විශේෂාංගඋපුටාගැනීම්

ගොළුවෝ කථිකයෝ සහ කුමාර්

“ගොළු නොවන සියල්ලෝ කථිකයෝය”. මේ වාක්‍යය කීවේ 1998 වයඹ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය අබිමුවේ ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම් දිස්ත‍්‍රික් සාමාජිකයන් වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ සූදානම් කිරීමේ වැඩමුළුවක් ඇමතූ ‘‘මූලස්ථානයෙන් පැමිණි’’ සහෝදරයෙකි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ සිදු වූ මහා ඡන්ද මංකොල්ලයක් ලෙස කුප‍්‍රකට වූ එම මැතිවරණය, එයට දින නියම කළ දා පටන්ම සංග‍්‍රාමයක සිරි ගෙන තිබිණි. එවකට පුත්තලම හොල්ලමින් සිටි ද.මු. දසනායකලා ප‍්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණෙන් තරග වැදුණේ වයඹ පළාත් සභා මැතිවරණය වන් හෝස් රේස් එකක් ලෙස ඉතාම උද්දච්ච ලෙස උපකල්පනය කරමින් රාජ්‍ය බලයේ කටු මුගුර මිට මොලවාගෙනය.94 පරාජයෙන් දළ කැඩී සිටියේ වුව එක්සත් ජාතික පක්ෂය ද සටන අතහැර තිබුණේ නැත. පුත්තලම දිස්ත‍්‍රික්කය යනු එජාප බලකොටුවකි. එයිනුත් හලාවත සහ වෙන්නප්පුව ආසන යනු කාලයක් තිස්සේ හරින්ද්‍ර කොරයලා පෙස්ටස් පෙරේරලා හොඳට සෙල්ලම් දැමූ, කැපුවත් කොළ ලෙස නම් කළ හැකි ආසන යුගලයකි. එහෙයින් ඒ හයිය ගෙන එජාපය ද කරට කර සටනකට සූදානම් වෙමින් සිටියේය. මේ ප‍්‍රචණ්ඩ අලකලංචිය මැද ජවිපෙ තෝරාගෙන තිබුණේ සාමකාමීත්වයේ මාවතය. උනුත් එකයි මුනුත් එකයි සටන් පාඨය මුලින්ම යොදා ගැනුණේ මෙන්න මේ වයඹ පළාත් සභා මැතිවරණය සඳහාය. අපි දැන් නැවතත් අර වැඩමුළුවට එමු.

සබකෝලය, ලැජ්ජාව, බය අතහැර හැමෝටම ජනතාව අමතන්නට සිදු වන බව ‘‘මූලස්ථානයෙන් පැමිණි’’ සහෝදරයා කීවේ පෙර කී වාක්‍යය වහරමිනි. එහෙම කියා හැරෙන තැපෑලෙන් ඔහු මෙහෙම ද කීවේය.

‘‘ඒ වගේම මතක තියාගන්න ඕන, ස්ටේජ් එකට නැග්ගට පස්සෙ ඔළුව කසන්න, නහය හාරන්න, නියපොතු කන්න එපා. මිනිස්සු අපි දිහා බලාගෙන ඉන්නේ. මීඩියා අපි දිහා බලාගෙන ඉන්නේ. අනික, ලොකුම ප‍්‍රශ්නෙ තමයි මයික් එක ළඟට ගියාම ගොඩක් අයට එක එක්කෙනාව වැහෙනවා. මැරිච්ච මිනිස්සු විතරක් නෙවෙයි තාම ජීවත් වෙලා ඉන්න අයවත් වැහෙනවා. ඒක නිසා අරයව මෙයාව වැහෙන්නෙ නැතුව තමන් තමන් වෙලා කතාව කරන්න ඕන.’’

එය ඇත්තකි. එවකට ජවිපෙ තුළ වීරයා විමල් වීරවංශය. ප‍්‍රාදේශීය බොහෝ සහෝදරවරු කතා පවත්වද්දී පොඩි වීරවංශමය ගතියක් පෙනෙන්නට තිබීම සාමාන්‍ය තත්ත්වයක් විය. විමල් වීරවංශ කොපි කළේ රෝහණ විජේවීර සහෝදරයාගේ කතා ශෛලිය බව වෙනම කතාවකි. ඊට අමතරව සමහරු අජිත් කුමාර (මේ කියන්නේ පාර්ලිමේන්තු බෝම්බ සිද්ධියට සම්බන්ධ – පසුව ජවිපෙ හැරගිය) ගේ ශෛලිය ද අනුකරණය කළෝය. අජිත් කුමාර අනුකරණය කළේ 89 අරගලයට පෙර ජවිපෙ වේදිකා හෙල්ලූ පැරැණි නායකයන්ගේ ශෛලිය යැයි ලියුම්කරුට සිතෙයි. මේ අනුකරණ ශෛලිය කතාවෙන් වෙනස් කළේ ටිල්වින් සිල්වා සහෝදරයා යැයි කිව හැකිය. අපගේ කතාවේ එන වැඩමුළුවට මූලස්ථානයෙන් ආ සහෝදරයාට ද අමුතුම කතා ශෛලියක් තිබිණි. එහෙත් ඔහු කිසි දිනක ජවිපෙ වේදිකාවක දැක නැත.

පෙර නුදුටු අමුතු විලාසයකට කතා කරන මේ මනුෂ්‍යයා, තමන් විසින් අමතනු ලැබෙන පිරිස කතාවෙන් අවනත කරගත්තේය. එක්තරා මෘදුකමකුත් ඊට යටින් පෙනෙන නොපෙනෙන පරිදි එළන ලද කිසියම් කර්කෂ අධිකාරීත්වයකුත් ඒ හඬේ ගැබ්ව තිබිණි. සදය ද නිර්දය ද කිව නොහැකි කීරිගැහෙන උපහාසයක් ඔහු වහරන වචන තුළ පැවතියේය. එය බැණුම් වරුසාවකට වඩා ප‍්‍රබල බව දන්නෝ දනිති. වරෙක එකී උපහාසයේ කෙළවරක ගොස් වැදෙන ඔහුගේ සිනහව, තවත් වරෙක සහෝදරත්වයේ කෙළවර තෙක් දිවෙන සුහදකමකට මඟ පාදයි. 2011 වර්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ මහා පිපිරුම එන තෙක් පක්ෂයේ කොයි කාගේත් ආදරය දිනූ වීරයා වූ ඔහු පේ‍්‍රම්කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් සහෝදරයාය.

දේශපාලනය යනු වීරයන් නිර්මාණය කර නොගත යුතුම කලාපයකි. මක්නිසාද යත් ඔවුහු භෞතිකව ජීවත්ව සිටිය දී පවා දේශපාලනිකව මිය යා හැකි නිසාය. ජවිපෙ දෙකට කැඩී පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිර්මාණය වන විට රළ නගා ආවේ මෑතකාලීන වාමාංශික දේශපාලනයේ වඩාත්ම ප‍්‍රබෝධජනක අපේක්ෂාවන්ය කියා කීවොත් එය වැරැදි නැත. එහෙත් ඒ අපේක්ෂාවන්ට අර්ථයක් ලැබුනේ නැත. ඉතා කෙටි කාලයක් තුළ වමට ආවේණික ඇමීබාකරණයේ ශීඝ‍්‍රතාව වැඩි විය. එක් ‘විශාල වරදක්’ දෙකඩ වී ඉනික්බිතිව පුංචි පුංචි වැරදි කෑලි’ගණනාවකට කැඩී බිඳී වෙන්ව ගියේ න්‍යායික ව්‍යවහාරික පඹ ගාලක් නිර්මාණය කරමිනි. ජාතිකවාදයේ සරණ ගිය මව් පක්ෂයෙන් වෙන්ව ගිය පුත‍්‍රයන්ට පවා පීඩිත ජන අයිතිය සම්බන්ධයෙන් කෙළින් හිටගත නොහැකි විය.

කුමාර් ගුණරත්නම් අද ජේවීපීයේ නැතත් නියම ජේවීපී කාරයෙකි. ජේවීපී දැක්මෙන්, මතවාදයෙන්, වැඩ රටාවෙන්, වැඩ කලාවෙන්, සංවිධාන විලාසයෙන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජේවීපී කාරයෙකි. එනිසාම 2011 ඛණ්ඩනයේ අපේක්ෂාවන් මල්පල ගන්වන්නට ඔහුට නොහැකි වී ඇත. එහෙත් තමන් අනුදත් සටන අත නොහරින දිරිමත් මිනිසුන් පොකුරක් තවමත් ඔහු වටා ඇත. ඒ මිනිසුන්ගේ ප‍්‍රාර්ථනාවන් අපි අවතක්සේරු නොකරමු. එහෙත් බොහෝ දහදිය ලේ කඳුළු මේ වන විට ගඟේ ගොස් තිබේ. විප්ලවය කරන්නට හිතාගෙන ආ බොහෝ දෙනා – ඇතැම්විට මේ ලියුම්කරු ද ඇතුළුව – දැන් තැන් තැන්වල සිල්ලර කඩ දමාගෙන ඇත. එසේ වූයේ ඇයි? එය ද ඇතුළු වැදගත් දේශපාලන ප‍්‍රශ්න ගණනාවකට කුමාර් ගුණරත්නම්ගෙන් පිළිතුරු ලබාගත යුතුය. හැබැයි, ඒ ප‍්‍රශ්න අසන්නට නම් කුමාර් මේ දේශපාලන භූමියේ සිටිය යුතුය.

අන් සියලූ‍ දේශපාලන ක‍්‍රියාකාරීන්ට තිබිය යුතු දේශපාලන නිදහස ඔහුගෙන් අහිමි නොකළ යුතුය. ඔහුගේ පක්ෂය ක‍්‍රියාකාරීව සිටින භූමියෙන් ඔහු පිටුවහල් නොකළ යුතුය. මනුෂ්‍යයන්ගේ දේශපාලන නිදහස අහිමි කරන සමාජයක වෙන මොන නිදහසක්වත් රැකෙන්නේ නැත. නීතියේ සංකීර්ණ නූල් සූත්තරවලින් දේශපාලන අයිතිය හකුළුවන්නට ඉඩ දිය නොහැකිය. කුමාර් ගුණරත්නම්ගේ ප‍්‍රශ්නය හුදු ආගමන විගමන ගැටලූවකට ලඝු කිරීම තක්කඩිකමකි. ඔහු වෙනුවෙන් කතා කරන්නට සිවිල් සමාජයක් නැත. එදා ජවිපෙ යුද්ධයට සහාය පළකළ සමයේ කුමාර්ලා ද ඒ මල්වට්ටියට අතගැසූ නිසා ‘‘කාලා වරෙල්ලා’’ යැයි ඇතැම් විද්වතෙක් සිතනවා විය හැකිය. එහෙත් එය නරුම ස්ථාවරයකි. යහපාලනයේ මුරදේවතාවන්ට මේ දේශපාලන ප‍්‍රශ්නය නොපෙනෙන රහස කුමක්ද?

‘‘ඒක එයාලගේ ප‍්‍රශ්නයක්නේ – ඒක එයාලාම බේරගන්නෙ නැතැයි’’ කියා ඉහළම විප්ලවවාදීන් පවා සිතන බව පෙනෙයි. සමහරුන්ට ලංකාවේ වාමාංශික කෝටාව සම්පූර්ණයෙන්ම අත්පත්කර ගැනීමේ ආශාවක් තිබෙනවාද විය හැකිය. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට මෙය එතරම් ප‍්‍රශ්නයක් නොවේ. මෙය රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලැබෙන ‘ව්‍යාපෘතියක්ද’ නොවේ. කිසි කෙනෙක් මේ ගැන කතාකරන්නේ නැත. කුමාර් සහ ඔහුගේ පක්ෂය හුදෙකලා කර ඇත. එදා කුමාර් ගුණරත්නම් කීවේ ‘‘ගොළු නොවන සියල්ලෝ කථිකයෝය’’ කියාය. මේ සෝෂල් මීඩියා යුගයේ ‘ගොළු වූවන් පවා කථිකයෝය.’ එසේ තිබිය දී පවා අද මෙතැන දී සියලූ‍ කථිකයන් ගොළු වී තිබේ. මේ සටහන ලියන මොහොතේ කුමාර් නිදහස් කරන්නැයි ඉල්ලූ උද්ඝෝෂණයකට පොලිස් ප‍්‍රහාර එල්ල වී ඇත. ටෙක්නිකල් හන්දියේ උද්ඝෝෂණයට යන්නට බැරි ටෙක්නිකල් ප‍්‍රශ්නවල මේ ලියන අප පවා සිරකරුවන්ය. එහෙත් සාමාන්‍යයෙන් ඉතිහාසය, සියලූ‍ නිහැඬියාවන්හි වන්දිය අපෙන් ගනියි.

– විමල් කැටිපෙආරච්චි

උපුටාගත්තේ සත්හඬෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *