විශේෂාංගඋපුටාගැනීම්

ඔක්තෝබර් විප්ලවය හා වාම විප්ලවකාරිත්වය

1917 සිදු වූ ඔක්තෝබර් විප්ලවය වාමාංශිකයන්ට පමණක් නොව දක්ෂිණාංශිකයන්ට ද කවර කලකදී හෝ මගහැරිය නොහැකි සංසිද්ධියක් පමණක් නොව එය ඓතිහාසිකවද සුවිශේෂි සිදුවීමකි. එනිසාමත් එ් පිළිබඳ විවේචනාත්මක මත දැක්වීම් ද, ඇගයීම්ද බොහෝය. සෝවියට් සංගමයට වසර 77 ක් ගෙවුණු කළ එනම් 1991 දී එය බිඳ වැටුණි. එ් සඳහා බලපෑ විවිධ හේතු අතර ආසන්න වශයෙන් බලපෑ සිදුවීම් වූයේ ගොර්බචොෆ් විසින් හඳුන්වා දුන් පෙරොස්ත්‍රොයිකා සහ – ග්ලාස්නොස්ට් ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙලයි. එහිදී සිදු වූයේ සෝවියට් බලය පදනමින්ම දෙදරා විසිරී යාමයි.

මේ වසරේ ඔක්තෝබරයට රුසියන් විප්ලවය සිදුවී 99 වසරක් සපිරේ. ලබන වසරේදී ඔක්තෝබර් විප්ලවය සියවස සම්පූර්ණ කරනු ඇත. සෝවියට් දේශයේ ඇදවැටීමත් සමග ලොවපුරා පළවූ එක් ධනේශ්වර මතවාදයක් වූයේ සමාජවාදය අවසන් බවත්, ධනවාදය විජයග‍්‍රහණය කළ බවත් ය.

ෆුකුයාමාවාදය

”අප අත්දකිමින් සිටින්නේ සීතල යුද්ධයේ අවසානය නොවේ. පශ්චාත් යුද ඉතිහාසයේ කිසියම් කාලවකවානුවක් නොවේ. එ් හැටියට ගත්කල් හි ඉතිහාසයේ සමාප්තියයි. මේ වනාහි මානව වර්ගයාගේ දෘෂ්ටිමය විකාශනයේද, මානව පාලන ක‍්‍රමයේද අවසාන රූපය හැටියට බටහිර ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සාර්වත‍්‍රිකව තහවුරු වීමේ අවසාන ලක්ෂයයි.” මෙසේ උදාන වාක්‍ය කියා පෑවේ ධනේශ්වර අර්ථශාස්ත‍්‍රඥයෙකු වන ෆ‍්‍රැන්සිස් පුකුයාමාය. එසේ කී පුකුයාමාට පසුකළ හැකි වූයේ දශකයක් පමණි. නව ලිබරල් ධනවාදය ලොවපුරා ප‍්‍රශ්න කෙරෙමින් එහි බිඳ වැටීම් වාර්තාවීමත් සම`ග ඔවුන් පූජනීය තැනකට ඔසවා තැබු නව ලිබරල් ධනවාදය ඔවුන් විසින්ම ප‍්‍රශ්න කෙරෙන විකල්පයක් පිළිබඳ සාකච්ඡුාවට යාමට බලකරනු ලැබීය.
ෆ‍්‍රැන්සිස් පුකුයාමාටද ඔහු මෙන්ම සෙසු ආර්ථික විශේෂඥයන්ට ද, දේශපාලන බලඅධිකාරියට ද, වත්මන් ධනේශ්වර හැසිරීම හා බිඳ වැටීම ප‍්‍රශ්නකාරී හා ගැටලූසහගත බවද, මානව වර්ගයාගේ විමුක්තිය පිළිබඳ ප‍්‍රශ්නයට එය විසඳුමක් නොවන බවද වක‍්‍රව ද විවෘතව ද පිළිගැනීමට බල කර තිබේ.

එනිසා 1991 සෝවියට් සංගමය ප‍්‍රමුඛ සමාජවාදී කඳවුර බිඳවැටෙන විට ද, ඊට පෙර ද, අදට ද වත්මන් ලෝකය තුළ මානව විමුක්තිය සඳහා ධනවාදය පිළිතුරක් ලෙස තහවුරු කිරීම නිෂ්ඵල වී ඇත. එ් නිසා ඔවුන් විසින් අනුගමනය කළ එක් උපායමාර්ගයක් වූයේ සමාජවාදය පිළිබඳ අදහස එනම් ධනවාදයට විකල්ප දේශපාලන මතවාදය හා වැඩපිළිවෙල හැකිතරම් බොඳකර හැරීමය. සෝවියට් සංගමය බිඳ වැටීමත් සම`ග මෙය වඩාත් උත්සන්න කෙරිණි. එය ලෝ පුරා පතුරවාලූ එක් අදහසක් වූයේ සමාජවාදය තවදුරටත් අදාළ නොවන බවය. එ් සඳහා ඔවුන්ට හමු වූ ප‍්‍රධාන නිදසුන වූයේ සෝවියට් සංගමයයි. න්‍යායික සංවාදයේදී නම් රුසියන් විප්ලවය හා ලෙනින්වාදයයි.

එක්සත් ජනපද ඉතිහාසඥයෙකු වූ ඔස්ටින් මාලියා මේ පිළිබඳ පළ කළ එක් අදහසක් වූයේ ”අසමානතාවය අප අතර යම්තාක් කාලයක් පවතී ද, සමාජවාදය පිළිබඳ අදහස ද එ්තාක් කල්ම අප සම`ග පවතිනු ඇත.” යන්නය. ඔවුන් එසේ කීවේ නිකම්ම නොවේ. මාක්ස් ප‍්‍රාග්ධනය සටහන් කරමින් එදා ඉතා නිවැරදිව කීවේ ධනවාදය ඇතිතාක් දුරට අසමානතාවය වඩාත් වර්ධනය වනු ඇතැයි කියාය. මේ සත්‍ය දන්නා අප විසින් ලියා තැබිය යුත්තේ ඉදිරියටද සමාජවාදී අදහස්වල වර්ධනය වළකාලිය නොහැකි බවය. ඔවුන් එ් සඳහා අනුගමනය කළ ක‍්‍රමෝපාය වූයේ සමාජවාදයට එරෙහි අරගලය සෝවියට් දේශයද පදනම් කරගනිමින් ලෙනින්වාදයටද පහර පිට පහර දීමය. එ් සඳහා ඊනියා වම්මුන්ගේද සහය ලැබු ඔවුන් සමාජවාදි කඳවුර වැටී දශක දෙකහමාරකට එහා ගිය මුළු කාලය තුළ, සමාජවාදය එරෙහි එය බොඳකර දමන අවලාද ව්‍යාපාරයක් නිර්මාණය කරනු ලැබීය.

කොමියුනිස්ට්වාදය

රුසියන් විප්ලවයක් පිළිබඳ සාකච්ඡුාව මාක්ස්වාදී අර්ථයකින් ප්ලෙහනොව්ලාගෙන් ද, පසුව ලෙනින්ලාගෙන් ද, රුසියානු සමාජයට ඇතුළු වුවද සැබවින්ම සමාජවාදය පිළිබඳ අදහස නැගී ආවේ ලෝක පරිමාණයෙනි. 1800 ගණන්වල මැදභාගය වන විටත් සමාජවාදී අදහස් පිළිබඳ කතිකාවන් යුරෝපාකරය පුරා පැතිරුණු අතර එය විද්‍යාත්මක පදනමකින් පිහිට වූයේ මාක්ස්, එංගල්ස් විසිනි 1847 දී න්‍යායාත්මක මෙන්ම ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් ලෙස කොමියුනිස්ට් ප‍්‍රකාශනය මගින් එය එළි දුටු අතර ධනවාදයේ තැනුම් එ්කකය ලෙස ගිණිය හැකි හුවමාරු භාණ්ඩ ඇසුරෙන් ප‍්‍රාග්ධනය නමින් ධනවාදය විශ්ලේෂණය කළ මාක්ස් පොදු දේපල ක‍්‍රමයක් ගොඩනැගීමත්, එමගින් ගොඩනැගෙන සමාජය කොමියුනිස්ට් සමාජයක් හැටියටත් තහවුරු කරන ලදී.

මාක්ස්වාදය විසින් ගෙනහැර දැක්වූ ඊළග මූලික ප‍්‍රස්තුතය වූයේ ධනවාදයේ ඍජු සූරා කෑමට ලක්වන කම්කරුවා සිය විගලිතභාවයෙන් විමුක්තිය ලබාගත යුතු බවත් එ් සඳහා වැඩකරන ජනතාව පන්තියක් ලෙස ඔසවා තැබිය යුතු බවත්ය. එසේ දැනුවත් පන්තියක් ලෙසින් ධනවාදය පලවා හැරීම සඳහා මැදිහත් විය යුතු බවය මාක්ස්ගේ අදහස වූයේ එ් සඳහා පිටතින් පන්තියට මැදිහත් වන උපකරණය වූයේ පක්ෂයයි. මෙකී අත්දැකීම සහ අභ්‍යාසය බොහෝ අඩුපාඩු මැද වුවද ජීවමානව ප‍්‍රදර්ශනය වූයේ 1917 රුසියන් විප්ලවයෙනි.

storming-the-winter-palace

ඔක්තෝබර් විප්ලවයේ ආරම්භය සලකුණු කළ ශිශිර මාළිගය අත්පත් කරගැනීමේ මෙහෙයුම

රුසියන් විප්ලවය අදට ද විවිධ දෘෂ්ටිකෝණයෙන් සාකච්ඡා කරන අයගේ දඩු අඩුවට හසුවන අනෙක් ප‍්‍රධාන මාපකය වනුයේ බොල්ෂෙවික් පක්ෂයයි. පෙරමුණු බලඇණියේ වැඩ කොටස ඉටුකරන පක්ෂයක් ගොඩනගමින් එය පන්තිය තුළ තහවුරු කරමින්, පරීක්‍ෂාවට ලක්වෙමින් කළ දැවැන්ත අභ්‍යාසයක් තුළින් බොල්ෂෙවික් පක්ෂය රුසියානු වැඩකරන ජනයා තුළ තහවුරු වූ අතර සැබවින්ම එය වඩාත් ව්‍යාප්ත වූයේ 1917 අරගලයත් සමගය. එනිසා රුසියන් විප්ලවයට පෙර ද, ඉන් අනතුරුව ද, එනම් 1903 සිට 1917 දක්වා ද, එතැන් සිට 1991 දක්වා වසර 77 ක් පුරාද බොල්ෂෙවික් පක්ෂයේ ක‍්‍රියාකාරීත්වය මෙහිදී වැදගත් ඓතිහාසික කරුණක් බව සැලකිල්ලට ගත යුතු ය.

නව ලිබරල් ධනවාදය

සමාජවාදය ගොඩනැගීම උදෙසා එය ඉටුකළ ඓතිහාසික වැඩ කොටස ද එයට ම`ගහැරුණු, අත්හල වැඩකොටසද එකට ගෙන කතා කරනවා වෙනුවට බොල්ෂෙවික් පක්ෂයද, පක්ෂයක පැවැත්මද, පැත්තකට දමන දේශපාලන සංවාදය වාමාංශිකයන් තුළ ගෙනාවේ බැරිකේඞ්වලට එපිටිනි. පක්ෂයක සාකච්ඡුාව වෙනුවට හුදු නිදහස්වාදි පැවැත්මක ආනන්දයට පෙම්බඳින බොහෝ දෙනාට මෙකී මතවාදයෙන් ගැලවීගත නොහැකි වී ඇත. එසේ ඔවුන් පසුබැස යමින් සිටිනුයේ සමාජවාදී මාවත දෙසට නම් නොවේ. ඔවුන් පසුබැස යමින් සිටිනුයේ මාක්ස්වාදයෙන්ද බැහැර  වූ තමන් විසින් අර්ථකථනය කරගනු ලබන තවත් ධනේශ්වර පැවැත්මක් වෙතය.

එනිසා ඔක්තෝබර් විප්ලවය පිළිබඳ සාකච්ඡුාව එය ධනවාදය තුළ තබා විශේෂයෙන් නව ලිබරල් ධනවාදය තුළ තබා, පසුගිය සියවසේ ධනවාදයට එරෙහිව එය ඉටුකළ ඓතිහාසික වැඩ කොටසද එහිලා ලෙනින්වාදයත්, බොල්ෂෙවික් පක්ෂයත් විසින් ඉටු කළ වැඩකොටසද එකට ගෙන සාකච්ඡුා කිරීම හැර එය විවෘත වේදිකාවට ඇදගෙන ප‍්‍රශ්න කිරීම තුළ වත්මන් විප්ලවකාරි වාම දේශපාලනය මගහැර යන සාකච්ඡුාවක් නිර්මාණය කිරීමට සහය දැක්වීමක් වනු ඇත.

මාක්ස්වාදීන්ට විප්ලවයේදී, සමාජවාදයේද අර්ථයෙන් ගත් කළ මුල් කෘති කරා ප‍්‍රවේශය මෙන්ම, බොල්ෂෙවික් පක්ෂයක කි‍්‍රයාකාරීත්වයද අද දවසේ එකට ගෙන පරීක්ෂාවට ද, භාවිතාවට ද ගතයුතු එමෙන්ම අභියෝගාත්මක කාර්යභාරය වනු ඇත. රුසියන් විප්ලවයට සියවසක් පිරීමට නියමිත මේ වකවානුවේ අප ඉදිරියේ ඇති දේශපාලන වගකීමට මෙකී කරුණු ඉදිරියෙන්ම ඇති වගකීමක් වනු ඇත.

රුසියන් විප්ලවය ස්ටැලින් හෝ ට්‍රොට්ස්කි තුළින් හෝ බොල්ෂෙවික් පක්ෂයට සීමා වී හෝ කරන සාකච්ඡුාවක් වෙනුවට ඉතිහාසයේ පළමු වරට සමාජවාදී ප‍්‍රතිසංස්කරණ එ්වා ගොඩනැගීමේදී මුහුණ දුන් ගැටලූද, සමාජවාදය තුළ ගොඩනැගුණු මානව සබඳතාද එ්වා සමාජවාදී පුරුෂාර්ථ බවට පත් නොවීමේ ගැටලූවද පන්තිය හා පක්ෂය අතර පැවති අසමානතාවය හා ගැටුමද ආදි වශයෙන් එකට ගෙන කෙරෙන සාකච්ඡුාවක් අදට අත්‍යවශ්‍යව තිබේ.

එනිසා නිදැල්ලේ තඩිබෑමට ඉඩහැර ඇති බිඳවැටුණු සමාජවාදී රාජ්‍ය පද්ධතියට, ලෙනින්වාදයට, පහරදීමට ඉදිරිපත්වීමට පෙර ඉතිහාසය තුළ රුසියන් විප්ලවය ඉටුකළ වැඩ කොටස ඓතිහාසිකවම තැබිය යුතු ස්ථානයේම තබා සාකච්ඡාවට ගැනීම අද දවසේ විප්ලවකාරී දේශපාලනයට වඩා වැදගත් වනු ඇත.

උපුටාගත්තේ  LV

Leave a Reply

Your email address will not be published. Required fields are marked *