විශේෂාංගඋපුටාගැනීම්

එක්සත් ජනපදය ත‍්‍රි’මලේට ඇස් ගහයි

 

එක්සත් ජනපද නාවික හමුදා කඳවුරක් ත‍්‍රිකුණාමලයේ පිහිටුවන්නට සූදානමක් පවතින බවට පසුගිය කාලයේ විවිධ අංශවල සාකච්ඡාවට ලක්ව තිබුණා. ඉංග‍්‍රීසි බසින් පළවන සති අන්ත පුවත්පතක මේ පිළිබඳ අවධානය යොමු කර තිබුණත් සිංහල ජනමාධ්‍ය ඔස්සේ ඒ ගැන අවධානයක් යොමු වූයේම නැහැ.

ත‍්‍රිකුණාමලය කියන්නෙ ලංකාවේ පිහිටා තිබෙන නාවික කටයුතු සඳහා සුදුසුම ස්ථානයක් බව ඉතිහාසයේ සිටම පිළිගැනීමට ලක්වුණා. නැපෝලියන්ගේ නාවික හමුදාව පරාජය කළ බි‍්‍රතාන්‍යයේ දක්ෂතම නාවික සේනාධිපති ලෙස සැළකෙන හොරේෂියෝ නෙල්සන් විසින් ත‍්‍රිකුණාමල වරාය ලෝකයේ නාවික සංග‍්‍රාමික වශයෙන් අනගිම වරායක් ලෙස නම් කළ බවට ඉතිහාස වාර්තා තිබෙනවා. එක් පැත්තකින් ලෝකයේ වඩාත් කාර්යබහුල නාවික මාර්ගයක පිහිටා තිබෙන ලංකාව සුමුද්‍රික ප‍්‍රවාහනය, වෙළෙඳාම හා සංග‍්‍රාමික මධ්‍යස්ථානයක් බවට විවාදයක් නැහැ. නමුත් එක්සත් ජනපදය මේ සඳහා ත‍්‍රිකුණාමලය තෝරාගන්නේ ඇයිදැයි කිසිවකුට ප‍්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.

trinco-oil-tanks

ත්‍රිමලේ – තෙල් ටැංකි පිහිටුවා ඇති ආකාරය

ඉතිහාසය පුරා ලංකාවේ බලය පිහිටුවාගත් රජවරු, යටත්විජිත පාලකයෝ් ත‍්‍රිකුණාමලය වරායේ ඇති සංග‍්‍රාමික වැදගත්කම වටහාගෙන සිටියහ. පෘතුගාලය, ස්පාඤ්ඥය, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය යන යටත්විජිතකරණයේ තරගයට පැමිණි රාජ්‍යයන් ත‍්‍රිකුණාමලය කෙරෙහි ඇස ගසාගෙන සිටියහ. නමුත් සංග‍්‍රාමික වැදගත්කම නිසා එහි හමුදා බලය පිහිටුවන්නට සමත් වූ බි‍්‍රතාන්‍ය පසුව එය තෙල් ටැංකි සියයක් සහිත වැදගත් නාවික මධ්‍යස්ථානයක් බවට පත් කළහ. එදා මෙන්ම වර්තමානයේ නවලිබරල් ධනවාදය තුළ කලාපීය බලතුලනයට මැදිහත්වන්නට අපේක්ෂා ඇති අධිරාජ්‍යවාදී බලවේගවලටද ත‍්‍රිකුණාමලය වරාය මර්මස්ථානයක් ලෙස පෙනීම අරුමයක් නොවේ.

විශේෂයෙන් එක්සත් ජනපදයට කලාපීය බලය වෙනුවෙන් ඇති තරගයේදී ඉන්දියාව හා ලංකාවට මැදිහත්වන්නට කේන්ද්‍රයක් අවශ්‍යව තිබේ. ආරක්ෂක කටයුතුවලදී සහයෝගිතාව සඳහා ඉන්දිය පාලකයන් ප‍්‍රතික්ෂේප කළ ගිවිසුමක් (Acquisition and Cross-Services Agreement-ACSA) මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ලංකාවේදී අත්සන් කරන්නට එක්සත් ජනපදයට හැකි විය. 2002 වසරේ සිට රනිල් වික‍්‍රමසිංහ පාලනය සමග ඇතිකරගත් සාකච්ඡුාමය එකඟතා තිබුණද එම ගිවිසුම අත්සන් කරනු ලැබුවේ 2007 මාර්තු මාසයේදීය. ඒ අනුව, කලාපීය යුද මෙහෙයුම්වලදී එක්සත් ජනපද හමුදාවලට අවශ්‍ය යුදමය නොවන සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන්නට ලංකා රජය එකඟ වී සිටී. දස අවුරුදු ගිවිසුමක් ලෙස එය 2017දී අලූත් කරන්නට හෝ වඩා ඉදිරි ගිවිසුමකට යන්නට එක්සත් ජනපදය සූදානම්ව සිටී. රාජපක්ෂ ආණ්ඩුවට විවිධ විවේචන ගෙන ආවද වත්මන් හවුල් ආණ්ඩුව එක්සත් ජනපදය සමග ඇති ස්වාමි සේවක සබඳතාවය අත් නොහරිනු නිසැකය. අනෙක් අතට රාජපක්ෂ පාලනය මෙන්ම වත්මන් ආණ්ඩුවද එක්ව ලංකාව ජාත්‍යන්තර වශයෙන් ඇද දමා තිබෙන රාජ්‍යතාන්ත‍්‍රික වියවුල තුළ ස්වාධීන වන්නට නොහැකිව තිබේ.

තතු මෙසේ නිසාම ත‍්‍රිකුණාමලය වරාය ආශ‍්‍රිතව නාවික කඳවුරක් පිහිටුවන්නට එක්සත් ජනපදයට ඇති අපේක්ෂා ලෙහෙසියෙන් වෙනස් කරන්නට නොහැකිය. එක්සත් ජනපදය විසින් ලොව විවිධ රටවල සිය යුද බලය ස්ථාපිත කර ඇත. ඉහත කී ආකාරයේ සැපයුම්කාර රාජ්‍යයක් බවට පත් කෙරෙන (ACSA) ගිවිසුමට අමතරව යුද බලය රඳවන රාජ්‍යයන් පෙළක් එක්සත් ජනපදයට තිබේ. එවැනි යුද කඳවුරු පිහිටා ඇති රටවල් සමග අත්සන් කර ඇත්තේ (SOFA) නමින් වූ ගිවිසුමකි. බි‍්‍රතාන්‍ය, ස්පාඤ්ඤය, ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය, රුසියාව, ඔස්ටේ‍්‍රලියාව, ජපානය, දකුණු කොරියාව, ඉරාකය, කටාර් ආදී රටවල එක්කෝ නාවික හමුදා එසේත් නැතිනම් ගුවන් හමුදා කඳවුරු එක්සත් ජනපදය විසින් පිහිටුවා ඇත. ලොව පුරා සිය අධිරාජ්‍යවාදී අරමුණු ඉටුකරගන්නට හා යුද බලය පිහිටුවන්නට අවශ්‍ය එක්සත් ජනපදය මීට අමතරව සිංගප්පූරුව, ගුවාම්, දියාගෝ ගාෂියා හා ගුවන්තනාමෝ වැනි ස්ථානවල මිලිටරි මධ්‍යස්ථාන, ඔත්තු සේවා ස්ථාන හෝ සංග‍්‍රාමික අරමුණු වෙනුවෙන් වෙනත් කටයුතු මෙහෙයවමින් තිබේ.

indian_ocean_oil

ඉන්දිය සාගරයේ තෙල් සැපයුම් මාර්ග

මෙහිදී ලංකාවේ මිලිටරිමය මධ්‍යස්ථානයක් පිහිටුවන්නට එක්සත් ජනපදයට අවශ්‍යව ඇත්තේ ඇයිද යන්න වැදගත් මාතෘකාවකි. එක් පැත්තකින් ඉන්දියාව හා ලංකාව ඇතුළත් එක්සත් ජනපදයට පක්ෂපාත පාලකයන් සිටින පද්ධතියක සිය ආධිපත්‍ය නිශ්චිත කරගැනීමේ අවශ්‍යතාවක් එක්සත් ජනපදයට තිබේ. අනෙක් අතින් 21 වැනි සියවස සඳහා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සකස් කළ ‘නව අමෙරිකන් ශතක සැලසුම්’ (Project for the New American Century (PNAC) අනුව ලොව පුරා විවිධ ස්ථානවල යුද්ධවලට මැදිහත්වෙමින් සිය බල ව්‍යාපෘතිය තහවුරුකිරීමේ ක‍්‍රියාදාමය ඔවුන් විසින් පවත්වාගෙන යා යුතුව ඇත.

දෙවන ලෝක යුද්ධය අවසානයේ ජපාන අධිරාජ්‍ය හමුදා විසින් අත්පත් කරගෙන තිබුණු ආසියානු රටවල් මුදාගැනීමේ ‘සද්ක‍්‍රියාව’ නාමයෙන් එක්සත් ජනපදය මිලිටරි බලයක් ලෙස ආසියානු කලාපයේ මුල්බැස ගත්තේය. ජපානයේ අධිරාජ්‍යයා යටත් කළ ගිවිසුම හරහා ඔකිනාවා යුද කඳවුරද කොරියානු යුද්ධයට මුවා වී දකුණු කොරියාවේද වියට්නාම යුද්ධයට මූලස්ථානයක් කරගනිමින් ගුවාම් දූපතද එක්සත් ජනපද හමුදා කඳවුරු බවට පත් විය. මීට අමතරව සිගප්පූරුවේ හා පිලිපීනයේ හමුදා කඳවුරු පිහිටුවනු ලැබුවේ ගිවිසුම් අත්සන් කිරීමෙනි. 90 දශකය අවසන් වනවිට පිලිපීන හමුදා කඳවුරුවලට විරෝධය මතුවූ අතර එයින් ඉවත්වන්නට එකසත් ජනපද හමුදාවට සිදු විය. මේ අතර ජපානයේ ඔකිනාවා දූපතේ ලැග සිටින එක්සත් ජනපද සොල්දාදුවන් විසින් සිදුකරන නොපනත්කම්වලට එරෙහිව ජපන් ජනතාවගේ විරෝධය තිබියදී එය පවත්වාගෙන යනු ලබයි.

ලංකාවේදී නව තත්වයන් පෙළ ගැසෙමින් තිබෙන්නේ මෙම පසුබිම තුළය. පසුගිය අගෝස්තු මස දෙවැනි සතියේ එක්සත් ජනපද ආරක්ෂක හමුදාවේ පැසිෆික් අණදෙන මූලස්ථානයේ නිලධාරි කණ්ඩායමක් ඹීී භැඅ ධරකැ්බි නමැති යුද නැවෙන් ලංකාවට පැමිණියහ. ඔවුහු කොළඹ නාවික හමුදා මූලස්ථානයේදී ආරක්ෂක හමුදා මට්ටමේ සාකච්ඡුා පැවැත්වූ අතර ඒ සාකච්ඡුාව පිළිබඳ කිසිදු තොරතුරක් ජනමාධ්‍ය වෙත නිකුත් කෙරුණේ නැත.

සාකච්ඡා අවසානයේ අරාබි මුහුද ඔස්සේ පිටත්ව ගිය ඔවුන්ගේ යුද නැව හමුවට ඉරාන අධිවේග යාත‍්‍රා කඩාවැදුණ බව විදෙස් පුවත් වාර්තා හෙළි කර තිබිණි. දකුණු ආසියානු කලාපයේ බලය වෙනුවෙන් ඇති තරගය හමුවේ එක්ව ක‍්‍රියාත්මක වීමේ අරමුණින් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඇෂිටන් කාටර් සහ ඉන්දිය ආරක්ෂක ඇමති පරික්කාර් පසුගියදා අප‍්‍රකටවම ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළහ. සැප්තැම්බරයේ මුලදී අත්සන් කළ එම ගිවිසුම සැලකිය හැක්කේ එක්සත් ජනපදයේ කලාපීය භූ දේශපාලන උපායමාර්ගය අනුවය. එහෙත් එම ගිවිසුමට සමාන්තරව පාකිස්තානය සහ චීනයද කඩිමුඩියේ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළහ. මේ අනුව දැන් ආසියානු කලාපීය බලතුලනයට අදාළ දේශපාලන පෙළගැස්ම වටහාගත හැකිය.

ඒ නිසා ත‍්‍රිකුණාමලයට එක්සත් ජනපද කඳවුරක් අවශ්‍යයැයි තීරණය කරන්නේ එක්සත් ජනපදයම විය හැකිය. එහෙත් ඒ වෙනුවෙන් වැඩ කරන්නේ එක්සත් ජනපද රාජ්‍යතාන්ත‍්‍රිකයන් පමණක් නොවේ, ලාංකික නායකයන්ද මෙම බාහිර බලය ගෙන්වාගැනීමට අනුග‍්‍රාහකත්වය පළ කර ඇත. ආරක්ෂක ප‍්‍රධානින් හිටි හැටියේ ලංකාවට පැමිණීමක් වුවද සාමාන්‍ය ලෙස පිළිගන්නට සිදුවන මට්ටමට එක්සත් ජනපද ආක‍්‍රමණශීලිත්වය සංකීර්ණ වී ඇත.

උපුටාගත්තේ  LV

Leave a Reply

Your email address will not be published. Required fields are marked *