විශේෂාංගඋපුටාගැනීම්

අද බුදුහාමුදුරුවෝ වැඩියොත් එක පංසලකවත් ඉන්නේ නෑ | දියාකඩුවේ සෝමානන්ද හිමි

නිමල් අබේසිංහ

බුදුදහම අඳුරින් ආලෝකය කරා යන දහමක් වුව වත්මන් බෞද්ධ සමාජයේ දිශානතිය ඊට ප‍්‍රතිවිරුද්ධ ය. එය විනාශය කරා යන ගමනකි. ‘ධම්මපදයේ’ සඳහන් යකඩයෙහි උපදින මල යකඩයම විනාශ කරන්නා සේ ඊනියා බෞද්ධ භික්ෂුවත් උපාසක උපාසිකාවනුත් විනාශයේ දායකයෝය. මේ ව්‍යසනය අබියස උගත් බෞද්ධ යතිවරු බොහෝ විට නිහඬය. නිද්‍රාශීලිය. දියාකඩුවේ සෝමානන්ද හිමියෝ උඩුගං බලා පිහිනන්නේ මෙවන් පසුබිමකදීය. හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයේ ආචාර්යවරයකු ද වන සෝමානන්ද හිමි රාවය සමග කළ සංවාදය මෙහි පෙළ ගැසෙයි.

බෞද්ධ දර්ශනයට බෞද්ධයාට මේ මොකක්ද මේ වෙන්න යන්නේ?

‘බුදුහාමුදුරුවෝ නිරතුරුවම දේශනා කළේ මුලින් තමන් සුවපත් වෙන්න යන්නයි.’
සුසුඛං වත ජීවාම- ආතුරේසු අනාතුරා
ආතරේසු මනුස්සේසු- විහරාම අනාථයා
‘රෝගී මිනිසුන් අතරේ නිරෝගි වූවෙක් වන්න. ඉන් පසුව රෝගි අය සුවපත් කළ හැක.’ මෙතැනදී කියන්නේ මානසික නිරෝගිකම ගැනයි. ඉතින් බෞද්ධ දර්ශනයට මුකුත් වෙලා නැහැ. බෞද්ධ දර්ශනය ඉතාම දුර්වල පිරිසක් අතට පත්වෙලා තියෙනවා. අද එහි අයිතිකාරයන් විදියට පෙනීසිටින භික්ෂු සමාජය තුළ බුදුදහමේ දාර්ශනික වටිනාකම හඳුනාගත්තු පිරිස බොහොම අල්පයි. ඒ අය බුදුදහම රකින්න හදන්නේ ආයුධ අතට ගත්තු සෙබළු පිරිසක් වාගේ. ඒ අනුව අද බෞද්ධ භික්ෂුවක් සොයාගන්නත් අමාරුයි. බුදුහාමුදුරුවන් විශ්වාස කරන මිනිස්සු හොයාගන්නත් අමාරුයි.

අද විහාර ගෙට, පංසලට, බෞද්ධ සමාජයට මිථ්‍යාව වැද්දගෙන හමාරයි නේද?

තමන් සොයාගත්ත දර්ශනය ගැන බුදුහාමුදුරුවෝ සඳහන් කළේ, මම ලෝකයට ආලෝකයක් සොයාගත්තා කියලයි. බුදුහාමුදුරුවෝ භික්ෂු පිරිවර සමග සිටින විට බමුණෙක් අහනවා කාටද ඔබ මේ දර්ශනය ඉදිරිපත් කරන්නේ කියලා. ඒ වෙලාවේ සැරියුත් හාමුදුරුවෝ පිළිතුරු දෙනවා ප‍්‍රඥාවන්තයන්ටයි ආමන්ත‍්‍රණය කරන්නේ යනුවෙන්. අද ඒ ප‍්‍රඥාව වසා තබන්නේ එහි අයිතිකරුවන් කියාගන්න අයමයි.

බොහෝ විහාරස්ථාන මිථ්‍යා දෘෂ්ටිය වපුරන ව්‍යාපාර බවට පත්වෙලා. මහා දේවාල දහස් ගණන්වල මල් පූජා. මේවායින් කොහොමද ඥානාලෝකයක් ලැබෙන්නේ. නූතන අවිචාරශීලී භික්ෂුව සමාජය සංවාදයෙන් ඉවත් කරලා. ඒ අයත් සිතීමෙන් ඉවත් වෙලා, ජනසමාජයත් සිතීමෙන් ඉවත් කරලා.
අද පෝය දවසකට පන්සලකට ගිහින් බලන්න එතැන තියෙන ඝෝෂාව. ශබ්ද දූෂණය, මානසික නොසන්සුන්තාව. ධර්මශාලාවල පිරෙන මිනිස්සුන්ට කතාකරන්නේ මොනවාද? ඉතාම යල්පැන ගිය වැඩවසම් සමාජවලට ගැළපෙන කරුණු තමයි සාකච්ඡා කරන්නේ.

අද පවතින්නේ සංදර්ශන බෞද්ධ සමාජයක් නොවෙයිද?

මිනිස්සු කැමතියි රැුවටෙන්න. ස්ව කැමැත්තෙන්ම ඒ අය රැවටෙනවා. එහෙම රවටනවාට භික්ෂූන් වහන්සේලාට මුදලූත් ගෙවනවා. සමාජයත් වැනසෙනවා. රාහුලෝවාද සූත‍්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා යමක් කරනකොට, යමක් කියනකොට මනසින් මෙනෙහි කරලා ඒ දේ නිවැරදිද කියා විචාරයට පැමිණෙන්න කියලා.

මේ විචාරය නැත්තේ අපි බෞද්ධයැයි කියාගන්නා අය ඇතුළෙමයි. මොනවා හරි වැරදි ක‍්‍රමවලින් මුදල් හම්බකරලා ඒවායින් කොටසක් පන්සල්වලට දීලා ඒකෙන් තමන්ගේ පව් හෝදගන්න සමාජයක් පවතින්නේ. මේක මොනතරම් බරපතළ රැුවටීමක්ද? අපේ බෞද්ධ සමාජය පසුගිය දශකවල හිටපු රේන්දරාලලා වගේ තමා, හැමෝම අන්ධකාරයට තමයි අරගෙන යන්නේ. මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ භික්ෂුව අවංකව විචාරශීලීව කටයුතු කළොත් පමණයි.

බෞද්ධ දර්ශනය එක ජාතියකට විතරක් අයිතිය කියන මතයකුත් සමාජගත වෙලා තියෙනවා නේද?

මේකට හේතුව බෞද්ධ භික්ෂුව මහා විකාර අදහසක, බුදුන් නොවදාළ අදහසක ඉඳගෙන සිංහල ජාතිය රකින්නේ අපිය කියන මතයේ සිය කටයුතු කිරීමයි. එතකොට බුදුදහම රකින්නේ කවුද? මේ අයගේ මේ අවියත් බව නිසා සිද්ධ වෙන්නේ මේ අය රකිනවාය කියන සිංහල ජනතාවම වනසලා දැමීමයි.

බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ‘ජයං වේරං පසවති’ යුද ජයග‍්‍රහණය වෛරක් කාරයන් බිහිකරයි කියලායි. අජාසත්ත කොසොල් රජු සමග යුද වැදිලා පරාජය වුණා. ඒ වෙලාවේදී බුුදුහාමුදුරුවෝ මේ අයට අනුශාසනා කරනවා යුද්ධයෙන් වුණ විනාශය පිළිබඳව ඔබ තුළ කම්පනයක් ඇතිවිය යුතුයි. ඒ කම්පනයම ඔබට යහපත පෙන්නලා දෙනවා යනුවෙන්.

දැන් උතුරේ යුද්ධය අවසන් වෙලා. එහෙත් ලාංකික සමාජය තුළ ඇතිවිය යුතු කම්පනය යුද්ධයම හුවා දැක්වීමෙන් අහෝසි කරලා දැම්මා. ඒකෙන් ලබාගන්න තිබුණු පාඩම් සියල්ලම අපතේ හැරියා. මේ හරහා අහිංසක දෙමළ සමාජය භික්ෂූන් දෙස පිළිකුල් සහගතව බලන්න පුරුදු වෙලා තියෙනවා. එය බුදුදහමේ ගෞරවයටත් හානිකරයි. මේ හානිකර තත්ත්වයට බුුදුදහම ඇදලා දැම්මේ ගෝත‍්‍රික අදහස් ඔළුවේ දරාගත්ත භික්ෂුන් විසිනුයි. මේ අය බුදුදහම විතරක් නෙවෙයි. ඉතිහාසයත් තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරනවා. ඒ විතරක්ද මේ අය යුරෝපා රටවලට බුදුදහම දේශනා කරන්න යන්න දඟලන්නේ මේ රටේ බුදුදහම ප‍්‍රචලිත කරලා හමාර කරලා වගෙයි. එහෙත් ඇත්තටම කරුණාව, මෛත‍්‍රිය ඉල්ලා සිටින අහිංසක මිනිස්සුන්ට එය නොදී බුදු දහමින් කියාදෙන සාමය ප‍්‍රතික්ෂේප කරන්නේ ඇයි?

මෛත‍්‍රී බුදුන් බුදුවුණත් මේකට විසඳුමක් ලැබෙයි ද?

මෙතැනදී අවශ්‍ය වන්නේ තවත් බුදුවරයෙක් නෙවෙයි. ගෞතම බුදුන්ගේ ධර්මය, ඥානය තවම තියෙනවා. හැබැයි පොත්වල. භික්ෂුව නව දැනුමෙන් ඉවත්වීමයි මේ ඛේදවාචකය. දැනුම් ගවේෂී භික්ෂුව බලය වෙනුවෙන් හඹායන්න පටන් ගත්තා. එහි ප‍්‍රතිඵලයක් හැටියට ඔවුන් කටුවක් ඇතුළේ හිරවෙලා තියෙනවා. මේ වෙලාවේ තමයි වල්පොළ රාහුල හාමුදුරුවෝ වාගේ නැණවත් භික්ෂූන් වහන්සේලා වැඩි වැඩියෙන් අවශ්‍ය වන්නේ.

කුලය, ජාතිය වැනි බුදුන් ප‍්‍රතික්ෂේප කළ දේවල් සංඝ සමාජය පවා අනියමින් අනුදක්නා වගක් පේනවානේ.

බුදුන් සංඝ සමාජය හැඳින්වූයේ මහ සමුද්‍රය විදියටයි. විවිධ පැතිවලින් මහමුහුදට ගංගා ගලා එනවා. ඒත් ඒවා මුහුදට වැටුණාම වෙන්කරන්න බැහැ. සියල්ලම මුහුදු වතුර බවට පත්වෙනවා. බුදුන්ගේ විනය සම්බන්ධ ප‍්‍රධානත්වය දැරුවේ උපාලි හාමුදුරුවොයි. උන්වහන්සේ ගිහි දවස රජගෙදර කරණවෑමියා. ආනන්ද, අනුරුද්ධ වැනි එකල රජ පවුලේ කුමාරවරු උපාලි හාමුදුරුවන්ට වඳින්න ඕනෑ. පැවිදි දිවියේ දී ඒ අයට වැඩියෙන් උපාලි හාමුදුරුවෝ ජ්‍යෙෂ්ඨයි. එබඳු දර්ශනයක් තියෙන දහමක නූතන ශ‍්‍රාවකයො ගොවිගම කුලයට එක නිකායක් හදාගෙන. කරාව කුලයට තව නිකායක් හදාගෙන. එක එක කුලයට එක එක බුද්ධාගම් හදාගෙන. මහණ කරන්න කලින් මුලින්ම හඳහන බලනවා. මේකේ යටි අදහස කුලය මලය බැලීමයි. මේවා කොහොමද බුද්ධාගම වෙන්නේ. මෙතැනදී බරපතළ වැරැුද්දක් කරන පිරිසක් ඉන්නවා. ඒ තමයි ධර්මය පිළිබඳ ප‍්‍රමාණවත් දැනුමක් තිබෙන උගත් යතිවරු. මේ අයගේ නිහඬතාව බරපතළ හානියක්. මේ අය මේවාට එරෙහි නොවන්නේ ඇයි කියන එකත් ප‍්‍රශ්නයක්. අද බුදුහාමුදුරුවෝ වැඩියොත් මේ එක පංසලකවත් ඉන්නේ නෑ.

භික්ෂුව තම දායකයා මෙහෙයවනවා වෙනුවට දායකයා විසින් භික්ෂුව මෙහෙයවන තත්ත්වයකුත් අද පවතිනවා නේද?

අද කඨින පිංකම බලන්නකෝ. මිනිස්සු තමන්ගේ සෝබනය පෙන්නන්න හදන විකාරයක් වෙලානේ. මම ජීවත්වෙන ගමේ දායක සභාව කැඳවලා කඨින පිංකමට රුපියල් පන්දාහකට වඩා වියදම් කළොත් ඒ කඨිනේ මෙහෙට ගේන්න එපා කීවා. කැමති නම් කෙනෙක් භාරගන්න. අකමැති නම් මේ පාර කඨින පිංකම් නෑ. කීපදෙනෙක් මට චෝදනා කළා. අපි පිංකම ලස්සන කරන්න හදනකොට ඒකට ඉඩදෙන්නේ නෑ කියලා. මම කීවා මම කියන විදිහ තමයි ලස්සන, ඒ ක‍්‍රමයේ සෝබන නෑ වියදම් නෑ කියලා. සෝබන දායකයන්ට අනුව භික්ෂුව වැනෙන්න ගියොත් කවදාවත් සැබෑ ඥානය මිනිස්සුන්ට දෙන්න හම්බවෙන්නේ නෑ.

බුදුහාමුදුරුවෝ මහා සුපින ජාතකයෙත් දේශනා කළා මිනිස්සු නූගත් වෙනකොට අධර්මය ධර්මය වෙනවාය කියලා. ඔය කාරණයම මාක්ස් එයාගේ ලේඛනවලින් පැහැදිලි කරලා තියෙන්නේ, දුර්වල සමාජවල ශුද්ධ වස්තු කෙළෙසෙනවා කියලායි. මම අහන්නේ පිංකම් කරද්දී මොකටද සල්ලි මුලට ගන්නේ කියලායි. අපේ බෞද්ධයෝ හැම පිංකමකදීම සාකච්ඡා කරන්නේ සල්ලි කොච්චරද කියන එක ගැනයි. නූගත් මිනිස්සු නොකා නොබී හම්බ කරලා සල්ලි ඉතුරු කරලා පංසලට ගිහින් දෙනවා. මේ ලෝකේ කොහොම වුණත් පරලොව හරි සුවපත් වේවි කියලා. ව්‍යාපාරවලින් හම්බ කරපුවත් ගෙනත් දෙන්නේ එහෙමයි. මේක භයානක උවදුරක්.

දහම් පාසලේ හොඳම ශිෂ්‍යයා තමන්ගේ පියා මරනවා. ආදරය ඉල්ලාගෙන ගොස් නොලැබුණු තැන පිහියෙන් අනිනවා. දහම ඇසුරේ සිටින අය අතරින් මෙහෙම දේවල් අහන්න දකින්න වෙන්නේ ඇයි?

බුදුහාමුදුරුවෝ දේශනා කළ බෞද්ධ දර්ශනය වෙනුවට නූතන භික්ෂුව ප‍්‍රදර්ශනය කරන්නේ බහුභාණ්ඩිකත්වය. බටහිර චින්තනයේ උගන්වපු ‘සොබාදහම මරා අපේ සුඛ විහරණයට අවනත කරගනිමු’ කියන දර්ශනයයි. බුදුදහම එහි අනෙක් අන්තය. උන්වහන්සේ උගන්වන්නේ් තරගයෙන් ඉවත්වෙමු යනුවෙනුයි. සොබාදහමට අවනත වෙමුය යනුවෙනුයි. මේ සංහිඳියාව උගන්වන්නේ නැතිව අර තරගයේම ශ‍්‍රාවකයාව කොටස් කරුවෙක් කරනවා නම් එතැනදි ඒ අයගෙන් මාපියන් ඝාතනය වෙන්න පුළුවන්. කුඩා දරුවන් දූෂණය වෙන්න පුළුවන්. ඕනෑම අශීලාචාර වැඩක් වෙන්න පුළුවන්. මොකද ඔවුන්ගේ මනස සුවපත් නැති නිසා. අපි දහම් පාසලේදී උගන්වන්න ඕනෑ කොහොමද මනස සුවපත් කරගන්නේ. කොහොමද තරගයෙන් ඉවත්වෙලා ඉන්න පුළුවන් කියන එක ගැන මිසක කථික තරගයෙන් දැනුම් මිනුම් තරගයෙන් පළමුවැනියා වෙන හැටි නෙවෙයි, හැබැයි දහම් පාසලෙන් ඒක වෙන්නේ නැත්නම් එතැනදි බිහිවෙන්නේ අක‍්‍රිය චරිතයක්.

බෞද්ධ චින්තනය හුරුකළ පුද්ගලයා කරුණා මෛත‍්‍රියෙන් යුක්තයි. සරලව කියනවා නම් භික්ෂුවත් ඔහුගේ දේශනා ශ‍්‍රවණය කරන අයත් අර කියන බටහිර චින්තනයේ පය තබාගෙන බෞද්ධ චින්තනයේ සුවය සොයනවා නම් ඒක හරියට අඟ අතගාලා කිරි හොයනවා වගේ නිෂ්ඵල ක‍්‍රියාවක්.

බුදුදහම යන්ත‍්‍ර මන්ත‍්‍ර තන්ත‍්‍ර කාර්යයන්හිත් භාවිතයට ගන්න ප‍්‍රවණතාවක් අද දකින්න තියෙනවා නේද?

බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ‘ආරාම රුක්ඛ චේත්‍යානි- මනුස්සා භය තජ්ජිතා’ යනුවෙන්. ඒ කියන්නේ බයට පත්වෙච්ච මිනිස්සු ගස්ගල්වලටත් වඳිනවා. මේ නූතන බියට පත් මිනිස්සුන්ට මොන තරම් දේවල් බුදුන් වදාළේයැයි කියනවාද? අද බලන්න වැහි පිරිත, ගිනි පිරිත.. පසුගිය දවස්වල මම දැක්කා යුද්දෙට යන අයටත් ආරක්ෂාවට අතට මතුරලා දීපු පිරිතක්. ඒක දුටුගැමුණු රජ්ජුරුවොත් අතේ තියාගෙන ගියාලූ. මේක නියත මිථ්‍යා දෘෂ්ටිය. විභාගෙට යන ළමයින්ට මතුරපු පෑන් විකුණනවා. ලෙඩක් දුකක් හැදුණ පීඩාවට පත්වෙච්ච උදවිය දෙවිවරු ගාවට අරගෙන ගිහින් පූජා තියවනවා. සෙත්කවි කියවනවා ලෙඩ හොඳ වෙන්න. මේකෙන් වෙන්නේ ශ්‍රේෂ්ඨ දර්ශනයක් පිළිකුල් සහගත ලෙස විනාශකර දැමීමයි. විනය පිටකයේදී බුදුන් දේශනා කරලා තිබෙන්නේ, ශාසනය අතුරුදන් කරවන පවිටා හටගන්නේ ශාසනයෙන්මයි කියන එක. සල්ලිවලට කෑදරකමින් ඔය කියන මිථ්‍යාවන් වපුරන්නේ බුදුන් වදාළ අර පවිටො තමයි. මේ අය මිනිසුන්ව ඥානයෙන් ඈත් කරවනවා. බුදුන් පෙනීසිටියේ ඥානය වෙනුවෙන්.

උපුටාගැනීම රාවයෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *