විශේෂාංගඋපුටාගැනීම්

මැතිවරණ පැවැත්වීමෙන් පමණක් රටක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වන්නේ නැත – වික්ටර් අයිවන්

මධ්‍යම මට්ටමෙන් හා ඊට පහළ මට්ටමෙන් පවත්නා පාලන ආයතන සඳහා මහජන නියෝජිතයන් තෝරා ගැනීම සඳහා මැතිවරණ පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක තිබිය යුතු වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකි වුවද ඒ මැතිවරණවලදී විරුද්ධ පක්ෂයට බලයට පත්වීමට සාධාරණ අවස්ථා ලැබෙන්නේද නැද්ද යන ප‍්‍රශ්නය රටක පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තරම උරගා බැලෙන වැදගත්ම මාපකයක් ලෙස සැලකිය හැකිය. මෙය දේශපාලන ප‍්‍රතිසංස්කරණ ගැන උනන්දුවක් දක්වන සමාජ ව්‍යාපාර හා පුද්ගලයන්ගේ අවධානය ප‍්‍රමාණවත් තරමින් යොමුවී නැති ක්ෂේත‍්‍රයක් ලෙසද සැලකිය හැකිය.

පැරණි ක‍්‍රමය හා විරුද්ධ පක්ෂ
1977ට පෙර තිබූ පැරණි පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය විරුද්ධ පක්ෂවලට බලයට පත්වීමට සාධාරණ අවස්ථා ලබා දුන් ආණ්ඩුක‍්‍රමයක් වීයැ’යි කිව හැකිය. එය මනා ලෙස උරගා බැලීමකට ලක්වී හොඳින් තහවුරු වී තිබූ දෙයක් වීයැ’යි ද කිව හැකිය.

1947 පවත්වන ලද පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඞී.ඇස්. සේනානායකගේ එජාපය ජයගත්තද එය ජයගත්තේ යාන්තමටය. ඞී.ඇස්. සේනානායකගේ මරණයෙන් පසු 1952දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඊට වැඩි ජයග‍්‍රහණයක් හිමිකර ගැනීමට එජාප සමත් විය. එහෙත් ඉන්පසු 1956 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාප දැවැන්ත පරාජයකට ලක්කරමින් විශාල ජයග‍්‍රහණයක් හිමිකර ගැනීමට එස්ඩබ්ලිව්ආර්ඞී බණ්ඩාර නායකගේ ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ සමත් විය.

එහෙත් බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව 1960 මාර්තුවලදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් 1956දී අන්ත පරාජිත තත්ත්වයක සිටි එජාප නැවත ආත්ම ශක්තියකින් නැගී සිටිමින් ශ‍්‍රීලනිප සමග කරට කර යන තරගයක යෙදීමට සමත් විය. එහෙත් ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට අවශ්‍ය ප‍්‍රමාණවත් තරමේ ආසන සංඛ්‍යාවක් හිමිකර ගැනීමට ප‍්‍රධාන පක්ෂ දෙකම අසමත්වීම නිසා 1960 ජූලිවලදී තවත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදුවූ අතර එම මැතිවරණයේදී කැපීපෙනෙන තරම් ජයග‍්‍රහණයක් හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව බවට පත් බණ්ඩාරනායකගේ වැන්දඹු බිරිඳ සිරිමා බණ්ඩාරනායක මහත්මිය සමත් විය. එහෙත් 1965 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ‍්‍රීලනිප පරාජය කොට වෙනත් පක්ෂ ගණනාවකගේද සහාය ඇතිව ආණ්ඩුවක් පිහිටුවීමට එජාප නායක ඩඞ්ලි සේනානායක සමත් විය. ඉන්පසු 1970 මැතිවරණයේදී පාලක එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත්කරමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමිකර ගැනීමට ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ සමගි පෙරමුණ සමත් විය. ඉන්පසු 1977 පැවති මැතිවරණයේදී පාලන බලයේ සිටි ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ සමගි පෙරමුණේ පක්ෂ මීට පෙර නොවූ විරූ තරම් අන්ත පරාජයකට පත්කරමින් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් හිමිකර ගැනීමට ජේ.ආර්. ජයවර්ධනගේ එජාප සමත් විය.

ගල් ගැසුණු ක‍්‍රමයක් ඇති කිරීම
ජේ.ආර්. ජයවර්ධනට ලිස්සන ගහේ මුදුනතට නැගගත හැකිවූයේ හැත්තෑ එක් හැවිරිදි වියේදීය. ඔහු එතෙක් බලයට පත්වූ වෘද්ධතම රාජ්‍ය නායකයා විය. මහාචාර්ය කේ.එම්. ද සිල්වා ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ දක්වා ඇති පරිදි ඔහු (ජේ.ආර්.) සිය මාමා වූ ඞී.එස්. සේනානායක අගමැති වන විට සිටියාට වඩා හත් වසරකින් වැඩිමහලූ වූ අතර සිය මස්සිනා වූ ඩඞ්ලි පළමුවෙනි වරට අගමැති වන විට සිටියාට වඩා තිස් වසරකින්ද, සිරිමා බණ්ඩාරනායක අගමැති වන විට සිටියාට වඩා විසිඅට වසරකින්ද වැඩිමහලූ විය. ඒ ප‍්‍රතාපවත් මහලූ නායකයා මැරෙන තෙක් බලයේ රැඳී සිටිය හැකි මැරුණු පසුත් සිය පක්ෂයට බලයේ රැඳී සිටිය හැකි මහජනයාට පහසුවෙන් වෙනස් කළ නොහැකි, විරුද්ධ පක්ෂයට බලයට පත්වීමට සාධාරණ අවස්ථාවක් ලබා නොදෙන වෙනස් කළ නොහැකි, ගල් ගැසුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අර්ථයෙන් දූෂිත හා රස්තියාදුකාර ආණ්ඩුක‍්‍රමයක් ඇති කළේය. එය විධායක ජනාධිපති ක‍්‍රමයක් ලෙස සැලකෙනමුත් ඔහු ඒ සඳහා තෝරාගත්තේ ඒ පිළිබඳව තිබෙන සම්භාවනීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකෘතියක් නොව එහෙන් මෙහෙන් අහුලාගෙන එකට පූට්ටු කළ දූෂිත කොල්ලකාරී හා රස්තියාදුකාර ආකෘතියකි. ඔහු ඇති කළ ක‍්‍රමය රටට ස්ථාවරභාවයක් ලබා දුන් බව සමහර විචාරකයන් කියනු ලැබේ. ඔහු එවැනි ක‍්‍රමයක් ඇති නොකරන්නට රටට විවෘත ආර්ථික ක‍්‍රමයක් ලැබෙන්නට ඉඩ නොතිබුණු බවද කියනු ලැබේ. එසේම මෙවැනි ක‍්‍රමයක් නොතිබෙන්නට ජනතා විමුක්ති පෙරමුණ වැනි ව්‍යාපාරයකට ආයුධ සන්නද්ධ කැරැුල්ලක් මගින් රාජ්‍ය බලය අල්ලා ගන්නට සේ ම එල්ටීටීඊය වැනි ව්‍යාපාරයකට වෙනම රාජ්‍යයක් ඇති කරගන්නටද පුළුවන්කම ලැබෙන්නට ඉඩ තිබුණු බවද කියනු ලැබේ. මේ සියලූ කතා විකාර ඔල්මාද කතාය.

මේ ක‍්‍රමය ස්ථාවරභාවයක් ඇති කිරීමට සමත් වී නම් මේ තරම් ලේ වැගිරීම් ඇතිවූයේ කෙසේද? ජේවීපී දෙවැනි කැරැුල්ල සේ ම එල්ටීටීඊ ආයුධ සන්නද්ධ සටන්ද ප‍්‍රමාණයෙන් විශාලවීම හා ගුණයෙන් කුරිරුවීම කෙරෙහි මෙම අවලස්සන ක‍්‍රමය බලපෑවේය. පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් තිබුණේ නම් එම ව්‍යාපාරවලට මේ තරම් දුරක් යන්නට ඉඩ නොලැබෙන්නට තිබුණේය. විවෘත ආර්ථික ක‍්‍රමයට ඉක්මනින් දොරටු විවෘත කිරීමේ ගෞරවය ජේ.ආර්. ජයවර්ධනට ලැබිය යුතු වුවත් ජේ.ආර්. ජයවර්ධන කෙනෙකු නැතිව වුවද විවෘත ආර්ථික ක‍්‍රමය ලෝකයේ වෙනත් රටවල් වෙලාගත් ආකාරයට ඉක්මනින් හෝ ප‍්‍රමාද වී ලංකාවද වෙලාගැනීමට නියමිතව තිබුණේය. අනෙක් අතට විවෘත ආර්ථික ක‍්‍රමය හා දේශපාලන ක‍්‍රමය අතර කිසිදු අන්තර් සම්බන්ධයක් නොතිබුණු අතර එය භේදයකින් තොරව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල සේ ම, අර්ධ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවලද පූර්ණ ඒකාධිපති රටවලද පැතිරගිය ලෝක ආර්ථික ප‍්‍රවනතාවක් ලෙස සැලකිය හැකිය.

සාධාරණ මැතිවරණ සඳහා පැරණි ක‍්‍රමයේ තිබූ විධිවිධාන
පැරණි පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයේදී විරුද්ධ පක්ෂවලට බලයට පත්වීමට සාධාරණ අවස්ථා ලබාදීමට පුළුවන් වී තිබුණේ ඒ අරමුණට ගැළපෙන ලෙස සමස්ත ආණ්ඩුක‍්‍රමය සකස් වී තිබූ නිසාය. රාජ්‍යයේ සකලවිධ බලය කේන්ද්‍රගතවී තිබුණේ පාර්ලිමේන්තුව තුළය. පාර්ලිමේන්තුවේදී වැඩි ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂය ආණ්ඩු පක්ෂය ලෙස ක‍්‍රියා කළ අතර රාජ්‍යයේ ප‍්‍රධාන විධායකයා සේ ම ප‍්‍රධාන විධායක බල මණ්ඩලය ලෙස සැලකිය හැකි කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පාර්ලිමේන්තු නියෝජිතයන් වූ අතර ඒ සියලූදෙනා පාර්ලිමේන්තුවට උත්තරදීමට හා වගකීමට බැඳී සිටියෝය. මැතිවරණ දෙකක් අතර කාලය තුළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අවශ්‍ය නම් විශ්වාසභංග යෝජනාවක් මගින් බලයේ සිටින ආණ්ඩුව පරාජය කිරීමේ හැකියාව තිබුණි. මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ආණ්ඩු පක්ෂය බලවිරහිත තත්ත්වයකට පත්වූ අතර තරග කරන සියලූදෙනා බලවිරහිත තත්ත්වයක ඉඳිමින් තරග කිරීම නිසා නිදහස් හා සාධාරණ තත්ත්වයකින් මැතිවරණ පැවැත්වීමේ හැකියාව ලැබී තිබුණි.

මැතිවරණයකදී පුද්ගලයකුට හෝ පක්ෂයකට උපරිම වශයෙන් වැය කළ හැකි මුදල් සඳහා පනවන ලද සීමා තිබුණු අතර මැතිවරණ නීති උල්ලංඝනය කරමින් තේරී පත්වන මන්ත‍්‍රීවරයකු ඡුන්ද පෙත්සමක් මගින් බලරහිත කිරීමේ හැකියාව තිබුණි. අධිකරණය වර්තමානයට සාපේක්ෂව ස්වාධීන හා සාධාරණ වූ අතර ඒ නිසාම මැතිවරණ පෙත්සම් නීතිය යහපත් ලෙස ක‍්‍රියාත්මක විය. මහ මැතිවරණවලින් බොහෝ විට ආණ්ඩු වෙනස්වීම නිසා පොලිසියද අපක්ෂපාතව ක‍්‍රියා කළේය. ජේආර් ජයවර්ධන, බලයට පත්වන ආණ්ඩු පක්ෂයක් පරාජය කළ නොහැකි ආකාරයට හා ආණ්ඩුවක් පහසුවෙන් පරාජය කළ නොහැකි ගල් ගැසුණු දෙයක් බවට පත්වන ආකාරයට ආණ්ඩුක‍්‍රමය වෙනස් කළේ විරුද්ධ පක්ෂයට බලයට පත්වීමට සාධාරණ අවස්ථාවක් ලැබීම සහතික කිරීමට ආණ්ඩුක‍්‍රමයට ඇතුළත්ව තිබූ ඉහත කී යහපත් සියලූ කොන්දේසිද අවලංගු කෙරෙන ආකාරයටය.

තිබුණු සියලූ හොඳ කනපිට හැරවීම
ජේආර් ජයවර්ධන ඇති කළ නව ආණ්ඩුක‍්‍රමය තුළ මධ්‍යම ආණ්ඩුව සමන්විත වූයේ මහජන ඡුන්දයෙන් තෝරාපත් කරගන්නා විධායක ජනාධිපතිගෙන් හා මහජන ඡුන්දයෙන් වෙනම තෝරාගන්නා පාර්ලිමේන්තුවෙනි. රාජ්‍යයේ සකලවිධ බලය ජනාධිපති හිමි කරගෙන සිටින විට ජනාධිපතිද ඇතුළත් ප‍්‍රධාන විධායක බලමණ්ඩලය ලෙස සැලකිය හැකි කැබිනට් මණ්ඩලයේ සෙසු සාමාජිකයන් තෝරා ගැනෙන්නේ ආණ්ඩු පක්ෂයට අයත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතුරිනි. මෙම බලමණ්ඩල දෙක සඳහා මැතිවරණ පැවැත්වෙන්නේ එකවිට නොව වෙන් වෙන්වය. ජනාධිපතිවරණයකදී ජනාධිපතිගේ පාර්ලිමේන්තු ආණ්ඩුව බලරහිත වන්නේ නැත. සිරිතක් වශයෙන් මේ බලමණ්ඩල දෙකේම බලය දරන්නෝ එකම පක්ෂයකට හෝ එක ආණ්ඩුවකට අයත් පුද්ගලයෝය. එක බලමණ්ඩලයක් සඳහා මැතිවරණයක් පැවැත්වෙන විට බලයේ සිටින අනෙක් බලමණ්ඩලයට එම මැතිවරණය සඳහා පූර්ණ ලෙස රාජ්‍ය බලය යොදාගැනීමේ හැකියාව ලැබී තිබෙන්නේය. පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නම් ජනාධිපතිවරයාගේ ඇමති මණ්ඩලයට හා ආණ්ඩු පක්ෂයට තමන් සතුව තිබෙන රාජ්‍ය බලය තම ජනාධිපති අපේක්ෂකයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් යොදාගත හැකිය. පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් නම් රාජ්‍යයේ සකලවිධ බලය ඇති ජනාධිපතිවරයාට ඒ බලය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන සිය පක්ෂ අපේක්ෂකයන්ගේ ජයග‍්‍රහණය පිණිස යොදාගත හැකිය. මේ තත්ත්වය මැතිවරණ කටයුතුවල නිරත වන රාජ්‍ය නිලධාරීන්ට හා පොලිසියට මධ්‍යස්ථව හා සාධාරණව ක‍්‍රියාකිරීමට තිබෙන හැකියාව අහිමි කිරීමට හේතුවී තිබේ. පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවලදීද ජනාධිපති හා පාර්ලිමේන්තුව යන බලමණ්ඩල දෙකේම බලය හිමි කරගෙන සිටින අයට මැතිවරණ කටයුතු සඳහා එම බලය පාවිච්චි කිරීමේ පුළුවන්කම ලැබී තිබේ.

දැන් මැතිවරණ වියදම් සඳහා සීමා නීති නැත. ඒ නිසා ඕනෑතරම් වියදම් කොට ඡුන්දදායකයන්ගේ ඡන්ද මිලදී ගැනීමේ නිදහස ධනවත් ඡන්ද අපේක්ෂකයන්ට ලැබී තිබේ. සමහර අපේක්ෂකයන් මැතිවරණ සඳහා කරන වියදම දැවැන්තය. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් තේරී පත්වන අයගේ තේරී පත්වීම් අවලංගු කරන ක‍්‍රමයක් මේ ක‍්‍රමයට ඇතුළත්ව නැත. ඒ නිසා තනතුරු අහිමිවීමක් ගැන ඇතිකර ගන්නා බියකින් තොරව ඡන්ද නීති උල්ලංඝනය කිරීමේ නිදහසද අපේක්ෂකයන්ට ලැබී තිබේ.

ධුර කාලය අවුරුදු හතරක් සම්පූර්ණවීමෙන් පසු තමන් කැමති ඕනෑම මොහොතක ජනාධිපතිවරණයක් පැවැත්වීමට හා පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුද්දක් සම්පූර්ණවීමෙන් පසු තමන් කැමති ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට ලැබී තිබෙන බලය මේ ක‍්‍රමයට ආවේණික තවත් අවලස්සනම ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

නිල කාලය සම්පූර්ණ කිරීමට ප‍්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් කිරීමට අවශ්‍යවන්නේ එහි කටයුතු පවත්වාගෙන යා නොහැකි ප‍්‍රශ්නයකට පාර්ලිමේන්තුව මුහුණ දී ඇත්නම් පමණය. එහෙත් නිල කාලය අවුරුද්දක් සම්පූර්ණවීමෙන් පසු ජනාධිපතිට කැමති ඕනෑම අවස්ථාවකදී විසුරුවා හැරීමේ බලය ලබාදී තිබෙන්නේ ජනාධිපතිට පාර්ලිමේන්තුව කීකරු තත්ත්වයකට තබාගැනීමට පුළුවන්කම ලබාදීම සඳහාය. ධුර කාලය වසර හතරක් සම්පූර්ණවීමෙන් පසු ජනාධිපති කැමති ඕනෑම අවස්ථාවකදී ජනාධිපතිවරණයක් පැවැත්වීමේ බලය ලබාදීමෙන් අපේක්ෂා කරන්නේද ජනාධිපතිවරණයේදී ප‍්‍රතිපක්ෂවලට නැති විශේෂ වාසියක් ජනාධිපති වෙත ලබාදීම සඳහාය. මේ මගින් රටේ පැවැත්වෙන සියලූ මැතිවරණ ජනාධිපතිවරයාට කැමති ලෙස නැටවිය හැකි රූකඩ සංදර්ශන විශේෂයක තත්ත්වයකට පත්ව තිබෙන්නේයැ’යි කිව හැකිය.

1980 යාපනේ සංවර්ධන සභා ඡන්දය
මෙම දේශපාලන ක‍්‍රමය තුළ ජනාධිපතිවරයාට ලැබී තිබෙන නීතියට යටත් නැති අතිවිශාල බලයද මැතිවරණවලදී මැතිවරණ කොමසාරිස්වරයාට තිබිය යුතු බලය අසාමාන්‍ය ලෙස හීන කිරීමට හේතුවී තිබෙන්නේයැ’යි කිව හැකිය. ඒ තත්ත්වය ජයග‍්‍රාහී ජනාධිපතිවරයකුට එරෙහිව ඉදිරිපත් වන ඡන්ද පෙත්සම් ක‍්‍රමයද තේරුමක් නැති දෙයක් බවට පත්කිරීමට හේතුවී තිබේ. එය වෙනම විස්තරාත්මක ලෙස සාකච්ඡුා කළ යුතුව තිබෙන විෂයයකි.

1980 යාපනේ සංවර්ධන සභා ඡන්දය මැතිවරණයක් පවතින අවස්ථාවකදී පවා මැතිවරණ කොමසාරිස්වරයා නොසලකා නීතිය ඉක්මවා ක‍්‍රියාකිරීමට ජනාධිපතිට තිබෙන හිතුවක්කාරී බලය ප‍්‍රදර්ශනය කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එම මැතිවරණය ප‍්‍රචණ්ඩ ක‍්‍රියාකාරකම් මැද්දේ සිදුවූ මැතිවරණයක් විය. මැතිවරණ දිනයට පෙර දින ජනාධිපති ජයවර්ධනගේ නියෝගයක් මත ආරක්ෂක ලේකම්වරයා තේරීම් භාර නිලධාරියා වෙත කරන ලද විධානයක් අනුව මැතිවරණ කොමසාරිස්වරයා පත් කළ යාපනේ දිස්ත‍්‍රික්කයේ ඡුන්දපොළ භාර නිලධාරීන් 150ක් ඉවත් කොට කොළඹින් ගෙන්වා ගත් ආණ්ඩුවට හිතවත් රස්තියාදුකාර පන්නයේ පුද්ගලයන් 150කගෙන් එම තනතුරු පුරවනු ලැබීය. එය ඡුන්දයක් පැවැත්වීමේ බලය මැතිවරණ කොමසාරිස් වරයාගෙන් ඉවත් කොට ඍජු ලෙස පාලක පක්ෂය විසින් ක‍්‍රියාත්මක කළ පළමු අවස්ථාව විය. මැතිවරණය අවසානයේදී ඡුන්ද පෙට්ටි 6ක් අතුරුදන් වී තිබුණි. මැතිවරණ අවසානයේදී මැතිවරණය නිසි අයුරින් නොපැවති බව තේරීම් භාර නිලධාරියා ලෙස ක‍්‍රියා කළ යෝගේන්ද්‍ර දොරේසාමි මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා සිටියේය. මැතිවරණ කොමසාරිස්වරයා ඒ ගැන නීතිපතිවරයාගෙන් කරුණු විමසීමක් කළේය. මැතිවරණය අවලංගු කිරීමේ බලයක් මැතිවරණ කොමසාරිස්වරයාට නැති බව නීතිපතිවරයා මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය. ඒ නිසා අතුරුදන් වී තිබුණු ඡුන්ද පෙට්ටි නොසලකා ප‍්‍රතිඵල ප‍්‍රකාශ කරන ලෙස නීතිපතිවරයා මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දුන්නේය. මාගේ මතකය නිවැරදි නම් ඒ අවස්ථාවේ නීතිපති ලෙස ක‍්‍රියා කළේ සිංහලයකු නොව දමිළයෙකි. ශිවා පසුපතිය. ඔහු විශ‍්‍රාම ගැනීමෙන් තවත් කලකට පසුව ශ‍්‍රී ලංකාවේ අන්තර්ජාතික දමිළ ඊලාම් ව්‍යාපාරයේ ප‍්‍රධාන නීති උපදේශකයා බවට පත්විය.

නීතිපතිගේ එම උපදේශය නීතියට පටහැනි වන බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම දූෂිත දේශපාලන ක‍්‍රමය තුළ රජයේ උසස් නිලධාරීන්ට ක‍්‍රියාකරන්නට සිදුවී තිබෙන හාස්‍යජනක තත්ත්වය ඉන් හොඳින් පෙන්නුම් කරයි. ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයාද අතුරුදන්වී තිබූ ඡුන්ද පෙට්ටි හය නොසලකා ඡුන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කළේය. ඉන්පසු මැතිවරණ කොමසාරිස්වයා (එම්.ඒ. පියසේකර) සිය ධුරයෙන් ඉල්ලා අස්විය. තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව ක‍්‍රියා කළ මැතිවරණ කොමසාරිස්වරයාගේ කට වසා තැබීම සඳහා ඔහු රෝමයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස පත්කරන ලදි.

1999 ජනාධිපතිවරණය
චන්ද්‍රිකා කුමාරතුංග පාලන යුගයේදී ඇගේ පළමු ධුර කාලය අවසන්වීමෙන් පසු පවත්වන ලද ජනාධිපතිවරණය මැතිවරණ කොමසාරිස් ධුරය හෙබවූ පුද්ගලයා නැතිව ඒ තනතුරට පිටින් ගෙනෙන ලද තමන්ගේ විශ්වාසයට හේතුවන පුද්ගලයකු පත් කොට පැවැත්වීමට අවශ්‍ය වී ඒ අරමුණ සපුරාගැනීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා පීඩාවට ලක් කරන සියුම් වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නගා තිබෙනු දක්නට ලැබුණි. කොමසාරිස්වරයා හදිසියේම ලෙඩ නිවාඩු ගත්තේය. මැතිවරණ කොමසාරිස්වරයාගේ දෙවැනියා වැඩ බලන තනතුරට පත්කරනවා වෙනුවට ජනාධිපතිනිය තෝරාගත් පිටස්තරයකු එම තනතුරට පත් කළාය. ජනාධිපතිවරණයක් ප‍්‍රකාශ කර තිබූ අවස්ථාවකදී ඊට තරග කරන අපේක්ෂකයකු වශයෙන් තමන් කැමති පිටස්තරයකු එම තනතුරට ගැනීම සාධාරණ විය නොහැකිය. එවැනි අවස්ථාවකදී ඇය කළ යුතුව තිබුණේ තනතුරේ දෙවැනියා වැඩ බලන මැතිවරණ කොමසාරිස් ලෙස පත්කිරීමය. එම නොහොබිනා පත්කිරීමෙන් වඩාත්ම කම්පනයට පත්ව සිටියෝ මැතිවරණ ලේකම් කාර්යාලයේ නිලධාරීහුය.

එම පත්කිරීම වළකන තහනම් නියෝගයක් ලබාගැනීම සඳහා අධිකරණය ඉදිරියට යෑමට අපට සිදුවිය. නඩුව පවරන ලද්දේ රාවයේ ප‍්‍රවෘත්ති කර්තෘ නිව්ටන් සෙනෙවිරත්නගේ නමිනි. නඩු විභාගයේදී අපගේ ස්ථාවරයට පක්ෂපාතව ක‍්‍රියාකිරීමට ජනාධිපතිවරණයට තරග කළ අනෙක් පක්ෂ දෙකද (එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ) අපට සහතික වී තිබුණි. ජවි පෙරමුණ ඒ පොරොන්දුව අකුරට ඉටු කළේය. එජාප වෙනුවෙන් පෙනී සිටි කේ.එන්. චොක්සි ඇති කරගෙන තිබූ එකඟතාවට පටහැනිව ජනාධිපතිනියගේ එම පත්කිරීම නිවැරදි හා නීතියට අනුව කරන ලද පත්කිරීමක් ලෙස බව ප‍්‍රකාශ කිරීම නිසා එතෙක් අපේ වාසියට හේතුවන ලෙස ඇසෙමින් තිබූ නඩුව මුළුමනින් බිඳවැටෙන තත්ත්වයක් ඇතිවිය.

එක්සත් ජාතික පක්ෂය ඇති කරගෙන තිබූ එකඟතාවට පටහැනිව එසේ ක‍්‍රියා කළේ ඇයිද යන ප‍්‍රශ්නය පහසුවෙන් තේරුම්ගත නොහැකි ප‍්‍රහේළිකාවක් බවට පත්ව තිබුණි. ඒ රහස සොයාගැනීමට හැකිවූයේ තවත් කලකට පසුවය. මොනයම් දේකට හෝ තිලක් මාරපන හමුවූ අවස්ථාවකදී (වරුණ කරුණාතිලක හා මිලින්ද මොරගොඩද ඒ කතාබහ සිදුවූ තැන සිටියෝය.) මැතිවරණ කොමසාරිස් පිළිබඳ නඩුවේදී ඇති කරගෙන තිබූ එකඟතාවට පටහැනිව ඊට පටහැනි ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ ඇයිදැ’යි යන ප‍්‍රශ්නය මම මතු කළෙමි. ඊට ඔහු විසින් දෙන ලද පිළිතුර අප සියලූදෙනා පුදුමයට පත්කිරීමට හේතුවිය. ජනාධිපතිනිය පිටස්තරින් වැඩ බලන මැතිවරණ කොමසාරිස් ධුරයට පත් කළ පුද්ගලයා එජාපයට හිතවත් පුද්ගලයකු වන නිසා ඔහුට විරුද්ධ නොවන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වයට කවුරුන් විසින් හෝ දැනුම්දී තිබුණි. අප ඒ ලණුව කෑවායැ’යි ඔහු සිනාසෙමින් කීවේය. ඒ නිසා අවසානයේ ඇති කරගත් එකඟත්වයට පටහැනිව පත්කිරීමට පක්ෂව කරුණු ඉදිරිපත් කරන්නට තීරණය වූ බවද කියා සිටියේය.

ජනාධිපතිවරණය සඳහා පැවති අවසාන රැුලියේදී ජනාධිපතිනිය ඉලක්ක කොට සිදුවූ බෝම්බ ප‍්‍රහාරය නිසා ඉතාමත් උද්වේගකර ස්වරූපයක් ගත් එම ජනාධිපතිවරණයෙන් පසුව මැතිවරණ කාලයේ රෝගාතුරව සිටි මැතිවරණ කොමසාරිස්වරයා නැවත එම තනතුරට ආවේය. එම ජනාධිපතිවරණයේදී නිල ඡුන්ද පත‍්‍රිකාවලට අතිරේකව ඊට සමාන හොර ඡුන්ද පත‍්‍රිකා විශේෂයක්ද මුද්‍රණය කොට සමහර ප‍්‍රදේශවල එම හොර ඡුන්ද පත‍්‍රිකා පාවිච්චි කර ඇති බවට පිළිගත හැකි තොරතුරු සමුදායක් මට ලැබී තිබුණි. හොර ඡුන්ද පත‍්‍රිකාවල පිටපත් කිහිපයක්ද මට ලැබී තිබුණි.

මා මේ ගැන කරුණු විමසීමක් කිරීම සඳහා මා සමග වැඩ කරන තවත් ජනමාධ්‍යවේදියකු සමග (චාපා බණ්ඩාර) මැතිවරණ කොමසාරිස්වරයා හමුවන්නට ගියෙමි. ඔහුට පෙනෙන ලෙස පටිගත කිරීමේ යන්ත‍්‍රය ක‍්‍රියාත්මක කොට මාගේ කරුණු විමසීම ආරම්භ කළෙමි.

ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත‍්‍රිකාවලට අතිරේක වශයෙන් නිල නොවන හොර ඡුන්ද පත‍්‍රිකා විශේෂයක්ද පාවිචිච් වී ඇති බවට සාක්ෂි තිබෙන බව මම කියා සිටියෙමි.

එම ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමසාරිස් තනතුර දැරුවේ තමා නොවන නිසා ඒ කාලයේ සිදුවූ කිසිවකට තමාට වගකීමේ හැකියාවක් නැති බව මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේය. ඒ කාලයේදී තනතුරේ නොසිටියද දැන් නැවත එම තනතුරේ සිටින නිසා ලොකු අක‍්‍රමිකතාවක් සිදුවී ඇත්නම් ඒ ගැන සොයා බැලීමේ වගකීම මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් ඔහුට තිබෙන බව මම කියා සිටියෙමි. ජනාධිපති වරණයේදී පාවිච්චි කරන ලද සියලූ ඡන්ද පත‍්‍රිකා ඔහු භාරයේ තිබෙන නිසා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තෝරාගත් එක මැතිවරණ කොට්ඨාසයකට අයත් ඡන්ද පත‍්‍රිකා පමණක් පරීක්ෂා කරන ලෙසත් ඒවා අතර ව්‍යාජ ඡුන්ද පත‍්‍රිකා සැලකිය යුතු සංඛ්‍යාවක් තිබෙන්නේ නම් පමණක් පුළුල් පරීක්ෂණයකට යා හැකි බවත් මම කියා සිටියෙමි.

මගේ පටිගත කරන යන්ත‍්‍රය විසන්ධි කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා සිටියේය. එසේ කළෙමි. ඉන්පසු ඔහු මට කීවේ තමාගේ පමණක් නොව තම බිරිඳ හා දරුවන්ගේ ජීවිත පරදුවට තබා ක‍්‍රියාකරන ප‍්‍රතිපත්තියකට යොමුවීමේ හැකියාවක් තමන්ට නැති බවය. අපගේ සාකච්ඡුාව එතැනින් අවසන් විය.

කළ කළ දේ පලදීම – දිට්ඨධම්ම වේදනීය කර්මය
මට පෙනෙන ආකාරයට එජාපයට දැන් විඳින්නට සිදුවී තිබෙන්නේ ඔවුන්ගේ දාහත් අවුරුදු පාලන කාලයේ කරන ලද නොහොබිනාකම් වෙනුවෙනි. ඒ කාලයේ ඔවුන් අතින් සිදුවූ මහා වැරදි ගැන කවර මට්ටමකින්වත් අවංක පශ්චාත්තාපයක් පෙන්නුම් කර නැත. ස්වයංවිවේචනයක්ද කර නැත. ආණ්ඩු බලය හදාගත්තේ බල මාරුවකට ඉඩ නොලැබෙන ආකාරයකට වුවත් අහම්බ හේතුවක් නිසා බලය ගිලිහී ප‍්‍රතිපක්ෂය අතට බලය මාරු වූයේය. ක‍්‍රමය ඇති කර තිබුණේ බල මාරුවකට ඉඩ නොලැබෙන ආකාරයකට වන නිසා දැන් බලය ආපසු ලබාගැනීමද ඔුවන්ට ඉතා දුෂ්කර දෙයක් බවට පත්වී තිබේ. පොදු පෙරමුණ හා සන්ධානය බලයට ආවේ මෙම දූෂිත ක‍්‍රමය වෙනස් කරන බවට දිවුරා පොරොන්දුවෙමින් වුවත් එසේ කරනවා වෙනුවට ඔවුන්ද මෙම දූෂිත ක‍්‍රමයෙන් උපරිම ලෙස රස උරා බොමින් සිටින්නේයැ’යි කිව හැකිය. ඔවුන්ටද කවදා හෝ එජාපයට සිදුවූ දේම සිදුවනු නොවැළැක්විය හැකිය.

-රාවය –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *