විශේෂාංගඋපුටාගැනීම්

විගීට අභියෝගය ඇත්තේ දකුණෙන් නොව උතුරෙන්ය

ගහන්න ගහන්න වඳින මිනිහාත් වඳින්න වඳින්න ගහන මිනිහාත් මෝඩයෙක් යැයි කියමනක් තිබේ. මෙරට ඓතිහාසිකවම නිරාකරණය කර ගත නොහැකිව තිබෙන ගැටලු‍වක්ව තිබෙන උතුරේ දෙමළාගේ සහ දකුණේ සිංහලයාගේ ගැ‍ටුම සම්බන්ධයෙන් ද පවතින්නේ එවැනි තත්ත්වයකි.

පසුගිය දා උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් යළිත් දකුණේ යටපත් වෙමින් තිබූ ජාතිවාදී මානසිකත්වය දෙබරයට ගල් ගැසුවාක් මෙන් අවුළු‍වාලන්නට සමත් තරමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කළේය. විග්නේශ්වරන්ට අවශ්‍ය වූයේ කුමක් නමුත් දකුණේ ජාතිවාදී කොටස් එය භාර ගන්නේ යළි උතුර, රටෙන් වෙන් කර ගැනීමට ගන්න උත්සාහයක් ලෙසය.උතුර සම්බන්ධයෙන් මෑත භාගයේ වූ බරපතළම සිදුවීම තිස් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ ඇවිළ ගිය සිවිල් යුද තත්ත්වය යි. දසදහස් ගණනක ජීවිත සහ මිල කළ නොහැකි විශාල දේපළ හානිය විසින් ශ්‍රී ලංකාව සංවර්ධනය කියන මාවතේ ගව් ගණනාවක් පසුපසට ඇදදැමීමට සමත්ව තිබීමත් සමාජීය සහ සංස්කෘතික වශයෙන් විකෘතියකට ලක්ව තිබීමත් පැහැදිලිය. අද මේ මොහොතේත් එහි ආදීනව රටම භුක්ති විඳිමින් සිටී. යුදමය තත්ත්ව අවසන් වී වසර හතක් පමණ ගෙවී ඇතත් එම තත්ත්වයන්ට හේතු භූත වූ දේශපාලන ආර්ථික කරුණු කාරණා විසඳා ගැනීමට රට සමත් වී නැත. මේ වෙනුවෙන් රටට ලැබුණු ඓතිහාසික අවස්ථාව වූ වත්මන් සම්මුතික ආණ්ඩුවේ බිහි වීම ලෙස සැලකිය හැකි වුව ද එය මෙම  අවස්ථාව මඟ හැර ගනිමින් සිටින්නේද යන්න ගැන කුකුසක් පවතී.

මේ අතර උතුරේ දෙමළා කොර ගසමින් හෝ නැගිටීම සිදුවීම අහම්බයක් නොව තාර්කික එළඹුමක් ලෙස තේරුම් ගැනීම වැරැදි නොවේ.

විග්නේශ්වරන් පවසන්නේ මෙරට දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු‍ ගැන සාකච්ඡා කිරීම ම දෙමළ ජාතිවාදය ලෙස විග්‍රහ කිරීමට දකුණේ ඇති පෙළඹුම නිසා මෙම ප්‍රශ්නය ගැන කතා කරන තමන්වත් ජාතිවාදියකු ලෙස හඳුන්වන නමුත් තමා කිසි දිනෙක ජාතිවාදියකු නොවන බවය.

විග්නේශ්වරන්ගේ මූලිකත්වයෙන් අරඹා තිබූ ‘එලඟු‍ තමිල්’ නො එසේනම් ‘නැගිටිමු දෙමළ’ නම් වැඩ සටහන ආරම්භයේ දීම විග්නේශ්වරන් පැවසූවේ එය ‘සිංහල විරෝධී, බෞද්ධ විරෝධී හෝ ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළක් නොවන බව’ ය. තමන් සිදු කරනු ලැබුවේ වසර හැටක පමණ කාලයක් මුළුල්ලේ සිංහල පමණයි යන ප්‍රතිපත්තිය මූලික කරගෙන දකුණේ ආණ්ඩුකරණය විසින් මෙරට දෙමළ ජනතාව පීඩාවට පත් කිරීම තුළ මුහුණ දෙමින් සිටින ගැටලු‍ ගැන වත්මන් ආණ්ඩුවට පෙන්වා දීම සඳහා පියවර ගැනීම පමණක් බවය.

පසුගිය බ්‍රහස්පතින්දා යාපනයේ දොරේ අප්පා ක්‍රීඩාංගණයේ ආරම්භ කළ ජාතික ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට මහ ඇමැති විග්නේශ්වරන් මහතාට ද ආරාධනා කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර තිබුණ ද ඔහු එය වර්ජනය කර තිබිණි. විග්නේශ්වරන්, මධ්‍යම ආණ්ඩුව විසින් උතුරේ ක්‍රියාත්මක කරණු වැඩසටහන් ගණනාවකටම සහභාගී නොවී සිටීම පසුගිය කාලය පුරාම දකින්නට ලැබුණු පිළිවෙතකි. ඔහු මේ සම්බන්ධයෙන් පවසන්නේ අද පළාත් සභා ක්‍රමය තුළින් දී ඇති බලතල පවා භුක්ති විඳීමට අවස්ථාවක් නොදෙන මධ්‍යම ආණ්ඩුව, ඔවුන් විසින්  තීන්දු කර ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට සහභාගී වීමට පමණක් ආරාධනා කරන බවය.

පළාත් වශයෙන් බලය විමධ්‍යගත කර පළාතකට සුවිශේෂී වන කාරණා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගෙන දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතිකමය වශයෙන් සාම්‍යයක් ගොඩනගා නැගීමේ උවමනාව වෙනුවෙන් පළාත් සභා ක්‍රමය ඇති කරන ලද්දේ උතුරු නැගෙනහිර දෙපළාත කේන්ද්‍ර කරගෙන පැවැති අර්බුද හේතුවෙනි. එහෙත් ඒ වෙනුවෙන් පළාත් සභාවට ව්‍යවස්ථාවෙන්ම හිමි බලතල ලබා නොදී මධ්‍යම ආණ්ඩුව තවදුරටත් මධ්‍යගත පාලනයක් පවත්වා ගෙන යාම තුළ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ද මෙම ගැටලු‍ව සම්බන්ධයෙන් සාධාරණ එළඹුමක් දකින්නට ලැබේද යන්න ගැටලු‍සහගතය. වෙනම රාජ්‍යයක් ලෙස උතුරු නැගෙනහිරෙන් ආ ඉල්ලීම වෙනුවට අද පෙඩරල් ආණ්ඩුක්‍රමයක් දක්වා පසුපසට ගොස් තිබුණ ද ඒ සඳහා ඇහුම්කන් දීමක් දකුණේ බහුතරයක් දේශපාලකයන් වෙතින් සිදු වන වගක් ද නොපෙනේ. මේ වන විටත් බලය බෙදාහැරෙන ව්‍යවස්ථාවක් ගෙන ඒමට එරෙහිව ආණ්ඩුවේම විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් ඇමැතිවරයකු වෙතින් ප්‍රකාශයට පත්ව තිබේ. ඒ බවට පසුගිය දා ශ්‍රී ලංකා රජයේ තීන්දුවක් ලෙස විග්නේශ්වරන්ට එරෙහිව පියවර ගන්නා බවට නිවේදනයක් ද මාධ්‍යයට නිකුත් කිරීමට ආණ්ඩුවේ කිසිවකු හෝ කටයුතු කිරීම සිංහල ජාතිවාදය කුල්මත් කිරීම වෙනුවෙන් පියවරක් බව ද පෙනේ. ඒ මේ ජාතිවාදයට යට වීම හෝ බිය වීම මත ආණ්ඩුව වැටී ඇති පහත් තත්ත්වයයි.

දෙමළ ජනතාවට අනන්‍ය වූ ප්‍රශ්න තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිගත්තේ උතුරේ දෙමළ ජනතාව ඉදිරියේදීමය. එමෙන්ම බලය බෙදාහැර මේ ප්‍රශ්නය විසඳා ගැනීමට ඔහුගේ ඇති කැමැත්තද ඔහු කිහිප වතාවක්ම පෙන්වා දී ඇත. ජාතීන් අතර සංහිඳියාව සම්බන්ධයෙන් ද ඔහුගේ ඇති අපේක්ෂාව ද ඔහු නිරන්තරයෙන් හෙළි කරයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී ද මහ මැතිවරණයේ දී ද මෙරට බරපතළ දේශපාලන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව ද ඔහු විසින් මතු කරන ලදී.  අගමැති රනිල් වික්‍රමසිංහ ද මීට සමගාමී මතයක් හෝ ඊටත් වඩා ඉදිරිගාමී මතයක සිටින බව ද පෙනේ.  විග්නේශ්වරන්ගේ එලඟු තමිල් ව්‍යාපාරය සම්බන්ධයෙන් දකුණේ ආණ්ඩුවේ හෝ විපක්ෂයේ කිසිවකු කුමන මතයක් ප්‍රකාශයට පත් කරනු ලැබුව ද ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ මේ සම්බන්ධයෙන් මෙතෙක් වචනයකුදු ප්‍රකාශ නොකිරීම, මෙය ඉවසා සිටීම වඩා සාධාරණ බවට කල්පනා කළා විය හැකිය. මන්ද විග්නේශ්වරන් වෙතින් හඬ නැගෙන්නේ විසඳිය යුතුව තිබෙන සාධාරණ ගැටලු‍ ගණනාවක් වන බැවිනි.

මෙම ගැටලු‍ව විසඳා ගැනීම සඳහා වන බලාපොරොත්තුව ද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දරන බලය බෙදාහැරීම සඳහා වන කැමැත්ත වන නමුත් ඔවුන් දෙදෙනා ඒ සඳහා වන එළඹුම ව්‍යාකූලය. ඔවුන් ගෙන එන ‘ශ්‍රී ලාංකිකයනි නැගිටිව්’ යන්න වඩා ප්‍රගතිශීලී සටන් පාඨයක් ලෙස මේ මොහොතේ දකුණේ සමාජය තුළ පිළිගැනීමට ලක්ව තිබුණ ද මේ ඇත්ත ප්‍රශ්නය මඟ හැර යාමකි. ශ්‍රී ලංකිකයන් ලෙස නැගී සිටින්නට කරන ආරාධනාව තුළ ඇත්තේ බෙදුණු ජාතීන් ගණනාවක්  එක්සත් කිරීමට ගන්නා උත්සාහය යි. එහෙත් එසේ වන්නට නම් සැමට සමාන සාධාරණ අවස්ථාවක් හිමිව තිබිය යුතුය. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත් හී ජනතාව තළා පෙළා බිම වට්ටවා ඇති මොහොතක ශ්‍රී ලාංකිකයනි නැගිටිව් කීවාට වැඩක් වන්නේ නැත. මුලින් විය යුත්තේ ඔවුන්ව නගා සි‍ටුවීමය. බහුතරය හා සමානව දෙපයින් නැගී සිටීමට හැකි ශක්තිය ලබා දීමය. ඔවුන්ගේ අයිතිය පිළිගැනීමය. ඒ සිදු නොවන තත්ත්වයක් තුළ ‘ශ්‍රී ලාංකිකයනි නැගිටිව්’ යැයි හඬ ගෑම තමන්ව යළිත් පහත් කොට සැලකීමට, නොසලකා හැරීමට, ‍රැවටීමට ගොදුරු කර ගැනීමට ලක් කිරීමක් බව දෙමළ සමාජය විසින් තේරුම් ගන්නේ නම් ඒ කිසි සේත්ම අසාධාරණ අයුක්තිසහගත හෝ නොවේ. එය විය යුතුව තිබෙන්නකි. ඒ අනුව එලඟු තමිල් යන්න මේ මොහොතේ වලංගු සටන් පාඨයක් වීම කිසිසේත් නොපිළිගෙන සිටිය නොහැකිය. සත්‍යය ලෙසම ‘නැගිටිමු දෙමළ’ කිව යුත්තේ දකුණේ සිංහල සමාජය යි.  දශක ගණනාවකින් ආපස්සට ගිය රට යා යුතුව තිබෙන වේගවත් ඉදිරිගාමී ගමනට ශ්‍රී ලාංකිකයන් ලෙස යන්නට අවශ්‍ය ශක්තිය දෙමළාගෙන් ඉල්ලා සිටීම විය යුතුව තිබේ. මුසල්මානුවාගෙන් ඉල්ලා සිටිය යුතුව තිබේ. සියලු‍ ජන කොටස්වලින් ඉල්ලා සිටිය යුතුව තිබේ. සැබෑ ලෙසින්ම ශ්‍රී ලාංකිකයින් ලෙස නැගී සිටිය හැක්කේ ඉන් පසුවය.

ඒ අනුව එලඟු‍ තමිල් යන්න වඩාත් සමීප වන්නේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අපේක්ෂා කරන ජාතික සංහිඳියාව ගොඩනඟන දේශපාලනික ප්‍රතිසංස්කරණ  සමඟය. ‘ශ්‍රී ලාංකිකයනි නැගිටිව්’ යන්න යථාර්ථයක් කිරීම වෙනුවෙනි.

එමෙන්ම මෙම එලඟු තමිල් වැඩපිළිවෙළ වෙනුවෙන් විග්නේශ්වරන්ට අභියෝගයක් එල්ල වනු ඇත්තේ දකුණෙන් නොව උතුරෙන්මය. ඒ දෙමළ ජනතාවගේ නියෝජිතයන් ලෙස පෙනී සිටියත් දෙමළ ජාතික සන්ධානයේ අලස පිළිවෙත හා තවදුරටත් වෙනම රාජ්‍යයක් ලෙස බෙදී වෙන් වීම ඉල්ලා සිටින කොටස්වල අන්තගාමී පිළිවෙත දරන්න ගෙනි. එය ජය ගැනීම විග්නේශ්වරන්ට පහසු නොවේ. ඔහු කොළඹ කෙන්ද්‍රීය දෙමළ ජාතිකයකු සහ ලිබරල් චින්තනයක් සහිත වූවකු වන බැවින් වන සංස්කෘතික ගැ‍ටුම විසින් උතුරෙන් ඔහුව ප්‍රතික්ෂේප වීමේ ඉඩ කඩ ඉතා ඉහළය. ඒ අනුව එලඟු තමිල් යනු එක අතකින් ඔහුගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් වන ව්‍යාපාරයක් ද වන්නේය. එය ඇතැම් විටෙක දෙමළ ජාතිවාදයේ පටු ප්‍රකාශනයක් දක්වා පල්ලම් බැසීම ද පෙන්නුම් කරන්නේ එබැවිනි. එම තත්ත්වය ගැන ද මෙහි දී තේරුම්ගත යුතුය. මන්ද, මේ සියල්ල දේශපාලනික භාවිතා වන බැවිනි. දේශපාලනික ප්‍රශ්න දේශපාලනයෙන් මිස අන් ආකාරයකින් විසඳාගත නොහැකිය.

ඒ කෙසේ වෙතත්  ගහන්න ගහන්න වඳින මිනිහාත් වඳින්න වඳින්න ගහන මිනිහාත් කල්පනා කරන ලෙස තවදුරටත් මෙම ඓතිහාසික ගැටලු‍ව විසඳා ගැනීමට ගන්නා උත්සාහ දැන් අවසන් විය යුතුය. මේ ඒ සඳහා කාලයයි.

– සුජය

උපුටාගත්තේ සත්හඬෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *