විශේෂාංගඋපුටාගැනීම්

ගෝඨාව වාසියක් වන්නේ රනිල්ට මිස මෛත‍්‍රීට නොවේ

 ”ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂව බලවත් පවුරක් ලෙස තබා ගැනීමට සමත් වූව ද එය අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ද කැමැත්ත වීමේ ඉඩකඩ බොහෝය. මක් නිසාද යත් රනිල් වික‍්‍රමසිංහගේ අපේක්ෂාව 2020 ජනාධිපතිවරණයෙන් අනතුරුව තනිව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම වන නිසා තමාට පහසුවෙන් පරාජය කළ හැකි සතුරකු සිටීම ඔහුගේ වාසියට හේතු වන්නේය. මෛත‍්‍රීපාල සිරිසේනව,දෙකඩ වී ඇති ශ‍්‍රීලනිපය තුළ රනිල් වික‍්‍රමසිංහට අභියෝගයක් වන්නේ නැත…”

මෙම තීරුවේ මෙසේ සටහන් වූයේ පසුගිය අගෝස්තු මාසයේ තෙවන සතියේ දී ය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය 12 වන දින කළ ප‍්‍රකාශය මේ වන විට දේශපාලන ලෝකයේ දැවැන්ත කැලඹීමකට හේතු වී ඇතත් දේශපාලනිකව කල්පනා කර බැලූවහොත් ඒ මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම සහ ශ‍්‍රීලනිපය දෙකඩ කිරීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන කණ්ඩායමට ගැසූ කනේ පහරක් ලෙස තේරුම්ගත හැකි ය. මේ වන විට වඩාත්ම අර්බුදයට ගොස් ඇත්තේ එම පිරිස ය.

මෙම ප‍්‍රකාශයේ දී ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමු කළේ මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම විවේචනය කිරීම කෙරෙහි ය. එහි දී ජනාධිපතිවරයා දැඩිව සිය වාග් ප‍්‍රහාරය එල්ල කරමින් පැවසූවේ මෙම ආණ්ඩුව කඩා ඉහිරවීමට කිසිවකුට ඉඩක් නොලැබෙන බව ය. මෙම ආණ්ඩුව රැුක ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඔහු විසින් තමන් බලයට පත් වීමේ දී පොරොන්දු වූ පරිදි අපේක්ෂා කළ දේශපාලන ප‍්‍රතිසංස්කරණ යථාර්ථයක් කිරීම වෙනුවට ඒවා කඩාකප්පල් කිරීම සඳහා සැලසුම් සහගත ක‍්‍රියාමාර්ග ගනිමින් තිබෙන බව හැඟවී ය. එහි දී නිදසුන් කර ගත්තේ ඇවන්ට්ගාඞ් සිදුවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරනු ලැබූ නඩුව ය. එහි දී හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකුට ද චෝදනා කරමින් අධිකරණය හමුවට කැඳවීම ජනාධිපතිවරයා  විසින් විග‍්‍රහ කරනු ලැබුවේ එය දේශපාලන න්‍යාය පත‍්‍රයක් මත ගත් තීන්දුවක් අනුව සිදුව තිබෙන බව ය. ඉතා දුර්වල අයුරින් ගොනු කර තිබෙන මෙම නඩුවේ දී ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස ශුද්ධවන්තයන් වී නිදොස් වීමේ ඉතා වැඩි සම්භාවිතාවක් පවතින බව මේ වන විටත් නීති ක්ෂේත‍්‍රයේ කතා බහට ලක්ව තිබේ. නමුත් ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය රටේ සාතිශය බහුතරය විසින් තේරුම් ගනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වීම වැළක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් යහපාලන ප‍්‍රතිපත්ති පාවා දී ස්වාධීන කොමිසම් සභාවලට අධිකරණයට ඇඟිලි ගැසීම ආරම්භ කර ඇති ලෙසය.

අපගේ විග‍්‍රහය අනුව නම් ජනාධිපතිවරයා තමුන් බලයට පත් වී 18 මසකට පසුව දේශපාලන පිට්ටනිය මාරු කිරීම සිදු කර ඇත. ඔහු ඔහුගේ පිටියට දේශපාලන සතුරන් කැඳවා ගැනීම සිදු කරමින් සිටී. අප මෙසේ පවසන්නේ ජනවාරි 08 වන දා සිට ඔහු මුහුණ දුන් ඉතා සංකීර්ණ දේශපාලනික සිදුවීම් මාලාව ගැන අවබෝධයෙනි. ජනවාරි 09 වන දින ඔහු මෙරට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන විට ඔහුට පක්ෂයක් තිබුණේ නැත. පොදු අපේක්ෂකයා ලෙස ඔහුගේ ජයග‍්‍රහණයට ‘හංසයා’ ලකුණ වටා ඒකරාශී වූ කණ්ඩායමේ නායකත්වය හෝ ඔහුට තිබුණේ නැත. ජයග‍්‍රහණයෙන් පසුව එහි නාමමාත‍්‍රික නායකත්වයට හෝ ඔහුව පත් කර ගැනීමට කිසිවකු කල්පනා කළේ නැත. ඔහු අධිබලැති විධායක බලතල අත තබා ගත් හුදෙකලා පුද්ගලයකු පමණක් විය.

ඒ අතරේ දී ශ‍්‍රීලනිපයේ නායකත්වය අත්පත් කර ගැනීම හැර වෙනත් විකල්පයක් ඔහුට නොතිබිණි. ඒ වන විට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් තිබුණේ මහින්ද රාජපක්ෂට බව අමතක කළ යුතු නොවේ. ඔහු හමුවේ වූ දැවැන්ත අභියෝගය ඔහුටම භාර ගන්න සිදු වූයේ කෙසේ හෝ ශ‍්‍රීලනිපයේ නායකත්වය අත්පත් කර ගැනීමෙන් පමණි. එමෙන්ම ඒ වන විට මහින්ද රාජපක්ෂ රෙජීමය විසින් දස වසරක් මුළුල්ලේ සමාජය තුළ පතුරවනු ලැබූ ගෝත‍්‍රවාදී යුදවාදී පටු චින්තනය පරාජය කිරීමේ ක්ෂණික අවශ්‍යතාව ඔහු හමුවේ විය.

රනිල් වික‍්‍රමසිංහ මහතා සිදු කළ කැපකිරීම සහ මෛත‍්‍රීපාල සිරිසේන දුන් පොරොන්දු යථාර්ථයක් කිරීම වෙනුවෙන් අගමැති ධුරය රනිල් වෙත පිරිනැමීම සිදු කළ යුතුව තිබූ අතර එම දින සියයේ සුළුතර ආණ්ඩුව පවත්වාගෙන යාමේ අභියෝගය ද ජනාධිපතිවරයාගේ කර මත පැවැතිණි.

මේ දැවැන්ත අභියෝග හමුවේ රටේ ජනතාවට ආර්ථිකමය සහන ලබා දීම, ජාත්‍යන්තරයෙන් එල්ල වෙමින්  තිබූ පීඩනය අවම කර ගැනීම මෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් රට තුළ නීතියේ ආධිපත්‍යය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවීම සිදු කරනු ලැබුවේ ය. මේ සියල්ල සිදු කරනු ලැබුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තමන් සතු කර ගැනීම නිසාය.

බලය පිළිබඳ කෑදරකම, ජාතිවාදී පටු උවමනා සහ තමන් කෙරෙහි එල්ලව ඇති දූෂණ අපරාධ චෝදනාවලින් ගැලවීම ආදී හේතු මත මහින්ද රාජපක්ෂට එල්ල වූ පීඩනය හමුවේ ශ‍්‍රීලනිපය අද කණ්ඩායම් දෙකක් ලෙස වෙන් කිරීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල ප‍්‍රමුඛ බැසිල් රාජපක්ෂ ආදීන් ගන්නා වෑයම නොවන්නට මෛත‍්‍රීපාල සිරිසේන මහතා මීට වඩා ඉදිරිගාමී පියවර රැුසක් මේ වන විට ගෙන තිබෙන බවට සැකයක් නැත.

ශ‍්‍රීලනිපයේ වූ බෙදීම තමන්ගේ දේශපාලන ජයග‍්‍රහණ වෙනුවෙන් යොදා ගැනීමට යම් දේශපාලන පක්ෂයක් කටයුතු කිරීම කුමන්ත‍්‍රණකාරී පියවරක් ලෙස සැලකිය නොහැකිය. එහෙත් අද ජනාධිපතිවරයා සිරව සිටින්නේ මේ උගුලේ ය. මෙය රාජපක්ෂවරුන් ඇති කළ තත්ත්වයක් මිස එජාපයේ කුමන්ත‍්‍රණයක් ලෙස සැලකිය නොහැකිය.

ශ‍්‍රීලනිපය දෙකඩ වීමේ වාසිය ඇත්තේ අනෙක් විශාලම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට බව පැහැදිලි කරුණකි. පසුගිය කාලයේ එජාපය ගත් ඇතැම් පියවර සහ මාධ්‍ය මඟින් හෙළි කරන ලද ඇතැම් තොරතුරු අනුව එජාපයේ නායකත්වය සහ මහින්ද රාජපක්ෂ අතර යම් අන්‍යෝන්‍ය අවබෝධයක් මත කටයුතු කෙරෙන බවට බරපතළ සැකයක් මතුව තිබිණි. මුල දී වසර දෙකකට සීමා වූ සම්මුතික ආණ්ඩුව මෙම පාර්ලිමේන්තු කාලය අවසන් වන තෙක් පවත්වාගත යුතු බවට ශ‍්‍රීලනිපයේ මෛත‍්‍රී පාර්ශ්වයෙන් යෝජනා වන්නේ ද ඉදිරියේ දී සිදු විය හැකිව තිබූ දේශපාලන අනතුරක් වළක්වා ගැනීම වෙනුවෙන් යැයි විශ්වාස කළ හැකිය.

ඒ කෙසේ නමුත් ශ‍්‍රීලනිපයේ මෛත‍්‍රී පාර්ශ්වය ලෙස කල්ලි ගැහුණු කණ්ඩායමෙන් ජනාධිපතිවරයා අපේක්ෂා කළ සහාය ඔහුට ලැබුණේ ද නැත. ඔහු ගත් ඇතැම් තීන්දු තීරණ ඔහු විසින්ම ගත් ඍජු තීරණ මිස ඔහුගේ කණ්ඩායමේ මතය අනුව සිදු වූ බවක් ද නොපෙනේ. ජනාධිපතිවරණයෙන් පසු ඔහු කළ ප‍්‍රකාශ ගණනාවකම මේ ඍජු බව දකින්නට ලැබිණි. එහෙත් ඔහු බොහෝ දුරදිග කල්පනා කර එම තීන්දු තීරණ අරගත් බව අද මේ මොහොත වන විට පසක් වන සත්‍යයයි.

එම අර්බුදකාරීත්වය මත එජාපය සිය කණ්ඩායමේ මතය අනුව ආණ්ඩුව පවත්වාගෙන යාම සිදු විය. විශේෂයෙන්ම ආර්ථික ක්ෂේත‍්‍රය තුළ වන ප‍්‍රතිසංස්කරණ එජාපයේ උවමනාව මත පමණක් පදනම් විය. ඒ ශ‍්‍රීලනිපයේ මහින්ද පාර්ශ්වය මතු කරන චෝදනාවලට තෝතැන්නක් වන ලකුණු පහළ වීම සමඟ ජනාධිපතිවරයා ආර්ථිකය ගැන ශ‍්‍රීලනිපයේ මතය යනුවෙන් යමක් එජාපයට යොමු කිරීමට උත්සුක විය. ඒ අනුව වන එකඟතා අනුව මේ වන විට බොහෝ කරුණු කාරණා සමථයකට පත් කිරීමට ද ඔහු සමත්ව තිබේ.

දේශපාලනිකව නොසිතන කවරකුට වුව ජනාධිපතිවරයාගේ තීන්දු තීරණ මහත් අවුලක් බව පෙනී ගිය ද ඔහු තවමත් සිටින්නේ නිවැරැුදි ස්ථාවරයක බව පෙනෙන්නට තිබේ. සිය ප‍්‍රකාශය තුළ දී ස්වාධීන කොමිසම් සභා පිහිටුවීම, ඒ හා සම්බන්ධයෙන් මැදිහත් වීමේ ජනාධිපතිවරයා සතු බලතල සහ රජයේ ප‍්‍රතිපත්ති හා අනුකූලව කොමිසම් සභා ක‍්‍රියාත්මක වියයුතු වීම ගැන ද ඔහු පැහැදිලිව පෙන්වා දුනි. කොමිසම් සභාවලට ස්වාධීනත්වය ලබා දී ඇත්තේ දේශපාලන න්‍යායපත‍්‍ර මත කටයුතු කිරීමට නොවන බවත්  ඒ සෙල්ලම් කරන්න ආවොත් තමන්ට පියවරක් ගැනීමට සිදු වන බවත් ඔහු අවධාරණය කළේ කොමිසම් සභා නිසි ආකාරයෙන් ක‍්‍රියාත්මක විය යුතු බව පැවසීමට මිස ඒ තමන් යටතේ පාලනයට නතු කර ගැනීම ගැන කියන්නට නොවේ.

සෝඩා බෝතල් කැඩුවාක් මෙන් හදිස්සියේ ඇවිස්සෙන මේ සිවිල් සමාජ ව්‍යාපාර ගැන ද මෙහි දී වචනයක් කිව යුතු ය. නවසිය අනූ හතරේ සිට ජනාධිපතිවරණ සම්බන්ධයෙන් මෙරට සිවිල් සමාජ ව්‍යාපාර තදබල මැදිහත් වීමක් සිදු කර තිබේ.

අවසන් ජනාධිපතිවරණයේ දී සිවිල් සමාජ ව්‍යාපාර දහරා දෙකක් කි‍්‍රයාත්මක විය. එක් කොටසක් ඊට පෙර පැවැති ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි පිරිසය. අනෙක් පිරිස රතන හිමි පෙරටු කරගත් අලූත් පැනනැගීමකි. මුලින් කී පිරිස එජාපය හා සමීපව අගමැති කාර්යාලයේ තනතුරු රැුගෙන එහිම නැවතිණි. අනෙක් පිරිස ජනාධිපතිවරයාගේ අපේක්ෂා සමඟ වස විස නැති වගා, සූර්ය සංග‍්‍රාම ආදී ප‍්‍රචාරක ව්‍යාපෘතිවල නිරතව සිටිති. අදේශපාලන උවමනාවන් හැර ඊට එහා ගිය යමක් මේ සිවිල් සමාජ වෙතින් පෙන්නුම් නොකෙරෙන වටපිටාව මත ජනාධිපතිවරයාගේ දේශපාලන ප‍්‍රකාශයෙන් සිදු වන්නේ කුමක්ද යන්න ගැන මේ දෙපිරිසම තෝන්තුවට පත් වීම පුදුමයට කරුණක් නොවේ. ඒ වෙනම විග‍්‍රහ කළ යුතු මාතෘකාවකි.

කොහොම නමුත් අපට කියන්නට සිදු වන්නේ ජනවාරි 08 වන දින මෙරට ජනතාව විසින් ජයග‍්‍රහණය කරවූ අපේක්ෂා යථාර්ථයක් කිරීමේ වගකීම ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් තිබෙන බව ය. එහි දී ජනාධිපතිවරයා අගමැතිවරයාව නොසලකා හැරීමත් අගමැතිවරයා ජනාධිපතිවරයාව නොසලකා හැරීමත් සිදු නොවිය යුත්තකි. මේ ගෙවෙන වසර කිහිපය සාම්ප‍්‍රදායික දේශපාලන භාවිතා අනුව තීන්දු තීරණ ගත යුතු මොහොතක් නොවේ. ඉතිහාසය පුරා පිළිලයක්ව පවතින ගෝත‍්‍රවාදී චින්තනය පරාජය කළ යුතු මොහොතකි. මෙහි දී වඩාත් තර්ජනාත්මක වන්නේ මහින්ද රාජපක්ෂ නම් ඒ තීරණාත්මකව පරාජය කළ යුතුය. ඔහුව පාවිච්චි කර දේශපාලන ‘ගේම්’ ගැසීමට යන්නේ නම් ඒ යළිත් මෙරට ජනතාව ලබන පරාජයක් මිස වෙනෙකක් නොවේ. එමෙන්ම තමන්ට එරෙහිව වන බලවේග පරාජය කිරීම සඳහා මෛත‍්‍රීපාල සිරිසේන තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකු වන්නට කැස කවන්නේ නම් එය ද ඔහුත් රට වැසියාත් ලබන මහත් පරාජයක් බව දෙගිඩියාවකින් තොරව අපි ලියා තබමු.

සුජය

උපුටාගත්තේ සත්හඬෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *