිධ අංග වශයෙන් මෙම අයිතිවාසිකම් එහි සඳහන්ව ඇති බවත් මෙහිදී අවධානයට ගතයුතුය.

‘උචිත සියළුම ක‍්‍රම යොදාගනිමින්’ ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ විස්තර කර ඇති අයිතිවාසිකම් සහතික කරදීමට රජයන් විසින් කටයුතු කළයුතු බව එම සම්මුතිය ක‍්‍රියාත්මක කිරීම අධීක්ෂණය භාරව සිටින කමිටුව පැහැදිලිවම ප‍්‍රකාශ කර තිබේ. අධිකරණය හරහා මෙම අයිතිවාසිකම් බලාත්මක කළ නොහැක්කේ නම් අදාළ රජය විසින් ඒ සඳහා සාධාරණ හේතු දැක්වීමක් ඉදිරිපත් කළයුතු බව මෙම කමිටුවෙන් තවදුරටත් සඳහන් කර තිබේ (9 වන පොදු නිර්දේශය, 1998). එක් අතකින් දේශීය නීතිය හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අතරත්, අනෙක් අතට ඒවා ජාත්‍යන්තර නීතිය සමගිනුත් ඇති සම්බන්ධතාවය පිළිබඳව පවතින තර්ක විතර්ක අවධානයට ගන්නා අතරේම, ප‍්‍රධාන මානව හිමිකම් සම්මුති කිසිදු සීමා කිරීම් නොපනවාම අනුමත කිරීමට ශ්‍රී ලංකාව ක‍්‍රියා කර ඇති බවද පිළිගතයුතු යථාර්ථයකි. ඒ අනුව බලන කල, කාලයෙන් කාලයට බලයට ආ සියළුම රජයන් විසින්, එම විධිවිධානයන්හි විස්තර කර ඇති අයිතිවාසිකම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද ඇතුළුව දේශීය නීති හරහා සහතික කිරීමේ බැඳීම පිළිගෙන තිබේ. අධිකරණය හරහා අයිතිවාසිකම් බලාත්මක කිරීම එක් අතකින් මෙම බැඳීම සපුරාලීමක් වනු ඇති අතර, අනෙක් අතට ආර්ථික හා සමාජ අයිතිවාසිකම් සඳහා ජාත්‍යන්තර මට්ටමින් නිර්මිත සම්මතයන් ශ්‍රී ලංකාවේ පසුබිම තුළ විශේෂයෙන් ස්ථාපිත කිරීමට හැකිවන යුක්තිසහගතවූත් විනිවිදභාවයන් යුක්තවූත් සහභාගීත්ව ක‍්‍රියාවලියක් එතුළින් සපයාදෙනු ලැබේ. මානව සංවර්ධන දර්ශකය පිළිගැනීම සහ තිරසර සංවර්ධන ඉලක්ක (SDGs 2015) පිළිගැනීම ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ සිදුවීම් තුළින් ද ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් ආමන්ත‍්‍රණය කිරීම රජයේ මූලික වගකීමක් වන බව තවදුරටත් තහවුරු කරයි. එමනිසා, මෙම අයිතිවාසිකම් බලාත්මක කිරීමට අධිකරණමය ප‍්‍රතිකර්ම ලබාගතහැකි විධිවිධාන සැලසීම  ඉහත කී බැඳීම ක‍්‍රියාත්මක කළහැකි සඵලදායී ක‍්‍රමයකි.

මානව හිමිකම් සහ අයිතිවාසිකම් පිළිබඳ බුද්ධිමතුන් පල කර ඇති අදහස්

ජාත්‍යන්තර මානව හිමිකම් නීතියෙහි සිදුව ඇති ඉහත සඳහන් කළ වෙනස්කම්, ඒ සම්බන්ධයෙන් වන දාර්ශනික චින්තනය තුළ ද එලෙසම පිළිබිඹු වේ. උදාහරණ වශයෙන්, සමාජය තුළ ආර්ථික අසමානතා සඳහා හේතුවන ක‍්‍රියාමාර්ග ගතයුත්තේ සමාජයේ අඩුවෙන්ම වරප‍්‍රසාදලත් කණ්ඩායම්වලට වැඩියෙන්ම ප‍්‍රතිලාභ සලසාලන අන්දමට වියයුතු බව ජෝන් රෝව්ල්ස් විසින් පවසා තිබේ (A Theory of Justice 1971) . වඩාත් මෑතකාලීනව අමර්ත්‍ය සෙන් සඳහන් කර ඇත්තේ ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් අනිවාර්යයෙන්ම සම්බන්ධ වන මානව නිදහස යන අදහස තුළින් සංවර්ධනය දෙස බැලීම සුදුසු වන බවක් වේ (Development as Freedom 1999). එක් අයිතිවාසිකම් කාණ්ඩයක් ආරක්ෂා කිරීම සඳහා අනෙක් අයිතිවාසිකම් කාණ්ඩය පිළිබඳව සහතිකයක් ලබාදීම අවශ්‍ය කරන බව සෙන් විසින් ඉතා ප‍්‍රබල ලෙස තර්ක කරනු ලැබේ.  අයිතිවාසිකම්  මගින් රජය මත ‘සෘණ’ සහ ‘ධන’ වගකීම් පටවන බවක් සඳහන් කරමින් අයිතිවාසිකම් වර්ගීකරණය කිරීම නොමගයවනසුළු වන බවක් කැස් සන්ස්ටයින් විසින් සඳහන් කර තිබේ. ප‍්‍රකාශනයේ නිදහස සහ වධහිංසාවට ලක්වීමෙන් මිදීමට ඇති අයිතිවාසිකම සඳහා ගරු කෙරෙන බව සහතික කිරීම සඳහා ද සම්පත් වෙන්කිරීමක් මෙන්ම ප‍්‍රතිපත්ති සම්බන්ධවීමක් ඇත. මෙම අයිතිවාසිකම් කණ්ඩායම් දෙකම විශාල පිරිවැයක් දරන්නට, ප‍්‍රතිපත්ති මත බලපෑම් ඇතිකිරීමට සහ සම්පත් වෙන්කිරීම සම්බන්ධයෙන් අවම සහතික නියම කරන්නට හේතු විය හැකිය. ප‍්‍රාඥයින් විසින් පල කර ඇති මෙම අදහස් අධිකරණය හරහා ආරක්ෂා කර දිය යුත්තේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක්ම යැයි සඳහන් කෙරෙන, මූලික වශයෙන් ලිබරල්වාදී අදහසට (නැතහොත්, ඊනියා ‘නව-ලිබරල්වාදී’ අදහසට) පක්ෂව තවදුරටත් තර්ක කිරීම දුෂ්කර කරවයි.

ව්‍යාපී යුක්තිය / සම්පත් බෙදීයාමේ සමාජ සාධාරණත්වය

ආර්ථික හා සමාජ අයිතිවාසිකම් අධිකරණයෙන් ආරක්ෂා කරදීම පිළිබඳ විවාදය අවසාන වශයෙන් සම්පත් බෙදීයාමේ සමාජ සාධාරණත්වය පිළිබඳ ප‍්‍රශ්නය සමගින් බැඳී තිබේ. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී’ යැයි තමන් විසින්ම ප‍්‍රකාශයට පත් කරන්නා වූ සමාජයක් තුළ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් සඳහා ගරුකරන්නේ කුමන අන්දමකින්ද යන්න පිළිබඳව රජය වගවන බව සහතික කරගැනීමට අධිකරණය ක‍්‍රියාත්මකවීම උචිත වන්නා සේම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක් වේ. අයිතිවාසිකම් අධිකරණයෙන් ආරක්ෂා කරදීමේ විෂයපථය සීමිත වුවත්, එතුළින් රජයේ විධායක හා ව්‍යවස්ථාදායක ශාඛා මත ප‍්‍රාමාණික බලපෑමක් ඇතිකරවනු ඇති අතර, සවන්දෙනු ලැබීමටත් සම්පත් වෙන්කිරීමේ ක‍්‍රියාවලියට සහභාගිවන්නට අවස්ථාව ලබාගැනීමටත් එමගින් පුරවැසියාට මගපාදා දෙනු ඇත. එවන් තත්වයක් සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් කටයුතු සලසාදීම අප සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යුක්තිය තත්වයෙන් වඩාත් උසස් කිරීමට හේතුවිය හැකිය.

උපුටාගත්තේ  SLG

Leave a Reply

Your email address will not be published. Required fields are marked *