විශේෂාංගඋපුටාගැනීම්

බෙදාගෙන කෑමේ සහ බදාගෙන කෑමේ විපාකය

පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන බිමට අත්හැරියේ එක පිපුරුමකින් අවසන් නොවන දේශපාලන පොකුරු බෝම්බයකි. එය දේශපාලන පදාස ගණනාවක් තුවාල කළේය. එසේම එය තවමත් තැනින් තැන පිපිරුම් සහිතව තිබේ. තත්ත්ව සමනය කිරීම සඳහා ගන්නා උත්සාහ ද ගින්නට පිදුරු දමන උත්සාහ ද පෙනෙන්නට තිබේ. ඒ අතර බොරදියේ මාළු බාන්නට බලාගෙන සිටින දේශපාලන තක්කඩි පිරිසක් ද වෙති.

ඒ කෙසේ නමුත් එළඹෙන සති කිහිපයේ ද තවත් පිපිරුම් වැලක් සිදු වීමට නියමිතව තිබේ. ඒ, මහ බැංකු බැඳුම්කරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කෝප් සභා වාර්තාව සහ 2017 අයවැය යෝජනා කෙටුම්පතය. එමෙන්ම ඊට නොදෙවැනිව මේ වන විට වංචා දූෂණ අක්‍රමිකතා එල්ල වී ඇති වර්තමාන ආණ්ඩුවේ ඇමැති ප්‍රබලයන් පස් දෙනකු සම්බන්ධයෙන් යම් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් සිදු වන ලකුණු පහළව තිබීමය.

ජනාධිපතිවරයාගේ දෝෂාරෝපණයෙන් පසුව අල්ලස් කොමසාරිස්වරිය ඉල්ලා අස්වීමට තීරණය කිරීම ඇයට ජනාධිපතිවරයා එම කොමිසමේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් එල්ල කළ විවේචනය මත පදනම්ව ඇති බව මතුපිට තලයේ දී පෙනෙන්නට තිබුණ ද එය ද දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව වූවක් බවට සැක කරන්නට හේතු ඕනෑ තරම් තිබේ.

ඇයට ඉල්ලා අස්වීමට තරම්  හේතුවක් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළ අඩංගුව තිබුණේ නැත. යම් කිසි ලෙසකින් දේශපාලන අධිකාරියෙහි වෙනත් පාර්ශ්වයක බලපෑමක් මත ඇය ක්‍රියා කරමින් සිටියේ නම් එය ඉවතලා ස්වාධීනව වඩා ශක්තිමත්ව හා සක්‍රියව කටයුතු කිරීමට අවැසි වටපිටාව ජනාධිපතිවරයා සකස් කර දුන් බව ඇයට අවබෝධ විය යුතුය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙහි හරය තිබුණේ එතැනය. එහෙත් ඇගේ තීරණය තමන් අතින් වූ වරදක් බාර ගැනීමට සමාන වූවකි.

ඒ කෙසේ නමුත් පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී හෝ වේවා වත්මන් පාලන සමයේ දී හෝ වේවා අල්ලස් හෝ දූෂණ චෝදනා පැමිණිලි සම්බන්ධයෙන් යුක්තිසහගත සාධාරණ හා අප්‍රමාද ක්‍රියාවලියක් අල්ලස් කොමිසමෙන් ඉටු වූයේ නැති බව පැහැදිලිය. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාසය පමණක් නොව බරපතළ අපරාධ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම වෙතින් හෝ මේ පෙනුණේ නැත. ඒ තබා නීතිපති දෙපාර්තමේන්තුව වෙත විමර්ශන අවසන් කෙරුණු සිදුවීම් සම්බන්ධයෙන් ලබා දුන් ලිපිගොනු බොහොමයක් ද තවමත් දිග හැරී නැත. ඒ දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව සිදු වන්නේ ද අනෙක් හේතුවක්ද යන්න ගැන විවාදයක් මෙතැන  නොවූවත් නීතිය ඉටුවීම ප්‍රමාද වීම වත්මන් ආණ්ඩුවට එල්ල වන චෝදනාවෙන් ගැලවිය නොහැකිය. මේ වඩාත් බරපතළ වන්නේ ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී ද මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන ආයුධය වූයේ රාජපක්ෂ සමයේ වංචා දූෂණ අක්‍රමිකතා හා අපරාධ සම්බන්ධ චෝදනා වීමය. මූල්‍ය අපරාධ කොට්ඨාසය, ජනාධිපති විමර්ශන ඒකක ආදී නව ආයතන කඩිනමින් බිහි වූයේ ද ඒ නිසා ය.

එනමුත් මෙම මැතිවරණ ව්‍යාපාර දෙකේ දී වංචා දූෂණ ආදී චෝදනාත්මක සටන් පාඨ ගැලරි පිනවීමේ උවමනා සන්තර්පණය කිරීම ප්‍රධාන කරගත් ප්‍රචාරක මෙහෙයුමකින් එහාට ගොස් නැත. එහෙත් දේශපාලනිකව සබුද්ධික ජනතාව ඉල්ලා සිටි ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් විය. ඒ, දේශපාලන ප්‍රතිසංස්කරණයක් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ය. යහපාලනය යනුවෙන් කුළු ගැන්වූයේ එම ඉල්ලීම්ය. නමුත් එම ඉල්ලීම් කෙමෙන් යටපත්ව පසුගිය පාලනයේ වංචා, දූෂණ, අක්‍රමිකතා, අපරාධ ගැන ජනප්‍රිය සාකච්ඡාව යළි යළිත්  කරළියට ගෙන එමින් තිබේ.

රාජපක්ෂවරුන්ගේ පාලනය ගැන අමුතුවෙන් කිව යුතු දෙයක් නැත. සියලු නරක දෑ රාජපක්ෂ චින්තනය තුළ නීතිගත කර තිබිණි. ඒ, යම් සමාජ ආර්ථික ක්‍රමවේදයක් තුළ පැවැතිය යුතු අවම නෛතික භාව ද සදාචාර සම්පන්න භාව ද ඉක්මවා තිබිණි.

වත්මන රජයේ අභියෝගය විය යුතුව ඇත්තේ එවැනි තත්ත්වයන් යළි වළක්වා ගැනීම ය. ඊට අවශ්‍ය පිළියම් යෙදවීම වහා විය යුතුව තිබිණි. එය ජනතාවට ලබා දුන් පොරොන්දුවකි. ඒ සඳහා වන උවමනාව උනන්දුව මේ වන විට කෙමෙන් යටපත් වෙමින් තිබෙන අතරම   පාර්ශ්වික දේශපාලන උවමනා සන්තර්පණය කර ගැනීමෙහිලා ලාභ පාඩු ගණනය කරමින් ඊට කල් මරමින් තිබෙන බව ද පෙනෙන්නට තිබේ.

මේ දුර්වලතාව මධ්‍යයේ අද ආණ්ඩුවට සිදුව ඇත්තේ තමන් වපුරනු ලැබූ වංචා දූෂණ ආදී චෝදනා සම්බන්ධයෙන් නිසි පියවරක් ගැනීමට ප්‍රමාදයේ, නොහැකියාවේ වේදනා විඳින්නටය. එදා එල්ල කළ ප්‍රහාර දැන් පාරා වළල්ලක් වී ආපසු වැදෙමින් ද තිබේ.  ඒ, වත්මන් ආණ්ඩුවේ දූෂිත ඇමැතිවරුන්ගේ ක්‍රියා කලාපය ය. එය ද ආණ්ඩුවට දරා ගැනීමේ උපරිමයට පැමිණ තිබෙන බව පෙනෙන්නට තිබේ. තමන්ගෙන් ඉටු විය යුතුව තිබූ වගකීම මඟ හැරීමේ ආදීනව දැන් ආණ්ඩුවට දැනී තිබේ.

අවසානයේ දී ආණ්ඩුවට මෙන්ම මෙම ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා පෙනී සිටි සියලු බලවේග දුර්මුඛව සිටී. සිවිල් සමාජ ව්‍යාපාර මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ද අද පැහැදිලි සීමා වැටවල් ගහගෙන දේශපාලනය කිරීමට බල කෙරී ඇත. එම කණ්ඩායම්වල දේශපාලනය පදනම් විරහිත පටු විවේචනවලට පමණක් සීමා වී ඇත. අඩියක්වත් ඉදිරියට යෑමේ හැකියාව අහිමි කර පමණක් නොව ප්‍රධාන දේශපාලන ධාරාවේ නියම අනුව කටයුතු කිරීමට සිදු වීමේ ඛේදජනක අවසානයකට ද පැමිණ ඇත.

මෙම කණ්ඩායම්වල සාම්ප්‍රදායික දේශපාලන මිනුම් දඬු තවදුරටත් මේ වර්තමාන දේශපාලන ක්‍රමය වෙනස් කිරීම තබා විවේචනය කෙරෙහි හෝ වලංගුතාවයක්  බලපවත්වන්නේ නැත. එහෙත් තමන් ආරක්ෂා කරගෙන සිටිනවාය කියන දේශපාලන කන්‍යාභාවය තව දුරටත් රැක ගනිමින් ඉදිරියට යාමේ හැකියාව මෙම සමාජ ක්‍රමය විසින් මේ වන විට අහුරා දමා අවසන්ය. මේ ගෙවෙන්නේ ජේ.ආර්. ජයවර්ධනගේ ධනේශ්වර පාලන යුගය නොවේ. මේ රනිල්ගේ නව ලිබරල් පාලනය යැයි තේරුම් ගැනීම ද වැරැදිය. මේ ඔහුගේ පාලනයට යටත්ව ඇති යුගයක් නොවේ. දැන් ධනේශ්වර ක්‍රමය පාලකයන් ද පාලිතයන් ද හසුරුවමින් පවතී. පුද්ගලයකුට පුද්ගල කණ්ඩායමකට එරෙහිව චෝදනා කිරීම හෝ විනාශ කර දැමීමෙන් හෝ කිසිවක් සිදු නොවේ. එහෙත් අද දූෂණ විරෝධීන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ සහ කණ්ඩායම් පටු සටන් පාඨවල එල්ලී සිටීමෙන් ඇතැම් විට විදේශ අරමුදල්වලින් යැපීමේ අවස්ථාව හිමි විය හැකි නමුත් පවතින දේශපාලන,සමාජ, ආර්ථික යථාර්ථය වෙනස් වන්නේ නැති බව පැහැදිලිය.

එමෙන්ම මෙම ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා වන ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ ඉහත කී කණ්ඩායම්වල සටන් පාඨ අනුව රාජ්‍ය පාලනය කරන්නේ නම් සිදු වන්නේ ද එම කණ්ඩායම්වලට අද සිදුව තිබෙන අලකලංචියට හෙට දිනයේ දී ඔවුන් පත් වීමය. මන්ද වර්තමාන ක්‍රමය යනු කුමක්ද යන්න ගැන අවබෝධය මෙන්ම ඊට අනුව හැඩ ගැසීම වැදගත් බැවිනි. එනම් ධනේශ්වර සමාජ ක්‍රමයේ

මජරකම්වලට ඉඩ දී බලාගෙන සිටීම නොවේ. ඒවා යම් ආකාරයකින් සාධාරණව නියාමනය කිරීමක් අවශ්‍ය වේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදීව සිදු විය යුතුය. එසේම ප්‍රතිලාභ සියලු පුරවැසියන් කෙරේ බලපවත්වන ලෙස එය නියාමනය කළ යුතුව ඇත.

මෙහි දී ආණ්ඩුකරණය සම්බන්ධයෙන් ද යමක් කිව යුතුය. මේ නරුම අදහසක් යැයි කිසිවකු විසින් තර්කයකින් තොරවම පවසනු ඇති නමුත් පිළිගත යුතුව තිබෙන යථාර්ථය එය ය. වර්තමාන ආණ්ඩුව මේ වන විට මුහුණ පා සිටින දේශපාලන අර්බුදයට හේතුව ඉතා සරලව කියන්නේ නම් බෙදා හදාගෙන කෑම අත් හැරීමය.

ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශ්වයේ කණ්ඩායම කල්පනා කරන්නේ එජාපය අපිට නොදී තනිවම කනවා යනුවෙනි. එජාපය කල්පනා කරන්නේ අපි අවුරුදු 20ක් විපක්ෂයේ හිටියා, දැන් අපේ වාරය යනුවෙනි. එහෙත් එතැනත් අර්බුදයක් වර්ධනය වී තිබේ. ඒ එජාපය නමින්, කාගෙන කාගෙන යන්නේ ප්‍රධාන කොටම ඇමැතිවරුන් පස් දෙනෙකි. ඊට පසුපසින් තවත් ඇමැති තුන් හතර දෙනකු ද ඇදෙමින් සිටින බව ද පෙනෙන්නට තිබේ. ධනේශ්වර ක්‍රමය අර්බුදයකට නොයා පවත්වාගෙන යාමට නම් සියලු තලවල අයට ඒ ඒ ප්‍රමාණවලින් අමතර ලාභ ප්‍රයෝජන ලැබිය යුතුව තිබේ. නමුත් එය විය යුතුව තිබෙන්නේ නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස රැකියා බෙදනා ආකාරයෙන් නොවේ.

උදාහරණයක් ලෙස පවසන්නේ නම් රාජපක්ෂ සමයේ දී ගමේ කොන්ත්‍රාත්කාරයාගේ, ග්‍රාම සේවකයාගේ,ප්‍රාදේශීය ලේකම්ගේ, ප්‍රාදේශීය මන්ත්‍රීවරයාගේ, දිසාපතිගේ සිට සියලු දෙනාට කීයක් හෝ සාක්කුවට වැටෙන ලෙස සංවර්ධනය සිදු කෙරුණු බව රහසක් නොවේ. රාජපක්ෂවරුන්ට අදත් ගමේ හයිය තිබෙන්නේ එබැවිනි. ලොකුම පංගුව කඩා වඩා ගත්ත ද දූෂණය වංචාව උපරිමයෙන් කෙරුණ ද කටු කැබැල්ලක් විසි කර හෝ බෙදා හදාගෙන කෑමේ පුරුද්ද රාජපක්ෂවරුන්ට තිබිණි. අද ශ්‍රීලනිපය හා එජාපය අතර නොපෑහීමට හේතුව බෙදාහදා ගැනීමේ අවුල බව පැහැදිලිය. මේ ගැන ආරෝවක් ගත යුතු නැත. ඒ පවත්නා සමාජ ආර්ථික ක්‍රමයේ හැටිය. මෙතුළ පැවැත්ම සහතික කර ගත හැක්කේ එලෙසය.

ලිච්ඡවී රජ දරුවන්ගේ පාලන ක්‍රමවේදය අනුව මෙරට පාලන තන්ත්‍රය හැඩ ගස්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ වරක් දෙවරක් නොවේ. දඹදිව වජ්ජි ජනපදයේ ලිච්ඡවී රජ දරුවන් හත්දහස් හත්සිය හත් දෙනා රාජ්‍ය පාලනය කිරීමේ  සම්ප්‍රදායේ තිබුණේ ‘සමඟිව රැස්වීම, සමඟිව සාකච්ඡා කිරීම, සමඟිව විසිර යාම, පැනවූ නීති ආරක්ෂා කිරීම…’ යන ජනප්‍රිය  සරල කාරණාවලට එහා ගිය දේවල් සමූහයක් සහිතවය.

බුවනෙකබාහු රජ දවස බුදු ගුණ අලංකාරය ලියූ වීදාගම මෛත්‍රීය මහා ස්වාමීන් වහන්සේ පැදි කිහිපයක මේ ලිච්ඡවී සම්ප්‍රදාය ගැන රචනා  කළේය.

කුල දෙටුවන් පැවති 
සෙබෙහි තෙදලණින් නොදිලෙති
වෙන් වූ සඳ දිලෙති
රසින් මුසු නුමුසු රන්සේ වෙතී

එනම්, ලිච්ඡවී රජුන් සිය පරපුරේ ජ්‍යේෂ්ඨයන් සිටින තැන ඔවුන්ට ගෞරවය ලබා දෙති. ජ්‍යේෂ්ඨයන්ට ගරු කිරීම රැකිණි. ඔවුනොවුන් පරයා යෑමක් නොතිබුණි. ජ්‍යේෂ්ඨයන් සිටින විට තේජස නොපැතිරවූ රජවරු සුදුසු තැන සුදුසු විට සිය බලය පතුරුවාලූහ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ වන විට ඇතිව තිබෙන අර්බුදය මේ කාරණය කරණ කොට ගෙන ඇත. එනම් තම තමන්ට අවැසි පරිදි නොව උචිතානුචිත ලෙස බලය බෙදා හදාගැනීමට අසමත්කමේ අර්බුදය ය.

–  සුජය

උපුටාගත්තේ සත්හඬෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *