විශේෂාංගඋපුටාගැනීම්

මේ සියල්ලට හේතුව සිය පියාගේ ඝාතනයයි

බි‍්‍රගේඩියර් චමින්ද රුක්මාල් පතිරණ ලෙස අප ඔහුව නම් කරමු. ඔහු අපේ කතා නායකයාය. ජනතා විමුක්ති පෙරමුණ දෙවැනි කැ‍රැල්ල මර්දනය කිරීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් සිදු කළ සුවිශේෂී නිලධාරියාය.

ජනතා විමුක්ති පෙරමුණ නම් ආයුධ සන්නද්ධ විමුක්ති ව්‍යාපාරය අභ්‍යන්තරයට රිංගා ගෙන ඒ කොදු නාරටිය කඩා දැමුවේ ඔහුය. ක්ෂණික විහිදුම් බළකායේ (ආර්.ඩී.එෆ්.) බුද්ධි අංශයේ සාමාජිකයකු ලෙස හිඳිමින් ඔහු ජවිපෙ සන්නද්ධ ශක්තිය විනාශ කර දැමුවේ ඉතිහාසයේ සාක්ෂියක්වත් ඉතිරි නොකරමිනි. ඒ සියල්ල කිසිවකුත් නොදන්නා ඉසව්වක වළලා දැමිනි. ඒ ගලා ගිය උණු ලේ දහරා උඩවළව මහ වනාන්තරය විසින් උරා ගන්නා ලදී….ආයුධ සන්නද්ධ දේශපාලන අරගල උත්කර්ෂයට නංවනු ලැබීම, ඒ ගැන වූ ඉතිහාසයේ, ජනශ‍්‍රැතියේ වූ සටහන් බොහෝය. ඒ ලේ වැකි අරගලවල දී ජයගත් වූවන් හෝ වේවා, දිවි පිදුවන් හෝ වේවා ඉතිහාසය විසින් ජනතා වීරයෝ වීරවරියෝ බවට පත් කළහ.

ලෙයින් යකඩින් ගින්දරින් යටපත් කෙරුණ ඒ ලේ වැකි අරගලයන් ගැන අපි ඉතිහාසයේ පුන පුනා ඇසුවේ අපේ සටන් පෙරමුණේ වීරත්වයන් පමණි. පාලකයෝ තමන් වෙතින් කෙරුණු තිරශ්චින මර්දනය ඉතිහාසයෙන් සඟවා ලීය. මැච් එක ඉවරයි කියා අත පිහ දා ගත්ත. එහෙත් ඒ මර්දනීය ක‍්‍රියා දාමය ඒ සැලසුම්, මෙහෙයුම් සඟවා ලීය.. එහි වීරයන්ට හොර රහසේ පදක්කම් පැලඳුවා මිස වීර සැමරුම් බවට පත් කළේ නැත. එහෙත් ‘මර්දනය’ ඒ ඔවුන්ගේ ජග‍්‍රහණයයි.

මේ ලියැවෙන්නේ ඒ මර්දනීය ක‍්‍රියා දාමයේ වීරයෙකුගේ කතාවය. නැත්නම් සංහාරකයකුගේ පාපොච්චාරණයයි. යථාර්ථය හා ප‍්‍රබන්ධය අතර මේ කතන්දරය අපට පෙළ ගැස්සවීමට සිදුව තිබේ. එහෙත් මේ, කෙසේ හෝ ඉතිහාසයේ ලියැවිය යුතුව තිබෙන කතාවකි. එමෙන්ම සැතිරියක්, පේ‍්‍රමයක්, පුත‍්‍රයෙක් හා ගැට ගැසුණු අනුවේදනීය කතාව මෙවර කලාපයේ සිට ”සත්හඬ” සමඟ කියවන්න.

බි‍්‍රගේඩියර් පතිරණ අවදි වුණේය, එවිට ඔහුගේ යු.හ. අංක යෙදු කාරය පැල්මඩුල්ල හන්දියට සම්ප‍්‍රාප්ත වී තිබිණි. එහි රියැදුරා වූයේ සැරයන් රසික කුමාරසිරිය. ඇඹිලිපිටිය දෙසින් අධිවේගයෙන් පැමිණ කෙළින්ම බදුල්ල දෙසට හැරුණු ඩිමෝ බට්ටකු නිසා රසිකගේ දකුණු පාදය ඇක්සලරේටරයෙන් මුක්තව තිරිංග පැඩලය වෙතට ක්ෂණිකව ගමන් කළේය. ඇති වූ ගැස්ම හේතුවෙන් කාරය තුළ සැප නින්දක පසු වූ තම ප‍්‍රධානියා අවදි වූ බව දුටු රසික මඳක් කලබල විය. මෙවැනි අවස්ථාවක තම ප‍්‍රධානියාගේ මුවින් නික්මෙන අතිශය සුභාවිත වදන් කීපයක් හෝ ප‍්‍රතිග‍්‍රහණය කරනු රිසි රසිකගේ හිස මඳක් වමට බර වී දෙකන් පසුපස දෙසට යොමු වූයේ ඔහුවත් නොදැනය. පුදුමයකට මෙන් බි‍්‍රගේඩියර්වරයා කිසිවක් කීවේ නැත.

ඉදිරි මගී අසුනේ අසුන් ගෙන සිටියේ යුද හමුදා මේජර්වරයකුගේ නිල ඇඳුමින් සැරසුණ බි‍්‍රගේඩියර් පතිරණගේ සහකාර නිලධාරියකු වන මේජර් හිමාල් නානායක්කාරයි. යුද හමුදා විශේෂ බළකායට අයත් අභිමානවත් සලකුණු සහ ආයිත්තම් ඔහුගේ නිල ඇඳුමේ ගාම්භීරත්වය තියුණු කළේය. තම ප‍්‍රධානියා අවදිව ඇති බැව් දුටු මේජර්වරයා යාන්ත‍්‍රික රොබෝවරයකු මෙන් ඉදිරියට නැවී, තම දෙපා අසල තිබූ ප්ලාස්ටික් කූඩයක වූ උණු වතුර බෝතලය අතට ගත්තේය. නැවත අසුනට පිට දී කෙළින් හිඳ උණු වතුර බෝතලය විවෘත කර, කෝප්පයට උණු වතුර ස්වල්පයක් දමා එය හොඳින් කරකවා අනෙක් අතින් ස්විචය කි‍්‍රයා කරවා ෂටරය හෙවත් පැති වීදුරුව පහත් කර වතුර ස්වල්පයක් එළියට විසි කළේය. පසෙකින් ආ සුළං පොදට වතුර ස්වල්පයක් ගෙන ඔහුගේම මුහුණට නැවත පතිතව යයි. නමුදු එහි උණුසුම් බවක් නොවීය. මේජර් නානායක්කාර නැවත උණු වතුර බෝතලයෙහි ඇතුළු මූඩිය හැර කෝප්පයෙහි පරිමාවෙන් තුන් කාලක් පමණ වන්නට උණු වතුර පිරවීය. ඉන්පසු කැබිය විවෘත කර එහි වූ කහ පැහැති තේ පෙට්ටියෙන් තේ බෑගයක් ගෙන එය කෝප්පයේ ඇති උණු වතුරට දමා එහි නූල සිය මාපට ඇඟිල්ලෙන් ග‍්‍රහණය කරගෙන, නැවත නැවී ප්ලාස්ටික් කූඩය තුළ වූ හැන්දක් ගෙන, එය ද සමඟ බොහෝ ගෞරව පූර්වකව තම පසුපස අසුනේ සිට නින්දෙන් අවදි වූ ප‍්‍රධානියාට පිළිගැන්වීය. බි‍්‍රගේඩියර්වරයා තේ කෝප්පය අතට ගත්තේය.

සැරයන් රසික කුමාරසිරිට මොකක්දෝ අඩුවක් දැනුණේය. වෙනදා මෙවැනි තිරිංග යෙදීමක දී අවදි වන බි‍්‍රගේඩියර්වරයාගේ මුවින් ඉංග‍්‍රීසි, සිංහල භාෂාවෙන් හෝ කලවම් බසින් පිටවන පරුෂ වචන කීපය හෝ සමුදාය අද ඔහුට ඇසුණේ නැත. ඔහුගේ සිත භීතියකින් මෙන් සාංකාවෙන් ද වෙළා ගත්තේය. කැපී පෙනෙන උසකින් යුත් හීන්දෑරි තරුණයකු වන රසික තිස් දෙහැවිරිදි වියේ පසු වෙයි. වයස විසි හතරේ සිටම ඔහු බි‍්‍රගේඩියර්වරයාගේ රියැදුරු විය. ජ්‍යේෂ්ඨ මේජර්වරයකු වූ තම ප‍්‍රධානියා, විශේෂ බළකායේ ඒකක අණදෙන නිලධාරියකු වූ දින සිටම ඔහුට සේවය කළ රසික වර්තමානයේ කනිෂ්ඨ බි‍්‍රගේඩියර්වරයකු වන පතිරණට ද එදා හා සමානවම හිතැතිව සේවය කරයි. පතිරණ ද එය දනී. මෝටාර් ප‍්‍රහාරයක දී පියඹා ආ මෝටාර් කැබැල්ලක උණුසුම් පහස ලැබූ රසිකගේ වම් කම්මුල සිරිපා බිමෙන් පටන් ගන්නා මොකක්දෝ ගංගාවක ආරම්භය හා අවසානය සිහිපත් කළේය. තම ප‍්‍රධානියා තවමත් අවිවාහකයකු වුව ද රසික විවාහකයෙකි. දෙදරු පියෙකි.

රසික, රිය නොනවත්වා ධාවනය කරයි. තම මනසෙහි පැවති සංකූලතාව සමනය කිරීමට දෝ දෙපසට පැද්දී, නැවත හරිබරි ගැසී දිගටම ධාවනය කරන්නට වූයේය. තම ප‍්‍රධානියාගේ මුවින් පිටවන සෑම වදනක් ම රසිකට දේව වදනක් විය.

බි‍්‍රගේඩියර්වරයාගෙන් හොඳින් අහගන්නා දවසක ඔහු එම සිදුවීම තම සගයන්ට පැවසුවේ. මචං අද සර් අපේ අම්මටම බැන්නා.. ආදී ලෙස උදම් අනමිනි. බි‍්‍රගේඩියර්වරයා, මේජර් සහ ලූතිනන් කර්නල්වරයකු සිටිය දී නම්, රසිකට ප‍්‍රසිද්ධියේ ම බැන්නේය. නමුත් ඔහු වඩා ඉහළට යන විට වඩා පරිණත විය. දැන් දැන් ඔහුගේ මුවින් මෙවැනි වදන් පිටවන්නේ තමා, සාජන් ජයරත්න, කෝප‍්‍රල් සුසන්ත හෝ මේජර් නානායක්කාර ආදී තම ප‍්‍රධානියාට සමීපතම වූවන් පමණක් සිටින විට දී බව රසිකට අවබෝධ වී ඇත. දැඩි අසහනකාරී මුවින් යුතු රසික ඕපනායක පොලිස් බල ප‍්‍රදේශය යන පුවරුව පසු කර ඉදිරියටම ගමන් කළේය.

අතට ගත් කහට කෝප්පය තොල මත තබා නැවත ගත් බි‍්‍රගේඩියර්වරයා භාගයට ඈනුමක් ඇරියේය, යමක් අලූතින් මතක් වූ කලක මෙන් ඉතිරි භාගය තම හිස් අතින් මුව වසා වැදගත් ලෙසට වායු ධාරාව මුක්ත කළේය. ඉන්පසු ඔහු අපැහැදිලි ස්වරයෙන් ”සොරි” කීවේය. ඔහු සොරි කීවේ කාටද යන්න කා හටවත් පැහැදිලි නොවිණි. නමුත් කිරිබත්ගොඩ බි‍්‍රගේඩියර්වරයාගේ නිවසේ සිට ඕපනායක දක්වාම මෙම කාරය තුළ දී ඇසුණ පළමු වචනය වූයේ ‘සොරි’ යන්නයි.

මෙවර ඇත්තටම තේ කහට උගුරක් පානය කළ බි‍්‍රගේඩියර්වරයා ”පැල්මඩුල්ල පහුකළා නේද” යැයි ඇසූ පැනයට කිසිවකුගෙන්වත් පිළිතුරක් ලැබුණේ නැත. පතිරණ නැවත තම අසුනෙහි හරිබරි ගැසී වාඩි වී ”හිමාල් අපේ ජීප් එක කොහෙදැයි” ඇසුවේ මේජර් හිමාල් නානායක්කාර දෙසට හිස හරවමිනි. ”සර් අපේ පිටිපස්සෙන් එනවා” යැයි මේජර්වරයාට පෙර රසික පිළිතුරු දුන්නේය. මේජර් හිමාල් කිසිත් නොකියා කරබා ගත්තේය. නිලධාරියා සහ සෙබළා අතර වෙනස තිදෙනාම මැනවින් දැන සිටියෝය. මේජර් හිමාල් වීදුරුවෙන් ඈත බැලීය. පතිරණ ‘හ්ම්’ කීවෙන් රසිකගේ ඉහේ මලක් පිපුණා වැනි විය. ඇක්සලේටරය පෑගිණි, රථය තවත් වේගයෙන් ධාවනය විය.

රථය ඕපනායක නගරය පසුකර මඳක් ගොස් කඳු සහ වංගු සහිත මාර්ගයකට පිළිපන්නේය. බදුල්ල දෙසින් ආ බස් රථයත් බලන්ගොඩ – රත්නපුර බස් රථයත් අතර තරගයක් හේතුවෙන් නැවත රසිකගේ පාදයට තිරිංග සොයායන්නට සිදු විය. ඒ හැර මාර්ගයෙහි වැඩි කලබලයක් නොවීය. බි‍්‍රගේඩියර්වරයා තම දකුණු පස ෂටරය මඳක් පහත් කර කාරය තුළට නැවුම් සුළං පැමිණීමට ඉඩ හැරියේය. තත්ත්වය දත් රසික රථයේ වායුසමීකරණය කි‍්‍රයා විරහිත කර තම ෂටරය ද විවෘත කළේය. ඊට සමගාමීව හිමාල් ද තම කවුළුව විවෘත කළේය.

නැවුම් සුළං දහරින් පතිරණ කුල්මත් විය. සිත ප‍්‍රබෝධමත් විය. තම හමුදා ජීවිතයේ මුල් කාලයේ දී එනම්, තමා ලූතිනන්වරයකු සිටිය දී එවකට ආර්.ඩී.එෆ්. බළකායෙහි සාමාජිකයකු ලෙස බලන්ගොඩ ප‍්‍රදේශයේ රාජකාරී කළ අයුරු ඔහුට සිහි විය. ජ.වි.පෙ. කැරැල්ල මැඩ පැවැත්වීමත් සමඟම, තමා ආර්.ඩී.එෆ්.හි අනුප‍්‍රාප්තිකයා වූ එස්.එෆ්. හෙවත් විශේෂ බළකායට අන්තර්ග‍්‍රහණය වූ අයුරුත් ඉන්පසු ඊළාම් කොටි හෙවත් ටෙරා සමඟ තම මුළු තරුණ කාලයම කැප කර සටන් වැදුණු අයුරුත් සිතුවම් පටයක් මෙන් පතිරණට මැවී පෙනේ.

තම හිසට ඉහළින් සවි කොට ඇති කණ්ණාඩිය තුළින් රසික හොරෙන් තම ප‍්‍රධානියා දෙස බැලීය. වෙනසක් නැත. බි‍්‍රගේඩියර්වරයා කල්පනාවක නිමග්නව සිටී. රසික තව වැරෙන් ඇක්සලේටරය පෑගීය.

– මතු සම්බන්ධයි –

– කාශ්‍යප වීරක්කොඩි

උපුටාගත්තේ සත්හඬෙන්

පසුගිය වසරේ මැයි 04 වනදා සිට සත්හඬ පුවත්පතේ පළවූ මෙම ලිපි පෙළ අද සිට සක්නඳ නිවුස් තුළින් සෑම මසකම බලාපොරොත්තුවන්න.

2 thoughts on “මේ සියල්ලට හේතුව සිය පියාගේ ඝාතනයයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *