විශේෂාංගඋපුටාගැනීම්

කෙළවගන්න කලින් වැඩට බහිමු

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක  පසුගිය සතියේ දී වීරයෙක් විය. ඒ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අසල තබා ගෙනම ඔවුන්ගේ ආණ්ඩු කෙරුවාව දැඩිව විවේච්නය කිරීම නිසාය.

අනුරගේ විවේචනය සර්වසාධාරණ නැතත් විපක්ෂයේ නායකයකු ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙහි ආරක්ෂකයකු ලෙසත් සලකා ඔහු විසින් සිදු කෙරුණු විවේචනය දරා ගැනීමට අගමැතිවරයාටත් ජනාධිපතිවරයාටත් සිදුව තිබේ. එමෙන්ම එහි බාර ගත යුතු කරුණු කාරණා ගණනාවක් ද විය. විශේෂයෙන්ම ඔහු මෙහි දී දැඩිව අවධාරණය කරණු ලැබුවේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින දූෂණ ගැන හා පසුගිය පාලන සමයේ දී දූෂණ චෝදනා ලැබූවන් සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ගැන ය. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මෙලෙස ඉදිරියෙහි තබා ගෙන දරුණුවට විවේචනය කිරීමට හැකිවීම ම යහපාලනයේ ජයග්‍රහණයක් යැයි පවසා මෙම විවේචනවල තිබෙන බර සැහැල්ලු කිරීම විය යුතු නැත. සමාජය ඉල්ලා සිටි නිදහස එය යි. මන්ද මෙම විවේචනය රටක ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය බැවිනි. විවේචනයට ඇහුම්කම් දුන්නා සේ ඒ එම විවේචනයම යහපාලන ආණ්ඩු ක්‍රමයේ පැවැත්ම වෙනුවෙන් සිදු කෙරුණු යහපත් ආයෝජනයක් ලෙස සලකා ඒ අනුව නිවැරැදි වීම පාලකයන්ගේ වගකීම වේ.

මෙම විවේචනයට යම් තරමකින් ඉහළ සාධාරණ භාවයක් එකතු වන්නේ ජනාධිපති මෛත්‍රීපල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට පෙරත් පසුවත් තවමත් කතා කරමින් සිටින ‘යහපාලනය’යථාර්ථයක් නොවීම පදනම් කරගෙන ය. යහපාලනය යනු දේශපාලන සංකල්පයක් නොවුණද ඒ මඟින් අදහස් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක මූර්තිමත් විය යුතු යහපත් ගුණාංගයන් ය. මානව හිමිකම් සුරැකීම,නීතියේ ආධිපත්‍යය පිහිටුවීම, අධිකරණයේ ස්වාධීනත්වය රැකීම ආදී සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් තහවුරු වීමෙන් පමණක් යහපාලනය මූර්තිමත් වන්නේ නැත. රාජ්‍ය පාලනයේ දූෂණය, වංචාව හා නාස්තිය දුරු කෙරෙන පරිපාලනයම ය වශයෙන් ස්ථාවරයක් ආණ්ඩුවට පවත්වාගෙන යාමට හැකි විය යුතුය. එපමණක් ද නොවේ. රටේ සමස්ත ජනතාව තුළ සාමය හා සංහිඳියාව ස්ථාපිත විය යුතුය.

එහෙත් වත්මන් සම්මුතික ආණ්ඩුව මුල පුරා ඇත්තේ මින් කවරකටද යන්න පැහැදිලිව සටහන් කිරීමේ හැකියාවක් නැතැයි කීම වරදක් නොවේ.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී එල්ල වූ මානව හිමිකම් කඩවීමේ චෝදනා වත්මන් රජයට ද මේ වන විට එල්ල වෙමින් තිබේ. පොලීසිය මඟින් සිදු කෙරුණු වධ හිංසා ගැන මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මෙරට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන් ඍජුව ප්‍රශ්න කරමින් තිබේ. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් නරක ප්‍රතිචාර ශ්‍රී ලංකාවට එල්ල වෙමින් තිබේ. නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය ගැන යළි ප්‍රශ්න මතු වෙමින් තිබේ. ඇතැම් විමර්ශන කටයුතු, ඇතැම් නඩු තීන්දු සම්බන්ධයෙන් දේශපාලන අධිකාරියේ ප්‍රබලයන්ගෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව ප්‍රසිද්ධ රහසක් බවට පත් වෙමින් ද තිබේ. එමෙන්ම ඇතැම් අධිකරණ තීන්දු පක්ෂග්‍රාහීව ලබා දී තිබෙන බවට විනිසුරුවරුන්ටම චෝදනා එල්ල වී තිබේ. වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් ද නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන අක්‍රිය පිළිවෙතක් අනුගමනය කරමින් සිටී. නීතිපති දෙපාර්තමේන්තුව තුළ විමර්ශන අවසන් කළ එහෙත් නඩු පැවැරීම සිදු නොකරණු ලැබූ සිදුවීම්වලට අදාළ ලිපිගොනු සිය ගණනක් ගොඩ ගසා ඇති බවත් පැවැසේ. රාජපක්ෂ සමයේ ‘මෙගා ඩීල්’ චෝදනා එල්ල වූවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු වන බවක් නොපෙනේ. ඒ අතර මෙම විමර්ශනයන් කරන ඉහළ පොලිස් නිලධාරීන්ම මේ මෙගා ඩීල්කරුවන් සමඟ ඩීල් දමාගෙන ඇති බව ට තොරතුරුද හෙළි වෙමින් තිබේ. මේ අනුව කිසි දිනෙක හෝ මේ මෙගා ඩීල්කරුවන්ට නීතියෙන් දඬුවම් විඳීමට සිදු වනු ඇති බව අහිංසක හීනයක් මිස යථාර්ථයක් වීමේ සම්භාවිතාව අතිශයින්ම කුඩාය. ඒ එසේ වන විට වත්මන් පාලනය තුළ සිදු වන යම් අකටයුත්තක් හෝ පාලනය කිරීමේ හැකියාව නිතැතින්ම අහිමි වනු ඇත. මේ වන විට ඇස්පනාපිට පෙණෙන්නට තිබෙන සත්‍යය ය එය ය.

මෙම විවේචනය පොදු කරුණකි. ඒ මෙරට සිටින ඕනෑම පුරවැසියකුට අවබෝධකර ගත හැකිව තිබෙන ඇත්ත තත්ත්වය ය. එහෙත් මේ සියල්ල මඟින් වැසුණු බරපතළ අනතුරක් යළි සමාජය වෙලා ගැනීමට කැස කවමින් තිබෙන බවට ලකුණු පහළ වෙමින් ඇත. ඒ ජනවාරි 08 වන දින තාවකාලික පරාජයක් ලැබූ ජාතිවාදයේ හා ආගම්වාදයේ ම්ලේච්ඡකම යළි හිස ඔසවමින් තිබීමය. ජාතිවාදය, ආගම්වාදය මේ රටට අලුත් අමුතු දෙයක් නොවේ. මේ ඉතිහාසය පුරාම යම් තරමින් විවිධ කාලවල අඩු වැඩි වශයෙන් මතුව තිබිණි. එසේම රටේ ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟුණු යුගයන් ද නොතිබුණා නොවේ. ඇතැම් විටෙක එක ජාතියක් තවත් ජාතියක් බලහත්කාරයෙන් යටපත් කොට, මර්දනය කොට, සංහාරය කොට ජනවාර්ගික කැරලිකාරිත්වයන් මතුවීමට ඉඩ නොදී පාලනය කළා ද විය හැකිය. අතීතයේ මිනිසා දේශපාලන ගැටලු නිරකරණය කර ගත්තේ ජාතිය, ආගම,කුලය හෝ යම් ගෝත්‍රික උවමනාවක් පදනම් කරගෙනය.  එහෙත් මේ මිනිස් වර්ගයාගේ දියුණුම යුගය යැයි කියන මේ යුගයේ නැතිනම් අතීතයේ සිට සකසා ගත් සියලු පටු සීමාසහිතකම් කඩා බිඳ දමමින් ගෝලීය වශයෙන් කල්පනා කරමින් තීන්දු තීරණ ගන්නා යුගයේදී ද තවමත් මේ ගෝත්‍රික උවමනාවන් මතුවීම මෙරට පමණක් නොව ලොව පුරා දකින්ට ලැබෙන අවාසනාවන්ත තත්ත්වයකි.

සමාජ ක්‍රමයක් දිනෙන් දින දැනුමෙන් සන්නද්ධ වී මුග්ධ මිථ්‍යා සංකල්පයන්ගේන් ඈත් වී වඩා මානුෂික සමාජ සම්බන්ධතා අනුව ජීවත් වීම විය යුතු නමුත් ඊට පටහැනිව යළිත් ගෝත්‍රික යුගයට පිය නැගූ අවස්ථා මෙරට මෑත ඉතිහාසයේ නැත්තේ නොවේ. මහින්ද රාජපක්ෂ යුගය යනු එවැනි පසුගාමී ගෝත්‍රික පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වූ යුගයකි. ඒ ගැන විවාදයකට යෑම අනාගත පරපුරේ උවමනාව විය හැකි නමුත් එය අත්විඳි වර්තමාන පරම්පරාවේ අයට එය නැවත විමසිය යුතු කරුණක් වන්නේ නැත.

සමාජයක් දියුණුවෙන් දියුණුවට පත් වීම සමාජ ප්‍රගමනය ලෙස හැඳින් වූව ද පසුගිය රාජපක්ෂ සමය යනු එහි අපගමනයය. ඊනියා යුද ජයග්‍රහණයක් මඟින් ජාතිවාදී ගිනි සාධාරණීකරණය කිරීමට රාජපක්ෂවරු සහ එහි බත්බැලයන් උත්සාහ කළ ද අවසානයේ දී අත්පත් කරගනු ලැබූ දෙයක් ඇත්තේ නැත. ප්‍රශ්න එතැනමය. අද“ඔන්න යළි කොටි නැගිටිනවෝ” යැයි බෙරිහන් දෙන්නේද මේ යුද ජයග්‍රහණයක් ලැබූවා යැයි කියන රාජපක්ෂවාදීන්ම වීම සහ එය මෙරට ජනතාවට පිළිගන්නා ලෙස ඔවුන් විසින්ම පැවසීම ම්ලේච්ඡ සරදමකි.

මේ ම්ලේච්ඡ සරදමක් ලෙස හැඳින් වූයේ මේ නොදැනුවත්ව කරන කටයුත්තක් නිසා නොව ඉතා සබුද්ධිකව කරනු ලබන කැත දේශපාලනික මැදිහත් වීමක් බව පැහැදිලි බැවිනි. රාජපක්ෂවරු පරාජයෙන් පසුව තමන්ගේ වැරැදි අඩුපාඩුකම් හදා ගන්නවා වෙනුවට සිදු කරනු ලැබුවේ තමන්ගේ සිංහල බෞද්ධ වර්ගවාදය මතින්ම යළි ගොඩ ඒමට කල්පනා කිරීමය. පරාජයෙන් පසුව පවත්වනු ලැබූ සෑම ජන රැළියකදීමත්, සෑම නිවේදනයකමත් සෑම මාධ්‍ය සාකච්ඡාවකදීමත් නිරන්තරයෙන් ඉස්මතු කරන ලද්දි. ඔවුන්ගේ මෙම ජාතිවාදී ආගම්වාදී ම්ලේච්ඡ උවමනාවය.

මේ ඉතා සැලසුම් සහගත ලෙස රාජපක්ෂ පවුලේ අයියා මලෝ එකතු වී සිදු කරමින් සිටින බවත් පැහැදිලිය. පසුගිය දා ආබාධිත ආරක්ෂක අංශ සෙබළුන් ලවා ජනාධිපති කාර්යාලය වැටලීම ද මෙහිම කොටසක් බව දැන ගැනීමට තිබේ. එමෙන්ම මේ වන විට මුස්ලිම් – සිංහල ගැටුමක් ඇති කිරීම සඳහා බොදු බල සේනා වැනි අන්තගාමී හා ප්‍රචණ්ඩකාරී සංවිධාන මෙන්ම තවුෆික් ජමාත් සංවිධානය වැනි ඉස්ලාමික අන්තවාදී සංවිධානයන් ද එක විට පාවිච්චි කරමින් තිබෙන බව ද පැහැදිලිය. නැවත වරක් කළු ජූලියක් ඇති වීමේ වැඩි ඉඩ කඩ මේ කුමන්ත්‍රණකාරී දේශපාලන මෙහෙයුම් නිසා නුදුරේම අවස්ථාවක් වෙන් කරනු ද ඇත. මේ තත්ත්වයන් වලකා ගැනීම ආණ්ඩු පාර්ශ්වයෙන් එතරම් උත්සාහයක් ගන්න ලකුණු ද නොපෙනේ. කෙසේ නමුත් ජාතිවාදය,ආගම්වාදය සහමුලින්ම පරාජය කළ යුතුව තිබූ අගනාම මොහොත පසුගිය ජනවාරි 08 වනදායින් පසුව එළඹුණ නමුත් ඉන් කිසිවකුත් ප්‍රයෝජනයක් ගත්තේ නැත. කනගාටුවෙන් වුව පැවසීමට සිදුව ඇත්තේ පරාජය කළ යුතුව තිබූ ඊනියා දේශප්‍රේමී, යුදකාමී මතවාද හා සිංහල ජාතිවාදය තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් තවදුරටත් පවත්වාගෙන යාමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය විසින් ගන්නා උත්සාහය ද රටේ අවාසියට හේතු වී ඇති බවය.

අගමැතිවරයා හෝ මෙම අගතිගාමිත්වයන් පරාජය කිරීම සඳහා දැඩි උත්සාහයක් දරනු ඇති බවට විශාල අපේක්ෂාවක් සමාජයට තිබුණ ද ඒ බවක් ද පසුගිය කාලයෙහි පෙනෙන්නට තිබුණේ නැත. ඒ සම්බන්ධයෙන් වන ඔහුගේ විවේචන හැර ක්‍රියාමාර්ග තිබුණේ නැත. මේ ආදීනව දකින්නට ලැබෙනුයේ ඉදිරි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කරළියට එන මොහොතේදී ය. එමෙන්ම ලබන වසර තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ අනුව ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් රාශියක් ආරම්භ කිරීමට ද සිදුව තිබේ. ඊට අවශ්‍ය යහපත් පරිසරයක් සකසා ගැනීමට ප්‍රමාණවත් තරම් කාලයක් පසුගිය දෙවසර තුළ නිකරුණේ අපතේ යවා තිබේ. මේ සම්බන්ධයෙන් සමාජය දැනුම්වත් කිරීමේ කාර්යය සිදුවූවා නම්  ජාතිවාදී, ආගම්වාදී කල්ලි කණ්ඩායම්වල විරෝධය හා රාජපක්ෂවාදීන්ගේ දේශපාලන කුමන්ත්‍රණ හුදු විහිළුවක් කොට පැත්තකට දැමීම සමාජය විසින්ම තීන්දු කිරීම විය හැකිව තිබිණි.

කෙසේ නමුත් මේ වන විට මෙහි කෙළවරක් දැකිය යුතු බව ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් අවබෝධ වී ඇති බව ‘රාවය’ සංවත්සර උත්සවයේ දී එම දෙපළ පළ කළ අදහස් අනුව හැඟී යයි. ඒ අනුව විශාල අනතුරක් තමන් පා මුලට පැමිණ තිබෙන බව ඔවුන්ට පිළිගැනීමට සිදුව තිබෙන බව පැහැදිලිය.

පසුගිය කාලය පුරාම අප මෙම තීරුව තුළින් දිගින් දිගටම මේ අනතුර ගැන අවධාරණය කළේ නියපොත්තෙන් කඩා දැමිය යුතුව තිබෙන දේ ඒ මොහොතේ සිදු කරන ලෙස පෙන්වා දෙමිනි. මේ ගෙවෙමින් පවතින්නේ ඒ සඳහා වන අවසන් කාල හෝරාව විය හැකිය.

– සුජය

උපුටාගත්තේ සත්හඬෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *