විශේෂාංගඋපුටාගැනීම්

මරණයට සූදානම් හමුදාව – RDF (සංහාරයකුගේ පාපොච්චාරණය -2)

ලූතිනන් කර්නල් විමලරත්න 1985 දී කැරලි මැඩපැවැත්වීම සහ ප‍්‍රතිස්ථාපනය පිළිබඳ පාඨමාලාවක් සඳහා ඊශ‍්‍රායලයට ගියේය. ඔහුගේ ආගමනයෙන් පසු 1985 අගෝස්තු 20 වන දින ද විශේෂ සේවා කණ්ඩායමක් හෙවත් Special Service Group (SSG) ලෙස නිලධාරීන් දෙදෙනකු ඇතුළු තිස් අට දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පුහුණුව සඳහා තෝරා ගත්තේය.

ශ‍්‍රී ලංකා යුද හමුදාව බිහි කළ කීර්තිමත් නිලධාරීන් දෙදෙනකු වූ පසුව මේජර් ජෙනරාල්වරයකු වූ ගාමිණී හෙට්ටිආරච්චි ද ජීවිතය පූජා කළ කර්නල් ලාෆීර් ද මෙහි නිලධාරීන් විය. මෙය එකල යුද හමුදාව තුළ තිස් අටේ කල්ලිය ලෙස ජනප‍්‍රිය වී තිබුණේය. ඉන්පසු මෙය වඩාත් පුළුල් කරමින් අනුරාධපුර සාලියපුර කඳවුරේ දී පාකිස්තාන බි‍්‍රගේඩියර් තරික් මොහොමඩ් යටතේ මුල් වරට ආර්.ඩී.එෆ්. හෙවත් ක්ෂණික විහිදුම් බළකාය ලෙසට අවතීරණය විය. පතිරණ මෙයට එක් වන විට බොහෝ දෙනෙක් මෙය හැඳින්වූයේ Ready to die force හෙවත් ‘මරණයට සූදානම් හමුදාව’ ලෙසය. ඔවුන්ගේ ලාංඡුනය වූයේ මිනී ඔළුවක් සහ ඇටකටු දෙකකි. ඒ වන විට ආර්.ඞී.එෆ්. නාමය ඇසූ පමණින් සිවිල් වැසියන් පමණක් නොව යුද හමුදාව ද බියෙන් ත‍්‍රස්ත විය.

තම පියා ඝාතනය වූ ඒ කාලසීමාව පතිරණගේ සිහියට නැගේ. රථය එහා මෙහා පැද්දෙමින් 142 වන කිලෝමීටර් කණුව පසු කරනවා පතිරණ දුටුවේය. 1988 වසරේ මැදභාගය පසු කරත්ම ජවිපෙ තම දෙවන කැරැල්ල ඉතා සාර්ථක ලෙස මෙහෙයවමින් තිබිණි. රට ක‍්‍රමයෙන් අරාජික වන බව ද රාජ්‍ය බලය ක‍්‍රමයෙන් ගිලිහෙමින් යම් මට්ටමක අරාජිකත්වයක් දකුණ පුරා රජයන බව ද පැහැදිලිව දක්නට තිබිණි. අනෙක් අතට ඉන්දීය සාම සාධක හමුදාව එල්ටීටීඊයෙන් හා සමහර අනිකුත් විවිධ ද්‍රවිඩ සංවිධාන වෙතින් බඩ කට පුරා වළඳමින් තිබිණි.

1987 ඉන්දු – ලංකා සාම ගිවිසුමෙන් පසු ජ.වි.පෙ. වඩාත් ප‍්‍රබල ලෙස තම කි‍්‍රයා වර්ධනය කරගත්තේය. සැඟවී සංවිධානය වූ ඔවුහු තම සංවිධානය වඩාත් පුළුල් ලෙස සකසා ගත්හ. තම සංවිධානය තුළ දේශපාලන ව්‍යුහයක් මෙන්ම සන්නද්ධ ව්‍යුහයක් ද පවතින බවට සාමාන්‍ය ජනයාට ඇඟවීමට ඔවුහු වග බලාගත්හ. කෙසේ වුව ද දේශපාලන වේවා සන්නද්ධ වේවා මේ දෙකම මෙහෙයවන්නේ එක් පුද්ගල කණ්ඩායමක් බව එවක හමුදා මොළකරුවන් වූ ජෙනරාල් සිරිල් රණතුංග, ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න, ජෙනරාල් කොබ්බෑකඩුව, බි‍්‍රගේඩියර් විජය විමලරත්න, බි‍්‍රගේඩියර් ලකී අල්ගම සහ බි‍්‍රගේඩියර් ජානක පෙරේරා වැන්නෝ හොඳින් දැන සිටියහ. ජවිපෙ ප‍්‍රකාශ කර සිටි පරිදි තම පක්ෂය ද ඇතුළුව විශාල හා පුළුල් සමාජ සංවිධාන ගණනාවකින් සෑදුණ ‘දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය’ හෙවත් ඞී.ජේ.වී. යන්න සන්නද්ධ සංවිධානයක් විය. ජවිපෙ එහි එක් පාර්ශ්වයක් මිස එහි හිමිකරු නොවේ යැයි පුන පුනා ප‍්‍රකාශ කළේය. මෙය පට්ටපල් බොරුවක් බව ද ජවිපෙ සහ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය යනු එකම පිරිසකගේ පාලනය යටතේ පවතින එකම සංවිධානයක් බව සහ අවි අතට ගෙන ඇත්තේ ජවිපෙ බව ද ඔවුන් කුමන නමින් පෙනී සිටිය ද මර්දනය කළ යුත්තේ ජවිපෙ බව ද ආරක්ෂක හමුදා පැහැදිලි ලෙස දැන සිටියේය. ජෙනරාල් විමලරත්නට අනුව සන්ලයිට් වුව ද ලයිෆ්බෝයි වුව ද යුනිලීවර් විනාශ කළ විට මේ දෙකම විනාශ කළ හැකිය.

කුමන ලෙසකින් හෝ කුමන නමකින් පැවතිය ද ජවිපෙ විනාශ කිරීමෙන් සමස්ත අරගලයම විනාශ වන බව මොවුන් දැන සිටියේය. ලොව සියලූම සිවිල් ගැටුම් පිළිබඳ තීක්ෂණ ලෙස නෙත් යොමා නිරීක්ෂණය කරන ඊශ‍්‍රායල් පර්යේෂණ සහ විශ්ලේෂණ ඒකකය දැරූ මතය ද මෙය ම විය.

මෙසේ හෙයින් විජය විමලරත්නගේ මතය වූයේ ජවිපෙ ඉලක්ක කරගත් වඩාත් පුළුල් මෙහෙයුම් පරිචයක් ඇති ආයතනයක් ආරම්භ කළ යුතු බවයි. මේ වන විට පතිරණ ලූතිනන්වරයකු වශයෙන් ඍජු බඳවා ගැනීමක් ලෙස 2 වන ගජබා (ස්වේච්ඡා) ඒකකයේ මවු ඒකකය ලෙස සලකා විශේෂ බළකායට අනුයුක්තව රාජකාරී කළේය. මෙලෙස ඔහු සිටි විශේෂ බළකාය ද ඇතුළත්ව සමස්ත කාණ්ඩ සියයකින් සමන්විත ‘ඔෆ්ස් කම්බයින්’ නමින් ඒකාබද්ධ මෙහෙයුම් කාර්යාංශයක් ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න යටතේ 1989 අගෝස්තු 04 දා ස්ථාපිත කළ බව පතිරණට අද වාගේ මතකය. කිසිම දවසක ප‍්‍රසිද්ධිය හෝ ලකුණු දා ගැනීමක් සඳහා උත්සුක නොවූ විජය විමලරත්න මෙහි පසුපස සිටි මහා මොළකරු බව පතිරණ පැහැදිලිවම දැන සිටියේය. ඔහුගේ ඊශ‍්‍රායල යුද සබඳතා මත අවශ්‍ය සියලූ තාක්ෂණ උපදෙස් ලැබී තිබිණි. මේ වන විට තවත් නිලධාරීන් සහ සෙබළුන් පිරිසක් සමඟ පතිරණ ද ඉතා සාර්ථක ලෙස ඊශ‍්‍රායලයේ දී තම පුහුණුව නිම කර පැමිණ තිබිණි. ඍජුවම යුද හමුදාවට බැඳුණ පතිරණට කිසිදු දිනක ශිෂ්‍යභට නිලධාරී පාඨමාලාව සම්පූර්ණයෙන් හැදෑරීමට අවස්ථාව ලැබුණේ නැත. නමුත් අද දින පතිරණගේ ගමනාන්තය වන දියතලාව ශ‍්‍රී ලංකා මිලිටරි ඇකඩමියෙහි පාඨමාලා වල සමහර කොටස් හදාරා තිබිණි.

ජවිපෙ සංහාරයෙන් පසුව සේවයේ ස්ථිර වීම සමඟ උසස්වීම් ලද පතිරණ තම ඒකකය ද සමඟ උතුරේ යුද බිම බලා ගියේය. එතැන් සිට ඊළාම් යුද්ධය නිම වෙන තුරු ද හේ එක දිගටම යුද බිමෙහි රැඳුණි. මෙලොව තිදෙනකු හැර වෙන කිසිවකුත් නොදන්නා එක් සිදුවීමක් මත, තමා ශ‍්‍රී ලංකා යුද හමුදාවට ණයගැති යයි පතිරණගේ සිතෙහි සෑම විටම පවතී. ඔහු එම සිද්ධිය මතකයට එන සෑම විටම ඉන් පීඩා වින්දේය. කොටින්ම කියතහොත් ජවිපෙ සාමාජිකාවක වූ රාජ්‍ය විරෝධී කෙල්ලකගේ ජීවිතය බේරා ගැනීම උදෙසා තමා පණ මෙන් රකින යුද හමුදාවේ ජීවිත තුනක් තමා අතින් විනාශ වීම මෙම සිදුවීමයි. ඔහු කිසි දිනක විවාහ වූයේ ද නැත. ඊට හේතුව අද වන තුරුත් බි‍්‍රගේඩියර් පතිරණ පවා දන්නේ නැත.

මේ කාළවකවානුවේ හෙවත් වර්ෂ 2010 අගෝස්තු මස වන විට පතිරණ ජාතික වීරයෙකි, යුද සන්නාමයකි. ඊළාම් යුද ජයග‍්‍රහණයෙන් පසුව මුළු රටම ඔහුට ගරු කෙරේ. ජෙනරාල් විමලරත්නගෙන් පාඩම් උගත් ඔහු කිසි දිනක ප‍්‍රසිද්ධියට පත් වන්නට හෝ පත්තර වීරයකු වන්නට ගියේ නැත. එහෙයින් ඔහුට එහෙමටම කියා කාගෙන්වත් කැපිල්ලක් ද නැත. තම හැකියාව හේතුවෙන්ම අඩු වයසෙන් බි‍්‍රගේඩියර්වරයකු වූ පතිරණ පසුව ජ්‍යේෂ්ඨ මාණ්ඩලික තනතුරු කිහිපයක්ම දරන්නේය. යුද ලේකම් ලෙසත්, බඳවා ගැනීම් අධ්‍යක්ෂවරයා ලෙසත් හමුදා මූලස්ථානයේ පරිපාලනය භාරවත් කටයුතු කරන පතිරණ දියතලාව මිලිටරි ඇකඩමියෙහි හෙවත් නිලධාරී පුහුණු පාසලෙහි ප‍්‍රධානියා ද විය. යුද්ධයෙන් පසුව පුහුණුව නිම කොට විසිර යන දෙවන නිලධාරීන් කණ්ඩායම විසිර යාමේ උළෙල අද දින දියතලාව කඳවුරේ දී අභිමානවත්ව පැවැත්වෙනු ඇත. කණ්ඩායමෙහි ඊට සහභාගී වීම පිණිස ගමන් කරනා පතිරණ ඒ සමඟම වෙහෙසකර යුද්ධයෙන් පසු ටිකක් දිග විවේකයක් ද ලබා ගන්නට අදහස් කර තිබිණි.

කාරය වංගු එක දෙක ගනිමින් බලංගොඩට සම්ප‍්‍රාප්ත විය. ඉස්සර බලංගොඩ ඔහුගේ මතකයට නගන්නට වෙර දැරිණි. දැන් ඔරලෝසු කණුව ළඟ සිට බදුල්ල දෙසට මාවත් තුනකින් යා හැකිය. ඉස්සර ඉතාම පටු වූ එක පාරක් පමණක් නගරය මැදින් වැටී තිබුණි. තම ජීවිතයේ එක් කාල පරිච්ඡේදයක් ගෙවුණේ මෙහිය. දැන් ඒ පරණ බලංගොඩ නැත. කාරය ඔරලෝසු කනුවෙන් දකුණට හරවා ගමන් ගනී. ”කාගෙද බං ලස්සන ලොකු ගෙයක් තියෙන්නේ.”

”ආ සර් ඔය විජේ නිල්මිණි ජෙම්ස්.”

”ආ… ඒ කාලෙත් එයාට ටික ටික සල්ලි තිබුණා…”

එක පාරටම කල්තොට පැත්ත දෙසින් පැමිණි නිල්පාට ටොයොටා කාරයක් පතිරණගේ කාරයේ වැදිණි. වරද රසිකගේ නොවේ. රසික ගියේ කෙළින් පාරෙනි. කාරය අතුරු පාරෙන් ප‍්‍රධාන පාරට දැමුවේ කිසිදු වග විභාගයක් නැතුවයි. පතිරණගේ මල යකා පැන්නේය. ”යකෝ අපිට පරක්කු වෙනවා. කමාන්ඩර්ත් දැන් මඟ එනවා ඇති. මොකක්ද ඌරෝ කළේ…” එය අසන්නට රසික නොවූයේ ඔහු බැස අනෙක් කාරය ළඟට ගිය නිසාය. හිමාල් දොර හැර අනෙක් පසින් බැස ඒ දෙසට ගියේය.

– මතු සම්බන්ධයි

– කාශ්‍යප වීරක්කොඩි

උපුටාගත්තේ සත්හඬෙන්

සංහාරයකුගේ පාපොච්චාරණය -1

 

One thought on “මරණයට සූදානම් හමුදාව – RDF (සංහාරයකුගේ පාපොච්චාරණය -2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *