විශේෂාංගඋපුටාගැනීම්

සේන් ගෙඟ් වම් ඉවුරට එන්න…

සේන් නදිය ගලාගෙන යනවා. අයිපල් කුලූන මිහිඳුම් සේලයක් ඔතාගෙන. නදිය හරස් කළ ආරුක්කු පාලම්. අහස සොයන දෙව් මැදුරු කුලූනු… සුමියුරු වයින් බඳුන්. ලස්සන ප‍්‍රංශ යුවතියන් ලිලී මල් අරන්. ගී ද මෝපසංට ලියන්න උගන්වන පොලෙයෙබාර් මැඩම් බුවාරිගේ වස බඳුන. මනුතාපය- මේ හැම දෙයක්ම මට නම් සාහිත්‍ය මතකයන්. එතකොට ප‍්‍රංශ විප්ලවය… ශිෂ්‍ය නැගිටීම් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය… මේ හැම දෙයක්ම. දේශපාලන කියවීම් අස්සෙන් මතක ගබඩාවේ කාවෝ කන මතක කැබිලිති.. ලංකාවේ ඉඳගෙන ප‍්‍රංශය කියවන්න කල්පනා කළා. ප‍්‍රංශය කියවන ගමන් ලංකාව දකින්න සිතුවා. කල්පනාව අරන් ආවේ අලූත්ගම සිදුවීම.

‘‘මහත්තයට අපේ මුහුණෙන් මොකක්හරි අමුතු හැඟීමක් පේනවද?’’ මම ඒ මුහුණ කියවනවා. ටිකක් ඉන්න. මම කල්පනා කරනවා. මහත්තයා ටික කාලයකට කලින් දර්ගා නගරය ගැන ආර්ටිකල් එකකට ආවා. එදා අපි සතුටින් හිටියේ. දැන් අපි ඉන්නේ හරිම බයෙන්..’’

අලූත්ගම කඩයක් ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා කරන්න ගියාමයි දර්ගා මිත‍්‍රයා එලෙස කියුවේ. හරියටම හරි.. මාසයකුත් නැහැ අද මිත‍්‍රයාගේ කඩය අළු දුහුවිලිවලට හැරිලා. ඒ කාගේ වරදින්ද? ප‍්‍රංශයට නම් ප‍්‍රංශ විප්ලවය තිබුණ. ස‍්‍රාතේ වගේ දැවැන්ත කලාකරුවෝ නායකත්වය දුන්න ශිෂ්‍ය අරගල තිබුණ. ඒවා ඒ රටේ ජාතිකත්වය නිර්මාණය කළා. අපිට මොනවද තිබුණේ? අපිට තිබුණ නිදහස් සටනක්! සපත්තු අස්සේ ලියුම් දාගෙන යන. ඒක හැදුවා දේශපාලකයෝ රොත්තක් රට බුදිමින් ධනය සොයන. ඉතින් ප‍්‍රංශය කියවමු. මට ප‍්‍රංශය කියවන්න දෑස දෙන්නේ චූලා සමරසිංහ මහත්තයා. අසූ නවයේ භීෂණයෙන් ජීවිතය බේරාගන්න ප‍්‍රංශයට ගිය කෙනෙක් ඔහු. රට යන්න කලින් ජනප‍්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙක්. මේ ඔහුගේ කතාව. සාටෝප කළේ මම.

ජාතිවාදය

යුරෝපා රටවල් අර ගත්තොත් සමානාත්මතාව, සහෝදරත්වය, නිදහස අතින් ප‍්‍රංශය ඉදිරියෙන්ම ඉන්න රටක්. ප‍්‍රංශයේ බුද්ධිමතුන් රාජ්‍ය පාලනයේ ඉහළින් ඉන්න අය ජාතිවාදයට විරුද්ධයි. එහේ ජාතිවාදය කියන්නේ ලැජ්ජාවට කාරණයක්. මෙහේ ජාතිවාදය කියලා කියන්නේ ආඩම්බරයක්. අපි කාටහරි ප‍්‍රංශයේදී ජාතිවාදිය කියල කියුවොත් ඒක ඔහුට ගැහැව්වා හා සමානයි. අනික තමයි යුරෝපයේ සංක‍්‍රමණිකයෝ ගොඩාක් තමතමන්ගේ මවු රටවලින් වියෝ වෙලා පදිංචි වෙලා ඉන්නවා. එයාලත් ගොඩාක් වෙලාවට ජාතිවාදී නැහැ. පොඩි පොඩි කරදර නැතුව නෙවෙයි. යම් යම් මුස්ලිම් මූලධර්මවාදී කණ්ඩායම් සුළු සුළු ප‍්‍රශ්න ඇති කරන අවස්තා තිබෙනවා.

දැන් කාලයකට කලින් ප‍්‍රංශ යටත්විජිත වුණ ඇල්ජීරියාව, මොරොක්කෝව වගේ රටවල්වලින් සංක‍්‍රමණය වුණු කණ්ඩායම් ඉන්නවා. ඒ සමහර අය හිතනවා ප‍්‍රංශය අද හොඳට ජීවත්වෙන්නේ එයාලගේ මවු රටවල් සූරගෙන කාල කියලා. ඉතින් එයාලට පුංචි පළිගැනීමේ චේතනාවක් තියෙනවා. ඒත් මෙවැනි සුළු තත්ත්වයන් වුණත් ප‍්‍රංශය ප‍්‍රංශ රජය ජාතිවාදී ඇසින් දකින්නේ නැහැ. එතනයි වැදගත්කම තිබෙන්නේ.

දැන් ලපේන්ගේ පක්ෂය වගේ සුළු පක්ෂ තිබෙනවා ජාතිවාදී තත්ත්වයන් නියෝජනය කරන එයාල කියනවා විදේශිකයන් එලවන්න ඕනි ගහන්න ඕනි වගේ කතා. ඒත් ප‍්‍රංශය ඇතුළේ ඔවුන්ට ජන බලයක් නැහැ. රජයත් සෑම වෙලාවෙම ඇස ඇරගෙන ඉඳලා ප‍්‍රශ්නයක් ආ සැණින් එයට මැදිහත් වෙනවා. ලංකාවේ තත්ත්වය ලංකාවේ සිදුවෙන සිදුවීම්වලින් පේන්නේ රට තුළ ඇතිවෙන ජාතිවාදී ප‍්‍රවණතාවලට බහුතර ජනතාව සහය දෙනවා වගේ දෙයක්. ඒක ඉතාමත් නරකයි. නැත්නම් කොහොමද අලූත්ගම සිද්ධ වෙච්ච දෙයට සම්බන්ධ කල්ලියට මෙතරම් බලයක් ලැබෙන්නේ.. අපි අවුරුදු 30ක් යුද්ධ කළ ජාතියක්. මේවා බලපාන්නේ රටේ සමස්ත අනාගතයට. මේ සිද්ධවෙන දේවල්වලට සිංහලයෙක් විදිහට මට නම් හරිම ලැජ්ජයි. ජාතියක බහුතර මතය ජාතිවාදී නම් ඒක බරපතළයි. චූලා මහත්තයාගේ කතාව අස්සෙන් මට කල්පනා වෙනවා. මම කැමතියි 2002 ප‍්‍රංශ ජනාධිපතිවරණය ගැන කතා කරන්න. සමාජවාදී අපේක්ෂකයා තුන්වෙනි තැනට දාලා ජාතිවාදී ජේන් මාරි ලපේන්ට දෙවැනි වටයට එන්න පුළුවන් වුණා… එතැනින් පසුව ප‍්‍රංශය ක‍්‍රියාත්මක වන අයුරු අපූරුයි.

ඒ තමයි ප‍්‍රංශය. ජනතාව ජාතිවාදී ලපේන්ට විරුද්ධව වීදියට ආවා. මේ වෙලාවේ සමාජවාදී පක්ෂයේ ජොසපින් පරාදවෙලා හිටියේ. මිනිස්සු ජාතිවාදී ප‍්‍රවණතාවට විරුද්ධව බලවේගයක් විදිහට පෙරට ආවා. ලපේන්ට ඡුන්දය දුන් අයත් ආයිත් කල්පනා කරන්න පටන් ගත්තා අපි වැරදියි නේද කියලා. ඇයි අපි ජාතිවාදී වුණේ කියලා කල්පනා කළා. ප‍්‍රංශය මෙතනින් කොතනටද ගෙනියන්න ඕනි කියලා ඔවුන් ගැඹුරින් සිතුවා. මොකද වුණේ? ධනවාදී අපේක්ෂකයා වන ජාක් සිරාක්ට ලොකු කැම්පේන් එකක් කරන්න ඕනි වුණෙත් නැහැ. සමාජවාදියොත් ඔහුට සහය දුන්න රට ජාතිවාදයෙන් ගලවා ගන්න ජාක් සිරාක් සියයට 80ට වඩා ඡුන්ද අරගෙන දිනුවා. ඒ තමයි ප‍්‍රංශය. දැන් අලූත්ගම විශාල විනාශයක් වුණා. කවුරුද ඊට විරුද්ධව දැවැන්ත ජන ව්‍යාපාරයක් ගෙන ගියේ. ලංකාවෙත් ජාතිවාදයට විරුද්ධව පුංචි පුංචි ව්‍යාපාර තියෙනවා. ඒවා හුදෙකලා වෙලයි ක‍්‍රියාත්මක වෙන්නේ එතකොට ඒවට ජන මනස වෙනස් කරන්න ශක්තියක් නැහැ.

ප‍්‍රංශයේ මිනිස්සු ජාතිවාදී නොවෙන නිසා සමානාත්මතාව, සහෝදරත්වය, මානව නිදහස අගයන නිසා ඔවුන් සැවොම ප‍්‍රංශ ජාතිකයෝ ලෙස එකට බැඳිලා. ඒ බැඳීමට ප‍්‍රංශ විප්ලවය වගේම 68 ශිෂ්‍ය ව්‍යාපාරයත් ලොකු සේවයක් කළා.

ප‍්‍රංශ විප්ලවය

ඒක හරියටම හරි. 1789-1799 අතර සිද්ධ වුණු ප‍්‍රංශ විප්ලවය නූතන ප‍්‍රංශ ගොඩනැගීමට පදනම සාදනවා. මේ විප්ලවයෙන් තමයි මානව නිදහස පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයට පදනම වැටෙන්නේ. මේ හින්දම තමයි ප‍්‍රංශයේ මිනිස්සු මානව අයිතීන්වලට ගොඩාක් ගෞරව කරන්නේ. එයාලා හැම වෙලාවෙම එයාලා ඉදිරියේ ඉන්න මනුෂ්‍යයාට ගොඩාක් ගරු කරනවා. ගරු කරනවාය කියල කියන්නේ අනික් පැත්තෙන් ඔහු ගැන සිතනවා කියන එක ලංකාවේ ඒක තියෙනවාද? නැහැ. දැන් ලංකාවේ පාරවල්වල වාහන ධාවනය කරන අය පදිකයාට ගෞරව කරනවාද? නැහැ. හිතන්න කෙනෙක් පොදු රෝහලක බෙහෙත් ගන්න උදේ පාන්දර ඉඳලා පෝලිමේ ඉන්නවා. දහවල් තවත් කෙනෙක් ඇවිල්ලා ටක්ගාලා බෙහෙත් අරගෙන යනවා. එයාට අර පෝලිම පේන්නෙවත් නැහැ. අනික තමයි 68 ශිෂ්‍ය ව්‍යාපාරය. සාත්‍රේ වගේ දැවැන්ත චරිත මේක පිටිපස්සේ හිටියා. එදා ශිෂ්‍යයෝ විදිහට අයිිතිවාසිකම් දිනාගන්න දියුණු ප‍්‍රංශයක් ගොඩනගන්න අරගල කළ අය තමයි අද ප‍්‍රංශයේ තීන්දු තීරණ ගන්න ප‍්‍රජාව අතර ඉන්නේ. ඔවුන් තව අවුරුදු 5කින් විතර විශ‍්‍රාම යාවි. නමුත් ඔවුන් ප‍්‍රංශයට කළ දායකත්වය නිසා තමයි අද ප‍්‍රංශයේ නිදහස, සමානාත්මතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත වෙලා තියෙන්නේ.

දේශපාලකයෝ

සමානාත්මතාව තමයි ප‍්‍රංශය තුළ ප‍්‍රමුඛ. ජාතික කොඩියේ එක් වර්ණයක් ඒ සඳහාම වෙන් කරලා. අපි ඊට වඩා වෙනස් නේද? සමානාත්මතාව කියන එක වැඩිපුරම බිඳෙන්නේ ලංකාවේ දේශපාලකයෝ නිසා නේද?

ඔව්. ඒ ලංකාවේ. ප‍්‍රංශයේ ජනාධිපති ගන්න වෙන මන්ත‍්‍රී කෙනෙක් ගන්න එයා තවත් එක ප‍්‍රංශ ජාතිකයෙක් විතරමයි. එයා බයිසිකලේ යන්නේ. නැත්නම් කෝච්චියේදී හමුවෙන්න පුළුවන්. ජනාධිපති වුණත් රූපවාහිනියෙන් කතා කරන්නේ ජාතිය අමතන වෙලාවට නැත්නම් විශේෂ අවශ්‍යතාවකදී.. අපේ ජනාධිපතිවරුන් මන්ත‍්‍රීවරුන් කොතරම් සිල්ලරට වැටිලද? අනෙක බලන්න ජනාධිපතිවරයා ඉස්සරහ නැත්නම් මන්ත‍්‍රීවරයා ඉස්සරහ ජනතාව හැසිරෙන විදිහ. කොඳු කඩාගෙන බිම බඩගාගෙන දොහොත් මුුදුනෙන් තමයි පිළිගන්නේ. අපේ මිනිස්සු කොතරම් නිවටද?
අපේ දේශපාලකයාත් ජනතාවට ජනතා ගැටලූවලට ගෞරව කරන්නේ නැහැනේ. දැන් මට මතකයි ප‍්‍රංශ ජනාධිපති විදිහට ප‍්‍රංශුවා මිතරෝන් ඉන්න කාලේ මැයි පෙළපාළි අවස්ථාවකදී ලපේන්ගේ පක්ෂයේ ආධාරකරුවෝ මුස්ලිම් ජාතික කම්කරුවකුට පහරදීලා සේන් ගඟට දැම්මා. ඔහු මියගියා. එදා ප‍්‍රංශ ජනතාව වගේම ප‍්‍රංශ ජනාධිපතිත් ඒක ප‍්‍රංශයට වුණු අවමානයක් විදිහට තමයි දැක්කේ. ප‍්‍රංශුවා මිතරෝන් මොකද කළේ මල් පොකුරක් අර කම්කරුවා මියගිය ස්ථානයේදී සේන් ගඟට දැම්මා. ඒක එදා ප‍්‍රංශයට ගොඩාක් දැනුණා. ඒකෙන් අර මැරුණ මනුෂ්‍යයාගේ ඥාතීන්ට සැනසීම ලැබුණා. ප‍්‍රංශයේ ඉන්න සුළු ජාතිකයන් ගොඩාක් සතුටු වුණා. අපේ අද උතුරේ මොකදවෙන්නේ සොහොන් පිට්ටනිත් ඩෝසර් කරනවා. සැනසීම කොහේද තියෙන්නේ. යම් රටක ජනතාව හැම වෙලාවෙම බයෙන් සැකෙන් ඉන්නව නම් ඒ රටට නිදහසක් නැහැ.

අද ලංකාවේ ආගමයි පාලනතන්ත‍්‍රයයි දෙකක් නෙවෙයි එකක් වගෙයි පෙනෙන්නේ. ඔබවහන්සේ පන්සල බලාගන්න. මම රට බලා ගන්නම් කියල කියන්න පුළුවන් දේශපාලකයෝ අද ලංකාවේ නැහැ. ඉතින් ප‍්‍රංශය සහ පල්ලිය අතර බැඳීම මොනවගේද?

ආගම

ආගම ව්‍යවස්ථාවෙන්ම ඈත් කරලයි තියෙන්නේ. උදාහරණයකට රාජ්‍ය නායකයා කිසිදු අවස්තාවක ආගමික සංස්ථාවේ වැඩවලට සහභාගිවෙන්නේ නැහැ. මට මතකයි එක වෙලාවක මන්ත‍්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් නැතිවුණු වෙලාවක ජනාධිපති පල්ලියට ගිය අවස්ථාවක්. ඒ වෙලාවෙත් ඒක ලොකු කතාබහක් සමාජයේ ඇති කළා. අනික අද පල්ලියට යන අය ආගම අදහන අය ගොඩක් අඩුයි. නැති තරම්. ගියත් යන්නේ වයසක අය. ඕනි කෙනෙකුට ඕනිම ආගමක් අදහන්න පුළුවන්. ස්වර්ගයට යන්න ගිනි තියා ගන්න අයත් එහේ ඉන්නවා.

කාන්තා නිදහස

කාන්තා නිදහස ගැන කතා කළොත් පිරිමියාට හිමි සෑම අයිතියක්ම ගැහැනියට හිමියි. ඒවා මෙහේ වගේ කතාවට විතරක් නෙවෙයි ප‍්‍රායෝගිකයි. කාන්තාවකට ඕනිම වෙලාවක ඕනෑම මගක නිදහසේ ගමන් බිමන් යන්න පුළුවන්. මෙහේ නගර වීදියක රෑ 12න් පස්සේ ගියොත් මොනවා වේවිද? ඒක මරණයෙන් කෙළවර වෙන ගමනක්. 
දැන් ගණිකා වෘත්තිය ගන්න. ඒක ප‍්‍රංශයේ වෘත්තියක්. ඒ සේවාව සපයන තැන් ඕනිතරම් ප‍්‍රංශයේ තියෙනවා. ගණිකා වෘත්තියේ යෙදීම ප‍්‍රංශයේදී අවමානයට කාරණයක් නෙවෙයි. තමන්ගේ බිරිඳ අමතක කරලා ගණිකාවක් සොයාගෙන යෑම තමයි අවමානය. එතකොට ඔහුට සැලොප් කියල කියන්න පුළුවන්. සැලොප් කියල කියන්නේ පාදඩයා කියන එක. ලංකාවේ නම් ගණිකාව කූඩු කරලා සේවාව ලබාගන්න ආව පිරිමියා සුව පහසුව ගෙදර යවනවා.

හොඳ රටක් කියල කියන්නේ පුරවැසියාට නිදහසේ සතුටින් ආත්ම ගෞරවයෙන් ජීවත්වෙන්න පුලූවන් අවකාශයකට. මානව නිදහස ගෞරවය ගොඩාක් වැදගත්. ප‍්‍රංශයේ විශ‍්‍රාමිකයකුට ලැබෙන වරප‍්‍රසාදය වුණත් ගොඩාක් වැඩියි. ප‍්‍රවාහනය, සෞඛ්‍ය වගේ පහසුකම් සැපයීමේදී ඔවුන් ප‍්‍රමුඛයි. ඒ ඇයි? ඒ ඔවුන් ප‍්‍රංශය ගොඩනැගීමට දැක්වූ දායකත්වයට රට පෙරළා නැවත තම යුතුකම ඉටුකිරීම. මේ හැම දෙයක් ගැනම ලංකාවේ අපි නැවත නැවත සිතා බැලිය යුතුයි. ප‍්‍රංශය ගොඩනගන්න බුද්ධිමතුන්, කලාකරුවන් ලොකු දායකත්වයක් දුන්නා. ලංකාවේ තත්ත්වය ඊට තරමක් වෙනස්. ඒ වෙනස වෙනස් වුණු කලකට අපිටත් කලක් යාවි. එතකන් අබ සරණයි තමයි!

කේ. සංජීව

උපුටාගැනීම රාවයෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *