විශේෂාංගඋපුටාගැනීම්

ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නොවෙයි…!- වී.අයි.එස්. ජයපාලන්

පසුගියදා ලන්ඩන් නගරයේ එක්තරා ස්ථානයකට ලංකාවේ මිනිසුන් පිරිසක් එකතු වෙනවා. මේ එකතු වීමට නිමිත්ත වන්නේ කවියෙක්. ලංකාවේ රාජ්‍යයෙන් පිටමං කල කවියෙක්. වී.අයි.එස්. ජෙයපාලන්..!ඔහුගේ අවි වගේ කවි යුධ සමයේ විමුක්තිකාමින්ට දිරවාගන්නට බැරි වෙනවා. ඔහු ජාතිවාදීන් ඉදිරියේ ත්‍රස්තවාදියෙක් වෙනවා. යහපාලකයන් ඉදිරියේ තවමත් බ්ලැක්-ලිස්ට් වී රටෙන් පිටමං වී ඉන්නට සිද්ධ වෙනවා. ලේ වැගිරුණු යුද්ධයකින් අනතුරුව විශ්වාසය තුවාල කරගෙන සිටින දූපතේ ජාතීන් දෙකක් අතර පාලමක් තැනීමේ සිහින දකින මේ අපුරු කවියා සමග බූන්දිය වෙනුවෙන් සරද සමරසිංහ කළ කතාබහකි මේ.

මේ හමුව ගැන ඔබේ අදහස කුමක්ද?

ලංකාවේ සිංහල ප්‍රජාව සමග සංවාදයක යෙදෙන්නට ලැබීම ඇත්තෙන්ම හරිම විශේෂ කාරණයක්. එය අද දවසේ අවශ්‍යතාවයක්. මගේ පොත් කිහිපයක් සිංහල භාෂාවට පරිවර්තනය කොට එළිදැක්වීමේ උත්සවයට සහභාගිවිමට සිටියත් ලංකාවේ රාජ්‍යය විසින් එය වැලක්වූවා. ජාතික සංහිඳියාව ගැන, ජාතික සමගිය ගැන ටොන් ගණන් කයිවාරු ගහන රටක ආණ්ඩුවක් මේවගේ ක්‍රියාවලියක ඇති වැදගත්කම අවබෝධ කරගෙන ඉන්නවද කියන එක සැකයි.

ජාතික සංහිඳියාව ගොඩනැගීමට කලාවෙන් ලැබෙන තල්ලුව ගැන රාජ්‍යයට අදහසක් නෑ. ‘සාමිනාදන් විමල්’ වගේ සංවේදී මිනිස්සුන්ගේ හුදකලා කැපකිරීම් නිසා මේ වගේ පරිවර්තන වලට උර දුන්නාට රාජ්‍යයක් විදිහට බලධාරීන් මොනවාද කරලා තියෙන්නේ? පරිවර්තන ක්‍රියාවලිය සදහා ආයතනයක් හෝ වැඩපිළිවෙලක් තිබෙනවාද? රටේ බුද්ධිමතුන් කියල හඳුන්වන පිරිසෙන් කිසිවෙකු හෝ අඩුම ගානේ මේ ගැන කථාකරලා තියනවාද?

ඔබ මේ ගැන බලධාරීන්ට කියලා තිබෙනවාද?

මා බොහෝ දේවල් කියලා තියනවා. මේ ආණ්ඩුව ආපු ගමන්ම කීවා. කිසියම් හෝ යුද්ධයකට පසුව රටක ජාතීන් අතර සංහිඳියාවක් ඇතිකරන්න ලෝකයේ රටවල් ක්‍රියාත්මක කරන ලද ක්‍රමවේද තියනවා. ඒ තමයි යුද්ධය නිසා සිරගත වූ සිරකරුවන් නිදහස් කිරීම, රට අතහැරයෑමට සිදුවූ පුද්ගලයන්ට ආපසු රටට ඒමට අවශ්‍ය වාතාවරණය සැකසීම වගේ සංවේදී කාරණා. රජය ඉතා අවාසනාවන්ත ලෙස මේ අවස්ථා මගහැරගනිමින් සිටිනවා.

ජාතික සංහිඳියාව ඇතිකරනවා කියන්නේ පිටරටක කවුරුහරි හදල දෙන ඩොකියුමන්ට් එකක් කියවන එක නොවෙයි. එහෙම නැතිනම් හැම ජාතියේම මිනිස්සු එකතු කරල අලංකාරවත් උත්සව පවත්වන එක නොවෙයි. කොටින්ම කියනවනම් ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නොවෙයි…! අපි අද ඉන්නේ අපේ පරම්පරාවේ මිනිසුන් දහස් ගණනකගේ ජිවිත අහිමිවූ යුද්ධයක් අවසානයේ කියන එක අමතක කරන්න එපා.

ඔබට අසාධාරණයක් වූ අවස්ථාවක බොහෝ සිංහල මිනිසුන් පවා ඔබ වෙනුවෙන් කථා කළා. එතන සංහිඳියාව ගැන පුංචි හෝ බලාපොරොත්තුවක් තිබෙනවා නේද?

මා ගැන සංවේදි සිංහල මිනිසුන් මා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ ගැන මට අවබෝධයක් තියනවා. ඒත් ඔවුන් මහා සමාජයේ මැද හුදකලා වෙලා ඉන්නේ. හුදකලා සටන් සිංහල මහා සමාජය මැදට අරන් යන්න ඕනි. ඔවුන්ගේ කාර්යභාරය වෙන්නේ සිංහල සමාජයේ ඇතුළේ මේ ගැන සංවාදයක් ඇතිකිරීම. මට මතකයි අතීතයේ මම යාපනයේ තරුණ ලීගයේ සභාපති වුනාට පස්සේ එවකට Daily News පත්තරෙයි Daily Mirror පත්තරෙයි එකම විදිහේ කතෘ වාක්‍ය ලියලා තිබුණා මගේ පත්වීමට එරෙහිව. ඒ වගේම 1975 වසරේ මගේ හොඳම මිත්‍රයෙක් වන නඩරාජා මහත්මයා දුප්පත් ගොවීන්ගේ අයිතීන් වෙනුවෙන් ඔවුන්ව සංවිධානය කළා. ඒත් ඒක දේශපාලන බලය යොදවලා ප්‍රදේශයේ දිසාපති හරහා කඩාකප්පල් කරලා දැම්මා. මේ වගේ සිද්ධි තමයි යුද්ධයක් දක්වා ඇදිලා ගිය ප්‍රපංචයේ මුලික අඩිතාලම්. ඒවාට ආමන්ත්‍රණය කරන්න ඕනි.

මගේ ජීවිතකාලය පුරාම මා සටන් කලේ වරප්‍රසාද අහිමි වූ මිනිසුන් වෙනුවෙන්. ඔවුන්ගේ ජාතිය ගැන මට එච්චර වැදගත් නෑ. මට මතකයි යාපනයේ ඉන්න සිංහල මිනිස්සුන්ව බේරාගන්න ඒ කාලයේ මං දිවිහිමියෙන් ඉදිරිපත් උනා. ඒ වගේම යාපනයෙන් මුස්ලිම් මිනිසුන් එළවා දමනවිට බොහෝ අවහිරතා මැද මං ඔවුන් වෙනුවෙන් පෙනී හිටියා. මේ මෑතක ඉන්දියාවට ආපු ලංකාවේ කලාකාරයෙක් ඉන්දියාවේදී තාඩන පීඩනයට ලක්වීමට ගිය අවස්ථාවේ මම ඉදිරිපත් වෙලා ඔහුව ඉන් මුදවා ගත්තා. ඒ තමයි ජයපාලන්. ඒ ජයපාලන් ම තමයි දෙමළ මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ. ඒ කාරණය නිවැරදිව අර්ථකතනය කරගන්න සිංහල සමාජය සමත්වෙන්න ඕනි.

මෑතකදි සිදුවුණු ආණ්ඩු වෙනසත් සමග කිසියම් වූ බලාපොරොත්තුවක් ඔබට නැද්ද?

මහින්ද රාජපක්ෂ පැරදවීම අනිවාර්යයක්. ඒත් මේ වෙනස යථාර්ථයක් බවට පත්වෙන්නේ ඊළඟ පරපුර යුද්ධයක් කරා තල්ලු වුනේ නැත්නම් විතරයි. ඒක තීරණය වෙන්නේ දේශපාලන බලය බෙදාගන්නවාද කියන කාරණය මත. දේශපාලන බලය තීරණාත්මකයි. පුද්ගලිකව මම ෆෙඩරල් ක්‍රමයක් ගැන විශ්වාස කරන කෙනෙක්. මේකෙන් ලෝකය පුරා සිටින දෙමළ මිනිසුන්ගේ ශක්තිය ලංකාවට ඇදගන්න පුළුවන්. ඒත් මම සංවාදයකට කැමතියි. සියළු බලවේග එකට එකතුකරන සංවාදයක් අපට අවශ්‍යයි. එවැන්නක් ඇතිකිරීම රාජ්‍යයක මෙන්ම සිවිල් සමාජයේ වගකීමක්. මේක හරිම පුදුම තත්ත්වයක්. වසර තිහක යුද්ධයකට පසුවත් ජාතික ප්‍රශ්ණය ගැන රට තුල සංවාදයක් නෑ. ඒත් මේ හැමෝම පිටරටින් ගෙනල්ල විසඳුමක් පැල කරනකන් බලාගෙන ඉන්නවා. දුපත හරහා ගංගාවක් ගලාගෙන ගියාට දුපත දෙකට බෙදෙන්නේ නෑ. ඒ දුපත තව තවත් ලස්සන වෙනව. මම ප්‍රාර්ථනා කරන විසඳුමත් ඒ වගේ එකක්.

අවසාන වශයෙන් ඔබ ආයෙත් ලංකාවට යනවාද?

ලංකාව කියන්නේ මගේ රට. මගේ රටට යන එක වලක්වන්න කාටවත් බෑ. මේක පරම්පරා ගණනාවක මගේ මුතුන් මිත්තන් ඉපදුණු, මැරුණු රට. මගේ සිතැඟි පරිදි මේ රටේ ජිවිත්විම මගේ අයිතියක්. ඒක නිත්‍යානුකූලව කරන්න බැරිනම් නිත්‍යානුකූල නොවන ක්‍රමයකට හරි මගේ රටට යන්න මා පසුබට වෙන්නේ නෑ.

සරද සමරසිංහ

උපුටාගැනීම: බූන්දියෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *