විශේෂාංගඋපුටාගැනීම්

බඩවඩා ගැනීමේ ආගම අත්හැරීම

ගසක පිළිලයක් හට ගැනීම ගසට ආගන්තුක නමුත් කල්යත්ම එය ගසේම කොටසක් වෙයි. නමුත් පිළිලය එම ගස විනාශ කරමින් එම ගසෙහි සාරය උරා බොමින් ඒ ගසේ වැඩීමට බාධාවක් වෙයි. පලය නිසරු කරයි. නැත්නම් වඳම වෙයි. අවසානයේ ගහත් නොදැනීම ගස විනාශ වී යයි. ගහ විනාශ වූයේ පිළිලය නිසා යැයි කියන්නට නොහැකි තරමට ගස ද පිළිලය ද හඳුනාගත නොහැකි වෙයි.

එහි දී ඇතැමෙකුට ගහ පවතින්නේ පිළිලය නිසා පිළිලය පවතින්නේ ගහ නිසාද යන්න වටහා ගැනීම ද අසීරු වෙයි. අද රට පවතින්නේ එවැනි අසීරු අවස්ථාවකය. රටේ ඉදිරි ගමනට අවශ්‍ය වන්නේ මොනවාද, ඉවත් කළ යුත්තේ මොනවාද යන්න ගැන කිසිවකුට නිනව්වක් නැත.

පසුගියදා පේරාදෙණියේ වළේ (එළිමහන් රංග පීඨයේ) පැවැති උත්සවයක් අතරතුරේ දී විකල්ප අදහස් දරන කලා ශිල්පීන්ට එරෙහිව ප්‍රහාරයක් දියත් වී තිබුණේ “වළේ පූජනීයත්වය කෙලෙසුවාය” යන චෝදනාව එල්ල කරමිනි. එම චෝදනාවට හේතුව වී තිබුණේ එම ශිල්පීන් වළේ සිට දුම්වැටි උරමින් සිටීම  සම්බන්ධ ප්‍රශ්නයක් යැයි කියවේ. ගැටලුව ඇත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මේ තරම් පටු ලෙස හිතන ගෝත්‍රවාදී ගොබ්බයන් බවට පත්ව තිබීමය. සිංහල බෞද්ධ නමින් ලේබල් කර ඇති ඊනියා සදාචාර සම්පන්නභාවය ප්‍රශ්න කරනවා වෙනුවට එය තවදුරටත් ආරක්ෂා කර ගනිමින් මෙරට අනාගතය ද පටු ගෝත්‍රවාදී ගල්ලෙනක් තුළ සිරකර තැබීමේ ආදීනව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පෙන්නුම් කර තිබේ. ඒ එක අහඹු සිදුවීමක් ලෙස නොසැලකිය යුතුය. මීට මාස කිහිපයකට පෙර ද වේදිකා නාට්‍යයක සිප ගැනීමේ දර්ශනයක් තිබී ඊට එරෙහිව කටයුතු කළේ ද මෙම සරසවි සිසුන්මය.

කොහොම නමුත් සරසවි ශිෂ්‍යයා වෙතින් පිළිබිඹු වන්නේ වර්තමාන සමාජයේ ඇත්ත තත්ත්වය යි. බොහෝ විට සමාජය ඊට වඩා ගෝත්‍රවාදීය. තමන්ගේ ආත්ම ලාභය වෙනුවෙන් ඕනෑම කබරගොයකු තලගොයා කර ගැනීමට නොපැකිළෙන සමාජයක් අද නිර්මාණය වී තිබේ. ඊට හේතුකාරක වූ බොහෝ දේ තිබිය හැකි නමුත් දේශපාලනිකව කල්පනා කළහොත් මෙරට කෙරෙහි වඩාත්ම බලපෑම් සහගත ලෙස ක්‍රියාත්මක වන ආයතනය වර්තමාන සංඝ සංස්ථාවයි. මෙය විසින් චිරාත් කාලයක් මුළුල්ලේ සිදු කරනු ලබන බලපෑම විසින් රට ඉල්ලා සිටින, රට බලාපොරොත්තු වන ඉදිරිගාමී ගමනට බාධා එල්ල වී ඇති බව සඳහන් කළ යුතුය. මෙම දැක්මට දැඩි විරෝධයක් එල්ල විය හැකි නමුත් ඇත්ත එය ය.

වර්තමානයේ නොවිසඳිය හැකිව හිර වී තිබෙන ගැටලු රැසක මූලයන් සොයා යන විට ඒ කෙළවර වන්නේ සංඝ සංස්ථාවෙනි. නැත්නම් එහි වරපොටක හෝ ඒ පැටලී තිබේ. මෙය සංඝ සංස්ථාවේ වරදක් නොවේ. එය සංඝ සංස්ථාව සහ රාජ්‍ය පාලනය අතර වූ අනවශ්‍ය සම්බන්ධතාවයෙහි ප්‍රතිඵලයකි. එය අද ඊයේ ඇති වූවක් ද නොවේ. මෙරට රාජාණ්ඩු යුගයේ දී පටන් විටින් විට පහළ වූ පාලකයන් විසින් ගොඩනංවන ලද සම්බන්ධයකි. මේ සංස්ථාව නොසලකා හැර කටයුතු කළ පාලකයන් ද ඉතිහාසයේ හමුවන නමුත් ඒ අනෙක් ආගමික හේතුවක්  වෙනුවෙනි. ආගම රාජ්‍ය පාලනයේ මෙවලමක් කරගත් සෑම විටම රටේ ජනතාව පත් වූයේ අන්ත අසරණ තැනකට බව ලෝක ඉතිහාසයේ මෙන්ම වර්තමානයේ ද ඕනෑ තරම් උදාහරණ තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් මතුපිටින් නොපෙන්වූව ද ආගම විසින් රට වෙළා, හිර කර ඇති බව පැහැදිලි ඇත්තකි.

විශේෂයෙන්ම ‘බුද්ධාගම’ විසින් කරමින් තිබෙන බලපෑම ගැන කතා කළ යුතුව ඇත්තේ රාජ්‍ය පාලනයෙහි තීරණාත්මක මැදිහත් වීමක් එය විසින් සිදු කරනු ලබමින් තිබෙන නිසාය.  බුදු දහම ආගමක් නොවේ. එය දර්ශනයක්ව පැවැති නමුත් අද එය පිළිගැනීමකට ලක් නොවේ. මන්ද, බුදුන්ගේ මූලික කියවීම කුමක්ද යන්න ද තෝරා බේරා ගැනීමටවත් හැකි තත්ත්වයක් නැත. ඒ තරමට එය විකෘති වී ඇත.

බුදුන් දෙසූ ධර්මයට ආසන්න යැයි සැලකෙන ථෙරවාදී දහම (හීනයානය) මිහිඳු හිමි මෙරටට හඳුන්වා දුන්න ද ඒ සමීප කාලයෙහි එනම් මහා විහාර සහ අභයගිරි යනුවෙන් මෙරට සංඝ සංස්ථාව දෙකඩ වීමෙන් පසුව මෙහි විකෘතිය ආරම්භ විය. මහායාන දහම වඩා ජනප්‍රිය වෙමින් පැවැතුණ අතර පසුකාලීනව හීනයානයට මේ මහායානයේ ලක්ෂණ ඇතුළත් විය. නුවර යුගය වන විට මේ මිශ්‍රණයේ උපරිමය පෙන්නුම් කළ අතර බුදුන් දෙසූ ධර්මය යැයි අලුත් පිරිත් සූත්‍ර දේශනා පවා එකතු වී තිබිණි. හීනයානය අනුව බුදුන් දෙසූ ධර්මයට පටහැනි බොහෝ දේ නිර්මල බුදුදහම ලෙස පිළිගැනීමට ලක් විය. එම පිරිහීමේ උපරිම තලය කරා මේ වන විට සංඝ සංස්ථාව පැමිණ තිබේ.

මහායානය, හීනයානය සහ අද වන විට  තන්ත්‍රයානයත් මිශ්‍ර වූ ‘බුද්ධාගම’ යනු ඒ විකෘතිය සමඟ නිර්මාණය වූ විකාරයක් බව ඉතා පැහැදිලිය. අද බුද්ධාගමේ නාමයෙන් සිදු වන්නේ විගඩම් රැසකි. එය ආගමික නැත. එහි ඇත්තේ සංදර්ශනය, සැණකෙළිය, විලාසිතාය, ප්‍රචණ්ඩත්වය ය, අනෙකා නොඉවසීමය. බඩ වඩා ගැනීම සහ තක්කඩි දේශපාලන මෙවලමක් බවට ද ඒ පත්ව තිබේ.

ඉංග්‍රීසීන් මෙරට පැවැති බුද්ධාගම තේරුම් ගත්තේ වැරැදි ආකාරයකටය. වර්තමානයේ මුහුණ දෙන අර්බුදයේ මුල එතැනය. සටකපට උඩරට නිලධාරීන්ගේ උවමනාවට අනුව උඩරට ගිවිසුම අත්සන් කරද්දී  ‘බුද්ධාගම’ ආරක්ෂා කරන බවට එකඟව ගිවිසුම් ගැසුවේය. ඒ උඩරට ප්‍රධානීන්ගේ පැවැත්මේ ප්‍රධාන සාධකය බුදුන්ගේ දන්ත ධාතුව වීම නිසා ය. දළදාවේ භාරකාරීත්වය රාජ්‍යත්වයට පත් වීමේ කුකුධ ධාතු අතරින් එක ප්‍රධාන වස්තුවක් වීම යැයි ඉංග්‍රීසීන් ද පිළිගත්තේ ය.

එංගලන්තයේ රාජාණ්ඩුව සම්බන්ධයෙන් ඔවුන්ගේ සම්ප්‍රදාය තුළ එවැනි විශ්වාස තිබෙන නිසා ය. දළදාවේ භාරකාරිත්වය ඉංග්‍රීසීන් සතුව තිබීම මෙරට රාජ්‍ය පාලනය කෙරෙහි ඔවුන්ට ඇති අයිතිය තහවුරු කරන්නක් විය. ඒ කෙරෙහි උඩරට රදලයන්ගේ කැමැත්ත ලබා ගැනීම ද පාලනයේ පහසුව පිණිස විය. අටසිය පහළොවේ දී උඩරට ගිවිසුම මඟින් බුද්ධාගම ආරක්ෂා කරන බවට ගිවිසුම් ගැසීමට ඉංග්‍රීසීන් පියවර ගත්තේ මෙවැනි හේතු නිසා ය. එහෙත් ඊට එරෙහිව ක්‍රියාත්මක වූ භික්ෂුවක අටසිය දාහතේ දී දළදාව කොල්ලකාගෙන ගියේ උඩරට රාජ පරපුරේ කෙනකුට ලබා දී යළි රාජ්‍යත්වය ඉංග්‍රීසින්ගෙන් පැහැර ගැනීමේ උවමනාව අනුව ද දළදාව සන්තකයේ තබා ගැනීමේ වැදගත්කම තහවුරු වෙයි.

කෙසේ නමුත් ඉංග්‍රීසින් සමස්ත රාජ්‍යයේ බලය අත්පත් කර ගැනීමෙන් පසුව දළදාව ගැන මෙන්ම විහාරගම් නින්දගම් ආදිය සම්බන්ධයෙන් ද අණ පනත් ගෙන ආවේය. දළදා මාලිගාවේ දියවඩන නිලමේ එහි ගිහි භාරකාරීත්වයට පත් කෙරුණේ ද ඒ අනුවය. විශේෂයෙන්ම දළදාව, අටමස්ථානය, ශ්‍රීපාදය සම්බන්ධයෙන් සහ විහාර දේවාලගම් සම්බන්ධයෙන්  නීති සකසන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. ඊට පෙර මෙම දේපළ සම්බන්ධයෙන් නිශ්චිතව සකස් වූ නීතී රීති මෙරට තිබුණේ නැත. ඒ රජුන්ගේ හෝ රදලයන්ගේ උවමනා පරිදි  වෙනස් තත්ත්ව අනුව ආකාර කිහිපයකින් බලපැවැත්විණි. මහනුවර රජ සමය වන විට නින්දගම් විහාරගම් පවරා දෙනු ලැබුවේ සන්තෝසම් ලෙසය. ඒ රජු කෙරෙහි පක්ෂපාතීත්වය පදනම් කරගෙන ය. ඒ දේශපාලනික උවමනාවක් විය. එංගලන්තවාසීන් පවා සිදු කරනු ලැබුවේ ඒ තවදුරටත් පවත්වාගෙන යාමය.

කොටින්ම වර්තමානයේ දී පාලකයාට ද මේ භික්ෂූන් පිනවීම සිදු කිරීමට බලකර තිබේ. මෙරටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම ගැන මේ වන විට ගොඩනැගී තිබෙන කතිකාවට අදාළව එහි ඉහළ ක්‍රියාකාරිකයෙක් පසුගිය දා එක් මහනායක හිමිනමක් හමු විය. ඒ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහනායක හිමිවරුන්ගේ කැමැත්ත ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. එම සාකච්ඡාව අතරතුර දී එම මහනායක හිමි පවසා තිබුණේ මෙය හිතන තරම් පහසු නොවනු ඇති බව ය. ඊට හේතු විමසූ කල මහනායක හිමි පවසා තිබුණේ පසුගිය පාලන සමයේ දී ඉහළම ධුරවල සිටින සියලුම නායක හිමිවරුන්ට බෙන්ස් රථ ලබා දීමට කටයුතු කළ බවය. ඒ කාලයෙහි එම රජයේ බොහෝ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සංඝ ප්‍රධානීන් නිහඬව සිටියේ ඒ නිසා බව ද මහනායක හිමි පෙන්වා දී තිබිණි. එනම් මේ ආණ්ඩුවේ කටයුත්ත සාර්ථක කර ගැනීමටත් දොළ පිදේණි පිදිය යුතු බව ය.

මේ අනුව පැවසිය හැක්කේ අතීතයේ සිටම සිදු වූයේ මේ කප්පම් දී සංඝ සංස්ථාව මෙල්ල කර ගැනීමේ  සිද්ධාන්තය බව ය. නින්දගම්, විහාරගම්, දේවාලගම්වල සිට බෙන්ස් රථ දක්වා සිදු වී ඇත්තේ එය යි.

අවසන් සිංහල රජු ලෙස සැලකෙන ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707 – 1739) ඝාතනය කිරීමට සැලසුම් කළ කුමන්ත්‍රණයට භික්ෂූන් වහන්සේ මැදිහත් වීම, කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1747 – 1781) මැරවීමට මල් වත්තේ විහාරයේ දී වැලිවිට සරණංකර සංඝරාජ භික්ෂූන් වහන්සේ මැදිහත් වීම පමණක් නොව අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනය කිරීමට භික්ෂූන් වහන්සේ මැදිහත් වීම තුළ ද සිදුව ඇත්තේ බුදු දහමේ හෝ සංඝ ශාසනයේ චිරස්ථතිය වෙනුවෙන් ගත් පියවර ලෙස නොවේ. පෞද්ගලික ලාභ අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීමට නොහැකි වීමේ ප්‍රශ්නයක් ලෙස ය. නමුත් මේ සිදුවීම් ඉතිහාසගත වෙමින් තිබෙන්නේ රට, ජාතිය, ආගම වෙනුවෙන් වූ මැදිහත් වීම් ලෙස ය. නමුත් මේ පාලකයන් බුද්ධ ශාසනයට එරෙහි වූවන් නොවේ. භික්ෂූන්ගේ ප්‍රචණ්ඩ ආධිපත්‍යයට වී බණ්ඩාරනායක අවාසනාවන්ත ලෙස ජීවිතය පිදුව ද පෙර රජවරුන්  නිවැරැදි ලෙස භික්ෂූ ආධිපත්‍යය මර්දනය කිරීමට සමත් විය.

මේ වන විට සංඝ ශාසනය අරබයා අණ පනත් පහක් සම්බන්ධයෙන් ඇතැම් භික්ෂූන් ඉතා කලබල වී ඇති සෙයක් ද පෙන්නුම් කරමින් තිබේ. ඒ විහාර දේවාලගම් සංශෝධන පනත, ථෙරවාදී කතිකාවත් පනත, බෞද්ධ ප්‍රකාශන නියාමනය කිරීමේ පනත, දස සිල් මාතා ආරාම පනත සම්බන්ධයෙනි.

මේ කලබල වීම ස්වාභාවිකය. මන්ද, මේ සියල්ල තම තමන්ගේ ලෞකික සුඛවිහරණයට අදාළ ප්‍රශ්න මතු කරන බැවිනි. බුදුදහමේ පෝෂණය කිරීම හෝ ආරක්ෂා කිරීම සහ කිසිදු ආකාරයකින් මෙම අණ පනත්වලට සම්බන්ධයක් නැත. කොටින්ම මෙම අණ පනත් සැකසෙන්නේ භික්ෂූන්ගේ ඉඩකඩම්, දේපළ, රැකියාව, ආදායම, ව්‍යාපාර ආදිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විසඳීම වෙනුවෙනි.  මීට දශක ගණනාවක සිට සාකච්ඡාවට ගනිමින් තිබූ විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත මෙන්ම ථෙරවාදී කතිකාවත් පනත් කෙටුම්පත නීතිගත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව පසුගියදා සූදානම් වුව ද ඊට ඇතැම් භික්ෂු පාර්ශ්වවලින් එල්ල වූ විරෝධතා සහ ඊට උල්පන්දම් දෙන තක්කඩි දේශපාලකයන්ගේ උද්ඝෝෂණ නිසා නැවත අකුළා ගැනීමට ආණ්ඩුවට සිදු විය.

අප මීට පෙර අවස්ථා ගණනාවක දී මෙම තීරුව මඟින් පෙන්වා දුන්නේ මේ ගෝත්‍රවාදී උවමනා සමඟ වත්මන් ආණ්ඩුවට පෑහීමක් නොමැති බව ය. මෙරට වඩා දියුණු ඉමක් කරා ගෙන යා යුතුව තිබේ. අනවශ්‍ය දේ ඉවත් කර ඒවා මඟ හැර මේ ගමන යෑමේ හැකියාව ආණ්ඩුවට තිබිය යුතුය. ආගමට රාජ්‍යය පාලනය කිරීමට ඇති ඉඩ කඩ මුළුමනින්ම අහුරා දැමිය යුතුව තිබේ. එය යුගයේ වඩාත්ම දේශපාලනික වශයෙන් ප්‍රගතිශිලීම උවමනාවය.

ආගම යනු යල් පැන ගිය ගෝත්‍රික භාවිතයකි. ආගම මඟින් මිනිසා වෙනස් කිරීමේ හැකියාවක් අද ඇත්තේ නැත. ඒ එක්තරා තුට්ටු දෙකේ විලාසිතාවකි. ආගමට වඩා සමාජය යහපත් කිරීමේ ප්‍රමුඛතම කාර්යභාරය කරනු ලබන්නේ නීති සහ රීති  විසිනි. ඒ අනුව ආගම රාජ්‍යයෙන් නිදහස් කර ඊට ඕනෑ හැටියට පවතින්නට ඉඩ හැරිය යුතුය. එය නොතකා හැරිය යුතුය. එසේ නොවුණහොත් වන්නේ පිළිලය විසින් වෙළා ගත් ගසට විය හැකි දේය.

– සුජය

උපුටාගත්තේ සත්හඬෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *