විශේෂාංගඋපුටාගැනීම්

වෙනස අකැපද ? – සාමිනාදන් විමල්

(උපුටාගත් සටහනකි) යුද්ධ අවසන් වීමෙන් පසුව ගොඩනැගුණු ජාතිවාදී නැඟිටීමෙහි තියුණු පරාජයක් ජනවාරි අටවන දින වෙනසත් සමඟ සටහන් විය. නමුත් එම වෙනසෙහි ස්ථාවර බව සහ බලවන්ත බව පිළිබඳ සැක මතුවෙන සංසිද්ධි දෙකක් එයට පසුව දක්නට ලැබුණි. මෙම සංසිද්ධි දෙකම ජාතිවාදයට එරෙහි අරගලය පිළිබඳව උනන්දුවන්නන්ට මහත් අභියෝගයක් වූ බව නිසැකය. එයින් එකක් නම් නුවර සිට කොළඹට ඒකාබද්ධ විපක්ෂය විසින් ආ පාගමනයි. අනෙක යාපනේ පසුගියදා පැවැති එළුකත් තමිළ් උද්ඝෝෂණයයි.

නුවර පාගමන දෙමළ මතකයට ගෙන ආවේ බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව ජේ.ආර්. ජයවර්ධන විසින් කැලණියෙහි සිට මහනුවරට යෑමට උත්සාහ කළ පා ගමනයි. ඉඹුල්ගොඩ වීරයා නමින් හඳුන්වන එස්.ඩී. බණ්ඩාරනායක විසින් එය අතරමගදී නතර කර ආපසු හරවා එවන ලදී.

එළුකත් තමිළ් උද්ඝෝෂණය සිංහල මතකයට ගෙන ආවේ කොටි සංවිධානයෙහි බලය පැවැති කාලයෙහි උතුරු නැගෙනහිර පැවැත්වූ පොංගුත් තමිළ් උත්සවයයි. එය එක අතකින් සිංහල සමාජය තුළ නැවතත් කොටි නැගීමක් පිළිබඳව භීතිය ජනනය කිරීමට හේතු වූ බව සැබෑවකි. ඇත්තෙන්ම ජාතිවාදී බලවේග එය අහිමිව යන තම ශක්තිය නැවත ඇතිකර ගැනීමට ශක්තිජනක පානයක් මෙන් භාවිත කිරීමට උත්සාහ දැරුවේය. එහෙත් ජන සහභාගිත්වය ප්‍රධාන මිණුම් දණ්ඩක් බවට පත්කර ගෙන එළුකත් තමිළ් උද්ඝෝෂණයෙහි සාර්ථකත්වය තීරණය කරන්නේ නම් එය අසාර්ථක වෑයමක් වූ බව පැහැදිලිය. අඩු ජන සහභාගීත්වය තුළින් පෙන්නුම් කරන ලක්ෂණය වන්නේ උතුරෙහි දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳ පැහැදිලි වෙනසක් සිදුවෙමින් පවතින බවයි.

මෙම වෙනස කෙරෙහි බලපෑ ප්‍රධාන කාරණයක් වන්නේ දෙමළ ජාතික සන්ධානය මෙම උද්ඝෝෂණයට නිල වශයෙන් සහභාගි නොවීමත් එයට අනුබලය නොදීමත්ය. ‘එළුකත් තමිළ්’ හෙවත් ‘නැගිටිනු දෙමළුනි’ යන්න සංවිධානය කරවන ලද්දේ ‘තමිළ් මක්කළ් පේරවෛ’ නමින් හැඳින්වෙන දෙමළ ජනතා සභාව විසින්ය. උතුරු පළාත් සභාවෙහි මහ ඇමති විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් යුතු එය වඩාත් ප්‍රසිද්ධ දෙමළ ජාතික සන්ධානයට අභියෝග කරන පිරිස් සහ සංවිධානවලින් යුතුය.

මෙහිදී දෙමළ ජාතික සන්ධානය අනුගමනය කරන ප්‍රතිපත්තිය පිළිබඳව ද්‍රෝහි ආකල්පයෙන් බැලීමක් දක්නට ලැබෙයි. එහෙයින් ඇත්තෙන්ම මෙම එළුකත් තමිළ් උද්ඝෝෂණය තුළින් පැහැදිලි වන්නේ උතුරෙහි දෙමළ දේශපාලනය තුළ පවතින වෙනස්කම්වල ප්‍රතිඵලයන්ය. මේ වන විට දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුව සමඟ පවත්වා ගෙන යන සම්බන්ධතාවය හැඳින්වීම සඳහා එයට විරෝධය දක්වන පිරිස් භාවිත කරන යෙදුම වන්නේ නල්ලිණක්ක අරසියල් යන්නයි. ප්‍රතිසන්ධානවාදී දේශපාලනය යන්නට භාවිතා කරන ශිල්පීය වදන වන්නේ එයයි. මෙම ආණ්ඩුවෙහි පාලනයත් සමඟ බහුල භාවිතයට පැමිණි මෙම යෙදුම බොහෝ දෙනෙකු සාධනීය අරුතකින් මෙන්ම නිශේධනාත්මක අරුතකින් ද භාවිතා කිරීම දක්නට ලැබෙයි. එළුකත් තමිළ් උද්ඝෝෂණයට පූර්වයෙන් ඒ පිළිබඳව පැවැති සාකච්ඡාවකදී එක් සාමාජිකයෙකු පැවසුවේ දෙමළ ජාතික සන්ධානය ප්‍රතිසන්ධානවාදී දේශපාලනයෙහි යෙදී සිටින හෙයින් අපි එයට එරෙහිව කරන විරෝධයක් ලෙසින් මෙම එළුකත් තමිළ් උද්ඝෝෂණයට සම්බන්ධ විය යුතු බවයි.

මෙම තත්ත්වය වඩාත් බැරෑරුම් වන්නේ ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරීම යන්න මහත් විශාල වරදක්ය යනුවෙන් සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය තුළින් වර්ධනය කර ඇති ආකල්පය හේතුවෙන්ය. වාමාංශික සම්ප්‍රදාය තුළ එය ධනේශ්වරයට සේවය කිරීමක් ලෙසින් අර්ථකථනය කෙරෙන අතර සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදී දේශපාලනයට අනුව එය සිංහල ආණ්ඩුවට යටත්වීමක් ලෙසින් අර්ථකථනය වෙයි. නමුත් ජාතික ප්‍රශ්නය වෙනුවෙන් විසඳුමක් ලබා ගැනීමට කටයුතු කිරීමේදී මෙම දෙමළ ජාතික සන්ධානය සහ ආණ්ඩුව අතර ඇතිවෙන එකඟතාවයන්ට සමාජයෙන් සුජාතභාවය ලබා ගැනීමට බලවත් බාධාවක්ව පවතින්නේ මේ දක්වා වර්ධනය කර ඇති දේශපාලන සංස්කෘතිය සම්මුතිකාමය වෙනුවට විරෝධතාමය දේශපාලනයට වැදගත්කමක් දීමත් පසමිතුරුභාවයන් මතම මෙම ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාහැකි වීමත්ය.

එහෙයින් ආණ්ඩු විරෝධය උදෙසා සම්මුතිවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමත් ඒ වෙනුවට වඩාත් ආකර්ෂණීය වන්නාවූත් වඩාත් පහසුවෙන් වීරත්වයක් ආරෝපණය කරගත හැකි වන්නාවූත් පසමිතුරු දේශපාලනය දෙපාර්ශ්වයෙහිම ජාතිවාදී ව්‍යාපෘතියෙහි ආශිර්වාද ලබන්නක් වෙයි.

අප වෙනස්ව සිතිය යුත්තේ මේ නිසාය. එහෙයින් ‘වෙනස සැප ද?’ යැයි ඇසීම හුදු සමච්චල් කිරීමක් නොකර ‘වෙනස අකැප ද?’ යන ප්‍රශ්නය ඇසිය යුතුය.

උපුටාගත්තේ LV

Leave a Reply

Your email address will not be published. Required fields are marked *