විශේෂාංගඋපුටාගැනීම්

තමා විවර්ණ බව භික්‍ෂුවක් නිතර සිහිකළ යුතුයි | ගල්කන්දේ ධම්මානන්ද හිමි

බුදුදහම, භික්‍ෂුත්වය පිළිබඳව ඉතාම හරවත් සංවාදයක් සමාජයට ගෙන ආ වල්පොල රාහුල හාමුදුරුවන්ගේ ශිෂ්‍යයා හැටියට, ඔබවහන්සේ බුද්ධ ධර්මය දකින්නේ කෙසේද කියලා කෙටියෙන් දැනගන්න කැමතියි..

බුද්ධ ධර්මය ඉතාම අවිහිංසාවාදී සමාජයක් යෝජනා කරනවා. එක වරක් බොහොම කේන්ති ගන්නාසුලූ හාමුදුරු නමක් අමතලා බුදුහාමුදුරුවෝ කී සූත‍්‍රයක් තියෙනවා, කකචූපම සූත‍්‍රය කියලා. එහි එන ඉතාමත් ලස්සණ එක කතාවකට අනුව බොහොම ජනප‍්‍රිය ඒ වගේම ඉතාම කරුණාවන්ත කාන්තාවක් ඉන්නවා. ඇගේ සේවිකාව මේ කරුණාවන්තකම පරීක්‍ෂා කරනවා. ඇය කේන්ති ගස්සන්න වැඩිපුර නිදාගන්නවා. පළමු දෙවැනි අවස්ථාවල ඇය කරුණාවන්ත වෙනවා. තුන්වෙනි අවස්ථාවේදී ඇය මේ සේවිකාවට පහරදෙනවා. මේ කතාව මුල් කරගෙන බුදුහාමුදුරුවෝ කියනවා, ‘අපිට කවුරුත් කරදරයක් කරන්නේ නැති අවස්ථාවල කාටත් මෛත‍්‍රී කරන්න පහසුවෙන්ම පුළුවන්, නමුත් මෛත‍්‍රිය කියන්නේ දුෂ්කරම අවස්ථාවේ දරා සිටීම’යි කියලා. බුදුහාමුදුරුවෝ ඒ හාමුදුරුවන්ට අවසානයේ කියනවා, ‘හිතන්න, කෙනෙක් උදැල්ලක් අරගෙන ඇවිත්, මම අද මහපොළව සුනු විසුනු කරනවා කියනවා. ඔබ මොකද හිතන්නේ එයාට පුළුවන්ද ඒක කරන්න.’ හාමුදුරුවෝ කියනවා ‘බැහැ’ කියලා. එවිට බුදුහාමුදුරුවෝ කියනවා, ඔබත් උදැල්ලක් ගත්ත මිනිහෙක් ඉදිරිපිට ඉන්න මහපොළව වගේ වෙන්න ඕනෑ. ඒ තරමට දරාගන්න ඕනෑ. අන්තිමට කියන දේ තමයි, ‘සොරු රැුසක් ඔබව අල්ලාගෙන අතපය කියතකින් කෑලිවලට කපනවා, ඒ මොහොතේවත් ඔබට කේන්ති ඇවිත් ද්වේෂයෙන් වචනයක්වත් කිව්වොත් ඔබ මගේ පණිවුඩය දරන්නෙක් නෙවෙයි.’ යන්න. ඒ අනුව මොනම තත්ත්වයකදීවත් කලබල නොවන මොනම තත්ත්වයකදීවත් හිංසාවට යන්නේ නැති අවිහිංසාවාදී ධර්මයක් තමයි මේ.
අපි මෛත‍්‍රී භාවනාවෙන් පටන්ගන්නේ මම, මගේ කියලා. ඊට පස්සේ මගේ අවට ඉන්න කට්ටිය. එහෙම ගිහින් අන්තිමට එනවා මට හතුරුකම් කරන අයට පවා මෛත‍්‍රිය පතුරන තත්ත්වයට. ඒක අමාරු දෙයක්. ඒත් ඒක තමයි අපිව වෙනස් කරන තැන. ඒ අනුව බුදුදහම කියන්නේ තවමත් ලෝකයේ කොතැනකවත් සාක්‍ෂාත් කරගත්තේ නැති පරම අවිහිංසාවක් යෝජනා කරන ධර්මයක්.

ඒත් ඔය මූලධර්මවලට සපුරා වෙනස් හැසිරීමක් තමයි දක්වන්නේ එක අතකින් සංඝ ශාසනය. අනෙක් පැත්තෙන් ශ‍්‍රාවක ජනතාව. සංඝ ශාසනය ගැන ඔබවහන්සේගේ විචාරය මොකක්ද?

අපි මේ සාකච්ඡාව කරන්නේ අවුරුදු 2500ක් මෙහා පැත්තේ ඉඳලා. විවිධ කාලවල විවිධ සමාජ සංසිද්ධීන් නිසා ඒ කාලය තුළ විවිධ වෙනස්කම් වෙනවා. ඒ වෙනස්වීම ‘ස්වාභාවික’ කරගැනීම තමයි වෙච්ච වරද. උදාහරණයක් හැටියට පසුගිය තිස් අවුරුදු යුද්ධ කාලය තුළ අපේ අදහස්වලට, ආයතන ව්‍යුහවලට මොකක්ද වුණේ කියලා මුල් තත්ත්වය සමග සංසන්දනය කරමින් ඉදිරියට යන සාකච්ඡුාව අපේ නැහැ. සාකච්ඡුාව, සංවාදය, ආපසු බැලීම, බුදුදහම එක්ක ගැළපීම කියන දේවල් අපෙන් ගිලිහිලා යනවා. ඒක තමයි මම දකින ලොකුම ගැටලූව. වෙනස් නොවී ඉන්න බැහැ. වෙනස්වීම තමයි ස්වභාවය. හැබැයි ඒ වෙනස්වීම ඔහේ අයාලේ වෙන්නේ නැතිව අර තත්ත්වය සමග සංසන්දනය කරමින් යන්න පුළුවන්. එතැන තමයි උත්තරේ තියෙන්නේ.

බුදුදහමෙන් පැනැවෙන භික්‍ෂු චරිතයේ මූලික හැඩරුව මොකක්ද?

රාහුල හාමුදුරුවෝ ‘භික්‍ෂුවගේ උරුමයේ’දී තර්ක කරන්නේ පක්‍ෂ දේශපාලනය ගැන හෝ තනතුරු දේශපාලනය ගැන නෙවෙයි. පොදු ජනතාවට සේවය සඳහා මැදිහත්වීම මොන නමකින් හැඳින්වුවත් ඒකට මැදිහත් විය යුතුයි. භික්‍ෂුවගේ උරුමයේදී රාහුල හාමුදුරුවෝ කියන දේ ඒ සන්දර්භයටයි අදාළ වෙන්නේ. 
පල්ලියේදී පූජකවරයෙක් හැදෙන ක‍්‍රමයක් තියනවා. නිශ්චිත වයසකදී ශාසනයට ඇතුළු වෙන්නේ, අවුරුදු හයක විතර පුහුණුවක් ලබනවා. දේවධර්මය වගේම රටේ තියෙන අනෙකුත් ආගම් ගැන ඉගෙනගන්නවා. අවසානයේ අවුරුද්දක් දෙනවා ගෙදර ගිහින් ඉඳලා නැවත හිතලා බලලා එන්න. මේ ක‍්‍රියාවලිය ඇතුළෙන් අවසානයේ තේරෙන්නේ වැඬේට හරියටම හරි යන පුද්ගලයා. සංඝ ශාසනයේ මේ ආකාරයෙන් සිද්ධවෙන්නේ නැහැ. දරුවකු භික්‍ෂුවක් වෙන්නේ කුමන ක‍්‍රියාවලියකින්ද කියැවෙන්නේ නැහැ. මම භික්‍ෂුවක් කියලා තේරුම් ගන්නේ සමහර විට අනිත් අය මට වඳින හින්දා. භාෂාව පැත්තෙන් ගත්තොත් බොහෝ විට එක භාෂාවකට සීමා වෙනවා. ඉතිහාසය පැත්තෙන් ගත්තත් පාලි භාෂාව පැත්තෙන් ගත්තත් මහා වංසය තමයි වැඩිපුර ඉගෙන ගන්නේ. එහිදීත් දුටුගැමුණු එළාර යුද්ධය නැවත නැවත හමුවෙනවා. ඒ දැනුම සහිතව සමාජයට ආවාම, ‘බුදුදහමට එරෙහිව හතුරෝ ඉන්නවා, බුදුදහම රකින වැඬේ තමයි මට තියෙන්නේ’ කියලා හිතනවා. බුදුදහම ප‍්‍රායෝගිකත්වයට නංවලා සමාජ ගැටලූවලට උත්තර හොයන එකට වඩා ඒ මුරකාර වැඬේ තමයි භාරගන්නේ. එතැනට සීමා වුණාම තමයි මේ ප‍්‍රශ්න ගොඩක් එන්නේ.

නමුත් ඔය සීමාව විනිවිද යන්නට අවශ්‍ය ප‍්‍රඥාව නිශ්චිතවම බුදුදහමෙන් සම්පාදනය වී තිබෙනවා නේද?

පළමුවැනි දේ බුදුහාමුදුරුවෝ මොන ජාතියේද කියලා දෙයක් නැහැ. ඒ වගේමයි උන්වහන්සේගේ ශ‍්‍රාවක පිරිසත්. බුදුහාමුදුරුවෝ ඒ දහම දේශනා කළේ මිනිස්සුන්ට මිසක් බෞද්ධයන්ට නෙවෙයි. නමුත් අද අපි සිංහල බෞද්ධකමට සීමාවෙලා ඉන්නවා. ‘එක මෙඟහි දෙදෙනෙක් නොවන සේ බොහෝ ජනයාගේ හිතසුව පිණිස චාරිකා කරන්න’ කියන එක අද සිදුවෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ජීවත්වෙලා ඉන්දැද්දි උන්වහන්සේගේ ඥාතීන්ට විරුද්ධව යුද්ධයක් තිබුණා. ඒ වෙලේවේ ඥාතිත්වය උඩ උන්වහන්සේ ප‍්‍රශ්නයට මැදිහත් වෙන්නේ නැහැ. ඊට ඉහළිනුයි හිටියේ. දස ධර්ම සූත‍්‍රය කියලා සූත‍්‍රයක් තියෙනවා. භික්‍ෂූන් වහන්සේ නමක් නිරන්තරයෙන් සිහියේ තබාගත යුතු කරුණු දහයක් එයින් කියැවෙනවා. එකක් තමයි ‘අබිණ්හං පච්චවෙක්කිතබ්බං’ හෙවත් නිරන්තරයෙන් ප‍්‍රත්‍යාවේක්‍ෂා කිරීම. නැවත නැවත සිහිකිරීම. අපි දානේ වළඳනකොටත් ඇයි මම මේ දානේ වළඳන්නේ කියලා සිහිකළ යුතුයි. තරුණ මදය පවත්වාගන්නටවත් ලස්සණ පවත්වාගෙන යන්නටවත් නොවෙයි, හුදෙක් මේ ජීවිතය පවත්වාගෙන යන්නටයි, බ‍්‍රහ්මචර්යාවට අනුග‍්‍රහ පිණිසයි යනාදි වශයෙන්. ‘වේවණ්ණියම්හි අජ්ජූපගතොති පබ්බජිත්තෙන අබිණ්හං පච්චවෙක්කිතබ්බං’ ලෙස මේ සූත‍්‍රයේදී කියැවෙන්නේ, තමා විවර්ණ බවට, නැතිනම් කිසිම වර්ණයකට අයත් නොවන බවට භික්‍ෂුවක් නිරන්තරයෙන් සිහිකළ යුතුයි කියන එකයි. එය වර්ණය කියන අදහස ඉක්මවා යෑමක්. මේ ඉගැන්වීම ජාතිය, කුලය, ප‍්‍රදේශය සම්බන්ධයෙන් අපිට අදාළයි. භික්‍ෂුව ඔය කියන බෙදීම් ඉක්මවා ගිය කෙනෙක්. මම සිංහල, උඩරට, දකුණේ, අහවල් කුලයේ නෙවෙයි. ඒවා ඉක්මවා ගිය කෙනෙක්.

ඉගැන්වීම් කොහොම වුණත් අද භික්‍ෂු සංස්ථාවත් අන් අයට කිසියම් ආකාරයක පීඩනයක් ගෙනදෙන මට්ටමකට පැමිණ තිබෙන බවකුයි පෙනෙන්නේ..

විශේෂයෙන් තරුණ භික්‍ෂූන් සැලකුවොත් ඔවුන් ආවේගශීලීයි. නමුත් වැදගත්ම දේ ඔවුන් ජාතිවාදීන් නෙවෙයි. නමුත් වැඩිහිටි භික්‍ෂූන් හැටියට අපි ඔවුන්ට වෙනස් මාර්ගයක් පෙන්වා දිය යුතුයි. ඔවුන් අපි සමග කතාකරන විට කියන දෙයක් තමයි, ‘හාමුදුරුවනේ අද අපිට ආදර්ශ නැහැ’ කියන එක. ඔවුන්ට සටන් කරන්න, වීරයෝ වෙන්න අවශ්‍යයි. නමුත් වීරයන් විය යුත්තේ කෙසේද යන්න ගැන ඔවුන්ට වැටහීමක් නැහැ. ගාන්ධි තුමා කිව්ව විදියට, ධර්මය අනුව ධර්මවීර වෙනවා වගේ ඔවුන්ට අවිහිංසා වීරයන් වන්නට මඟක් පෙන්නුවොත් ඒක පලදායක වෙයි. අපිට තිබෙන ලොකුම ප‍්‍රශ්න ජාතිවාදයනේ. ජාතිවාදයට වෙනස් අදහසක් අරගෙන ගිහින් වීරයෙක් වෙන්න පුළුවන් නම් හොඳයිනේ. ඒකට අපි ආදර්ශ සැපයිය යුතුයි.

අපි අවුරුදු තිහක යුද්දෙක හිටියා. ඒ කාලය තුළ අපි හිංසාව දෙසට කොච්චර ඇවිදගෙන ගියාද? ඒ ගැන අර මුලින් කිව්වා වගේ ප‍්‍රත්‍යවේක්‍ෂාවක් සාකච්ඡුාවක් අපෙන් සිදුවන්නේ නැහැ. අපි හැම දෙනෙක් වගේම සමාජයත් යුද්දෙට කලින් හිටියාට වඩා හිංසාවාදියි. උතුරේදී විiා කියන ශිෂ්‍යාව ¥ෂණය වීමේ සිදුවීමෙනුත් පැහැදිලිව පෙනෙන්නේ, ඒ සමාජය පසුගිය කාලේ කෙතරම් ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වුණාද කියන එකයි. හිංසාවට යටත්ව අවුරුදු තිහක් හිටපු ඒ සමාජය නැවත අවිහිංසාවට ගෙන එන්නට කිසිම දෙයක් සිදුවුණේ නැහැ. එහෙම ප‍්‍රශ්නයක් තියෙනවා කියලාවත් අපි පිළිගත්තේ නැහැ. නමුත් ප‍්‍රශ්නය නිලීනව පවතිනවා.

බුදුදහම යුද්ධය, සංහිඳියාව ගැන දකින්නේ කොහොමද?

බුදුදහමේ විමුක්ති මාර්ගය දැක්වෙන්නේ, ‘මට හානියක් නොවන හා අනෙකාට හානියක් නොවන’ කියන මූලධර්මයයි. මට හානියක් වන දෙයක් මා කරන්නේත් නැහැ. අනෙකාට හානියක් වන දේ කරන්නේත් නැහැ. ඒ මිනුම් දණ්ඩෙන් බැලූවාම යුද්ධයක් වෙන්න බැහැ. ඒ වාගේම සංහිඳියාව පැත්තෙන් බැලූවොත්, බුදුදහම කියන්නේ ‘ජය පරාජය කියන දෙක නඩත්තු කරන්න එපා. ජය පරාජය දෙක ඉක්මවා ගිය තැනදි විතරයි සුවසේ නිදාගන්න පුළුවන්’ කියලායි. ප‍්‍රශ්නයක් ඇතිවුණා. ඒක ගහලා පරාජය කළා. ආයෙත් එවැනි ප‍්‍රශ්නයක් ආවොත් ඒ විදියටම ගහලා ඉවර කරනවා කියන චින්තනයම නම් සමාජයේ තියෙන්නේ, ඒකට හමුදාවයි පොලිසියයි හිටියාම ඇති නේ. සමාජයේ හාමුදුරුවරු, ආගමික නායකයන් ඉන්න ඕනෑ නැහැනේ. එහෙම නම් සංඝ සමාජයේ බෞද්ධ සමාජයේ කාර්යභාරය මොකක්ද?
අර සූත‍්‍ර දේශනාවේදී කිව්වා වගේ, එල්ටීටීඊයේ හිටපු අවිගත් තරුණයා වෙත පවා මෛත‍්‍රිය කරන්නට පුළුවන් තැනකට සමාජය ගෙන ආ හැකිනම් එතැනයි අපි වෙනස් වන තැන, අපි ගිනි නිවන තැන. යුද්ධයේදී මැරුණු හානිවුණු සියලූ දෙනා වෙනුවෙන් ඉන්නා අයගේ ආත්ම සුවපත් කරන ප‍්‍රවේශයක් ආගමික වශයෙන් හා සාමූහික වශයෙන් අපි ගත යුතුයි. මැරුණේ කවුද, මොන භාෂාව කතාකරන කෙනෙක්ද, මොන ජාතියේ කෙනෙක්ද කියලා බලන්නේ නැතිව ඒ සියලූ දෙනා කෙරෙහි මෛත‍්‍රී සහගත වෙන්න පුළුවන් නම් ඒක තමයි බුදුදහමේ කියැවෙන සංහිඳියාව. යුද්ධයෙන් මගේ අයියා මියගියා. මගේ අම්මායි, එල්ටීටීඊයේ ඉඳලා මියගිය තරුණයකුගේ අම්මා කෙනෙකුයි එකට එකතු කරලා සැමරුමක් කරන මට්ටමේ ප‍්‍රවේශයක් අපි ගත යුතුයි.

දහම පැත්තෙන් ගැඹුරට නොගියත් අපිට 87-89 අත්දැකීම් තියෙනවානේ. ඒ ජයග‍්‍රහණ දිගටම සැමරුවා නම් මොකද වෙන්නේ. ජවිපෙ කරන ඉල් මහ සැමරුමෙන් වුණත් පෙනෙන්නේ, ‘ඒ අය වෙනුවෙන් අපි පහනක් පත්තු කරලා අඬලා දොඩලා කිසියම් දෙයක් කළා, දැන් අපිට එතැනින් ඉස්සරහට යන්න පුළුවන්’ කියන අදහස සමාජගත වීමයි. බෞද්ධ මළගෙදරකදී අනිච්චාවත සංඛාරා කියලා පැන් වැඞීමෙන් කරන්නේත් ජීවත්ව ඉන්නා පිරිස සුවපත් නිරෝගි කිරීමයි. මියගිය අය සැමරුමෙන් කරන්නේ ජීවත්වන අය ඒ බරෙන් ඉවත්කිරීමයි. ඊට ඉඩ නොදෙන තාක් කල් ඒ බර ඔවුන් තියාගෙන යනවා.

මේ සංහිඳියා කාර්යයේදී සංඝ සමාජයට විශේෂ කාර්යභාරයක් තියෙනවා කියන එකයි ඔබ වහන්සේගේ යෝජනාව. මේ පණිවුඩය ගෙනයන්න සූදානම් සංඝ සමාජයක් ඔබ වහන්සේට හමුවෙලා තියෙනවාද?

අවුරුදු තිහක් තිස්සේ මුළු සාකච්ඡාවම තිබුණේ ගහන්න, පරාද කරන්න. ඒ පැත්තෙන් ලැබුණු ප‍්‍රතිචාරයත් ඉතාම දරුණුයිනේ. ඊට වෙනස් අදහසක් කතා කරන්න ඉඩක් තිබුණේ නැහැ. ඒ නිසා වෙනසක් ඇතිකර ගැනීම ටිකක් අමාරුයි. හැබැයි, යුද්ධයෙන් අවුරුදු හයක් ඉක්මයෑමත්, ඒ කාලය තුළ වුණු දේවලූත් එක්ක ඒ ගැන සිතන්න පුළුවන් අලූත් වටාපිටාවක්, අලූත් පරම්පරාවක් තිබෙනවා කියලායි මම හිතන්නේ. මේ අදහස් සමාජගත කළොත් අවුරුදු දෙක තුනක් යනකොට මේක තේරුම් ගත්ත පරම්පරාවක් ගොඩනැගෙයි.

කැමති වුණත් අපි අයිති ජයග‍්‍රාහකයාගේ පැත්තට. පරාජිතයාගේ පැත්තෙන් ගොඩාක් දේවල් අපේක්‍ෂා කරන්න අමාරුයි. යමක් කිරීමේ අවස්ථාව තිබෙන්නේ අපේ පැත්තේයි. හැබැයි එහෙම කරගෙන යනකොට අනෙක් පාර්ශ්වයෙනුත් එවැනි යමක් මතු වෙනවා නම් ඒකයි වැදගත්. ඔවුන් අතරත් මේ සාකච්ඡුාව සංවාදය ගොඩනැගෙනවා නම්, ඔවුන් අතරත් මේ විදියට හිතන පරම්පරාවක් හැදෙනවා නම් ඒකයි වැදගත්.

පුන්ගුඩුතිව් සිද්ධියේදී විශාල ආවේගයක් උතුරේ ඇතිවුණා. ඉන්දියාවේ මේ වාගේම ‘නිර්භයා’ පිළිබඳ සිද්ධියේදී මිනිස්සු ආවේගශීලී වුණා වගේම, ඊට එහා ගිහින් කාන්තාවගේ ආරක්‍ෂාව පිළිබඳ සමාජ විචාරයක් කරගන්නට ඒ සමාජය සමත්වුණා…

මම ඒ වෙලාවේ දිල්ලියේ ඉගෙනගනිමින් හිටියේ. මම විදේශිකයෙක් වුණත්, මගේ කාමරයේ ඉන්න බැරි තරම් පෙළඹවීමක් මට ඇතිවුණා. අනෙක් ළමයි එක්ක මමත් පොදු විරෝධතාවලට සහභාගිවෙලා වාඩිවෙලා හිටියා. මගේ ප‍්‍රශ්නය, විiා ගැන එහෙම එකතුවෙන්න මට තැනක් නොතිබුණේ ඇයි? එවැනි සංවාදයක් මම දැක්කේත් නැහැ. දිල්ලියේ සිදුවීම වෙලාවේ, එන්ඞීටීවී එක මේ ගැන සාකච්ඡුා පැවැත්වූවා. ශර්මිලා තාගෝර්, ෂබානා අස්මි වගේ නිළියන් ඉතාම ගැඹුරු අදහස් ඇතිව මේ සාකච්ඡුාවලට සහභාගි වුණා. එවැනි හැම පාර්ශ්වයක්ම මේකට මැදිහත් වුණා. නමුත් ලංකාවේ සමාජයේ පුදුමාකාර හිස් බවක් තියෙන්නේ.

ඊළඟ පරම්පරාවට යන්න නොදී අපේ ජීවිත කාලය තුළ අපි මේ ගැටලූවට මැදහත් විය යුතුයි. මේ බෙදීම් අමතක කරලා ශ‍්‍රී ලාංකික ජාතියක් අපි ගොඩනැගීම වෙනුවෙන් වැඩ කළ යුතුයි. අධ්‍යාපනය වුණත් මේකට සම්බන්ධයි. පුංචිම කාලේ ඉඳලා අපි ළමයාව හදන්නේ, ඔවුන්ට උගන්වන්නේ එකිනෙකාව බෙදලා. සිංහල බෞද්ධ, දෙමළ මුස්ලිම් වශයෙන්. එවැනි බෙදීමක් ඇතිව ඉගෙනගන්න ළමයි සමාජයේ වැඩ කරන්නේත් ඒ බෙදීම ඇතිව. ඉතින් එක පැත්තකින් අධ්‍යාපනයත් සමග තමයි අපි සංහිඳියාව පටන්ගත යුත්තේ.

උපුටාගැනීම රාවයෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *