විදෙස්විශේෂාංගඋපුටාගැනීම්

ෆිදෙල් ගැන වෙනස් කියවීමක්!

අරුණි ශපීරෝ‍

මේවායේ ඇත්ත නැත්ත සොයාගත හැකි මූලාශ්‍ර ඕනෑතරම් අන්තර්ජාලයේ තිබුණ ද, මන්තර ගුරුකම් වලින් වස්කම් විස්කම් කරන අයට හිනාවෙන පිරිස අතරේ ද කැස්ත්‍රෝගේ කියුබාව යනු පැසසුම් ලැබිය යුතු රටක් යැයි මුලාවී සිටින අය දකින්නට හැකියි. මේ සටහන ඒ අය සඳහා නොවේ. යමක සත්‍ය අසත්‍යතාවය සොයා දැනගන්නට කැමති අයටයි මේ තොරතුරු ලියන්නේ.

ෆිඩෙල් කැස්ත්‍රෝ මිය ගිය බව අසා හිතා නොබලා ශෝක ප්‍රකාශයක් නිකුත් කළ කැනඩාවේ ‘සෙල්ෆි අගමැතිවරයා’ හොඳ හැටියට “නා ගත්තේය.” ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයා වූ ජස්ටින් ටෲඩෝ ළිං මැඩියෙක් සේ නිකුත් කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් අන්තර්ජාලයේ #TrudeauEulogies නමින් උත්ප්‍රාස ප්‍රකාශ ලිවීමේ රැල්ලක් පැතිර ගියේය.

විවිධ රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වන ඇමෙරිකාවේ උගුල් වලට හසු නොවන්නට සමත් වූ පමණින් අයෙක් කීර්ති ප්‍රශංසාවට පාත්‍ර විය යුතු යැයි සිතන අය එඩ්වඩ් ස්නෝඩන් හෝ ජූලියන් අසාන්ජ්ට එවැනි තත්වයක් දෙන්නට ඉදිරිපත් නොවෙති.

ඔවුන්ට කියුබන් විප්ලවය පාවා දුන් ෆිඩෙල් වීරයෙකි. කියුබන් වැසියන් 3,615 වෙඩි තබා මරා දැමූ ෆිඩෙල් වීරයෙකි. ඒ හැරෙන්නට සුවිශේෂ උසාවි පිහිටුවමින් 1,253 ක් ඝාතනය කළ ෆිඩෙල් වීරයෙකි. 1966 දී සිවිල් හා හමුදා සොල්දාදුවන්ගේ ලේ පයින්ට් හතක් බැගින් බලහත්කාරයෙන් ගෙන පයින්ට් එකක් $50 කට බැගින් මුදල් වලටකොමියුනිස්ට් වියට්නාමයට විකුණූ ෆිඩෙල් වීරයෙකි. කියුබන් වැසියන් රටෙන් පළා යන්නට තැත් කරද්දී ඔවුනට වෙඩි තැබූ, සිරගත කළ, මරණ දණ්ඩනය නියම කළ, නැව් මුහුදුබත් කළ ෆිඩෙල් වීරයෙකි. ඇමෙරිකාව අනෙක් රටවල අභ්‍යන්තර කටයුතු වලට ඇමෙරිකන් සොල්දාදුවන් යවද්දී විරෝධතාවය දක්වන අයට, ඩොලර් මිලියන 500 ක් දක්වා වාර්ෂික මුදල් සහනාධාර 1981 දී පටන් ලබාගනිමින් ඇන්ගෝලාවේ යුද කටයුතු සඳහා කියුබන් හමුදා යැවූ ෆිඩෙල් වීරයෙකි. වෛද්‍යවරු, ගුරුවරු, ගොඩනැඟිලි ඉදිකරන ශ්‍රමිකයන්, විද්‍යාඥයන්, ඉංජිනේරුවන් සහ වෙනත් වෘත්තිකයන්ව බලහත්කාරයෙන් රටවල් 91 ක සේවයට පටවා වාර්ෂිකව ඩොලර් බිලියන 8.2 ක් ලබාගන්නා ෆිඩෙල් වීරයෙකි.

කෙටියෙන් කිව්වොත්, මිනිස්සු මැරුවාට කමක් නැත. ඔවුන්ට පළා යන්නට ඉඩ නොදුන්නාට කමක් නැත. ඔවුන්ගේ ශ්‍රමය බලහත්කාරයෙන් සොරාගත්තාට කමක් නැත. වාමාංශිකයෙක් නිසා ෆිඩෙල් වීරයෙකි.

1936 සිට 1938 දක්වා කාලය රැසියාවේ මහා භීෂණය සිද්ධ වූ කාලය හැටියට සැලකේ. එහි මූලිකත්වය ගත් ජෝසෆ් ස්ටාලින්ටත් වඩා වැඩියෙන් දේශපාලන සිරකරුවන්ව සිරබන්ධනයේ තැබීම ෆිඩෙල් කැස්ත්‍රෝ අතින් සිද්ධ විය. ෆිඩෙල් බලයට පැමිණි පළමු වසර 3 දී ඔහු මරා දැමූ කියුබන් වැසියන් සංඛ්‍යාව හිට්ලර්ගේ ජර්මනියේ පළමු වසර හයේ දී මරා දැමූ ජර්මන් වැසියන් සංඛ්‍යාවට අධික වේ. නැගෙනහිර ජර්මනියෙන් පළා යන්නට තැත් දරා මිය ගිය සංඛ්‍යාවට වඩා විසි ගුණයකට වැඩි කියුබන් වැසියන් කියුබාවෙන් පළා යන්නට ගත් උත්සාහයන් තුලින් මිය ගියහ.

පාසැල් ගුරුවරයෙක් වූ හියුබර් මාතොස් බතීස්තා පළවා හරිනු පිණිස පටන් ගත් ගරිල්ලා ව්‍යපාරයේ සටන් වැදුනෙකි. 1959 ජනවාරි 8 වැනිදා ෆිඩෙල් සමඟ කියුබන් විප්ලවයේ ජය සමරන ලද්දෙකි. එහෙත්, “අපි කොමියුනිස්ට් නොවේ,” කියාගෙන බලයට ඇවිත් අනතුරුව මැතිවරණ පැවැත්වීමෙන් ෆිඩෙල් අයින් වෙද්දී මාතොස් සිය තනතුරෙන් ඉල්ලා අස් වූයේය. මාතොස්ව ඝාතනය කරන්නට රාවුල් සහ චේ ඉදිරිපත් වූහ. නමුත් මරාදැමුව හොත් ඔහු කියුබානුවන් අතර මෘතවීරයෙක් වේ යැයි කියූ ෆිඩෙල් මාතොස්ව වසර 20 ක් හිරේ දැම්මේය. හිරෙන් එළියට ආ පසු මාතොස් රටින් පිටවීය.

මැතිවරණයක් නොපවත්වා, විරුද්ධ වෙන අය සියල්ලන්වම එක්කෝ ඝාතනය කරමින් නැත්නම් හිරේ දමමින්, වසර 50 ක් රටේ පාලන බලය අල්ලාගෙන සිටි ෆිඩෙල්ව වාමාංශිකයනට පෙනෙන්නේ මහා පෞරුෂයෙන් පිරුණ පුද්ගලයෙක් හැටියටයි. ලෙනින්, ස්ටාලින්, මාඕ යනාදීන් සැබෑ මාක්ස්වාදය රට පාලනයේ දී යොදාගත් පුද්ගලයන් නොවන බව කියා සිටිනවුන් පවා ෆිඩෙල් ගැන ගුණ වර්ණනා ලියති.

රෙයිනාල්ඩෝ අරිනාස් යනු ෆිඩෙල් සිරගත කළ ලේඛකයෙකි. රෑ පාත්වෙන්නට පෙර (Before Night Falls) නමින් ලියූ ජීවිත සටහන් වලින් තමා සිරබත් කෑ හැටි ගැන ඔහු සටහන් තබයි. ෆිඩෙල්ගේ කියුබාව සමරිසියන්ව රස්සා වලින් නෙරපන ලදි. කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය නොදී සිටියහ. සිරකඳවුරුවල ගාල් කර ඔවුනට කුරිරු වදහිංසා දුන්හ. 1980 ගණන් මැද දී HIV ඇති සියල්ලන්වම කියුබාවේ මානසික රෝහල්වලට ගාල් කරන ලදි. 2010 දී තමන් සමරිසියන්ට කළේ “මහා අයුක්තියක්” යැයි ෆිඩෙල්ම කියා සිටියේය.

සීනි කර්මාන්තයෙන් ආදායම් ඉපැයූ වතුයායක අයිතිකරුවෙකුට දාව ඉපදෙන ෆිඩෙල් සිය රටේ ජනතාවගෙන් තමන්ගේ සුල මුල වසන් කරන ලදි. භූමි හෝ ගොඩනැඟිලි අයිතිය සාමාන්‍ය ජනතාවට නැති රටක ඔහුට දූපතක අයිතිය තිබුණි. සුපිරි බෝට්ටු හා නිවාස 20 ක අයිති සතු විය. වසර 50 කට ආසන්න කාලයක් කිසිම පුද්ගලික ව්‍යාපාරයක් තහනම් වූ රටක ඇමෙරිකන් ඩොලර් මිලියන 800 කට වඩා පුද්ගලික ශුද්ධ වත්කමක් තිබුණත්, ෆිඩෙල් රටවැසියන්ට කිව්වේ වෙරළ ළඟ කුඩා පැළක තමන් ජීවත්වෙන බවයි. මරණ දණ්ඩනය හිමිවීම නියත නම් සැබෑ තතු හෙළිකරන්නට රටේ කිසිවෙක් ඉදිරිපත් වේ දැයි කියා ෆිඩෙල්ගේ ගුණ වයන අය සිතන්නේ නැත.

ජනමාධ්‍ය හරහා මිනිසෙක් මරා දමන ආකාරය ප්‍රචාරය කරන්නට අයිසිස් ත්‍රස්තවාදීන් පටන් ගත්තේ මෑතක දී ය. එවැනි ත්‍රස්තවාදී ක්‍රියා ෆිඩෙල් සහ චේ පටන් ගත්තේ 1959 ජනවාරියේ දී ය. පෙළ ගසා හිසට වෙඩි තබා චේ සහ ෆිඩෙල් අතින් මරා දැමෙන කියුබන් වැසියන්ගේ නම් ගම් ඇතිව අන්තර්ජාලයෙන් දකින්නට හැකි වූවත් ෆිඩෙල්ගේ ගුණ වයන අයට ඒවා ෆිඩෙල්ට එරෙහි ප්‍රචාරක කටයුතු පමණි.

ඇමෙරිකන් රජය ලෝකයේ අනේක ත්‍රස්තවාදයන් වපුරන්නට සිය රටවැසියන්ගේ බදු මුදල් යොදා ගැනීම ගැන උරණ වන ඇමෙරිකන් වැසියන් ප්‍රසිද්ධියේ ඒ ගැන ලොවට කියන්නට මහා ජනරැළි පවත්වමින් විරෝධතා පෙළපාලි යති. කියුබන් රටවැසියන්ගේ වෙහෙසෙන් විදෙස් ත්‍රස්තවාදීන් පෝෂණය කිරීම ගැන පෙළපාලි යන්නට කියුබාවේ කිසිවෙකුට අවසර නැත්තේ මන්දැයි හිතන්නට ෆිඩෙල්ගේ ගුණ වයන අයට නොහැකියි.

ඔහුට හැදූ පිළිම නැහැ, ප්‍රතිමා නැහැ. ඔහුගේ නමින් වීදියක් නම් කර නැහැ, ගොඩනැඟිල්ලක් නම් කර නැහැ යැයි කියමින්, ගෞරවයට ප්‍රශංසාවට පත් විය යුත්තෙක් හැටියට ෆිඩෙල් දකින අයට ෆිඩෙල් අදහන්නේ නැති අයව, කියුබාවේ සිතන්නට හැකියාව ඇති අයව, වෙඩි තබා මරා දැමීම, සිරගත කිරීම සහ ශ්‍රමික වහලුන් කරලීම පෙනෙන්නේ නැත.

සටහනට එකතු කර ඇත්තේ කියුබාවේ හවානා නගරයේ බේස්බෝල් Hall of Fame හි ඇති බේස්බෝල් පිත්තක් අතැති ෆිඩෙල්ගේ බිත්ති සිතුවමකි.

ඇයි කියන්න, මා සහෝදරයා
ආඥාදායකයන් මරන්නේ
සහ යුද්ධ කරන්නේ මන්දැයි කියා
කීර්තියට ද, භෞතික වස්තු සඳහා ද,
විශ්වාසයන්ට ද, ද්වේශය නිසා ද,
බලයට ද,
ඔව්, ඒ හැරෙන්නට තවත් දෙයක් නිසා
ඔවුන්ට කරන්න පුළුවන් නිසා.”

උපුටාගත්තේ  SLG

Leave a Reply

Your email address will not be published. Required fields are marked *