විශේෂාංගඋපුටාගැනීම්

ලංකාවේ වම ඉන්නේ සිහිනයක!- විජිත ගුණරත්න

විජිත ගුණරත්න කියන්නේ කලා ලෝකයේ උඩුගම් බලා පිහිනන නාට්‍යකරුවෙක්. අසුව දශකයේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ දුරස්තීකරණ රීතිය ලංකාවට හඳුන්වාදෙමින් ‘සාක්කි’ නමින් නැවුම් නාටකීය අත්දැකීමක් ලංකාවේ කරලියට ගෙනා ඔහුට විකල්ප ධාරාවේ නාට්‍ය කරුවෙකු වීම නිසාම ජිවිත තර්ජනවලට මුහුණ දී උපන් රට හැරදා යුරෝපයට සංක්‍රමණය වීමට සිදුවෙනවා. වසර තිහක් පමණ රටෙන් බැහැරවී සිටියත් ලංකාවේ සමාජය මීට වඩා යහපත් තැනක් කිරීමට කරන අරගලය තුල තවමත් ජිවත් වන ඔහු මෙවර තවත් පුරෝගාමී වැඩකට අතගහල තියනවා. ඒ තමයි කම්හල් හා වැඩ බිම් තුළ සිටින සැබෑ කම්කරුවන් සංවිධානය කොට ඔවුන් තුලින් නාට්‍ය බිහි කිරීමේදාරියෝ ෆෝ ගේ නාට්‍ය සම්ප්‍රදායට නුතනවාදී අර්ථකතනයක් දීම.

ඉතාලියේ සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් යොදාගෙන ‘යුධ පිටියේ සවාරියක්’නමින් ඔහු නිෂ්පාදනය කල නාට්‍යය, මේ දිනවල යුරෝපය පුරා රඟ දැක්වෙන අතර, එය දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ද රඟ දැක්වීමට නියමිතයි. මේ අලුත් උත්සාහයේ දිගුවක් විදිහට ඔහු පසුගියදා ලන්ඩන් නුවරට පැමිණියේ අගෝරා සංස්කෘතික කවය සමග ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් හා එක්වී තවත් ජනතාවාදී නාට්‍ය ප්‍රයත්නයක් ඇරඹීමටයි. එහිදී ඔහු සමග ඇතිවූ නිදහස් කතාබහක සංක්ෂිප්ත සටහනකි මේ.

විජිත මේ දවස්වල නිෂ්පාදනය කරන නාට්‍ය වල ජනප්‍රිය නළු-නිළියන් වෙනුවට සාමාන්‍ය ජනතාව නළු-නිළියන් ලෙස රඟපානවා. මේ ප්‍රයත්නයෙන් ඔබ බලාපොරොත්තුවෙන්නේ මොනවාද?

හුගක් ප්‍රවීණ නළු නිළියන් ඉන්නවා. එත් මේ බොහෝ අය තමන්ගේ ආකෘති වල තමයි ජිවිත් වෙන්නේ. ඒක ඒගොල්ලන්ගේ නෙමෙයි. ඒගොල්ලන්ට යුරෝපයේ නාට්‍ය පාසැල් වලින් වගේ ක්‍රමවත් අධ්‍යාපනයක් ලබාගැනීමේ අවස්ථාවක් නෑ. ඒ නිසා තමයි පුද්ගලික ආකෘති එළියට එන්නේ. රඟපෑම කියන්නේ සරල දෙයක් නෙමයි. එය සරල වැඩක් වෙන්නේ චරිත නිරුපණය තුළ රඟපෑම කොටු වුනොත් විතරයි. කිසියම් නාට්‍යයක ක්‍රියාවලියට පුද්ගලයෙකු ඇතුළු උනාම එම නාට්‍යයේ සන්දර්භය විශ්ලේෂණය කිරීමේ දේශපාලනික නුවණින් ඔහු පොහොසත් වෙනවා. මේ පණිවුඩය කරා ගමන් කිරීමේ ප්‍රයත්නයක් මේ තුළ තියනවා. මේක විශාල අභියෝගයක්. ඒත් මං විශ්වාශ කරනවා නළුවන්ව ගොඩනගන්න පුළුවන් කියල. බ්‍රෙෂ්ට් වගේ කෙනෙක්ගේ අගය අපට දැනෙන්නේ ඒකයි.

ඔබ ලන්ඩන් නුවර කරන්න යන්නේ මොකක්ද?

ඉතාලියේ කම්හල්වල වැඩකරන ශ්‍රී ලාංකිකයන් යොදාගෙන මා අත්හදා බලපු පර්යේෂණ නාට්‍යය වන ‘යුද පිටියේ සවාරියක්’ සාර්ථකයි කියලා මට හිතෙනවා. එරට ‘ජන රැඟුම් මණ්ඩලය’ නම් වූ කණ්ඩායම සමග එකතු වී කිසි දිනක වේදිකාවකට පය ගසා නැති පිරිසක් එකතු කරගෙන නාට්‍යක් කිරීමට අපට හැකි වුනා පමණක් නොවේ නාට්‍යයට අවශ්‍ය තාක්ෂණික දැනුවත්කම මෙන්ම ඉන් සමාජයට මුදා හරින සමාජ දේශපාලන පණිවුඩය ග්‍රහණය කරගන්න පුළුවන් පිරිසක් ගොඩ නගන්න අපට හැකි වුනා. මේ වැඩෙන් උත්තේජනයක් ලබපු ලන්ඩනයේ අගෝරා කණ්ඩායම මට ආරාධනා කළා එංගලන්තයේත් ඒ වගේම දෙයක් කරන්න. ඉතින් මම එක භාර ගත්තා. මෙහෙ සමාජය වෙනස්. මෙහෙ හමුවෙන්නේ වෙනස් අභියෝග. එත් මාක්ස් කීවා වගේ ලෝකය වෙනස් වෙන්නට සුදානමින් ඉන්නේ අපි ඒක වෙනස්කරමු.

ඔබ ලංකාවේ නාට්‍ය කලාවට පුරෝගාමී වැඩ ටිකක් කරපු කෙනෙක්. ඒත් දේශපාලනික හේතු මත විජිත හිටි අඩියේම රට හැර යනවා. මෑත කාලයේ ලංකාවේ පාලන තන්ත්‍ර වෙනස් වුනාට පස්සේ දැන් අපට අහන්නට ලැබෙනව රට හැර ගිය කලාකරුවන්ට යලිත් මවු රටට පැමිණෙන ලෙස කෙරෙන ආරාධනා. මේ ගැන විජිතට මොනවාද හිතෙන්නේ?

මාක්ස්වාදය තුළ අත්විඳින සමාජ විශ්ලේෂණය කලාව කලාව තුලින් සන්නිවේදනය කිරීම මම විශ්වාස කරනවා. එත් මේ වෙනස් දෘෂ්ටියකින් වැඩ කිරීම නිසා ලංකාවේදී මට විශාල ගැටළු වලට මුහුණ පාන්නට සිදුවුනා. ඉතාමත් පසුගාමී විදිහට තමයි ලංකාවේ සමාජය තුල කලාව අල්ලගන්නේ. යුරෝපයේ මේ තත්ත්වය නෑ. වෙනස් දෘෂ්ටීන් පෝෂණය වෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති හෝ දැනුවත්කම් තවමත් අපේ සමාජයේ නෑ. නිකන් ආරාධනා කරනවාට වඩා එවැනි සමාජ තත්ත්වයක් රට තුල නිර්මාණය කිරීම වැදගත්.

අනෙක් අතට රටෙන් බැහැරවී ඒ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීම කලා කරුවෙකුට සුවිශේෂ අත්දැකීමක්. එතකොට සමාජය දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන් වෙනවා. කොටින්ම යුරෝපයේ ඉගෙන මට ලංකාව හොඳින් කියවන්න පුළුවන්. ලෝකයේ බොහෝ කලාකරුවෝ පිටුවහල් වී සිට සුවිශේෂ නිර්මාණ කරලා තියනවා. සැබවින්ම දෘෂ්ටිය තමයි වැදගත්.

ඔබ කාලෙකට ඉහත ලංකාවේ නාට්‍ය කලාවට අලුත් දෘෂ්ටියක් හදුන්නල දුන්නා වගේ වර්තමානයේ බොහෝ තරුණයන් නාට්‍ය කලාවට අවතීර්ණය වෙලා තියනවා. මේ නැඹුරුව ගැන මොනවද හිතන්නේ?

ලංකාවේ නාට්‍ය කලාව අවාසනාවන්ත අවධියක තියනවා කියල මම විශ්වාස කරන්නේ නෑ. තරුණ නාට්‍ය කරුවන්ට මම ආදරය කරනවා. ඉතා දක්ෂයන් ඔවුන් ඉන්නවා. සමාජයක් විදිහට ඔවුන්ට උදවු කරන්න ඕනි. එහෙම දෙයක් පේන්න නෑ. නැතිනම් ඔවුන් හති වැටෙන්න පුළුවන්. වැඩේ අතහරින්න පුළුවන්. ඉතිහාසය පුරාවට සිදුවුනේ ඒක. මට පවා සිදුවුනේ ඒක. මට පුළුවන් උනා යුරෝපයට ගිහින් නොකඩවා වැඩේ කරගෙන යන්න. ඒත් හැමෝටම ඒ අවස්ථාව නෑනෙ. ඔවුන්ට උදවු කරන්න යාන්ත්‍රණයක් තියෙන්න ඕනි. නැතිනම් ඔවුන් අතරමග නාට්‍ය කලාව හැර යනවා. මේක හරි අපරාධයක්.

විජිත ගුණරත්න කියන්නේ 71 අරගලයට සම්බන්ධ වෙලා හිරේ ගිහිල්ල හිරේදී පවා නාට්‍ය කරපු කෙනෙක්. ඊට පස්සේ රට තුල බොහෝ අරගල සිදුවෙනවා. ඊට සම්බන්ධ වූ බොහෝ දෙනෙක් වෙන වෙන තැන් වලදී අපට හමුවෙනවා. සමහරු ව්‍යාපාර කරනවා, තවත් සමහරු භාවනා කරනවා, සමහරු වමෙන් දකුණට මාරු වෙලා. ඒත් විජිත තවමත් තමන් ප්‍රාර්ථනා කරපු අරමුණ වෙනුවෙන් නාට්‍ය තුලින් අරගල කරමින් ඉන්නවා. ආපසු හැරිල බැලුවම ඔබට මොනවාද හිතෙන්නේ?

අතීතය ගැන මට කලකිරීමක් තියනවා. ඇත්තටම සිදුවූ දේවල් ගැන මට සතුටු වෙන්න බෑ. මිනිස්සු අරගලය අතහැරලා යන එක වමේ ගැටලුවක්. අපේ වාමාංශික පක්ෂ දේශපාලන කාර්යභාරය ඉදිරියට අරන් ගියා මිසක් සංස්කෘතික කාර්යභාරය සම්පුර්ණයෙන්ම අමතක කරලයි තියෙන්නේ. ඔවුන් කලාව කියල අදුනගෙන තියෙන්නෙත් අපේ විශ්ව විද්‍යාල හරහා පෝෂණය කරන වික්ටෝරියානු සෞන්දර්යවාදී කලාව. වම කලාකරුවාගේ මුලික වගකීම පවත්වාගෙන ගියේ නෑ. ඔවුන් හිතන්නේ ඔවුන් දේශපාලනය කරගෙන යනවා, කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා.

යුරෝපයේ මේ තත්වය වෙනස්. බ්‍රෙෂ්ට්, දාරියෝ ෆෝ වගේ අයගේ නිර්මාණ පස්සේ හිටියේ වමේ අරගලකරුවන්. ඔවුන් එක රැයෙන් බිහි වුනේ නෑ. ඔවුන්ගේ නිර්මාණ පසුපස විශාල කාර්ය භාරයක් තියනවා. ඒක නිසා ඔවුන් කරදරයට පත්වුනාම ඔවුන්ව බේරගන්න ජනතාවක් පෙලගැසිලා හිටියා. එරට වාමාංශික දෘෂ්ටිවාදය තුළ කලාව තියනවා. ඒත් අපේ එහෙම තත්වයක් නෑ. අපි වියුක්තයි.

සංස්කෘතික ක්‍රියාවලියේදී අපේ වම ඉන්නේ සිහිනයක. ඔවුන් කලාකරුවාගේ මුලික වගකීම පවත්වාගෙන ගියේ නෑ. මේ ගැන වම සංවාදයක් පැවැත්විය යුතුයි. සමාජ පරිණාමය සදහා කලාව කියන කාරණය සම්බන්ධව වමට දැඩි ලෙස හිතන්න කාලය ඇවිත්.

අපේ වගේ ඌණ සංවර්ධිත රටක කලාකරුවන් වම වෙනුවෙන් පෝලිමේ ඇවිත් පෙනී සිටියි කියල හිතනවානම් ඒක වැරදියි. නැතිනම් ඒක සිහිනයක්. හැමදේම සිදුවෙන්නේ ලාභය මත. වම මේක ජයගන්න ඕනි. නැතිනම් ඔබ කීවා වගේ ආපු වේගයෙන්ම අරගලය අතහැරලා ආපහු හැරිලා යන මිනිස්සු තමයි අපට හමු වෙන්නේ. මේකට තියන උත්තරය තමයි ක්‍රමය වෙනස් කරන එක. අපි ක්‍රමය වෙනස් කරන එක ගැන විශ්වාස කරන මිනිසුන් කලාව තුලින් බිහි කරන්න ඕනි.

සරද සමරසිංහ

උපුටාගැනීම: බූන්දියෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *